Saturday, September 06, 2014

[310] ස්වප්න කතිකාවතක සිරව සිටිමි


 මගේ ලෝකය බිහිව ඇත්තේ සිහින වලිනැයි විටෙක සිතෙයි. ජීවිතේ ගෙවෙන හැම මොහොතකම මුණ ගැසෙන හැම ඇස් දෙකක් අස්සේම දිලිසෙන කුඩා සිහින පෙනේ. එවැනි දිලිසුමක් මා දැක නැත්තේ , එක්කෝ බීමත් හෝ උන්මත්තක මිනිසුනගේ දෑස් වල පමණකි.

ඇතැම් සිහින ඉතා කෙටි එහෙත් රතිඤ්ඤාවක වේගෙන් හිත තුලින් මතුව සැණෙන් විදාරණය වන දැඩි සිතුවිල්ලක්ම පමණකි. පරිසරයෙන් ලැබෙන අනුබලය හෝ අදහිරිය මත සිහින යථාර්තයක් වීමේ හැකියාව තීරණය වෙයි.

ඇතැම් සිහින නිදා නොනිදා මෙන් කල්ප කාලාන්තරයක් හද පතුලේ සැඟව සිටියි. එක්කෝ එය දිගු කලක් තිස්සේ හෙමින් උස යන රූස්ස ගසක් සේ වැඩී , පෙර කී දැඩි අභිලාෂයක් විලසින් සිතෙන් පිට දමයි.

ඒ කෙසේ වෙතත් , මිනිසුනගේ විවිධ චර්යා දෙස ලංව බැලූ කල , සිහින දකින්නන් , සිහින හඹා යන්නන් , සිහින නොදැක ජීවිතාභිලාෂයන් සැබෑ කරගැනීමට යත්න දරන්නන්ද හමුවෙයි. 

පුද්ගලිකව , සිහින දැකීම පිලිබඳ මගේ අදහස නම් එය නිර්මානකරණයෙහි ඉතා හිතකර ප්‍රවණතාවක් වන්නේ යම් සේද , සැබෑ ජීවිතයේ කටුක බව ඉදිරියෙහි මනා සන්තුෂ්ටි මාර්ගයක්ද වන බවකි. සිහින ලෝකයක පූර්ණ කාලීන වශයෙන් සැරිසරන්නේ , උන්මත්තකයන්ය . එහෙත් ජීවිතයට සුන්දරත්වයද එක් කොට ගත හැකි බවක් විස්වාස කළ හැක්කේ නිර්මාණශීලි සිහින දකින්නන්ට පමණකි.

දුම් රියෙක නැගී යන යුවලකි. තරුණිය හිස් බැල්මෙන් කවුලුවෙන් පිටත බලාගෙනය. ඇය මොනවා සිතනවා ඇද්ද? මට ඒවා සොයා බලන්නට සදාචාරාත්මක අයිතියක් නැත්තේය. එහෙත් එසේ සිතා බලද්දී එක්තරා මිහිරකුත් දැනෙයි. මොහොතකට ඇයගේ සිත වන්නට ඇත්නම්... ! ඇය පසෙකින් ඇගේ පෙම්වතා විය යුතු තරුණයෙකි. ඒ නිගමනය තහවුරු වන්නේ, තරුණිය ඔහුගේ වැලමිටෙන් අල්ලාගෙන සිටින අයුරෙනි. අයිතිය හඟවන සංඥාවක් . තරුණයාගේ කට බාගෙට ඇරී තිබෙයි. ඔහු ආසනයට හේත්තු වීගෙන නින්දකය.. ! මිහිරිතම වංගු ගණනාවක් , බිම්ගෙවල් අතලොස්සක් පසු වෙයි. මම තව තවත් තරුණියගේ මනසට සමපාත සිතුවිලි ධාරාවක් ජණනය කරගනු වස් මනස නිද්‍රෝපගත කරවමි. සිහින දකින්න්නියකගේ මනසින් මට එලියට එනු අපහසු බව මම පසක් කරගනිමි.

මොහොතකට ඒ සියලු වංගු සහ බිම්ගෙවල් පසු වූ ගමන මම ආපසු කරකවාගෙන යමි.

