Friday, September 28, 2012

[270] පරණ පොත් මතක

කලකට පසු අද මගේ නිවාඩු දවස සැබෑ නිවාඩුවක් ලෙසින්ම ගෙදර සිටියෙමි. මගේ වාසනාවට මා ඇහැරී පෑය භාගයෙන් ලයිට් ගියේය. කොම්පියුටර ෆෝන් එකී මෙකී නොකී සියල්ලන්ගේ බැටරි බැස ගොස්ය... මම නිරුත්තර වූයෙමි... 

අන්න ඒ වෙලාවේදී මට හැමදාම මා ඉඳගෙන ඉන්නා තැනින් ඔබ්බෙහි දුකින් බලා සිටි මගේ පොත් රාක්කය ඇස ගැසුනේය...  දුහුවිලි , මකුළුදැල් වලින් ආඪ්‍ය වී මා වෙත ඔරවා ඇදවී ඇඹරී තිබූ දුර්වර්න පොත් ටික මට පෙනුනේ දත් විලිස්සා ගත් රාස්සයෙකු මෙනි. 

මහත් වූ වරදකාරී හැඟීමෙන් මම මගේ පැරණි මිතු කැල අසලින් වාඩි ගෙන පොත් පත් එලියට අදිමින් මගේ පැරණි පොත් මතක අවුස්සන්නට වූයෙමි.  

දෙයියනේ ... සමහර පොත් ගත්තා පමණි. බ්ලොග් පෝස්ට් ලිව්වා පමණි. කාර්යබහුල ජීවිත මතක ගබඩාවේ පතුලෙහිවත් උහු නොරැඳී තිබිණ. මම දුහුවිල්ල නොතකා ඒ අලුත් පිට දුවිලි නාවාගත් පොත් එකිනෙක පෙරලා බලන්නට වීමි. ඇතැම්වා පසුගිය ප්‍රදර්ශනයෙන් ගත් ඒවාය. 

මම ගෙවුනු වසර දෙස බලන්නට වීමි. රැකියාව ජීවිතයම බවට පත් වීද? සියුම් වේදනාවක් දැනෙන්නට විය. 2012 පටන් ගත්තත් හරි බ්ලොග් ලිව්වේත් දෙකට දෙවාරනේදැයි සිතෙයි. පොත් කියෙවිල්ලටත් ඒ සන්තෑසියමදැයි සිතෙයි...  ඒ නිසාවෙන්ම ලයිට් යාම ආශිර්වාදයකැ‍යි සිතමින් මම පොත් රාක්කය අස් කළ යුතු යැයි සිතා ගතිමි. 

මට අනුව, මගේ පොත් රාක්කය යනු මගේ වැඩීම සටහන් කරන කාල රේඛාවයි. 

කියවීමේ මුල් අවදියෙහි අම්මා හතුගොඩ ඉස්කෝලයේ කුඩා පුස්තකාලයෙන් ගෙනා සිඟිතිගෙ බයිසිකලය සහ ගිනි කුරුල්ලා පොත් දෙක සිහියට ආවේ විදුලියක් මෙනි. ගම්පොල ගෙදර බිම බඩගාගෙන කියැවූ ඒ මිහිරි ළමා මතක අතරින් , 'මුතු බෙලි අක්කා සහ නගෝ හත් දෙනා'   , ගණිත හෝඩිය සහ පුංචි තණකොල පෙත්තා පමණක් ඉතුරුව තිබෙයි. කාගේ හෝ දෑතක වැජඹෙන මගේ පින්තූර කතා පොත අහිමි දුක වසා ගනු උදෙසා මම පසුගිය පොත් සල්පිලෙන් එය යලිත් මිලට ගතිමි. එහෙත් එදා චොකලට් බිස්කට් කමින් කියැවූ , බිස්කට් කුඩු කොන්ඩ කෑලි වැටී කහ ගැහුනු ඉරුනු ' මගේ පින්තූර කතා පොත ' යමෙකු මට ගෙනැවිත් දෙයි නම් , මා ඒ වෙනුවට පින්තූර කතා පොත් දහසක් ගෙනැවිත් දෙන්නාට තෑගි කරමි. 


දඟකාර පෙර යොවුන් වියෙහි , අහිමි වූ ගම්පොල ගෙදර මිදුලත් , නුවර පොත් කඩවල නිතරග ඇසුරත් නිසාවෙන් මගේ පුංචි පොත් ගුල කතන්දර පොත්වලින් අම්මා නොමසුරුව පිරවූවාය.  

