Friday, December 13, 2019

[366] ඔහිය පන්සලේ ගල් ගැසුනු රැයක් !


බිම වැතිරීගෙන අතේ බිඳුවක්වත් ගා ගන්නැතුව නිදිමතේ චීස් සහ චිප්ස් කන අසරණයො දැකල තියනවද? (ආ , පල්ලෙහායින් තියන විඩියෝවත් බලාගෙනම එන්නකො)

කතාවට.. මතකනෙ කඩා වැටිච්ච පස් කන්දේ ආස්වාදයෙන් අපි තිස්වෙනිද හවස ඔහිය පන්සලට ගොඩ වුනා ..

අනේ සිනිමෝදර හාමුදුරැවෝ , අපරාදේ කියන්න බැහැ , අපට පන්සලේ ඇතුලේ තියන කොට්ට පැදුරැ බ්ලැන්කට් හෙම ලං කරලා දුන්නා . වහලය තැනින් තැන තෙමෙනවා. ඒ පුංචි පන්සලට බොහොම ලොකුවට අඩුපාඩු තියන වග අපෙ හිතේ සටහන් වුනා. (ඒ විස්තර පසුවට) 

හාමුදුරැ⁣වන් විතරයි පන්සලේ වැඩ ඉන්නෙ. වැස්සෙත් තෙමිලා වෙවුලමින් හිටිය අපට කාරැණික වෙලා උණුවතුරත් උණු කරලා දුන්නා උන්වහන්සේ , තේ ටිකකට.. අපෙ ගාව තිබුන නෙස්කැෆේ සැෂේ පැකට්ටු ( පුරැද්දක් හැටියට අපි අරන් යනවා ගමනක් යද්දි) වලින් හාමුදුරැවන්ටත් කෝපි එකක් පිලිගන්වලා අපි උන් වහන්සෙ එක්ක සාමිචි කතාවක් දාගෙන ඉන්නවා). 

දැන් වෙලාව හතට විතර ඇති. පන්සල ගැන නිතර හොයල බලන වයසක සීය කෙනෙකුත් පන්සලට ගොඩ වුනෙ , හදිසියෙම තෙමීගෙන පන්සලට ආපු අසරණ අපෙ දුක සැප බලන්න. 

"මහත්තුරැ බය වෙන්න එපා . අපි මහත්තුරැ බඩගින්නෙ තියන්නැහැ. මෙහෙ පරිස්සම්. අද යන්න එපා මහත්තතයාලා. දැන් රෑ කැම මොනවද ? කොහොමද ?" 

ඒ කාරැණික මහත්මයාගෙ වචන වලින්ම අපේ සීතලෙන් බාගයක් අතුරැදහන් වුනා.
"අපි ගාව පොඩි පොඩි කෑම බීම ටිකක් තියනවා . ඒ ඇති " 

නිතර අප එක්කම ගමන් යන පික්නික් බාස්කට් එක ගමනට පිහිට වුනෙ එහෙමයි.
මාෂ්මෙලෝ පැකට් එකක්, බිස්කට් පැකට් ටිකක් , ඉතුරැ වෙච්ච චීස් කෑලි ටිකක් , කිරි පැකට් ටිකක්, කෝන් ෆ්ලෙක්ස් බෝතලයක් බාස්කට් එකෙ තිබුනා. 

ඉතින් බිම කාපට් එක උඩින් පැදුරැ , ඇද රෙදි එලාගෙන , අංශක පහළොවට ගල් ගැහෙන සීතලේ, එදා නන්නාදුනන ගමක , පන්සලක විශ්‍රාම ශාලාවේ , සීත ඇදුම් මොකුත් නැතුව, අපි රැය පහන් කලේ එහෙමයි. බලන්නකො එදා අපෙ සිරියහන පහළ පළමු පින්තුරයෙ  


රෑ දෙක විතර වෙද්දි, අතපය නිල්වෙන්න සීතල වැඩ් වුනා. ප්‍රසන්නට සීතල දරන්න පුලුවන් වුනාට මට ඒක දරන්න අමාරැයි . අන්න අපට පිහිටට ආවා , අහම්බෙන් කීල්ස් එකෙ දැකලා ඩැහැගත්තු මේ අනර්ඝ වස්තුව (පින්තුරය 2) ! නිතර අඩල් ගමන් යන ඔබ අපි වගෙ උදවියට කියාපු භාණ්ඩයක්! තැන තැන ඇවිදින අපෙ පුංචි පහසු ගිනිමැලය  


මේකට කියන්නෙ fuel Gel කියලා . හෝටල් වල බුෆේ ක්‍රමයට ආහාර අසුරන ට්‍රේ වල , යටින් දැල්වෙන්නෙත් මේ වගෙ එකක් තමා. රැපියල් එකසිය පණහයි. පැය දෙක හමාරක් පත්තු වෙනවා මේ ලිපක් වගෙ ටින් එකේ ජෙලි එක. අනවශ්‍ය වෙලාවට පියන වහලා ආයිත් අරන් යන්න පුලුවන්. නැවත නැවත පාවිච්චි කරන්න පුලුවන් ජෙලි එක ඉවර වෙනතුරැ. 

හරිම ආරක්ෂිතයි. ගිනිමැල ගහන්න ඕන නැහැ තේ එකක් හදාගන්න. බිත්තරයක් බැද ගන්න. මාෂ්මෙලෝ කැල්ලක් ගින්දරට අල්ලලා hot marshmellow කන්න. (කාල බලන්නකෝ රස! ) එලිමහනෙ පුංචි පික්නික් එකක් යන්න. එදා අපිව සීතලෙන් ගල් වුන දා වගෙ වෙලාවක අත පය රත් කරගන්න. ! කදිමයි මේ පුංචි ලිප් පොඩ්ඩ !  

ඉතින් අපි පන්සල් ශාලාවෙ නිදන පැදුරට එහායින් මේ ටින් එක පත්තු කරලා ඒකට ටිකක් කකුල් දික් කරගෙන උන්නාම සීතලෙන් ටිකක් මිදෙන්න පුලුවන් වුනා.
ඔන්න ඔහොමයි ඔහියෙ රැය පහන් වුනේ. 

පලි
අත්දැකීම් අපිව පොහොසත් කරනවා පිරැණු මිනිස්සු කරනවා කියන්නෙ නිකම්ද? හැබැයි මට දැනෙන විදියට ගමන් යන එකත් කලාවක්. අනේ අපි තාම ඒකෙ බහුශ්‍රැතලා නම් නෙවි. 

