Saturday, February 09, 2013

[286] බහුරූපේක්ෂක ගැහැණු පරම්පරාව...



සෘජු දඟකාර බැල්මක්... දෙවියන්ගේ ප්‍රතිමාවක අඩු මොනවාද ?
ගැහැණියට නිසි අර්ථ දැක්වීමක් නැති එකමත් හොඳය. සංවරියකගේ අවිහිංසක බැල්මක් එක් ඉරිසියා ගිනි පුපුරකින් ගිනි කන්දක්වී හාත්පස දවාලිය හැකිය..
එකමිතියක් නැති ගැහැණියක හරියට බහුරූපේක්ෂකයක් වැනියයි මා කීවේ එහෙයිනි. ගැහැණියට ඇත්තේ ඩුවලිටියකි. පිරිමින්ගේ පෘතග්ජන හදවත් ඔකඳ වන්නේ අඳුරු , සොඳුරු , වියරු එමෙන්ම නුහුරු මේ කී විවිධ ගැහැණු අරුමැසියන් කෙරෙහිය.
මේ තරම් ප්‍රතිපත්ති විරහිත වෙනස්වන සුලු ගෑනු චරිත ඔක්කෝම එක පෙලට තබා වෙඩි තැබිය යුතු වන්නේ පිරිමි හිත් මේ තරම් අවතැන් කිරීමේ පාපයටය.
කිසිදු කමකට නැති බහුරූපේක්ෂකයක් පවා සොඳුරුකම නිසාවෙන් පිරිමි දෑතකින් ඉවත විසි නොවෙයි. සිත පුදුම කරන අරුම මෝස්තර අහිමි දුප්පත් පිරිමි ජනතාවට විටෙක එබීගත් වන දකින බහුරූ රටාව නෙතඳුනකි.
පිරිමි හිතට නම් මොකද? පතන්නට දෙවියන් දිවැසින් මැවූ ප්‍රතිමා ඇත්තේය. ඒ හොර හිතට ගොඩක් නිර්ණායක ඇත්තේය.
පිරිමි සිත් අවතැන් කොට , කවියන්ගේ රස සීමා අසරණ කරන , සැබෑ ගැහැණුන්ට සමාවක් කොහිද?

රතු නලඟන සිය ආලිංගනයෙන් සිහින මත ආලේප තවරයි. විටෙක අවිහිංසක සංවරියකද, සරාගී නලඟනකද , ඇවිලෙන කොටි දෙනකද , සෙනෙහෙබර මව් දෙවඟනකද පිරිමි සිතෙහි වරින් වර උද්දීපනය වන චිත්ත රූප තුල සිටිනු ඇත.
ගැහැණියකගේ සිතක පිරිමි වේශයක් මෙසේ රඟ දෙන්නේද? කිසියම් ගැහැණියක විසින් නොබියව එම චිත්ත රූපය දැක, වදන් මත ගලපා ගැහැණු හඬකින් පිරිමින් උදෙසා ගැයිය යුතු යැයි හිත කියයි. 
බහුරූපේක්ෂක ගැහැණු පරම්පරාවට දෙවියන් දිවැසින් එබඳු පිරිමි ප්‍රතිමාවක්ද නෙලා දිය යුතු නොවේද?

~~
සුහදිනියේ සඟවන් - ඍජු බැල්මේ ඇරයුම්
දෙවියන් දිවැසින් කළ ප්‍රතිමා වී දිලෙනා.....
පුන් සඳ එලියේ ඔබ නම් - සැණකෙළියයි මගෙ නම්
කවියන්ගේ දෑසේ රස සීමා පනිනා........
හීනෙන් රෑ අවුදින් - සුවදක් සේ ළග හුන්
සංවරියේ රං තිත කෝ මා පිනනා........

වාත්තු කර ඇති දේහ තලාවට - හේත්තු වෙන්න ද සෙවනැල්ලෙන්
කාන්ති ඉහිරෙන නයන ඉනාවට - සාන්තුවර සිත හීදැල්ලෙන්
හොර රහසේ  - හොර හිත පතනා ඒ පැතුමේ
දඟ මෙනෙවිය ඔබ මා වල්මත් කළ 
අරුමැසියයි මෙලොවේ........

වීණා බඳ වට කැරකෙන වරලස - අණ දෙන හෘද ස්පන්දනයෙන්
සුසුමේ රිද්මයට ම රග දෙයි ඔබ - මගේ පෘථග්ජන සිතුවිල්ලෙන්
හොර රහසේ - හොර හිත පතනා ඒ පැතුමේ
රතු නළගන මගේ හිත - අවතැන් කළ එකම ළදයි මෙලොවේ.......
~~




8 comments:

  1. / ගැහැණියට නිසි අර්ථ දැක්වීමක් නැති එකමත් හොඳය. /

    Obviously…... how can you define an enigma ? ….heh, heh,

    / ගැහැණියට ඇත්තේ ඩුවලිටියකි /

    නැත, ඩුවලිටිය යනු ද්විරූපකතාවයයි.ඇයට ඇත්තෙ මල්ටිලිටියකි. බහුරූපකතාවයකි.

