Tuesday, April 26, 2016

[329] කොල්ලා සහ බල්ලා


මේ සැරසෙන්නේ , වසර කිහිපයකට උඩදී මා විසින් ඔබට කරන ලද වංචාවක් හෙලිදරව් කිරීමටය . අතේ වලල්ලක් පැලැඳි සාන්තුවරයකු ගැන මා ඔබට කීවා මතකද ? මට සමාවන්න , සැබෑවක්  යැයි ගහ පහ දිදී මා එදා ඔබට කීවේ ප්‍රබන්ධ  කතාවකි. කොලඹ මහ අතුරුපාරක් අයිනේ ලොරියකට බෙල්ල තැබූ බල්ලෙක් සිටියේ නැත. ඒ හපු‍ටු බල්ලා සෙනෙහෙන් වඩාගෙන පාර අයිනෙත් තැබූ, කොණ්ඩය දිගට වැවූ, ලැප්ටොප් බෑගයක් කර පැලඳි කොල්ලෙක්ද සිටියේ නැත. සමාවන්න ...

ඒ හා ලඟින් යන හෝ සිදුවීම් මාත්‍රයක් මගේ හිතේ ‍රැව් දුනි නම් ඒ crispyය . crispy යනු මීට පහළොස් වසරකට පමණ පෙර අපේ නිවසේ සිටි සුරතල් බල්ලාය. අමුතුම ගතිගුණ හා ගායක් තිබූ ඔහු අකැමතිම දෙය වූයේ අප නිවසින් පිට යාමය. ඔහු තනිකර දමා යාමට අප සියල්ලන් නිවසින් පිටව වාහනයට නැග ගන්නා විට , ඔහු අප මග හරස් කරමින් ඉදිරිපස රෝදයට බෙල්ල තබාගෙන සිටින්නට අද්භූත පුරුද්දක් ඇති කරගෙන සිටියේය. ඉදින් සාන්තුවර කතාවේ බල්ලාගේ කතා බීජය එයය. 

එතකොට කොල්ලා ? 

ඒ කොල්ලා මැවුනේ මගේ සිතේය. නමුදු එවන් කොල්ලන්  හිසේ කෙස් ගානට , මා රාජකාරි කරන තරමක් බටහිරට නැඹුරු පරිසරයෙහි දැක ඇත්තෙමි. නමුත් පසුගිය මාසයේ මැද මට ඒ කොල්ලාද මුණ ගැසුනේය. බූස කොණ්ඩය කර තෙක් වවාගත්, ‍රැවුල අපිලිවෙලට කපන ලද , කමිසය උඩින් දමා හපු‍ටු ඩෙනිමක් ලාගෙන , ලැප්ටොප් බෑගයක් කරෙහි හරහට දමාගෙන තරමක් මාන්දමික ස්වරූපයෙන් ගමන් බිමන් යන කොල්ලෙකු මීට මාස ගණනාවකට ඉහතදී මගේ අලුත් පන්තියක ඉඳගෙන සිටියේය. 

යතාර්ථ ලෝකයේ සිදුවීම්  වල කතා සාරයන්හි ලැගුම් ගැනීම අරුමයක් නොවේ. 

එහෙත් පූර්ණ ප්‍රබන්ධයක ප්‍රස්තුතයක් වසර ගණනාවකට පසු යථාර්තයක් බවට පත්වීම නම් ඇත්තටම ටිකක් ඕනාවට වැඩි සිදුවීමකි. තවත් අයුරකින් කියන්නේ නම් , අනාගත යථාර්තය වර්තමානයේ ගුප්ත සැලසුමක් වශයෙන් අපට ඉඟි කළ හැකිය . 

