ස්ථානය : පාසලක් (ලොකු කිව්වට සෑහෙන්න ලොකු පහේ එකක්)
වෙලාව : උදේ 7. 30
හරියටම කිව්වොත් ස්ථානය : ඉස්කෝලෙ රැස්වීම් සාලාව
රැස්ව සිටින සෙනග : 7, 8, 9 වසර සිසුන් , විදුහල්පති, 7,8,9 පංති භාර ගුරුවරු , විනය භාර ගුරුවරු
අවස්ථාව : 7,8, 9 වසර පංති වලින් එක පංතියක මෙම වාරයේ පංති රැස්වීම
ඉදිරිපත් කරන්නන් : එම පංතියේ සිසුන්
ඔවුන්ට ලබා දී ඇති කාලවේලාව : පැය භාගයයි
ඔවුන් කිරීමට තෝරාගෙන තිබුනේ: නාට්‍යමය ජවනිකාවක්
වේදිකාව
8 වසර පංති කාමරයක් වේදිකාව මත මවා තිබේ.... ඒම වසර සිසුන්ම එහි රඟපාන්නේ තම තමන්ගේම චරිතම වෙත්. ගුරුවරයාගේ චරිතයක් පංති කාමරය කරා එලැඹේ...
ලමුන්ට වගේ වගක් නැත. ඔවුන් රොකට් යවති. කෑගසති. හූ කියති. පංතියම එකම කඩි ගුලක් සේ ඇවිස්සෙමින් ගුරුවරයාගේ රතු කට්ට පැන්නීමේ සංවිධිත ක්‍රියාදාමයක් ගෙන යති... කොල්ලන්ටත් කෙල්ලන්ටත් ගුරුවරයා ගැන වගේ වගක් නැත.
ප්‍රේක්ෂකාගාරය :
7,8,9 වසර සිසුන් ප්‍රීතියෙන් ඉපිල ගොස් ඇත. වරින් වර අත්පොලසන් වැදේ. ඔවුන්ගේ සුපුරුදු දිනපතා හැසිරීම මොවුන් වේදිකාව මත රඟනු දකින එක හාස්‍යයක් ලෙස දරුවන්ට හැඟේ. ගුරුවරු මුහුණට මුහුණ බලා සිටිති.
වේදිකාව
පාසලේ සිටින , පරණ , ඉගැන්වීම අතින් ඉතා හොඳ බවට නම් දැරූ, විනය ඉතා තදින් රකින තරුණ පිරිමි ගුරුවරයකු , එම පංතියේ එක් දක්ෂ සිසුවකු විසින් අනුකරණය කරනු ලැබෙනු පෙනේ.
ගුරුවරයා උගුර කට පාදා එකම වචනය 5 වතාවක් පමන පවසමින් පාඩම ආරම්භ කරනට සැරසෙයි. ඔහු හෙම්බත් වී ඇති සේය. ලමුන් එය වලකති. කෑගසති. අනවශ්‍ය ප්‍රශ්න අසමින් පාඩමට බාධා කරති.
ප්‍රේක්ෂකාගාරය
අත්පොලසන්...... සිනාසීම්..... ලමුන් මේ අනුකාරක ගුරුවරයා හඳුනා ගැනීමෙන් උද්දාමයට පත් වෙති.... ගුරුවරුන් මුහුණට මුහුණ බලමින් නිහඬ වෙති...
වේදිකාව
(මේ අවසන් ජවනිකාවයි) පංතියේ දෑනටටම්ත් අජූව හැසිරීම , කිසිවෙකුට ගරු කරන්නට නොදන්නාකම නිසා අමනයෙකු සේ හැදෙන , පංතියේ බාධා කිරීම් වලදී මුල් තැන ගන්නා සිසුවා විභාගය ෆේල් වෙයි. හොඳ ලමයා විභාගය සමත් වෙයි.
ප්‍රේක්ෂකාගාරය
නාට්‍යයේ රසවත්ම හාස්‍යජනකම ජවනිකා ටික අවසන් බැවින්, ලමුන්ට මේ නාට්‍යය දැන් ඉවර වෙන වෙලාව පමණක් ප්‍රශ්නයක් වී ඇත.... බෙල් එක ගසන්නේ කොයි වෙලේදැයි මග බලමින් ඔවුන් යන්ට සැරසෙති. තවත් අත්පොලසන් දෙන්නට දෙයක් නැත. ගුරුවරුන්, ලමුන් ඉදිරියේම වේදිකාවක් මත ගුරුකම උපහාසයට ලක් වීමෙන් දරුවන්ගේ මුහුන බලන්නට අපහසුවෙන් ඇඹරෙති...
