Wednesday, November 16, 2016

[334] සෙන්ට් සහ සුවඳ කූරු


Image result



ජීවිතේ රෝලර් කෝස්ටරයක් වගේ ගෙවීගෙන යනවා. ජීවිතේ මල්ගෙ ජීවිතේ 'මල්' වුනේ නමට තමයි .   එක වෙලාවකට හිතෙනව, මලක් වගේ පරවෙලා නොයා ගහක් වගේ වුනේ ඇයි කියලා. ගතවෙන හැම සෘතුවකටම අනුගත වෙවී , කොල හැලී නිරුවත් වෙන ජිවිතයක් ... ,  ආයිත් දලු දමා පණ ගසා අලුත් වෙන ජීවිතයක් ... කියන්නේ , කොයි තරම් වෙහෙසක්ද ?

හිතට එන මේ විප්රකාර අමතක වෙන්නත් එක්කම , සාප්පු වන්දනාවක් යන්න පහුගිය සතියේ හිතක් පහල වුනා. මගේ සාප්පු වන්දනාව පටන් ගන්නෙත් සරසවියෙන්, ඉවර වෙන්නෙත් සරසවියෙන්.(සරසවි පොත් හලෙන් පොත් මිලට ගෙන ඒවා කියවන්නට  පේරාදෙණියේ සරසවියේ ගස් සෙවණකට යාම තමයි ඒකෙ තේරුම  ! )  

කාලය මැවූ වෙනසක අරුමේ ! ඒ කාලේ, ඔය පොඩි  පොඩි අරුමෝසම් කැබලි වලට ආස වුන තරුණ හිත, දැන් දුවන්නෙ ලොකු ලොකු හීන වලට. අපේ හීන ලොකු වෙද්දී හිත පුංචි වෙනවද මන්දා. පෙනුමට දක්වන සැලකිල්ල වගෙ පුංචි දේවල් අමතක වෙනවද මන්දා. සමහර වෙලාවට , පරණ යාලුවෙක් මග තොට මුණ ගැහුණම , පෙනුමට දක්වන නොසැලකිල්ල ගැන දොසක් අහන්න උනාම , උදේ පාන්දර කණ්නාඩිය ඉස්සරහා හිට ගත්තාම හෙම මතක්  වෙනවා , කාලයට මොන තරම් දේවල් කරන්න පුලුවන්ද කියලා. පොතකට කරන්න බැහැනේ හැමදේම.!  

ඒ හින්දම, එදා මම ගියේ , රුපලාවන්ය උපකරණ තියෙන සුපුරුදු ටොරින්ටන් සාප්පුවට.සිදාදියෙ කොයි තරම් අරුමෝසම් කඩ තිබුනත් අවුරුදු පහ හයක් තිස්සෙම , ටොරින්ටන් වෙලෙන්දන්ගෙ කචබච අස්සෙන් එකම සාප්පුවට ඇදෙන්නෙ එතැන මිනිසුන් පෙන්වන ලෙන්ගතු කම නිසයි.ඉතින් හිතවත්කම් අලුත් කරගන්නත් එක්ක මම එතනටම ගොඩ වැදුන.

"ආ මිස් කොහොමද , හුග කාලෙකින් නේද ? දැන් ආයිත් නුවරද ඉන්නෙ ?"  (නුවරට ඇවිත් අවුරුදු දෙකකුත් වෙන්න එනවා ! ) ඒ කියන්නේ ඒ අවුරුදු දෙක මම නාලම නැද්ද ?

ඔවුන්ට සුහද සිනහවෙන් සංග්රහ කරන ගමන් මම සාප්පුවෙ නානා ප්රකාර රාක්ක වෙත ඇස් යැවුවා. අලුත් අලුත් විලවුන් බෝතල් අතරින් , දෙවියනේ .... ඇහැට බොහොම හුරු පුරුදු තැඹිලි පාටක් ! අදහගන්න බැරි නිසාම තවත් ටිකක් ඇස් දෙක පිහදාල බැලුවෙ මම දකින්නෙ හීනයක්ද කියල.

'සැන් පව්ඩර් තෝරන  .. නෑ හරියටම කිව්වොත් සුවඳ විලවුන් තෝරන සාදුලා ! ? "

Image result for meditate

මගේ හිත මොහොතකට නිරුත්තර වුනේ , සාප්පු හිමියා අහන අනෙක් ප්රශ්න නෑසී යන ගමන් ! අඟල් තුන්කාලක් තරම  වැවුණු කොණ්ඩා රැවුල් ඇතිව, තැඹිලි පාටින් දිලිසි දිලිසි, බොහෝම තරුණ පහේ චීවරධාරී හාමුදුරුවරු තුන්දෙනෙක් මගෙ දිහාත් බිය මුසු ඇස් වලින් බලමින් , සැන්ට් කුප්පි තෝරනවා. ( ගැහැනු ලමයින්ගෙ සැන් කුප්පි ! ) ඔවුන්ට සහයට ඉන්න හිතවත් අනෙක්  සාප්පු සේවකයා මට නොපෙනෙන්න එකෙල මෙකෙල වෙනවා. මමත් ඉඳලා ඉඳලා  උඩරට තාලෙට ඔසරියක් හෙම ඇඳගෙන හිටිය නිසා ටිකක් බය වෙන්න ඇති.

මගෙ හිත සහ වත ගොළු වෙද්දී , හිත කිරි ගැහීගෙන අනුකම්පාවක්ද , දුකක්ද , නොමනාපයක්ද කියා හිතාගන්න බැරි මිශ්ර හැගීමක් ඇති වුනේ පුදුමයත් එක්ක මුසු වෙමින්. ඒත් අන්තිමේට.. නැහැ .. මුකුත්ම උනේ නැහැ . මම නිහඬවම බර වූ හිතින් සහ හිසින් සාප්පුවෙන් පිටතට ආවා.

නැවත ගෙදර එන ගමනෙදි මට දහසකුත් එකක් දේ කල්පනා වෙන්නට වුනා.

කුඩා කාලයේදීම , අනුන්ගේ උවමනාවට ගත මහණ කලා මිසක සිත මහණ නොකල තරුණ වයසේ පුහුදුන් මනුසත්වයෙකුට ආසාවන් පහල වේ නම් මම මොනවා කියන්නද? සැන් කුප්පිය දොහොත් මුදුන් දී වැඳ  බාර ගෙන , ඒ පුහුදුන් සිත සනසන ගැහැණු දරුවෙකුත් වේනම් ,සැන් කුප්පිය පුදන පිරිමි සිතට මා මොනවා කියන්නද? සැන් කුප්පිය විකුණා සිය ගනුදෙනුව හමාර කරනු මිසක , ඒ තරුණ හාමුදුවරුන්ට හොඳ නරක කියන්නට ගිහින් බැණුම් අසන්නට අකමැති සාප්පු හිමියාත් නිරුත්තර වේ නම් , මා මොනවා කියන්නද ?