" ටීචර් , ඊයෙ හරි වැඩක් උනානේ.උදේ පහට විතර මම ඉන්ටවිව් එකකට කොලඹ යන්න , ඔන්න පේරාදෙණිය පාරට ඇවිදගෙන එනවා. ක‍ටුකැලේ හන්දියෙ මාර ගහ ගාව , අනේ බල්ලෙක් වාහනේක හැප්පිලා පණ අදිනවා. කකුල් දෙකම යට කරන් වාහනයක් ගිහින්. වටපිටේ මනුස්සයෙක් දෙන්නෙක් වට වෙලා. ඒත් කවුරුත් එයාට වතුර උගුරක් වත් දෙන්න සූදානමක් නැහැ. යන ගමන යකාට ගියාවෙ කියලා ම්ම ත්‍රිවිල් ගනනාවකට අත දැම්මා. ත්‍රිවිල් නවත්තනවා. බල්ලව ගෙනියන්න කියල ඇහුනම 'රුං' ගාල ඉගිලිලා යනවා. සමහරු ක‍ටුකැලේ ඉඳන් පේරාදෙනියට තියන කිලොමීටර් තුන යන්න රුපියල් දාහක් විතර ඉල්ලනවා . අන්තිමේට එක අයියා කෙනෙක් කැමති උනා රු.800කට බල්ලව අරගෙන යන්න ඉඩ දෙන්න. 

පේරාදෙණියෙ පශු වෛද්‍ය රෝහලට බල්ලව ඇතුලත් කලේ මම භාරකාරයා හැටියට. ඒ වැඩ ටික අහවර කරලා එහෙ බලලා මෙහෙ බලද්දි තමයි දෙයියනේ දැක්කෙ,මගෙ සහතික ෆයිල් එක !!!!! ඒක ත්‍රිවිල් එකේ අමතක වෙලා !!!!

ඒ මදිවට දැන් මගෙ ඇඳුමෙ හොඳටම කුණු ගෑවිලා. සපත්තුවල දූවිලි. බලු ගඳ. මොනව කරන්නද ටීචර්. ආයිත් ගෙදර යන්න අතේ සල්ලිත් නෑ. වෙලාවත් මදි. මම හිස් අතින්ම පේරාදෙණියෙන් බස් එකට නැග්ගා . මගෙ වෙලාව හොඳයි. ඉන්ටවිව් බෝඩ් එක මගෙ විස්තරෙ මනුස්සයො වගේ අහන් හිටියා . තේරුම් ගත්තා. මම ඉන්ටවිව් එකට හොඳට මුහුණ දුන්නා. අනිත් අතට මම ආයිත් බස් එකක එල්ලිලා පේරාදෙණියට ආව. අනේ අරයගෙ කකුද දෙක කපලා. අබ්බගාතයෙක් වෙලා. මට හරිම දුකයි ටීචර්. එතකොට එයාට සර්ජරියට පස්සෙ සිහිය ඇවිත්. මනුස්සයෙක්ට ඔහොම උනා නම් , ඇඳ වටේ කී දෙනෙක් ඉන්නවද , කවනවද පොවනවද? මම නැතිනම් එයාට කවුරුත් නැහැ. එයාගෙ ඇස් දෙක දකිද්දි මට හරි දුකයි. මම හිතාගත්තා එයාට කොහොම හරි ඇවිදින්න අවස්තාව දෙනවා කියලා. මම කෙලින්ම ගියා යාලුවෙක්ගෙ මාර්ගයෙන් අඳුන ගත්තු, කෘත්‍රිම පාද හදන තැනකට . අම්මෝ රුපියල් හයදාහක් යනවා. හැබැයි මගෙ යාලුවො දෙතුන් දෙනෙකුට කිව්වම දවසෙන් රුපියල් හයදාහටත් වඩා එකතු වුනා. මට හරිම සතු‍ටුයි. පහුවෙනිදා උදේම මම ඉස්පිරිතාලෙට ගියේ මේ සුබ පණිවිඩේ මගෙ ලෙඩාට දන්වන්න. මල්ලිගෙ ලෙඩ බලන්න යන අයියෙක් වගෙ කැම බීම හෙම අරන් මම ගියෙ හරිම සතුටෙන්. 

