Tuesday, May 10, 2011

[175] ඈ මැරෙන්නට තීරණය කලාය !!!!


  මැරෙන්නට තීරණය කිරීම

ඈ මෙන්ම අපත් හුස්ම වැටෙන මිනිස් ජීවීන් වීමු. මිනිස් ජීවීන් කියා නොනැවති, දුවනවාට වඩා නැවතී සිටීමෙන් හර්ද ස්පන්දනය බාල වෙනු අත් විඳින සත්ව ප්‍රාණීන් වීමු. වැටෙන හුස්මක් ඉහල ගෙන පහළ හෙලීමට පවා දිරියක් නැතිව , ආයාසයෙන් හුස්ම අල්ලා, ජීවත් වීමට හේතු කාරණාවක් සොයන්නට උපන් මොහොතේ පළමු හැඬීමේ සිට වෙහෙස වීමු.. වෙහෙස නිවා ගන්නට අප පා ඉක්මන් කොට බර අඩි තබා ජීවිත ගමන ඉක්මන් කරන්නෙමු. ගමන් වේගය බාල වෙද්දී 'නැවැත්ම' අප බිය ගන්වනු ඇත. 'පැවැත්ම' නවතිනු ඇත. පැවැත්මට නිමිත්තක් සොයා ගනු නොහැකිව, දිවිල්ලේ වේගය බාල වන විට හර්ද තන්තු කවදාවත් නොපැතූ සංඥාවක් නිකුත් කලහොත්.....
'දැන් ජීවත් වුනා ඇති!!!!!!' ???????

ජීවිතයේ එක වතාවක් හෝ ඔබට මැරෙන්නට සිතී තිබෙනවාද? කල්පිත හෝ යථාර්ථයන් වූ මාතෘකා වල මිනිසෙකු සිය දිවි නසාගන්නේ එක්කෝ පෙම් පලහිලවුවකින් සිත් බිඳී යාමෙන්, විභාගයක් අසමත් වීමෙන් , ණය බරින් මිරිකීමෙන් ,    විශාදය අවපීඩනය හෝ එවැනි මානසික අවපාතයකට ගොදුරු වීමෙන්... ඒත් ජීවිතයේ එක් වරක් හෝ ඔබ හිස්කමෙන් ආකූල වීමෙන් ජීවිතය හැර යන්නට තීරණය කර තිබෙනවාද?

 ජීවිතේ මල්ට එහෙම හිතිලා තියෙනවා... ඈට වගේම වෙරෝනිකාටත් දවසක් එහෙම හිතුනා. ඔබ අහාවි... ඒත්.... ඇයි ඒ...? මොනවයින් අඩුවක්ද?

ආදරේ ....?        නෑ
සල්ලි ....?        නෑ
සමාජ තත්වය?      නෑ
රස්සාවක්... ?      නෑ

එහෙනම්?

මේ මොන ප්‍රශ්නයක්වත් නැති වීමත්, ජීවත් වෙන්නට හේතුවක් නොපෙනී යාමත් නිසා ඔබ එක් වතාවක් හෝ 'මැරෙන්නට තියනවානම් හොඳ' බව තීරණය කර තිබෙනවාද ? වෙරෝනිකා මේ විදියට ජීවිතයෙන් වෙහෙස වුනා.... මුකුත්ම නොදැනෙන,හැඟීම් දැනීම් විරහිත ලෝකයක දවස ගෙවන එක ඈට ප්‍රශ්නයක් වුනා.. සියල්ල ඉතා හොඳින් සිද්ද වෙද්දීත්...! වෙරෝනිකා උදේ හවා කාමරයේ වහලේ සිදුරු ගණිමින් ඔහේ උඩුබැලි අතට වැතිරී උන්නේ නෑ. ඈ ‍රැකියාවට ගියා... ඈ ඉගෙන ගත්තා... දෙමාපියන් හමු වුනා.. ඒත් ඇගේ හිතේ හිඩැස පිරුනේ නැහැ. ඈ වටා බැඳුනු හිස්කමේ පටලය විසින් ඇයව ක්‍රමයෙන් උදාසීන කරන්නට වුනා. ජීවත් වීමෙන් වෙහෙස වෙමින් , බෙලහීන මිනිස් ජීවියෙක් බවට පත් වුනා.  වෙනසක් සොයා යනු වෙනුවට වෙනසක් අනවශ්‍ය වුනා. වෙනස් වන්නට ඇයට උවමනාව නැති වුනා. ඇයට හිමි වෙන්නට හෝ අහිමි වෙන්නට දෙයක් නොමැතිකමෙන් ඈ පීඩාවට පත් වුනා... 