“ නංගිට වෙන්න ඇති “ මගේ හිත මාවම සනසනවද මන්ද .. හිත තවමත් එතැන.. ලස්සන කොළයකින් එතු සැන්ට් බෝතලය රෙදි උරයේ සඟවාගෙන යන කහ සිවුරත් එක්ක මගේ හිතත් ගමන් කරනවා.

හැමදාම උදේට  උජාරුවට මට  හිනාවෙන , වැට අයිනේ  ඉද්ද ගහේ , ලස්සනට පිපී හිටිය මල්කිණිත්ත, හවස් වෙද්දි සොබාදමට අවනතව මැලවිලා  ගිහින්...හිනි සුළං රැල්ලකට වාරුවෙලා ඈ  අමාරුවෙන් හිස උස්සලා බැලුවේ , ගෙට ගොඩ වෙන දුව පිළිගන්න වියපත් අම්මා කෙනෙක් වගේ. ඉද්ද කිණිත්ත තරම්ම මගේ හිතත් පරවෙලා.

"අපරාදෙ , එයාලට පොඩි හරි  අවවාදයක් දෙන්න තිබ්බ "  රළු හඬක්  හිත ඇතුලේ මුමුණනවා.  

"පව්, තරුණ වයසේ අහිංසක ආසාවල්" අනුකම්පී සීතල සුළඟක් ඇවිත් ,අර  රළු හඬ ඈතට අරන් යනව.

"මුදලාලිට තිබ්බේ එයාලට සැන්ට් විකුනන්නෙ නැතුව ඉන්න”  සුළඟ අඩුවෙද්දී ගහකොළ ආයිත් නටන්න පටන් ගන්නවා.



"දවසම ටවුමේ ඇවිද්දද ? සෙරෙප්පු දෙකේ හොඳටම දූවිලි. දෙන්න හෝදලා  දාන්න !"
ගෙට ගොඩවෙන්න කලින්  ගලවන සෙරෙප්පුවේ කුණු පැල්ලම් මට කලින් පෙනුනේ අම්මාට.  

නිරුවත් දෙපා  සීතල පොලව වැළද ගනිද්දී දැනෙන සැහැල්ලුව ! ආ .. අලුත් සුවඳක් .. අර කලින් කී සෙන්ට් කුප්පියවත්ද ? නැහැ . අම්මා පහන තියන්න ඇති.ඒ අපේ අම්මා අලුතෙන් ගෙනාව සඳුන් කූරු වල සුවඳ.......

Image result

Sunday, October 02, 2016

[333] අනුකම්පා කලා නෙවෙයි ,මට ඇත්තටම දුක හිතුනා කරූ සර්...


ගොඩක් වෙලාවට සත්පුරුෂයින් ගැන හොඳ දෙයක් ලියද්දි කතාව බොහෝ විකෘති කරන්නට උවමනා වෙන්නෙ නැහැ. මේ ඊයෙ පෙරේදා ලිව්ව අර පොඩි සුරංගනාවිගෙ කතාව මතකනෙ. ඇය ඒ ලිපිය කියෙව්වද නැද්ද කියන්න මම දන්නේ නැහැ. ඒ කෙසේ වෙතත්, ඇයටවත් , ඒ අවන්හල් හිමියටවත් , අපටවත් ලිවීමෙන් කිසිම හානියක් වෙන්නෙ නැහැනෙ. ඒත් මම දැන් සති දෙක තුනක් තිස්සෙ , මේ අද මම ලියන්නට යන කතාව ලියනවාද නැද්ද කියා හිත වෙහෙසමින් කල්පනා කලා. මේ කතාව මට පැවසුව  මගේ හිතවත් මිත්‍රයාට , මට හෝ මේ කතානායක ගුරුතුමාට හානියක් නොවී එය ලියන්නේ කෙසේදැයි මම පැය ගණනක් කල්පනා කළා. අන්තිමේට කල්පනාවට තිත තියලා, ඔන්න මම අද ඒ කතාව ලියනවා, මගේ යාලුවා කියුව වචන වලින්ම ...


කරුණාත්න සර්...

මම කරු සර්ව මුලින්ම දැක්කෙ මීට අවුරුදු 18 කට විතර ඉස්සර. ඒ මම  ඕලෙවල් කරලා ගෙදර ඉන්න කාලෙ, නිකම් ඉන්න බැරි කමට මම එකවුන්ට්ස් කෝස් එකක් කලා. සර් තමයි එතන ලොක්කා- මැනේජර්. හරිම උස මහත ගරු ගාම්භීර පෙනුමක් එයාට තිබුනෙ. වැඩියේ හිනා වෙන්නේ නැති, ඒත් නපුරු පෙනුමකුත් නැති. අපි ඇකඩමියේ කතා කලේ උගන්වන පන්තියෙ ටීචර්ට විතරයි. කරු සර් හිටියෙ එයාටම වෙන් වෙච්චි ලොකු කාමරේක. එයා ආවෙ ගියෙ ඒ සමාගමෙන් ලබා දුන්නු ඩෙලිකා වෑන් එකක. අපේ ඇකඩමිය තමයි ඒ පලාතෙ අංක එකේ වාණිජ ඇකඩමිය. ඒ නිසා කරූ සර්ට පලාතෙම ලොකු පිලිගැනීමක්, ගරුත්වයක් ගොඩ නැගිලා තිබුනා. අපි එහෙම සර්ගෙ කාමරේ ඉස්සරහින් ගියෙත් පැයට කිලෝමීටර් සීයේ වේගයෙන්. සර්ගෙ වැඩි කතා බහක් නැහැ. අපි ඉතින් පොඩි ඇච්චො බැච්චොනෙ. සර් අපිට කිසිම දවසක සැර වැර කරල නැති උනත් අපි හැමෝම සර්ගෙ ‍රැස් වලල්ලට බයයි. සර්ගේ දුවට ඒ කාලෙ අවුරුදු තුනක් විතර ඇති.

කාලය ඉගිලිලා ගියා . අපි එතැන අවුරුදු කීපයක් ඉගෙනගෙන උපාධි අරගෙන අපේ ලෝක වලට ඉගිලිලා ගියා. අපි වෙනස් වෙන වේගෙන්ම ලෝකයත් වෙනස් වුනා. සීමිත ඉගෙනුම් අවස්ථා වලට පමණක් දොර ඇරිලා තිබුන අපේ නගරයට, එක එක මාදිලියේ ඉගෙනුම් ආයතන ආවා. සමහර ආයතන ඇරුන වේගෙන්ම වැහිල ගියා. සමහර ආයතන ලොකු රූස්ස ගස් වගේ අපේ පොලොවට මුල් ඇදුනා. අපේ මතක ගොඩක් දරාගෙන විරාජ මාන උන  පතාක යෝධයෙක් වගේ හිටි මේ වාණිජ උසස් අධ්‍යාපන ආයතනයට කණ කොකා හඬලා කියලා අපි දැන ගත්තෙ ගොඩාක් කල් ගියාට පස්සෙ.