**** නාට්‍යය අවසානයි **** සියල්ලෝ කෙසේ වෙතත් දරුවෝ සතුටෙන් විසිර යති..*** නාට්‍යයේ රඟපෑ පිරිස වීරයන් වී සිටිති... ඈයි ඉතින්.. එතරම්ම නිර්භීතකමක් !!!!!!
මගේ සටහන (කණගාටුවෙන් ලියමි ...... )
මේ නාට්‍යය අවසානයේ
ලමුන් ඉගෙන ගත් දෑ ;
ගුරුවරයකු පංතියේ සිටිද්දී තිබිය යුතු හැසිරීම් ක්‍රම , කෑගෑසිය යුතු ආකාරය, ගුරුවරයා සාර්ථකව තරහ ගස්සන්නේ කෙසේද යන්න, ගුරුවරයෙකුට උපහාස කිරීමේ වැදගත්කම, පංතියේ අන්තිම අමන හැසිරීම පෙන්වීමෙන් තමා කොතරම් ජනප්‍රිය වනවාද යන වග , එය තමන්ට වේදිකාවක එසේ රඟ දක්වා පෙන්වීමටද යම් දාක අවස්ථාවක් ලැබීමට මෙහි ඉඩ ලැබිය හැකි වග. (සාර්ථකත්වය සහ හැසිරීම අතර තිබෙන අනුලෝම සම්බන්ධය වටහා ගත් අයෙක් එහි වීදැයි මට සැක සහිතය!!!)
ගුරුවරුන් ඉගෙන ගත් දෑ ;
අදින් පසු මේ රැස්වීම බලා සිටි අනෙකුත් සිසු සිසුවියන්ද මෙසේ තමා පන්තියේ සිටියදී හැසිරුනහොත් තමා පුදුම නොවිය යුතු වග , විදුහල්පතිවරයා , පංති භාර ගුරුවරයා මේවා වේදිකාවකට ගෙනවිත් , අත්පොලසන් ගස්වා සාමාන්‍ය දේවල් කරන බව දැන සිටිය යුතු බව...
පසු සටහන :
නාට්‍යයේ සමස්ත හරය ගත් කල , එහි ගැබ්ව ඇත්තේ යහපත් අරමුණක් බව මා පිලිගනිමි. එය එසේ ග්‍රහණය කරගන්න තරම් ලමුන් බුද්ධිමත් විය හැකි බවද මා පිලිගනිමි...
එයට අත්පොලසන් දෙන, සිනහසෙන කුඩා මනස සහ ඇස ඒවා සාමාන්‍ය සිද්ධි කොට ගැනීම සහ නිරායාසයෙන්ම ඊට යොමු වීම සිදු වේදැයි සිතෙන හෙයින්ම මෙය ලීවෙමි... අරමුණු කොට ගත් දක්ෂ , කාර්‍ය ශූර , විනය රකින හොඳ ගුරුවරයකු අනුකරණය කොට අපහාස කිරීම නම් කිසි සේත්ම පිලිගත නොහැකිය....
මේ පංති රැස්වීම හොර රහසේ ළමුන් විසින්ම සංවිධානය කොට හිටි හැටියේම ඉදිරිපත් කළ එකක්ද එසේත් නැතිනම් කාගේ හෝ අනුමැතියකින් පසුව ඉදිරිපත් කරන ලද්දක්ද යන වග සොයා බලන ලදී.... පංති භාර ගුරුවරිය මීට ඉහත දිනයක මුලු නාට්‍යයම නැරඹීමෙන් පසුව මීට අනුමැතිය දී තිබේ... එහි ලොකුම හාස්‍යය නම් එම ගුරුවරිය අවුරුදු 60ක් පමණ වයසැති , ඉතා අත්දැකීම් බහුල මෙම පාසලේ විනය භාර ගුරුවරියන් තිදෙනාගෙන් එක් අයෙකු වීමය!!! එහි තවත් සිනහා යන අත්දැකීම නම් , මේ ගුරුවරිය ලමුන්ගේ කොණ්ඩය කප්පවන්නට , ඉස්සරහට වැටුනු රැලි වලට කටු ගස්සවන්නට , කොට සායවල් දික් කරවන්නට ලමුන්ට පන්න පන්නා උපදෙස් දෙන තලස්තෑනි මාතාවක වීමය !!!!!