දුර ගමනක් යද්දි , හැල්මේ දුවන්නෙ නැතුව , දුවන ජීවිතේ පොඩ්ඩක් වේගය බාල කරගන්න එකේ ලොකු ලල් එකක් තියනවා. මෙතෙක් නොවිඳි අත්දැකීමි විඳ ගන්න ආස නිසා , මොන තරම් කටුක අත්දැකීමක් වුනත් , බොහොම ආසාවෙන් විඳ ගන්න අපි සැදී පැහැදී ඉන්නවා. සමහර වෙලාවට ඔක්කොම ප්ලෑන් අවුල් කරගෙන, ෂෙඩියුල් එකක් නැතුව , ඉබාගාතේ යන එකෙත් ලොකු 'ලල්' එකක් තියනවා.

"ෂා මේකත් මාර අත්දැකීමක් තමයි" - කියන්න පුලුවන් විදියේ මොකක් හරි අපත අඩල් දෙයක්, අපිට, හැම ට්‍රිප් එකේම සිද්ද වෙන්නේ , සොබාදහම වුනත් කැමති ඇති අපේ ජීවිතේ වෛර්ණ කරන්න . අපි අපේ අඩමාන චාරිකා වලින් උපරිම විනෝදයක් ලබන්නේ ඒ නිසයි. 

හැබැයි ඉතින් නිර්මාණශීලි වෙන්නත් ඕනි ඒ වගෙ , ප්ලෑන් එකකට යන ගමන 'ටිකක් ඩල්' වේගෙන ඉද්දි , ඒක ඔක්කොම අනා⁣⁣ගෙන නාගෙන , ඒක අලුත් අත්දැකීමකට පෙරලා ගන්නත් !  

හැබැයි පින්වතුනි , මේ කතාව තේරෙන්නෙ නම් ඒක ඇත්තටම කරල තියන අයම විතරයි. 

Planning කෙසේ වෙතත් preparation නම් වැඩියක්ම ඕන වෙන්නෙ , අඩල් ගමන් යන්නම තමයි. !!!!

ඇයි ඕනිම දෙයක් වෙන්න පුලුවනිනේ ! . පස් කන්දක් පෙරලෙන එකේ ඉඳලා , අතපය තුවාල කර ගන්න එකේ ඉඳලා ,බඩගින්නේ ඉන්න වෙන එක දක්වා... ඕනම දෙයක්... ඔව් ඕනම දෙයක් වෙන්න පුලුවනි ... ඉතින් ඒ හැම දේකටම වුවමනා බඩු භාණ්ඩ අමතක කරලා ගිහින් නම් අඩල් ගමනක්, අලුත් අත්දැකීමක් විඳ ගන්න අමාරැයි තමයි

එහෙනම් , ඔබටත් අඩල් චාරිකා යන්න ඇරයුම් කරමින් , තව කොටසකින් මුණගැහෙන්නම් ... 

ඔය පහල විඩියෝවෙ තියෙන්නෙ , එක්තරා පින්වතෙක් එදා නිදිමරගාතේ බඩගින්නේ අසරණව වැතිරී චීස් සහ චිප්ස් කන පොෂ් ආකාරය පින්වතුනි... එයා එහෙමයි. කොයි මූකලානේ ගියත් පූසා හරි ස්ටෑන්ඩඩ් ලු නේ




Monday, December 09, 2019

[365] පස් කන්දට සුන්වූ රිලැක්සේෂන් එක (හෙවත් අනූ නවයෙන් අපව බේරුව ඔහිය පස් කන්ද )


මන් ඉතින් කලකට සැරයක් මගේ බාහිර දේශන පවත්වන ළබැඳි සේවා ස්ථානයෙන් දවසක් කාරිය නිවාඩුවක් ඉල්ලද්දී , එහි ඉන්න බොහොම සොඳුරු සිතැති කාර්ය මණ්ඩලයම මට කියන්නේ "ඊළඟ හනිමුන් එක යන්න හදන්නේ" කියලා. ඉතින් ඉඳලා හිටලා යන ගමනේ උපරිම රසය විඳගෙන , කතන්දර ගොඩකුත් අරගෙන මන් එද්දී , ගම නෝන්ඩි වෙලා හමාරයි.  සංසාරේ ... ඒත් පින්වතුනි මන් සැලෙන්නේ නැහැ පින්වතුනි. තාම අති සාර්ථක ලෙස ට්‍රිප් යනවා . හැබැයි ඉතින් මාස දෙක තුනකට සැරයක් class arrangement ඉල්ලගෙන එන මට කාරුණික වෙන ඔබලාට ගොඩක් ස්තුතියි 

අවුරුදු දෙකක පුරාවට ගිය අඩු ගානේ තිහක්වත් ඇති කෙටි සහ දිග "හනිමුන් චාරිකා" ගැන ලියන්න දේ බොහොමයි. පින්තුර නම් ඇති දහස් ගණනක්. එඩිට් කර අප්ලෝඩ් කරන්නයි වෙලාව හිඟ. බලමුකෝ ඉස්සරහට.

මතකනේ , 30වෙනි සෙනසුරාදා හෝටන් තැන්නෙන් අපි පිටත් වුනේ තෙතබරියන් වෙලා. වැසිකිලියකට රිංගාගෙන ඇඳුම් මාරු නොකරගත්තා නම් හෙම , අපි මෙලහට සන්නිය හැදිලා මැරිලා.

දැන් වෙලාව 5.30ට විතර ඇති . අඳුර හාත්පස ආක්‍රමණය කරලා ඉවරයි. ගෝන්නු රංචු පිටින් පාරට ඇවිත් . අපිත් ඉතින් සීතලේ වෙවුල වෙවුලා බොහොම අමාරුවෙන් ඔහිය ගැප් එකෙන් කන්ද බහින්න පටන් ගත්තා. ඒ, කලින් වෙන් කළ හපුතලේ අපේ ලබැඳි නවාතැනේ සුව පහසුව පිළිබඳ සුබ සිහින දකිමින් .... මතකනේ Leisure Mount View Inn එක ( මෙතනින් බලන්න ඒ ලස්සන තැන --> 
shorturl.at/bglt3 )

මෙවර ඔහිය පාරේ , පහුගිය ජුලි මාසයේ වගේ තද මීදුමක් නැහැ. ගිය පාර නම් අපිට පැය භාගයක් විතර වාහනේ නතර කරන පාර පැහැදිලි වෙනකල් ඉන්නත් වුනා . හැබැයි මේ පාරත් වාහනේ ෆොග් ලයිට් නම් හයි කරගන්න බැරි වුනා. ඒ නිසා මීදුමෙන් රහිත තද වැස්සට පින් දෙමින් අපි ඔහියෙන් පහළට බහින්න එච්චරටම බය වුනේ නැහැ. ( මේ තද බෑවුම් පාරේ වාහනය දෙතුන් වතාවක් ලිස්සුව බවත් , එය මට නොදැනුනු බවත් , මට එය නොකියා නිස්සද්දව හිටියේ , කිව්වා නම් එතනින් එහාට මාව මේච්චල් කිරීම වෙනමම project එකක් නිසා බවත් හබි තුමාගෙන් පසුව දැනගන්නට ලැබුණි ) 

ඉතින් අපි හෙමිහිට කන්ද බහිනවා. ඔහියෙන් පහලට බහිද්දී කිලෝමීටර හයක් විතර තියෙන්නේ ගණ කැලේ , මේ කැලය ඉවර වෙන්නේ පුංචි දේවාලයකින්. ගිය වතාවෙත් අපි මිස්ට් එකෙන් බේරිලා පහල බහිද්දී මේ දේවාලේ දෙවියන්ට ස්තුති කරලා බහින්න අමතක කලේ නැහැ. මේ වතාවෙත් වාහනෙන් බහින්නේ නැතුව වුනත් අපි දෙවියන්ට ස්තුති කරලා පහලට බැස්ස.

