Monday, February 04, 2013

[285] නොවිසඳුනු සංකා සහ නොදුටු වර්ණ


බොහෝ විසිතුරු දැයින් පිරීගත් මම නමැති පොදියෙන් එක එක අරුමැසි කල්පනා හැඟුම් මම එක එක පිටතට ගෙන තබා , නුඹ හැඩ බලන අයුරු ප්‍රීතියෙන් බලා සිටින්නෙමි. 

තවත් බොහෝ සොඳුරු අන්තයන් නොදු‍ටු හෝ ඇති බවක් නොදන්නා නුඹට 'මම' යනු එක් එක් දිනයන්හි එක් එක් අරුමැසියන්ගෙන් නුඹේ සිත නිලංකාර කරන නාටකයකි.

'Life is a box of chocolates . You never know what you are going to get there!'
මට ෆොරස්ට් ගම්ප්(Forrest Gump) සිහිවෙයි. මාද එසේ නොවේද?

'ඔයා නැමැති ප්‍රහේලිකාව කිසිම දාක කාටවත් ඔක්කොම හරස් පද ගලපලා විසඳන්න ඉඩ තියන්න එපා. ඔයා ප්‍රහේලිකාවක් වෙන තරමටම , හොයා නොගත්තු හරස්පද ලොකු හිස්තැනකුත් , නිදහසකුත් එකතු කරනවා...' 


හිතවතෙකු කියූ ඒ පද මම සීරුවේ යලිත් කල්පනා කරමින් සිටිමි.

පෙර කළ මම එසේ නොවීමි. මම අඳුරු පොදියක් නොවී බහුරූපේක්ෂයක් (Kalidoscope) වීමි.එය එක එක දෙසට හරවා සොලවා කම්පිත කොට එයින් එක් එක් සොඳුරු රටා නැරඹීමෙන් ඔවුහු කිසිදා වෙහෙසපත් නොවූවෝය. මැවෙන රටා දැක දැල්වෙන දැස් වල කාන්තියට ලොබ බැඳි මමද එම හැඩතල පෙන්වා උදම් වීමෙන් කිසිදා තෘප්තිමත් නොවීමි. අවසානයේදී , නේක රටාවන්ගෙන් සිත කුල්මත් වන්නේ ඉතා කෙටි කලකට යැයි සනාථ වෙයි. කුඩා කල්හි ආශාවෙන් ඇස් ඔබා නැ‍රැඹූ ප්‍රිස්ම දෙනෙතියෙහි වීදුරු කැබලිත්තක්වත් සිහිවටනයක් ලෙසක වත් අද කොතැනකවත් නොමැති හැටි! 



ප්‍රිස්මයෙහි වීදුරු කැඩපත් මුහුණත් උණා දැමූ මම එක්තරා යුගයකට පසුව එහි වීදුරු විනිවිද නොපෙනෙනු වස් අඳුරු කඩදාසිත් අලවා දැමුයෙමි. එපමණකිනුදු නොනැවතී විවරයට දොරකුත් සවි කොට යතුරු ලා තබා කුඩා ජනේල පමණක් එක දෙකක් හැර තබමි. ඒ මගේ හුස්ම වෙනුවෙනි. විවර කුඩා කවුලුවෙන් එබෙන්නෙකු උදෙසා දොර හරිනු තබා කවුලුද වසා සැඟවෙනු රිසි වීමි...

එහෙත් මඳ කලකට ඉහත මා පමණක් දු‍ටු වර්වත් රටාවන්  එකෙකුට නොව ලොවට පෙන්වනු රිසින් මම පියාපත් විදාහළෙමි. පියාපත් තුලින් මට වර්ණ පමණක් නොව ඉගිලීමේ බලපත්‍රයද හිමි වූයේය. 
එහෙත් , දැස් නිලංකාර වන වර්ණ සඟවමින් මම පියාසැලීමෙහිද ,  වර්ණ පෙන්වීමෙහිද සබකෝලයෙන් යුතුව අදෘශමාන කූඩුවක සිය කැමැත්තෙන් අගුලු ලාගෙන සිටිමි.

'හැඟීම් නැද්ද මන්දා...'  


