Tuesday, March 20, 2012

[238] ඈ - මම දන්නා ආදරවන්තියක් ඈ


සුන්දර ඈ හරියට පාස්වර්ඩ් දැමූ සිස්ටම් එකක් වගේය. ඇගේ මුවින් ගිලිහෙන හැම ඩයලොග් එකම එන්ක්‍රිප්ට් කළ මැසේජ් එකකි. කෙනෙකුට ලෙහෙසියෙන් 'කියවිය' නොහැකි බැල්මක්,දෙඩුමක් සහ සිනහවක් ඇගෙන් මම දකිමි. හෙවත් , කෙනෙකුට ලෙහෙසියෙන් කියවිය නොහැකි පොදියක් ඈ සිය හදට තුරුලු කොටගෙන හැංගෙන අයුරු මම හොඳින් කියවමි. 

ජීවිතයට වඩා මිනිසුන් මෙතරම් කියවා ගත හැකි වීම ඛේදයකි. කියැවූ දෙයින් කියවන්නා වන මටත් කියවන ලද්දා වූ අනුන්ටත් පලක් ලබා දිය නොහැකිය මට.  


අව්‍යාජත්වය ඈ වෙතින් කියවා ගත නොහැකිය මට. අස්ථායී හදවතකට වුව , නොසැලෙන බැල්මක් සහ මහා උපේක්ෂාවක් පල කළ හැකැයි මම ඇගෙන් උගත්තෙමි. ඈ මවා පාන හුවා දක්වන නොසැලෙන සහ තෘප්තිකර ජීවිතය යනු, හුණු කූරක් ගෙන ඇගේ වටා ඈ අඳින තද පාට ඉරකින් වෙන්වූ වපසරිය ලෙස මම හඳුනා ගන්නෙමි. උලා කන , ඉබාගාතේ එන සහ හොරා කන්නට වැට පනින හොරුන්ට ඇගේ කම්බි වැට මායිම අසල ඉඳිනු මිස අන් මගක් නැත. 

ජීවිතය ඇයට තාම ටියුෂන් දෙන්නට පටන් ගෙන නැත. නොසැනසෙන හිතත්, සතුට මවාපාන හිනහවත් මිස සැබෑ අව්‍යාජ ජීවිතයක් ඈට තාම ලැබී නැත. අඩුගානේ ඈ සොයන නිධානය මේ යයි හඬගා ඉල්ලා සිටිය හැකි කටහඬක්වත් තාම ඈට නැත.  ඒ දෑස් මත කාටවත් කියා නැති කතාවක් පාස්වර්ඩ් දමා ෆයිල් කොට තිබේ. පාස්වර්ඩ් එකත් ඈ හිතා මතා අමතක කොට දැමූ බව මට සහතිකය. 

ජීවිතය යනු ඇනලයිස් කිරීමේ අවදානම ගන්නා කෙනෙකුට ප්‍රහේලිකාවකි. එහෙයින්ම නිරුත්තර භාවයෙන් ඈ යථාර්තය වෙත ඇද දමන්නට මා තැත් කළොත් එය පාපයකි.   ජීවිතය සත්‍යය සහ යථාර්තය අමු අමුවේ වැමෑරුවහොත් එය වේදනාවකි. නීරස අහර සහ කුසගින්න ඊට සැපයයි ඇගේ මානයෙන් නිවැරදි විය නොහැකිද? 

නිහඬ අතෘප්තිකර ජීවිතය යනු එක්තරා සැනසිල්ලකි. එසේ ජීවත් වීමට හිත හදාගැනීමම ජයග්‍රහණයකි. මල්ල ලිහා බැලුවහොත් පරණ හුණු දැකිය හැකිවාක් මෙන්ම එය ලිහා බැලීම වේදනාවක් වීම මග හළ නොහැකිය. එනිසා මම නිහඬව බලා සිටින්නෙමි. මා ගුරුවරියක්ය යන්න මට සිහිපත් වෙයි. ඈට සත්‍යය හෙවත් නීරස යථාර්තය පහදා දිය යුතු යැයි මගෙ සිත මුරගා කියයි... 

