Friday, July 27, 2012

[258] සාංකාව සහ සමනල්ලු

පෙම්වතෙකුට , මම මේ කිව්වේ සරල සුගම පෙම්වතෙකුට තිබෙන එක් පොඩි සිහිනයක් වෙයි. මුලදී පොඩි පොඩි සිහි කැඳවීම් වලින් පටන් ගෙන , මේ සිහිනය  බරපතල සික්නස් (sickness)  එකක් තරම්ම නරක් වෙන්නේ ප්‍රේමයේ මුල්ම දවස් වලටය. ඒ සික්නස් එක නම් , පෙම්වතිය ලඟ නැතිවීමෙන් හැදෙන සාංකා තත්වයය. ඩෙංගු මැලේරියා බරවා තරම්ම ශාරීරිකව බරපතල නොවුනත් මේ රෝගය මානසිකව නම් යම් බලපැමක් කරයි. රස්සාව බකල් වෙන තරමට, කන්න බොන්න බැරි වෙන තරමට මේ ලෙඩේ විටින් විට කොල්ලාගේත් කෙල්ලගේත් හිත් දුකෙන් බර කරවයි.

ඉතින් හූල්ල හූල්ලා සතියක් මාසයක් ,එක්කෝ අවුරුද්දක් දෙකක්... රටේ ලෝකේ පෙම්වතුන්ගෙන් අටෙන් පහක් විතරම කල්පනාවෙන් බරව ජීවත් වෙන්නෝය. (පෙම්වතුන් කියන කුලකයෙන් මම මැරීඩ් අයව පොඩ්ඩකට අයින් කලාම තමා ඔය ප්‍රතිශතය ගනන් හැදෙන්නේ) :) :)

එක්තරා රටක එක්තරා ගමක කොල්ලෙකුත් කෙල්ලෙකුත් සිටියෝය. මේ කොල්ලා ‍රැකියාව කරන්නේ නගරයේය. ඒ නගරේ ගොඩක් දුරය. ඒක නගරයක් උනාට සමනල්ලු සිටිති. (සමනල්ලු නැත්තේ කොයි නගරයේද නේද?) . කොල්ලාගේ කෙල්ල ඉන්න ගමේත් සමනල්ලු සිටිනවාය. ඒත් මේ දෙන්නාට කොලුවා ගම එන තුරුම දකින්නට නම් ලැබෙන්නේ නැත (සතියකට පාරක් වගේ). ඒත් සමනලයින්ට එහෙම නැත. ඇඟේ හැප්පි හැප්පී , එති එතී , කිචි කවමින් , හුරතල් වෙමින්, ඉඳහිට නෝක්කාඩු කියමින්, අමනාපයෙන් ඈත් වෙමින්, ආයිත් ලං වෙමින් සමනලයින් පෙම් සුව විඳින සැටි පෙනෙන  කොට , නගරයේ ගිනි ගහන අවුවේ (මම හිතන්නේ මේ කාලයේ ලයි‍ටුත් නැතුව) රස්සාව කරන කොල්ලාට හිතෙන්නේ මේ වගේය.  මේක නම් තනිකරම ඉරිසියාව මිස වෙන කුමක්ද?




නුඹේ පෙම් ලෝකේ - සුවේ විඳින සමනල් යාලුවේ
මටත් පෙම්වන්තී - ලඟින් ඉන්න ඇත්නම් ඔය වගේ
නුඹලාට වාගේ නෑ - බාධා අනන්තයි
වැටකඩොලු සීමා මායිම් බොහෝමයි
හමුවෙන්න වත් නෑ නිදහසේ...


කොල්ලෙකුට ආදරවන්තිය ඉස්සරහා වීරයත්වය පෙන්වීම එක්තරා හීනයක් වෙන්නට ඕනේය. කෙල්ලගේ ලෝකයේ ඉන්නා වීරවරයා තම සැමියා බව ඈ පිලිගන්නේ නම් එය තරම් කොල්ලෙකුට වටිනා අන් දෙයක් තිබිය හැකිද? නොදන්නෙමි. මම කොල්ලෙක් නොවෙමි.. :)

ප්‍රිය සාදයේදී මා ගී ගයද්දී - ඈ ඉන්නවා නම් ලඟ හොඳයි
ක්‍රීඩා ලොවේදී මා ජය ලබද්දී - ඈ දකිනවා නම් හරි අගෙයි
ඒත් කෝ නෑනේ.. අනෙ තවත් නෑනේ..
ලැබුනෙ නෑ අවසරේ - නුඹ ලඟින් නෑ මගේ.. 
 
 
හැම පෙම්වතෙකුටම මේ සරල සුන්දර සිහින තිබෙනවාමය. මේ පෙම්වතා කොච්චර බරපතල පෙම්වතෙකු වුවත් , මොන තරාතිරමේ එකෙකු වුවත් , හැම පෙම්වතාටම හිතෙන ආදර හීන මෙතන තිබෙනවාය. ඒ හීන ඇතැම්විට නොදැක ඉන්න බැරි තරම් හිත පෙලන්නට ගන්නා විට මේ වගේ ගීත ලියවෙනවා වෙන්නට ඕනේය. ඒ ගීත ඇහෙද්දී සැබවින්ම පෙම්වතුන්ට හීල්ලෙනවා විය යුතුය. අනේ මන්දා එහෙම නැතිනම්... .. මන්දා..ය.. :) :)

සති අන්තයේදී සිනමා හලේදී - හමු වන්න ඇත්නම් මා ප්‍රියේ
ඉර බසින යාමේ මුදු සුමුදු වෙරළේ - පෙම් ගී ගයන්නම් ආදරෙන්
හෝ හෝ  කෝ නෑනේ.. අනෙ තවත් නෑනේ..
ආවෙ නෑ ඈ අනේ, තනිව මා මගෙ ලොවේ..

 
 සංගීත් විජේසූරියගේ මුවින් නිරායාසයෙන් ගලා එන අපූර්ව කෙලිලොල් කටහඬ මවන්නේ අලංකාර චිත්ත රූපයකි. මට නම් මැවෙන්නේම දඟකාර සොඳුරු යෞවනයෙකි. හුරතල් සමනලුන් දෙදෙනෙකුගේ දෙස බලමින් පෙම්වන්තිය සමග මොහොතකට මනසින් ලංවී ඉගිලෙන පෙම්වතෙකි. ඒ පෙම්වතාට සමනලුන්ට තියෙන උවදුරු මතක නැතිය. ඒ ප්‍රේමයේ හැටිය. 

කොටින්ම එක ගාව ඈලි ඇලී වෙලි වෙලී ඉන්ඩ තියෙනවා නම් , වට්ටක්කා නැට්ටක් උඩ උනත් කමක් නැතිවා වගේ තමාය. !!!!


සැබවින්ම මේ සොඳුරු සරල ගීයකි. එහෙත් ඔබට දැනුනාද? මෙහි ඇති අව්‍යාජ සුන්දර බව? සරලත්වය. ගීයක මුසු විය යුතු රිද්මයෙහි තිබෙන සුමට බව? සංගීත්ගේ කටහඬින් මැවෙන සොඳුරු ආදරයේ චමත්කාරය පිටිපස්සෙන් මේ අරුතෙහි දුවන්නේ තනිකරම ඇඬියාවක් බව දැනුනාද? එය නොදැනෙන්නට , දුකෙහි සුන්දරත්වය ඉස්මතු වන්නේ හරියට කුඩා පැලැටියක් නිසි නින්දේ හෙමීට වැඩෙන වේගයෙනි.. ගීයක චමත්කාරය මට දැනෙන්නේ අරුතෙනි. අරුත මවන කටහඬෙනි. හඬෙන් මැවෙන ලාලිත්‍යයෙනි. සංගීතයට සංගීත්ව අතික්‍රමණය කළ නොහැකි වන්නේ එනිසාය. ටකරං සංගීතයෙන් පලුදු වහන්නට තරම් සංගීත්ගේ හඬ බාල නැතිය.

අපිට මීට දශකයකට කලින් තිබ්බේ අන්න එහෙම සංගීතයකි. බෙලෙක් සද්ද , ‍රැප් හෝ, ගෑණු හඬින් ගයන පිරිමි ස්වරාල අනවශ්‍ය වූ රටක අද තැනෙන්නේ බෙලෙක් සද්ද මැදින් ඇහෙන හඬක් හා වචනයක් දෙකක්ය. ගලන ගඟක් වාගේ සුමට ගීත අද හැදෙන්නේ කොහේදැයි මා දන්නේ නැත.

මේ ගීයට මා පෙම් බඳින්නේ වසර අටක පමණ කාලයක සිටය. ආදර හැඟුම් බෙදාගන්නට පෙම්වතිය ලඟ නැති එක බළල් අඳෝනාවක් ලෙස නොව , දඟකාර ආශාවන්ගෙන් පරිමිත සොඳුරු ආශාවන් සුසැදි  ගීයක් කොට සංගීත් තවමත් ගයන්නේය. සංගීතයට අතික්‍රමණය කළ නොහැකි වූ එම අරුත හා හඬට එදා බැඳි පෙම මට අදත් එලෙසින්ම දැනෙන්නේය.