එසේ ඇසෙන තුරුම මම මා සතු වර්ණ දැක උදම් වනු මිස වර්ණ ගැන්වූ පියා පත් පිලිබඳ ආඩම්බරයෙන් යුතුව අහස සිඹින්නට හෝ බහුරූපේක්ෂයක් වැනිව වර්ණ දක්වන්නට උත්සුක නොවූයේ ඇයිදැයි යලි සිතන්නට වූයෙමි. 

අඳුරු පොදියෙන් එක එක ලිහා පෙන්වූ සිඟිති සීනි බෝල කිහිපයකට සූප වේදයේ කූට ප්‍රාප්තිය පෙන්විය නොහැක්කේය. එහෙත් පරිභෝජනය පිලිබඳ අමිහිරි මතක විසින් , හොඳම , සොඳුරුතම , හෙවත් //  මම නැමැත්තියගේ සැබෑ මුහුණෙහි ලොකුම අරුමය මා අමනුස්ස අයුරකින් සඟවා සිටීම ඇතැම් විට බොහෝ වේදනාබර අත්දැකීමක් වන්නට ඇත.

සැඟවී ගත් හැඟුම් පිට කරගන්නට නොහැකිවද? එසේත් නැතිනම් ඒ මාන්නයද ? ඒ අභිමානයද? නො එසේනම්  පල කරන්නට හැඟුම් නූපදින්නේද? 

කිසිවෙකු නගන ප්‍රශ්නයකදී මම නිරුත්තර වී හැඬුම් බර වීම මෙය ලියන්නට හේතු වූ බව නොකියාම බැරිය.

එහෙත්... මෙතැන්හිදී හෝ එය ලියා 
ලිහා  තැබීම නොවටනේයැයි සිත පවසයි. 

'මම කැමතියි වැවක් වගේ ගැඹුරු හිත අස්සෙ ඔය ඔක්කොම හංගං ඉන්නවට . හැමදාම මට හිත හිත ඉන්න දෙයක් තියනවා. වෙලාවකට තරහ එනව තමයි.. ඒත් ඔය හංගං ඉන්න හැඟුම් කවදාවත් කියන්න එපා. ඒක හරි ලස්සනයි'
ප්‍රහේලිකාවේ වැඩි වැඩියෙන්ම යෙදෙන වැදගත්ම හරස් පදය තවදුරටත් සඟවා තැබීමට සිත බල කරන්නට මේ දෙබස සමත් වූ හෙයින් ,  මම ඉතින් නිහඬ වන්නෙමි. 



 නොවිසඳූනු ඉසවුවෙහි .. ඉතා[ම] සොඳුරු වර්ණ ඇතැයි යන්නත් නොකියාම ලිපිය නිමා කිරීම නොහොබී.



15 comments:

  1. කියන්න ඕනෙ තේරුම් ගන්න උවමනාවක් තියෙන, තේරුම් ගන්න හැකි අයට. සමහරවිර අපිට වැදගත්ම දේ තව කෙනෙකුට නිකම්ම හෑල්ලක් විතරයි.

    ReplyDelete
  2. මගේ ජිවිතේ මට ලස්සන මම ගුප්ත නිසා. ඒ ගුප්ත බව තමා මගේ අනන්‍යතාවය. ජිවිතේ විසදනකොට තමා ජිවිතේ පාට පෙන්නේ, නැත්නම් ජිවිතේ සුදු කළු විතරයි......

    රස්තේ ගහන්න එන්න

    ReplyDelete
  3. ප්‍රහේලිකාව පරිපූර්ණව තර්කානුකූල අවසානයක් කරා විසඳාලීමට ඉඩ නොහලයුතුය.උපකාරක පද පවා ප්‍රහේලිකාව විඳීමට උත්සාහ කරන්නාහට සපයාගැන්මට නියම කිරීම වඩාත් යෙහෙකි.විසඳා අවසන් වූ ප්‍රහේලිකාව යනු පානය කොට නිමවූ බීර බෝතලයක් වැන්න. අවම වශයෙන් බීර බෝතලයට පවා එහි කිසිදු වටිනාකමෙක් නැත.

    බොහෝ කාලයක් මුළුල්ලේ මම ප්‍රහේලිකාවක් විසඳමින් හිඳිමි.එක් හරස්පදයක් බොහෝ වෙහෙසව සොයාගත් කල සතුටින් ඉපිළෙමි. ඒ සතුටද සිතෙහි දරා නින්දව යමි. උදෑසන අවදිවූ කල ප්‍රහේලිකාවෙහි උපකාරක පද පවා නැවත සංශෝධනය කොට ඇති බව දකිමින් සිත මොහොතකට හඬා වැටුනද යලි ඒ අභියෝගයට නොබා මුහුණ දෙන්නෙමි.