එහෙත් අනෙක් අතින් මම ලඟදී අලුත් උපදේශයක් උගත්තෙමි. ගුරුවරියක් යනු කියා නොදිය යුතු දෑ සාර්ථකව සඟවා අමතක කළ හැකි අයෙකු විය යුතු බව මම උගනිමින් සිටිමි.  එනිසාම ඈට ඇගේ ලොව රසවත්ව යථාර්තය සඟවා දෙනුවස් මම හැකි හැම උපකාරයක් කිරීමෙන්ම හිත හදාගමි .


Saturday, March 17, 2012

[237] සලබයින් අතර නග්නව



ගොඩනැගිල්ලකි. එහි දැල් සිදුරු අස්සෙන් තෙරපී ඇතුලට රිංගා යා හැක්කේ කුඩා කෝඳුරුවන්ට පමණකි. කෝඳුරුවන් හැරුනු කොට සිය කැමැත්තෙන් ගාල් වූ නිලමැස්සනුත් , සිය අකැමැත්තෙන් ගාල් කරන ලද මැසි මදුරුවනුත් කිහිප දෙනෙක් වෙති. මේ සියල්ලන්ම හැරුනු කොට මුලු කාමරයම පිරී ඇත්තේ සලබයන්ගෙනි. කිසිම හැඩයක් පිලිවෙලක් පාටක් හෝ සුරුවමක් නැති නිකම්ම නිකම් සබලයින්ගෙනි.  කිලිටි, අපිලිවෙල , එහෙන් මෙහෙන් ඉරීගිය පිහා‍ටු සහිතව බිත්ති කොනේ එල්ලි එල්ලී සිටිනසලබයින් අස්සේ සිටි එකම සමනලයා මම වීමි.

බිමට හැරුනු නෙතින් යුතුව කුරු‍ටු ගෑම විනා මේ සමනලයාට කළ හැකි කිසිම දෙයක් නැතිය. මුවින් වදනකුදු නොදොඩා රත්වූ යකඩයට තලනු වස් මම කැස කවාගෙන මේ ටික කුරු‍ටු ගාමි. පෑනෙහි තීන්ත පවා රත් වන්නේ ලේ උණු වෙන මද්දහනේය. සලබයන් එක එක අහුමුලු මත්තේ වසා සිටින සාලාවෙහි එකම සමනලයා මම වීමි. පිලිවෙලකට පීරූ කොණ්ඩයත් , තොල් ආලේපනත්, එකිනෙකට කැපෙන ඇඟලුම් සංයුතියත් මා සලබ සේනාව මැද්දෙහි වෙන්කොට පෙන්වයි. එය කොතරම් අනුවණ වෙස් වලා ගැනීමක් දැයි මට එවිට වැටහෙයි. වැටහෙන දේට , යොමුවෙන උකුසෙ ඇස් දෙස් දෙයි. සැඟවෙනු විනා එහෙ මෙහෙ හැරෙනුද අපහසුය. රේඩාර් දහසකට එය නතු වෙයි. 



ඔවුහු කිලිටිය. පිහා‍ටු අවුල් වී තිබෙයි. දුගඳය . මගේ සංකර සිත බොහෝ නෝක්කාඩු කීමට කාරණ සොයයි. සලබයාගෙ අඳුර සමනලයාගෙන් දිස් නොවෙයි.සමනලයාට ඇති විලවුන් , නෙක පැහැ පිහා‍ටු සලබයාට උපතින්ම උරුම නැත. එහෙත් එකම භෞම්‍යාගාරයක සලබ දෑස් මත්තේ ගැටෙමින් සැ‍ඟෙවෙන්නට යත්න දරමින් සමනලයා ත‍ටු නොසලා හිටි වනම වසා සිටියි.