ගීතය අහන්න මෙතනට යන්න 

Friday, July 13, 2012

[257] මල් !

මේ පහළ තියන වීඩියෝව මම නැරඹුවේ මීට හරියටම අවුරුදු 10කට කලින්.  ජීවිතේ මොන තරම් ඇදිලා ගිහින්ද? එදා ඒ ඇස්මද අද මේ ආයිමත් ඒ වීඩියෝවම නරඹන්නේ?? දෙවියනේ.. මම අවුරුදු 10කට කලින් ඉඳගෙන හිටි ඒ හාන්සි පු‍ටුවේ ඉඳලම මේගීතය අහමින් එක මොහොතකට නැගිටලා කණ්නාඩිය ගාවට ගියේ අවුරුදු 10කට කලින් හිටි කෙල්ලම අදත් ජීවතුන් අතරද කියලා දෑහින් දැකගන්න.

මට දැනෙනවා මොකක්ද අතීත සුවඳක්.. ඒක මහ වේදනාවක්.. අපි වියපත් වෙන බව දැනෙන එක. අතීතයේ හුස්ම ඇඟේ ඇතිල්ලෙන්නෙ නැති තාක් වර්තමානය හෙවත් වියපත් වීම, මුහුකුරායමක් වශයෙන් ආඩම්බරයෙන් හඳුන්වන්නට මම පැකිලුනේ නැහැ. ඒත් අද මට දැනෙනවා ඒ අතීත මතක ඇතුලේ හිටිය අභිමානයෙන් පිරිච්චි, මාන්නය හිස්මුදුනෙන් බේරෙන, තරුණ මදයෙන් ජීවිතේ දිහා බැලුව, අනුකම්පාවෙන් තොර මම අද එතැන නැති බව....

මට දැනුනේ හීන් සතුටක්... ඒ මොරෝම දරදඬු කෙල්ල අද නැහැ. එදාට වඩා පාටින් අඩු හිසකෙස්, එදා කුඩාවට දැනුනු මෙදා විශාල වුනු මුහුණේ වලවල්, හරියට, ගෙවුනු අවුරුදු 10ක රලු දුශ්කර ගමන් මගක මං සළකුණු වගේ... මං අහල තියනවා, ඒ විතරක් නෙවෙයි ,දැකලම තියනවා , එක දිගට වතුර ගලාගෙන යන උල්පත් ගාව මහ විසාලෙට හැරුන වලවල් තියෙන බව. නිතර ගලන්නට හේතුවක් නැති උල්පතක් අසල සත්තයි තිබේවි මුදු සුමුදු තැනිතලාවල්... ඉතින් වලවල් කියන්නෙ වැ‍ටුන තැන් නොවෙයි , දිය ගලා යාමෙන් පිරිපහදු වූ චිත්ත පරම්පරාවන් වග මටම මම කියාගන්නට වුනා...  ඒක කියන්නෙ මගේ වාසියට වෙන්න ඕනෙ.

මේ වීඩියෝව නරඹන එදා සහ මෙදා අතර කාල රේඛාවේ මම ගිය දුර දිහා මට ආපහු බලන්නට උවමනා වුනේ නැහැ. දිය ගලා ගිය තැන් වල ඇති හැම නශ්ටාවශේෂයකම සිනිඳු පෘෂ්ඨ වල දිග සටහන් ලියැවී තිබෙන නිසා. ඒ ලියමන් කාලයක් තිස්සේ වරින් වර යලි කියවා තිබෙන නිසා... එහෙත් මේ ගීතය මටයලිත් අතීත පුනරුක්තියකට අඬ ගසන නිසාවෙන් , මම යලිත් ඒ වෙනුවෙන් ඉඩක් ගන්නට හිතුවා.

මේ ගීතය එදා මා හද තුල ස්පර්ෂ කළ ස්ථානයම අදත් ස්පර්ෂ කරන අයුරු මම වින්දා. අද එතැන දැනෙන්නේ එදාට වඩා මේරූ කම්පනයක්. ඒ කම්පනයෙන් මට මාවත්, තලෙලු සම පසුපසින් ඇස් ඉස් මස් හා ඇට කැබලිත් දැකිය හැකි වූවා. එහෙත් අත්දැකීම් ස්පර්ෂ කරනු ලබන නිමේශයකදී විනා සිදුවීම් වලින් ගහන ජීවිතයේ බහුතර කාලය තුල ඇට ඉස් මස් හිස්කබල් නොපෙනී තවමත් මට දිවිගෙවන්නට හැකියි. ඒ වගේම පෙනෙන දේත් දකින දේත් අතර පවතින ‍තෝරාගැනීම තවමත් මා සතුයි.




හඳුනාගැනීමත් ... වෙලීමත් ...සිනහ වීමත්.... බැඳීමත් ... ‍රැඳීමත් ... නොරිස්සීමත් ... නික්මීමත්... හැඬීමත්....

සංසාර චක්‍රය තුල පොදු සමීකරණයක සටහන්ව නැවත නැවත යෙදීම ...

මල් පිපී නටන්නේ පර වීමේ ආධිපත්‍යයට නතුව නොවේද?

පිච්ච මල් මොහොතින් පර වේ...  එහෙත් පිපෙන කෙටි මොහොතක සුවඳ තීව්‍රය. එහෙත් ආයිත් නොපිපෙයි. කල් ඉකුත් වන මොහොතෙහි නටුවෙන්ම ගිලිහී මහ පොළවටම පස් වෙයි. පිපුනොත් ඒ වෙන මලකි.

රෝස මල් පිපෙමින් පරවී යාමට දින ගණන් කල් ගනී.. යලි යලිත් පිපෙන්නට දැරූ වෙහෙසින් යාවත්කාලීන වූ රෝස මලෙක ඇතැම් විට නැඹුල් මලක මෙන් කෝල පෙති නොතිබිය හැකිය.

උඩවැඩියා මල් මම දකින්නේ විශ්මයෙනි. සුවඳින් නාස්පුඩු අතරමං නොවේ. රුවින් චාම්ද නැත. ඒ සංකර වගේ පෙනෙන උඩවැඩියා මල් තුල රෝස මලක ආකර්ශනයද නැතිවා විය හැකිය. පිච්ච මලක චාම් බවද නැතුවා විය හැකිය.

එහෙත් පිච්ච මලටත් රෝස මලටත් අහිමි එක්තරා දෙයක් වෙයි.. ඒ දුර්ලභ බවයි.. එහි -  එනම් දුලබ බවෙහි තීව්‍රතාව ඇතැම්විට නැහැ පුඩු මත් වන පිච්ච සුවඳත් , දැස් නිලංකාර වන රෝසමලක රුවත් අතික්‍රමණය කරයි. එහෙයින්මදෝ,  මී මැස්සෙකුට පවා ලෙහෙසියෙන් ලං වෙනු නොහෙන අතු කඳන් මත , උස් තැන්වල , දිස්න නොදී අතු පතර සැඟවී , පිපෙයි. ලෙහෙසියෙන් නෙලන්නට අවසර නොදෙන්නාක් මෙන්ම , නෙලූ කල කල් ඉකුත් නොවී පවතින්නටද ඔරොත්තු දෙන උඩවැඩියා මල,  රෝස මල් මෙන් පෙති එක එක හලා නොදමයි.
පිච්ච මල් මෙන් එක නෙලුමෙන් පරාජය භාර ගෙන පොළවටද පස් නොවෙයි. බොහෝ වාර ගණනක් පිපෙන්නට වෙර දැරීමෙන් කිසිලෙසකිනුදු එහි ඉපැරණි රේඛා සහ කඩතොලු සටහන්ද නොවේ...

බොහෝ කලක් නෙලූ නොනෙලූ සියලු අතෝරයන් මෑද වුව දිලෙමින් , ජීවතුන් අතර විරාජමාන වන උඩවෑඩියා මල්, පරවී ගිය කල්හිද පොළවට මිහිදන් නොවේ. ඒ වෙනුවට , පොත් සලකුණු සහ බිත්ති සැරසිලි මත දශක සහ මතක ගනනාවක විරාජමානව සිටිනුද පෙනෙයි.


Saturday, July 07, 2012

[256] සුනාමියක් හෙවත් Duality ය !