    / මේ තරම් ප්‍රතිපත්ති විරහිත වෙනස්වන සුලු ගෑනු චරිත ඔක්කෝම එක පෙලට තබා වෙඩි තැබිය යුතු වන්නේ පිරිමි හිත් මේ තරම් අවතැන් කිරීමේ පාපයටය. /

    අහෝ, ව්‍යාජෝක්තියෙන් ( Sarcasm ) පවා එවැන්නක් නොපවසනු මැනව. එවන් සිතුවිල්ලක් පවා මහද සොවින් මුසපත් කරවයි. ඒ ඉතිරින් පෙළ ඉදිරියට පැන වහා මා ළය ඒ වෙඩි පහරට පාන්නෙමි. සියළු ශුද්ධ වූ වස්තූන් නාමයෙන් දිවුරා පවසන්නෙමි.

    මෙහිලා පැන නැඟෙන අතිරේක කරුණකුදු ඇත. පිරිමි සිත් සතන් අවතැන් කිරීම වනාහී මරණ දඬුවම් පැණවිය යුතු පාපයෙකැයි ඔබ නිගමනය කලේ කෙසේද? ගැහැණුන් නිසා සිත් අවතැන් වීම මහත් ප්‍රමෝදයක් කොට සලකන පිරිමින් ද සිටිය හැකි බව ඔබට නොසිතුනිද?

    / පිරිමි හිතට නම් මොකද? පතන්නට දෙවියන් දිවැසින් මැවූ ප්‍රතිමා ඇත්තේය. ඒ හොර හිතට ගොඩක් නිර්ණායක ඇත්තේය. /

    හොර හිතෙහි නිර්ණායක අවම වශයෙන් තුනක් හෝ සතරක් වුවද දක්වන්නේ නම් කෘතඥ වන්නෙමි මැතිණියනි..:)

    / පිරිමි සිත් අවතැන් කොට , කවියන්ගේ රස සීමා අසරණ කරන , සැබෑ ගැහැණුන්ට සමාවක් කොහිද? /

    පිරිමි සිත් අවතැන් කිරීමේ පාපයට ගැහැණුන් එක පෙලට තබා වෙඩි තැබිය යුතු යැයි පවසන ඔබ ඒ විගස යලිත් පිරිමි සිත් අවතැන් කරනුයේ සැබෑ ගැහැණුන් බවක් ද පවසයි.

    එසේ හෙයින් ඔබ පවසනුයේ සියළු සැබෑ ගැහැණුන්හට වෙඩි තැබිය යුතු බවද?

    / බහුරූපේක්ෂක ගැහැණු පරම්පරාවට දෙවියන් දිවැසින් එබඳු පිරිමි ප්‍රතිමාවක්ද නෙලා දිය යුතු නොවේද? /

    එසේය. එහෙත් මෙපවත්ද පවසනු වස් මට අවසර....සෑම සැබෑ පිරිමියකුගේ සිතෙහි රඟදෙන ඉතිරි රුවක ප්‍රතිමාවක් මෙන්ම සෑම සැබෑ ගැහැණියකගේ සිතෙහි රඟ දෙන පිරිමි රුවක ප්‍රතිමාවක් ද නිරතුරු පවතී.

    ReplyDelete
  2. හොද ලිපියක් යාළුවා.අපේ පැත්තෙත් ඇවිදින් යන්න http://sinhapedia.blogspot.com

    ReplyDelete
  3. පැතලිම පැතල කණාඩියකින් බැලූ විට දිස්වන වම දකුණ පමණක්ම මාරුවූ කිසිම අරුමෝසමක් නැති පිරිමි කම පිළිබඳව වදන් ගැලපීම බහුරූපේක්ෂක කාන්තාවනට අතිශය බෝරිං කටයුත්තක් වනවා නොඅනුමානය. පිරිමි කමේ රසයට නැගිය හැකි එකම අසිරිය ඉඳහිට ඔවුන්ටම සිදුවන අර වම දකුණ මාරුවීම පමණකිය. ඔය මැවීම් කරනා දෙයියෝද පිරිමි ම වන බැවින් කිසිම හැඩක් නැති සරල ප්‍රතිමාවක් මවා තම වර්ගයාම (පිරිමි ) ලැජ්ජාවට පත් කිරීමට නොසිතන්නට ඇති. බහුරූපේක්ෂක ගැහැණු ගැන ගීත ලියැවෙන්නේද, සිතුවම් නිමවන්නේද, නළු රඟදෙන්නේද මේ ඒකරූපේක්ෂක (එහෙම එකක් තියනවාද?) පිරිමින්ම අතිනි. ගැහැණු අතින් ඒවා නොකෙරෙන්නේ තමන්ගේම අසිරිමත් බව උත්කර්ෂයට නොනගන්නට තරම් ඔවුහු නිහතමානී බැවිනි.