බලාගෙන ඉන්දැද්දි අපේ දෙවෙනි ඉස්කෝලෙට එන ලමයින් ගණන අඩුවෙන්න උනා. අලුතෙන් වැඩට ගත් ලාබාල ගුරුවර ගුරුවරියො ගැන එක එක කයි කතන්දර හැදෙන්නට ගත්තා. නගරයෙ දෙමව්පියන්ගෙ නොමඳ විස්වාසයක් දිනාගෙන සිටි මේ පාසලට එන්න එන්නම ළමයින් එන එක අඩු වෙන්නට පටන් ගත්තා. සමහරු කිවුවා ඒකට හේතුව කරුණාරත්න සර්ගෙ අසාර්ථක කලමණාකාරිත්වය කියලා. සමහරු කිවුවා ඒකට කරුණාරත්න සර්ට කරන්න දෙයක් නැහැ , තරඟකාරී වෙනත් ආයතන තමයි වග කියන්න ඕනි කියලා.  තව සමහරු කිව්වෙ අපේ ආයතනය නඩුවකට පැටලිලා කියලා. තව සමහරු කිව්වේ ඉහල කළමණාකාරිත්වය දෙකට බෙදිලා ආයතනය දෙකඩ වෙන්න යන නිසා අපේ පන්තියට කණ කොකා හැඬුවා කියලා. අද අපි මේ ගෙවන සැපවත් අනාගතයට මූලික අඩිතාලම දැමුව අපේ දෙවෙනි පාසලට මේ වේගෙන යන වින්නැහිය දිහා බලන් ඉන්නට කල් වෙලා නොතිබූ අප ආපහු ඒ ගැන හොයා බලන කාලේ වෙද්දී , වෙන්න තියන දේ වෙලා ඉවරයි.

කාලය ඉගිලිලා අවුරුදු පහළොවක් විස්සක් ගියාම ලෝකය වෙනස් වෙන එක අහන්නත් දෙයක්ද නේද? අපි දැන් ළමා ලපටි ඉන්න පවුල් පන්සල් කාරයෝ.මම බිරිඳයි දුවයි එක්ක පිටරට ඉඳල ලංකාවට ආවෙ මාස තුනක නිවාඩුවක් ගත කරන්න. අපි දුක් මාන්සියෙන් හරි හම්බ කළ දේවල් වලින් අපේ දුප්පත් පවුලුත් යම් මට්ටමකට ඔලුව ඉස්සුවා.ආයිමත් ලංකාවෙ පොළවෙ පය ගහලා,  පුරුදු ගම් දනව්වෙ ඇවිදිනකොට දැනුන සනීපෙ නම් කියල වැඩක් නෑ. දවසක් මම පයින්ම එලියට බැස්සේ හිතේ හැටියට පරණ මතක අවදි කරගන්න. රට තොට වෙනස් වී තියන හැටි බලන්න. සොච්චම් කාසි ටිකක් අතට අරගෙන එදා අපි පන්ති විවේකයේ දුවන් ගිය පේස්ට්‍රි ශොප් එක තියන තැන දැන් මහ බරපතල සුපර් මාකට් එකක්. එතැන තිබ්බ රූස්ස ගහේ අතු කෑල්ලක්වත් පේන්න නැති නිසා බස් එකෙන් බහින තැන හොයා ගත්තෙත් අමාරුවෙන්. අපේ ඉපැරණි පෙම් මතක තැවරුනු දෙවෙනි ඉස්කෝලෙ කෝ ? සලකුණක්වත් පේන්න නැහැ. අද එතැන තියෙන්නෙ ලොකු නිමි ඇඳුම් සාප්පුවක්. 
අපේක්ෂා භංගව ගිය  මම බස් නැවතුමට පිය මැන්නෙ හිස් වූ හදවතින්. සතියක් දෙකක් ගෙවිලා ගියා. ආයිමත් දවසක නගරයට ගිය මම නගරයෙ එක්තරා ප්‍රසිද්ද බස් නැවතුමක බසයක් එනතුරු බලාගෙන හිටියා. එදා මම ටිකක ඇඳ පැලඳන් හිටියෙ බටහිර පන්නෙට සැහැල්ලු ඇදුමක්. වට පිට බලද්දි මම ඈත තියා හෙමි හෙමි අඩි තියාගෙන එන සුපුරුදු උස මහත රූපකායක් දැක්කේ අහම්බෙන්. ටිකක් පරණ වූ කන්තෝරු  බැගයක් එල්ලාගෙන , පාරෙ මා ඉන්නා පැත්තෙන්ම මා ඉන්නා දිහාවට ඇවිදගෙන එන්නෙ 'අපේ කරුණාරත්න සර්!!' . මට දැනුනේ දුකක්ද සතුටක්ද කියලා හිතාගන්න බැහැ. 

අපේ ජීවිත මේ තරම් ඉහළට නැග්ගූ පතාක යෝධයා ව යලිත් දකින්න ලැබීම මොන තරම් සතුටක්ද? අනේ සර් , සර්ල නිසයි අපි මෙහෙම ඉන්නේ කියන්න ලැබෙන උතුම් මොහොත ! ඒත් සර්ගේ දර්ශනය ලං වෙන්න ලංවෙන්න මගේ ප්‍රීති උන්මාදය මහා කම්පනයකට පෙරලීගෙන එන බවක් මට දැනෙන්නට වුනා. පපුව හෝස් ගා ඇවිලෙන්නට වුනා. මුහුණ දුන් කම්කටොලු නිසාවෙන්දෝ සැබෑ වයසට වඩා වේගෙන් මහලුව ගොස් සිටි ඔහු , බිමට බා ගත් හිසින් , දහඩිය වගුරමින් පයින්ම බස් නැවතුමට ඇවිද එමින් සිටියේ වයසක කන්තෝරු මහතෙකු  වගේ. කාර්යාල සහයකයා වාහනයෙන් බාගත් කන්තෝරු බැගයද ගෙන  පිටුපසින් ඇදෙද්දී , ගම්භිර පෙනුමෙන් තෙජස්වත් අඩි තබා අපේ දෙවෙනි ඉස්කොලයට ආ කරුණාරත්න සර් කෙනෙක් මිස , මෙවන් කරුණාරත්න  සර් කෙනෙක් මගේ මනෝ දර්ශනයේ කිසිදාක ඇඳී තිබුනේ නැහැ.