ඒ අතුරෙන් , බස්තියන්ගෙ සොහොන, සොල්දාදු ලමයි මෙන්ම සිරිමල්ගේ වික්‍රමද නොනැවතී සිය දහස් වතාවක් කියවන්නට ඇත. මා එදා සිට මහත් ආශාවෙන් කියැවූ 'බූරු පොරය' පොත අද මා ගාව නැත. හෙවත් කා ගාව හෝ ඇත. 



ග්‍රීක මිත්‍යා කතා ගැන මෙලෝ හසරක් නොදත් මම ස්වර්නමාලියේදී 3 වසර ප්‍රවීනතාවයට තෑගි ලැබුවේ , පැන්ඩෝරාගේ පෙට්ටගම සහ අනෙක් කතා පොතය. කිසිවක් කෙරෙහි කිසිදු ප්‍රවීණ භාවයක් නොපෙන්වා , වරක් 35 ක් පමණ සිටි පන්තියේ 29 වෙනියා වූ මටද ප්‍රවීණතා තෑග්ග ලැබීම පුදුමයකි.  


කාලය විසින් මා පණ්ඩිත කෙල්ලෙකු කලාට පොත්ද වගකිය යුතුය. වයසට නුහුලන සිතුම් සිතන්නට , කතා කියන්නට ලියන්නට මා එඩිතර වූවා නම් පොත් ඊට වග උත්තර බැඳිය යුතු වෙයි.  රෑට පොත් කියවීමත් , අනෙක් උදවියට අවැසි නින්දත් සමබර කරන්නට , මම වොට් 5 නයිට් ලාම්පුවෙන් පොත් කියවන්නට ඇස සුසර කොට ගතිමි. ඇස පොට්ට වෙතැයි බැනුම් අහමින් නින්දට පෙර පොත් කියවීම තවමත් අත් නොහලෙමි.

දිරිය දරුවෝ , ගුරුසිත නොරිදවා , විය සිදුර , වටරවුම, මා හිතුවාට වඩා මනසින් මා උස් මහත් කලේය. එය ආශිර්වාදයද ශාපයද විය. එහෙත් ආශිර්වාදයටද ශාපයටද එක සේ උත්තර බඳින පොත් කෙරෙහි මම එදත් අදත් එකම සෙනෙහසින් බැඳී සිටින්නෙමි. 



 කාලය එක්තරා යුගයකදී මගේ ලෝකයෙන් පොත් ඈත් කොට තැබුවේය. ඒ යුගය මගේ විසි අට අවුරුදු කෙටි කාලයට එක්වූ අඳුරු යුගය විය. මිතුරුව සිටි පොත් වෙතින් අහක බලා පරිගණකය එතැනට පත් වූයේය... මුහුණු පොතත් ඊමේලයත් හැරුනු කොට පරිගනක මට හුරු කල අනෙක් දෙය නම් එක තැනක ඉඳගෙන සිටීමයි. පොතක් කියවද්දී පවා තැන තැන ඉඳගනිමින් බඩගාමින් ගුලි වෙමින් දිග හැරෙමින් කල හරබයට පරිගනකය ඉඩ නොදුන්නේය.   

කාලයත් සමග ගිලිහී ගිය ලිවීමත් කියවීමත් අඳුරු යුගයක අවසන සටහන් කරමින් මගේ ජීවිතයට යලිත් ආගමනය වූයේය. මම යලිත් එදා මම වීමි. හෙවත් වැඩීම නතර වූ අවුරුදු විසි දෙකෙන් තුනෙන් යලිත් වැඩෙන්නට වීමි.  මගේ පවුලයි අනෙක් සත්තුයි, වැලි කතරේ කුමාරී, මයාඩා , ඩාලියා , කාන්තාරයේ කුසුම මගේ කියවීම් පුනරාගමනය මහත් උත්කර්ශයෙන් සමරන්නට එක් වූහ. 


 අරණකට පෙම් බැඳ, අග පිපි මල් , වනපෙත අඬගසයි , සයිමන් නවගත්තේගමගේ කතා පොත් මගේ රාක්කයට පහසුවෙන් වඩින්නට වූයේය. මන්ද එකල්හි මෙන් නොව මට මාස අවසානයේදී පඩිපතක් හිමි බැවිනි. 

ජීවිතයත් පොත් සමග වැඩෙන අයුරු නරඹමින් ඒ කල්පනාවන් තුල ගිලෙමින්ම මම අද දවස පුරා පොත් රාක්ය අස් කිරීමේ ප්‍රමෝදය විඳ ගතිමි.  නැවත සකසා අවසන , කලකින් හමුව පිලිසඳරෙහි යෙදී අත් පටලා හිඳින පැරණි මිතුරියන් දෙදෙනෙකු විලසින් පොත් රාක්කයත් මාත් එකිනෙකාට මෙලෙසින් සිනහසෙමින් සිටිනයුරු මම අත් වින්දෙමි... 



