මම අත්තටු මඳක් විදහා ලොකු හුස්මක් ගනිමින් සිටියෙමි. වෛවර්ණ අත්තටු මත පතිත වන හිරු කදම්බයකින්,විවිධ වර්ණ මතුව එයි.. .
සිත කුරුලු පිහාටුවක් මෙන් පාව යයි. තෙවසරක්! ජීවිතයේ බොහෝ ඇරඹුම් ඇමිණුම් හැඬුම් සිනහවන් අතරෙහි තෙවසරක්! එය දිගු කලක් !
ඉගිල්ලෙන්නට දන්නා සැළලිණියක වනු වෙනුවට , බිම පමණක් තරබාරු ගමනින් ඇවිදින තාර නෑම්බියක වූවා නම් අගනේ යැයි සිතට දැනුනු වාර අපමණය. අහසෙහි ඉන්නා තාක් පෙනෙන වපසරියෙන් බින්දු කාලක් පමණවත් තාරාවියගේ කුඩා ලෝකයට හසු නොවෙයි. ඈ දන්නේ හැමදාම යනෙන විලත්, ඇගේ කුඩා රාජ්‍යයෙහි කිරුළ හිමි තාර නාම්බාත් , පැටවුනුත් , ගහ කොලත් අයිති ඒ කුඩා බිම් කඩ ගැන පමණකි. දිනා ගන්නට අහසක් ඈට නැත. පරාජය කරන්නට සුළං කපොලු ඈට නැත. ඇය වාසනාවන්තද?
තාරාවියගේ පිහාටු අහසේ වලාකුළු ඊට වඩා මුදු පහසකින් යුතු යයි නොදනියි.. තමා පසුපසින් ඇදෙන තාර නම්බා ඇයගේ සම්පතය. උන්ගේ පැටවුන්ට පිහිනන්නට කියා දෙන්නට පමණක් ඇගේ මොළ ගෙඩිය සෑහුනොත් ඇතිය. පිහිනන කුඩා තාර පැටවුන් ඇගේ සතුටය. ඈ කෙදිනක හෝ ඒ සතුටත් තුරුළු කොටගෙන කෑදර මිනිහෙකුගේ රස මසවුළු පිඟානක අවසන් හුස්ම හෙලනු ඇත....
සැළලිහිණිය එසේ නොවෙයි. ඈ සිය ලාලිත්‍යයෙන් , මිහිරි හඬින් , පියාසැරියෙන් සැළලිහිණි නාම්බන් පමණක් නොව මුලු ලෝකයෙහිම ඇස් ඈ වෙත හරවා ගන්නීය. මහ පොළව ඈට කුඩා උයනක් පමණකි. විදුලි වේගයෙන් සුළං කපා අහසට නගින ඈ දකින්නේ මුලු මහත් විශ්වයේම අසිරියයි. ඈ නැලවෙන්නේ වලා යහනෙහි සිනිඳු කෙඳිති අතරෙහිය..
තාරාවියක මෙන්ම සැළලිහිණියකද , දුර අහසෙහි නිල හඳුනන්නීය... එහෙත් සැළලිහිණියක පමණක් ලඟ අහසෙහි සිනිඳු විඳීම් අතරෙහි ලෝකය අතැඹුලක් කොට දකින්නීය. ලෝකය විඳිනු වස් එක් වලා පියල්ලකින් තවෙකකට , එතැනින් තවෙකකට ඇගේ ගමන නොනවත්වනීය. හැම දසුනක්ම විචිත්‍රය. හැම අහසකම ඊට අනන්‍ය වූ කතාන්තරයක් ලියා තිබෙයි. බොඳව විසිරෙන වළා කැටිති මත දඟ කරන ඇයට අහසෙහි බොහෝ ඉඩ තිබේ. පොළොවෙහි ගුලි වන්නට තරම් ඇගේ උද්දච්ච පියෑඹීමේ උද්දාමය ඉඩ නොතබයි.
සැළලිහිණියකට පරම්පරාව පිහිටුවන්නටත් එම කුටුම්භයෙහි ලැගුම් ගන්නටත් අහස් ජීවිතයේ හොඳම හරිය වැය කිරීම නාස්තියක් ලෙස සිතෙනු ඇත. තාරාවියකට , ඉගිලෙන්නට ගන්නා මහ වෙහෙස , අතෝර , කම්කටොලු ඒ ඔක්කොම හිලවු කළ කල්හි අහස ඇල්ලීමේ උද්දාමය මහ කජ්ජක් නොවනු ඇත. ඈ මහ පොළව මත , සීමිත බිම් කඩක සිය සිත පිහිටුවා ගනිමින් , සිය පැටවුන් ලොකු මහත් වෙන'යුරු දකිමින් තෘප්ත වනු ඇතිද?ඈටත් වඩා වියපත් වූ නමුදු තවමත් සෙල්ලක්කාර කරණම් ගසමින් බොහෝ දුර අහසෙහි පෙනෙන සැළලිහිණිය නැට්ටුක්කාර නිර්ලජ්ජී කිරිල්ලක සේ පෙනෙන්නේද?