මගෙ ප්ලෑන් එක වුනේ , එයාට කෘතිම පාදයක් දාල අපෙ ගෙදර ගෙනියන්න. ජීවිතයක්  කියන නම වැටෙන්නෙ මනුස්සයෙකුට විතරක් නෙමෙයි. බල්ලෙක් කියන්නෙත් ජීවිතයක්. සියවස් ගාණක් අපි ගාවින් ඉඳන් අපිට තනි ‍රැකපු ජීවිතයක් . ඉතින් ටීච මම එදා උදේම ඉස්පිරිතාලෙට ගියෙ එයාගෙ සනීප වෙච්චි මූණ දකින්න. අනේ කලින්දා රෑ එයා අපිව දාල ගිහින් ටීච

එක හුස්මට පැය බාගයක් පමණ මට කියාගෙන ගිය දිගු කතාව ලොකූ සුසුමකින් අවසන් කරද්දී , ඒ රස්තියාදුකාර පෙනුමක් තිබූ දිකු කොන්ඩයෙන් වැසී ගිය ඇස් අග්ගිස්සෙහි , පිරිමියෙකු වූ නිසා හැඬිය නොහැකිකමින් හිරව තිබූ තෙතමනයක් දිලිසෙනු මා කම්පාවෙන් බලා සිටියා. 

සමාජ ජාලයක ස්ටේටස් අප්ඩේට් වලින් සිය මනුසත්කම් හුවා දක්වන ලෝකයක ,  විසේකාර බාහිර පෙනුමක් ඇති , බටහිරට බර ඇවතුම් පැවතුම් පෙනෙන, විසි වියැති තරුණයකුගේ හදවත තුල  එතරම් සරල මාන හිතවාදී මිනිසෙකූ සිටි අයුරු හඳුනා ගත නොහැකි වීම අවාසනාවකැයි මට සිතුනා. 

22 comments:

  1. ගතිගුණ වලටකලිං ඇඳුමෙන් පැළදුමෙන් මිනිසුන් මැනීම අප කාගෙත් නරක පුරුද්දක්.
    ඒත් සමවයස්කාණ්ඩ අතර නං ඒ ගතිය නෑ. ඕන කෙනෙක්ට මචං කියල ඉන්න කොල්ලො ඉන්නව.

    ඇත්තම සිදුවීමක්ද.. කුක්කට හිතෙන්න ඇති කකුල් දෙක නැතිව ඉඳල වැඩක් නෑ කියල ඉතිං යන්න ඇති..

    ReplyDelete
    Replies
    1. කුක්කට එහෙම හිතුනද එහෙම නැත්නම් ඉස්පිරිතාලේ නෝනා මහත්තුරු එක තීරණය කලාද කියන එක නම් දෙය්යෝ තමයි දන්නේ :)