යන්න ලැබුනේ මන් හිතන්නේ මීටර දෙතුන් සියයයි ! දෙවියනේ ! තඩි පස් කන්දක් !පාරට වැටිලා ලොකු ගලකුත් එක්ක ! දැන් මොකද කරන්නේ ? එකපාරම ඔලුව වැඩ කරන්නෙත් නැතුව ගියා. පොඩ්ඩක් වටපිට බලද්දී තමයි දැක්කේ පාරේ එක දිගට දිය ඇලි හැදිලා වතුර ඕසේට පාරට වැටෙනවා. බලන් ඉද්දි ගස් පාරට පාත් වෙනවා. ගල් පොඩි කැට පාරට වැටෙනවා. එන පොට හරියන්නේ නැහැ. ප්‍රසන්න වාහනේ හරවන්නවත් වෙලාව ගන්නේ නැතුව කිලෝ මීටර බාගයක් විතර වාහනේ රිවස් කළා.

දැන් මොකද කරන්නේ ? ට්‍රැක්ටර දෙකක විතර පස් ! කොහේ අයින් කරන්නද ? ළඟ පාතක ගේකුත් නැහැ. වටේටම කලේ විතරයි. ආයිත් හරවන් යන්නද ? වෙන වාහනයක් එනකල් ඉන්නද ? මොක කරන්නද නිනව් නැතුව අපි මුනෙන් මුණ බලන් ඉන්නවා. එක පාරම ගුගල දෙයියා සහ මැප් එක අපිට සිහි වුනා. තව පාරක් තියනවා . බෙරගලට යාගන්න. ඒ තමයි ආයිමත් උඩහට ගිහින් බඹරකන්ද ඇල්ල පාරෙන් යන එක. වෙන විකල්පයක් නැහැ.

වෙන දෙයක් වෙන්න කියලා අපි ඔහිය පාරේ උඩහට (හෝටන් තැන්න දෙසට ) යන්නට වුනා. එවෙලේ තමයි අපි ඈතින් පොඩි ලයිට් එළියක් දැක්කේ. දෙයියෝ බැලුව වගේ, පුංචි ගෙයක් උඩහින් පේනවා. අහ ගෙයක් නෙමෙයි. ඒ තමයි ඔහියේ තැපැල් කන්තෝරුව. අපේ වෙලාව හොඳයි. කවුදෝ මහත්තයෙක් තව දෙතුන් දෙනෙක් එක්ක එලියට එනවා .
“පාරට පස් වැටිලා . අපිට හපුතලේට යන්න වෙන පාරක් නැද්ද ?”

“ පොඩි වාහනේකට යන්න තියෙන්නේ මේ පාර තමයි. බඹරකන්ද ඇල්ල පැත්තෙන් යන්න වෙන පාරක් තියනවා. 4-විල් එකකට වගේ නම් යන්න පුළුවනි. කොහෙද පස් තියෙන්නේ ? අපි අයින් කරලා දෙන්නම්. පොඩ්ඩක් ඉන්නකෝ අපි බලන්නම්”
වැඩේ අසාර්ථකයි. අයින් කරන්න බැරි තරම් පස් ලෝඩ් එකක්.

“ මහත්තයෝ , වෙන කරන්න දෙයක් නැහැ, පහසුකම් අරව මේවා බලන්න එපා. තියන හැටියකට ඉන්න දෙන්නම් . මහත්තුරු අද මෙහෙ නවතින්න “

ඇත්තටම ඔලුව වනනවා ඇරෙන්න අපිට වෙන විකල්පයක් නැහැ. හෝටන් තැන්න කැන්ටිමේ ගාමිණි අයියගේ ත්‍රිවිල් එකත් පහලට එනවා.

“ගාමිණී අයියා . පල්ලෙහා පස් කන්දක් වැටිලා. අපිට අයින් කරන්න බැරි තරම් ලොකුයි. ඔයාට ත්‍රිවිල් එක පන්සලේ දාන්න වෙයි. මේ මහත්තුරුත් හිර වෙලා. මොකද අපි කරන්නේ ? මෙයාලව පන්සලේ නවත්තමුද ?”

අපිත් කැමති වුනා එහෙම කරන්න. ගාමිණී අයියගේ උදව්වෙන් අපි ඔහිය ස්ටේෂන් එක උඩහින් තියන ආශ්‍රමයේ නවතින්න යන්නේ එහෙමයි.

ඔවු පින්වතුනි , එදා රෑ හිටියේ ඔහිය පන්සලේ ! හෙවත් සීතලේ ! Mount View එක එමට තිබ්බා , Leisure තමයි තිබ්බේ නැත්තේ.ඒත් මේ පුංචි පන්සලේ ස්වාමින් වහන්සේගේත් ආවාට ගම වැසියන්ගේත් ලොකු සහ උණුසුම් හිත් වලට පින් සිදු වන්නට අපි එදා සුරක්ෂිතව රැය පහන් කළා ..

ඒත් මට දැන් එක දෙයක් ස්ථිරයි. පසුව දැනගත් හැටියට ඔය පස් කන්ද වැටීමත් එතනට අපේ ආගමනයත් අතර තිබිල තියෙන්නේ දල වශයෙන් විනාඩි ගණනක වෙනසක්. හෝටන් තැන්නේ තෙතබරියන් වීගෙන නමුත් අනුන් වෙනුවෙන් සුළු හෝ උදව්වක් කල අපිට වැහි දෙවියන්ගේ අමනාපයක් නොමැති බව ස්ථිරයි ! මේ ගැත්තන් දෙදෙනා පණ පිටින් යහතින් පන්සලකට දක්කන්නට ඇත්තෙත් එවැනිම අශිර්වදයකින් බව ස්ථිරයි ! පසුව සිතා බැලු කල , අපිට මේ පින්වත් ගැමියන් මුණ නොගැසි , අපි නැවතත් හෝටන් තැන්නට ගියා නම් , පාර දිගට, ගස් සහ පස් වැටීමෙන් අප දෙපැත්තටම යා නොහැකි ලෙස පසුදා පහන් වනතුරුත් හිර වන්නටත් තිබුනා.

