ජීවිතේ රෝලර් කෝස්ටරයක් වගේ ගෙවීගෙන යනවා. ජීවිතේ මල්ගෙ ජීවිතේ 'මල්' වුනේ නමට තමයි . එක වෙලාවකට හිතෙනව, මලක් වගේ පරවෙලා නොයා ගහක් වගේ වුනේ ඇයි කියලා. ගතවෙන හැම සෘතුවකටම අනුගත වෙවී , කොල හැලී නිරුවත් වෙන ජිවිතයක් ... , ආයිත් දලු දමා පණ ගසා අලුත් වෙන ජීවිතයක් ... කියන්නේ , කොයි තරම් වෙහෙසක්ද ?
හිතට එන මේ
විප්රකාර අමතක වෙන්නත් එක්කම , සාප්පු වන්දනාවක් යන්න පහුගිය සතියේ හිතක් පහල
වුනා. මගේ සාප්පු වන්දනාව පටන්
ගන්නෙත් සරසවියෙන්, ඉවර වෙන්නෙත් සරසවියෙන්.(සරසවි පොත් හලෙන් පොත් මිලට ගෙන ඒවා
කියවන්නට පේරාදෙණියේ සරසවියේ ගස් සෙවණකට යාම
තමයි ඒකෙ තේරුම ! )
කාලය මැවූ
වෙනසක අරුමේ ! ඒ කාලේ, ඔය පොඩි පොඩි
අරුමෝසම් කැබලි වලට ආස වුන තරුණ හිත, දැන් දුවන්නෙ ලොකු ලොකු හීන වලට. අපේ හීන
ලොකු වෙද්දී හිත පුංචි වෙනවද මන්දා. පෙනුමට දක්වන සැලකිල්ල වගෙ පුංචි දේවල් අමතක වෙනවද මන්දා. සමහර වෙලාවට ,
පරණ යාලුවෙක් මග තොට
මුණ ගැහුණම , පෙනුමට දක්වන නොසැලකිල්ල ගැන දොසක් අහන්න උනාම , උදේ පාන්දර කණ්නාඩිය
ඉස්සරහා හිට ගත්තාම හෙම මතක් වෙනවා , කාලයට මොන තරම් දේවල් කරන්න පුලුවන්ද කියලා. පොතකට කරන්න බැහැනේ හැමදේම.!
ඒ හින්දම, එදා මම ගියේ , රුපලාවන්ය උපකරණ තියෙන සුපුරුදු ටොරින්ටන් සාප්පුවට.සිදාදියෙ කොයි
තරම් අරුමෝසම් කඩ තිබුනත් අවුරුදු පහ හයක් තිස්සෙම , ටොරින්ටන් වෙලෙන්දන්ගෙ කචබච අස්සෙන් , එකම සාප්පුවට
ඇදෙන්නෙ එතැන මිනිසුන් පෙන්වන ලෙන්ගතු කම නිසයි.ඉතින් හිතවත්කම් අලුත් කරගන්නත් එක්ක මම එතනටම ගොඩ වැදුන.
"ආ මිස් කොහොමද
, හුග කාලෙකින්
නේද ? දැන් ආයිත්
නුවරද ඉන්නෙ ?" (නුවරට ඇවිත් අවුරුදු දෙකකුත් වෙන්න එනවා ! ) ඒ
කියන්නේ ඒ අවුරුදු දෙක මම නාලම නැද්ද ?
ඔවුන්ට සුහද සිනහවෙන් සංග්රහ කරන ගමන් මම සාප්පුවෙ නානා ප්රකාර රාක්ක වෙත ඇස් යැවුවා. අලුත් අලුත් විලවුන් බෝතල් අතරින් , දෙවියනේ ....
ඇහැට බොහොම හුරු පුරුදු තැඹිලි පාටක් ! අදහගන්න බැරි නිසාම තවත් ටිකක් ඇස් දෙක
පිහදාල බැලුවෙ මම දකින්නෙ හීනයක්ද කියල.