තරුණිය තරුණයාගේ උරහිසට හේත්තු වී එලිය බලාගෙන සිටියි. ඇගේ වමත ඔහුගේ සුරතෙහි පැටලී තිබේ. ඇගේ සුරතින් තරුණයාගේ සුරතද තදින් අල්ලා සිටී. ඇයගේ කෙහෙ රැලි සුලඟේ ලෙල දෙද්දී තරුණයා නිදහස් වමතින් ඒවා කොතෙක් ඇගේ කන් පිටුපස්සේ රැඳවුවද ඒවා රිසිසේ යලිත් සුලඟත් සමග එලියට පනිති. අහක බලා සිටින ඇගේ මුහුණ ඔහු නොනවත්වා තමා වෙත හරවා ගන්නට තැත් කරයි. ඇය මවා ගත් නොමනාපයකින් සහ අඩ සිනාවකින් ඔහුගෙන් මිදෙන්නට තැත් කරයි. තරුණ සිත්වලට කොතෙක් නම් සිහින අස්සේ මත් විය හැකිද. ? නොදුටුවා සේ පුවත්පතකට එබීගෙන හිඳින මම සිතමි. බිම්ගෙයක් පසු වෙයි. අන්ධකාරය පෙම්වතුන්ට බියකරු ආශිර්වාදයකි. බිම්ගෙයින් පසු ආලෝකවත් වෙන පරිසරයට තරුණියගේ රතුවූ ලැජ්ජාබර මුහුණ ගෙන එන්නේ සුන්දරත්වයකි. 

එහෙත් මේ මහපොළවෙන් උඩ මා දකින සිහිනයකැ‍යි පමණක්ම කියන්නෙමි.  සිහින ලොවක ජීවත් වීම මහපොළව තුල කොතෙක් සාධාරණදැයි මම දැණ් නොවිමසමි. ලෝකයට සිහින දකින්නන් මෙන්ම , සිහින නොදැක යන්ත්‍ර මෙන් ජීවිතය හඹා යන්නන්ද අවැසිය. සිහින දකිමින්ම ජීවිතය ගොඩ දා ගත හැකි මධ්‍ය ලක්ෂ්‍යය සෙවීම මගේ ජීවිතයේ සිහිනයද? 


යුස්ටයින් ගෝඩර් 'සොෆීගේ ලෝකය' පොතේ පවසන ආකාරයට , කුඩා දරුවෙකු මෙන් හැම දෙයක් කෙරෙහිම විමසිලිමත් වෙන එක , පුදුම වෙන එක වගෙම ජීවිතේ හැම සිදුවීමක්ම ආස්වාදනය කරන එක,  අපි වයසින් මුහුකුරා ගිය මිනිස්සුන් ගැහැණුන් වෙද්දි උවමනාවෙන්ම මග හරිමු . 

ජීවිතේ පුරුද්දක් වෙන එක මොන අපරාධයක්ද?  මට සිතෙන්නේ එහෙමය , මන්ද ගතවන මිනිත්තුවක් පාසා ජීවිතය විස්මයන්ගෙන් පිරී පවතින බැවිනි.

5 comments:

  1. සමහර විට මිනිස්සුන්ට තමන් දකින දෙ විදින්න උවමනාවක් නැතිව ඇති... සමහර විට බය ඇති.. එහෙමත් නැත්තං හීන ලෝකෙ අතර මං වෙන්න කැමති නැතිව ඇති...
    ඒත් කොයි කව්රුත් අඩු වැඩි වශයෙන් හීන දකිනව...
    සමහර අය ඒව හැබෑ කරගන්නව...
    සමහරු හීනත් එක්කම මැරිල යනව...

    ReplyDelete
  2. සිහින තමා මිනිසුන් ජය කරා මෙහෙයවන්නේ..

    ReplyDelete
  3. මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න - ඒ සිහිනෙන් මා මුදන්න ලං නොවන්න

    සිහින ජීවිත ජීවත් කරනවා , ඒ නිසා දිගටම ශින දකින්න, සිහින් ලෝකය සුන්දරයි ... හැබෑ ලෝකය ....????

    ReplyDelete
  4. හීන වෑඩියත්ම ලස්සන වෙන්නේ කවදා හරි ඒ හීන හැබෑ වෙන්නත් ශක්‍යතාවක් තියෙනවා කියන බලාපොරොත්තුවත් එක්ක අපි ජීවත් වෙන නිසා.... කියලා කවුදෝ මට කියලා තියෙනවා කියලා මේක කියවද්දි මතක් වුණා

    ReplyDelete
  5. // කුඩා දරුවෙකු මෙන් හැම දෙයක් කෙරෙහිම විමසිලිමත් වෙන එක , පුදුම වෙන එක වගෙම ජීවිතේ හැම සිදුවීමක්ම ආස්වාදනය කරන එක, අපි වයසින් මුහුකුරා ගිය මිනිස්සුන් ගැහැණුන් වෙද්දි උවමනාවෙන්ම මග හරිමු . // මේ නිසාම වෙන්න ඇති පුංචි කාලේ දැකපු සුන්දර දේවල් වයසින් මුහුකුරා ගියහම අත්විඳින්න බැරි වෙන්නේ...

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->