මට මෙසේ සිතෙයි... සිය පැටවුන් පිහිනවනු වස් විල් තෙර වෙත දක්කාගෙන යමින් , කිසි දා ස්පර්ෂ නොකළ අහස දෙස හොරැහින් බලා හූල්ලන තාරාවියක් සිටිය හැකිද? ?
මට මෙසේද සිතෙයි...
අහසේ කරණම් ගසන සැළලිහිණිය පොළොව කරා යලි නො එන්නේ , ඇයටත් ඈට හිමි බිම් කඩ අමතක නිසාද? ඈ එතැනින් බොහෝ දුරක වලා ඇත‍්ඉරිල්ලෙහි ගසා ගෙන ගොස් ඇති නිසාද? පහළ කුටුම්භස්ථානයන්හි දිස්වන ඒ අරුම පවුල් සංස්ථාවෙන් නැගෙන සුන්දරත්වය ඈ කරා තවමත් නොපැමිණි සොවින්ද? නො එසේ නම් ඇගේ ඒ සුකුමාර යෞවනය තුල විඳි අත්‍යන්ත ආස්වාදයන් අහිමි කොට ගනු නොහෙන , ගෙවෙන මේ මොහොත විනා අනාගතයක් කෙරෙහි නූපදින ලෝභයෙන්ද?
පිහාටු නැති තාරාවියක සේ පෙනුනාට , ලංව බැලූ කළ ඈ තටු කපා දැමූ හංසියකදැයි විටෙක සිතෙයි.
සිය මෝහනීය සුගායනයෙන්ද දිස්න දෙන කඩවසම් පියාපතින්ද සුසැදි මුත් , තවමත් අහසෙහි කරණම් ගසන සැළලිහිණියකට ලංව බැලූ විටෙක... මතුපිටින් දිලෙන පිහාටුද , ඇතුලතින් අව් රශ්මියෙන් අව පැහැ වී වැහැරුනු අත්තටු කැබලිද විමසුම් දෑසකට හසු වනු ඇත...
තේරුං නෑ..
ReplyDeleteඉන්න තව පාරක් බලන්න..
මේ පෝස්ටුව කියවද්දී මට මතක් වුනේ ම රන්න ශ්‍රී විජේසිංහයන්ගේ සැළ ලිහිණිය කාව්‍ය යි. සොදුරුයි.
ReplyDeleteතාරාවියක පොළවට බරව ගතකරන දිවිය කෙරෙහි මහත්සේ ඇළුම් කරනු විය හැක. ජීවිතයේ තෘප්තිය යනු කුමක්ද?...අප එකිනෙකාගේ කියැවීම සහ ජීවිතය වටහා ගැන්ම අනුව ජීවිතයේ පරමාර්ථ සහ අපේක්ෂාවන් බොහෝ සේ පරස්පර විය හැක.ඒ අනුවම තාරාවියක ජීවිතයෙන් අපේක්ෂා කරන්න ඉතා සරල විය හැක. ඒ අල්පේච්ඡ අපේක්ෂාවන් මුදුන් පත් කර ගැන්ම ඇයට ජීවිතයේ කූඨ ප්‍රාප්තියම විය හැක. ඇය වැරදියයි පැවසීමට ඇය විනිශ්චය කිරීමට ඔබ හා මම කවුරුද? අපට ඇති අයිතිය කුමක්ද?
ReplyDeleteඒ එසේම සැළලිහිණියක අහස්කුස සිසාරා රැව් පිළිරැව් දෙමින් පියාසර කරනු ඇත. ඒ ඇගේ අයිතියයි. ඈ ජීවිතයේ තෘප්තිය විඳින්නේ එසේ නිලඹර සිසාරා වළාවන් විනිවිද පියාසර කිරීමෙනි.
තාරාවිය පිළිබඳ සේම සැළලිහිණිය පිලිබඳවද විනිශ්චය කිරීමට ඔබට මට අපට හෝ සෙසු කිසිවකුට කිසිදු අයිතියක් වරමක් අයිතිවාසිකමක් කිසිවෙකු ලබා දී නොමැත.
එහෙත් ජීවිතය එසේ සරල හෝ සුන්දර නොවේ. ජීවිතය වනාහී බොහෝ සේ සංකීර්ණ ක්‍රියාදාමයකි.