    *************************

    " ඔයා වැවක් වගේ...මම ආසයි ඒකට.. "

    බොහෝ කලකට පෙර දිනෙක ඇය පැවසූයේ මගේ සුරත පිරිමදිමිනි.ඔයා මහ වැවක් වගේ ගැඹුරුයි නිශ්චලය….ි මම ආසයි ඒ නිශ්ශබ්දතාවයට... ඒ ගැඹුරට... හේතු විමසුවහොත් ඈ නිශ්චිතවම එසේ පවසන බව මම දැන සිටියෙමි. එහෙත් ඇගේ මුවින්ම එවදන් පිටවනු දැකීමට මම රුචි වූයෙමි.

    '' ඒ කොහොමද මම වැවක් වගේ වෙන්නෙ?... '' මම ඈ දෙස නෙතඟින් බලමින් ඇසීමි.

    " වැවකට මට ඕන වෙලාවක බැහැල නාගන්ට පුළුවන්. ඕන නම් බහින්නෙ නැතුව ඉන්නත් පුළුවන්. ඒත් වැව නිශ්ශබ්දව ඉන්නව මිසක මට දොස් කියන්නෙ නෑ. ඒකයි වැවකට කැමති…" ඇය පැවසුවාය.

    මම විවරකොටත් මුවින් යුතුව ඈ දෙස බලා සිටියෙමි.

    ReplyDelete
  4. වර්ණ වලින්
    ගිනිකණ වැටී
    කලු සුදු ලොවක
    ජීවත් වෙමි ... !!

    වර්ණ ගැන සිතුවිලි වලට
    පෙම් බඳිමි ..
    ඒ නිසා
    කියෙව්වෙමි ... !!!

    ReplyDelete
  5. අනේ අම්මෝ ප්‍රෙහේලිකාවක් වගේනේ....

    ReplyDelete
  6. ප්‍රහේලිකාවකින් ඇහුවොත්, ඔබ කැමති ප්‍රහේලිකාවේ කලු සුදු කොටු වලට කැමති, හරස් පද කියවා පිළිතුර නොතේරෙන, එහෙත් නොතේරීම ගැන දුකක් නැති කෙනෙකුටද කියා.. මුලින්ම පැනනගින ගැටළුවක් විසඳාගත හැකිවෙයි. මට හිතෙන විදිහට විසඳීමට තැත් නොකරන ප්‍රහේලිකාවක ඇත්තේ යම් මතුපිට සතුටක් පමණයි. ප්‍රහේලිකාවක්, එය විසඳන්නෙකු එනතෙක් බලා සිටින බව මගේ හැඟීමයි. නැති නම් එය ප්‍රහේලිකාවක් නොවී වීදුරු අල්මාරියක ස්ථිර ලෙසම තැම්පත්කල වීදුරු භාණ්ඩයක් විය හැකිව තිබිණි.

    දෙවන ගැටළුව... කාලයෙන් කාලයට ප්‍රහේලිකාවේ හරස්පද වෙනස් වේ, අලුතින් කොටු එකතු වේ... පිළිතුරු වෙනස් වේ.... නමුත් එහි මූලික අරමුණ වෙනස් වේද? ප්‍රහේලිකාවක අරමුණ, කිසිදා විසඳීමට නොහැකි ප්‍රහේලිකාවක් යැයි ඉවත විසිවී පරණ පත්තර මිටියක් තුල පිටුවක සැඟවී දිරාපත් වීමද? නැත. වඩා සොඳුරු වන්නේ, දිවා රෑ වෙහෙසී ප්‍රහේලිකාව විසඳන්නට තැත් කරන, එහි සැලකිය යුතු සාර්ථකත්වයක් හිමි කරගත් කෙනෙකුට, ආයාසයෙන් හරස්පද විකෘති නොකර එය විසඳා ගැනීමට ඉඩ දීම නොවේද? ආයාසයෙන් හරස්පද වෙනස් කිරීමෙන්, ප්‍රහේලිකාවේ පද නොගැලපී, ආකෘතීය බිඳී, ප්‍රහේලිකාව අපබ්‍රංශයක් බවට පත්විය හැකිය.