    නගරයක සිටි කරණ්වෑමියන් දෙදෙනාගේ කතාව සිහිවේ... එක ස්ථානයක් බෙහෙවින් පිරිසිදුය, නවීනය, කරණවෑමියා පවා පිළිවෙලය, නිසි ලෙස කොණ්ඩය කපලාය. අනෙකාගේ තැන පරණය. අපිරිසිදුය. ඔහුත් අපිළිවෙලය, කොණ්ඩය රැවුල් පිළිවෙලකට කපා නැත. ඔබ යා යුත්තේ කුමන කරණවෑමියා ලඟටද?

    සාමන්‍යයෙන් ගැහැණුන් පිරිමින්ටද, පිරිමින් ගැහැණුන්ටද ආකර්ෂණය වන මෙලොවේ, ගැහැණිය බහුරූපේක්ෂ වීමත්, පිරිමියා ඒකරූපේක්ෂ වීමත් ගැහැණුන්ගේ සහ පිරිමින්ගේ රසඥතාවයන් ගැන පවසන්නේ කුමක්ද?

    ReplyDelete
  4. ගැහැණියක් කියන්නෙ වෙලාවකට බොහොම මුදු මොලොක් කෙනෙක්, වෙලාවකට චණ්ඩයි, වෙලාවකට හරිම සැඩ පරුෂයි, වෙලාවකට නිවිල, වෙලාවකට සරාගියි , වෙලාවකට වීතරාගියි, මේ හැම කෙනෙක්ම ගැහැණිය කියන භූමිකාව රඟනවා. පිරිමි වසඟ වෙන්නෙත් මේ නිසා නොවේද?

    ReplyDelete
  5. බහුරූප්‍රේක්ෂකය මවන හැඩතල එතුලෙහි අන්තර්ගත කුමක් හෝ වස්තූන්ට සමානුපාතික වන්නේය .. වර්ණ රටා බහුල පබලුවලින් මැවෙන රූපයට වඩා තනි පාට වස්තුවකින් මැවෙන රූපය බොහෝ වෙනස්ය ..
    මා සිතන ලෙස, බහුරූප්‍රේක්ෂ ගැහැණිය තුල මැවෙනා සිතුවම සොඳුරු හෝ අඳුරු කිරීම එක හසුරවන පිරිමියා සතුය..

    මම කැමතිම ගීයකට ලස්සන පසුවදනක් ... :)

    ReplyDelete
  6. මම කැමතිම ගීතයක්...
    ගැහැණියක් සංකීර්ණ, තේරුම් ගත නොහැකි හැඟීම් සමුච්ඡයක එකතුවක් විදියටයි ගොඩාක් පිරිමි දකින්නේ... ඒ තුලින් ගොඩනැගෙන සුන්දරත්වයට ඔවුන් වශීකෘත වීමයි සිදුවන්නේ. :)

    ReplyDelete
  7. ඇත්තටම ගොඩක් අර්ථවත් ලිපියක් යාලුවා...www.manussayo.com වෙතින් ඔයාට ගොඩක් සුභ පතනවා....සුභම සුභ අනාගතයක්....!!

    ReplyDelete
  8. මං අවංකව හිතන්නේ ගැහැණිය සමාජගත නොවිමේ වරදින් සාහිත්‍යමය පරිකල්පනාවන්ගෙන් පුදුමාකාරවු අසාධාරණයක් පිරිමියාට සිදුවු බවයි. ඔහුගේ අරුමැසි බව වර්ණනා කරන්නට ගැහැනුන් පද නොබැදීම ප්‍රධාන කරුණක් වි ‍තිබෙනවා. ගැහැණු ගැහැණුන් ගැනත් පිරිමි පිරිමි න් ගැනත් නොසිතා ප්‍රතිවිරුද්ධ කාරයන්ට හා කාරියන්ට සිත්බැදිම සත්ත්වයන්ට පොදු ගුණයක් ලෙසයි මා දකින්නේ.(මිනිසුන් නම් දැන් එයිට වෙනස් සම්බන්ධතා පවත්වනවා. එත් ඒ තුළත් යම් ආකාරයක ස්ත්‍රි-පුරුෂ බවක් ඇතැයි මා දන්නා ටිකෙන් මා අනුමාන කරනවා)

    මේ ලියවිල්ල තුළ ගැහැනියට දිගක් පළලක් උසක් හැඩයක් ආදි ගුණහා ප්‍රමාණ දුන්නාට පිරිමියා කෙරෙහි හෙලනු ලබන සාම්ප්‍රධායික බැල්ම ගැන මා නම් එකඟ වන්නේ නෑ. ගැහැනු පිරිමින් ගැන නොලියන්නේ හා සාහිත්‍යක් ගොඩනඟන්නේ නැත්තේ ඇයි දැයි මා දන්නේ නෑ. ගැහැනියගේ හිතේ මැවෙන පිරිමියා කෙබඳුද යන්න ගැහැනියම විස්තර කරන තුරු පිරිමියා සාහිත්‍ය ලෝකය තුළ ගැහැනියට වඩා ගුප්ත වනවා .
    නමුත් මේ ලියවිල්ලේ බසට එහි ගලා යාමට මා බොහෝ ප්‍රියයි.

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->