Wednesday, September 12, 2012

[269] ටෙලිවිෂන් මතක


දවසේ බොහෝ වේලා සිටගෙන සිටීමෙන් , දුර ඇවිදීමෙන් සහ විවිධාකාර කාර්යාල පීඩාවන්ගෙන් වෙහෙස පත් වූ මම  සුපුරුදු ලෙස බිම වාඩි වී ඇඳට හිස ගසා නොකල්පනාවෙන් මනස සන්සුන් වන්නට ඉඩ හරිමින් සිටියෙමි. හිරු අස්තංගතව අහසේ පැහැය වියැකෙන අයුරුත් , අඳුර සමග නිවසෙන් පුරුදු පරිදි නික්මෙන සාම්බ්‍රානි සුවඳත් , පහල කුස්සියෙහි මා වෙනුවෙන් සැදෙන තේ ජෝගුව කැලැත්තෙන ටක ටක හඬත් දවසට බොහෝ හුරු පුරුදු අවසානයක් සටහන් කරන්නට විය.



රූපවාහිනියෙන් දීර්ඝ විරාමයක් ගෙන සිටි අපේ අම්මා මේ දවස් වල හරියටම හයයි තිහට , මට ඉක්මනට තේ හැදීමෙන් අනතුරුව ටෙලිවිශනය වෙත දුවගෙන එන්නීය .

"ඔශින්.. ඔශින්... ඔශින් ... ඔශින්... පලමු වන හා දෙවන ලෝක සංග්‍රාමයන්  දෙක අතර තුර කාලයෙහි... ජපානයේ සිදුවූ සමාජ ආර්ථික සංස්කෘතික පරිවර්තන .. ඔශින් වෘතාන්තය පි‍ටුපසින් දිවෙයි...  ආදියේ සිට සිරිලක හා ජපානය අතර....... සමසංස්කෘතික සබැඳියාවෙන්... ජපානයේ එන් එච් කේ ආයතනය.. මේ සිංහල දෙබසින් තවද රසවත් වූ ඔශින්... ඔබ සැමගේ පහන් සංවේගය උදෙසා ... මෙසේ.... පිරිනැමෙන වගයි..."

දශක දෙකකට එහා කණට ඇසී හුරුව තිබූ , කොටස් හයසිය ගණනාවකදී නොකඩවා ඇසූ මේ දෙබස් ඛණ්ඩය කණට පැටලෙද්දී කටපාඩමින් මා මුවද මුමුණන්නට වූ අයුරු මම විස්මයෙන් අත්විඳිමින් සිටියෙමි. ඉහතින් කියැවෙන ලද ටයිටස් තොටවත්තයන්ගේ බරසාර වදන් වලින් එකකුදු එදා කුඩා අප අසා සිටියේ මෙලෝ හරයකින් නොවේ. එහෙත් උප විඥාණයෙහි සදාතනික වාක්‍ය කණ්ඩයක් වශයෙන් පැලව සිටි මේ වැකිය අසමින් මනසින් දශක දෙකක් එහා කුඩා සන්දියට මම අද සැබවින්ම ගමන් කරමින් සිටියෙමි.




දශක ගණනාවකට පෙර රූපවාහිනී අහිමි ලමා කාලයක් උරුම වූ වැඩිහිටියෝ , එකල්හි දුව පැන කෙලි දෙලෙන්  වතුපිටි ලඳු කැලෑ පීරූ හැටි ගැන පාරම්බාන්නෝය. එකලින් මඳ කාල විරාමයකින් මෙකල උපත ලද අපේ පරම්පරාව  රූපවාහිනී යන්තරය හා හා පුරා කියා හඳුනාගත් පරම්පරාව විය යුතුය. ඔෂින්, හත්පණ, සිංදු බිංදු , වෙද හාමිනේ, දොස්තර හොඳහිත , හා හා හරි හාවා අපේ කුඩා සන්දිය විචිත්‍රවත් කලා පමණක් නොව අද වෙනතුරුද හිස් මොල තුල සදාතනික ඉඩක් වෙන්කරගෙන සිටින්නේය.

මාරු කර බලන්නට, චෑනල් වෙනස් කරන්නට ගොස් දබර වෙන්නට  චැනල්ද , චැනල් මාරු කරන්නට 'රිමෝට්' ද නොතිබූ එකල්හි ඊට වඩා හිත වදකලේ වෙනත් පැනයකි. හිස නිලංකාර වන තරම් විචිත්‍රත්වයෙන් අනූන කා‍ටුන්, නාට්‍ය සහ ඉවරක් නැති විවිධ රසාංග අතුරෙන් , මාපියන්ගේ කෝ‍ටු පාර නොලබා නැරඹිය හැකි උපරිම වැඩසටහන් ගණන කොපමනද , සහ ඒ වැඩසටහන් මොනවාද යන්නයි. ටෙලිවිශන් පරම්පරාවේ අසම සම උන්නතියෙහි රස බලන්නට අපගේ පෙර යෞවනය පින් කොට තිබුනි.



