Monday, March 28, 2011

[169] කුසල් හෙවත් දෙවියන්ගේ තෑග්ග... (ඉස්කෝලෙ ඇත්ත කතාවක්)

කුසල්..... කුසල් කියන නමටම ගැලපෙන ඉතාමත් දක්ෂ හුරුබුහුටි ශාන්ත ගති ගුණ තියන දරුවෙක්.. පොඩිත් නැහැ.. 11 වසරේ... අපේ සංකර ඉස්කෝලෙ සංකර කම් වලින් කොහෙත්ම නොකෙලෙසුන දේව දූතයෙක් වගෙ දරුවෙක්...


කවම කවදාවත් 'Good Morning Miss' නොකියා පතිය ඇතුලට නො එන...   කිසිම දාක ගෙදර වැඩක් අතපසු නොකරන... කිසිම විටෙක උගන්නද්දි පංතියේ කතා නොකරන... එකටෙක නොකියන... මුරණ්ඩු නොවෙන... අහිංසක.... ඉගෙනිමෙහි අති දක්ෂ... ආඩම්බර නැති.... නිහතමානී... යාලුවො හැමෝ එක්කම ප්‍රිය මනාප... මිත්‍රශීලී...


මේ හැම නිර්වචනෙකටම අති ඉහලින් සුදුසු... හැදිච්ච විනීත දරුවෙක්...   මෙහෙවු දරුවන් ලොව සිටිනවානම් මා දැක ඇත්තේ නම් අතලොස්සයි... කුසල් සිහිවෙන හැම වෙලාවකම මට මතක් වුනේ කුසල්ගෙ අම්මා... මෙතෙක් දෙමාපිය හමු 4කට ඈ සහ කුසල් ආවා මා ඉදිරියට...




කොන්ඩය කොටට කපපු.. කොට ගවුමක් ඇඳපු.... ලස්සනට මේකප් කරපු අම්ම කෙනෙක්....   මට එක මොහොතක් පුදුම හිතුනා... අම්ම නම් ටිකක් සංකරයි වගේ.... මට මුලින්ම හිතුනෙ එහෙමයි...  ඒත් ඒ තිබ්බ සිතුවිල්ල වාෂ්ප වෙන්න ගත්තෙ ඈ එක්ක කතා කරනකොට.. කුසල්ගෙ තියන නිවුනු ශාන්ත ගතිය එහෙමම අම්මගෙන් උරුම වුනු දෙයක් කියන එක මට පෙනුනා...


පසුගිය දෙමාපිය හමුවෙ වෙනකල් හැමවතාවකම මම කුසල් සහ කුසල්ගෙ අම්මව ආව සැනෙන් හරවල යැව්වා... මට කියන්න තිබ්බෙ එකම දෙයයි මේ දේව දූතයා ගැන...


'අනේ මේ දරුවගෙ මොන අඩුපාඩුවක් මම කියන්නද ? ඈත්තටම කියන්න කිසිම දෙයක් නෑ.. හැමදේම හොඳයි... එක දෙයයි ඉල්ලන්නේ.. තමුන්ගේ මේ වටිනා මනුස්සකම මැරෙනකල්ම එහෙමම තියාගන්න පුතා... කිසිම දවසක වෙනස් වෙන්න එපා...අනේ මෙතන කල්මරන්න එපා... ගෙදර යන්න... "


මම හිනාමුසු මුහුණින් හැමදාම කියනවා...අම්ම හැමදාම හිනා වෙලා ආපහු යනවා... එහෙමයි දෙමාපිය හමු 3ක්ම ගෙවුනේ...


ඒත් මෙදා ඒ අම්මගෙ ඈස් රතු කරවන්න මට සිද්ද වුනා.. මම අදටත් දුක්වෙනවා ඒ ගැන... සසල වෙනවා...ඒත්...




පහුගිය මාසෙ දවසක 11 වසරෙ දරුවන්ගෙ අම්මල ආවා...ඔන්න පුරුදු පරිදි කුසල් ආවා.. අම්මත් එක්ක...


මෙදාපාර මට කියන්න වෙනස්ම දෙයක් හිතේ ගුලි ගැහිල තිබුනා.... ඒත් ඒක කියාගන්නෙ පිටකරන්නෙ කොහොමද කියන එක මටම ප්‍රශ්නෙයක් වුනා... ඒත් මම හිත හදා ගත්තා.. කඩා වැටෙන්ට තතනන හිත දහිරිය කරගෙන , බලාපොරොත්තු ගැන දෑස දල්වගෙන ඉන්න අම්මා සහ කුසල් ඉදිරියේ මම හඬ අවදි කලා...