ඉතින් සිනිමෝදර හාමුදුරුවන්ගේ කරුණාවටත් පින් සිද්ද වෙන්න , අපි එදා රෑ පන්සලේ නැවතුන එකත් , දැන් මතක් වෙද්දී ලොකු අත්දැකීමක් කියල හිතෙනවා.

ඒ විස්තරේ තව කතාවකින් ලියන්නම්. එතෙක් ...



ප ලි.

තද වැස්ස , බොරළු ඇතුරූ පාර , මිදුම , මේ වගේ කාරණා නිසා Fog Light නැති ගමන නම් හරිම අවදානම්. ඒ ගැන හිතන්න.

කවුද දන්නේ. එදා අපිට වෙච්චි අකරතැබ්බේ අද ඔබට වෙන්න පුළුවනි. යන වාහනයේ නිතර අමතර කෑම බිම, ගිනිපෙට්ටි , අමතර බ්ලැන්කෙට්ටුවක් තියාගන්න

පස් කන්දක් ළඟ නැවතිලා සිරි නරඹන්න එපා. ඒ ලංගමත් පස් බුරුල් වෙන්න පුළුවන්.

එක දිගට පැය ගානක් වැස්ස මේ වගේ කඳු සහිත පාරක ඕනෙම වෙලාවක පස් කඳු, ගස් ගල් වැටෙන්න පුළුවන් බව සිහි තියාගෙන ගමන යන්න. ( ඒ බවට සිය ගානක් සාක්ෂි පහුවදා අපිට හපුතලේ බෙරගල පාරෙන් ලැබුනා )

එක පස් කන්දකින් එතෙර වෙලා ඔක්කොම ප්‍රශ්න ඉවරයි කියලා ඒ වගේ මොහොතක අපිට ගමන ආයිත් අරඹන්න පුළුවන් තමයි. ඒත් තව වැටුණු නොවැටුණු පස් කඳු ඉස්සරහට තියෙන්න පුළුවන් බවත් , වතුර උතුරා ගිය පාලම හෙම මේ පාරේම තියෙන බවත් අමතක කරන්න නම් බැහැ

ඒත් ... හැමදාම කියනවා වගේ ,,, එදා බයෙන් සලිත වුන මේ මොහොත , අද අපට අමතක නොවන රසබර මතකයක්. ඒ නිසා කවදාවත් ඇවිදින එක නතර කරන්න එපා. ජිවිතේ ජිවත් වෙනවා කියලා දැනෙන්නේ මේ අත්දැකීම් නිසයි.


ඉතුරු කතාවලින් හමුවෙමු ...
කතන්දර ඔක්කොම : http://bit.ly/2Proxhg
හෝටන් තැන්නේ වැහි භූතයෝ :
http://bit.ly/2rtjfd6

වීඩියෝව : ඔහිය සිට බොරලන්ද - පසුවදා උදේ අපි ගත් uncut / unedited raw video එකක්.


[364 ] හෝටන් තැන්නේ දූතයෝ සහ වැහි භූතයෝ


මේ නම් ඓතිහාසික පින්තුර ටිකක් !

සමහර විට අපිට අවුරුදු 80ක් විතර ජිවත් වෙන්න වාසනාව තිබුනොත් හෙම එදාටත් ලොඹු කටවල් වලින් "හොහ් හොහ්" ගගා හිනා වෙවී විඳ ගන්න පුළුවන් මතකයක් තමයි ඒ චාරිකාව .

කොළඹ - නුවර - නුවරඑලිය - හෝටන් තැන්න - හපුතලේ චාරිකාව අපි හිතුව තරම් සුමුදු සුමට ගමනක් අපට ලඟා කරදුන්නේ නැහැ.

ගිය ජුලි මාසයේ හෝටන් චාරිකාවක් තියන සුමට විනෝදය අපිට අහිමි වුනේ අපේම නොසැලකිල්ල නිසා. හවස හය වෙනතුරුත් Great Gap හෙවත් මහා ලෝකාන්තය තියෙන ඉසවුවෙන් පැය ඔසවන්න තරම් අපිට උවමනාවක් නොතිබුන නිසා. ( ඒ කතාව පසුව ලියන්නම්)

මෙවර අපි ගියවර පාඩමිනුත් මට්ටු වුන නිසා , හෝටන් තැන්නට ඇතුල් වෙද්දී 10ත විතර ඇති. දැන්නම් හොඳටම වෙලාව ඇති. අපිට හිතුනේ එහෙමයි. “මිස්ලා තව ටිකකින් වහිනවා , තෙමෙන එක් අමාරුනම් දැන් යන්න එපා “ වනජීවී මහතුන්ට හිතුනේ එහෙමයි . “නැහැ අපි ගෑවා රෙන් කෝට් තියෙනවා , ලැහැස්ති වෙලයි යන්නේ “ අපිත් උජාරුවට උත්තර දුන්නේ එහෙමයි.

කිලෝමීටරයක් යන්න ඇති. මහා ගණ වරුසාවක් ! රෙන් කෝට් පිහිටෙන් අපි ඉතින් පින්තුරු ගනිමින් හෙමින් හෙමින් යන්න වුනා.

ඔන්න කොහොම හරි දවල් දොළහමාර වගේ වෙද්දී , අපි බේකර්ස් ඇල්ල පැත්තෙන් හෝටන් තැන්නට ලඟා වුනා. පොඩි ගහක් යට විදා නිවා ගන්න අපිට දකින්න ලැබුනේ ඇවිදින කුඩයක් . නැහැ , කුඩය යට , අම්ම කෙනෙකුයි , තාත්තා කෙනෙකුයි , පුංචි බබාලා දෙන්නෙකුයි.
මොනවත්ම සිත ඇදුමුත් නැතුව! ඒ මදිවට ඒ අම්මට බබෙක් ලැබෙන්න මාස හය හතක බඩක් ! හපොයි , පොඩි දෙන්න ගැහෙනවා. තාත්තාත් බය වෙලා. අම්මා අඬනවා . කට්ටියම බිම්මලක් වගේ එක කුඩේ යට ගලි වෙලා බිම ඉඳ ගත්තා .

ඉතින් ආයිත් හිතන්න දෙයක් නැහැ . රෙන්කොට් දෙකින් එකක් එයාලට දුන්නු අපිට , ලෝකාන්තයට වඩා මේ පුංචි පවුලගේ සුරක්ෂිත ගමනාන්තය වැදගත් කියල හිතුන. හෙමි හෙමින් කට්ටියත් එක්කම අපි ආයිත් එන්න පල්ලම් බැස්සා. එච්චර තද වැස්සක බලන්න ලෝකන්තයක් පේන්නෙත් නැහැනේ. හෙමි හෙමි කට්ටිය එක්කම බේකර්ස් ඇල්ල ගව තියන වැසිකිලිය ගාවට ආපු අපිට මේ හතර දෙනා මහා වැස්සේ තව කිලෝ මීටර් තුන හතරක් යන්න තත්ත්වයක නැති බවයි වැටහුනේ. අන්තිමට අපි කලේ , අපේ බග් පතුල් පීරලා , තිබුන කෑම බිම , ප්‍රථමාධාර ඔක්කොම එයාලට දීලා අපි රේන් කෝට් දෙකත් අරන් පල්ලම් බැස්ස . ඒ , මෙයාලව මගහැරිච්චි , ට්‍රිප් සගයන් හොයා ගෙන පණිවිඩය දෙන්නයි.