කිරිල්ලියක් ඉන්නවා. මේ කිරිල්ලි බොහොම වර්ණවත් . කොටින්ම උපතින්ම වර්ණවත්. ඇගේ වර්ණය කියන්නේ පිහාටු විතරක් නොවෙයි. ඇගේ ජීවිතයත් වර්ණ ගැන්විච්චි එකක්.  ඇගේ හඬ... ඇගේ ගමන.. ඇගේ බැල්ම .. මේවා ඔක්කොම බාහිර දේවල්. ඒ බාහිර ඔක්කොම පැත්තකින් තියන්න. ඇගේ හිත වර්ණවත්.ඇයට පුලුවන් හිතන්න. ගොඩ දෙනෙක් නොහිතන විදියට. ඇයට පුලුවන් දකින්න, කතා කරන්න , ඒ ගැන... ඕනෙම වෙලාවක්..

ඔව්... මේ ලියන්නේ එක්තරා ගැහැණු වර්ගයක් ගැන.  එක්තරා විශේෂයක ගැහැණු කිරිල්ලියන් ගැන. සුලබ නැහැයි හිතෙනවා. ඒත් එහෙම හිතෙන්නෙ , උන් ඉන්නෙම තටු හංගගෙන නිසා. සමහර විට සුලබ ඇති, අපිට නොපෙන්නුවාට ඒ වර්ණ පදාස...

මේ කිරිල්ලියන්ට එක එක නුහුගුණ තියනවා. ඒවායින් ලොකුම එක තමයි එකමිතියක් නැති එක. ඒ මොකක්ද?  නෑ ඒ කිව්වෙ එක ලේබල් එකක් ඇතුලට මොකක් කරලාවත් දාන්න බැහැ.

අහිංසක... ඔව් ඒත් වෙලාවකට අංගුලිමාල වගේ...  සංවේදී හිත ඇතුලෙ උනත් සමහර ගස් ගල් වගෙ අසංවේදී තීරණ තියනවා.විටෙක ගුප්තයි. බුම්ම ගත්තු ගමන්. ගිනිකන්දක්ද නිසල වැවක්ද හොයන්න බැහැ. විටෙක මුහුදු රැලි වගෙ... එක එක තත්පරෙන් තත්පරේ මූ වෙනස්.

මේ හැම දෙයක්ම පැත්තක තියන්නකො. ඇගෙ වෛවර්ණ !!!!! ඇස් නිලංකාර වෙන.. පිහාටු වල පාට නෙවි. ඒවායි දිග.. ඒවායි හයිය ! ඒවා කොච්චර ශක්තිමත්ද ? ඒවාට කොච්චර විහිදෙන්න පුලුවන්ද? (විහිදනවා නම්) අහස හරියට ඉඩ මදි වේවි ඇය පියාඹන්න ගත්තොත්...

ඔන්න ඒ එක් පැතිකඩක්.

දැන් ඉතුරු හරිය.

කිරිල්ලිය හරි වෛවර්ණ තමයි. ඒත් ඔබ දන්නවද? ඇය පියාඹන්නෙ නැහැනෙ. ඇය ඉන්නෙ එක්තරා තැනක. ඒ තැන හරියටම ගත්තොත් අක්ෂාංශ , දේශාංශ වලින් මනින්න පුලුවන් කාටිසීය ඛණ්ඩාංකයක් නෙවෙයි. හැමෝම අහනවා මෙච්චර දුර පියඹන ශක්තිමත් වෛවර්ණ පියාපත් අකුලගෙන ඇය මොකද කරන්නෙ කියලා.   ඇය කියනවා 'මම ඉන්නවා .. මෙතනම... මගෙ වටේ තියනවා ලොකු කූඩුවක් '... කියලා..




ඒත් කාටවත් ඈ වටේ කූඩුවක් පේන්නෙ නැහැ. ඇයට ඇරෙන්න. ඇය සිය කැමැත්තෙන්ම ඇතුලෙන් අගුල් ලාගෙන ඉන්න කූඩුවක්..  කවුරුවත් දාල නෙවි. ඇය කැමැත්තෙන්ම නිස්කාන්සුවෙ ඇණ තියන් ඉන්නවා. ඒක කූඩුවක් උනාට කූඩුවක්ද? මට හිතෙන්නෙ නම් 'නැහැ'. ඒත් ඈ කැමතිලු ඒකෙ ඉන්න. ඒ තරම් වෛවර්ණ කිරිල්ලියකට කූඩුව ඔබින්නෙ නැහැ. ඈට ඒක ඇතුලෙ ඉඳන් පියාඹන්න බැරි නිසා.

කිරිල්ලිටත් එහෙම හිතෙනවා වෙලාවකට. ඇයි මම කූඩුවක? ඇයි මම පියාඹන්නෙ නැත්තෙ?  වෙලාවකට හිතෙනවා තටු දිගෑරලා හයියෙන් පියාඹන්න. ඒත් කූඩුව ඇතුලෙ??? එහෙම උනොත් වෙන්නෙ ඔය තටු ටික එහෙ මෙහෙ හැප්පිලා රිදෙන එක විතරයි. ඇය පියාඹන්නෙත් නැහැ. පියෑඹුවා නම් අනිවාර්යයෙන් වර්ණවත් පිහාටු වලට අන් ඈයො ඉරිසියා වෙයි. ඒත් ඒක හරිම ටික වෙලාවකට ඈට දැනෙන හැඟීමක් ...

අනික් හැම වෙලාවටම ඇය කියන්නෙ කූඩුගත වීම හොඳ බවත් පියෑඹීම තරම් අවදානමක් නැති බවත්.... පියාඹන ලෝකය හරි සුන්දරයි... වර්වත්.... ඇත්ත... ඒක සුන්දර නිදහසක්.... ඒත් එතන නිස්කාන්සුවක් තියේද?නිදහසත් නිස්කලංක බවත් අතරින් කිරිල්ලි නිස්කලංකයට කැමතියි වෙන්න ඕනෙ. පියාඹන්නය කියන අහස එක්ක එච්චර තරඟෙට ඔට්ටු වෙන්න ඇය කැමතිත් නැහැ.

ඇගේ තියන ඩුවලිටි එක ඈටවත් තේරුම් ගන්න බැහැ.  විටෙක සාගරයක් වගෙ හඬ නැගෙන , ආයිමත් ගුප්ත වැවක් වගෙ නිහඬ වෙන ඇයව තේරුම් ගන්න ලෙහෙසි වේවිද? සමහර විට ඕනෙවට වඩා ඕනෙම දෙයක් ඇනලයිස් නොකරන කවුරු හරි මේ ලෝකෙ ඇති. 

කූඩුවක් ඇතුලේ ඉඳන් පියාඹන්න බැරිද? ඇය අහන ප්‍රශ්නය ඒක... ඒක විසාල කූඩුවක් නම්??? කූඩුව ඇතුලෙ තියනව නම් ගොඩක් දේවල් දිහා උපේක්ෂාවෙන් අන් අයගෙ කෝණයෙන් බලන්න පුලුවන් ඇහැක් ඇති හිතක්, ඒ කූඩුව ඇතුලේ ඉඳන්ම ජීවිතයේ වර්ණ අහස දිහාවට විහිදන්න බැරිද ?  පියාඹන්න එතකොට අහස ඕනෙද... ? ඕනෙද? 


ඩුවලිටි එක ඇතුලෙ මෙහෙම ප්‍රශ්න කන්දරාවක් තියනවා...  ඒත් ඇයට ඒක ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. ඇය කූඩුවෙ සනීපෙට හරිබරි ගැහිලා ඉන්න එකේ තියන නිස්කාන්සුවට මේ ලෝකෙ තියන හැම දේටම වඩා කැමති නිසා. 

ඔබට ඒක දැනේවිද?  ?

Tuesday, July 03, 2012

[255] සුලං කපොල්ලේ සිට ඇය..!


"උඹ නම් මහ වසංගතයක්!, "

"මොකක්?"

"ගැලවිල්ලක් නැහැ. කතා නොකර ඉන්න හැම වෙලාවෙම හිතෙන්නෙම කතා කරන්ඩ. කතා කරන හැම වෙලාවෙම හිතෙන්නෙ අම්මේ මට ගැලවිල්ලක් නැද්ද කියලා"

"ඇයි මම මක් කලාටද?"

"මහ තුවක්කුවක්. කොටින්ම හෙන වදයක්" 

"ඉතින් තියනවකෝ ෆෝන් එක. මට වද දෙන්නේ මොකද කෝල් කර කර? "

"මට ඕනෙ නිසා.. " 

"ඔයාට මාව ඕනෙ නැහැ.. මම යනවා.. ආයිත් එන්න එපා පැත්ත පලාතෙ"

" එහෙම කොහොම යන්නද.? මගෙන් ගැලවිලා.! "

__

" නංගි මේක ආදරයක්ද .? දැන් මට කියන්නෙ මේක ප්‍රේමයක් හරි වෙන මොකක් හරි එකක් හරි කියල පිලිගන්ඩ කියලද? "
මට හොඳටම තරහ ගිහින් ඒ පාර. ඇයි වදේ තරහ යන්නෙ නැද්ද, මේවා පෙම්වත්තු කියාගන්න එව්වාද? මේකටද ආදරේ කියන්නෙ. ආදරේට නිර්වචන නැති උනාට.

