Wednesday, March 07, 2012

[236] අම්මා සහ මම වනාහී....


අපේ අම්මා සහ මම කියන්නේ හරියට නුල් බෝලයයි ඉඳිකට්ටයි වගේ හිටි දෙන්නෙක් නොවේ... එහෙම හිටියේ අම්මා සහ අක්කාය. මම අපේ තාත්තාගේ පන්දමා වීමි. එනිසාම අම්මා එක්ක කැත්තට පොල්ල හිටි ඒ කාලය ගැන දැන් නම් දුකක් දැනෙයි. තාත්තාගේ ගේ දොර වැඩ වලදී  අරක මේක ඉල්ලන ඉල්ලන වෙලාවට ගෙනිහින් දීම , තේ ගෙනිහින් දීම , පොඩි පොඩි අත වැසිකම් කිරීම වගේ වැඩ මට පැටවුනේය.

අම්මා සහ මම දැන් කාලයේදී නිතරම පැටලෙන්නේ වාග් විවාද වලය. ඒවා ලේසි පාසු විවාද නොවේ. විදග්ධ වාග් විවාදය. මේ ඒවායින් එකකි.

'මිනිහෙක්ට උදව්වක් කරද්දි අපි බලන්න ඕනෙ මේ මිනිහා අපිට කවද හරි වතුර ටිකක් හරි දෙයිද කියල.. ඉහ නිකට බලල වගේම කොයි වගෙ කෙනෙක්ද කියලත් බලලයි මන් නම් උදව්වක් කරන්නෙ'

අම්මා හිතුවක්කාර තාලෙට කියාගෙන යයි. දාන්ත තාලෙන් අහිංසක අයුරෙන් එතෙක් නිස්සද්දව අහන් ඉන්නා මම , එයින් අනතුරුව මයිල් පුම්බා ගනිමි.

'ඒක මොන කැත වැඩක්ද? ශී... බුදුහාමුදුරුවොත් කිව්වෙ කිසිම දෙයක් බලාපොරොත්තු නොවී උපකාර කරන්න කියලා'

අම්මාට පොට වැරදුනු බව පෙනීගෙන එයි. ඒත් ඈ සිය මතය අත් නොහරියි.

'හැම එකාටම හැම එකටම හා හා කිය කිය උදව් කරන්ඩ ගියාම අපේ කිසිම අගයක් නැතුව යනව. මනුස්සයෙක් මනින්නෙ නැතුව උදව් කලාම වෙන්නෙ , අපිට උවමනා වෙලාවට කවුරුත් නෑ කියල තේරෙන එක. එතකොට හිතෙ අමාරු හදාගන්නවට වඩා හොඳයි උදව් නොකර ඉන්න එක'

ඈ ආවේගයෙන් කියාගෙන යයි. මට එවිට ආයෙත් ඈ ගැන අප්‍රසාදයක් ඇතිවෙයි.

'මොනවද අම්මෙ, බණත් අහනව නේද? ආ...'
මම ඔලොක්කුවට කියන්නෙමි.

'බණ ඇහුවට සිහිය නැතිවෙනවැයි. ඔයාටත් කවද හරි කෙනෙක් පයින් ගැහුවම , ඔයා අසරණ වෙන තැනදි අහක බැලුවම, කල උදව් මතක නැති උනාම දැනෙන විදිය තේරෙයි'

අම්මා එක්ක පැටලෙන එක පුරුද්දට ගිහින් තිබූ ඒ කාලේ අම්මා කියන හැම එකම වැරදිම පේන ඒ කාලේ , අම්මා මෙහෙම දිනුම් පදය ගැහුවත් , ඉන් පසුවත් මට වැරදි අම්මාගේ මතයමය.

මේ එක උදාහරණයකි. අදද ඒ ආවේගශීලි ගැහැණු චරිතය මා තුල එහෙමම සිටියත් කාලයත් සමග වියපත් වී, යම් අවබෝධයක් ග්‍රහණය වී සිටිද්දී, සැබෑ ප්‍රායෝගික ජීවිතයේ අත්දැකීම් සමග , අම්මා එක්ක එදා පැටලුනු මාතෘකාම අද වෙනස් අයුරෙන් දැනීම පුදුමයක් නොවේ.