ලෝකය කොයි තරම් කුරිරුද? හොඳ හිත් ඇති සත්පුරුෂයින්  දඩමීමා කොටගත් නොමිනිසුන් , කරුණාර්ත්න සර්ලා කී දෙනෙකුගේ අහිංසක ජීවිත දඟ ගෙයි ලන්නට ඇද්ද? මහ පාරට ඇද දමන්නට ඇද්ද? සිය සුඛෝපභෝගී ජීවිත දුක්ඛිත දුගී බවට පත් කරන්නට ඇද්ද? අහිංසක දුවා දරුවන්ගේ ජීවිත වියවුලෙන් වියවුලට පත් කරන්නට ඇද්ද ! සංසාර චක්‍රය කොයිතරම් අද්භූත අයුරෙන් කැරකෙන්නේද? මට හිතාගන්නට බැහැ. අපි කිසිදාක නොදු‍ටු තරම් බිමට බා ගත් හිසින් යුතුව දහඩිය ගංගාවක් වගුරමින් , අපේ කරූ සර් මා සිටින නැවතුම වෙත ඇවිද එන අයුරු දකින්නට මා පව් කොට තිබු තරම !  මා හඳුනාගත් නිසාවෙන්දෝ , බස් නැවතුම කරා නෑවිත් , ඔහු මට අඩි විස්සක් තිහක් එපිට තියා පාර මාරු වූ අයුරු මා බලා සිටියේ මහත් වූ වේදනාවෙන්.

සර් මට මුහුණ නොදී මග හැර ගිය හෙයින් මගේ වේදනාව තවත් වැඩි වුනා. 'සර් සර්ට කොහොමදැයි' මා ඇසුවොත් ඔහුට අකම්පිතව සිනහසී දෙන්නට පිලිතුරක් නොමැති නිසා වන්නට ඇති ඔහු මට මුහුණ නොදෙන්නට ඇත්තේ.. . එහෙත් හේතුවක් රහිතවම , මට දැනුනේ මහ  වරදකාරී හැඟීමක්. කම්පාවක්.
ලංකාවේ ගතවූ සති කිහිපයේදී, අපේ කරූ සර්ට පසුගිය කාලයේ සිදුවූ  බොහෝ දෑ මිතුරු මිතුරියන් හරහා මට දැනගන්නට ලැබුනා. ආයතනය රැක ගන්නට උරදී ,ඔහු කරදරයේ වැ‍ටුනු විටදී වත්, ඉන් පසු බලවත් සේ ගිලන්වූ විටදීවත් , එතෙක් ඔහු විඳි සුඛෝපභෝගී ජීවිතය ඔහුගේ සතුරන් විසින් අහිමි කල යුගයෙදීවත් , කරු සර්ගේ හිත හැදෙන්නට එක වදනක් හෝ පවසන්නට මා පින් කොට තිබුනේ නැහැ. සර්ගේ පුද්ගලික හිතවතෙක් නොවුනත් , ඔහුගේ සෙවණේ උගත් දේ නිසා , මා අද දෙපයින් සිටගෙන ජීවත් වන බව මට අමතක වී තිබුනේ නැහැ. සිය පදවි තානාන්තර යාන වාහන අහිමිව ගියත් , ඔහු නිරෝගී සුව ලැබූ පසුව , එතරම් ඉහල නැතත් , හොඳ රැකියාවක් කරගෙන නිහඬ සාමකාමී ජිවිතයක් අද ගත කරන බව ඇසු මගේ හිතට දැනුනේ මහා සැනසිල්ලක්.


කාලය තවත් සතියක් දෙකක් ගෙවී ගියා. මව්බිම අතහැර ආපහු යන දිනයත් ලං ලංව ආවා. මම බිරින්දෑව වාහනයේ නංවාගෙන සාප්පු සංචාරයක් අවසන් කරමින්, පෙර දා කරු සර් හමුවූ බස් නැවතුම පසු කර යමින් සිටියා. පෙරකී සිදුවීමෙන් පසු , ඒ බස් නැවතුම පසු වූ හැම දිනෙකම මට කරූ සර්ව මතක් වුනා. ඒ හැම විටකම ලෝකය පිලිබඳ කලකිරීමක් වැනි හැඟීමක් හිතට ඇතුල් වුනා. අදත් එතැන පසු කර යද්දී මට එදෙස බැලුනේ ඉබේටම. 

කරූ සර්! 

අර සුපුරුදු කන්තෝරු බෑගය අතකින් ගෙන, අනෙක් අතින් සිය තරුණ දියණිය අල්වාගත් කරූ සර් බසයක් එනතුරු බලා සිටියා. ඔහුත් දියණියත් පසු කර යන රථයේ හුන් අප හඳුනා ගත් කරු සර් , විස්තර කරන්නට නොහැකි මහා හිස්  හැඟීමකින් බලා සිටිනු මා ඉදිරි කන්ණාඩියෙන් දු‍ටුවා. 

"අක්කා, සමහර වෙලාවල් වලදී අපි විඳින සම්පත් අපිට ආභරණයක්, පහසුවක් වෙනවා තමයි. ආඩම්බරයකුත් වෙනවා තමයි. ඒත් එදා කරුණාරත්න සර් බස් ස්ටෑන්ඩ් එකේ දුවත් එක්ක  හිටගෙන මං දිහා බලා හිටි වෙලාවේ , අනේ ඇත්තමයි මට මහ පාර මැද්දේ වාහනේ නතර කරලා බැහැල යන්න හිතුන අක්කේ." 

කෙනෙකුට ඔලොක්කු සිනහවක් නැගෙන්නට තරම් ඉතා සුලු කෙටි සිදුවීමක් ලෙස ඇතැම් විට සිතෙතත් , මගේ මිතුරා  එය පැවසූ හඩෙහි  තිබු සංවේදී බව , ගැඹුර සහ සියුම් වේදනාව එකට ගත් කල එය ලිවීමට නොයිවසිල්ලක් මා සිතේ හට ගැනුනා. එය මිනිස්කම , සංසාර ගමන සහ කෘතවේදීත්වය පිලිබඳ අතිශය සංවේදී සටහනකැයි හැඟුණ නිසා, ඔබටද කියවා පහන් සංවේගය උපදවා ගනු පිණිස මා මෙහි එය ලියා තැබුවා. 

මා දැක නැති කරු සර්ට , 

නේක අවගුණ පිරුන දුර්දන
ඔබව හැර ගොස් ඔබව පෙලු මුත්
අපේ ලොව තැනු  ගුරු පියාණෙනි
අපට නම් ඔබ රජෙකි තවමත්..