එද්දී තමයි තේරුනේ මේ කට්ටියව එක්කගෙන නො ආපු එක කොච්චර හොඳද කියල. පොඩි ඇල පාරවල් දිය ඇලි වෙලා. ඇල පාරෙන් එතෙර වෙන්න දණක් උස වතුරට බහින්න ඕනේ. දියේ ගැඹුර මැන ගන්න පිහිට වුනේ ප්‍රසන්නගේ tripod එක. ඉතින් ඇල ගංගා එතෙර වෙලා තෙතබරියන් වුන මහා වැස්සේ , රෙන් කෝට් දෙකේ පිහිටෙන් අපි හවස 4 වගේ වෙද්දී ගේට්ටුවට ලඟා වුනා.

මේ තියෙන්නේ දුත සේවය නිම කිරීමෙන් පසුව , හෝටන් තැන්නේ බේකර්ස් ඇල්ල පාරත් කුඩා ලෝකාන්තය පාරත් දෙකට බෙදෙන තැනට ලඟා වෙච්චි අපි දෙන්නාගේ තෙත බරියන් පින්තුරේ. ලෝකාන්තය දැක්ක තරම්ම හිතට සතුටුයි කාට හරි උදව්වක් කරන්න ලැබීම.

ප. ලි.
Entrance එකට ලඟා වෙන්න කිලෝ මීටර් භාගයකට වගේ තියෙද්දී , මේ පුංචි පවුලේ යහළුවන් හොයාගෙන ආපහු හෝටන් තැන්නට ඇතුළු වුන ඔවුන්ගේ සගයන්ට පණිවිඩේ දෙන්න අපිට හැකි වුනා. වේයන්ගොඩ පැත්තේ ඉඳලා ආපු මල්ලිලා කට්ටියක් ඉදිරිපත් වෙලා සීතලට ෆිට් එක වගේ හැදෙන්න ආපු බබාලා දෙන්නව උස්සාගෙන ඇවිත් පවුලේ අනික් යහළුවන්ට බබාලව බාර දෙන්න ආවේ , ඔවුන් වේයන්ගොඩ ඉඳලා ආසාවෙන් plan කරගෙන ආපු ලෝකාන්ත ට්‍රිප් එකත් කැන්සල් කරමින්. ඔවුන්ට , මිස් වූ ලෝකාන්තය වෙනුවට , හිමාලය , චිකාගෝ හෝ අඩු තරමේ බාලි ගමනක් වත් ඉක්මනින් යන්න ලැබේවායි අපි ප්‍රර්ථනා කරන්නෙමු. කල පින , හොඳ හිත එතරම්ම උසය ! ඒ විස්තරය පසුවට.

ප ප ලි.

මේ දවස් වල හෝටන් තැන්න - තදටම වහිනවා. මෙන්න අමතක නොකළ යුතු දේවල්
• රේන් කෝට්
• ජර්සි
• කුඩ
• (දවසක ට්‍රිප් එකක් ගියත්) අමතර ඇඳුම් පැළඳුම් අරන් යන්න.
• ටෝච් එකක් - දවාලටත් බලන් ඉද්දි කරුවල වෙන වෙලාවල් තියනවා.
• ප්‍රථමාධාර පැක් එකක්

අවම පැය හතරක්වත් යනවා ගිහින් එන්න ( වේගයෙන්ම ඇවිද්දත් ) . එනිසා පුංචි දරුවන් අරන් ලෝකාන්තය බලන්න යනවා නම් - සීත ඇඳුම් , ප්‍රථමාධාර , වැඩිපුර කෑම බිම අරන් ගමන පිටත් වෙන්න.

බබාලා හම්බ වෙන්න ඉන්න අම්මලා - අනේ අම්මෝ මෙහෙම ගමන් යන්න එපා අප්පා ! හරිම අනතුරුදායකයි. එකක් දුර ! අනෙක මේ කිලෝ මිටර 9ක විතර වටයේ මැදට ගියාම ආයිත් කිසිම පිළිසරණක් නැහැ එනකල්ම. ෆෝන් සිග්නල් බින්දුවයි.

ඇදුම , සීතල නිසා ෆිට් එක වගේ හැදෙන අය ඉන්නවා නම් , මේ කාලේ යන්න හිතන්න එපා. කැන්ටිමේ ගාමිණී අයියා කිව්වා මේ මාසෙට හතර පාරක් 1990 සුවසැරිය ඇම්බියුලන්ස් ගෙන්වන්න වුනාලු උඩහට , සීතලෙන් ආතුර වෙච්චි රෝගීන් නිසා.

දැන් හෝටන් තැන්නට කිසිම නොදිරන දෙයක් ගෙනියන්න දෙන්නේ නැහැ. ඒ නිසා අපද්‍රව්‍ය ගැන සැලකිලිමත් වෙන්න. ගෙනියන බඩු වල නොදිරන දවටන එහෙම අස් කරගෙනම ඇතුලට යන්න වෙනවා.

සෙරෙප්පු දමාගෙන යන්න අමාරුයි . පාර අසමතුලිතයි. ගල් තියනවා. කඳු පල්ලම් එමටයි. හොඳම නම් සපත්තුවයි. එක්කෝ බූට් දෙකක්.
හවස් වෙනකල් අපි වගේ පරිසර චමත්කාරයෙන් මත් වෙන්න එපා. දොළහෙන් පස්සේ වහිනවා. උදේ හයට වත් ඇතුලට ගිහින් , ඉක්මනින් එලියට එන්න බලන්න මේ කාලේ.

නැවත යන්නට - ඔහියෙන් පල්ලම් බහින්න හිතනවා නම් ෆොග් ලයිට් තියන වාහනයක යන්න. මිදුම වගේම පල්ලමත් සැරයි

හැබැයි මේ මොන දුක විඳ ගෙන වුනත් , ලෝකාන්තය කියන්නේ යා යුතුම තැනක්. ඒකේ දෙකක් නැහැ. මුහුදු මට්ටමෙන් මෙතරම් ඉහළ තැනක තියන තැන්නක ජෛව විවිධත්වය ඇස අදහාගන්නත් අමාරු තරම් චමත්කාර ජනකයි. මේ සුන්දරත්වයෙන් වැඩි හරියක් අහු වුනේ , හොඳ කැමරා ඇහැක් තියෙන Prasanna ට තමයි. ඒ ඇල්බමය ඉක්මනින්ම අප්ලෝඩ් කරන්නම් ...

