Monday, November 25, 2013

[297] සැප්තැම්බරයේ ආ වසන්තය!

මෙවර පොත් ප්රදර්ශනයෙන් මිලදී ගත් පොත් ගොන්න කුමන හෝ හේතුවක් නිසා ශෝක ජනක අයුරෙන් ඉක්මනට ඉවර වීගෙන යයි.

කලක් තිස්සේ ආශාවෙන් සොයමින් සිටි 'පින් ලමයා' , ' දිරි දැරියෝ', 'මල් සමනලියෝ' පොත් තුන විසිදුනු පොත් හලේ දුටු විගස ඉවක් බවක් නැතිව කඩාගෙන ගොස් ඩැහැ ගත්තා මතකය... ගෙදර ගෙනා විගස ඒ වේගයෙන්ම අවුරුදු ගානක් තිස්සේ ඒ පොත් තුන කියවීමට තිබූ නොතිත් ආශාව නිසාම එක හුස්මට කියවා ඉවර කලෙමි.

'කටු කොහිල කොටුව' මා කියවා තිබුනද නැවත වතාවක් මා එය මිලට ගත්තේ, ජයසේන ජයකොඩි නම් විද්හ්වතාණන්ගේ සියලු පොත් වල එකතුවක් මා හෙමි හෙමින් තනාගෙන යන බැවිනි. ජයසේන ජයකොඩි ගේ පොතක ඇසුර කිසිදා වරක් කියැවීමෙන් අහවර නොවේ...පිච්චමල සිට තෙර තරණය දක්වා සියලු පොත් මා යලි යලිත් කියැවූ වාර ගණන මටද මතක නැත.

සතුට නම් ජයසේන ජයකොඩිගේ පොත් වලින් එක දෙකක් හැරුනු විට අන් සියලු පොත් මා සතුව පැවතීමයි.

වරක් දුකා ලියා තිබූ බ්ලොග් ලිපියක් නිසාවෙන් මොස්කව් ප්රගති ප්රකාශනයන්හි දුටු 'අඳ වාදකයා' මිලට ගතිමි. පොතෙන් භාගයක් කියවද්දී යම් හේතුවක් නිසා පොත මහත්සේ පිය වූයේ නැත.එනිසා එය අඩක් කියැවූ විලසින්ම ඉතිරිව තිබෙයි.

මීලඟට මා අතට ගත්තේ 'කන්දේ වීදිය' පොතයි. වචනයේ පරිසමාප්තාර්තයෙන්ම කියැවීමෙන් පූර්ණ තෘප්තියක් ලද හෙයින්ම දිනක් ගතවන්නටත් ප්රතම මේ රසවත් පොත කියැවීමී. මහත්සේ වින්දෙමි.

කන්දේ වීදියෙන් පසුව සැබෑ ලෙසම පිබිද ආ කියැවීමේ ආශාව මුදුන් පමුණුවන්නට 'ලොවීනා'ට හැකි වූයේය. පොතෙහි සරු බසද, කතාවේ සොඳුරු චිත්ත රූප මවන සුලු ගලා යාමද සරල කියැවීමේ රසයට ආශා කරන මට එකසේ පෑහුනේය.

'බූරු පොරය' නම් රසවත් යොවුන් නවකතාව මා මුල් වරට කියවන්නේ ඉතා කුඩා කාලයේය. කවුරුන් විසින් හෝ ගෙන ගොස් යලිත් නොදීම නිසාවෙන් ඒ පොත මට අහිමි වූයේද ඒ කාලයේමය. වාසනාවට බූරු පොරය පොර කන සෙනග අස්සෙන් පීරා ගොස් මිලට ගන්නට මට හැකි වූයේය. එයද මුලින්මකියැවූ පොත් ගොන්නට අසු වෙයි.

සරල රසවින්දනය උදෙසා චේතන් භගත්ගේපොත් වලට මා කොතරම් ඇබ්බැහි වීද යත් මෙවරද චේතන්ගේ පොත පිටවන තුරු මා බලා සිටි බව දිලිප ජයකොඩිද දන්නේය. රෑ දෙකක් නිදි වරාගෙන රස වෑහෙන 'දෙන්නා දෙපැත්තේ ආරති මැද්දේ ' කියැවීමට කිසිම අපහසුවක් නොවූයේය. මන්ද එය එතරම්ම රසවත් බැවිනි.

'සෙංකොට්ටං' අතට එන්නේ ඊලඟටය. ලොවීනා තරම්ම ආශාවෙන් මහත් රුචියෙන් යුතුව කියැවූ තවත් පොතක් වේ නම් ඒ සෙංකොට්ටං ය.