අහල පහල පොඩි උන්ට ඇගේ ඉස්කෝලේ දුප්පත් දරු දැරිවියන්ට ඇගෙන් තිබූ උපකාරවල අඩුවක් නැත. එනිසාම ඈට පාර තොටේ යද්දී ලැබෙන ආදර සත්කාරවලද අඩුවක් නැත. ඒත් ගෙදරදී අපිට පෙන්නන පුස්පාට් නිසා අපිට ඉරිසියා හිතුනු තැනුත් නැතුවා නොවේ. 'අපිට තමා රැස්.. .. ' කියා මේ ගෙදර ඉතුරු හතර දෙනාම කුටු කුටු ගෑවේ වරක් දෙපාරක් නම් නොවේ .. ;-) 

හැමෝටම බඩ බැඳගෙන උදව් කරන ඈ , මට අවැසි වන විබාගයක් හෝ අවස්ථාවක් පුවත් පතක හෝ දුටුවහොත් තාමත් එය සිහි කරද්දී තව දෙයක් සිහි කරන්නීය.  


'අහවල් පත්තරෙ අහවල් පිටුවෙ අහවල් ඇඩ් එක තිබ්බ. දැන් ඕක රට වටේ කිය කිය යන්නෙ නැතුව සද්ද නැතුව ඇප්ලයි කරන්න' 

ඇය ඒ දෙවෙනි කොටස කියන්නේ මගේ හැටි දන්න නිසාය. ඒත් දුරකථනයෙන් ඇහෙන ටිකෙන් පැය භාගයකදී මම මගේ මිතුරන්ගෙන් හරි අඩකටම එය කියා අවසානය.වාසනාවට ඈට ෆේස්බුක් නැත. ජීමේල් නැත. බ්ලොග් ගැනද නොදන්නීය.   මම එයින් නොනැවතී බස්, ෆෙස්බුක් හැම එකෙමත් ඈඩ්වටයිසින් කරන බව දන්නවා නම් මට ඈ පොඩි කාලේ වගේම ටොකු අනිනු ඇත. 

'අපි අනික් අයට කියන තරමටයි අපිට හරි යන්නෙ. ' කියා ඈ සමග මම එල්ලෙන්නට යන්නෙමි.  ඇය දැන් ඒවාට උත්තර නොදෙන්නීය. 

'ඔයා දන්නෙ නෑ මිනිස්සුන්ගෙ හැටි, ඔයා ඔහොම කලාට ඔයා හිතනවද අනික් අය ඔහොම ඔයාටත් කිය කිය කරයි කියල. ? '

'ඉතින් කාට හරි ගියාම අපිට මොකද අම්මෙ' මම ආයිත් දිනුම් පදය අතාරිමි. 

ඈ පරාජය භාර ගන්නීය.   
 ~
ඒ එදාය. 

මෙදා මම එය සිහිපත් කරන්නෙමි. දකින දකින හැම අවස්ථාවම හැමෝ එක්කම මම බෙදා ගනිද්දී, කරන කරන හැම එකම ඒ ඈයින්ම මගෙන් වසන්කොට කරන එකත්, ඒවා කරුමෙට මටම ආපහු ඔවුන්ගේ කටින්ම අහු වෙන එකත් , එහිදී දැනෙන පසු වේදනාවත් අම්මා කියූ එක කොටසක් මට සිහිපත් කර දෙයි.  


'ඔයා දන්නෙ නෑ මිනිස්සුන්ගෙ හැටි, ඔයා ඔහොම කලාට ඔයා හිතනවද අනික් අය ඔහොම ඔයාටත් කිය කිය කරයි කියල. ? '

ජීවිත තක්සලාව තුල දිනෙන් දින නොසැලෙන පහන් ටැඹක් වන් ඈ සමග තවමත් සුඹුල් මගේ රශ්මි පුංජය, හිරු දුටු කදෝපැණියෙකි. 

අම්මා කියන මේ ඩයලොග් එකෙහි හරය මට දැන් දැන් වැටහීගෙන එයි.  

'මේ ලෝකෙ අනික් මිනිස්සු කියන්නෙ අපෙ ක්ලෝන් කොපීස් නෙවෙයි. වෙනස් ලෝක වලින් ආපු වෙනස් විදියට ලෝකෙ අහන දකින විඳින මිනිස්සු. අපෙ වරද තමයි අපි අනිකගෙ හදවතිනුත් අපිව දකින්න උත්සහ කරන එක.. ඊට වඩා හොඳයි අපි අනිකාගෙ වෙනස්කම් , නොපනත් හා නොදැනුම් කම් දැක්කම හිත් රිදව නොගෙන ඉන්න එක'

ඒ අතින් බැලුවාම අපෙ අම්මාගේ ස්ට්‍රැටජිය 100% හරි නොවුනත් තමන්ගේ පැත්තෙන් සාධාරනයක් සහ ප්‍රායෝගිකත්වයක් තිබෙයි. මන්ද ඈට ඈ විහින් හදා ගන්නා හිත් තැවුල් නැති නිසාය.  