 සුරඟන කතා කරලිය, ගලිවරය, සිංදු බිංදු යුගය විරාමයක් ගනිද්දී,  මායා බන්ධන , රොබින් හුඩ් , ඕශන් ගර්ල් පෑමිණියේය.. පිස්සු පූසා බෑලූ අපි සූර පප්පා වෙත නෑඹුරු වූයෙමු. මුතුහරින් , මනෝහාරී වෙත සම්ප්‍රාප්ත වීමු. නමයයි පහෙන් කදමල්ලට අවතීර්ණ වූයෙමු. මායා බන්ධන ගිලිහී නෙට්වර්ක් දඟයින් එද්දී, සූරපප්පා සමුදී ඉඟුරුපාන් මල්ලිලා එද්දී, කදමල්ලෙන් පසුව අටපට්ටම එද්දී , ටෙලිනාට්‍ය වසන්තය වියැකෙමින් මෙගා නාටක අරක් ගනිද්දී වාසනාවකට මෙන් මගේ ලෝකයෙන් ටෙලිවිශනයද සමුගත්තේය. පරිගණකයත් ජංගම දුරකතනයත් රූපවාහිනියේ තැන ගත්තෝය.


ලන්දේ දුව නොපැන, පවුලේ පස් දෙනා එක සාලයෙහි වාඩිවී, කමින් බොමින් ප්‍රීති වෙමින් කා‍ටුන්, නාට්‍ය,ගීත සහ නොයෙක් විශේෂාංග රසවිඳි පරම්පරාවේ රස මතක කොතෙක් කීවත් මට නම් නීරස නොවේ. අක්කර තුන්කාලක ගෙමිදුලකින් පර්චස් දහසයක මහල් නිවසකට සම්ප්‍රාප්ත වෙද්දී විසල් නිවසක උදාරම් බවත් , ළමා හදවතක් අයැද සිටින කෙම්බිමක අහිමිකමත් මීට වසර විස්සකට පෙර එක වර අපි තුරුල් කරගතිමු.

සෙල්ලම් කරන්නටගෙමිදුලක් අහිමි වූ අපේ හදවතෙහි ඉඩ ටෙලිවිශනය තහවුරු කරගත්තේ එසේය. 



ටෙලිවිශන් උණ වැලඳී තිබුනේ ළමා අපට පමණක් නොවීම වාසනාවක් විය. අම්මාද තාත්තාද අප තරම්ම රූපවාහිනී ලෝලීන් වීම සහනයක් විය. කොතෙක් දුර ගමන් ගියද ඇතැම් දිනවල රාත්‍රී අටයි තිහ යනු ගමනක් උදෙසා කැප කල හැකි පැය භාගයක් නොවීය. සියල්ලන් එක සුමේට , 'අයියෝ අටහාරට නාට්යය යනවා, ඉක්මනට යමූ' කියා මොර දෙද්දී , සියලු වැදගත් වැඩ පසෙකලා තාත්තාට සිදුවූයේ පවුල් හමුදාව රැගත් රිය ලෑල්ලට පාගමින් ගෙදර වෙත ඉගිලෙන්නටය.

අටයි තිහ වෙද්දී කොහේ සිටියත් , මොනවා කරමින් සිටියත් , ගෙදර මෑද සාලයේ අපි සියල්ලෝම ටෙලිවිශනය ඉදිරියේ විජ්ජාවකින් මෙන් පහළ වූයෙමු. මහ මග අතර මගකදී නම් , නාඳුනන නිවසකට වැදී හෝ, කඩසාප්පුවකට රිංගාගෙන හෝ, මග හැරීමට නියමිත ටෙලිනාට්‍යය නැරඹීම අම්මාත් තාත්තාත් අපිත් පසුබට නොවූයෙමු.



තාත්තාගේ අනෙක් විනෝදාංශය වූයේ හොඳ එවුවා අතරින් වඩාත් හොඳ නාට්‍ය VHS -  ටේප් වල රෙකෝඩ් කිරීමයි.  විදුලිය විසංධි වූ දිනෙක , එහෙමත් නැතිනම් ගමනක් නිසා මග හැරෙන දිනෙක පටිගත කිරීමක් , නුවර කීර්ති වීඩියෝ ස්ටෝර්ස් වෙතින් පටිගත කරවාගෙන ගෙනැවිත් අපට බලන්නට ඉඩ සලස්වන්නට ඔහු අමතක නොකලේය.

