පේරාදෙණිය සහ මහවැලිය මට සුහුරැ තැනක් වූයේ අද ඊයේ නොවේ. ඉතා කූඩා වියේ අප සියලු දෙනා ගම්පොල සිට නුවර ගෑටූ දිගු ගමන් අවදියෙහි, මගේ කුඩා ඇස් වලට ගඟ යනු හරිම එකාකාරී වතුර ගොඩක් පමණක් වූයේය. ඒ ගඟෙහිම නෘත්‍යයක් මෙන්ම ලාලිත්‍යයක්, අප ගම්පොලින් නුවර දොඩම්වල පැලපදියම් වූ කල්හි දිනපතා මට දකින්නට ලැබුනේය. ගෙදර සිට අතුරැ පාරෙන් මහපාරට හරවන මීටර කිහිපයෙහි එක් කුඩා කපොල්ලකින් ගඟ පෙනුනේය. නමුත් ඒ , විසාල මහවැලි ගඟෙන් බොහොම ඇබින්දකි. කාලයාගේ ඇවෑමෙන් අපි කුඩා විය පසු කොට තරැණන් වීමු. තරැණ දෑසට අංජනයක්ම තැවරෑ මහවැලි ගඟ, එකල්හි ගොස නගා ගල් පර අතුරෙන් රිංගා ගලන විට , ඒ රිද්මයට අපි පෙම් බැඳීමු . ඒ සොඳුරැ දර්ශනය ඔප කළ, ගඟෙන් පෙනුනු ඒ ඇබින්දද වසාගෙන කාලය ගත වෙද්දී උස් තුරැ මුදුන් එ'දසුනට අරක් ගත්තේය.
ගඟ මෙන්ම අපේ ගම් දනව්වට අලංකාරය රැගෙන ආ 'දොඩම්වල-හල්ලොලුව' එල්ලෙන පාලම (නොහොත් හෙල්ලෙන පාලම) කාටත් මතක ඇතුවාට සැක නැත. පැන පැන යාම විසුළු දසුනක් නොවන වයස අත් හැර යන තාක් කල් , හෙල්ලෙන පාලම තවත් හොල්ලා, පාලමෙහි ඇවිදින වුන් තරහ ගස්සා අපි එකල නොමඳ විනෝදයක් ලැබුවෙමු. එය පාසල් වියේ අප ඉතා ප්‍රිය කළ මිහිරි මතක තොටුපලක් වූයේය. අපට එවන් අහිංසක විනෝදයක් සපයද්දී , පාලමට නම් තව බොහෝ රාජකාරි තිබුනේය. නුවර පලාතේ විවාහෝත්සව ගන්නා බොහෝ නව යුවලවල් සිය ඡායාරෑප ගොන්නට මෙම වැල් පාලමේ සොබා සොඳුරැ එක් කර නොගත්තේ හරිම කලාතුරකිනි. කෙටි ගමන් යන පෙම්වතුන්ට කල් මරන්නට හොඳම තැනක් බවට වැල් පාලම පත්ව තිබුනේය.
කලක් අප බොහෝ ආලයෙන් අබිමනින් සැලැකූ 'දොඩම්වල-හල්ලොලුව' එල්ලෙන පාලම (නොහොත් හෙල්ලෙන පාලම) තවදුරටත් වෙනස් වන ලෝකයට නොසරිලන්නේ යැයි නුවර කරවන මහතුන් පසක් කර ගත්තේ මීට වසරකට පමණ ඉහතදීය. මහ හයියෙන් කතිකා ඇති වුනේය. සැලසුම් ඇඳුනේය. පාර මැනුනේය. කූඩාරම් තැනුනේය. ඉංජිනේරැවන් ලහි ලහියේ පැමිණියේය. ගල් වැලි ඇනුනේය. මාස කිහිපයක ඇවෑමෙන් ,ඉන්ද්‍රජාලයකින් මෙන් , මේන්න විසල් පාලමක් තැනී අවසන්ය !!