~

ගුරුවරියක් වූ අපෙ අම්මා එක්ක හවසට පාඩම් කරන එක මහ හටනක් විය. ඉරක් නම් කෙලින් ගැසිය යුතුය. රූල නම් ඉර යටින් තබා ඇඳිය යුතුය. ගිණුම්කරණය බියකරු සිහිනයක් කලේ ඇයයි :-) .  මන්ද ඇ එක්ක ඉගෙන ගන්න එක ගිනිකන්දක් උඩ ඉඳගෙන බටනලා වැයීමකි.(එසේ කිව්වාට පස් තාච්චි උපාදියේ අන්තිම සෙමෙස්ටරයේ ෆයිනෑන්ශල් සිස්ටම්ස් නම් ඈ කලින්දා රෑ එලි වෙනකල් කියා නොදුන්නා නම් හෙම ෆේල් වෙනවා සිකුරුය)

අකුරු නම් ඒවා බෝල විය යුතුය. එකටෙක කිව්වොත් කෝ‍ටු පාරය. (වැඩියෙන්ම ඒ වැඩේට නම් බැනුම් ඇසුවේ මම යන්න අහන්නත් දෙයක්ද?). අතුගානවා නම් අහු මුලු වල කුණු නොතිබිය යුතුය. ඇගේ හයිරන්කාරකම් පිරි ආෆ්ට ස්කූල් අපේ ගෙදරට 'ගුරු ගෙදර' කියා අපිම නමක් දාගත්තේ ඒ නිසාය.  හවස හයට අක්කා බුදුන් පුදන මල් වට්ටිය අතට ගන්නීය. අයියා ජනෙල් වහගෙන වහගෙන යන්නේය. මමත් මොකක්ද පොඩි පහේ වැඩක් කිරීමට නියමිත වූවා මතකය. (කරපු හොඳේ කියන්නේ කළ වැඩේ මතක නැත) . :-) හවස 6ට බුදුන් වඳින්නට තාත්තා කියලා දුන්නු ගාථා කියන තාලය තාමත් අපි තුන්දෙනාගේම එහෙම්මමය. ඒ තාලෙට එදා වැරදුනු තැන් අදද වැරදෙයි. ඒ කාලේය ඒ කාලේය කියා කොතෙක් දේ වෙනස් වී ඇද්ද? 
 ~
 අම්මා වචනයේ පරිසමාප්තාර්තයෙන්ම ගුරුවරියක් වූවාය. ඒ නිසාම ගෙදරත් ගුරු ගෙදරක්ම වූයේය. ඉස්සර තිබූ මහ පත සයිස් දුරකතන නාමාවලි සියල්ලේම , හපනා , ජගතා , මිහිර විදුසර හි පලවූ වැදගත් ලිපි ඇලවූයේ තුන්දෙනා තරඟෙටය. පොඩි උනාට මටත් ඒ තරඟේ කරන්නට ඕනේම වූයේය.  අක්කා සහ අයියා තාත්තා එක්ක කියවන විට ඉන්ග්‍රිසි ලියද්දී ලියාගන්නට බැරි ඒ මහ අමාරු වචන ලියන්ඩ දෙන්ඩැයි මාත් ඇඬුවේ ඒ නිසාය.


එදා අම්මත් එක්ක පෑටලි පෑටලී, ගුටි කකා ටොකු කකා ඉගෙනගත් අතීතය අද නම් මතක් වෙද්දිත් රසය. ඒ කාලේ නම් ඒවා ලේසි පාසු ගුටි නොවේ . 

එදා සමහර කතා කියද්දී , අම්මා අන්තවාදී යයි සිතුවත්, අද ඒ කතාම මගෙ පඬි කතා වලට වඩා  කොතරම් ප්‍රායෝගිකදැයි මට සිතෙයි. 