    ප්‍රහේලිකාවට සහ විසඳන්නාට පොදු වූ කූටප්‍රාප්තිය ප්‍රහේලිකාව විසඳන්නා විසින් එය විසඳාලීමයි. ප්‍රහේලිකාව සහ විසඳන්නා ඒකාත්මීය වන්නේ මේ කූටප්‍රාප්තියේදීය. සපත්තුව හිමි සින්ඩරෙල්ලා හමුවූ කලෙක මෙන් ඉක්බිති ඔවුහු සතුටින්ම ජීවත්වන්නෝය.


    //තවත් බොහෝ සොඳුරු අන්තයන් නොදු‍ටු හෝ ඇති බවක් නොදන්නා නුඹට 'මම' යනු එක් එක් දිනයන්හි එක් එක් අරුමැසියන්ගෙන් නුඹේ සිත නිලංකාර කරන නාටකයකි.//

    හුහ්... අපි ගැන හිතන් ඉන්න හැටි නේද...

    ReplyDelete
  7. @Ravi

    එයා: ඔයා මහා ප්‍රහේලිකාවක් වගේ...

    මම: ඇයි ඔයා එහෙම කියන්නේ?

    එයා: බලන්න ඔයාගේ ෂර්ට් එක පුරාම කලු සුදු කොටු...

    ReplyDelete
  8. @රස්තියාදුකාරයා
    ..

    ගුප්ත වෙන එක හොඳා...
    ඔක්කොටම ඔක්කොම විවෘත උනාම අවට ලෝකෙන් එන්නෙම කරදර.. විශේශෙන්ම අපෙ නිදහස සීම වෙනව :)

    ReplyDelete
  9. @Ravi
    .
    .
    අනේ මන්දා රවී ලෝක්කෝ.. ඈඬෙනවා... ඒ එක්කම හිනා යනවා... අක්කවත් මතක් වෙනවා... හී හී

    ReplyDelete
  10. @❀ ⓁⓤⓒⓚⓎ ⓇⓞⓢⒺ ❀
    .
    .
    කියවා නොනැවතී
    අරුත් පසිඳිත් නම්
    තවත් තුටු වෙමි :)

    ReplyDelete
  11. @Naleen Dilruksha
    .
    .
    කවුද මම??? නෑහ්හ්හ්හ්හ්හ්හ් :)

    ReplyDelete
  12. @තිසර
    .
    .
    මෙන්න කතා!
    නියමයි!
    ඒත් මට හිතෙනවා මිනිහෙකුව ඕනෙවට වඩා ඈනලයිස් කරන එකත් අපිට කාලයත් එකක් ඈබ්බෑහියක් වගෙම වදයක් වෙනවා :)

    ReplyDelete
  13. හැම දේම විවෘත උනාම ලස්සනක් නෑ. සමහර දේවල් හිරකරන් ඉන්න එක හොඳයි. අපේ සමහර අනන්‍යතාව රකින්නෙ ඒව කියලයි මට හිතෙන්නෙ. හැම දේම කියන්න ඕනෙත්නෑ කරන්න ඕනෙත් නෑ.

    ReplyDelete
  14. කවදාවත් විසදන්න බැරි ප්‍රහෙලිකා සිත කලකිරවන සුළුයි. ඕනවට වඩා ලේසි ප්‍රහෙලිකා සිත් ඇදගන්නේ නෑ. ප්‍රහෙලිකා උනත් හරියන්නේ දොඩමළු විය හැක්කක් නම් පමණයි. ප්‍රහෙලිකාවක් විම හා ප්‍රහෙලිකා විසදිම කියන චරිත දෙකම අපට රගන්නට වෙනවා. ඒ නයින් බලන විට පිරිමින්ගේ ප්‍රහෙලිකා හරියට අපට පුරුදු සරළ ප්‍රහෙලිකා. මුල් අකුර සමාන වචන දෙකක් තමයි තියෙන්නේ. නමුත් ගැහැනු හරියට සුදොකු ප්‍රහෙලිකා වගේ. එයාලා කළු කොටු නැති උපකාරක පද ඇත්තේද නැති තැත්තේද නැති ප්‍රහෙලිකා. කාට කාටත් කුවුරු කවුරුත් විවෘත විම හෝ අවෘත විම සාපේකෂ වන එක හොදයි කියලායි මං හිතන්නේ.

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->