නිවාඩු කාලය එන තුරු අප සිටියේ ඇඟිලි ගණිමිනි. අක්කාගේත් , අයියාගේත් මගේත් බොහෝ රසබර අත්දැකීමක් වූයේ උදෑසන සිට හවස් වෙන තුරුම එක හුස්මට , මෙසේ පටිගත කොට තැබූ වී එච් එස් නාට්‍යමාලා නැරඹීමයි. අදටත් පුස් කමින් සු‍රැකිව තිබෙන , කන්දෙ ගෙදර, යශෝරාවය , දූදරුවෝ පලමු කොටස් සියය , පුංචි ඉත්තැවා, බෝඩිම වැනි අමතක නොවන සොඳුරු රස නලු කුඩා අප හදවත් තුලට මහා සෞන්දර්යයක්, හාස්‍යයක්, සංවේදීකමක් මෙන්ම ලාලිත්‍යයක් ඔබ්බන්නට සමත් වූයේය.



අවාසනාවකට මෙන්,  ලඳු දෙනි වෙල් එලි දිගේ වසු පැටවුන් පස්සේ ඔට්‍ටු දිවූ ලපටි මතක මට නැත. එහෙත් කුඩා සංදියේ නොමැකෙන මතක මත රූපවාහිනියත්, එහි එකල්හි රජ කල පොහොසත් සෞන්දර්යයත් , එයින් මා ලපටි මනසෙහි පැල වූ අංකුර සාහිත්‍යයත් , අද වන විට මහා ගසක් තරම් නොවූවත් කුඩා පැලටියක් තරමට හෝ වැඩී සිටින 'අත හුරු පන්න්හිඳත්' උදෙසා ටෙලිවිෂන් මතක මහා පරිමාණයෙන් වගකිය යුතු වන්නේය.

Sunday, September 09, 2012

[268] ඇමීගේ කතාව


ඇමීගේ කතාව  .... ඇගේ වචනයෙන්ම ... 


ඔබේ ජීවිතය පොතක් නම් , ඒ පොත ලියන කතුවරයා ඔබ නම් , ඔබ කොහොමද ඔබේ ජීවිත කතාව ගොතන්න කැමති? කොහොම වෙනවටද කැමති?
 

මෙන්න මේ ප්‍රශ්නය තමයි, මගේ ජීවිතය සදහටම වෙනස් කල ප්‍රශ්නය ..

මගේ පොඩි කාලෙම ගෙවුනෙ කාන්තාර පිරිච්චි ලාස් වේගාස් නගරයෙ. මට හැමදාම ඕනෙ වුනේ ඒ ජීවිතෙන් මිදිලා නිදහස හොයාගෙන යන්න.  මම හැමදාම හීන දැක්කා.. කවද හරි මා ලෝකෙ වටේ සංචාරය කරන හැටි. හිම වැටෙන නගරෙක ජීවත් වෙන හැටි. මේ හැම පින්තූරයක්ම මගේ මනෝ ලෝකයෙ හැමදාම හොල්මන් කලා. මම මගේ අනාගතය හිතෙන් ඒ වගේ සිතුවම් කලා.

අවුරුදු 19 වෙද්දි මම , මම පාසල් ජීවිතයෙන් සමුගත්දාට පසුදිනම මම මගේ හීන හිම නගරය හොයාගෙන ගියා. ඒ නගරයේ සම්බාහන ආයතනයක මම ‍රැකියාවකට බැඳුනා. මගේ දැතේ සවියෙන් , මම මගේම මහන්සියෙන් ජීව්කාව කරගන්නා ස්වාධීන ගැහැනියක් බවට පරිවර්තනය වූයේ එහෙමයි. මට ආස ආස තැන් වල ඇවිදින්න , මගේ හැම හීනයක්ම සැබැවක් කරගන්න මට දොර‍ටු විවර වූ බවයි මට දැනුනේ. ජීවිතයේ පළමු වතාවට මට නිදහසේ, ස්වාධීනත්වයේ ආස්වාදය දැනෙන්නට වුනා. ඒ නිදහස් ජීවිතය දැන් මට නතුව මගේ පාලනයේ පවතින යාන්ත්‍රණයක් බව දැනෙන්නට වුනා. 



 ඒත් ඒ ආස්වාදයට සදහටම පවතින්නට හැකිවූයේ නැහැ.