'නෑ අක්කෙ. අපි ලවර්ස්ලා නෙවෙයි" 

එයා බබා වගෙ නලවලා එහෙම කියනවා.මගෙ තරහ දෙගුණ උනා. 

"මොකක් කිව්වා?,
එහෙනම් මක්කුද?  අසල්වැසියොද? සහෝදර ප්‍රේමයද? නගා මම කියල තියනව නේ. ඕනෙ එකක් කියන්ඩ ඔය සහෝදර ප්‍රේමෙ නැතුව. හරිද? ලෝකෙ තියන භයානකම ප්‍රේම දෙකෙන් එකක් ඕක. අනික තමා දේශප්‍රේමය ! "

මම මගේ පණ්ඩිත වදන් දෙසා බෑවා.  ඈගෙ මුහුණෙ පල උනේ වෙහෙසකර පෙනුමක් . හරියට, 'මට ඔයාගෙ බණ එපා' වගෙ පෙනුමක්. ඒ නිසා මම කට වහ ගත්තා. ඇත්තටම ඇගෙ වෙහෙස දැක්කම මගෙ තරහ නිවුනා.

'හරි, දැන් මොකක්ද කාරණේ'

'මන්දා අක්කේ... එයා මට කැමතිලු. මාත් ඉතින් කැමතියි තමා.. අනේ මන්දා. ඒත්... එයාගෙ අම්මලාට මම ගැන කිව්වොත් මාව එපාම එපා කියයිලු, ඒ නිසා කවදාවත් මේක වෙන්නෙ නෑලු '

'ඇහ්?' 
ඒපාර කට උත්තර නැති උනෙ මට. 

ඒත් ඒ අන්තිම ප්‍රකාශෙට හේතු මට ඇගෙන් අහන්න උවමනාවක් තිබ්බෙ නැහැ. එය ඈ එක පිට එක, වරින් වර, ඉවරයක් නැතුව වේදනා වින්ද එකම කතාව . හ්ම්ම්ම්.... ආයිමත් පරණ ටේප් එක එහෙනම්. එකෙ මට ආයිත් ඇගෙන් අහගන්න දෙයක් තිබ්බෙ නැහැ. ඔය පොදු දෙබස් ඇගෙ කටින්ම මම අහලා ඇගෙ හිත පාරවන්න මට ඕනෙ වුනෙ නෑ.

'ඇයි එයා එහෙනම් මුලින්... .... ම්ම්ම්ම්... එහෙනම් ඇයි ඔය දෙන්නා... තවත්.... අනේ මන්දා නගේ..' 
මට අතරින් පතර තෙරුමක් නැතුව කියාගන්න පුලුවන් උනේ ඔය ටික විතරයි.

'ඒක තමා අක්කේ. ජීවිතේ හැටි තමයි.' 

"නගේ අහල තියනව නේද ඉසිදාසි? ඉසිදාසි හිතන දේ ඔයාත් මේ වෙලාවෙ හිතනවා ඇති. ඔයාට මතක නේද මම ඒක පෙන්නුවා ඔයාට?"
මම මාස කීපෙකට කලින් අතීතෙ ආයිත් ඈට මතක් කලා. එදා ඒ කතාව පෙන්වද්දිත් අදත් , මේ වුනු දෙබස් දෙකෙ වැඩි වෙනසක් නැහැ. 

'හ්ම්ම්... ඔව් අක්ක. ' ඇය ලොකු කල්පනාවක. මම කියන දේ නෙවෙයි, වෙන දෙයක් ඔලුවෙ වැඩ කරන බව මට දැනුනා.

'හරි, මොකක්ද දැන් ඔයාගෙ තීරණේ??'

'තීරණයක් නැහැ අක්ක. මේ ඉන්න තාලෙට ජීවත් වෙනවා. වෙන උත්තරයක් නැහැනෙ. '

'ඒක හරියාවිද? ඔයා ඔයාගෙ දෛවය වෙනස් කරගන්න ලෑස්ති නැද්ද? '

'අක්කෙ වෙනස් වෙනවය කිය කියා අලුතෙන් හිත හිතා ප්ලෑන් ගැහුවට , කවුද දන්නෙ මේකද කියලා මගෙ දෛවය??' 

'අනේ මේ... විකාර. කවුද ඌද කිව්වෙ ඒක? " මම තරහින් කියාගෙන යන්නට වුනා..

'නංගි,  මම කියන්නෙ එක දෙයයි. ජීවිතේ හදා ගන්න. ඔයා ගහක එතෙන ලතාවක් වෙන්න එපා නගා. ගහක් වෙන්න බලන්න. ඒත් පොල් ගහක් වගෙ උඩට යන දරදඬු ගහක් නෙවෙයි.  ශක්තිමත් ගැහැණු ගහක් වෙන්න. කවදාවත්ම පිරිමියෙක් වගෙ රළු වෙන්න එපා.මම දන්නවා ඔයා එහෙම වෙන්නෙත් නැහැ. ඒත් කොයි වෙලෙත් ගහක එතෙන්න බලන් ඉන්න වැලක් වගෙ වෙන්න එපා. පොඩි පැලයක් වෙන්න. 

හෙවණට ලොකු පිරිමි ගහක් නැති උනත් , ඔයා ශක්තිමත්ව කෙලින් වැඩෙද්දි, ඔයාගෙ අතුපතර හරි ඔයාට හෙවණ දෙයි. ගහට ගහක් හම්බ වුනොත් , ඔයාට පුලුවන් ඒ ගස් හෙවණෙ වැඩෙන ලස්සන පොඩි ගැහැණු  පැලෑටියක් වෙන්න. වෙච්චි අතීතෙට ඔරොප්පුවට , පිරිමි ගස් පරද්දන්න උස යන්න ට්‍රයි කරන්න එපා නගා. ඒ ගස් කොහොමත් අපිට වඩා උසයි, ශක්තිමත් . ඒත් හෙවණ වෙන්න හරි ගහක් නැති තාක් වැලක් වගෙ ගහක එතෙන්න යන්න එපා. ගස් එමට තියනවා. පොඩි පැලයක් වගෙ වැඩෙන්න හෙමීට ... ගහක් නැතත් ඔයාට පුලුවන් හෙමීට උස යන්න. . '

ඇය මොනවා නැතත් මගෙ අපබ්‍රංශ වචන වලට කවදාවත් පෙරලා පහර ගහන්නෙ නැති නිසා මම ආයිමත් පුරුදු බණෙන් ටිකක් කීවා.. 

'මට තේරෙනවා අක්කෙ. මම උත්සහ කරනවා, මම දන්නවා හැම වෙලෙම ඔයා මට මේක කියනවා' 

'අහන් හිටියට මදි, හැදෙන්න නංගි , තව සැරයක් මට මේ වගෙ අපබ්‍රංස සීනිබෝල දෙබස් කිය කියා , මේක ලව් කියලා නිර්වචනය කරන්නෙ නැතුව.. මහ පොළවෙ ඉන්න. කවදාවත් ෆැන්ටසියට ලෝබ වෙන්න එපා. '

මම කිව්වා සැර වැඩි ඇති.  මට හිතෙනවා එහෙම. ඒත් ඈට තියෙන හිතවත්කම නිසාම මම මේ ටික කිව්ව බව , මේ බ්ලොග් එකත් නිතර ඈ කියවා යන නිසා, මේක කියවද්දි ඈ දැන ගනීවි.

ඈ එදත් වෙනද වගේම 'මම යනව අක්කේ, ගුඩ් නයිට්' කියාගෙන අන්තර්ජාලයෙන් සමුගනිද්දී මගෙ හිස ඇතුලේ නින්නාද උනා යමක්...  මොන එකකටද මන්දා , මේ ගීතය අහන හැම වෙලාවෙම මට සිහිවෙන්නෙ ඇයව. 

සුලං කපොල්ලේ - තැනූ කැදැල්ලේ
කෑලි කැඩී බිඳී වැටේ නිල් කඳු රැල්ලේ..

කූඩු කැඩී තැන තැන ගිය පුංචි කිරිල්ලී - 
දැන් ඔබ ලඟ සිටී රුවක් විලස නොසෙල්ලී
යොදුන් ගණන් ඔබම සොයා ආ සියුමැල්ලී - 
පිලිගනු ඈ කොහි යන්ටද නැවත ඉගිල්ලී ?

ඇයට මවක් පියෙක් නොමැත සිතිජ වළල්ලේ - 
කඳුල පමණි ඇයට උරුම දවස මුළුල්ලේ  
ඔබ තනිකඩ කුරුළු රජෙකි වෙසෙන නිදැල්ලේ - 
ඇයට ලැගුම් දෙන්න සබඳ ඔබේ කැදැල්ලේ.. 
~

ඇය හරියට ඉසිදාසි වගේ... ඉසිදාසිට මොන අඩුවක්ද? නැහැ, ඔව්, එක අඩුවක්, ඒකට හේතුව අහේතුව වෙන්න ඕනෙ. ඇය ගැන හිතෙන් මේ ගීය ප්‍රාර්ථනා කල වාර මතක් කරමින් මම නිහඬ වෙන්නම්. ඒ හැරෙන්නට මට කළ හැකි යමක් නැහැ. 