වැල් පාලම ? එකල සොබා සෞන්දර්යය එකලු කළ සොඳුරැ වැල් පාලම කෞතුක වස්තුවක් වූයේය. ඇතුල් වීම අවහිර කොට, වැට කොටු ගසා , බෝඩ් ලෑල්ලකින් සරසා ප්‍රදර්ශනය සඳහා පමණක් වැල් පාලම වෙන්ව ඇති හැටි අද ඔබ දකිනු ඇත. ඊට අඩි කිහිපයක් ඔබ්බෙන් විරාජමාන වන මහ පාලම විසින් , සදහටම වෙන්ව අහක බලාගෙන හිටි ගම් බිම් දෙකක් ( දොඩම්වලත් , හල්ලොලුවත් ) හිටි හැටියේ එකම එක පුරවරක් බවට පත් කලේ එසේය. මහනුවරට හූවක දුරින් වී නමුදු , ඉතා නිහඬ මෙන්ම වාහන තදබදයකින් තොර , නිසල වන අරණක් ව තිබූ කුඩා ගම් පියැස්ස , හදිසියේම තැඹිලි මහ එලි දිවා රැයේ දිලෙන , නොනිදන පුරවරක් වී ඇති හැටි ! කාලය මැවු වෙනස එහෙමය!
වෙනදා සවස් වෙද්දී ගූඪ බියකරැ නිහඬතාවක ගිලුනු , කිසිදු එලියකින් තොර වැල් පාලම සහ ගඟ, ගම්මුනට බිය ගෙනාවේය. ගඟට පැනීම් , දිවි නසා ගැනීම් , අදෘශමාන බලවේග සහ භූත දර්ශන පිලිබඳ කතා අපේ ඉපැරණි වැල් පාලම ගැන බැඳී නැතුවාද නොවේ. එනිසාම, එකල්හි අඩ අඳුරේ මේ පාලම තනි පංගලමේ තරණය කලේ එහෙමත් කෙනෙකි. එහෙත් අද එතැන විරාජමාන වන මහ පාලම දිගේ මැදියම් රැයෙහි වුව ඇවිද යන එක මහ කජ්ජක් නොවේ.
හරිත තුරැ ගොමු වලට , ඉපැරණි කෞතුක වස්තූනට, ලොබ බඳින මම , කුමක් හෝ ගුප්ත ආසක්ත බවකින් , අද ඒ තැඹිලි ලාම්පු එලි වලට සහ සුවිසල් පාලමට පෙම් බඳින්නට පටන් ගෙන සිටිමි. එයට පැහැදිලි හේතුවක් දක්වන්නට මට නොහැකිය. එහෙත් , විනාඩි දහයකට අඩු කාලයකට සීමා වී ඇති මගේ උදේ හවස කාර්යාල ගමන පැය භාගයකට දික් කොට ගෙන , දිගු වේලාවක් තිස්සේ සංගීතමය දැහැනකට සමවැදී දවස පටන් ගන්නට , පාලම විසින් දිගූ විකල්ප මාර්ගයක් මට ලබා දී තිබෙයි. සියලු මාර්ග තදබද මගැර විනාඩි කිහිපයෙන් ලඟා විය හැකි කාර්යාලයට, පැය භාගයක දීර්ඝ චාරිකාවකින් එලැඹීම මට නම් මහත් ආස්වාදයකි. (මා උමතුවෙන්දැයි නොඅසන්න)
ගඟ බඩ දසුන මත පින්තාරැ වූ හරිත තුරැ වැලින් අඩකට වඩා, පාලම වෙනුවෙන් දිවි පුදා ඇති සැටි මට නොපෙනුනා නොවේ. පාලම තරණය කරන අපට දැන් ගඟද නොපෙනෙයි. කෙටි පෙම් ගමන් එන පෙම්වතුනට දැන් පාලම් බැම්ම හුදෙකලා ඉසවුවක් නොවේ. වෙනදා , අපේ උඩ පැන පැන යන ගමනට හෙල්ලුම් කන දුබල වැල් පාලම වෙනුවට , මෙදා මේ සුවිසල් කොන්ක්‍රීට් නිමැවුම, ටොන් ගණන් බර