සමනලයෙකුගේ පිහා‍ටු වර්ණ රටා මත , සලබයෙකුගේ මූලික හැඩය පෙනෙතත් , මේ වර්ධනීය අවස්ථාවෙහිදී සමනලයා රුසිරෙන්ද , සලබයා සවියෙන්ද එකිනෙකා හා නිහඬ තරඟයෙක යෙදෙයි. කාන්තාරයේ වැවෙන ක‍ටුපඳුරක් සේ සලබ පිහා‍ටු කොතෙක් ඉරීගියත් සලබ හදවත නොනවතියි. එහෙත් මේ මටසිලිටි සමනල පිහා‍ටු මත වදින ඇඟිලි තුඩු පහරකින් මාරාන්තික අවසන් හුස්ම තීරණය වෙයි. 



සමනලයා වූ මටත් සලබයා වූ උන්ටත් පොදු එකම එක දෙයක් තිබෙයි. එකම සංඛ්‍යාතයෙන්  නින්නාද වෙන සරසුල් කිහිපයක් මෙන් , සලබ හුස්මත් සමනල හුස්මත් එකම දෙයක් ගැන මුමුණයි. හඬනු මැන නිදහස !





Wednesday, March 07, 2012

[236] අම්මා සහ මම වනාහී....


අපේ අම්මා සහ මම කියන්නේ හරියට නුල් බෝලයයි ඉඳිකට්ටයි වගේ හිටි දෙන්නෙක් නොවේ... එහෙම හිටියේ අම්මා සහ අක්කාය. මම අපේ තාත්තාගේ පන්දමා වීමි. එනිසාම අම්මා එක්ක කැත්තට පොල්ල හිටි ඒ කාලය ගැන දැන් නම් දුකක් දැනෙයි. තාත්තාගේ ගේ දොර වැඩ වලදී  අරක මේක ඉල්ලන ඉල්ලන වෙලාවට ගෙනිහින් දීම , තේ ගෙනිහින් දීම , පොඩි පොඩි අත වැසිකම් කිරීම වගේ වැඩ මට පැටවුනේය.

අම්මා සහ මම දැන් කාලයේදී නිතරම පැටලෙන්නේ වාග් විවාද වලය. ඒවා ලේසි පාසු විවාද නොවේ. විදග්ධ වාග් විවාදය. මේ ඒවායින් එකකි.

'මිනිහෙක්ට උදව්වක් කරද්දි අපි බලන්න ඕනෙ මේ මිනිහා අපිට කවද හරි වතුර ටිකක් හරි දෙයිද කියල.. ඉහ නිකට බලල වගේම කොයි වගෙ කෙනෙක්ද කියලත් බලලයි මන් නම් උදව්වක් කරන්නෙ'

අම්මා හිතුවක්කාර තාලෙට කියාගෙන යයි. දාන්ත තාලෙන් අහිංසක අයුරෙන් එතෙක් නිස්සද්දව අහන් ඉන්නා මම , එයින් අනතුරුව මයිල් පුම්බා ගනිමි.

'ඒක මොන කැත වැඩක්ද? ශී... බුදුහාමුදුරුවොත් කිව්වෙ කිසිම දෙයක් බලාපොරොත්තු නොවී උපකාර කරන්න කියලා'

අම්මාට පොට වැරදුනු බව පෙනීගෙන එයි. ඒත් ඈ සිය මතය අත් නොහරියි.

'හැම එකාටම හැම එකටම හා හා කිය කිය උදව් කරන්ඩ ගියාම අපේ කිසිම අගයක් නැතුව යනව. මනුස්සයෙක් මනින්නෙ නැතුව උදව් කලාම වෙන්නෙ , අපිට උවමනා වෙලාවට කවුරුත් නෑ කියල තේරෙන එක. එතකොට හිතෙ අමාරු හදාගන්නවට වඩා හොඳයි උදව් නොකර ඉන්න එක'

ඈ ආවේගයෙන් කියාගෙන යයි. මට එවිට ආයෙත් ඈ ගැන අප්‍රසාදයක් ඇතිවෙයි.

'මොනවද අම්මෙ, බණත් අහනව නේද? ආ...'
මම ඔලොක්කුවට කියන්නෙමි.