එක් දවසක් මම වැඩ ඇරී ගෙදර ගියේ උණ ගතියෙන් ආතුර වූ සිරුරින් යුතුවයි. ඒත් එයින් පැය 24ක් ඇතුලත , මා පසුවූයේ රෝහලක, ජීවිතයත් මරණයත් අතර සටනක. තවත් පැහැදිලිව කිව්වොත් 2% ජීවත් වීමේ සම්භාවිතාවයකින් යුතු දරුණු ආසාදනයකින් මිය යන්නට සැරසෙමින්. දින ගණනාවක් කෝමා තත්වයෙන් අවසිහියෙන් පසුවූ මා සිහි ලැබූයේ වෛද්‍යවරුන්ගේ ඊලඟ භයානක ආරංචියත් සමග.

මට වැලඳී තිබුනේ බැක්ටීරියා ආසාදනයකින් හටගත් මෙනින්ජයිටීස් තත්වයයි. මාස දෙකහමාරක් ඇතුලත මට මගෙ වකුගඩුත් මගේ වම් කණෙහි ඇසීමත් අහිමි වූවා. ඒ විතරක් නොවෙයි. දණහිසින් පහළ මගේ දෙපාත් මට අහිමිව තිබුනා.  මා රෝදපු‍ටුවක තබාගෙන මගේ මාපියන් රෝහලෙන් පිටව යද්දී මට දැනුනේ කැලි එහෙන් මෙහෙන් අමාරුවෙන් අමුණා ජීවය ලබා දුන් බෝනික්කෙකුගේ හැඟීමක්. මම හිතුවේ ඒ දරුණු
භයානක හීනය අවසන් වූ වගක්. ඒත් ඒ සහනය පැවතුනේ සති කිහිපයක් පමණයි. එදා මා දු‍ටුවා මගේ අනාගත පා යුගලය. අවලස්සන යකඩ කූරු වලින් අමුණන ලද , අප්‍රියා සහගත පයිප්ප දාරත් , රබර් පාද දෙකත්, ඇඟිලි වෙනුවට කුඩා රබර් පයිප්ප වලින් සැදුනු පාදයත් දු‍ටු මට මගේ ජීවිතය ඇදවැටී ඇත්තේ කෙබඳු තත්වයකටදැයි පසක් වූවා. එය මා කිසිසේත් මගේ ජීවිතය පිලිබඳ බලාපොරොත්තු වූ දෙයක් නොවෙයි.

එක පසෙකින් මගේ අම්මාගේ කලායන කඳුලු දහරාවන් නරඹමින් මා අසීරුවෙන් ඒ කෘතිම දෙපා මත සිටගන්නට උත්සහ කළ හැටි මට තවමත් මතකයි. එයින් දැ
නුනු වේදනාව ගතට මෙන්ම සිතටද විහිදී ගියා. කොහොමද මම මේ වගේ දෙපයකින් ලෝකෙ වටේ ඇවිදින්නේ. මගේ හිම හීනය සැබෑ කරගන්නේ???  මම හැමදාමත් හීන දු‍ටුව මගේ වීර වික්‍රමාන්විත ජීවිතය ඒ කියන්නේ හීනයක්ම වේවිද? මම මේ දෙපයින් හිම මත ලිස්සා යන්නේ කොහොමද?? 


එදා නිවසට ගිය මා සති ගණනාවක්ම ඇ‍ඳෙහි ගුලිවී කඳුලු බොමින් පොරෝනා අතරේ ගුලිවී ජීවත් වූයේ කරකියා ගන්නට කිසිවක්ම නොමැති මනසින්. යථාර්තය මහා ක‍ටුක හැඟීමක් වූවා. මානසිකව මෙන්ම ශාරීරිකවත් මා බලාපොරොත්තු කඩවීමේ අගාධයටම ඇද වැ‍ටුනා. 

ඒත් මම එකම එක දෙයක් දැනගෙන හිටියා. මගේ පරන
මීට මගේ ජීවිතෙන් යන්න දෙන්න ඕනෙ බවත් , අලුත් එමීව ඒ අයුරෙන්ම මා භාරගත යුතු බවත් , ඒ විතරක් නොවෙයි මේ අලුත් එමීව සතුටෙන් තබන්නටත් මා ඉගෙන ගත යුතු බවත්. 

ඉතින් මට තෙරුනා ගොඩක් දේවල් මා හැර යනවාත් සමග ගොඩක් දේවල් මා කරා ලඟා වී තිබෙන බවත්. තවදුරටත් මා අඩි පහයි අඟල් පහේ එමී නොවෙයි, ඔව් මට දැන් පුලුවන් මට උවමනා තරම් උස යන්න ! මට ආදරය කරන පෙම්වතාට ගැලපෙන්න උස වෙනස් කරගන්නට වෙන කාටද අවස්ථාව තියෙන්නෙ? මම වගෙ කෙනෙ
කුට ඇරෙන්න ?

ඒ විතරක්ද? හිම මත ලිස්සද්දි යටිපතුල් රිදුම් දෙන සීතලට මගේ ප්ලාස්ටික් දෙපා ඔරොත්තු දේවි ඕනෙ තර
මක්!! නැද්ද ?
 