'සැන් පව්ඩර් තෝරන .. නෑ හරියටම කිව්වොත් සුවඳ විලවුන් තෝරන සාදුලා ! ? "
මගේ හිත
මොහොතකට නිරුත්තර වුනේ , සාප්පු හිමියා
අහන අනෙක් ප්රශ්න නෑසී යන ගමන් ! අඟල් තුන්කාලක් තරම වැවුණු කොණ්ඩා රැවුල් ඇතිව,
තැඹිලි පාටින් දිලිසි
දිලිසි, බොහෝම තරුණ
පහේ චීවරධාරී හාමුදුරුවරු තුන්දෙනෙක් මගෙ දිහාත් බිය මුසු ඇස් වලින් බලමින් ,
සැන්ට් කුප්පි තෝරනවා.
( ගැහැනු ලමයින්ගෙ සැන් කුප්පි ! ) ඔවුන්ට සහයට ඉන්න හිතවත් අනෙක් සාප්පු සේවකයා මට නොපෙනෙන්න එකෙල මෙකෙල වෙනවා. මමත් ඉඳලා ඉඳලා උඩරට තාලෙට ඔසරියක් හෙම ඇඳගෙන හිටිය නිසා ටිකක් බය වෙන්න ඇති.
මගෙ හිත සහ වත ගොළු වෙද්දී , හිත කිරි ගැහීගෙන අනුකම්පාවක්ද , දුකක්ද , නොමනාපයක්ද කියා හිතාගන්න බැරි මිශ්ර හැගීමක් ඇති වුනේ පුදුමයත් එක්ක මුසු වෙමින්. ඒත් අන්තිමේට.. නැහැ .. මුකුත්ම උනේ නැහැ . මම නිහඬවම බර වූ හිතින් සහ හිසින් සාප්පුවෙන් පිටතට ආවා.
නැවත ගෙදර එන
ගමනෙදි මට දහසකුත් එකක් දේ කල්පනා වෙන්නට වුනා.
කුඩා කාලයේදීම
, අනුන්ගේ
උවමනාවට ගත මහණ කලා මිසක සිත මහණ නොකල තරුණ වයසේ පුහුදුන් මනුසත්වයෙකුට ආසාවන් පහල
වේ නම් මම මොනවා කියන්නද? සැන් කුප්පිය දොහොත් මුදුන් දී වැඳ බාර ගෙන , ඒ පුහුදුන් සිත සනසන
ගැහැණු දරුවෙකුත් වේනම් ,සැන් කුප්පිය
පුදන පිරිමි සිතට මා මොනවා කියන්නද? සැන් කුප්පිය විකුණා සිය ගනුදෙනුව හමාර කරනු මිසක ,
ඒ තරුණ හාමුදුවරුන්ට
හොඳ නරක කියන්නට ගිහින් බැණුම් අසන්නට අකමැති සාප්පු හිමියාත් නිරුත්තර වේ නම් , මා
මොනවා කියන්නද ?
“ නංගිට වෙන්න ඇති “ මගේ
හිත මාවම සනසනවද මන්ද .. හිත තවමත් එතැන.. ලස්සන කොළයකින් එතු සැන්ට් බෝතලය රෙදි උරයේ සඟවාගෙන යන කහ සිවුරත් එක්ක මගේ හිතත් ගමන් කරනවා.
හැමදාම උදේට උජාරුවට මට හිනාවෙන , වැට අයිනේ ඉද්ද ගහේ , ලස්සනට පිපී හිටිය මල්කිණිත්ත, හවස් වෙද්දි සොබාදමට
අවනතව මැලවිලා ගිහින්...හිනි සුළං රැල්ලකට වාරුවෙලා ඈ අමාරුවෙන් හිස
උස්සලා බැලුවේ , ගෙට ගොඩ වෙන දුව පිළිගන්න වියපත් අම්මා කෙනෙක් වගේ. ඉද්ද කිණිත්ත
තරම්ම මගේ හිතත් පරවෙලා.
"අපරාදෙ ,
එයාලට පොඩි හරි අවවාදයක් දෙන්න තිබ්බ " රළු හඬක් හිත ඇතුලේ මුමුණනවා.
"පව්, තරුණ වයසේ අහිංසක
ආසාවල්" අනුකම්පී සීතල සුළඟක් ඇවිත් ,අර රළු හඬ ඈතට අරන් යනව.
"මුදලාලිට තිබ්බේ එයාලට සැන්ට් විකුනන්නෙ නැතුව ඉන්න” සුළඟ අඩුවෙද්දී ගහකොළ ආයිත් නටන්න පටන් ගන්නවා.