Wednesday, September 28, 2016

[332] ටිකක් සංකර සුරංගනාවියක් සහ පින්පෙත් ගැන කතාවක්


දැන් මම වැඩ කරන තැන ඉන්නෙ ගොඩාක් පොශ් නැති , ඒ වගේම ලොකු දරිද්‍රතාවයකුත් නැති , මධ්‍යම පන්තික ලමා ලපටි.ඉතින් මේ  කියන්න යන්නෙ ලඟදි සිද්ද  වෙච්චි , පුංචි ඇත්ත කතාවක්. පොඩ්ඩක් විතර  සංකර , ඒත් හිත  ලස්සන සුරංගනාවියක් ගැන. හැබැයි මේක සුරංගනා කතාවක් නම් නෙවෙයි .

එදා මමයි මගෙ යහලුවයි ගියා අසල කඩයට තේ එකක් බොන්න. ඒ පොඩි තේ පැන් සල කරගෙන යන්නෙ මැදි  විය පසුකරමින් ඉන්න යුවලක්. තැන පොඩි උනත් අපි එතන අත්  නොහරින්නේ, ඒ දෙදෙනාගේ ප්‍රසන්න හැසිරීමත් , එතැන පිරිසිදු කමත්, ප්‍රණීත කෑමත් නිසා. ඒ විතරක් නොවෙයි , ඒ කරුණාවන්ත මාපිය යුවල වේදිකා නාට්‍ය නරඹන්න දක්වන්නෙ බොහොම කැමත්තක්. ඒ වගේම ජාතික  රූපවාහිනියෙ 'සිහිනයකි රෑ' , ITN එකේ 'දොරමඬලාව' හෙම නරඹන, අපූරු කලා රසිකයන්  වූ ඒ දෙදෙනා එක්ක තේ බොනවාට  වඩා, මම විඳින්නේ සාහිත්‍ය රසය කිව්වොත් නිවැරදියි . සංගීතය, ටෙලි නාට්‍ය, සිනමාව , වේදිකාව යනාදිය  පිලිබඳව ඇතිවෙන රසවත් සහ උණුසුම් කතා බහෙන් පෙනී යන්නෙ ඔවුන් දෙදෙනා සිතෙන් නම් අප බොහෝ දෙනාට වඩා තරුණ බවයි.

ඔන්න මේ කියන දවසේ උදේ, අපි තේ බොන්න යනකොට , අපේ ආයතනයෙම ඉගෙන ගන්න ගැහැණු දැරිවියන් පිරිසකුත්  තේ බොන්න ඇවිත්. ඔවුන්ටත් සිනහවකින් සංග්‍රහ කල අපි ආහාර ඇණවුම් කර ,  කට ගන්නටත් පෙර වයසක අම්මා කෙනෙකුගේ කටහඬක් පි‍ටුපසින් ඇහෙන්නට උනා.

"අනේ දුවේ , මට කහට එකක් අරන් දෙන්න . මම මේ ඉස්පිරිතාලෙ ඉඳලා එන්නේ, සීනි නැතුව හරි කමක් නෑ"

සුදු ඇඳගත් , කෙසඟ වයසක අත්තම්මා කෙනෙක් බීමට  යමක් ඉල්ලනවා. ඇගේ දුක්බර ආයාචනාවට අපේ හිතත් උණු වුනා. ඒත් අපේ අත් පසුම්බි වෙත ඇදෙන්නට පළමුව, එහා මේසයේ ඉඳගෙන හිටි අපේ ආයතනයෙ ඉගෙන ගන්න ලස්සන සුරංගනාවියක් ඉස්සර වුනා. ඈ වැඩි කලබලයක් නැතුව , අවන්හල් හිමියා වෙත හැරී ,

මේ ඇන්ටිට කේක් කැල්ලකුයි කිරි තේ එකකුයි දෙන්න" 
කියා බොහොම සන්සුන්ව පවසනු  අපි බලා හිටියේ මහත් වූ පහන් හැඟීමෙන්.

අර වයසක අම්මා වෙත ගිය අපේ සුරංගනාවිය, ඇය මේසයක් අසල හිඳුවා කවුන්ටරය වෙත ගියා. අවන්හල් හිමියාටවත් වේටරකම් කරන්නට නොදී, අපේ සුරංගනාවියම,  ඇය ඇනවුම් කල කේක් කෑල්ල සහ තේ කෝප්පය දෙවරකට දෝතින් ගත්ත. ඇගේ අත් දෙකෙන්ම තේ කෝප්පය සහ කේක් කෑල්ල ගත් මේ දැරිවිය,වන්දනාමානයක් කරන තරම් භක්තියකින්  ආත්තම්මාට එය පිරිනැමුවා. ඒ දු‍ටු අපේ ඇසුත් තෙත් වුනා. දැන් කාලයේ හැදෙන පරපුර, අසරණයෙකු වෙනුවෙන් හිත ලෙහෙසියෙන් උණු නොවෙන මොරෝම ගති ඇතියවුන්ය කියන අය වෙත පෙන්වන්නට, මේ සංකර  කුඩා කෙල්ල පෙන්වූ දයාව  මට කැමරාවකට හසු කරගන්නට හැකි වුවා නම්....  අසරණයකුට උදව් කිරීමෙන් හෝ අනුකම්පා කිරීමෙන්  ඔබ්බට ගොස්,තේ කෝප්පය සහ කේක් කැබැල්ල අර වයසක අම්මාට පිරිනැමීමේදී ඇය දැක්වූ භක්තිය මෙන්ම  ගරුත්වය අදටත් මගේ සිතේ නොමැකෙන ලෙසින් සටහන්ව තිබෙනවා.

කේක් කැබැල්ලත් කා තේ කෝප්පයත් බිවු අර වයසක අම්මා නැගිට්ටේ ඇයගේ කුස නිවූ අර ටිකක් සංකර සුරන්ගනාවියට පින් පෙත් දෙමින්. ඇගේ පුණ්‍යානුමෝදනාව අසන්නට එතන අපේ සුරංගනාවිය නැවතී සිටියේ නැහැ. ඒ වෙන විටත් ඇය නිහඬවම බිල ගෙවා විවේකයෙන් පසුව පටන් ගන්නා පන්තිය වෙත නික්ම ගිහින්..

මේ ජවනිකාව නිහඬව නරඹන ගමන් තේ බොමින්, මමත් මගේ මිතුරියත්  අර කුඩා සිදුවීම ගැන සිතමින් සිටි සිතිවිලි දාමය බිඳී ගියේ, අපේ අවන්හල් හිමියාගේ කටහඬින්.