ගුරු කමෙහි ගරුත්වයට නොගැලපෙන මෙවන් අමන හැසිරීම් වේදිකාගත කිරීමක් කරවන්නට තරම් , ගුරුවරයකුට අපහාස කරවන්නට තරම්, 8 වසර ඇම්බැට්ටයින් රැලකට ඉඩ දෙන , එපමණකින් නොනැවතී එයට අත්පොලසන් දෙව්වන්නට උත්සුක වන , ඒවා ආදර්ශයට ගන්නට උඩ ගෙඩි දෙන, අමනෝඥයින් පිරුනු මෙවන් අපරික්ෂාකාරී ආයතන, නිසි අධිකාරියක් යටතට ගෙන , ඉස් ඉස්සෙල්ලාම උපාධියකින් පමණක් ගුරු වෘත්තියට ලේසියෙන් පැනගත් මිනිස්සුන් ගැහැනුන්ට වෘත්තිමය පුහුණුව ලබා දෙන්නටත් , මෙවන් ආයතන ලමුන් තනනවාද නසනවාදැයි නිරන්තර අධීක්ෂණය කරන්නටත් , නීති පනවන්නටත් කාලය එලැඹ ඇතැයි මම මහත් වේදනාවෙන් සිහිපත් කරමින් මේ ලිපිය අවසන් කරමි...
එක්කෝ... මට වැරදිලාවත්ද ? නිදහස් අධ්‍යාපනය කියන්නෙ (මම නොදැන උන්නට) මේකටද දන්නෙ නැහැ....
ලමයින්ට ඉගැන්නුවම කියලා ගුරුවරයෙක් වෙන්න බැහැ. උගන්වන හැම කෙනාටම ගුරුවරයෙක් වෙන්නත් බැහැ. එක ඉගෙනගන්න කෙනාට දැනෙන දෙයක්...
ReplyDeleteඔයවගේ එවුන්ට උගන්නන්න යනවට හොඳ පාඩම්.
ReplyDeleteඅනේ මන්දා.... කියලා නිහඬ වෙන එක ලේසි වුණාට ඒක එහෙම වෙන තාක් මේක නවතින්නෙ නෑ.
ReplyDeleteඅපි ඉගෙනගත්තෙ හොඳට ගුටි කාලා. අම්මත් දුන්නා.. ඉස්කෝලෙ ගුරුවරුත් දුන්නා. ඒ නිසා යන්තම් 3-4 පන්ති වලට එද්දි අඩු තරමෙ තැනක ගැවසෙන්න ඕන විධිය ගැනවත් අපි දැනගෙන හිටියා. පාඩම බෝරිංනම් ඒක තමන් දරාගෙන පන්තියෙ අනිත් අයට පාඩමට සහභාගි වෙන්න දුන්නා. ගුරුවරයටත් එහෙමයි. අදටත් ඒ ගෞරවය අපි එයාලට දක්වනවා.
වර්තමානෙ තත්ත්වෙ වෙනස්නෙ. ළමයි හදන්නෙ සීනිබෝල වගේ. ටීවි එකේ මෙගා එකේ ඉඳන් කාටුන් වලත් දැන් ළමයි බලන්නෙ වැඩිහිටි කතා. ඒ නිසා උන්ට තේරෙන්න ගද්දිම උන් දන්නවට වඩා උඩින් හිතන්න යනවා. ඒ නිසා දැන් ළමයෙක්ට ගහල හදන්නත් බැරිතරම්. ගැහුවොත් නඩු දානවා. ඔය කේස් නිසා ගුරුවරු සහ ළමයි හෙන වෛරක්කාරයො වගේ. ඕකෙ ප්‍රතිඵල එලියට එන වෙලාවල් ප්‍රවෘත්ති වලින් දරුණු විධියට අපිට අහන්න ලැබෙනවනෙ හැමදාම...
හෆොයි.......
ReplyDeleteඅනේ මංදා....... දඟකාරකමට කරත් ළමයි ඔහොම ගුරුවරුන්ව හාස්‍යයට ලක් කරමින් අනුකරණය කරන එක හොඳ නෑ කියන එකයි මං නම් හිතන්නේ.
ඔයාට වැරදිලා.
ReplyDeleteඔය වගේ දේවල් හැමදාම සිද්දවුනා. මම මුලින්ම ඔය වගේ දෙයක් දැක්කෙ පොඩි කාලෙ ටී.වී එකේ ගියපු මඩොල් දූව චිත්‍රපටියෙ. ඒකෙත් තියනව ගුරුවරයෙක්ව තරහගස්සන්නෙ කොහොමද කියලා විස්තර ඇතුව :)
ReplyDeleteරවා කියන කතාවට මාත් එකඟයි....