ඉතින්.. වෙරෝනිකා තීරණය කලා මැරෙන්න.. කවුරු නවත්වන්නද ඈව
? නිදි පෙති විශාල ප්‍රමාණයක් හෙමි හෙමින් එකින් එක පානය කරමින් ඈ මරණය අභියස මරණය බලාපොරොත්තු වන්නියක් වුනා.එක් වරම ඈ සලිත වුනා.... බලාපොරොත්තුවක්!! මරණය !! විටෙක මරණය හෝ වේවා , ජීවත් වීම උදෙසා , වෙනසක් උදෙසා නිමිත්තක් සපයන බව හඟින්නට ඈට පලමු අවස්ථාව උදා වුනා. ඒත් බලාපොරොත්තුවේ එලි දැල්වෙද්දීම වෙරෝනිකාගේ ජීවිත පහන් සිල නිවී යන්නට පටන් ගත්තා..


ඈ සිහි ලැබුවේ
'විලෙත්' හිදී.... ඒත් ඒ සිහි ලැබීම, ජීවත් වීමේ ආශාවන් දල්වද්දී දොස්තරවරයා සහ දෛවය එය යලිත් නිවා දමනවා. ඈට හිමිවන්නේ සතියක කාලයක් ! අඩකටත් වඩා මිය ගොස් සිටි  හෘදය වස්තුව සමග 'මරණයේ බලාපොරොත්තුව' ජීවත් වෙන්නට පටන් ගන්නවා... ඒත් ඈට හැමදේටම ඉතිරි වන්නේ සතියයි ! කොටින්ම ජීවත් වෙන්නටත් !
වෙරෝනිකාට ජීවත් වන්නට බලාපොරොත්තුවක්! ඒත් ඈ ප්‍රමාදයි... ජීවිතයේ උත්කර්ෂය හැ‍ඟෙන මානයේදී , ජීවිතාශාව පණ ගසද්දී, මිය නොයා යුතු බව හැ‍ඟෙද්දී.... ඈ ප්‍රමාද වැඩියි !!!

ඈ ජීවත් කරවූයේ 'මරණයයි' ! මා එසේ කීවොත් ඔබ ඇතැම් විට මට එරෙහි වේවි... ඈ කුමක් කරාවිද? ඈ කෙසේ ඒ සතිය ගත කරාවිද? 'වෙනස' වටහා ගනීවිද?

මේ කෙටි සටහනට පාදක වූ , පවුලෝ කොයියෝගේ   'වෙරෝනිකා මැරෙන්න තීරණය කරයි'  පොතෙහි එන අවසන් පේලි කිහිපයකින් මා මේ සටහන් අවසන් කරන්නම්....

'ඔබට ජීවත් වන්නට හේතුවක් උවමනා වූ විට... හොඳ හෝ නරක.... දුක හෝ සැප කුමක් හෝ හේතුවක් .... විටෙක මරණය පවා ජීවිතාශාව සපයන හේතුවක් වනු ඇත..'
කර්තෘ: පවුලෝ කොයියෝ
පොත : Veronika Decides to Die
අනුවාදය: වෙරෝනිකා මැරෙන්න තීරණේ කරයි
අනුවාදය කලේ : ගාමිණී වියන්ගොඩ
ග්‍රන්ථ සහ රූප මූලාශ්‍ර :
http://iwillsue.com/wp-includes/images/wlw/cache/Veronika-Decides-To-Die-Movie-Poster.jpg
http://ecx.images-amazon.com/images/I/51ASFSW6VZL._BO2,204,203,200_PIsitb-sticker-arrow-click,TopRight,35,-76_AA300_SH20_OU01_.jpg

http://www.entertainmentwallpaper.com/images/desktops/movie/veronika_decides_to_die01.jpg

8 comments:

  1. හොයාගෙන කියවන්න ඕනෙ. ලස්සන පොතක් කියවපුවාම හිත කොච්චර පිරෙනවද

    ReplyDelete
  2. මොන කරුමෙකටද මංද මම වියන්ගොඩගෙ පරිවර්තන ශෛලියට වැඩි මනාපයක් නෑ. මට කර්කශ බවක් දැනෙනව

    ReplyDelete
  3. මේ පොත මට ජීවිතාශාව සපයන හේතු මූලයකට වඩා රචනා රීති සපයන අත්පොතක් විදියට [පෞද්ගලිකව මට] හඳුන්වන්න පුලුවනි, වියන්ගොඩගේ රචනා ශෛලිය අර නවම්මාවත කීවා වගේ විටෙක කර්කශ වුවත් කියවාගෙන යනවිට අපිව ඇඳ බැඳ තබාගන්නේත් ඒ කර්කශ බවමයි.
    හොඳපොතක් කියා කටපුරා කියන්නට හැකි පොතක්..!!
    ස්තූතියි අගේ ඇති විවරණයක්..!!
    ජය!!