ගමනේ රස කතා පටන් ගත්තා විතරයි. ඉතිරිය පසුවට 

Thursday, December 05, 2019

[363] ඔබත් මෙහෙම නම් වෙන්න එපා



ඔබට පෙනෙනවාද මිනිසුන්ගේ ආත්මාර්ථකාමී ගති කොයිතරම් අහස උසට නැගලාද කියලා.

මේ නුවර කොලඹ සිග්‍රගාමි දුම්රියේ නැරඹුම් මැදිරිය. අපි වගේ සතිපතා නුවර යන අයට මේ වීදුරැවෙන් පේන රමණීය දර්ශනය අමුත්තක් නොවෙයි. නමුත් මේ මැදිරියෙ මිල අධික ටිකට් එකකට ගෙවලා ජීවිතේ පළමු වතාවට නුවර කොලඹ සිරි නරඹමින් යන විදේශිකයෝ ඉන්නවා. කුඩා දරැවෝ ඉන්නවා. එයාලට මේ හරිත දසුන විඳින්න අයිතියක් තියනවා.

මේ ඉදිරි අසුන් හතර හරි විශේෂයි. එතනට තමයි මේ ගමනේ ලස්සනම දසුන් පෙනෙන්නේ. ඒ අසුන් හතර අරක් ගෙන ඉන්න පවුල , පසුපස අසුන්වල ඉන්න අනෙක් මගීන්ගේ ඇසට ලැබෙන සොඳුරැ දසුන බ්ලොක් කරගෙන තමන්ගේ බැග් එහි තියාගෙන ඉන්න හැටි හරිම සෝචනීයයි. දුම්රිය රාක්ක හිස්.


අනෙක මෙහෙම බඩු තියන්න නෙවි ඒ ඩෙක් එක හදල තිබෙන්නේ. බලන්න විදුරැ හීරෙනවා. මේ නැරඹුම් මැදිරිය විශේෂ එකක්. මේ වීදුරැව විශේෂ එකක්. මිනිසුන් දහස් ගණනකට මේ අමතක නොවන සුන්දර දුම්රිය අත්දැකීම සුන්දර කරන්නට තැනුනු එකක්.

ඔබ නම් මෙහෙම අමන ආත්මාර්ථකාමී වෙන්න එපා. ඇත්තටම කලකිරෙනවා මෙහෙම හැසිරීම් දැක්කාම. මිනිසුන් නැරඹුම් මැදිරිය තෝරාගන්නේ ඔබේ බෑග්වත් මේ ඩෙක් එක උඩ ඉඳගෙන යන ඔබවවත් නරඹන්න නෙමෙයි. (සදාචාර විරෝධී නිසා මෙම පවුල ඩෙක් එක මත ඉදගෙන යන පින්තුරයක් ගත්තේ නැහැ)

මම හිතනවා නායකයා රට හදනකල් නොසිට , අපිත් එයට දායක විය යුතුයි. අපි වෙනස් විය යුතුයි . රට වෙනස් වෙන්නේ එතකොටයි.

පසු සටහන
ඇත්කටම මේ ලියන මට වුනත් හිතුනේ එයාලට එහෙම කෙලින්ම කියන එක හරි නැහැ කියලා. ගාඩ් මහතා ඉන්නවද බැලුවත් හිටියෙත් නැහැ. ගම්පහ හරියට එද්දි , පසුපස අසුනක ඉදගෙන හිටි විදේශික තරැණයෙක් ඉදිරියට ගිහින් ඉල්ලා සිටියා ඔවුන්ට බැග් ඉවත් කරගන්න කියලා .

This is taken in the observation coach of colombo to Kandy Intercity train today. You can see how the family sitting at the most precious 4 seats of the coach has selfishly blocked the view of the most spectacular view of this beautiful train track , to the rest of thr passengers in this coach.

Can you see how the rights of enjoying scenic beauty of 40 passengers is pulled off by 4 selfish passengers who simply and absolutely view it without letting the others.

The baggage racks are empty. Just like their minds and thoughtfulness. Thus rail journey is routine for us. There is no much surprise in the greenery for routine travellers like us. But there are foreigners who may not get a chance to enjoy this beauty again. There are little kids who deserve seeing it. This coould be their one And only time of seeing it.

Be the change.

Please dont live only for your self. world belongs to all of us. 


P.s .
A foreign guy , without hesitation went forward and requested them to remove the bags from the deck ! Lovely ❤️ even we have lessons to learn.


Thursday, November 28, 2019

[362] උඩ සිට පහලට

Top to Bottom Stratrgy aka Leader Setting the first Example
.
ජනපති තුමා මෙතෙක් ආ ගමන් මගේ අපට සපථ වූ ප්‍රබලම කාරණය නම් , එතුමා ස්වයං නායකත්වයක් සහ කලමනාකරණයක් තුල අභියෝග ජය ගනිමින් , තම අරමුණ කරා යා හැකි , ශක්තිමත් පෞරැෂයක් බවයි.
පත්ව තිබෙන ගරැ කටයුතු දේශපාලනඥයන් පහලොස් දෙනා පිලිබඳවද අප දන්නා විවිධ කාරණා බොහෝ ඇතත් , එක් ඇත්තක් නම් "නිසි ප්‍රබල , දැඩි නායකත්වයක් යටතේ නම්" ඉතා ඉහලින් තම දායකත්වය දැක්විය හැකි පිරිසක් ලෙසයි.
ජනපතිතුමා තමාවම හොඳ උදාහරණයක් (set an example) බවට පත් කරමින් ගත් පූර්ව ක්‍රියාමාර්ග අනුව නායකයාගේ මග ගැනීමට තම පරිවාර මණ්ඩලයටද, එකී පරිවා ර මණ්ඩලයේ පරිවාර සේනාවන්ටද , ක්‍රම ක්‍රමයෙන් අපටද සිදුවනු ඇත. (Top to bottom strategy)
මෙතෙක් සිදු නොවී තිබූ දැන් සිදුවෙමින් පවතින එම වෙනස නම්, මේ රට අපේක්ෂා කල වෙනසයි. එනිසා ජනපති තුමන්ගේ strategy එක ඉතාමත් දැඩි සහ නිවැරදි බව අපි තවදුරටත් දැඩිව විස්වාස කරමු. රටේ නායකයා හෝ පරිවාර සෙනගෙහි කිසිදු මානසික පරිවර්තනයක් නොවී , 'ඉස්සෙල්ලා අනුන් හදමු' හෙවත් 'පොඩි මිනිස්සු ඉස්සෙල්ලා හැදියල්ලා, එතකොට රට හැදෙයි ' හෙවත් මහජනතාවට පමණක් වෙනස් වන්නට අණ දුන් මෝඩ නායකත්වයන්ගේ දශක ගණනක සාපයෙන් රට නිදහස් වී ඇත.
මේ දින කිහිපය තුල ලොකු strategy change එකක් අපි දකිමු.එනම් , නායකයෝ ලෙස 'පලමුව අපි හැදෙමු, අනතුරැව රට හදමු' යන තැනට චින්තයක් ඇති නායකයෙකුගේ නිසි ක්‍රියාමාර්ග අපි දකිමින් සිටිමු. ඒවා ඇතැමුන්ට චූල හාස්‍යයද ඇතැමුන්ට මහා හාස්‍යයද උත්පාදනය කරන්නට ඇත. නමුත් කුඩා දේවල් වල ඇති හරය මහා දේවලට අලගු කබන්නටද නොහෙැකි යයි මම දැඩි ව විස්වාස කරමි.
ඔබ ,හා , මම හෙවත් සාමාන්‍ය පුරවැසියනි. අපටද වෙනස් වන්නට කාලයයි.
මෙතෙක් කල් , 'උන්ට හොද නම් අප වැරදි කලාම මොකද' මානසිකත්වයෙන් , කලකිරීමෙන් සිටි බහුතර සාමාන්‍ය පුරවැසියන්ටද සිය මානසික චින්තන විප්ලවයට මාර්ගය පැහැදිලිව විවරව තිබේ. ජනපතිතුමනි, ඔබ තුමන්ගේ මේ strategy එක අප බලා සිටි වෙනසයි. ! දැන් රට හැදෙන බව විස්වාසයි මෙය දිගටම පැවතුනොත්...
චිරං ජයතු !