'බණ ඇහුවට සිහිය නැතිවෙනවැයි. ඔයාටත් කවද හරි කෙනෙක් පයින් ගැහුවම , ඔයා අසරණ වෙන තැනදි අහක බැලුවම, කල උදව් මතක නැති උනාම දැනෙන විදිය තේරෙයි'

අම්මා එක්ක පැටලෙන එක පුරුද්දට ගිහින් තිබූ ඒ කාලේ අම්මා කියන හැම එකම වැරදිම පේන ඒ කාලේ , අම්මා මෙහෙම දිනුම් පදය ගැහුවත් , ඉන් පසුවත් මට වැරදි අම්මාගේ මතයමය.

මේ එක උදාහරණයකි. අදද ඒ ආවේගශීලි ගැහැණු චරිතය මා තුල එහෙමම සිටියත් කාලයත් සමග වියපත් වී, යම් අවබෝධයක් ග්‍රහණය වී සිටිද්දී, සැබෑ ප්‍රායෝගික ජීවිතයේ අත්දැකීම් සමග , අම්මා එක්ක එදා පැටලුනු මාතෘකාම අද වෙනස් අයුරෙන් දැනීම පුදුමයක් නොවේ.



අහල පහල පොඩි උන්ට ඇගේ ඉස්කෝලේ දුප්පත් දරු දැරිවියන්ට ඇගෙන් තිබූ උපකාරවල අඩුවක් නැත. එනිසාම ඈට පාර තොටේ යද්දී ලැබෙන ආදර සත්කාරවලද අඩුවක් නැත. ඒත් ගෙදරදී අපිට පෙන්නන පුස්පාට් නිසා අපිට ඉරිසියා හිතුනු තැනුත් නැතුවා නොවේ. 'අපිට තමා රැස්.. .. ' කියා මේ ගෙදර ඉතුරු හතර දෙනාම කුටු කුටු ගෑවේ වරක් දෙපාරක් නම් නොවේ .. ;-) 

හැමෝටම බඩ බැඳගෙන උදව් කරන ඈ , මට අවැසි වන විබාගයක් හෝ අවස්ථාවක් පුවත් පතක හෝ දුටුවහොත් තාමත් එය සිහි කරද්දී තව දෙයක් සිහි කරන්නීය.  


'අහවල් පත්තරෙ අහවල් පිටුවෙ අහවල් ඇඩ් එක තිබ්බ. දැන් ඕක රට වටේ කිය කිය යන්නෙ නැතුව සද්ද නැතුව ඇප්ලයි කරන්න' 

ඇය ඒ දෙවෙනි කොටස කියන්නේ මගේ හැටි දන්න නිසාය. ඒත් දුරකථනයෙන් ඇහෙන ටිකෙන් පැය භාගයකදී මම මගේ මිතුරන්ගෙන් හරි අඩකටම එය කියා අවසානය.වාසනාවට ඈට ෆේස්බුක් නැත. ජීමේල් නැත. බ්ලොග් ගැනද නොදන්නීය.   මම එයින් නොනැවතී බස්, ෆෙස්බුක් හැම එකෙමත් ඈඩ්වටයිසින් කරන බව දන්නවා නම් මට ඈ පොඩි කාලේ වගේම ටොකු අනිනු ඇත. 

'අපි අනික් අයට කියන තරමටයි අපිට හරි යන්නෙ. ' කියා ඈ සමග මම එල්ලෙන්නට යන්නෙමි.  ඇය දැන් ඒවාට උත්තර නොදෙන්නීය. 

'ඔයා දන්නෙ නෑ මිනිස්සුන්ගෙ හැටි, ඔයා ඔහොම කලාට ඔයා හිතනවද අනික් අය ඔහොම ඔයාටත් කිය කිය කරයි කියල. ? '

'ඉතින් කාට හරි ගියාම අපිට මොකද අම්මෙ' මම ආයිත් දිනුම් පදය අතාරිමි. 

ඈ පරාජය භාර ගන්නීය.   
 ~
ඒ එදාය. 