රිය පෙළ පහසුවෙන් දරා ගෙන , ඉන්ද්‍රඛීලයක් මෙන් නොසැලී තිරව නැගී හිඳියි. මේ , එදා අසීරැවෙන් ගං දෑලෙහි එල්ලී හිටි අහිංසක වැල් පාලම නොවේ. වැල් පාලම වැලලී ගොසිනි. මෙදා , කෞතුක වස්තුවක් කොට නිහඬ කරන ලද අබලන් වැල් පාලම මත එල්ලී මගුල් පින්තූර ගන්නට එහි එන කෙනෙක් නැත්තේය. සිය කෞතුක වටිනාකම ඉහල නංවා ගනිමින් , කාලයේ ගමනට අවනතව , අභාවයට යමින් ඉන්නා වැල් පාලමේ අන්ධකාරය, දිවා රෑ දැල්වෙන මහ පාලම් තැඹිලි ලාම්පු පෙලට මැකිය හැකි වේවිද ? නිරන්තර ගමන් බිමනින් ආකූලව සිටි , සිය වියපත් දෑතින් බොහෝ බර දරා ගනිමින්, උඩ පැනුම්, හෙල්ලුම් දයාවෙන් ඉවැසූ වැල් පාලම, තලස්තෑනි පියෙකු මෙන් , දොඩම්වල හා හල්ලොලුව යා කරන උදාර මෙහෙයුමෙහි සියවසකටත් වඩා නිරත වූයේය.
ඒත් ගඟ ! එදා , තමන් වෙත එබී එල්ලී හිඳි වැල් පාලමේ නැලවිල්ල දකිමින්ද , නිසි නින්දේ ගල් පර අස්සෙන් රිංගාගෙන යමින්ද නැගෙනහිරෙන් බටහිරට තමන්ගේ ලැසි ගමන ගියේය. අද, ඒ ගඟම , සිය ඉවුරැ බඳ රෑසිරැ , කෝල ලෙස සඟවා තැබූ හරිත තුරැ ගොමුවෙන් විනිර්මුක්තව, විලියෙන් භරිතව මෙන් , ඉපැරණි ගඟ ගිය මග සොය සොයා , වර්තමානයේ යෝධ කොන්ක්‍රීට් පාදම් මග හරිමින්, අනවරත අතීතයෙන් ගලා හැලෙන්නේය.
ඔය දොඩම්වල එල්ලෙන පාලමේ මම ගිහින් තියෙනවා.
ReplyDeleteලස්සන නිහඬ පැත්තක්..
ලියවිල්ලේ ශෛලිය හරිම ලයාන්විතයි.
ඉස්තුතියි
Deleteමම ඔය වැල් පාළමේ ගිහිල්ලම නෑනෙ බං...ෂෙහ්...මේ පාර නිවාඩුවට ආවම එන්නං හොඳද? අපි දෙන්න යමු අර වැල් පාලමේ ගීතයත් කිය කිය...
ReplyDeleteඋඹේ කොහොමද ගායන හැකියාව? කර්ණ කඨෝර ස්වරයක්ද තියෙන්නෙ?
හෙලවෙන කොට වැල් පාලම දෑස පියන් බිම නොබලන්,
අපට පුතේ මඟක් නැතේ මේ මඟ මිස යමං පුතේ........
නාට්‍යය - හුණු වටයේ කතාව ( හෙන්රි ජයසේන) (1967)
Deleteගායනය - මානෙල් ජයසේන
වැල් පාලමේ ගීතය
හෙල ගැඹුරුයි... පුත නොබලන්
හෙලවෙන කොට වැල් පාලම
දෑස පියන් බිම නොබලන්හෙලවෙන කොට වැල් පාලම
දෑස පියන් බිම නොබලන් අපට පුතේ මගක් නැතේ
මේ මග මිස යමන් පුතේ
අපට පුතේ මගක් නැතේ
මේ මග මිස යමන් පුතේ දෙවියො බලයි මුහුණ උඹේ
උඹව රකී යමන් පුතේදෙවියො බලයි මුහුණ උඹේ
උඹව රකී යමන් පුතේ
:D :D හා හා එන්ටකෝ මේ සැරේ ආවම :)
Delete