Saturday, June 30, 2012

[254] ඇවිත් ගියාට ....



  ~`~
විවර අඩවන් දොරින , 
එ'සඳ කලුවර පැමිණ
වැතිර හුස්මක් හෙලන , 

හඬට සඳ විත් එබින !

පියන වෙත එවු කිරණ , ‍

රැඳින මොහොතක් පමණ
පි‍ටුව පමණක් නැමුන , 

පොතකි පෙර බැව් පිලිණ!
~`~

Wednesday, June 27, 2012

[253] මතක නැති මතක




                                                                
~
පෙති මත දිමුත පැහැ ඇති සුසිනිඳු මලක
වුවනත ලලිත වෙත සිත රැඳිමුත මෙලෙක
නටුමත කටුද පෙති යට පිණි දුටු කලෙක
බැඳි සිත මිසෙක, බිඳි සිත නැත , මත, මතක !



Saturday, June 23, 2012

[252] 2012 පෙරහුරු පොත් රස්තියාදුව

ජීවත් වෙච්චි අවුරුදු ගණනාවේ වෙනස් නොවී එක දිගට තිබ්බ එකම දේ හැටියට මට මතක් වෙන ලොකුම ආසාව තමා පොත්. පොතක් නැතුව ගෙවිච්චි එක දවසක්වත් ජීවිතෙ තිබ්බෙ නැතිව ඇති. අනික තමයි අනෙක් කොයි දේ මිලට ගන්න ගියත් දෙපාරක් හිතන පුරුද්දක් තිබ්බත් පොත් කියන මාතෘකාවෙදි නම් මම හරියට වියදම් කරන්නෙ කිසිම පසුතැවීමක් නැතුව. ඒක ආවෙ අපෙ අම්මගෙන් වෙන්න පුලුවන්. පොඩි කාලෙ උනත් අනික් කොයි දේ අරන් දෙන්න ගියත් දාහක් ප්‍රශ්න අහලා , කිරලා මැනලා අරන් දෙන අපෙ අම්මා පොත් නම් , බස් ගාස්තුව දෙන්නට ඉතුරු කරගෙන ඉතුරු හැම සතෙන්ම පොත් අරන් දෙන්න පසුබට උනේ නැහැ.

මතකනෙ ගිය අවුරුද්දෙ පොත් රස්තියාදුව. 1,2,3 මෙන්න තියෙන්නෙ. ඒ මදිවට තඩිපොත් බෑග් එක නිසාවෙන් අඳුනගත්තු ඩේවිඩ් අන්කල්? මතක නැතිනම් බලන්නකො.

ඉතින් සැප්තැම්බරයට එන පොත් වසන්තයට කලින් නුවරට එනවනේ මිනි සයිස් (මම කිව්වෙ පොඩි සයිස්) වසන්තයක්. මහනුවර පොත් ප්‍රදර්ශනය බලන්න ඊයේ හනික සිටි සෙන්ටර් එකෙ ඉහලම මාලෙට ගොඩ උනේ නිකම් නැයො බලන්න යන්නා වගෙ හිතවත් හැඟීමෙන්.
 

ඉස් ඉස්සෙල්ලම විදර්ශනා එකට ගෑ‍ටුවෙ , කොයිකටත් එතනින් පටන් ගන්න එක පසුම්බියට සහ හිතා හොඳ නිසා. ඒක තමයි මගෙ ප්‍රියතම තැන. මම හොයන ජාතියෙ පොත් හොයල දෙන්න ඒ අක්කටත් පුලුවනි හොඳට. එතනින් එහාට නම් ඉතින් ඉබාගාතේ තමයි. පොත් රාක්ක , පොත් පුසුඹ, පොත් පොත් පොත්... කොයි අත බැලුවත් හිතවත්තු. ඒ කිව්වෙ පොත්.

රස්තියාදුවෙ යනව නම් හොඳම තනියම යන එක කියන  වාක්‍යය මම අදහන කරුනක්. හොඳටම ඉබාගාතේ යන්න හැකි වෙන්නෙ එතකොටනෙ. ඒ මදිවාට හිතෙන තැනකදි නවතින්න. හිතෙන තැනකදි ඉඳගෙන ඉන්න, හිතෙන වෙලාවට එකම සාප්පුවට ආයි ආයිත් උනත් ගොඩ වෙන්න වගෙ විකාර කරන්න පුලුවන් වෙන්නෙ තනියම යද්දි. මම නම් පොත් චාරිකං ඒක චරං තමා. නැතිනම් මගෙ යාලුවන්ට පණ එපා වෙයි මාත් එක්ක යන්න.

ඉතින් ඊයෙ පොකැට් එක එච්චර සරුත් නැහැ. ඒ මදිවාට පහුගිය සැප්තැම්බරෙන් ඉතුරු පොත් 4ක් තියනව - අටවක පුත්තු, වෙයි වෙයි-ශැංහයි සොඳුරිය, යක්ශයා සහ ප්‍රයිම් මෙනවිය , පියාපත් ලද දෝණිය. ඉතින් ඒවා පෙනි පෙනී තව ගන්න එකත් තේරුමක් නැහැ.

 
මාසික පඩි පැකැට්‍ටුවෙන් නම් හැම මාසෙම එකතු වෙච්චි පොත් අතරින් මගෙ වැඩියෙන්ම හිත ගත්තෙ නම් චේතන් බගත්ගෙ පොත් පරිවර්තන දෙකක් උනු , තුන් තකතීරුකම් කරපු කෙනෙක් මං පොතයි, හෙලෝ හෙලෝ පොතයි. 




රෝසි - උරුම අරුමය (ජෙරල්ඩ් ඩරල් ලියූ- උත්පලා ජයවර්ධන පරිවර්තනය කළ) පොත නම් මම හිතුව තරම් රිවර්තිකාව සාර්ථක නැහැ. ඒක ගත්තෙ ලොකු බලාපොරොත්තු තියාගෙන . (මතකනෙ මගේ පවුලයි අනෙක් සත්තුයි ගැන මම ලිව්ව ලිපිය - එතෙන්දි නම් රානි රාජපක්ෂගෙ පරිවර්තන සරු බස නිසාමයි ඒ පොත් එතරම් රසවත් වුනේ- ආයෙ දෙකක් නැහැ) උත්පලා අක්කා දක්ශයි (ඇය මම හිටිය විශ්ව විද්‍යාලෙ සීනියර් කෙනෙක්, අපෙ රූමි කෙනෙක්) 

ඒත් රානිගෙ පරිවර්තන ශෛලිය ගැන හිතුවාම උත්පලා අක්කා ආරම්භයට ගොඩක්ම හොඳ බව ඇත්ත.. ඒත් ඉතින් .. ජෙරල්ඩ් ඩරල් කියන්නෙ උපහාස්යා පිරිච්ච කෙනෙක්. ඒ උපහාසය රානි සේනාරත්න රාජපක්ෂ තරම් ග්‍රහණය කරන්න උත්පලාට නම් හැකි වුනෙ නැති බව කියන්නම වෙනවා. එක අතකින් ඉන්ග්‍රීසි මුල් පොත නොකියවා මෙච්චර හෑල්ලක් කියන එකත් හරි වැරදි වැඩක්.

මොනව උනත් ඊයෙ ගත්තු පොත් ටික තමයි මෙන්න පල්ලෙහායින් තියෙන්නෙ.

දැන් ඔයාල අහාවි සෙසේ ගත්තෙ ඇයි ආයෙමත් කියලා... මතකනෙ සෙසේ ගැන මම ලිව්වා... ඔව් මට සෙසේ පොත තියනවා. ඒත් මගෙ හිතවත්ම මිතුරෙක්ට සෙසේ පොතක් හොයල දෙන්න මම පොරොන්දු උනා. ඒක ඉ‍ටුකරන්නයි ආයෙත් ගත්තෙ. සෙසේව ඕනෙ නම් දුවලා දුවලා යන්න විදර්ශනා කුටියට. එතන පොත තියනවා . සෙසෙ කියන්නෙ හිනාව සැහල්ලුව සහ සතුටට ඇබ්බැහි වෙච්චි ඕනෙ කෙනෙක්ට කියාපු පොතක්. 