මෙදා මම එය සිහිපත් කරන්නෙමි. දකින දකින හැම අවස්ථාවම හැමෝ එක්කම මම බෙදා ගනිද්දී, කරන කරන හැම එකම ඒ ඈයින්ම මගෙන් වසන්කොට කරන එකත්, ඒවා කරුමෙට මටම ආපහු ඔවුන්ගේ කටින්ම අහු වෙන එකත් , එහිදී දැනෙන පසු වේදනාවත් අම්මා කියූ එක කොටසක් මට සිහිපත් කර දෙයි.  


'ඔයා දන්නෙ නෑ මිනිස්සුන්ගෙ හැටි, ඔයා ඔහොම කලාට ඔයා හිතනවද අනික් අය ඔහොම ඔයාටත් කිය කිය කරයි කියල. ? '

ජීවිත තක්සලාව තුල දිනෙන් දින නොසැලෙන පහන් ටැඹක් වන් ඈ සමග තවමත් සුඹුල් මගේ රශ්මි පුංජය, හිරු දුටු කදෝපැණියෙකි. 

අම්මා කියන මේ ඩයලොග් එකෙහි හරය මට දැන් දැන් වැටහීගෙන එයි.  

'මේ ලෝකෙ අනික් මිනිස්සු කියන්නෙ අපෙ ක්ලෝන් කොපීස් නෙවෙයි. වෙනස් ලෝක වලින් ආපු වෙනස් විදියට ලෝකෙ අහන දකින විඳින මිනිස්සු. අපෙ වරද තමයි අපි අනිකගෙ හදවතිනුත් අපිව දකින්න උත්සහ කරන එක.. ඊට වඩා හොඳයි අපි අනිකාගෙ වෙනස්කම් , නොපනත් හා නොදැනුම් කම් දැක්කම හිත් රිදව නොගෙන ඉන්න එක'

ඒ අතින් බැලුවාම අපෙ අම්මාගේ ස්ට්‍රැටජිය 100% හරි නොවුනත් තමන්ගේ පැත්තෙන් සාධාරනයක් සහ ප්‍රායෝගිකත්වයක් තිබෙයි. මන්ද ඈට ඈ විහින් හදා ගන්නා හිත් තැවුල් නැති නිසාය.  

~

ගුරුවරියක් වූ අපෙ අම්මා එක්ක හවසට පාඩම් කරන එක මහ හටනක් විය. ඉරක් නම් කෙලින් ගැසිය යුතුය. රූල නම් ඉර යටින් තබා ඇඳිය යුතුය. ගිණුම්කරණය බියකරු සිහිනයක් කලේ ඇයයි :-) .  මන්ද ඇ එක්ක ඉගෙන ගන්න එක ගිනිකන්දක් උඩ ඉඳගෙන බටනලා වැයීමකි.(එසේ කිව්වාට පස් තාච්චි උපාදියේ අන්තිම සෙමෙස්ටරයේ ෆයිනෑන්ශල් සිස්ටම්ස් නම් ඈ කලින්දා රෑ එලි වෙනකල් කියා නොදුන්නා නම් හෙම ෆේල් වෙනවා සිකුරුය)

අකුරු නම් ඒවා බෝල විය යුතුය. එකටෙක කිව්වොත් කෝ‍ටු පාරය. (වැඩියෙන්ම ඒ වැඩේට නම් බැනුම් ඇසුවේ මම යන්න අහන්නත් දෙයක්ද?). අතුගානවා නම් අහු මුලු වල කුණු නොතිබිය යුතුය. ඇගේ හයිරන්කාරකම් පිරි ආෆ්ට ස්කූල් අපේ ගෙදරට 'ගුරු ගෙදර' කියා අපිම නමක් දාගත්තේ ඒ නිසාය.  හවස හයට අක්කා බුදුන් පුදන මල් වට්ටිය අතට ගන්නීය. අයියා ජනෙල් වහගෙන වහගෙන යන්නේය. මමත් මොකක්ද පොඩි පහේ වැඩක් කිරීමට නියමිත වූවා මතකය. (කරපු හොඳේ කියන්නේ කළ වැඩේ මතක නැත) . :-) හවස 6ට බුදුන් වඳින්නට තාත්තා කියලා දුන්නු ගාථා කියන තාලය තාමත් අපි තුන්දෙනාගේම එහෙම්මමය. ඒ තාලෙට එදා වැරදුනු තැන් අදද වැරදෙයි. ඒ කාලේය ඒ කාලේය කියා කොතෙක් දේ වෙනස් වී ඇද්ද? 
 ~
 අම්මා වචනයේ පරිසමාප්තාර්තයෙන්ම ගුරුවරියක් වූවාය. ඒ නිසාම ගෙදරත් ගුරු ගෙදරක්ම වූයේය. ඉස්සර තිබූ මහ පත සයිස් දුරකතන නාමාවලි සියල්ලේම , හපනා , ජගතා , මිහිර විදුසර හි පලවූ වැදගත් ලිපි ඇලවූයේ තුන්දෙනා තරඟෙටය. පොඩි උනාට මටත් ඒ තරඟේ කරන්නට ඕනේම වූයේය.  අක්කා සහ අයියා තාත්තා එක්ක කියවන විට ඉන්ග්‍රිසි ලියද්දී ලියාගන්නට බැරි ඒ මහ අමාරු වචන ලියන්ඩ දෙන්ඩැයි මාත් ඇඬුවේ ඒ නිසාය.