“මිස් , ඔහොම හිටියට ඔය ගෑනු මනුස්සය හරිම නපුරුයි, නරකයි. පාර තොට කියලා බලන්නේ නැහැ, වටපිට ඉන්නේ කවුද,  පොඩි ළමයි යන එනවද බලන්නේ නැහැ, කුණුහරුප තමයි කිව්වොත් කියන්නේ. අහන් ඉන්න බැහැ මිස් එයා කියන එවුවා. මම හිතන්නේ ටිකක් මොලය අවුල් වෙලා ඇති. පව් ඉතින් මොකක් හරි ප්‍රශ්නයක් ඇතිනේ. ඒ මොකුත් නොදැන , අර ගෑණු ළමයා හොඳ හිතින් දීපු දේනේ.. ඒ නිසා මම මොකුත් කිව්වේ නැහැ. මොකද එහෙම මොකුත් කිව්වා නම්, ඒ ළමය ආයිත් කවදාවත් එහෙම හොඳ දෙයක් කරන්න හිතන්නේ නැති වෙයිනෙ. ඒකයි මම සද්ද නැතුව හිටියේ . නැතිනම් මම ඔය මනුස්සයව කඩේ ඇතුලටවත්  ගන්නෙ නැහැ , කුණුහරුප කියන නිසා.”

අර සුරංගනාවිය පෙන්වූ මානව දයාවෙන් හද උණුවී සිටි අප දෙදෙනාගේ හදවත් මොහොතකට ඝනීභවනය වූ බවක් දැනුනා...

තමා  දුක් මහන්සියෙන් හරි හම්බ කල ධනය,  හද ඔකඳ වූ ශ්‍රධාවෙන් පරිත්‍යාග කරන අපේ කාලයේ අනේ පිඬු සිටුවරු මේ රටේ නැතුව නොවෙයි. මේ  සුරංගනාවියගේ පුංචි  රුපියල් පනහේ සිට පොහොසත් දානපතියන්ගේ බිලියන ගණන් කහවණු පරිත්‍යාග පිලිබඳ මහත් වූ කම්පාවක් නම් හිතට නැගුන බව නොකියා සිටිය නොහැකියි. .....

නොමේරු ලපටි හදවතක ඉපිදෙන මානව දයාව පිලිබඳව, මේරු අපේ  මනස ධන හා සෘණ පැතිකඩ ගැඹුරෙන් විශ්ලේෂණය කරද්දී, අර සුරංගනාවිය නම්  තමා කළ කුඩා පරිත්‍යාගය පිලිබඳ සතුටු සිතින්, පන්ති කාමරයට වී දේශනයට සවන් දෙමින් ඇතැයි කියා මට සිහියට නැගුනා. කෙසේ වුවත්, ජිවිතයේ යථාර්තය වටහා දෙන්නට ගොස් , ඒ සුරංගනාවියගේ පින් සිත තලන්නට තරම් අනුවණ නොවීම පිලිබඳ මා අවන්හල් හිමියාට පින් අනුමොදනා කළා.

“Not   All   of   Us   Can   Do   Great   Things , But   We   Can   Do Small   Things   With   Great   Love  ”
Mother Teresa


Saturday, May 21, 2016

[331] අපට සෙනේ ඇති බෝසත් ගිජි‍ඳෙකු, කවදද දෙදණ නමන්නේ ?


රජ පෙරහැර මැද ඇතා නටනවා දා කරඬුව ඇල වෙනවා දෙදහස් වසරක් රෑකගත් කරඬුව දෙවියනි හද කකියනවා ! අපට සෙනේ ඇති බෝසත් ගිජි‍ඳෙකු කවදද දෙදණ නමන්නේ ? විලංගු ලා ලා , ඇතු බැඳ දමලා සැනසුම් සුසුම් හෙලන්නේ කොඩි කුඩ සේසත් පාවඩ තිබුනත් කොහොමද රජ පෙරහැර යන්නේ ? උත්තම කරඬුව දෝත දරාගෙන පාර කොනේ අපි ඉන්නේ අපට සෙනේ ඇති බෝසත් ගිජි‍ඳෙකු කවදද දෙදණ නමන්නේ ? පෙරහැර රජ දැක්මකි. මහා මෙන්ම කුඩා රජවරුද ඔ‍ටුන්න හිමි කුමරවරුද වඩින මහා මංගල්‍යයකි. එහෙත් දෙදහස් වසරක් අප මුතුන් මිත්තන් ලේ කඳුලු දහඩිය හෙලමින් ‍රැකගත් හෙල මුදුන්මල්කඩ වන් දා කරඬුවට මේ අප- තාල ඔබින්නේ නැතිය. එම උත්තම දා කරඬුව හද බැතින් දරා පාර කොනේ සාධු නද දෙන අපට මේ පෙරහැර ගෙනෙන්නේ වේදනාවකි. එවන් විපතේ හෙලී සිටින දේශයේ අනාගතය පිලිබඳ කකියන ලෙයින් යුතුව , සුවහසක් පොදු මිනිසුන් ඉදිරියේ ඉදිරියේ දෙදණ නමන රජි‍ඳෙකු කොයින්ද? එක් අතකින් බලන කල , විලංගු ලා අත පය බැඳ දැමූ ඇතෙකුගෙන් බෝසත් ඇත් ගිජි‍ඳෙකුගේ තේජස අප කෙසේ නම් බලාපොරොත්තු වන්නද ? නෙක විල්ලුද පලස් ඇතුරුනද , එයට රජ පෙරහැරකැයි කියන්නේ කෙසේද? හිස දරා සිටින උතුම් කරඬුව හද බැතින් රජ තේජසින් වඩමවන්නට දේශයක ජීවනාලිය වන් තරුණන්ගේ විලංගූ ලූ ප්‍රාර්ථානාවන්ට හැකි වේවිද? ගිජිඳුන්ගේ හිස් වූ, නටන ඇතුන්ගෙන්ම නොසිස්වූ රජ පෙරහැර දකින්නට දොහොත් මුදුන් දී අප පාර කොනේ පෙල ගැසී සිටින්නෙමු. තවමත් අප ඒ බෝසත් ගිජි‍ඳෙකු බිහිවන දිනය එන තුරු ඇඟිලි ගනිමින් මග බලා සිටින්නෙමු. ගීතය ගයන්නේ : සුනිල් එදිරිසිංහ 
ගීතය


Tuesday, May 17, 2016

[330] මල් පිපිලා.. සාදු කියන්න මැණිකේ...


මල් පිපිලා එදා වගෙම , බලන්න මැණිකේ
බමරු ඇදෙනවා සුලඟට සතර දිගන්තේ
තරහ නොගෙන සාදු සාදු කියන්න මැණිකේ


එදා අපට පෙම්වත් සඳ , අද දරුවන්ටයි
ගලා හැලෙන නිල් ඇල දොළ පෙම් කවියක් වෙයි
එදා අප වෙලී ගියමග , මෙදා උන් බැඳී යන සඳ
තරහ නොගන්ටයි


කෝඩුකාර පෙම්බස් දැන් ඉතින් ඔවුන්ටයි
රෑට පිපෙන තරුමල්වල රේණු ගනින්ටයි
එදා අපෙ හීන මාලිග මෙදා උන් තනා ගත් සඳ
තරහ නොගන්ටයි...