      Delete
    2. කලින් කමෙන්ට් එක නැති උනාද දන්නේ නැති නිසා ආයේ ලියන්නේ.
      අක්කා මේක පබ්ලිෂ් නොකරට කමක් නැහැ.
      සිදුවීම උන වෙලාවේ හැටියට මං දන්නවා එයාව කොහාටද ගෙනාවේ කියලා. අපි සතෙක්ව බේර ගන්න උත්සාහ කරනවා මිසක් ජීවිතය තීරණය කරන්නේ නැහැ. ඇත්තටම වෙන කිසිම කරන්න දෙයක් නැත්නම් (මොළයට දරුණු හානියක් වගේ) උත්සාහ කරලා කිසිම ප්‍රතිඵලයක් නැත්නම් විතරක් ඒ වගේ තීරණයකට යනවා. ඒත් ගෙදර අයගේ කැමැත්ත ඇතුව පමණයි.
      කලින් එකේ ගොඩක් ඒවා ලිව්වා හිතට ආපු දුකත් එක්ක.
      අපි මෙයාලත් එක්ක කරන සටන දන්නේ සුළු පිරිසක් විතරයි. අපිට උදව්වට නර්ස්ල නැහැ, ඇටෙන්ඩන්ලා 3 දෙනා වැඩ පැය ටිකට විතරයි. කවන ,පොවන ,මල, මුත්‍ර අයින් කරන හැමදේම අපිම තමා කරන්නේ. අත පය කවාගෙන හරි බෙහෙත් හේත් වෙලාවට කරන්නේ ඒ වෙලාවට හිතේ තරහක් ආවත් මොහොතකට විතරයි. ඒ කෙනෙක් හොඳ වෙද්දි අපට දැනෙන සතුටත්, සති ගානක් එකට ඉඳලා යද්දි අපට දැනෙන දුකත් දන්නේ අපිට විතරයි. ඒ අපිට ඒ අය ලෙඩෙක් නෙමෙයි වගකීමක් වෙන හන්දා ආත්මයෙන්ම ආදරෙන් බලාගෙන හොඳ කරන්න උත්සාහ ගන්න හන්දා. මැරුණම සමහරවෙලාවට අයිති අයට වඩා අපි දුක්වෙන වෙලාවල් තියනවා.
      තමන්ගේ සතෙක් නැවැත්තුවම ඒ අය ඒක දකිනවා. නැත්නම් නැහැ. පුලුවන් නම් දවසක් බලලා යන්න නවත්තලා ඉන්න කෙනෙක් වෙනුවෙන් අපි ගන්න උත්සාහය.
      ඇත්තටම ඔයාගේ මේ කමෙන්ට් එකට ආපු දුක හින්දම වෙනදා වගේ නිකම්ම යන්නේ නැතුව ලිව්වේ.

      Delete
    3. ඔයා මේ කොමෙන්ට් එක ලිවට ස්තුතියි නගා. :)

      Delete
  2. ඔහුගේ ක්‍රියාවට මගේ උත්තමාචාරය.
    ඒ වගේ සතෙක් අසරණ වෙලා ඉන්නවා දැක්කම හිතක් උණුවෙන්නෙ නැත්තං ඇත්තටම ඒ මනුසතෙක් ද කියන එක නම් ප්‍රශ්නයක්.
    ඔවැනිම සතෙකුට මං කරපු දෙයක් මේ කතාව කියවනකොට මගෙ මතකෙට නැගුනා. ඒත් මේ කතාවෙ අසරණ බල්ලා වගේ නම් අවාසනාවන්ත ඉරණමකට මූණ දෙන්න උනේ නැහැ, එක කකුළක් කපලා දාල එම බැල්ලගේ ජීවිතේ බේරගන්න පුළුවන් උනා. ඒ සතාගෙ ජීවිතේ බේරගන්න මං කරපු දේ උගේ මුළු ජීවිත කාලෙම මතක තිබ්බ කීවොත් මං හරි. මොකද මං කොහෙ හරි ඉන්දල ඌට කතාකරපු ගමන් ඇහෙන මානෙක හිටියොත් මොන වැඩක හිටියත් ඒක දාල හනික දුවගෙන ඇවිත් කකුල් දෙක ලඟ පෙරලිලා කකුල් ලෙවකාල නගුට වනලා කන් පාත් කරගෙන පුදුම ආදරයක් පෙන්නන්නේ. එතකොට හිතට දැනෙන සතුට මෙතෙකැයි කියල කියන්න වචන මදි මට.

    ReplyDelete
    Replies
    1. හරිම හොඳ වැඩක්. සත්තු සහ අපි ගත්තොත් ඔක්කොම සත්තු තමයි. එයාල තිරිසන්නු අපි උසස් මිනිස්සු කියලා හිතන එක වැරදියි.
      ස්තුතියි කතාව බෙදා ගත්තට

      Delete
  3. Judging a book by its cover is a historical mistake.