    පලි: පොත මිල දී ගන්න තියෙන්නේ කොහෙද ප්‍රකාෂකයා වගේ දේවල් footer note එකක් විදියට දාන්න පුලුවනි නම් මරු..!!

    ReplyDelete
  4. පිණිබිඳු: පවුලෝ කොයියෝ තරම් මේ මිනිස් සන්තානයේ ගැඹුරුතම අඳුරුතම ඉසවු කරා මෙතරම් නිර්භීත කිමිදීමක් කළ වෙනත් ලේඛකයෙකු මා නොදු‍ටු තරම්. එය කියැවීම එතරම්ම ආනන්දයක් වන්නේ එනිසයි. ඔහු ලියන්නේ මිනිස් සිතිවිලි නිසයි. මේ පොතට පෙම් බඳින අයෙකුට ඔහුගේ මිනිත්තු එකොළහේ කථාව සහ සන්තියාගෝ නම් සැරිසරන්නා නොබියවම මා නම් නිර්දේශ කරනවා ...

    වියන්ගොඩ මහත්තයාගේ පරිවර්තනයේ කර්කශ බවක් තිබේද ? මේ කතා බීජයෙහිම අසාමාන්‍ය අමු සහ දැඩි බවක් තිබේද යන්න නවම්මාවත වගේම මාත් තවමත් කලපනා කරනවා.

    ලිශාන් ඔබ දුන් ඔත්තුවට ස්තූතියි., අනිවාර්‍යයෙන්ම ඒ කරුණු මින් ඉදිරියට සඳහන් කරන්නම් ස්තූතියි සහෝ ඒ ඔත්තුවට ....

    වෙනස් මාතෘකාවක් ගැන ලියවුනු පොතක් ගැන ලියවුනු වෙනස් ලිපියකට පිලිතුරු ලියා දිරි දුන් ඔබ හැමෝටම ස්තූතියි !

    ReplyDelete
  5. හ්ම්!! හොයාගෙන කියවන්න ඕන. :)

    ReplyDelete
  6. ලස්සන කථාවක් වගේ..... කියවන්න ආසයි :)

    ReplyDelete
  7. ජීවත් වෙන්න තීරනය කරපු වෙරොනිකා වෙත.............
    මම මුලින්ම හිතුවෙ උඹ මෑරෙයි කියල
    කතාව ඉවර වෙයි කියල...........
    එත් උඹ ජීවත් වෙන්න තීරනය කලාම මටත් හිතුනා ජීවත් වෙන්න
    හෙට අනිද්දා මෑරෙන එකෙක් වගේ ජීවත් වෙන්න.........
    කිසියම්ම බලපොරොත්තුවක් නෑතුව උනත්,
    ඒත් උඹ මට බලපොරොත්තු දුන්නා
    ජීවත් වෙන්න ඔනෑවටත් වඩා බලපොරොත්තු.....
    එත් උඹ එදුවා එක්ක වයින් බොන්න ගියා
    එ කතා නොකර හිටපු පිස්සව කතා කෙරෙව්වා
    sමම දන්නව උඹ පියානො ගෙහුවෙ මට එහෙන්න
    එදුවා එක්ක කතා කලෙත් මට අහෙන්න
    ඉතින් මට පුලුවන් හෑමදාම උඹ එනකන් බලාන ඉන්න.....
    මම කෑමති නෑ මරෙන්න තීරනය කරන්න
    මට පුලුවන් වෙන වෙරොනිකා කෙනෙක් එනකන් හරි ජීවත් වෙන්න.

    ReplyDelete
  8. අපි හැමදෙනාම අපේ ජීවිතේ එක්වරක් හෝ වෙරෝනිකා හිටපු තැනට ගිහින් තියෙනවා. අපි හැමෝටම ජීවත් වුනා ඇති කියලා හිතිලා තියෙනවා, මම කියන්නේ ප්‍රශ්න ගැටළු නිසා නෙවෙයි. නිකම්ම ජීවිතේ කිසි හැපනින්ග් එකක් නැති නිසා, ජීවිතේ ඒකාකාරී කම්මැලි වීම නිසා. ඔබට මට වුනත් හැමදාමත් අද හවස මැරෙන්න පුළුවන් කියලා හිතාගෙන ජීවත් වෙන්න හැකිනම්, හැම දවසක්ම හොඳින්ම රස විඳින්න පුළුවන්. නැරෙන්න කලින් කරන්න ඕන දේවලින් සෑහෙන කොටසක් කරන්නත් පුළුවන්. පාවුලෝ කොය්යෝ ඒක තමයි මම හිතන්නේ කියන්න හදන්නේ. ස්තුතියි මෙය බෙදා හදා ගත්තට...

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->