සිරිමත් කියන්නෙ ඇත්තටම ළමා පොතක්. ඒත් ඒකෙත් සෙසේ වගෙ ශෛලියක් තියනව කියල තමා හිතුනේ. ඔලුව වැඩ රාජකාරි වලින් මිරිකිලා වෙහෙසිලා ඉද්දි බරසාර පොතක් කියෙව්වොත් මම හිතන්නෙ අංගොඩ තමයි නවතින්නෙ. ඒ වෙලාවට හොදම බේත් තමයි මේවා :)  


අරුම පුදුම ඉස්කෝලෙ ඊයෙ මම කියවන්න ගත්තා. ඒක නම් ආයිත් නෑ, නියම පිස්සු කතාවක්. ඉහත කිව්වබේත් ජාතියෙ පොතක්. පිස්සු හැදිලා ආයිත් හැදෙනවා. එච්චරට විකාර පොතක්. ඒත් කාලෙ හැටියට කියාපු පොත :) :) 
 
ඕන් ටිකක් බරසාර පොතක්. ඇත්තටම සයිමන් නවගත්තේගමගෙ රචනා ශෛලියට මම බොහොම මනාපයි. සංසාරණ්‍යය අසබඩ වගෙ පොත් වල මම ගොඩක් ගැඹුරක් වින්දා. ඒ ශෛලිය හොඳ සෙන්සිටිව් මූඩ් එකක ඉන්න වෙලාවට. ආයෙත් නෑ , ගැඹුරේම ගිලෙනවා. 

මග සොයා යන ගමන කියන්නෙ භික්ෂුණියකගෙ ස්වයං චරිතාපදානයක්. විදර්ශනා පොත් ගෙදර තුසාරි අක්කා තමයි කිව්වෙ මේ පොත හොඳ බව. සිල්මාතා කායිව් සහ ආචාරිය මන් භූරිදත්ත තෙරුන්ගෙ කතා කියෙව්වා නම් මේ පොත ඒ වගෙ එකක් වෙන්න ඕනෙ. තාම කියෙව්වෙ නැහැනෙ. කියෙව්වම කියන්නම්කෝ. අවුරුදු ගණනාවක්ම රැවටිලි මායාවන්ට හසුවූ මේ තේරණිය ඒ හැම එකක්ම අතරින් මග සොයා ගිය ගමන කියවෙන පොතක් මේ. 
 
පුනරුක්ති කියන්නෙ ගිය අවුරුද්දෙ ඉඳලම ගන්න එක මගෑරුනු පොතක්. ඒත් ගන්න තදින්ම හිතුනු පොතක්. අනෝමා ජනාදරීගෙ ජීවිතේ කොයිවගෙද බලමු.  
නිරුවත් වානරයා කියන පොතත් ඒ වගේ. මේ පොත පොඩි කාලෙ (ඒ කිව්වෙ අවුරුදු 21 වගෙ) දකිද්දි ගන්න ලැජ්ජා හිතුනෙ මිනිස්සු මොනවා කියයිද දන්නෙ නෑ කියලයි. ඒත් දැන් ඉතින් ලෑජ්ජාවට වඩා මේ පොතේ වටිනාකම දන්න නිසා ආයිත් මට මොකද කවුරු මොනවා හිතුවත්? නේද? අනික දැන් මම ලොකුයිනෙ . නේද? හෙ හෙ. 

ඔය පල්ලෙහායින් තියන ඉතුරු පොත් තුනම ඉතින් මගෙ දෑනුම එකතුවට තමා. විභාග දෑනුම මට වඩා වටින්නෙ මගෙ ලමයින්ට. ලක්දිව බුදු පිලිම කියන්නෙ මම කියවන්න බොහොම මනාප විෂයක්. ඒ වගෙමයි සර්පයෝ. අනේ මන්දා. සර්ප විද්‍යාවටත් මම බොහොම ආසයි, පොඩි හැකරැල්ලෙකුටත් බය උනාට. ඉතින් දැක සතුටු තමයි. :) :)  




ඔන්න ඔය විදියට හරිම තෘප්තිමත් පොත් දවසක් ගෙවලා , ගොනා අනින්න ගිහින් උලුක්කු වෙච්චි කකුලෙ ඉදිමිල්ලත් කීප ගුනයකින් වැඩි කරගෙන ඒත් හිතේ පුරවගත්තු පොත් සුවඳයි , අතේ තිබ්බ හැටියට ගත්තු පොත් ටිකයි අරගෙන මම ගෙදර ආවෙ ඔය විදියටයි. දැන් ඉතින් ලමයි මට හරියට වැඩ :) :) ලමයි මට කරදර කරන්නෙපා. තියනව මේ පොත් එක එක අනුභව කරන්න මට :)

Friday, June 15, 2012

[251] ජීවත් වෙන එකත් ලොකු දෙයක් !




කාලය යන්නෙ හරිම හෙමින්... ජීවිතේ එක තැන නතර වෙලා වගේ... ඒත් බියක් නැහැ. අහිමිකම ගැනවත් , සැකයක්වත් , දුකක්වත් ... ඒ මොනම දෙයක්වත් නැහැ.

මගේ ආත්මයම මා විසින් ස්පර්ෂ කරන්නා වගෙ  මට දැනෙනව. මගෙ හිත මාව දුබල කල කාලෙ ඉගිලිලා ගිහින්... ඒ වෙනුවට මගෙ කකුල් දෙකට හිතේ හයිය ගලාගෙන ඇවිත් නහර දිගේ අමුතු ජවයක් දුවනව ! .. කිසිම දෙයක් නොදැන ඉන්න එක මොන තරම් සහනයක්ද? ජීවිතේට යන්න දෙන එක... අපි එක්ක අත් අල්ලන් එන්න බැරි එක්කො දුවන , එක්කො කකුලෙන් ඇදල පරක්කු කරන ඇයින්ට යන්න දෙන එක මොන සහනයක්ද?

මට හිතෙන්නෙ මම මගෙ පාර හොයා ගෙන ඉවරයි. ඒක හරි පාර කියලමයි මට හිතෙන්නෙ. මොකද ඒක ඒ තරම්ම සරල නිසා. ඇත්තෙන්ම මම එහෙනම් කොච්චර වාසනාවන්තද? අද මෙහෙම ඉන්න මම , සතුටෙන් ඉන්න මම , දෙයියනේ මම මෙච්චර හරියක් වෙලත් ,  ජීවත් වෙන එකමත් මොන තරම් දෙයක්ද?

අද මං මම වෙලා ජීවත් වෙනව ! මගෙ ඇතුලෙ අනෙකෙක් නැහැ. අනෙකෙකු හොයන අනිකියකු නැහැ. මම අමුවෙන්ම ජීවත් වෙනවා. හොඳ නරක දෙකම පිරිච්චි මම !

ආදරේ... ආව ගිය ආදරේ..... හිතට සතුටත් දුකත් බයත් එකවර අරන් ආව ආදරේ.... ජීවිතේ හැමදාමත් මේ වගෙයි. ඒත් මම කොහොමද බය වෙන්නේ? මම කොහොමද පස්ස ගහන්නේ , ජීවත් වෙන්න?

තනිකම කියන්නෙ අඳෝනාවක් නෙවි. හුදෙකලාව බ්‍රහ්මාස්වාදයක් ! ඒත් එකෙ ගිලෙද්දි තනිකම පස්සෙන් එනවා .. ආව දෙන්... බදාගෙන තුරුල් කරගන්නෙ මොකටද? නේද?

මීට...
ජෙනිෆර් ලෝපේස්.


Time goes slowly now in my life
Fear no more of what I'm not sure

Searching to feel your soul
The strength to stand alone
the power of not knowing and letting go

I guess I've found my way it's simple when its right
Feeling lucky just to be here tonight
and happy just to be me and be alive.

Love, in and out, of my... my heart,
And though life can be strange I can't be afraid

Searching to feel your soul, the strength to stand alone,
The power of not knowing and letting go

I guess I've found my way it's simple when it's right
Feeling lucky just to be here tonight
and happy just to be me and be alive
I guess I've found my way it's simple
when its right feeling lucky just to be here tonight and
happy just to be me and to be alive.

Sung By : Jenifer Lopez


Thursday, June 07, 2012

[250] වස් වැදුනු බ්ලොග් පෝස්ට් එක !

එදා.... අගෝස්තු 7 වෙනිදා මට හීනයක් පෙනුනේය .. ඒ හීනය මෙසේය. 8 වෙනිදා ඒ හීනය මම බ්ලොග් පෝස්ට් එකක් ලෙස සටහන් කලේ එසේය ... 

මෙදා මම ඔය පෝස්ට් එකෙ කියූ තැන පසුකරමින්ම හෙමින් හෙමින් උඩට ඇවිදිමින් සිටියෙමි.  (පහත රූපයේ ඊතලයෙන් ඇති තැන බලන්න) 


වෙලාව හවස 5.50ට වගේය. දෙයියනි ! ඉහළ බැලූ මට පෙනුනේ කුලප්පු වී ආත බූත නැතුව කඩාගෙන එන හරකෙකි.!!!