    ReplyDelete
    Replies
    1. yes of course ..... thats the exact point i wanted to express. thanks :)

      Delete
  4. වරක් අපි අනතුරකට ලක්වුන එක්කෙනෙක් හදා ගත්තා. අවු 12ක් හිටියා.
    තව පාරක් Adopt a Dog එකේ අයට ඔය ජාතියෙ වැඩකට උදව් කලා, තාමත් මතක් වෙන කොට හරි සතුටුයි

    දැන් ගෙදර ඉන්න දෙන්නා නිසා තව හදන්න බැරි වුනාට දැක්කහම ගෙනියන්න හිතෙනවා

    ReplyDelete
    Replies
    1. කොච්චර හොඳ හිත් මේ ලෝකේ තියනවද. ඒත් නිව්ස් වල , පත්තර වල , ෆේස් බුක් එකේ යන්නේ හොඳ දේවල් නෙමෙයි , 'දවසේ වැරැද්ද ' :(

      Delete
  5. ඔය ගතිගුණ නැතිවෙන්නෙ 20 පැන්නම... රස්සාවල් කරන්න ගත්තම.. වගකීම් වැඩි වෙනකොට.. එතකොට ආත්මාර්ථය නොම්මර එකට ගත්තෙ නැත්තං ගෙවල් වලට ඉඳල හමාරයි... අම්මල තාත්තල, ගෑණු මිනිස්සු, අහල පහල උන් ඔක්කොම එකතුවෙලා පොඩි කාලේ අනුන්ට උදව් කිරීම හොඳ වැඩක් කියල උගන්නපු අයම හා දැං ඔය ඇති, දැං කාලෙ හරි තමන්ගෙ වැඩක් බලාගන්න කියල කියනව...

    ReplyDelete
    Replies
    1. දැන් අපි වැඩ කරන්න ඕනි රටට ඕනි විදියටද ?
      20 පන්නම තමයි තමන් උපයන දෙයින් තව තවත් හොඳ දේවල් කරන්න හැකියාව ලැබෙන්නේ.

      Delete
  6. ඔය ගතිගුණ නැතිවෙන්නෙ 20 පැන්නම... රස්සාවල් කරන්න ගත්තම.. වගකීම් වැඩි වෙනකොට.. එතකොට ආත්මාර්ථය නොම්මර එකට ගත්තෙ නැත්තං ගෙවල් වලට ඉඳල හමාරයි... අම්මල තාත්තල, ගෑණු මිනිස්සු, අහල පහල උන් ඔක්කොම එකතුවෙලා පොඩි කාලේ අනුන්ට උදව් කිරීම හොඳ වැඩක් කියල උගන්නපු අයම හා දැං ඔය ඇති, දැං කාලෙ හරි තමන්ගෙ වැඩක් බලාගන්න කියල කියනව...

    ReplyDelete
    Replies
    1. එක මේ රටේ ලෙඩක්ද මන්දා .... මිනිස්සු හිතන්නේ තමන් ගැන විතරයි. 3P ( People , Profit , Planet ) කැලේ ....

      Delete
  7. අනන්තයේ ඉදලා එන ආත්මයේ කාල රේඛාවෙ කොතනකදි හරි අපි අමුතු විදිහකට පවු කරලා ඇති. හිතේ මොන තරම් දේවල් කියන්න තිබුණත් ඒක කියා ගන්න බැරි, කියාගන්න පුළුවන් වෙලාවට අහන්න කවුරුත් නැති විපාකයකින් සමහර වෙලාවට අපි මිරිකෙන්නෙ ඒ හින්දා වෙන්න ඇති.

    අපේ කතාව මොහොතකට පැත්තකින් තියන්න. ඒ කතාවේ "අපි" වෙනුවට තිරිසන් සතෙක් අදේශ කර මොහොතක් හිතන්න. මොනතරම් දුක් ගැහැට වලින් ජීවිතය පිරුණත් ඒ වෙනුවෙන් වචනයක් කෙනෙකුට කියන්නත්, වේදනාව දරාගෙන බැරිම තැන කාරුණික ආයාචනයක් කරන්නත්, කෝ ඔවුන්ට වරමක්....