එදා අම්මත් එක්ක පෑටලි පෑටලී, ගුටි කකා ටොකු කකා ඉගෙනගත් අතීතය අද නම් මතක් වෙද්දිත් රසය. ඒ කාලේ නම් ඒවා ලේසි පාසු ගුටි නොවේ . 

එදා සමහර කතා කියද්දී , අම්මා අන්තවාදී යයි සිතුවත්, අද ඒ කතාම මගෙ පඬි කතා වලට වඩා  කොතරම් ප්‍රායෝගිකදැයි මට සිතෙයි. 

මම කලාකාරයෙක් ,ලේඛකයෙක් වෙනවාට ඇගේවත් තාත්තාගේවත් කිසිම කැමැත්තක් තිබුනේ නැතැයි විටෙක මට සිතෙයි, ඒත් මේ පහත රූපය බලන්න. ඒ දකින මට මා සිතූ දේ තවමත් ප්‍රශ්නාර්ථයක් වෙයි.  මේ ඇගේම අකුරුය. මගේ දිනපොතේ තියන පඬි වදන් මීට වසර 15කට පමණ පෙර කියවා ප්‍රීතියට පත් ඇගෙම අකුරුය . 


Sunday, March 04, 2012

[235] සිය දිවි නසා ගැනීම වනාහී...



සිය දිවි නසා ගැනීම මහ කැත වැඩකි. එහෙම හිතීම ඊටත් වඩා කැතය. කොච්චර කැත වුනත් එහෙම හිතෙන්නේ වෙරෝනිකාට නම් නිකම්මය. නිකම්ම නිකම් ජීවිතෙන් වෙහෙස වීම නිසා වෙරෝනිකාට ඒ වගේ උනාට , බෙන් තෝමස්ට නම් එහෙම හිතෙන්නේ නිකම්ම නිකම්ම නොවේ. බෙන්ගේ ජීවිතය එක්තරා තැනකදී වෙනස් වෙයි. කොටින්ම බෙන්ට එතැන්දී ජීවිතය තිත්ත වෙයි. නැත. මම වැරදියි. බෙන්ට එතැන්දී ජීවිතයේ අරුත වැටහෙයි. බෙන්ට තවදුරටත් ජීවත් වීමට හේතුවක් නැති වුවත් , බෙන්ට සිය දිවි නසා ගැනීමට හේතු එකක් නොව 7ක්ම පහළ වෙයි.


එය බෙන්ගේ වාසනාවද? එය බෙන්ගේ අවාසනාවද? එහෙත් බෙන්ට අරමුණු එකක් නොව 7ක් තිබෙයි. ඒ 7ම සපල වන්නට එක් දෙයක් සිදුවිය යුතුවෙයි. එහි මූලික වගකීම පැවරෙන්නේ මාලුවෙකුටය. නිකම්ම නිකම් මාලුවෙකුට නොව ජෙලිෆිශ් කෙනෙකුටය.