Saturday, November 23, 2019

[361] ඇඳුමද නිරුවත් වන තැන ……


විශ්ව විද්‍යාල සිසුන් යනු මා වසර පහළොවක් තිස්සේ ළගින් ඇසුරු කරන මගේ සේවා ලාභින්ය. ඉදින් එකම ගසක වැවෙන විවිද හැඩය ඇති පලතුරු මෙන් උන්ගේ විවිධත්වය සුන්දරත්වය අව්‍යාජ බව දකින්නට මම වාසනාවන්ත වෙමි. එය මහත් සේ විඳිමි.එනිසාම මේ වෘත්තියට මම ප්‍රිය කරමි.

එහෙත් මීට වසර හරියටම ගත්තොත් දහසය හමාරකට පෙර මමද ඔවුන් මෙන් ජීවිතයේ එළිපත්තේ හිටගෙන නිනව් නැතුව බලා හිටි විශ්ව විද්‍යාල සිසුවියක වීමි.

පේරාදෙණියට තේරුණු මා හට තිබු දැවෙන ප්‍රශ්න දෙකකි.

ඉන් පළමු ප්‍රශ්නය නම් දැන් මා ඉගෙන ගත යුත්තේ කුමන විෂයන්ද යන්නයි . 
දෙවන පැනය නම්  අයත් විය යුත්තේ කුමන කාණ්ඩයට ද යන්නයි. ඔවු ඔබ හිතුවා හරි , දෙවන පැනය නම් , මා rag විය යුතුද anti-rag විය යුතුද යන්නයි.

සැබවින්ම කිවහොත් මා rag වනවාද antirag වනවාද කියන තීරණය තීන්දු වන්නේ මට කොයි තරම් මා කැමති ඇඳුමක් ඇඳීමේ නිදහසක් ලැබෙනවාද යන්න මතයි. මන්ද ඒ වන විට මා කනින් කොනින් ආසා තිබුනේ rag වනවා නම් , ගැහැණු ළමුන්ට සාය ගවුම් විනා , මා මහත් සේ ප්‍රිය කරන පහසු දිග කලිසම් ඇඳිය නොහැකි බවයි . (යලිත් කියමි, මේ 2003 ය. දැන් මේවා සමහර විට වෙනස් ඇති ) .  ඉදින් සරසවියට පැමිණි මුල් සති දෙක මම antirag වීමි. මගේ පන්ති වල සිටි මහාමායාවේ මිතුරියන්ගෙන් සමීපතමයන් කිහිප දෙනෙක්ම පළමු intake එකෙන්ම (නැවෙන්) මගේ පීඨයටම තේරී සිටියෝය. එහෙත් සරසවියට දෙවෙනි ඉනිමෙන් ක්‍රීඩා කර පැමිණි මට ( 2nd Intake හෙවත් බෝට්ටුවෙන් ) සිදුවුයේ මුල් සති කිහිපයේ ඉංගිරිසි පන්ති ඇතුලේ තනි විමටය.

“ඇයි නංගි ඔයා විතරක් අපි එක්ක එකතු වෙන්නේ නැත්තේ ?” 
එකල විවේක වේලාවන්හි , උදැසන පන්ති පටන් ගැනීමට පෙර අප සොයා එන ජෙයෂ්ට  සහෝදර සහෝදරියන්ට , මුළු පන්තියෙන්ම rag නොවී තනි වූ මාව පැනයක් විය.


“ මට කැමති ඇඳුමක් අඳින්න ඕනි. මම කැමති නැහැ ගවුම්, සාය  අඳින්න” මම එක ජෙයෂ්ට සහෝදරියකට කිව්වා අද වගේ මතකය.

“පිස්සුද නංගි, ඔයාට කැමති ඇඳුමක් අඳින්න පුළුවන්" ඇය එසේ කිවය . එහෙත් එහි ඉතුරු හරිය ඇය නොකිවාය. “නිවාඩු දවසට"

“ෆ්රෙෂර්ස් සීසන් එකට විතරයි ඔයාල ඔහොම සායවල් අඳින්න ඕනි.” ඇය එකතු කලාය .


පන්ති භේදයක් නැති මට , එකා සේ එක රැලේ සිටින්නට, ට්‍රිප් යන්නට අරවාට මේවාට බැච් එකත් සමග එකට ඉන්නට තිබු ආසාවට ඉඩ දීමට අවකාශ ලැබුණි.ඉතින් මම පැත්ත මාරු කලෙමි. මොකද අප පීටයෙහි 'rag එක' යනු පොඩි බැනුමක් දෙකක් අසා ගැනීමට අමතර වෙනත් හිරිහැරයක් ඇති දෙයක් නොවූ හෙයිනි.( මෙහිදී මම rag එක කිසි සේත්ම අනුමත නොකරන බව කිව යුතුය. මා පවසන්නේ එදා , රැලත් සමග එකට සිටීමට පොඩි බැනුම , ලොකු බාධාවක් නොවූ බවයි. )

ඉදින් අපේ බියකරු rag සීසන් එක නිමා විය . 

“පිස්සුද , ලේක්චස් වලට අඳින්න පුළුවන් ගවුම් සාය විතරයි. වෙන ඒවා බැහැ “ 
බළලා එලියට පනිද්දී වෙල්කමුත් ඉවරය. කැම්පස් එක එපා වූ පළමු හේතුව එයම නොවුනත් , කැම්පස් එක එපා වූ ලොකුම හේතුව නම් එයය. ඇඳුම මට කැම්පස් ගමන වාතයක් කලේ මෙසේය…

ඉදින්ම , මට rag වුනු එකද , මේ මල වද ඇඳුමද එපාවී, අවසාන මම මට කැමති ඇඳුම් අදින්නටත්  , එහෙම අඳින අය සමග ඇසුරු කරන්නටත් පෙළඹීමි. හෙවත් මම සතුටින් semi-අල වීමි . අදද පැත්ත මාරු කල එකට දුක් වෙමි.


