ජීවිතය වරින් වර එක් එක් දිශාවන්ට ආනත වන්නේ නොසිතූ අයුරෙනි. රතු අහසේ රටා වියන ගොම්මන් හැන්දෑකරෙහි අහස පෙනෙන බැල්කනියට වී මම ගීත වලට සවන් දෙමින් සිටිමි.
එක්තරා කාර්ය බහුල කාල සීමාවක් අවසනදී යම් නිදහසක් ලැබී ඇති බව සැබෑවකි. එහෙත් හිස්බවක්ද සිත වෙලා ගනියි. නිවසේ කුඩා රූපවාහිනිය තුලින් අභීත දියණිය ඇසෙන්නේ මේ වෙලාවටය. ජීවිතයේ සැඳෑ සමය ගෙවන මාපියන්ට රූප පෙට්ටිය රේඩියෝව නරඹා සරල රසයක් විඳිනු වස් තිබෙන අවකාශයට ඔච්චම් කිරීමට සිත ඉඩ නොදෙයි.ආගම දහමත් , මින් ජුන් හෝ වැනි චරිතත් පොත පතත් හැරුනු විට ඔවුන්ගේ ලෝකය තුල බරක් වී ඉතුරුව තිබෙන්නේ මා වැනි සාධක එක දෙකක් පමණකි.
ඇතැම් විටෙක ජීවිතයේ නිහඬ බව උසුලා ගනු නොහැකි තනිකමක් බවට පෙරලෙයි. කන් දෙකෙහි පුරුදු ගීත වාදන පණ ගන්වා මම ඈත තුරු හිස් මුදුන් අස්සෙන් වවුලුන් , සලබයින් මෙරුන් පියඹා එන අයුරු නරඹමින් සිටින්නෙමි.
හවස් යාමය බොහෝ නිහඬය.. ඇසෙන ගීත එක් එක් යුග මතක මතක් කරවයි..
2003 , මැගී මතකය බැඳෙන්නේ සරසවි කාලයටයි. මහනුවරම නගර සීමාවෙහිම නිවෙස් පිහිටිමුත් , සරසවි ජීවිතයේ රස තොලගා බලනු වස් හිතේ තිබූ ආශාව නිසාම , හොස්ටල් එකේ අන්තිම අවුරුද්ද හෝ නවතින්නෙමැයි අදිටන් කරගත් මාත් මිතුරියත් අපහසුවෙන් විජේවර්ධන කාමරයක් අත්පත් කරගතිමු. ලියුම් ගණනාවක් ලියා කණිපින්දම් කියා රූම් එකක් ඉල්ලා ගත්තේ අධයාපන කටයුතුවල පහසුව සිතා නොවේ. එකල්හි අතට එතරම් මුදලක් කිසිසේත් ගෙදරින් නොලැබෙයි. ඉල්ලීමටද නොසිතෙයි. විශ්ව විද්‍යාලේ යනගමන් ප්‍රයිවට් ඩිග්‍රියකුත් කලේ ගෙදර තිබූ අම්මාගේ රන් අබරණ කිහිපය වරින් වර බැංකුවේ තැන්පත් කරමිනි . වාසනාවට විජේර්ධන කැන්ටිමේ බත් එකක් වැඩිම වුවොත් රුපියල් විසි එකකි. හොඳ ෆ්‍රයිඩ් රයිස් එකක් 40කි. (මේ වසර 8 කට පෙරාතුවය) .රුපියල් හතලිහේ ෆ්‍රයිඩ් රයිස් කෑමට අපිට වත්කමක් නැතිය. හොඳම සගයා මැගීය. රුපියල් විස්සකින් දෙදෙනෙකුගේ බඩගින්න පිරිමහින්නට මැගීට හැකිය. ඒක සරි කරගන්නටත් , මාත් මගේ බැචියත්දෙදෙනාම රුපියල් තුන් හාරසියයක මාසික ගතමනාවක් වෙනුවෙන් ලමුන් කීප දෙනෙකුට ටියුෂන් කළෙමු. ජීවිතය අග හිඟ වලින් පිරුනේ වී නමුත් ගෙදරට ලොකු බරක් නොවී කොහොම කොහොමෙන් හෝ අමාරුවෙන් ගෙවා ගත් ඒ යුගය ගැන අද වන විට සිතෙන්නේ අප්‍රමාණ සතුටකි.