ජීවිතය සැලසුම් සහගත ගමනක් නොවේ. මෙලොවට එන තැන්හි පටන් ජීවිතය එක් එක් අයුරෙන් ඇදී යයි. කෙනෙකු තම මරණය එතරම්ම සැලසුම් කිරීම පිස්සුවකැයිද සිතේ. එහෙත් බුදු දහමේද කියවෙන 'සිය පණ නැසීමේ පව' බෙන් කරන්නට යයි. චේතනාව අනුව එය පවක්දැයි නිර්නය කිරීම දේදුන්නේ පාට හත අතරින් ඉරි ගැසීමකි.


එහෙත් ... එහෙත්... බෙන් තෝමස්... ඔහු නිසා ජීවිත 7ක් වෙනස් වෙයි. ඔහු ඒ ජීවිත හත වෙනුවෙන් ජීවිතයෙන් සමුගනී. ඔහු ශාන්තුවරයෙක්ද? ඔහු මරාගෙන මැරෙන්නෙක්ද? ඔහු ජීවිතය අත් හරින්නෙකි. ඔහුට අනුව ජීවිතය අත් හැරීම සැපයකි. ජීවත් වීම වධයකි.




එසේ නම් බෙන් මෝඩයෙක්ද? නිකමෙක්ද? අදාන්තයෙක්ද? මාද නොදනී....


ජීවිතය මැණිකකැයි ඇතමුන්ට සිතෙයි. මේ ලද අවස්ථාව මහානර්ඝ යැයි ඇතමුන්ට සිතෙයි. ජීවිතය නිස්සාර එකකැයි ඇතමුන් කලකිරෙයි. ජීවිතේ කිසි පලක් නැතැයි මැසිවිලි නැගෙයි. මියෙන්නට පෙර නොපමාව හොඳ දේ හැකිතාක් කල යුතු යැයි ඇතම්හු යුහුසුලු වෙති. අනාගතයක් නැතැයි ජීවිතය අත් හැරීම මෝඩකමකැයි කියාත් සිතෙයි. අනාගතය තිබෙන්නේ මේ අත්ල මතමය. තීරණ සහ තෝරා ගැනීම් මත අත්ලෙහි රැඳි දේ ගිලිහේද සුරැකේද යන්න නිර්ණය වෙයි. තෝරාගත් තීරණයෙහි දාන්ත හෝ අදාන්ත බවත් නිර්ණය කිරීම කිරෙන් යොදය වෙන් කිරීම තරම් පහසු නැත.


මරණින් පසු යහපත් ජීවිතයක් වෙනුවෙන්ය ඒ. මියගිය පසුත් හොඳ දේ කළ යුතු යැයි සිතෙන්නේ එහෙමත් කෙනෙකුටය. මියයාමෙන් හොඳක් වෙන්නේ අනුන්ට නම් මිය ගියේ ඇයිදැයි ඇසීමම ප්‍රශ්නයකි.. නො අසා සිටීමම සහනයකි.බෙන් එක්තරා අයුරකින් ජීවිතාවබෝධය ලද්දෙක් වෙයි. ජීවිතය මාහැඟි ත්‍යාගයකි. බෙන් සිතන්නේත් එයම බව මට සිතේ. සිය ජීවිත ත්‍යාගය ඔහු ලිහා බලන අභියෝගය භාර ගනී. එතෙකිනුදු නොනැවතී වැසුම් අරින ලද ජීවිත ත්‍යාගය ඔහු සොඳුරු ජීවිත හතක් වෙනුවෙන් ආදරයෙන් දිගු කරයි. එතෙක් ජීවිතයෙන් හෙම්බත්ව හතිලන ආත්ම හතකට ඔහු විවේකයක් ලබා දෙන්නට තීරණය කරයි.


හරි වැරැද්ද අභිරහසක්! චේතනාව නොරහසක්! බෙන් තෝමස් මිය යනු දුටු මොහොතේ මට සිතුනේ එයයි. ජීවිතේ මහ අභිරහසක්... අභිරහස විසඳෙන්නේත් අභිරහසකින්..





මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->