[257] මල් !

මේ පහළ තියන වීඩියෝව මම නැරඹුවේ මීට හරියටම අවුරුදු 10කට කලින්.  ජීවිතේ මොන තරම් ඇදිලා ගිහින්ද? එදා ඒ ඇස්මද අද මේ ආයිමත් ඒ වීඩියෝවම නරඹන්නේ?? දෙවියනේ.. මම අවුරුදු 10කට කලින් ඉඳගෙන හිටි ඒ හාන්සි පු‍ටුවේ ඉඳලම මේගීතය අහමින් එක මොහොතකට නැගිටලා කණ්නාඩිය ගාවට ගියේ අවුරුදු 10කට කලින් හිටි කෙල්ලම අදත් ජීවතුන් අතරද කියලා දෑහින් දැකගන්න.


මට දැනෙනවා මොකක්ද අතීත සුවඳක්.. ඒක මහ වේදනාවක්.. අපි වියපත් වෙන බව දැනෙන එක. අතීතයේ හුස්ම ඇඟේ ඇතිල්ලෙන්නෙ නැති තාක් වර්තමානය හෙවත් වියපත් වීම, මුහුකුරායමක් වශයෙන් ආඩම්බරයෙන් හඳුන්වන්නට මම පැකිලුනේ නැහැ. ඒත් අද මට දැනෙනවා ඒ අතීත මතක ඇතුලේ හිටිය අභිමානයෙන් පිරිච්චි, මාන්නය හිස්මුදුනෙන් බේරෙන, තරුණ මදයෙන් ජීවිතේ දිහා බැලුව, අනුකම්පාවෙන් තොර මම අද එතැන නැති බව....


මට දැනුනේ හීන් සතුටක්... ඒ මොරෝම දරදඬු කෙල්ල අද නැහැ. එදාට වඩා පාටින් අඩු හිසකෙස්, එදා කුඩාවට දැනුනු මෙදා විශාල වුනු මුහුණේ වලවල්, හරියට, ගෙවුනු අවුරුදු 10ක රලු දුශ්කර ගමන් මගක මං සළකුණු වගේ... මං අහල තියනවා, ඒ විතරක් නෙවෙයි ,දැකලම තියනවා , එක දිගට වතුර ගලාගෙන යන උල්පත් ගාව මහ විසාලෙට හැරුන වලවල් තියෙන බව. නිතර ගලන්නට හේතුවක් නැති උල්පතක් අසල සත්තයි තිබේවි මුදු සුමුදු තැනිතලාවල්... ඉතින් වලවල් කියන්නෙ වැ‍ටුන තැන් නොවෙයි , දිය ගලා යාමෙන් පිරිපහදු වූ චිත්ත පරම්පරාවන් වග මටම මම කියාගන්නට වුනා...  ඒක කියන්නෙ මගේ වාසියට වෙන්න ඕනෙ.


මේ වීඩියෝව නරඹන එදා සහ මෙදා අතර කාල රේඛාවේ මම ගිය දුර දිහා මට ආපහු බලන්නට උවමනා වුනේ නැහැ. දිය ගලා ගිය තැන් වල ඇති හැම නශ්ටාවශේෂයකම සිනිඳු පෘෂ්ඨ වල දිග සටහන් ලියැවී තිබෙන නිසා. ඒ ලියමන් කාලයක් තිස්සේ වරින් වර යලි කියවා තිබෙන නිසා... එහෙත් මේ ගීතය මටයලිත් අතීත පුනරුක්තියකට අඬ ගසන නිසාවෙන් , මම යලිත් ඒ වෙනුවෙන් ඉඩක් ගන්නට හිතුවා.


මේ ගීතය එදා මා හද තුල ස්පර්ෂ කළ ස්ථානයම අදත් ස්පර්ෂ කරන අයුරු මම වින්දා. අද එතැන දැනෙන්නේ එදාට වඩා මේරූ කම්පනයක්. ඒ කම්පනයෙන් මට මාවත්, තලෙලු සම පසුපසින් ඇස් ඉස් මස් හා ඇට කැබලිත් දැකිය හැකි වූවා. එහෙත් අත්දැකීම් ස්පර්ෂ කරනු ලබන නිමේශයකදී විනා සිදුවීම් වලින් ගහන ජීවිතයේ බහුතර කාලය තුල ඇට ඉස් මස් හිස්කබල් නොපෙනී තවමත් මට දිවිගෙවන්නට හැකියි. ඒ වගේම පෙනෙන දේත් දකින දේත් අතර පවතින ‍තෝරාගැනීම තවමත් මා සතුයි.





හඳුනාගැනීමත් ... වෙලීමත් ...සිනහ වීමත්.... බැඳීමත් ... ‍රැඳීමත් ... නොරිස්සීමත් ... නික්මීමත්... හැඬීමත්....


සංසාර චක්‍රය තුල පොදු සමීකරණයක සටහන්ව නැවත නැවත යෙදීම ...


මල් පිපී නටන්නේ පර වීමේ ආධිපත්‍යයට නතුව නොවේද?


පිච්ච මල් මොහොතින් පර වේ...  එහෙත් පිපෙන කෙටි මොහොතක සුවඳ තීව්‍රය. එහෙත් ආයිත් නොපිපෙයි. කල් ඉකුත් වන මොහොතෙහි නටුවෙන්ම ගිලිහී මහ පොළවටම පස් වෙයි. පිපුනොත් ඒ වෙන මලකි.


රෝස මල් පිපෙමින් පරවී යාමට දින ගණන් කල් ගනී.. යලි යලිත් පිපෙන්නට දැරූ වෙහෙසින් යාවත්කාලීන වූ රෝස මලෙක ඇතැම් විට නැඹුල් මලක මෙන් කෝල පෙති නොතිබිය හැකිය.