නෙස්කැෆේ මතක් වන කල්හි ගේට්වේහි කල පළමු රැකියාවත් , රාජගිරියත් එහි වසර දෙකක් ගතකල ආදරනීය බෝඩින් නිවසත් සිහිවෙයි.ලොකු පඩියක් නොලැබුනත් අතට ලැබුනු කුඩා පඩියෙන් නෙස්කැෆේ බෝතලයක් ගත් හැටිත් , නෙස්කැෆේ සහ සීනි මත කුඩා වතුර බින්දුවක් දමා දහදිය දමාගෙන කැපුචිනෝ හදාගත් හැටිත් මතකයට එයි. රාත්‍රි අහර වෙනුවට මිලි ලීටර පන්සියයේ අයිස්ක්‍රීම් ටබ් එකක් කමින් රෑ එලිවනතුරු ප්‍රිසන් බ්‍රේක් බැලූ කාලය ආයෙත් එන්නේ නැතිය. ඇබ්බැහි වන තරමට නෙස්කැෆේ බිවූ ඒ කාලය , අයිස්ක්‍රීම් කැ ඒ කාලය , මුදල් හම්බ කිරීමේ පළමු අත්දැකීම් වල බොලඳ ආශාවන් මතක් කරයි. නුවර නගරයක් වුවත් එහි ඇති චාම් සරල බව හැරදා කොලඹ පය තැබූ එකල්හි , රිසි රිසි දේ කන්නට බොන්නට , ඇවිදින්නට , ඉබාගාතේ ශොපින් යන්නට ලැබූ වරම එක්කලේ අමුතුම අත්දැකීමකි. බීඑම් අයිචීඑච්හි එක්සිබිශන් බැලීම , මැක්ඩොනල්ඩ් බැරිස්ටා යාම, කොල්ලුපිටියේ සුපිරි කඩ සාප්පු එම් සී ආශ්‍රය කිරීම ඒ කාලේ පෙනුනේ හරි ලොකු දේවල් හැටියටය. ඉතුරුවක් කරනවා විනා මාසය අවසන් වෙද්දී ගෙදර යාමට බස් ගාස්තු තබා ගන්නේත් හරි අමාරුවෙනි. එහෙත් ඒ මතක එතරම්ම සොඳුරුය. අතේ සතේ නැතත් පොශ් වාගේ පෙන්නන්නට තිබූ ආශාව දැන් සිහිවෙන විට අනුකම්පාවක් දැනෙයි.
කඳු පාමුලම තවමත් කැරකුනත් එදා සිටි ආගාධයෙහි අද මා නැතිබව සිතෙද්දී හීනි සතුටක් දැනෙයි. එදා තිබූ අරුමෝසම් ආශාවන් වෙනුවට සරල චාම් එහෙත් දුලබ ජීවිතයක් සිත ඉල්ලා සිටියි. වැඩ ඇරී එන හවස් යාමයේ යලිත් කොම්පියුටරය ඉදිරියේ ගාල් වී වැඩෙහි යෙදුනු සමය ගිලිහී තිබේ. ඒ වෙනුවට තේ කෝප්පයක් පැය ගානක් තොල ගාමින් පොත පතක් කියවමින් , රැ දෙගොඩ හරිය වන තුරු අහස පෙනෙන බැල්කනියෙහි පුටුවක රැඳෙමි. වවුලෙකුටත් නැති කපුටෙකුටත් නැති කලබලකාරී ජීවිතය යම් තාක් දුරකට සමනය වී තිබෙයි. ඉතා කුඩා වියෙහි නැරඹූ 'පින්ගු' , 'යූ ජස්ට් වෙයිට්', 'ටොම් ඇන්ඩ් ජෙරී' නරඹමින් හෝ ගීතයක් අහමින් , කවියක් කතාවක් කුරුටු ගාමින් මධ්‍යම රාත්‍රිය වන තුරුම අවකාශය සමග දොඩමලු වෙමි.
