Thursday, April 27, 2017

[337] භාවාත්මක ආදරය සහ සැමරුම් මතක



ඒක හරිම ගැඹුරු ආදර කතාවක් .... 
.
වසර හයකට ඉහත ඈ මෙලොව එලිය දකිද්දි මම හිටියෙ බොහොම දුරක, ගතින් කෙසේ වෙතත් හිතෙන්. මටම වෙන්වුන මගේ ලෝකෙක මගේම ප්‍රශ්න වල නූල් බෝලයක් වගේ පැටලිලා වෙලිලා හිටිය ඒ කාලෙන් මිදෙද්දි ඈ හෙමි හෙමිහිට ලොකු වෙන්න අරන් . 
.
අම්පුච්චි ( අම්මා + පුංචි) කියා තතනමින් මගේ දිහා ඇස් දල්වගෙන බලන් ඉන්න ඇය කිසි සේත්ම මාව නම් ආදර්ශෙට ගන්න එපා කියා මම ඈ මාදෙස බලා සිතෙන් වශී වෙන ඒ බැල්ම හෙලන හැම වෙලේම මම හිතෙන් පැතුවා. මම වගේ හැඟීම්බර නොවී , වෙන ඕනෙ එකක් මම වගේ වෙයන් ! මම පැතුවෙ එහෙම. තිස් විය ඉක්මවූ කාන්තාවකගේ වැඩ පිලිවෙලට කිසිසේත්ම ලඟින්වත් නොයන , හිතෙන් අවුරුදු දාසයේ ජීවත් වෙන මගෙන් ,වැඩිහිටි පුංචි අම්මා කෙනෙක්ගේ හැසිරීම දකින්නට බැරි වුනු නිසාදෝ , අදටත් ඇය හිතාගෙන ඇත්තේ , පුංචි අම්මා කෙනෙකු යනු ඇයට වඩා බිඳිත්තක් විතර හිතෙන් ලොකු වූ , සරීරයෙන් පමණක් වැඩුනු ඇරුම පුදුම විප්‍රකාර සත්වයෙක්ය කියා නම් නො අනුමානයි.
 .
නිතර ඇය ලඟින් යද්දී ඇයට වධ දෙන , කිචි කවා හිනා ගස්සවන , කොලොප්පම් කරන , විටෙක සැර වෙන , විටෙක සුරතල් කරන , මේ අම්පුච්චී , පසු කලෙක පුංචි අම්මා කියන නමින්ම යලිත් බෞතිස්ම කලේ ඇයම තමයි. ඒ ඇගේ අම්මාගේ වද කරදරයට වෙන්නත් පුලුවන්.
.
මෙදා පාර අවුරුද්දේ ඈ මට අරන් ආවේ වෙනස්ම විදියේ තෑග්ගක්. ඇගේ පුංචි අතින්ම කැන්වසයක ඇඳපු වෛවාරණ අති සුන්දර පැහැයන්ගෙන් ඔප වැ‍ටුන ලස්සන සිතුවමක්. ඒ ලස්සන සිතුවමෙන් , ඈ ඇතැම් විට වැඩිහිටි වියේ පසුවෙන තරුණ තරුණන්ටත් වඩා කොයි තරම් ගැඹුරු ආලයක් සෙනෙහසක් ප්‍රකාශ කලාදැයි පවසන්නට වදන් නොමැති තරම් ! ඇතැම් විට පුංචි අම්මාගේ අමුතු තෑගි රුචිකත්වය ඇයට ඒත්තු ගන්වන්නට ඇත්තේ මගේ සහෝදරිය වන්නට පුලුවනි. එහෙත් එතරම් ලස්සනට හැඩ වැඩ දමා කැන්වසයක ඇඳි වෘත්තීය මට්ටමේ සොඳුරු සිතුවමක් දෝත බදා දෙන ඇයට , තෑග්ගක ඇති ද්‍රව්‍යමය වටිනාකමින් එහා ගිය කෞතුක මෙන්ම භාවාත්මක වටිනාකම හැඟී ඇති ගැඹුර දැක මා විස්මයට පත්වූ බව නම් නොකියාම බැහැ.
.
එදා අප්‍රියෙල් 24 වනදා රාත්‍රියේ , ජීවිතයේ පළමු වතාවට , අධිවේගී මාර්ගයක , පැයට කිලෝමීටර එකසිය විස්සක වේගය අභිබවා රිය ධාවනය කරද්දී , නිකුත් කල ගෙවීම් රිසිත් පත , සිහිවටනයක් ලෙසින් මගේ කුඩා දින පොතෙහි අලවද්දී, මට අර පුංචි ඇඟිලි තුඩු වලින් , ලහි ලහියේ ඇඳ , වේලා , රාමු කොට , පුංචි අම්මාට තෑගි ලෙස ගෙනා පහන්මාගේ ගැඹුරු ආදරයේ අමරණීය සංකේතය ගැන කුඩා සටහනක් ලිවිය යුතුම යයි සිත බල කළා.
.
පහන්මා ... ඇස්වහ කටවහ වෙන්න එපා... මට හරිම ආඩම්බරයි ඔබ ගැන ... ! පහන් කන්දක් තරම්ම උස ඔබේ ආදරය ගැන ....




1 comment:

  1. මගේ චූටි සිත්තර පැංචාටත් ඉන්නවා මේ වගේ යාළුවෙක්, එයාගෙ ආදරණීය 'පූ'. පැංචාගේ පුංචි අපේ ගෙදර බඩපිස්සි. දෙන්නත් එක්ක එකතු වෙලා කෑම හදනවා, අත් වැඩ කරනවා, එපා කරපු මහා දඟ වැඩත් කරනවා. මේ අවුරුද්දෙ ඒ 'පූ' දීග යනවා. 'පූ' නැති පාළුව අපේ පැංචාට කොහොම දැනෙයිද කියලා මට තාමත් හිතාගන්න බැරුව ඉන්නේ. :/

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->