    කොල්ලාගෙයි බල්ලාගෙයි කතාවත් ඒ වගේ සිද්දියක්. තමන්ගේ කකුල් දෙක පොඩි පට්ටම් වෙලා තියෙද්දිත්, කකුල් වල ඇට මිදුළු බිම දිගේ ඇදෙද්දිත්, කකුලෙන් වැගිරෙන ලේ ධාතුවෙන් මුළු ඇගම තෙමෙද්දිත්, මොහොතින් මොහොත පණ කෙන්ද තමන්ගෙන් ඈත් වෙලා යන බව දැනෙද්දිත්, වටපිටේ කට ඇරගෙන බලන් ඉන්න මිනිස් මුර්ගයින්ගෙන් තොලකට තෙමාගන්න වතුර බිංදුවක් ඉල්ලගන්න බැරි තරම් කරුමයක මහත !!! ඒ තමයි සංසාරය, දුකෙහිම පැසව පැසවා විදවන්නට අපිව පහල වුණු සංසාරය. සංසාරේ උඹත්, සංසාරේ මමත්, "සංසාරේ අපි" ත් උරුමකර ගත්තු දායාදය.

    මේ කතාව මෙතනින් ඉවර නෑ. ආයෙත් දවසක "සංසාරේ අපි" මුණ ගැහේවි. ඒ දවසේ වත් පොදි බැදගෙන යන කරුමය මොහොතකට පැත්තකින් තියලා අපි හිනාවෙමු, බෙදා ගන්න බැරිවුණ දුක ඉවර වෙනතුරු බදාගෙන අඬමු. ආයෙත් පොදිබැදගත්තු කරුමයත් අරගෙන වෙන්වෙලා යමු...

    ReplyDelete
    Replies
    1. ඉතාමත් ස්තුතියි මේ ලස්සන ලිවීමට . සංසාරේ අපි වෙත අලුත් මානව හිතවදිත්වයක් එක කලාට ස්තුතියි ....

      Delete
  8. ඒ වගේ සුන්දර මිනිස්සු නම් තාමත් ඉන්න එක වාසනාවක්!

    ReplyDelete
  9. කතාව බොහොම සංවේදියි..

    ඇත්තටම අපි දැන් ෆේස්බුක් වලින් මනුස්සකම් මාකට් කරන්න පුරුදු වෙලා..
    එක බොහොම කනගාටුදායක තත්වයක්.

    ReplyDelete
  10. උඹ තව අවුරුදු දෙකකින් තුනකින් විතර කියයි........

    "කටුකැලේ දී වාහනයකට යටවුනු බල්ලකු සිටියේ නැත. රැකියා සම්මුඛ පරීක්ෂණයකට යාම පසෙක තබා ඌ පේරාදෙණිය පශු වෛද්ය රෝහලට රැගෙන ගිය කොණ්ඩය වවාගත් හරිහැටි රැවුල නොකැපූ කොල්ලෙකු සිටියේද නැත. සත්‍ය කථාවක් යයි ගහපහ දෙමින් මම ඔබට පැවසූයේ ප්‍රබන්ධයකි."

    ඔන්න ඔහොම......

    පලි - ගහපහ දෙනව කියන්නෙ අපෙ ලොකු අම්මගෙ වචනයක්..

    "නෑ පොඩි නංගි මේකි මට ගහපහ දෙන්ටම ආවනෙ සල්ලි ගත්තෙම නෑ කියල. හුහ් මම කිව්ව හොඳ දෙකක් එයාට"

    අපෙ අම්මත් එක්ක ඔහොම කියනව කුස්සියට මෙහා බරාඳෙ ඩිවාන් එකේ ඉඳගෙන. උන්ද අවුරුදු හතරකට වගෙ ඉස්සර නැතිවුනා.

    ReplyDelete
    Replies
    1. හේ හේ හේ .... නැහැ නැහැ .... ඇත්ත මේ කතාව නම් ... :)

      Delete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->