උදේ පටන් හවස් වන තුරුම හිස ගිනි ගත්තාක් මෙන් වැඩෙහි යෙදෙමින් , හිස බරින් පිටමං වන මම , තුන් රෝද රියට සමුදී නිවසට ඇති කිලෝමීටර හතර පයින් එන්නට වෙමි. එහි ප්‍රතිපල වශයෙන් දිගු කාලීන කොන්දේ අමාරුවක් උරුමව තිබෙයි. එහෙත් ගහකොල සතා සීපාවුන් දකිමින්, මිනිසුන් නරඹමින්, පයින් ගමනෙහි යෙදීමෙන් සිතෙහි පිරී ඇති වගකීම් විභවය වැවකින් දිය ඇල්ලකට පරිවර්තනය වෙයි. සිතෙහි පීඩනය අවම වනු උදෙසා ඇවිදීම තරම් ස්වභාවික ඔසුවක් තවත් නැති බව නම් මම පසක් කළෙමි. එහි ප්‍රතිපල වශයෙන් අලුත් අදහස් සිතට එයි. අලුත් නිමැවුම් කරන්නට සිතෙයි. ජීවිතය යුද්ධයක්ව තිබූ අවදිය කොතරම් බරදැයි දැන් වැටහෙයි.
ඇතුලතිනුත් පිටතිනුත් චරිත දෙකක් හෝ කිහිපයක් පවත්වා නොගැනීමේ ප්‍රීතියෙන් මම තවමත් මමම වී සිටින්නෙමි. කඳු පාමුල හෝ මැද හෝ කොහේ හෝ සිට මට අදත් එදා මෙන්ම අනෙක් කඳු නිම්නය සිසාරා ජීවත් වීමේ සන්‍තෝෂයෙන් කෑගැසිය හැකිය. ඇනුම් පද , කුහක කම්, ද්වේශය , නොහැකියාවන් පිරීගත් මිනිසුන්ගේ ඇති අනේකවිධ වෙස්මුහුණු අතරෙහි අදත් එදාත් කවදත් මම මාම වී සිටීම පිලිබඳ මට හීනි ආඩම්බරයක් මෝදු වෙයි. ජීවත්ව සිටින තාක් කල් අලියා බලවත්ය. කුහුඹුවකු සපා කැමෙන් අලියාට දැනන දෙයක් නැතිය. අලියාව අනුභව කරනු වස්, ඌ මියෙන තුරු බලා සිටීම කුහුඹුවාගේ නොහැකියාවය. හරි හමන් කුහුඹුවෙකු නම්,තමුන්ද බොඩි බිල්ඩින් කොට අඩු ගානේ තමුන්ට අලි පැටියෙකුට හෝ සම විය හැකිදැයි උත්සහ කොට බැලීම වටී. කුහුඹුවන් අලි මලකුණු අනුභව කලද , අලියා වැරදීමකින් හෝ කුහුඹුවන් නොකන්නේ , කුහුඹුවා පොඩි වැඩි මෙන්ම , අලියා වෙජිටේරියන් නිසාමය. අලියාට තම ප්‍රතිපත්ති පාවා දී මලකුණු කන්නෙකු හෝ මස් වැද්දෙකු වීමට කිසි සේත් අනවැසිය. මගේ සැබෑ මිනිස් ජීවිතය තුල මා මස් වැද්දෙකු නොවූ නිසාම , මළකුණු කන්නෙකු නොවූ නිසාම , මම මගේ ජීවිතය නිසි සන්සුන් මගෙහිම යන්නෙමි. වෙස් මුහුණු මත්තෙහි ජීවිතය තැනී නැති නිසාවෙන්ම ජීවිතය බොහෝ සැහැල්ලුවක් දැනෙයි...