මිහිකතට බරව දිවිගෙවන තාරාවිය සත්‍ය වශයෙන්ම තෘප්තිමත් වුවද අහඹු ලෙස හෝ කර ඔසවා නිලඹර දෙස නෙත් යොමුකල දිනෙක අපේක්ෂා භංගත්වයක සේයාවක් ඇගේ සිතෙහි යාන්තමට හෝ පහල නොවේයයි ස්ථිර සහතිකයක් දිය හැක්කේ කාටද? අවම වශයෙන් ඇයට හෝ එසේ සපථ කල හැකිද?
සිත්පුරා තම රුචි පරිදි නිල අහස කරණම් ගැසූ සැළළිහිණිය පියාපත් රිදුම් දෙන්නට වූ දිනෙක මිහිකත මත මඳක් ඉසිඹු ලන්නට ඇත්නම් යනුවෙන් තමන්ටම කියානොගනීවියයි සහතිකයක් ඇයට හෝ ඇත්ද?
what a wonderful thought. Love this
ReplyDeleteජීවිතේ අපට ග්‍රහණය කරගන්න පුළුවන් වපසරිය වැඩිවෙන්න වැඩිවෙන්න.. එක් අතකින් අපි පුළුල් මනසක් සහිත මිනිසුන් බවට පත්වෙනවා, ඒ වගේම ඒ පුළුල් වපසරිය හා බැඳුනු අනිවාර්ය දුක් කම්කටොලු වලටත් මුහුණ දෙන්න සිද්ධවෙනවා. මෙතන චොයිස් එකක් නෑ.. සැලළිහිණියාගේ හිතේ තාරාවිය ගැන ඇතිවන සිතුවිල්ලත්, තාරාවියගේ සිතේ සැලළිහිණියා ගැන ඇතිවන සිතුවිල්ලත් ඒ ඒ අවස්ථාවන් වල ඇතිවන සිතුවිල්ලක්ම පමණයි, ඔවුන් දෙන්නාගෙන් එකෙකුට හෝ අනිකා බවට පත්විය නොහැකියි. සංවේදී මිනිසුන් වැඩියෙන් වේදනා විඳීම අනිවාර්යයි. නමුත් සංවේදී වීම ගැන අප පසුතැවෙනවාද? විටින් විට එවැනි සිතුවිල්ලක් නැගුනත්, අපි ඇත්තෙන්ම පසුතැවෙන්නේ නෑ ඒ ගැන, සතුටු වෙනවා මිසක්.
ReplyDeleteඉතිං සැලළිහිණියාටත් තියෙන්නේ තමන් දකින විසල් අහසේ, සුවය දෙන සුමුදු වලාකුල්, සෙවන දෙන සිසිල් තුරු මුදුන් වල වැඩියෙන් ගැවසෙන එක. එයින් ලැබෙන ජීවයෙන්, වැහිකෝඩ, සුළං කපොලු හරහා පියඹා යන විඩාව සංසිඳුවා ගැනීමට හැකිවේවි. අවපැහැ වී වැහැරුනු අත්තටු දෙස බලා හීන් හිනාවක් මුවගට නගා ගන්න හැකිවේවි.
ජීවිතේ මල් බෙදාහදා ගනිමින් සංසාරේ අපිත් එක්ක ගෙවූ තෙවසරට සුභ පැතුම්!!!
කිසිවෙකු තමාගේ පැවැත්මෙන් සෑහීමකට පත් නොවන නිසාම තාරාවිය ට සැළලිහිණියක වීමටත් .. සැළලිහිනියට තාරවියක වීමටත් සැඟවුනු පැතුමක් පවතිනු නොඅනුමානය ... තාරවියක, සැළලිහිනියක, මොණරියක හෝ කපුටියක උවද, ඒ අනන්‍යතාවය අදාල වන්නේ තමාගේ පිට කවරය දකින ලෝකයාට පමණක් නිසා තාරාවියට ඇවැසිනම් සැළලිහිනියක ලෙස සිතීමටද, සැළලිහිනියට ඇවැසිනම් තාරවියක ලෙස සිතීමටද කවර නම් බාධාවක් වේද ... :)
ReplyDeleteමේකට කමෙන්ට් එකක් දාන එකත් ලේසි වැඩක් නෙවේ. විශේෂයෙන්ම අර රවි තුමාගෙ කමෙන්ට් එක කියෙව්වට පස්සෙ.
ReplyDeleteඅවැසි නම් තාරාවියක සේ සිටින්නට ද, අවැසි නම් සැළලිහිනියක සේ සිටින්නද, නිදහසක් කාට නමුත් හිමි උනත්.... බිම් බැසගත් තාරාවියන් නිරතුරුව සැළලිහිනියන්ගේ තටු සිඳ ලීමට තැත් කරන්නේත්, ඒ දේ කළ නොහැකි තැන අවලාද නගන්නෙත් මන්ද යයි මට නොතේරේ...
ReplyDelete