'ප්රේමකීර්තිනී' මිලට ගත්තේම ප්රේමකීර්තිද අල්විස් නම් විද්වතානන්ගේ ඇඹේණියගේ ලිවීමද එතරම්ම උසස් යැයි මතයකිනි.එහෙන් මෙහෙන් ඇහිලුන කතා කිහිපයක කොහෙත්ම ගලා යාමක් නොමැති හෙයින් එයද මැදදී කියැවීම නීරස වූයේය.

'කමෝන් පැඩිවැක්' සොරා ගැනීමට ගොස් වියර්ත වූ පොතය.සැබවින්ම අත් වැරදීමකින් මුදල් නොගෙවා පිටට ගේන්නට ගොස් මල හත්තිලව්වක් කලබගෑනියක් වෙන්නට පෙර නැවත කඩය තුලට දිව ගොස් ලැජ්ජාවට මිලට ගන්නට වූ පොතය. මතකය සොඳුරුය. ඇත්තම කියනවා නම් ඉස්සෙල්ලාම කියවන්නට තුරුලු කොට ගත් පොත එයයි. ජැක් ලන්ඩන්ගේ 'වන පෙත අඬ ගසයි' නම් වෙසෙස් කෘතියේ අසාර්ථක කොපි කැට් කතාවක් බව දැක කිපී පොත අහක දැම්මෙමි. ඒත් ඒ පොත ඇසුරෙහි මතකය සොඳුරුය, මතක සැබෑ වන තුරු කපක් කලක් බලා සිටිය හැකිය. එතෙක් ඉවසා හිඳින්නට අවැසි සංයමය සපයා දෙන්නටදෝ 'දඟකාර මහල්ලා' , 'නොපෙනෙන ලන්දූ' ,'සාගර ජලය මදි හැඬුවා' , 'සාංකාව' , 'හිම කබාය' සහ මාටින් වික්රමසිංහගේ කෙටි කතා එකතුවද සැදී පැහැදී සිටී.

පොත් වසන්තය එතෙකින් ඉවර නොවෙයි. උස්සාගෙන ඒමේ මහත් අපහසුව නිසාවෙන් 'තාරා මගේ දෙව්දුව'ද,'මරණයේ සෙවණැල්ල යට නිදා සිටි පූස් පැටියා'ද , 'මාංචු'ද තවත් පොත් පහක්ද අක්කාගේ නිවසේ මෙතෙක් දිනක් එකෙල මෙකෙල වෙවී වැඩම කොට සිට පාර්සල් තැපෑල ඔස්සේ ඊයේ දවසේ මහනුවර තැපැල් හලට සැපත්ව, මා එන තුරු මග බලා සිටින බව පියුම් මාමාගෙන් දැන ගන්නට ලැබිණි.

ඔබ වසන්තය... පොත් සහ ජීවිතය බැඳී ඇති තරම ! .








13 comments:

  1. මාගම් සෝලිය කොහොමද??

    ReplyDelete
  2. අපූරුයි.. පිං ළමයා දිරි දැරියෝ මං මුලින්ම කියෙව්වේ එක වසරෙදි.අදටත් ඕනැ තැනක් කටපාඩමෙන් කියන්න පුළුවන් තරමෙ බැදීමක් ඒ පොත් ටිකත් එක්ක තියෙනවා.... අද වාදකයා කියවන්න ටිකක් අමාරුයි.ඒත් අවසනානය දක්වා කියවද්දි ඒ හැගීම වෙනස් වෙයි!!!

    ..සෙංකොට්ටං ගැන මිට වඩා තව ලියැවෙනව නම්-ඊළග පෝස්ට් එකකින් හරි!

    ReplyDelete
  3. සෙංකොට්ටං ඉතමත්ම ලස්සනයි, ඒ වගේම සුනේත්‍රා මහත්මියගෙ ප්‍රෙම පුරාණය තවත් රසබර පොතක්..ජිවිතෙ මල් නම් මුළු ප්‍රදර්ශනයම කියවලා වාගෙ නෙද.. :)

    ReplyDelete
  4. ප්‍රේමකීර්තිනි අතට ගද්දි.. මතකද මං අක්කාට කිව්වා.. මට ඕක මැදදි එපා වුණා කියලා...

    “නෑ නෑ මට ඕනෙ ඕපා දූප පොත් කියලා අරන් ගියෙ..“

    තවම මගෙ පොත් ගොඩ ඉවර නෑ.