මම කලාකාරයෙක් ,ලේඛකයෙක් වෙනවාට ඇගේවත් තාත්තාගේවත් කිසිම කැමැත්තක් තිබුනේ නැතැයි විටෙක මට සිතෙයි, ඒත් මේ පහත රූපය බලන්න. ඒ දකින මට මා සිතූ දේ තවමත් ප්‍රශ්නාර්ථයක් වෙයි.  මේ ඇගේම අකුරුය. මගේ දිනපොතේ තියන පඬි වදන් මීට වසර 15කට පමණ පෙර කියවා ප්‍රීතියට පත් ඇගෙම අකුරුය . 


12 comments:

  1. / බුදුහාමුදුරුවොත් කිව්වෙ කිසිම දෙයක් බලාපොරොත්තු නොවී උපකාර කරන්න කියලා' /

    මේ එකක් කියන්නද නමෝ විත්තියෙම්ම....උඹෙයි අම්මගෙයි පටලැවිලි වලට අර අහක ඉන්න බුදු හාමුදුරුවො පටලව ගන්න විතරක් එපා...හොඳද දිල්?

    අනික කොහේද බොල බුදු හාමුදුරුවො ඔහොම කතාවක් කිව්වෙ?..ඔහොම කිව්වෙ මට මතක විදිහට අඤ්ඤා කොණ්ඩඤ්ඤ හාමුදුරුවො....බරණැස ඉසිපතනයේදී........හෙහ්, හෙහ්,

    / ඉහ නිකට බලල වගේම .../

    මේ මොකෝ මෙහෙම කිව්වෙ අම්මා? ඒ කියන්නෙ අම්ම උදව් කරන්නෙ වයසක උදවියට විතරෙයි දිල්?

    *********************************************

    අපේ හදවතට සමීප පුද්ගලයෙකු ගැන කල හැකි ඉහළම විවරණිකාව මගේ මතය අනුව දිල්, අගය කල යුතු ගුණාංග වගේම අඩු ලුහුඬුකම් උනත් අවංකව විවෘතව කතා කිරීම.....

    මතක තියාගන්න එකක්,...... කිසිම දෙයක් මේ ලෝකෙ නිරපේක්ෂ නැහැ, ( සමාවෙන්න, නිරපේක්ෂ ශූන්‍යය හැර...හෙහ්, හෙහ් )..ඒ නිසා ඊයේ ඔබට බරපතල වැරැද්දක් වගෙ පෙනුනු දේ අද ඒ හැටි වරදක් නොවෙයි වගෙ පෙනෙන්න පුලුවන්...අඩුම ගනනෙ ඒ පුද්ගලයා එහෙම හැසිරුනේ ඇයි කියල තේරුම් ගන්න වත් පුලුවන් වෙයි....හෙට ...ඔව් ...හෙට ඔබත් ඒ හා සමාන තත්වයකට මුහුණ දුන් විට ඔබත් ඒ අයුරින්ම හැසිරෙන්නෙ නැතිවෙයි කියල කියන්ට මොකක්ද තියෙන ගැරන්ටි එක, මොකක්ද තියෙන සහතිකය?

    *********************************************

    If you have to do something, just do it....do it only because its the right thing to do....don't expect any thing in return or worry about the consequences....

    There are no perfect people in this world, you would be perfect if you could learn to accept imperfect people for what they are instead of being a judge.

    ReplyDelete
  2. අම්මා කෙනෙක්ගෙයි දුවෙක් අතරයි තියෙන බැදීම් ගොඩක් ලොකුයි කියලා මම අපේ අම්මගෙනුයි අක්කගෙනුයි දැක්කා..

    ReplyDelete
  3. ඕව්! එදා අම්මලාගේ මතය අද අපි මුහුණ දෙන අත්දැකීමද වේ! අප කාටත්, එදා තිත්ත වූ ඒ මතය අද ඇත්ත ය!

    ReplyDelete
  4. ඒ පැත්තේ ඇවිත් තිබ්බ නිසා ආවේ.. නිදහසේ කියවන්නම් වෙලාවක..

    ජය !

    ReplyDelete
  5. දෙමව්පියො කියල දීපුව ටික ටික තේරෙන්නෙ අපි වැඩිහිටියො වෙනකොට. පොඩි කාලෙදි නං හිතෙන්නෙ මේ මොන කරදරයක්ද කියල. ඒත් දැන්.