මැණිකේ.. බලන්න මේ පන්සල් බිමට ඇදෙන පියගැට පෙළ දිගට තියන මල් ... එදා වගෙම අදත් මල් පිපී කොයිතරම් සුන්දරද ? සුලං සමග දසත ඇදෙන සුවඳ සොයාගෙන , අර බලන්න බඹරු එන ලස්සන ! එපා මැණිකේ ඉරිසියා කරන්නට, එපා තරහා ගන්නට. අපටත් තිබුනා නොවැ ඔහොම කාලයක් !  'සාදු සාදු' කියා පිපෙන මල් වලටත් මල් රොන් ගන්නට එන බඹරුන්ටත් සෙත් පතන්න සොඳුරිය ...

මතකද , අප කොයි තරම් සඳ පහන යට හිඳ පෙම් බස් දෙඩුවාද? දැන් ඉතින් අප මහලුයි. සඳ නම් තාම තරුණයි , ඒ  එදා සඳමයි. බලන්න හඳ මෝරන ලස්සන ! ඒ සඳ පහන යට පෙම්බස් දොඩන  තරුණ දූ  පුතුන් දිහා එපා වපරැහින්  බලන්න ඔහොම. එදා අප අත් පටලගෙන ආදරයෙන් ඇවිද ගිය පෙම් මග, අද අපේ දූ දරුවන් ඇවිද යනු ඇති. එපා රෝස පරොස් වන්නට. දයාවෙන් උන් දකින්න මැණිකේ, අමනාප ගන්නට එපා මා සොඳුරිය ....

සුරතල් පෙම්  බස් , කෙලි කවට සිනා දඟ කම් දැන් අයිති ඔවුන්ගේ ලෝකයටයි. මැණිකේ අපි දැන් වයසයි... රාත්‍රිය ඔවුන්ටයි. මේ අපේ දූ දරුවන් පෙම් කරන යුගයයි. මැණිකේ ඇත්ත අපිටත් තිබ්බා ලස්සන හීන මාලිග, අපිත් දු‍ටුවා ලොකු ලොකු හීන. මට දුකයි , නුඹේ හැම හීනයක්ම මට සැබෑ කරන්නට බැරිවුනා , ඇත්තයි ... ඒත් අද අපේ පොඩි එවුන්වත් ඒ හීන ඉ‍ටු කර ගත්තාවේ මැණිකේ.. උන් ඒ මාලිගා තනා ගත්තාවේ. තරහ ගන්නෙපා , ඉරිසියා කරන්නත් එපා , අපි දැන් වයසයි සොදුරී.. අපි උන් දිහා උපේක්ෂාවෙන් බලා ඉඳිමු. උන්ට සෙත් පතමු.
.....

එදා තමන් විඳි ආලවන්ත යුග දිවියෙහි කඩ ඉම් පසු කොට දැන් ජීවිතයේ සැඳෑ සමයට පිය නැගූ මහලු වියපත් යුවලක් පන්සල් පියගැට පෙළක් හෙමි හෙමින් නගිනායුරු මගේ මනෝ පථයෙහි දර්ශනය වෙයි. සිය වීයපත් ප්‍රියාදරියට , ඒ ගැන තරහ නොගන්නැයි මහත් සෙනෙහෙන් ආලයෙන් වටහා දෙන මහලු ස්වාමියෙකු මට මැවී පෙනෙයි. ආලයෙන් බැඳුනු සුවහසක් පෙම්වත් තරුණන් දෙස මහත් වූ උපේක්ෂාව, මුදිතාව පෙරදැරිව බලා සිටින ඒ මහලු බෝසත් තාත්තා මේ කියන්නේ ජීවිතයේ යථාර්තය නොවේද ?


සුනිල් එදිරිසිංහයන්ගේ ලයාන්විත හඬ මේ දුලබ පද පෙලට මුසුව , මේ විනිවිද දකින්නේ ජීවිතයයි. යථාර්තයයි. 

ගීය ගයන්නේ : සුනිල් එදිරිසිංහ  ( ගීය අහන්න )

Tuesday, April 26, 2016

[329] කොල්ලා සහ බල්ලා


මේ සැරසෙන්නේ , වසර කිහිපයකට උඩදී මා විසින් ඔබට කරන ලද වංචාවක් හෙලිදරව් කිරීමටය . අතේ වලල්ලක් පැලැඳි සාන්තුවරයකු ගැන මා ඔබට කීවා මතකද ? මට සමාවන්න , සැබෑවක්  යැයි ගහ පහ දිදී මා එදා ඔබට කීවේ ප්‍රබන්ධ  කතාවකි. කොලඹ මහ අතුරුපාරක් අයිනේ ලොරියකට බෙල්ල තැබූ බල්ලෙක් සිටියේ නැත. ඒ හපු‍ටු බල්ලා සෙනෙහෙන් වඩාගෙන පාර අයිනෙත් තැබූ, කොණ්ඩය දිගට වැවූ, ලැප්ටොප් බෑගයක් කර පැලඳි කොල්ලෙක්ද සිටියේ නැත. සමාවන්න ...

ඒ හා ලඟින් යන හෝ සිදුවීම් මාත්‍රයක් මගේ හිතේ ‍රැව් දුනි නම් ඒ crispyය . crispy යනු මීට පහළොස් වසරකට පමණ පෙර අපේ නිවසේ සිටි සුරතල් බල්ලාය. අමුතුම ගතිගුණ හා ගායක් තිබූ ඔහු අකැමතිම දෙය වූයේ අප නිවසින් පිට යාමය. ඔහු තනිකර දමා යාමට අප සියල්ලන් නිවසින් පිටව වාහනයට නැග ගන්නා විට , ඔහු අප මග හරස් කරමින් ඉදිරිපස රෝදයට බෙල්ල තබාගෙන සිටින්නට අද්භූත පුරුද්දක් ඇති කරගෙන සිටියේය. ඉදින් සාන්තුවර කතාවේ බල්ලාගේ කතා බීජය එයය. 

එතකොට කොල්ලා ? 

ඒ කොල්ලා මැවුනේ මගේ සිතේය. නමුදු එවන් කොල්ලන්  හිසේ කෙස් ගානට , මා රාජකාරි කරන තරමක් බටහිරට නැඹුරු පරිසරයෙහි දැක ඇත්තෙමි. නමුත් පසුගිය මාසයේ මැද මට ඒ කොල්ලාද මුණ ගැසුනේය. බූස කොණ්ඩය කර තෙක් වවාගත්, ‍රැවුල අපිලිවෙලට කපන ලද , කමිසය උඩින් දමා හපු‍ටු ඩෙනිමක් ලාගෙන , ලැප්ටොප් බෑගයක් කරෙහි හරහට දමාගෙන තරමක් මාන්දමික ස්වරූපයෙන් ගමන් බිමන් යන කොල්ලෙකු මීට මාස ගණනාවකට ඉහතදී මගේ අලුත් පන්තියක ඉඳගෙන සිටියේය. 