මේ හරකා මට පුරුදුය. මොකද ඒකා ලඟ නිවසක මෙහෙකරුවෙකුට බඩ හිල් වෙන්ට ඇණ හොස්පිට්ල්ගත කලේ මේ ඊයේ පෙරේදාය.තවත් අසල්වැසි අක්කා කෙනෙකුට අනින්නට ඇවිත් අනූනමයෙන් බේරුනේත් මේ ලඟකය. එහෙනම් මේ පාර මම !!!!! දෙවියනේ... මම සීතල වී ගියෙමි... හරකා ස්ලෝ වෙන පාටක් නැත. ඔලුවත් නමාගෙන දැන් නම් ග්‍රහයා එන්නේම මා දෙසටය. මම පසුපස බැලීමි. ඇනුම් කෑමට ගිය අසල් වැසි අක්කාද බසයෙන් බැස මට බොහෝ පසුපසින් ඇවිත්ය. ඒත් ඈ තාම මහ පාරේය. මම මීටර සීයක්වත් උඩහින්ය. 

මගේ බියගත් ඉරියව්ව දැක අක්කා යමක් වටහා ගත්තා වගේය. ඈ අහළ පහළ මිනිසුන්ට කෑගසනවා මට හීනෙන් වගේ මතකය ! මම යලිත් ඉහළ බැලීමි.  දෙවියනි, උගේ ගමන අඩාල වන පාටක් නැත. වම් පසින් ඉහලට නැගෙන පස් කන්දකි. එහි නගිනු කෙසේවත් නොහැකිය. දකුණු පසින් මහපාරට බෑවුම් වෙන ප්‍රපාතයය.. එහි පැනිය යුත්තේ මහපාරටම වුව රූටා යන්නට සූදානමිනි.


 හරකා දැන් අඩි කිහිපයක් නුදුරෙන්ය. ඌ පාඩුවේ යතැයි මම කෑගෑස්සෙන්නට එමින් ඒත් බලා හිටියෙමි. අපෝයි, ඒකා මා දෙසටම පැන්නේය. මට පනින්නට දිහාවක් නැත. පල්ලෙහායින් දිවෙන මහපාරත් පෙනෙන බෑවුම මිසක!  

කුමක් කරන්නද .. මම පැන්නෙමි. ගම දෙක වෙන්නට කෑගැසුවෙමි. (හරකාගේ කණ් බිහිරිව ඇතුවාට සැක නැත) :) පැන්නේ ඔය පේන බෑවුමටය. අපෝයි. හරකාද බෑවුමට පැන්නේය !!!!!!!
මම බෑවුම දිගේ තණකොල ගොල්ලම තලා පෙලාගෙන මහපාරට රූටගෙන යන්නට වීමි. වටේ පිටේ මිනිස්සුන්ද දුවන් එන්නට විය..  එහෙත් මගේ වෙලාව! ප්‍රාණ භයින් කෑගසමින්ම මම අතට අසු වූ තණකොල ගොමුව ඩැහැගත්තෙමි. හරකාද දැන් එන්නට සූදානමිනි. එහෙත් යම්තම් සිහි එලවා ගනිද්දී , හරකා අයිති කාරිය පාරෙන් බෑවුම අසලට වෙන්නට නෙරවාගෙන සිටින හරකාව පලවා හරින අයුරුත් , බෑවුමට බැස තවත් අයෙකු සමග මා ඉහළට ඇද ගන්නා අයුරුත් මට වටහා ගත හැකි විය. 

මගේ සිහිය එලවා ගනිද්දී ඉස්සෙල්ලාම මා බැලුවේ කොහේ හෝ තුවාල වී ඇත්දැයි කියාය. පේන හරියක මොකුත් වී නැත. දැන් මම කකුල් දෙකින් නැගිටගන්නට බැලුවෙමි. කපා හෙලූ කෙහෙල් කඳක් මෙන් ආයිත් දබොයියන් වූයෙමි.  අන්න දැන් මට ඇඬෙන්නට විය. අඬ අඬාම අර අසල්වැසි අක්කාගේද , හරකා අයිතිකාර ගැහැනියගේද උදව්වෙන් මම ගෙදර ආමි. මාරකයකින් අනූනමයෙන් බේරුනෙමි.

ඉදින් හරකාගේ මේ වන විට සෞඛ්‍යය තත්වය මා දන්නේ නැත. මේ වන විට මම ඉදිමුනු වළලුකර සහිත කකුළ පුටුවක් උඩ තියාගෙන , හීරුනු තැන් වල තැලුනු තැන් වල බේත් ගාගෙන  බ්ලොග් පෝස්ට් එකක් ලියමින් සිටිමි. 

මට පුදුම මේකය. මීට වසරකට ඉහත කිරිගහට ඇන්නා සේ පෙනුන හීනය , හරකාගෙන් රිප්ලේස් වී , මෙසේ සැබවින්ම සිදුවීම කොතරම් අරුමයක්ද යන්නය.  

-  හීනයේ හිටියේ අලියාය. මේ හරකාය .
-  හීනයේ කවුරුත් මාව බේර නොගත්තේය. මෙහිදී අයිති ගැහැණිය මා බේර ගත්තීය . 
- ඒක හීනයකි, මේක ඇත්තක් විය. 

මම තව දුරටත් සිතමි...  

- ඊතලයෙන් පෙනෙන බෑවුමට මා නොපැන්නා නම් - හරකා එක්කෝ සෙල්ලමට වගෙ ලන්වී උගෙ ගමන යන්නටත් ඉඩක් තිබිණි. එක්කෝ අනින්ටත් ඉඩ තිබිණි. 
- බෑවුමට පැන්න වේගෙට මම තණ ගොමුව ලඟ නොරැඳුනා නම් , මම අඩි ගානක් පල්ලෙහා මහ පාරට වැටෙන්නෙමි. එහෙනම් මොකකින් මොක වේදැයි දන්නෙ නැත. එක්කෝ මම හොස්පිටල්ය ! එකකෝ 'මා මළ පසු' විජට් එක ඔබට කියවන්නට වෙන්නේය ! 

ඒ කෙසේ වෙතත් , හීන නම් හැබෑ වෙන්නේමය !  අපෝයි... මම ලියූ පෝස්ට් එකක් මටම වස් වැදුනු 3 වෙනි වතාවය ! එකක් 2001 දීය (බ්ලොග් නොවේ, සමරු කලාපයකට ලියූ විද්‍යා ප්‍රබන්ධයකි.ඉදිරියේදී එයත් ලියමි)

එකක් මේ පහුගිය අවුරුද්දේය. ඒකත් පසුව හෙලි කරමි.  

ඕන්න ජයග්‍රාහී 3 වෙනි එකට කලින් ලිව්ව බ්ලොග් පෝස්ට් එකත් සාක්කිය...!!!!! 

වස් වැදෙන පෝස්ට් ලිවීමේදී පරිස්සම් වෙන්න. ඔය දකුණු අත පැත්තේ එල්ලෙන විජට් එකත් වස් දැයි මම දන්නෙ නැත :)  තාම වෙලාව ඇවිත් නැත. අද අත පය තලාගෙන කකුල පොඩ්ඩක් ඇමට්ටාගෙන බේරුනේ එනිසා විය යුතුය.

කලින් ලියූ පෝස්ට් එක මෙන්න. 


පලි.: 

මේ මගේ 250 වෙනි බ්ලොග් පෝස්ට් එකය. 200ටද මල් මල් පෝස්ට් එකක් ලියමිය සිතා සිටියෙමි. එත් ඒක අතපසු විය. බ්ලොග් ලිවිල්ලට දෙවසර පිරුණු දා සන්වස්තර පෝස්ට් එක ලියන්නට හිටියෙමි. ඒකත් මිස් විය. ඒකටත් හරියන්න 250 හොඳම හොඳ එකක් ලියන්ඩ හිටියෙමි. ඒකටත් හරකා හරහට හිටියේය. මම හරහ වැටී සිටිමි. ඒ නිසා ඔන්න ඔහේ 250 ලියනවාය. ඒත් මේ අවුරුදු දෙකහමාරට සංසාරේ අදත් එදත් හෙටත්  'සංසාරේ අපි' හැටියට ලියවුනේ ඒක කියවන්නට ආදරයෙන් මා වටා සිටින ඔබ නිසාය ! හරකෙකු ඇන්නත් , මට දුක නැත්තේ ඒ නිසාය! අද මලත් හෙට මගෙ අකුරු මෙතන තියේ. ඒක සතුටකි. ඒ සතුටට කාරක වන නුඹ හැමට , ස්තූතියි !!!!!!!!

Tuesday, May 29, 2012

[249] ආදරනීය ගැහැණුකම !