'කුසල් ..පුතා... ඔයා දන්නවද ඔයාගෙ නමේ තේරුම... ? '


දරුවා හීනියට හිනා වෙමින් ඔලුව වැනුවා.....


'කුසල් කියන්නෙ පින් ඇති කියන එක.. ඔයා දන්නවද ඔයා කොච්චර පින්වන්ත දරුවෙක්ද කියන එක.. ඔයා දන්නවද ඔයා කොච්චර වාසනාවන්ත දරුවෙක්ද කියන එක ? ඔයාගෙ අම්මට ඔයාව ආඩම්බරයක්... ඔයා දන්නවද.. මම පුතෙක් ලබනවනම් පතන්නේ ඔයා වගෙ වටිනාකම් පිරිච්ච පුතෙක් ලබන්න.. ඔයා දන්නවද ඔයාගෙ අම්මට ඒ වගෙ දෙයක් අහන්න ලැබෙන එක කොයි තරම් ආඩම්බරයක්ද කියන එක...


මට ඔයාගෙ වටිනාකම තියෙන්නෙ ඔයා දක්ශ දරුවෙක් නිසා නෙමෙයි. ඔයාගෙ මනුස්සකම් සහ ලස්සන ගතිගුණ නිසා... මම ඔයාගෙ නම කොච්චර පොඩි අය ඉස්සරහ පාවිච්චි කරනවද 'කුසල් වගෙ හැදෙන්න' කියලා. ඒකෙ සම්පූර්ණ ගෞරවය ලැබෙන්න ඕනෙ ඔයාගෙ අම්මටයි තාත්තටයි... එයාල කොයි තරම් වාසනාවන්තද ඔයා ගැන හැම ගුරුවරයෙක්ගෙන්ම මේවගෙ හොඳ අහන්න...


ඔයා ඒ වැඩිටියන්ගෙ හිතේ ඔයා ගැන ඈති කරන සතුට තමයි පුතේ ඔයාට ආශිර්වාදයක් වෙලා තියෙන්නෙ... වෙන කිසි දෙයක් නෙමෙයි... ඔයා ලකුණු බින්දුවක් අරගෙන අද අම්ම එක්ක ආවත්.. මම මේ ටිකම ඔයාගෙ අම්මට කියනවා...


කිසිම දවසක වයසෙන් වැඩෙද්දි , ලෝකෙ එහා කොනට ගියත් මේ වටිනාකම් අමතක කරන්න නම් එපා.. මට සහතිකයි ඔයා කිසිම දවසක වෙනස් වෙන එකක් නෑ.. මම හැමදාම හිතුවෙ ඇයි කුසල්ගෙ අම්මට මම මේ දෙන සතුට මට ගොඩක් අම්මල තාත්තලට දෙන්න බැරි කියන එක..


පුතේ හොඳට මතක තියා ගන්න.. අදක්ෂ ලමෙක්ගෙ මොළයක් දක්ෂයෙක් වෙන්නට පුහුණු කරවන්න පුලුවනි... ඒත් නොහික්මුණු හදවතකට වටිනාකම් දීල වටිනා හදවතක් ගොඩනගන්න බෑ.. ඒකට පුහුණු කරවන්න බෑ...'


මම කුසල්ගෙ අම්ම දිහාවට හැරුනා...
'ඔයා හරිම වාසනාවන්තයි... මේ වගෙ දෙයක් පුතා ගැන ගුරුවරයෙක්ගෙ කටින් අහගන්න.. කුසල් කියන්නෙ එයාගෙ නමටම ගැලපෙන දරුවෙක්.. මට හරිම සතුටුයි ඔයා එයා හදල තියන විදිය ගැන...කිසිම සැකයක් නෑ.. ඔයාලට හැම අතින්ම ආඩම්බරයක් වෙන්න පුලුවන් දරුවෙක්..


මේ මගෙන් කුසල් ඉගෙන ගන්න අන්තිම වාරය... මට කුසල්ගෙ අම්මව මුණ ගැහෙන අන්තිම දෙමාපිය හමුව.එයාට හැමදාම මේ වගේම හැදෙන්න කියන්න... '


ආඩම්බරෙන් හිනා වෙමින් උන්නු අම්මගෙ මුහුන සතුට දරාගන්න බැරුව ඇස් වල කඳුලු පිරෙන්න ගත්තා... මොහොතක් මා දිහා බලාගෙන උන්නු ඈ බෑගයෙන් ලේන්සුව සොයමින් ඉකිගසමින් හඬන්න ගත්තා...  මගෙත් ඇස් වල පටලයක් බැඳිලා වගේ ... කුසල්ගෙ ඇස් වලටත් ආදරනීය අම්මගෙ ඇඬුම නිසා කඳුලු පිරෙන්න වුනා.. ඒත් ඒ කඳුලු කොයිතරම් සුන්දරදැයි අදටත් මම සිහිපත් කරනවා...