"දවසම ටවුමේ
ඇවිද්දද ? සෙරෙප්පු දෙකේ හොඳටම දූවිලි. දෙන්න හෝදලා දාන්න !"
ගෙට ගොඩවෙන්න කලින් ගලවන සෙරෙප්පුවේ කුණු පැල්ලම් මට කලින් පෙනුනේ
අම්මාට.
නිරුවත් දෙපා සීතල පොලව වැළද ගනිද්දී දැනෙන සැහැල්ලුව ! ආ .. අලුත් සුවඳක් .. අර කලින් කී සෙන්ට් කුප්පියවත්ද ? නැහැ . අම්මා පහන තියන්න ඇති.ඒ අපේ අම්මා අලුතෙන් ගෙනාව සඳුන් කූරු වල සුවඳ.......
හෙහ් හෙහ් හාමුදුරුවරුද මනුස්සයෝය... හෙන කාලෙකින් මේ පැත්තේ ආවේ..
ReplyDeleteමේක මරු....!
ReplyDeleteමෙතන තමයි හරියටම සටන තියන තැන.....
ඔබ මතු කලා අපූරුවට ඒක - කිළිටි වුණු සෙරෙප්පුයි හඳුන්කූරු සුවඳයි...!
ජයවේවා සහෝදරී ඔබේ පරිකල්පනයට සැලියුට්!
ඉතිං මොකද බොල? හාමුදුරුවරු සුවඳ විලවුන් දැම්මම මොකද? අනිත් අතට ගෑණු ළමයෙකුට තෑගි දුන්නම මොකද?
ReplyDeleteඅනික හාමුදුරුවරුන්ට ඔහොම කඩවල් ගානෙ ගිහිල්ල උඹල වගෙ මානවිකාවන්ගෙ අප්‍රසාදයට ලක්වෙමින් ඔව්ව මිලදී ගන්ට වෙලා තියෙන්නෙ මොකද? මිනිස්සු ඔය වගෙ එව්ව පිරිකරට දෙන්නෙ නැති හින්ද. ඒ හින්ද අන්න එහෙම දෙයක් කරන්ට හිතපං මීට පස්සෙ...
රවි අයියගේ කතාවත් හරි....
ReplyDeleteඅක්කා ඔය විදියටම පොඩි හාමුදුරු නමවල්/ සාමණේර නමවල් කඩේකින්, හොඳයි ෆුඩ් සිටි එකකින් හොඳ චොක්ලට් ගන්නවා දැක්කොත් හිතන්නේ කොහොමද? කවදාවත්අා අකැපයි හිතෙනවද? පවු කියලා හිතනවාප මිසක. අන්න ඒ විදියටම හිතන්න. වයස වෙනස් ඉතින් ගන්න දේවල් වෙනස්.
හයිෆයි බණ තියන, බණ අහන්න සල්ලි ගෙවන්න වෙලා තියන, බණ පැය භාගයයි දායක වූ පිරිස් දීපු මුදල් හදල් ගැන පැයක් විතර අහන කාලෙක ඔයවගේ දේවල් හිතලා පලක්යැ.
අපි කම්පා වෙන්න හොඳ නෑ ඔව්වා දැකලා.
මම නිතරම පොත පත කියවන්නේ නැතත්, අක්කගේ පොස්ට් දැක්කට අමුත්තක් දැනිල මේ පොස්ට් එක නිකන්ම කියවනකොට මටත් දැනෙන්න ගත්ත මිනිසුන්ගේ හැගීම් සිතුවිලි, අපි මොන වගේ අයද කියලා. කතාවේ මුල සිට අගට ලොකු අර්ථයක් දැනෙනවා.
ReplyDeleteනියමයි... ලස්සනයි...
මේ ලියමනේ අර්ථය මතු වෙන්නේ අර අන්තිම ඩිංගෙන්.
ReplyDelete...නිරුවත් දෙපා සීතල පොලව වැළද ගනිද්දී දැනෙන සැහැල්ලුව ! ආ .. අලුත් සුවඳක් .. අර කලින් කී සෙන්ට් කුප්පියවත්ද ? නැහැ . අම්මා පහන තියන්න ඇති.ඒ අපේ අම්මා අලුතෙන් ගෙනාව සඳුන් කූරු වල සුවඳ.......
- දන්න කෙනෙක්