ආදරය යනු සැනකෙලියක් හෝ සුසානයක් නොවන වග ජීවිතය ඔස්සේ මම හඳුනාගෙන සිටින්නෙමි. ආදරය සහ එකට ජීවත් වන ජීවිතය යනු සුලඟක් මෙන් ස්වභාවික ජීවිතයට බද්ධව දස වදයක් නොවී ගලා යන ජීවන චාරිත්‍රයකැයිමට සිතෙයි. එහි ඇති නිහඬ සුන්දර සහ අතිශයෝක්තියෙන් තොර බව තුල ආදරය ජීවිතයටම බද්ධ වී ආශිර්වාදයක් වෙයි.
ජීවිතයේ උදා ව ඇති සැහැල්ලුවට පින් සිදු වන්නට , හැන්දෑ අහසෙහි රතු පාට මැකී යද්දී පදවැලක් දෙකක් නිරායාසයෙන් ඇමිණෙයි...
ජීවිතේ.... පාට විසිරුණු සිතුවමක්..
නුඹ මගේ ... පාර පෙන්වන සිතියමක්..
ජීවිතේ ....මතක කැලඹෙන අහඹුවක්..
ඇත්තමයි... අපෙ ආදරෙත් පෙර මතකයක්..
ජීවිතේ නම් අහඹුවක්- හීන සටහන් පාර කියනා සිතියමක්..
This is really a touching story. Love this ! :)
ReplyDelete
ReplyDeleteජීවිතේ.... පාට විසිරුණු සිතුවමක්..
නුඹ මගේ ... පාර පෙන්වන සිතියමක්..
ජීවිතේ ....මතක කැලඹෙන අහඹුවක්..
ඇත්තමයි... අපෙ ආදරෙත් පෙර මතකයක්..
ජීවිතේ නම් අහඹුවක්- හීන සටහන් පාර කියනා සිතියමක්..
මෙව්වාගෙ සන්සුන් පදපේළි ලියැවෙන්නේ සන්සුන් හිතකින්.නිර්මාංසාහාරිකයෙක්ගෙ හිත නිකන්ම සන්සුන් වෙනවා.ඒක මම අත් විදිනවා.ඒක බොහෝම සුන්දර සන්සුන් බවක්!
ජිවිතේ එහෙම මතක් පෙරහැරක් තාමා......හැබැයි අත්දැකීම් තියේනම් පමණක්........
ReplyDeleteආදරය සැණකෙළියක් හෝ සුසානයක් පමණක් නොවේ.ඇතැම්විටක අත්පත් කර නොගෙන වින්දනය කරන්නත් පුළුවන් දෙයක්,ඒ වගේම එකිනෙකාගේ යහපත වෙනුවෙන් සමුගැනීමත් ආදරයම වෙනවා.ආබාධිත මිනිසෙකු ලෙස වසර 15 ක අත්දැකීම් අනුවයි මමත් මේ ටික කීවේ.මම නම් ඔබමෙන් නිර්මාන්ශිකයෙක් නොවේ.එයත් එක්තරා ආහාරයක් ලෙස සිතා අනුභව කරන්නෙක්, ඒ වගේම පමණ දැන මත්පැන් පානයත් කරනවා.මම ධනිය ගෝපාල මෙන් සතුටින් ඉන්නවා.
ReplyDeleteමැගී, මාවී, එතකොට අනික් කෙනා කව්ද?
ReplyDelete@වකා - WAKA
ReplyDeletethanks alot waka :)
@වර්ෂා ( Rain_Girl )
ReplyDeleteස්තූතියි වර්ශා...
ඒත් මම නිර්මාන්සාහාරිකාවක් නෙවි. මම කිව්වෙ අලි කූබින්ව ගිලින්නෙ නෑ කියලා. උපහැරණයක් පමනකි. :) හෙ හෙ... ස්තූතියි හොඳේ ඒ උනාට
@රස්තියාදුකාරයා
ReplyDeleteඒ කාලෙදි මොනවා හිතුනත් මොන දුකක්ද කියලා හිත කිව්වත් දැන් ඒ අතීතය ගැන සෑහෙන්න සතුටක් තියෙන්නේ ...
@Anonymous
ReplyDeleteමම නිර්මාංශිකයෙක් නෙවේ. උපහැරණයක් පමණයි... ස්තූතියි
@Anonymous
ReplyDeleteaeh ? therune nehane ??? :)
හොඳ ජීවන දෘශ්ඨියක්. ඇයි පයින් ගියාම කොන්දෙ අමාරුවක් ආවා කිව්වේ? එහෙම වෙනවද?