ගුරුවරුන්ට නෙත අඳුනක්ම වන... ගුරුවරයෙකුගේ ජීවිතයට පවා ආශිර්වාදයක්ම වන, ගෙවූ පුංචි ජීවිතයේ එක දවසක්වත් පසුතැවෙන්නට සිදුවෙන දෙයක් නොකල රත්තරන් දරුවෙක් හැදූ ඒ අම්මාට තාත්තාට මේ ලිපිය උපහාරයක්ම වේවා ! එවන් දරුවන් තනමින් ලෝකයම සුවපත් කරන දේව දූතයන් බිහි කල හැම දෙමාපියෙකුටම මේ ලිපිය උපහාරයක් වේවා...






මේ පුංචි දේව දූතයාට මේ ලිව්ව අකුරක් ගානේ ආශිර්වාදයක්ම වේවා !

18 comments:

  1. නොහික්මුණු හදවතකට වටිනාකම් දීල වටිනා හදවතක් ගොඩනගන්න බෑ.. ඒකට පුහුණු කරවන්න බෑ...'
    සහතික ඇත්ත.
    මැණික්

    ReplyDelete
  2. අපෙත් නමට කුසල්
    වැඩ අකුසල් එකෙක් නම් හිටියා....අපේ මිස්ලා කියන්නේ ඔයා කියන කතා වල අනිත් පැත්ත අක්කේ.(අක්ක කිව්වට තරහ වෙන එකක් නෑ කියල හිතනව.)

    ReplyDelete
  3. හ්ම්... ඒ වගේ දරුවෝ ගොඩක් අඩුයි. අදටත් මං දුක් වෙනවා මටත් ඒ ව​ගෙ ගතිගුණ තිබිලා නැතිවුන එකට.

    ඉස්සර ගොඩක් හොඳයි කියලා අහගත්ත එකා... පස්සෙන් පහු ගන්න දෙයක් නැති වුනා...

    ReplyDelete
  4. වාසනාවන්ත දරුවෙක්!!!!

    ReplyDelete
  5. මං වගේ හොඳ ‍කොල්ලොත් ඉන්නව එහෙනම් හෑ

    ReplyDelete
  6. හ්ම්ම්
    මිස් ට අපේ අම්මාව මුනගැහුනොත් මොනවා කියයිද මන්දා..

    ReplyDelete
  7. ගුරුවරුන්ට පමණක් හිමි දායාදයක්...!
    මටත් ගුරුවරයෙක් වෙන්ට තිබුණානම් කියා හිතුණා... :-)

    ReplyDelete
  8. මිස් ගේට්වේ එකේ IT ඉගෙන්නුවද? :)

    ReplyDelete
  9. අහන්න දෙයක් නෑ. කමෙන්ට් නොකරට මේ බ්ලොග් එක පටන් ගත්ත දවසෙ වගේ ඉදන් වගේ කියවනවා. සෑකයක් තිබ්බ මෙච්චර කල්. මොකද දන්නෙ නෑ. :)

    ReplyDelete
  10. කතාවෙ අන්තර්ගතයටත් වඩා ඒ කතාව ගොතපු හැටි හරිම උසස්. උත්තරෝත්තරාතිශයකට ගෙනැවිත් සෙමින් සෙමින් අවසානයට පැමිණුනු හැටි ආකර්ෂණීයයි. දැනුවත්ව හෝ නොදැනුවත්ව ඉතා අනර්ඝ නිර්මාණයක් බිහිවී තිබෙනවා. විශිෂ්ටයි.

    ReplyDelete
  11. මෙවන් දරුවන් ලද දෙමව්පියන් සැබවින්ම වාසනාවන්තයන්

    ReplyDelete
  12. මැණික්...
    මම මේ කතාව අදත් පංතියෙ කිව්වා.... එයාල හිනා වෙනව මිස් දිල්ශාරගෙ quote of the year කියලා... :)

    කුරුං ගුරුං
    ආ අක්ක කිව්වට මක් වෙනවද... මං අක්ක තමයි :) අනේ මේ කුසල් නම් ලබපු අම්ම තාත්ත ලෝකෙට කලේ කුසල කර්මයක්....