    ReplyDelete
  6. අපේ වයසත් එක්ක අපි හිතන හැටි උදාහරණයකය ගන්න හොඳ පෝස්ටුවක්..
    දිල්ගෙ සිතුවිලි වලට මම සම්පූර්ණයෙන්ම විරුද්ද නෑ..ඒත් හැම අම්මා කෙනෙක්ම තමන් හිතන විදිහට දරුවො හිතන්න පුරුදු කරන්න උත්සාහ කරනවා..ඒක නිසා මොනවා හරි දෙයක් වැරදුනාම මම කිව්වනෙ කියලා නොකියා කියනවා..
    මට නම් හිතන්නේ මෙවන් පුංචි විප්ලව ජීවිතයට අවැසි දේ බවයි..

    ReplyDelete
  7. අර උඩ තියන චිත්‍රයේ අම්මගෙයි දරුවගෙයි භාවයන් උපරිමයි. උතුරායන මවු සෙනෙහසයි, දරුවා සෙනෙහස විඳින ආකාරයි ඒ මුණු වල හොඳට පේනවා. මගේ දෙමවුපියොත් ගුරු වෘත්තියට සම්බන්ද නිසා ඔයාගේ ගෙදර තිබුන තත්වේ මට හොඳට තේරුණා.

    ReplyDelete
  8. සහතික ඇත්ත කතාව. අපි හොයන්නෙ බලන්නෙ නැතුව හැමෝටම උදව් කරන්න ගිහින් ඒක බැක් ෆයර් වෙන වෙලාවලුත් නැතිව නෙවේනෙ.මාත් දැන්නම් උදව් කරන්න යන්නෙ හරිම පරිස්සමින්.

    අම්මලා කියන දේවල් වල හරය හරියට තේරුම් යන්න ටික කාලයක් යනවා නේද?

    ReplyDelete
  9. කවුරු මොනවා කීවත් ඒ කියපු දේවල්වලට ප්‍රතික්‍රයා දක්වන්න එපා. ඒව විසි කරන්නත් එපා. ඒවයේ මොනව හර තේරුමක් තියෙන්න පුලුවන් ඔවුන්ගේ පලපුරුද්ද නිසා. ඒ නිසා කට අරින්නෙ නැතුව ප්‍රක්‍රියා දක්වන්නෙ නැතුව ක්‍රියා කරන්න. ඒ වගේම ඔබට අවශ්‍ය දේවලුත් කරන්න. කාලයක් ගියාට පස්සෙ ඔබගේ වැඩ සටහන කාරත් ඉස්මතු වී පෙනෙයි. මේ තමයි ලෝක ධර්මය.

    ReplyDelete
  10. අම්මා කියපු ෙද් අැත්ත කියලයි මට නම් හිෙතන්ෙන්. අපි පැල් බැදෙගන උදව් කරපු අය අපිට පැනෙඩා්ල් ෙපත්තක් ඔ්නි උනාම අහක බලන ෙවලාවල් නැතුවා ෙනෙවයි. දැන් නම් උදව් කරන්න යද්දි ස්ත්‍රී පුරුෂ භාවෙය් සිට බලලයි මාත් උදව්වක් ෙදන්ෙන්. ඒ් වෙග්මයි අෙප් වැදගත් ෙදයක් කියන්න යද්දි ටිකක් කල්පනා කරනවා ෙමයා ෙමයාෙග් වැදගත් අවස්ථා මට කිව්වද කියලා. ඒෙහම නැත්නම් ඒ් ෙකනා මෙග් ෙද් කියන්නත් සුදුසු නැහැ

    ReplyDelete
  11. හිටු අම්මට කේලම කියල ටොකු ඉල්ලල දෙන්නම් :D

    ReplyDelete
  12. අත්දැකීම් වලින් පිරුණු අපේ අම්මලා තාත්තලාගේ ජීවිත වලින් ඉගෙනගත්තු දේවල් එයාලා අපට කියලා දෙන්න හදනකොට හුඟක් වෙලාවට අපිට ඒවා පේන්නෙ ඇදේට. ඒත් වයසත් එක්ක ඒ අත්දැකීම් ටික ටික අපේ ජීවිත වලටත් එකතු වෙද්දි තමයි අපිට තේරෙන්නෙ අම්මලා තාත්තලා ඒ කියපු දේවල් කොච්චර ඇත්තද කියලා. මටත් ඔය කාරණාව ගැන අත්දැකීම් ගොඩක් තියෙනවා.

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->