ReplyDeleteහම්මේ කාලෙකින් උඹ මට තේරෙන භාෂාවෙන් ලියලා... :D
ReplyDeleteඅනිත්වනං මංදා..ජීවිතේ තුන් වැනි වතාවට මං ආයෙමත් කොළඹ ජීවත් වෙනවා... අර කවුද කිව්වා වගේ කොළඹ තියෙන්නේ ලංකාව ඇතුලේද නැත්තං ලංකාව තියෙන්නේ කොළඹ ඇතුලෙද කියලයි මට තාම විසදගන්න බැරි...
good!
ReplyDeleteවැඩි සතුටක් ලැබෙන්නේ සතුටෙන් ජීවත්වීමෙන්ද, සතුටෙන් ජීවත්වන බව දැනගැනීමෙන්ද?
ReplyDeleteහොඳට අදහස් හසුරුවා ලියල තියෙන කථාවක්.ඒක ගොඩ දෙනෙක්ට තම අතීත සැමරුම් මතක් වෙන විදියේ කතාවක්.
ReplyDeleteහ්ම්ම්ම් කාලෙකින් හිතන්න දේවල් ගොඩක් තියෙන පෝස්ට් එකක් නේද ...?
ReplyDeleteදිගටම ලියන්න ....
පයිං ගිහාම කොහෙද බොල කොන්දෙ අමාරු එන්නෙ?....ඕකෙ වැඩේ මේකනෙව..උඹ අර රටේ නැති අඩුම කුඩුම පුරව ගත්ත අක්කරයක් විතර මල්ලකුත්; හවහට ඕකට ලීටර් දෙකේ චොක්ලට් අයිස්ක්‍රීම් ටබ් එකකුත් පැටවෙනව නෙව... උරහිසේ එල්ලගෙන අර ගහේ නඟිනව වගෙ කන්දක් නැග්ගම නම් කොන්දෙ අමාරු එන එක අහන්ට දෙයක්ය?....මේ මෙහෙම කරහං..මල්ල යවාපං ඉස්සෙල්ල ත්‍රී වීලර් එකේ... පස් සෙ හෙමීට වට පිට බල බල උඹ පයිං පලයං...හෙහ්, හෙහ්,
ReplyDelete************************************************
ජීවිතය කවියක්,
මුමුණනා කවියක්,
වෙණ තතක රාවයක්,
සවන සනහන මියුරු ගී රාවයක්,
අන්න එහෙමනෙ ඉන්න ඕන....ජිවිතය විඳපං බාං..ජීවිතය විඳපං. :)
හරිම සුන්දර සටහනක් මල්. මම හරිම ආසාවෙන් කියෙව්වා. ජීවිතේට ගොඩාක් සමීපයි. සරල ජීවිතේ සුන්දරයි.
ReplyDeleteLife is a song - sing it.
ReplyDeleteLife is a game - play it.
Life is a challenge - meet it.
Life is a dream - realize it.
Life is a sacrifice - offer it.
Life is love - enjoy it.
-- Sai Baba
සුන්දර සටහනක්, ආඩම්බරයි සොයුරියේ
තනිකම ඇතුලේ ජීවත්වීමත් තනිකම නැති කරවන්නක් කියලයි මට නම් දැනුනේ. කොච්චර ලස්සන අදහස් ගොඩක් පහල වෙලාද?
ReplyDeleteවෙලාවකට තනිකමත් ජීවිතේට ඕනි කරන ලස්සන දෙයක්!!! :D
හරිම අමුතු චරිතයක්නෙ. ඔහොම හැමෝටම ඉන්න බැරි එකනෙ වැඩේ. තමුන් තමුන්ට අවංක වුනහම හංගන්න දෙයක් නැනෙ.
ReplyDeleteඔබටත් පවුලේ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!!!
ReplyDelete"ඇතුලතිනුත් පිටතිනුත් චරිත දෙකක් හෝ කිහිපයක් පවත්වා නොගැනීමේ ප්‍රීතියෙන් මම තවමත් මමම වී සිටින්නෙමි."