    ගෝල්ඩ්
    මම නම් කියන්නේ... ඔයාට ඒ ගතිගුණ කලින් තිබුන නම් තාමත් ඒව හිතේ නිදන් වෙලා තියනවා ... ඒවා ඉස්මතු නොවෙන්න පරිසරය හැදිලා.. ඒවා මතු කර ගන්න එක තොප්පියකින් හාවෙක් අලියට අදිනවා වගෙ විජ්ජාවක් නෙමෙයි. ඒක ඉර පායන එක තරම්ම ස්වභාවික දෙයක්....

    තීර්ථ යාත්‍රිකයා
    ස්තූතියි.. හැමදාමත් ඇවිත් යන්න.....

    ගෙහාන් මල්ලි
    සැබවින්ම වාසනාවන්ත දරුවෙක් නම් තමයි....

    කණියෝ...
    ඈ හැබෑට ??? ඔය ඇත්තමද ආ ??? :)

    රොශාන්
    අපරාදේ... මන් ඔයාලට ඉගැන්නුව කාලෙ ඉතින් දෙමාපිය හමු තිබ්බෙ කොහෙද... හෙ හෙ...

    ReplyDelete
  13. තිස්ස සහෝ...
    ඔව් අයියා... ඒක නම් මම හැමදාමත් වාසනාවක් හැටියට දකින දෙයක්.... අයියා ගුරුවරයෙක් නොවුනට අපූරු ගුරුහරුකම් දෙන සොහොයුරෙක්නේ.... ඒත් ගුරුවරයෙක් තමයි....

    පවිත්‍ර...
    ඔව්... මම එහෙ උන්නා 2006-2008 කාලයේ... ඔයා මාව දන්නවද... මගෙ සැබෑ නම නම් ඉතින් ඔය උඩහින් කමෙන්‍ටුවක තියනවනේ.... ම්ම්ම් .... මටත් සුට්ටක් හුරුයි වගේ... මූනු පොතේ ඇඩ් කරන්න....

    දේවින්ද
    ඉතා වටිනා ප්‍රතිචාරයක් ලියුවාට ස්තූතියි.... මා ලිවීමේ තවම අභ්‍යාසයේ යෙදෙන්නියක්..... ඉතින් මගෙ ලිවිල්ලේ අඩුපාඩුත් ඇති. ඒවත් පෙන්වන්න.. කෙසේ වෙතත් ඉතාම ස්තූතියි ඔබට....

    පිණිබිඳු
    ඒකනම් ඇත්ත...... අපි පතන්න ඕනෙත් මේ වගෙ දෙමාපියන් වෙන්නට.....

    ReplyDelete
  14. ළමයි කියන්නේ මේ ලෝකෙට එන කිසිවරදක් නොකෙරූ ලස්සන ම ලස්සන ජීවී කොට්ට්ඨාසයක්.., ඒ අයව ජරා කරන්නේ සමාජය විසින් මයි.., ඔය වගේම ගතිගුණ හිබුණු යාලුවෙක්[මම මෙහෙම කිව්වට මාව මිනිහා යාලුවෙක් විදියට ආශ්‍රය කලාද දන්නේ නෑ ] මිනිහගේ නම තරිඳු ප්‍රේමතිලක..!!
    දැන් කොහොමද දන්නේ නෑ..!!
    ලස්සනට ලියලා තියනවා..!!
    ජය!

    ReplyDelete
  15. මට පේන හැටියට ඒ දරුවා ඒ තත්වයෙන්ම ඉදිරියට ගෙනියන්න ඔයත් දායක වෙලා තියෙනවා.. මේ විදිහට හිතන ගුරුතුමියන් තවමත් අපේ රටේ ඉන්නව කියල මට සන්තෝස වෙන්න පුළුවනි..

    ReplyDelete
  16. @ලිශාන් සහ ලන්කාප්‍රිය..
    ස්තූතියි... බොහොමත්ම ස්තූතියි

    ReplyDelete
  17. කුසල්ගෙ ලිpiya කියෙව්ව ඔයාලට කියන්න අපූරු ආරන්චියක් තියනවා... ඊයෙ එයාලගෙ ඕලෙවල් රිසල්ට්ස් ආවා... ඉතින් ඉස්කෝලෙන්ම කොම්පියුටර විශයට තිබ්බෙ A* දෙකයි.. අනේ කියන්න සතුට්යි. මගෙ පන්තියෙන් එක A* එකක්.. ඒ කාටද දන්නවද ? කුසල්ට ....
    පුතේ ජයෙන් ජයම වේවා !!!

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->