ඇයි , මට පුලුවනි මම ආසම සපත්තුවක් මිලට අරගෙන ඒකට ගැලපෙන්නට මගෙ පාදයෙ හැඩය මාරු කරගන්න , සපත්තුවට ගැලපෙන්න යටිපතුල් වෙනස් කරගන්න වාසනාව තියෙනවද වෙන කෙනෙකුට???

මම ඒ දේවල් හිතුවා විතරක් නොවෙයි. මම ඒ දේවල් ඇත්තටමත් කලා. ඉතින් මට අහිමි වූ දේම මම ආශිර්වාදයක් කරගත්තේ එහෙම.

අන්න එදා තමා මම මගේ ජීවිතයේ තීරණාත්මකට ප්‍රශ්නය මගෙන් ඇහුවේ.
"මගේ ජිවිතය මා ලියන පොතක් නම්, මා ලියන මගේ ජීවිත කතාව මොන වගේ එකක්ද? " 



මා ආයිමත් ජීවිතය අගෙන අලුතින් හිතන්නට පටන් ගත්තා. එදා කුඩා දැරියක්ව සිටියදී මෙන්ම මම ආයිමත් හීන දකින්නට පටන් ගත්තා. මම ඒ හීනවල දු‍ටුවා ලස්සන තරුණියක් ඉතාම සුන්දර අයුරෙන් ලාලිත්‍යවත් පිය තබමින් යන හැටි.. ඒ විතරක් නොවෙයි , ලෝකය වටා ඇවිදිමින් මිනිසුන්ගේ ජීවිත ගොඩනගන්නට උදව් වෙන හැටි. ඒ විතරක් නොවෙයි, සීතල හිම අතරේ අනභිභවනීය ක්‍රීඩිකාවක් ලෙස ලිස්සා යන හැටිත්!

සීතල හිම කඳු අතරෙන් , සුලං සැර කපාගෙන ඊයක වේගයෙන් ලිස්සා යන හිම ක්‍රීඩිකාවක් මගේ හීන ලෝකය තුල ඇත්තටම මැවෙන්නට වූවා. ඒ හෘ
ද ස්පන්දනය මගේ පැහැබර අනාගතයට අඬගසන අයුරු මා විඳින්නට වූවා.එදා මගෙ ජීවිත පොතෙහි අලුත්ම පරිච්ඡේදයක් ආරම්භ වුනා.

මාස 6කට පසුව මා දු‍ටු හීනය එලි වූවා. මා යලිත් හිම මත ලිස්සා යන දවස උදා වුනා. 


එදා ඒක සැබවින්ම ඛේදජනක අත්දැකීමක් වූවා. පළමු උත්සහයෙන්ම, පෙර මෙන් නම්‍යශීලී නොවූ මගේ දෙපා සමග මා හිම මතින් උඩින් විසිවී ගියේ මා මෙන්ම මා දෙස බලා සිටි සියල්ලනුත් භීතියෙන් සලිත කරවමින්, මම සැබවින්ම යලිත් මානසිකව වැටෙන්නට පටන් ගත්තේ මගේ සිහින බොඳ වී යන සලකුණු ස්පර්ශ කරමින්. ඒත් මා එදා තේරුම් ගත්තා මේ සඳහා මා විසඳුමක් සොයා යා යුතු බව. ඒ නිසා වෙන්ම මා අලුත් පා වැස්මක් සොයා යා යුතු බව.

ජීවිතයේ බාධක සහ සීමාවන්ට කළ හැකිදේ සහ කළ යුතු දේ පිලිබඳ පාඩම මා උගෙන ගත්තේ එතැනදීයි. මෙවන් අභියෝග නිසා
සීදුවන්නේ දේවල් දෙකයි. එකක් නම් , අප හුන් තැනම සිර කොට නතර කොට තැබීම. අනෙක නම් , නිර්මාණශීලී විකල්පයන් සොයා යාමට බල කිරීමයි. 


ඉතින් මා දෙවැන්න ‍තෝරාගත්තා. වසර ගනාවක් මා ඒ වෙනුවෙන් පර්යේෂණ කළා. මගේ දෙපා වලට යලිත් ඒ නම්‍යශීලීත්වය උරුම කර දීම වෙනුවෙන්. මා වැනි තවත් අයටත් ඉන් ආලෝකයක් ලබා දීම වෙනුවෙන්. ඉතින් මා වෙනුවෙන් එය තනා ගන්නට මමම වෙහෙසෙන්නට තීරය කලේ එහෙමයි. අවසානයේදි බොහෝ දෙනාගේ සහයෙන් මට මා ප්‍රාර්ථනා කරන පා යුගලය තනාගන්නට හැකි වුනා. දැව, රබර් සහ ඇලවුම් පටිවලින් නිර්මිත මේ විස්මය ජනක පායුවල මගේ සිහින අවදි කරන පියාපත් වූයේ එලෙසින්.