ගීයක් සර්ව සම්පූර්ණ වීම උදෙසා පද, තාල , හඬ යන තුන් අතින්ම සරුසාර වීම අත්‍යාවශ්‍ය බව සත්‍යයකි. මීට දශකයක මෙහා කාලයේදී නම් ඊට සොයනු හැකිවූ උදාහරණ අල්පමය. අද ඇසෙන බොහෝ ගීත වලට හිමි දෑ අතර ලොකුම දෑවැද්ද නම් බහුවිධ තාලයන්ය. ඉලෙක්ට්‍රොනික සද්ද අච්චාරුවක් එක මත එක පාත් වෙන වත්මන් ගී අතර  මනසට සුව දෙන , සිත නිවන සුගායනීය හඬක් මතුවන්නේ දැන් එහෙමත් එකකය . 

මගේ සංගීත දැනුම අල්පය. ඒත් මට රහ වැටෙන හැටියට , කසුන් කල්හාරට තිබෙන්නේ විසාල පරාසයක විහිදවිය හැකි නියම හඬකි. මේ මගෙ රසයය. උපේඛා නිර්මාණිගේ හඬ මට ඇසුනු අතිශය ශක්තිමත් ගැහැණු හඬකි. අමිල පෙරේරාද සිය ගැඹුරු හඬ සමගම කාලයේ සැඟව ගොස්ය. නදීක ජයවර්ධනගේද බොහෝ ගීත අතර ඉතාම පොහොසත් හඬ හා තාල මැනවින් ගැබ්ව තිබේ. 

එහෙත් ... මේ හැම ගයන්නාගේම ගීත වල මට දැනුනු ලොකුම අඩුව නම් පොහොසත් පද වැල්ය. එකිනෙකින් වෙනස් , මොනවා හෝ වචන ටිකක් විනා ඒ වචන අස්සේ හොයන්නට නිධානයක් නැත.

'සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා - වලා රොදක සැඟවිලා' ගීය අඳුරු රාත්‍රියක අසා බලන්න. ඔබ පද වැලක හිත හිරිවට්ටන හැඟීම් අත්විඳිනු ඇත. මෙවන් අතිශය ප්‍රබල චිත්ත රූප මවන සුලු පද වැල් ගෙතුනේ ඉස්සරය.  අද සැබවින්ම මේ පද රචකයින්ට වෙලා තියෙන්නේ මොනවාද? 


ගීතයක ඔය කකුල් තුනම රන් රස වගේ ගැලපී යන එකත් මම හිතන්නේ ගීතයේ ලක් එකය. ලකී නැති ගීත වල ඔය කකුල් තුනේ කනප්පුවෙන් එක කකුලක් හෝ අබ්බගාත වී තිබේ.  


මේ තරම් සියුමැලිද කලුගල් - ගීතය බොහෝ දෙනාගේ නොමඳ පැසසුමට ලක් වේ. මගේ වින්දනීය සීමාවේ එහි ඇති පොහොසත් පද වලට ලොකු ලකුනක් වැටුනත්, එහි තාල කන රිදවන සුලු යයි සිතේ. (සංවාදයට විවෘතය) පද වැලෙහි වුව , සුමට ලෙස දැනවිය හැකි බොහෝ ස්ථාන රලු අකුරෙන් හැප්පෙන ගතියක් මට නම් දැනේ. 
මගේ සරල රසවින්දනය තුල තාල අතින් පොහොසත් ගීත අතරින් රොශාන් ප්‍රනන්දු ගයන පහත ගීය ඉහල ස්ථානයක සිටී.  එහෙත් මෙබඳු ලයාන්විත තාලයක් හා හඬක් ඇසුරෙහි මේ ගීතයට පද ලියූ රචකයා කවුරු වුවත් ඔහුට හෝ ඇයට , සරල වචන කිහිපයකින් නොනැවතී මේ ගීතය ආශ්චර්යයක්ම කළ හැකිව තිබිණ. 

මේ ගීතය තුල මා විඳින්නේ තාලයයි. ගායකයාගේ මෘදු ගායනයයි. එහෙත් ටිකක් ලංවී බලන විටදී වචන වලත් යම් අපූරුවක් දැනෙයි.  

දඟකාර එමෙන්ම කවියක් මෙන් ගීතවත් ඇය , ගුප්ත නිහඬ බවකින් ඔහු බිය ගන්වන ඇය, ඔහුගේ ජීවිතය සැණකෙළියක් කරන ඇය-  සුලඟයි. . ඔහුගේ හදවත තුල අකුණු සුලිසුලං මවන්නේ ඇයයි. එමෙන්ම නිහඬ ශාන්ත නින්දට මඳ පවනක්ව ඔහුට පවන් සලන්නේද ඒ සුලඟමයි-ඇයයි. 


සුසිල්වත් සුදු ඇඳුමෙන් සැරසී  දඟ නොකොට ඔහු හා හෙමි හෙමින් මල් පහන් ගෙන බුදු පුදට යන්නේත් ඇයයි. සංකර කොට ගවුමකින් සැරසී සාප්පු ගානේ ඇවිදිමින් ඔහුගේ දවස කා දමමින් රණ්ඩු අල්ලන්නේත් ඇයයි. එක එක දෑ ඉල්ලමින් ඔහුට ඇණයක් වන්නේත් ඇයමයි. 

සුලඟට සීමා මායිම් නැති. කාටවත් හිතෙන්නේ නැති ඇසිල්ලේ සිරෝකෝ කුණාටුවකින් ඔහුටත් ලොවටත් සංග්‍රහ කරන්නට සුලඟ ප්‍රබලය. තවත් වෙලාවක ලොවම නිහඬතාවයෙහි ගිල්වමින් වාතලය උණුසුම් කරමින් සිය සලු පොරවා නිහඬ නින්දට පත් වන්නේත් මේ මඳ සුලඟමයි. 

පතිනියකව කුල ගෙට යන දිනෙක කෝල සිනහවෙන් බැලුම් හෙලන්නේත් , මාපියන්ගෙන් සමුගනිද්දී වැලහින්නක් මෙන් හඬා වැටන්නෙත් ඇයයි. මතු දිනෙක බිම වැටී හඬන තම කිරි දරුවන් සනසමින්, මවු ගුණ විහිදමින් සැනසිලි බස් දොඩන්නේත් දිනෙක මේ කෝල දැරිවියමයි. 

ඔබට කවදාවත් හිතුනාද ? සුලඟේ අරුමය? නැහැ, වැරදුනා ගැහැණියකගේ අරුමය?

සුලඟ වගේ දඟ කරන - එති එතී ලඟ රැඳෙන
ඔයා වගේ හිත නිවන - භාවනාවක් කොහිද?

විටෙක ඇවිත් සිත සිඹින - ආයෙමත් දුර දුවන
හෙමින් හෙමින් කිති කවන - ඔයා මගේ පෙම් කවිය ..

වෙලා ඇවිත් සුලි සුලඟ - පාරවයි සිත සුවඳ
තරහා නෑ මං තවම - හෙටත් ඔයා මගෙ මැණික 

සුලඟට මෙන්ම ඇයටද එක තැනක සිටිය නොහැකිය. එහෙත් ඇගේ අරුමයමත් එයයි. ඔහුගේ හිස කෙසින් අදින , ඔහු හා කිසිම කමකට නැති දේටත් රණ්ඩු වෙන ඒ ගැහැණු කමට උරුම අවගුණයටද ජීවිතය උපැද්දවිය හැකිය. ඔහුගේ හිස සිඹ සනසන , ඔහු සිත සිඹින නිවන සනසන උවැසියත් ඇයයි. 

කාසියක දෙපස මෙන් , ජලය සහ ගින්දර මෙන් , සිනහවත් කඳුලත් එකම උල්පතකින් උපදින අරුම.  රොස මලටත් , පිච්ච මලටත් , බාඳුරා මලටත් විවිධ වූ හැඩ සහ වැඩ මැවිය හැකිය. එහෙත් පොදුවේ ගත් කල උන් හැමට එක ජීව ගුණයක් හිමිය. එය මලක ගුණයයි. නටුවෙන් රැඳී , හිරුගෙන් ජීවිතය ලබමින් , බඹ‍රුන්ගේ ඇල්ම විඳිමින් මල් පිපෙයි , දිලෙයි, පරව යයි.  

ආදරවන්ත උවැසියන් , ආදර ගිණි කිකිලියන් , සෙල්ලක්කාරියන් , අසරණියන් , විහාරමහා දේවියන් , යශෝධරාවන් , කිසා ගෝතමියන්  අතර පොදු එක් ගුණයක් මම හඟිමි. විෂම සමාජයේත් , ඉවරයක් නැති සංසාරයේත් ඔබ ඉදිරියට හමුවන්නේ ගැහැණියක් නම් - ඈ සුලඟකි. ඈට හෙවත් මඳ සුලඟට හා සුලි සුලඟට හිමි එකම ගුණයකි. එයට මම 'ගැහැණියකගේ ජීව ගුණය' යයි නම් දෙමි. ගැහැණියක් වූ මම , එහෙයින්ම මට අසීමිතව ආදරය කරමි. 

ගීය අහනව නම් මෙන්න ... 

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->