    ReplyDelete
  5. මම හිතන්නේ මම නවකථාවක් අතට අරගෙන වතුර බොන්න, හාන්සි වෙන්න, එස්. එම්.එස්. එකක් කොටන්න වගේ කිසිම දේකට නැගිටින්නෙ නතුව කියවපු පොත තමා සෙංකොට්ටං :D

    ReplyDelete
  6. නියම පොත් ටිකක් අරං තියෙන්නේ...

    @අයාලේ සිත් :
    මාගම් සෝලිය නම් වැඩක් නෑ... ප්‍රොනෝග්‍රැෆියක් ඒක !

    ReplyDelete
  7. ප්‍රේමකීර්තිනි ලියා තිබෙන්නේ දයා ද අල්විස් ද නැත්නම් නිර්මලා ද අල්විස් ද? පොත ගැන අහලා තිබුනේ නැහැ.

    ReplyDelete
  8. මාගම්සෝලිය නේද ? ලියපු බුවාට කොහෙන් ආවද මන්දා අදහස්

    ReplyDelete
  9. //මෙවර පොත් ප්රදර්ශනයෙන් මිලදී ගත් පොත් ගොන්න කුමන හෝ හේතුවක් නිසා ශෝක ජනක අයුරෙන් ඉක්මනට ඉවර වීගෙන යයි. // ආසාවෙන් පොත් කියවන හැමෝටම වෙන දෙයක් නොවැ. පොත් ප්‍රදර්ශනෙන් ගෙනාව පොත් ටික සතියකින් ඉවර වුණා. ‍අතරමග නතර වුණේ "තැප්පා සේ ම ගිනි" පමණ යි.

    ReplyDelete
  10. මට නම් ඉතිං අවුරුද්දෙම වසන්තේ වගේ තමයි... ඔය ප්‍රදර්ශනේට එන්න බැරි උනාට පුස්තකාල තියනකම් අවුලක් නෑ...

    ReplyDelete
  11. නියමයි.දිගටම කරගෙන යන්න සුභ පතනවා.අපිත් බ්ලොග් අඩවියක් ආරම්භ කරා.ගිහින් බලන්න
    http://tv-sinhapedia.blogspot.com/

    ReplyDelete
  12. අයාලේ සිත් : මාගම් සෝලිය ගොඩක් හොඳයි. ඊට වඩා මට ලොවීනා හොඳයි. අද්භූත කතා රචනය කියන්නෙ එක් ශෛලියක් බව මම උගත්තෙත් මාගම් සෝලියෙන්... හැබැයි ඒක ලියලා තියන හැටි හරි ලස්සනයි

    වර්ශා : අඳ වාදකයා එහෙනම් කියවන්නම්කෝ.... :) සෙන්කොට්ටන් ආයෙත් කියවන්න හිතන් ඉන්නවා.. මම එහෙනම් ලියාවි

    රොශාන් : අපෝ නෑ.. ඒක වැරදීමක්...

    රීසා : සුනෙත්‍රාගෙ ප්‍රේම පුරාණය ගොඩාක් ඉස්සර කියෙව්වා. හැබැයි සුනෙත්‍රාගෙ ගොඩක් පොත් එක වගේ කියලා මට වෙලාවකට හිතෙනවා ...

    නෙරන්ජි : හෙ හෙ. ඒක තමා අපරාදෙ සල්ලි. තැප්පා සේම ගිනි ත් ඒවගේ අපරාදෙ සල්ලි පොතක් කියල හිතෙනවා.. මගදි නැවැත්තුවා කියවන එක...

    දිලිනි : ඒක හරි ....

    මධුරංග : පොත් ගොඩක් ගත්තා.. ගොඩක් ඉවරයි දැන්... මාගම් සෝලියට මම නම් කැමතියි ... රාගය ගෑවිච්චි හැම තැනම පෝනොග්‍රැපි වෙනවයි ?

    අරූගෙ අඩවිය : නිර්මලාද අල්විස් :)

    තීර්ථ : හෙ හෙ. ඒක නම් ඇත්ත. මම නම් වින්දා ඒ පොත... නිර්මාණශීලියි

    ධාරා : ඒක නම් ඇත්ත. සාගර ජලය පොතත් මගදි නතර උනානේ....

    තිසර : මෙහෙ පුස්තකාල යන්න වෙලාවක් නැහැනෙ අපට .... :)

    යසිරු : ස්තූතියි

    කොමෙන්ට් ලිව්ව හැමෝටම ගොඩක් ස්තූතියි :)

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->