යතාර්ථ ලෝකයේ සිදුවීම්  වල කතා සාරයන්හි ලැගුම් ගැනීම අරුමයක් නොවේ. 

එහෙත් පූර්ණ ප්‍රබන්ධයක ප්‍රස්තුතයක් වසර ගණනාවකට පසු යථාර්තයක් බවට පත්වීම නම් ඇත්තටම ටිකක් ඕනාවට වැඩි සිදුවීමකි. තවත් අයුරකින් කියන්නේ නම් , අනාගත යථාර්තය වර්තමානයේ ගුප්ත සැලසුමක් වශයෙන් අපට ඉඟි කළ හැකිය . 

" ටීචර් , ඊයෙ හරි වැඩක් උනානේ.උදේ පහට විතර මම ඉන්ටවිව් එකකට කොලඹ යන්න , ඔන්න පේරාදෙණිය පාරට ඇවිදගෙන එනවා. ක‍ටුකැලේ හන්දියෙ මාර ගහ ගාව , අනේ බල්ලෙක් වාහනේක හැප්පිලා පණ අදිනවා. කකුල් දෙකම යට කරන් වාහනයක් ගිහින්. වටපිටේ මනුස්සයෙක් දෙන්නෙක් වට වෙලා. ඒත් කවුරුත් එයාට වතුර උගුරක් වත් දෙන්න සූදානමක් නැහැ. යන ගමන යකාට ගියාවෙ කියලා ම්ම ත්‍රිවිල් ගනනාවකට අත දැම්මා. ත්‍රිවිල් නවත්තනවා. බල්ලව ගෙනියන්න කියල ඇහුනම 'රුං' ගාල ඉගිලිලා යනවා. සමහරු ක‍ටුකැලේ ඉඳන් පේරාදෙනියට තියන කිලොමීටර් තුන යන්න රුපියල් දාහක් විතර ඉල්ලනවා . අන්තිමේට එක අයියා කෙනෙක් කැමති උනා රු.800කට බල්ලව අරගෙන යන්න ඉඩ දෙන්න. 

පේරාදෙණියෙ පශු වෛද්‍ය රෝහලට බල්ලව ඇතුලත් කලේ මම භාරකාරයා හැටියට. ඒ වැඩ ටික අහවර කරලා එහෙ බලලා මෙහෙ බලද්දි තමයි දෙයියනේ දැක්කෙ,මගෙ සහතික ෆයිල් එක !!!!! ඒක ත්‍රිවිල් එකේ අමතක වෙලා !!!!

ඒ මදිවට දැන් මගෙ ඇඳුමෙ හොඳටම කුණු ගෑවිලා. සපත්තුවල දූවිලි. බලු ගඳ. මොනව කරන්නද ටීචර්. ආයිත් ගෙදර යන්න අතේ සල්ලිත් නෑ. වෙලාවත් මදි. මම හිස් අතින්ම පේරාදෙණියෙන් බස් එකට නැග්ගා . මගෙ වෙලාව හොඳයි. ඉන්ටවිව් බෝඩ් එක මගෙ විස්තරෙ මනුස්සයො වගේ අහන් හිටියා . තේරුම් ගත්තා. මම ඉන්ටවිව් එකට හොඳට මුහුණ දුන්නා. අනිත් අතට මම ආයිත් බස් එකක එල්ලිලා පේරාදෙණියට ආව. අනේ අරයගෙ කකුද දෙක කපලා. අබ්බගාතයෙක් වෙලා. මට හරිම දුකයි ටීචර්. එතකොට එයාට සර්ජරියට පස්සෙ සිහිය ඇවිත්. මනුස්සයෙක්ට ඔහොම උනා නම් , ඇඳ වටේ කී දෙනෙක් ඉන්නවද , කවනවද පොවනවද? මම නැතිනම් එයාට කවුරුත් නැහැ. එයාගෙ ඇස් දෙක දකිද්දි මට හරි දුකයි. මම හිතාගත්තා එයාට කොහොම හරි ඇවිදින්න අවස්තාව දෙනවා කියලා. මම කෙලින්ම ගියා යාලුවෙක්ගෙ මාර්ගයෙන් අඳුන ගත්තු, කෘත්‍රිම පාද හදන තැනකට . අම්මෝ රුපියල් හයදාහක් යනවා. හැබැයි මගෙ යාලුවො දෙතුන් දෙනෙකුට කිව්වම දවසෙන් රුපියල් හයදාහටත් වඩා එකතු වුනා. මට හරිම සතු‍ටුයි. පහුවෙනිදා උදේම මම ඉස්පිරිතාලෙට ගියේ මේ සුබ පණිවිඩේ මගෙ ලෙඩාට දන්වන්න. මල්ලිගෙ ලෙඩ බලන්න යන අයියෙක් වගෙ කැම බීම හෙම අරන් මම ගියෙ හරිම සතුටෙන්. 

මගෙ ප්ලෑන් එක වුනේ , එයාට කෘතිම පාදයක් දාල අපෙ ගෙදර ගෙනියන්න. ජීවිතයක්  කියන නම වැටෙන්නෙ මනුස්සයෙකුට විතරක් නෙමෙයි. බල්ලෙක් කියන්නෙත් ජීවිතයක්. සියවස් ගාණක් අපි ගාවින් ඉඳන් අපිට තනි ‍රැකපු ජීවිතයක් . ඉතින් ටීච මම එදා උදේම ඉස්පිරිතාලෙට ගියෙ එයාගෙ සනීප වෙච්චි මූණ දකින්න. අනේ කලින්දා රෑ එයා අපිව දාල ගිහින් ටීච

එක හුස්මට පැය බාගයක් පමණ මට කියාගෙන ගිය දිගු කතාව ලොකූ සුසුමකින් අවසන් කරද්දී , ඒ රස්තියාදුකාර පෙනුමක් තිබූ දිකු කොන්ඩයෙන් වැසී ගිය ඇස් අග්ගිස්සෙහි , පිරිමියෙකු වූ නිසා හැඬිය නොහැකිකමින් හිරව තිබූ තෙතමනයක් දිලිසෙනු මා කම්පාවෙන් බලා සිටියා. 

සමාජ ජාලයක ස්ටේටස් අප්ඩේට් වලින් සිය මනුසත්කම් හුවා දක්වන ලෝකයක ,  විසේකාර බාහිර පෙනුමක් ඇති , බටහිරට බර ඇවතුම් පැවතුම් පෙනෙන, විසි වියැති තරුණයකුගේ හදවත තුල  එතරම් සරල මාන හිතවාදී මිනිසෙකූ සිටි අයුරු හඳුනා ගත නොහැකි වීම අවාසනාවකැයි මට සිතුනා. 

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->