උඩවැඩියා මල් මම දකින්නේ විශ්මයෙනි. සුවඳින් නාස්පුඩු අතරමං නොවේ. රුවින් චාම්ද නැත. ඒ සංකර වගේ පෙනෙන උඩවැඩියා මල් තුල රෝස මලක ආකර්ශනයද නැතිවා විය හැකිය. පිච්ච මලක චාම් බවද නැතුවා විය හැකිය.


එහෙත් පිච්ච මලටත් රෝස මලටත් අහිමි එක්තරා දෙයක් වෙයි.. ඒ දුර්ලභ බවයි.. එහි -  එනම් දුලබ බවෙහි තීව්‍රතාව ඇතැම්විට නැහැ පුඩු මත් වන පිච්ච සුවඳත් , දැස් නිලංකාර වන රෝසමලක රුවත් අතික්‍රමණය කරයි. එහෙයින්මදෝ,  මී මැස්සෙකුට පවා ලෙහෙසියෙන් ලං වෙනු නොහෙන අතු කඳන් මත , උස් තැන්වල , දිස්න නොදී අතු පතර සැඟවී , පිපෙයි. ලෙහෙසියෙන් නෙලන්නට අවසර නොදෙන්නාක් මෙන්ම , නෙලූ කල කල් ඉකුත් නොවී පවතින්නටද ඔරොත්තු දෙන උඩවැඩියා මල,  රෝස මල් මෙන් පෙති එක එක හලා නොදමයි.
පිච්ච මල් මෙන් එක නෙලුමෙන් පරාජය භාර ගෙන පොළවටද පස් නොවෙයි. බොහෝ වාර ගණනක් පිපෙන්නට වෙර දැරීමෙන් කිසිලෙසකිනුදු එහි ඉපැරණි රේඛා සහ කඩතොලු සටහන්ද නොවේ...


බොහෝ කලක් නෙලූ නොනෙලූ සියලු අතෝරයන් මෑද වුව දිලෙමින් , ජීවතුන් අතර විරාජමාන වන උඩවෑඩියා මල්, පරවී ගිය කල්හිද පොළවට මිහිදන් නොවේ. ඒ වෙනුවට , පොත් සලකුණු සහ බිත්ති සැරසිලි මත දශක සහ මතක ගනනාවක විරාජමානව සිටිනුද පෙනෙයි.


9 දෙනෙක් කියූ අදහස්..:

Dayal Bathee said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

යතාර්ථය, ලස්සන, මුහුකුරා ගිට බව,,, මට වචන මදි..

හා පැටික්කි (MS) said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හඳුනාගැනීමත් ... වෙලීමත් ...සිනහ වීමත්.... බැඳීමත් ... ‍රැඳීමත් ... නොරිස්සීමත් ... නික්මීමත්... හැඬීමත්....
ලොව ඇත්තේ යාම් ඒම් පමණක් කියලා මතක් වෙන වැකියක්.......

නිශ් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

:)

Gimhani said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

උපරිමයි ලිවිල්ලනම් .

Anonymous said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

නංගි උඹේ වින්දන ශක්තිය මරු...
තාරක

Nadun Herath said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

:)

හිරුහිමාවී said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

නියමයි..කදිම පොස්ටුව! :)

Wasana Sewwandi said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

උඩවැඩියා මලට රෝස මලක නැති තවද අරුමයක් වෙයි .. රෝස මල කවර කෝණයකින් බැලුවද වෙනසක් නැත.. සොයන්නට දෙයක් නැත, අත්විදින්නට දෙයක් නැත. දුටු පමනට දකින් ඇස් කඩාගෙන යන සුන්දරත්වයෙන් ඔබ්බට තෙවන මානයක් නැත ..

නමුදු ...

උඩවැඩියා කුසුම දකින් දෙයින් ඔබ්බට තව රහස් කැටිකරගත් කුමරියක්ය. දුරට පේන රුව නොව ලං වී බැලුව කල පෙනෙන රුව වෙනස්ය.. තවත් ලං වී බැලුව කල එකින් එක පෙති රේණු මල් කෙමි මවන රටා වෙනස්ය... එකිනෙකා දකින ආකරය වෙනස්ය..එකිනෙකාට ඇගේ රුව පෙනෙන ආකරය වෙනස්ය..

උඩවැඩියා කුසුම තෙවන මානයක ගැඹුරකින් යුතුය..
රෝස කුසුමිය එසේ නැත .. !!
:)

ජීවිතේ මල් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ස්තූතියි මේ හැම කොමෙන්ටුවකටම... ලියූ හැම වචනයකටම ස්තූතියි... මම දන්නවා හෑමෝටම මේ වගෙ පෝස්ට් කෑමති හිතෙන්නෙ නෑ. හරියට උඩවෑඩියා මල් වලට හෑමෝම ආස නෑ වගේ... ටිකකට ලබා ගන්න පෑතුවාට ගෙයි හිටවගන්න ලෙහෙසියෙන් කෙනෙක් ඉදිරිපත් වෙන්නෙ නම් නෑ. පෑලකරන්න අමාරු නිසා.

ඒත්...

උඩවැඩියා මලක් වීම ඉවසමින්, ඒ උඩහින්ම , ඒ පාටින්ම , මේ ඉන්න හෑටියෙන්ම, පිපෙන්නට ඉඩ දුන් යමෙකුට , ඒ හැම දේටම වඩා ස්තූතියි... :) :) :)

Post a Comment

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->