ReplyDeleteමේක උදානයක්....
@දිලිනි ආරියවංශ
ReplyDeleteමට සමාවෙන්න මේ කොමෙන්‍ටු මග ඇරිච්චි එකට. ජීවිතේ හරි බිසී වෙලා..
කෙසේ වෙතත්... ගොඩක් ස්තූතියී.... ඇත්ත... ජීවත් වෙනවා කියන්නෙ චෙස් ගේම් එකක් වගේ ස්ට්‍රැටජික් දෙයක් නෙවෙයි....
@තිසර
ReplyDeleteස්තූතියි තිසර...
සුබ පැතුමට මාස ගානකට පස්සෙ උත්තර ලියනවට සමාවෙන්න හොඳේ... :)
@Naleen Dilruksha
ReplyDeleteස්තූතියි යාලු
@නිල් මානෙල්
ReplyDeleteඅනිවාර්යෙන්.. ඒකනෙ වෙන්නත් ඕනි... හංගන්න දෙයක් නැතුව නෙවි. ඒත් ජීවිතේ මහ විසාල බොරුවක් නෙවිනෙ.. ඒ මැදැයි :)
@Podi Kumarihami
ReplyDeleteතනිකම හොඳයි. ඒත් ඇතුල් හදින්ම ප්‍රශ්න අහලා ඇතුල් හදින්ම උත්තර දීලා ජීවත් වෙන එක හොඳ නැහැ. පිටතින් අපි දේවල් ගන්න ඕනි...
@ගල්මල්-Coral
ReplyDeleteස්තූතියි යාලුවේ....
life is undoubtedly a wonderful gift. enjoy it :)
@Chandi
ReplyDeleteචන්දි...
ගොඩක් ස්තූතියි. සංසාරේ පිරෙන්න සීමිත, ඒත් පිරිච්චි හදවත් මෙහෙම තියන එක හරි සතුටක් :)
@Ravi
ReplyDeleteරවි ලොක්කා...
මගෙ මාලු මගෙ ඇගේ තියලම කපනවනෙ.. අනේ සංසාරේ....
කොන්ද කැක්කුම සුව වුනා.. ( දැන් මේ කොමෙන්‍ටු ලියල හුඟ කලාක්නෙ ) ඒත් ආයිත් පහුගිය සතියෙ පඩිපෙලකින් වැටුනා අප්පා.. :(
@silentsahan
ReplyDeleteස්තූතියි යාලු... පරක්කු වෙලා කොමෙන්‍ටු ලියන එකට සොරි වෙන්ඩ... :)
@wmk
ReplyDeleteස්තූතියි යාලුවා...
ආයෙත් ඇවිත් යන්න.
ලියන්න වෙලාව හිඟයි. ඒත් අත් හරින්නත් ලෝබයි :)
@තිසර
ReplyDeleteමම හිතන්නෙ දෙවෙනි එක ගොඩක් වැදගත්.
සමහරුන්ට සතුටු වෙන්න හේතු තිබ්බට ඒවාට සතුටු වෙන්න පුරුද්දක් නැහැ
@Karunarathna Paranawithana
ReplyDeleteThank you :)
@මාරයාගේ හෝරාව
ReplyDeleteජීවිතේ පරිසරයට අනුකූලව කොච්චර වෙනස් වෙනවද කියනවා නම් අපෙ විදියත් වෙනස් වෙනවා ලොක්කා...
කොලඹ කියන්නෙ වෙනම රටක්. ඒ රටට එක පාරක් ගියොත් අබිං කෑවා වගේ, කාලෙකට එපා වුනාට ආයිත් ඕනෙ වෙනවා :)
@Henry Blogwalker
ReplyDeleteමේකනෙ වැඩේ. පයින් යන එක හොඳ උනාට මම හිතන්නෙ උස සපත්තු එක්ක වලවල් වල වැටි වැටී කිමි 4ක් යන එක හොඳ නැහැ නේ>>>
(මොනා උනත් දැන් නම් ටිකක් හොඳයි ) :)