මට හිතෙන දේ කියන්න බෑ මෙතන... :D
ReplyDeleteඇත්තටම රවාගෙ කතාවනම් සහතික ඇත්ත
we did a similar type of drama at the end of our survey camp and almost all senior most staff were imitated in front of their own eyes. At the end ,no hard feelings. we knew our limitations and we manage to convey our message, parceled with fun, but without humiliating anyone.
ReplyDeletesame actions but different level of actors for different level of audience and different level of results as well... (after my graduation, 3 years later i was invited to evaluate final year presentations by a one of senior professor who was imitated by me..ha ha..later we had nice chat about that ..)
අධ්‍යාපනයට සම්බන්ධ ලොකුම පුටුවල මිනිස්සු රටේ තීරණ ගන්න තැන, ප්‍රසිද්ධ වේදිකා වල කියන කතා, කරන නාටක දැක්කම කවුද දෙවියනේ ගුරු විනිය හදන්නෙ..?????
ReplyDeleteදුකයි උනත්, බලන් ඉන්න තමා වෙන්නෙ..
දැන් හැදෙන උං ගැනනම් කියා පලක් නැත.
ReplyDeleteමාසෙ පඩියට රස්සාවට එන, මදි උනාම ස්ට්‍රයික් කරන, ආවත් වැඩි කාලයක් ගුරු විවේක කාමරේ ගැවසෙන, පන්තියට ආවත් පොත බලාගෙන පොතම පමණක් උගන්වන, ගුරු පෞර්ෂයක් නොමැති, තමන් ලැබිය යුතු ගෞරවය විහින්ම නැතිකරගනිපු ගුරුවරු ඕනෑම පාසලක ඉන්නව. උපහාසයට ලක් කරන්න ඇත්තෙ ඔවුන් මිසක් නියම ගුරුවරු නොවෙන්න ඇති.
ReplyDeleteළමයි කියන්නෙ උගන්නන දෙය පොතේ ලියාගෙන ඔළුව ඔබාගෙන ඉන්න කොටසක් නෙමෙයි තව දුරටත්. ඔවුන් සංවේදීයි සමාජයේ වෙනස් කම් වලට. තුවාලෙට ප්‍රතිකාර නොකර වේදනාව සමනය වෙන්න බෙහෙත් බීම දීර්ගකාලීන විසඳුමක් නෙමෙයි.ඒ වගේම අමතක කරන්න එපා තවදුරටත් මේක දිසාපාමොක් යුගය නෙමෙයි.
ඔය නාට්‍ය විස්තර කරලා තියෙන තරමින් සියල්ල පැහැදිලි කරගන්න අමාරුයි. නවම්මාවතගේ අදහසට එකඟයි. ''දැන් හැදෙන උන්ගෙ හැටි'' කියන්නෙ බොහොම පරණ වැඩවසම් කියමනක්. පරම්පරා අතර ගැටුම් ඇති වෙන්නෙ මේ ආකාරයට තමයි. තමන් කුඩා කළ සිදු නොකළ/අවස්ථාවක් නොලද දේවල් වර්තමාන පරපුර තුළින් ඉස්මතු වීම නොයිවසන පිරිසකුත් ඉන්නවනෙ. (ඔබ එවැන්නෙක් නොවේ යයි සිතමි)
ReplyDeleteමම නම් හිතන්නෙ 8 වසරෙ සිසුන් පිරිසක් මෙවැනි විවේචනයක් කරන්න ඉදිරිපත් වුණා කියන්නෙම ලොකු දෙයක්. අපේ ඉහළ පරම්පරාවල තිබුණ නිවට දරාගැනීම් නිසා අදටත් අපේ සමාජය දුක් විඳිනවා. රටේ දේශපාලනයට, ප්‍රශ්න වලට කිසිම සංවේදීකමක් නෑ. සියල්ල දරාගෙන ඉන්නවා. අන්තිමේ තමන්ටම කෙළවෙනකල් දන්නේ නෑ. යම් තැනක වැරුද්දක් නොගැලපීමක් තිබෙනවා නම් එය විවේචනය කරන්න පැකිලෙන්න අවශ්‍ය නෑ. ඉන් පසු ඒ පිළිබඳව ගත හැකි පියවර, එහි හරි වැරැද්ද සංවාදයට බඳන් කර විසඳුම් සෙවීමයි විය යුත්තේ.