මගේ 21 වන උපන්දිනය දවසේ මා ලද උතුම්ම ත්‍යාග දෙක වූයේ මේ පා යුගලයත් , මගේ ආදරනීය තාත්තා ප්‍රදානය කළ වකුගඩුවත්. ඔබට අදහන්නට පුලුවන්ද? ජීවිතය කොතරම් හාස්කම් කරනවද කියලා.

මම ආයිමත් හිම ක්‍රීඩා කරන්නට පටන් ගත්තා. මගේ ‍රැකියාවටත් යන්නට පටන් ගත්තා. පාසල් ගියා. 2005 වසරේදී මගේත් දායකත්වයෙන් අප සමාජ සේවා ආයතනයක් ආරම්භ කළා.ඒ ආයතය වෙන් වූයේ ශාරීරික ආබාධ සහිත තරුණ තරුණියන්ගේ ජීවිත නගා සි‍ටුවීම වෙනුවෙන්. ඒයාලටත් මා වාගේම ක්‍රීඩා කරන්නට අවස්ථාව සලසා දෙන එක මගේ මූලික අරමුණක් වූවා.  අප
කුණු අප්‍රිකාවේ කුඩා දරුවන් දහස් ගණනකට මෙවන් විස්මය ජනක පා යුගල පැලඳුවේ ඔවුන්ගේ ජීවිත ශක්තිමත් කිරීමේ මුල් පියවර වශයෙන්.

මේ වගේ බොහෝ වෙනස් සහ දිගු ගමනක සන්ධිස්ථානයක් සටහන් කරමින් , මා හිම මත ලිස්සා යාමේ  ලෝක ශූරතාවයේ රන් පදක්කම් දෙකක් දිනා ගත්තා. මගේ හීනය හඹා ගිය මගේ දෛවය පැසසුම් ලැබුවේ එලෙසින්.

අවුරුදු එකොළහකට පෙර මගේ දෙපා අහිමි වූ තැනදී මට කළ යුත්තේ කුමක්දැයි කිසිසේත්ම සිතගන්නට හැකි වුනේ නැහැ. ඔබ අහාවි, මට සැබවින්ම උවමනා වූවාද මගේ ජීවිතය වෙනස් කරන්නට කියල. නැහැ. කිසිසේත්ම
නැහැ.  අහිමි වූ දෙපා වලට මගේ ජීවිතය ආබාදිත කරන්නට හැකි වූයේ නැහැ. ඒ වෙනුවට මගේ අහිමිවීම මට බල කලේ මගේ හීන කොතරම් බලවත්දැයි විස්වාස කරන්නටයි. අන්න ඒ නිසයි මම කියන්නේ, අපේ සිහින මැවීම අපේ අනාගතය සඵල කරන මෙවලමක් වගෙයි, ඒ හීන තුලින් හැම බාධකයක්ම විනාශ වී යාවි.

මගේ ජීවිතයෙන් මට ඔබට කියන්නට තිබෙන වැදගත්ම දේ මෙයයි. මගේ නිර්මානශීලි නව ජීවිතය ඇරඹුනේම මට හිමි වූ අභියෝගාත්මක ජීවිතය නිසාමයි. මගේ හැකියාවන් ඉස්මතු වීම වෙනුවෙන් මගේ ජීවිතයට ගලා ආ හැම බාධකයකටම මා ස්තූතිවන්ත විය යුතුයි නේද? 





 ඔබ අසීරුතාවට ඇද වැටෙන සීමාවේදී ඔබේ සැබැ වික්‍රමාන්විත චාරිකාව ඇරඹේවි. ඉතින් තව දුරටත් ඔබ සිතනවද අභියෝග කියන්නේ ජීවිතයේ පරාජයේ ආරම්භය කියලා? මම නම් හිතන්නේ ඒ තමයි අපට ලැබන සැබැ පන්නරය ! ආශිර්වාදය! සැබෑම ඇරඹුම ! අපේ මනංකල්පිත හීන යතාර්තයක් කිරීමට , අභියෝග සපයන්නේ රුකුලක් නොවේද? 




ඇමීගේ වෙබ් අඩවියෙන්
ඇගේ තවත් තොරතුරු කියවමු.
ස්තූතිය :  කතාව සොයා දුන් ලක්මාලිටත් , ලක්මාලි සොයාදුන් කතාව පෙන්වූ ඉන්දීවරී , අමිල් දෙපලටත් ..

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->