-----

දෙක - කාර්යාල ඇඳුම…

එය මම කාර්යාලයේදීත් මල කරදරයක් සේ සලකන ඇඳුමකි. 
සා… රි… ය !



කාට එය පහසුවක් වුවත් මට එය මල වාතයකි. විසාල ලැප්ටොප් බැගය , ඇතැම් විට දවස පුරාම හිටගෙන පන්ති කිරීමට සිදුවීම,කාර්යාලයේ ලිෆ්ට් එකක් නොමැති හෙයින් අර සාරි පොටවල්, රෙදි, ෆයිල්, ලැප්ටොප්  ඔක්කොම උණ්ඩි කරගෙන තට්ටු හතර පහක් නැගීමට සිදුවීම , පන්ති වල ප්‍රොජෙක්ටර් තනියම වයර් ගසා හයි කර අටවා ගැනීම, ලැබ් වල කුඩා පරතර අස්සෙන් එහා මෙහා යාමට සිදුවීම යනාදී කර්යාලමය කාරණාත් , ඇතම්  විට කාන්තාවකට ආවේණික පුද්ගලික කරණාත් සියල්ල සලකා බලන කල, මට එය දාර වදයකි. එනිසාම මම කාර්යාලයට ඔබින බටහිර කාර්යාල ඇඳුමට මාරු වීමි.

"මෙ , ළමයින්ට  උනත් පොඩි ගැම්මක් ගන්නේ ඔයාල සාරිය ඇන්දම …" 

"ටීච කෙනෙක් වගේ … අනේ හරි ෂෝයි …" 

 නැත, මට ඒ කමෙන්ට් වලින් වැඩක් නැත. මම දිගටම මගේ කාර්යාල ඇඳුම ඇන්දෙමි. ඉඳහිට, වැඩ අඩු දවසකට, විශේෂ අමුත්තෙක් එනවානම් , උත්සවයක් ඇත්නම් ,  එදාට සාරිය ඇන්දෙමි.

ඇතැම් ස්ටාෆ් මීටින් වල , සියලු කාන්තාවන් සාරි පටලා සිටින විට , බටහිර කාර්යාල ඇඳුම අඳි එකම එකී මම වීමි.



‘මේ සාරිය අඳිමු නේ ..බලන්න කොච්චර ලස්සනද පිළිවෙලද කියලා.?’ ඉල්ලීම් , යාප්පු, තර්ජන, ගර්ජන , තැන තැන කියවීම්, ඊමේල්, උපහාස .. ඔය කිසි එකකින් සැලුනේ මම නොවේ. 

එතැනදීද මම නැගු ප්‍රශ්නය නම් ,
‘කොහෙද කවුද කොතනද නීතියක් දල තියෙන්නේ , සාරිය කියන්නේ අනිවාර්ය කාර්යාල ඇඳුම කියලා‘ යන්නයි.

----

නැත , අද මා මේ ලියන්නේ මගේ අතීත කථනයක්  නොවේ .

----

මේ ලඟදි මම දුටු ඉතාමත් හාස්‍ය ජනක දෙයක් ඇත. තැන නම ගම වයස විස්තර නොකියමි. කරුණ පමණක් සැලකිල්ලට ගනිමු . 

එම කරුණ නම් ,  එක්තරා  වීශ්ව විද්‍යාලයක  සිසුන්, සම්පුර්ණ  කාර්යාල ඇඳුමෙන් සැරසි ඉගෙන ගන්නට ආ යුතු බවය .  ( එහි ගත කරන අවුරුදු දෙක තුනම ) ඒ දුටු මට බකස් ගා සිනා ගියේය. ලංකාව මේ යන්නේ කොයිබටදැයි සැබවින්ම මට සිනා පහල වෙයි.

තම අනාගත වෘත්තීය නිශ්චය වශයෙන්ම තීරණය වන විශ්ව විද්‍යාල හෝ වෘත්තීය අද්යාපන ආයතනයක එවැනි යුනිෆොමයක් ඇඳීම බරපතල ලෙස මට නොසිතෙයි. මන්ද එය ඔවුන්ගේ නිශ්චය අනාගත වෘත්තීය යුනිෆෝමය බැවිනි. නමුත් තොරතුරු තාක්ෂණය වැනි දේ ඉගෙන ගන්නා ,  ලෝකයේ මහා පරිමාණ සමාගම් පවා ඇඳුමට නිදහස සලසන ධාරාවන්ගේ ඉගෙන ගන්නා ළමුන්ට,  අත්දිග කමිස ඇඳ , කාර්යාල කලිසම් ඇඳ සපත්තු මේස දමා, උදේ අටේ සිට හවස පහ වනතුරු පන්ති කාමර , විද්‍යාගාර වල ඉගෙන ගත යුතු යයි කීම මොන විහිලුවක්ද? ගැහැණු ළමුනට sneakers / deck shoes/ sports shoes /covered shoes ද තහනම්ය.

ඩෙනිම් ඇඳීම තහනම්ය.අත් නැති බ්ලවුස ඇඳීම තහනම්ය. ස්පෝර්ට්ස් සපත්තුද තහනම්ය. සෙරෙප්පු තහනම්ය. දණහිසෙන් ඉහල කොටට ඇඳීම තහනම්ය. පැලීම තහනම් ය. කාර්යාල ඇඳුම් හැරුණු කොට හැම දේම තහනම්ය!!!! එනම් ගැහැණු ලමුන්ද කාර්යාල කලිසම සහ බ්ලවුසය  ඇඳ ලංකාවේ හැඳින්වෙන අඩි උස හෝ පැතලි ඔෆිස් සපත්තු හෙවත් sandals දමා ආ යුතුය ! 

මෙයද අප තරුණයින්ගෙන් බලාපොරොත්තු විය යුත්තේ? (සංවාදයට විවෘතය.)


ලෝකය වෙනස් මගක ගමන් ගනිමින් සිටියි.අද වනවිට ඇතැම් කාර්යාල පවා පහසු නිසි ඇඳුමට මුල් තැන දී කාර්යාල ඇඳුම් වලට සහන සලසා දී තිබේ. ඊට -  ඇඳුමට වඩා නිර්මාණශිලිත්වය, සිතීමේ නිදහස , පහසුව, දිගු වෙලාවක් ඇඳ සිටීමේ පහසුව , දේශගුණික කාරණා යනාදිය අගය කෙරේ. 

ලෝ ප්‍රකට ගුගල් වැනි සමාගම් ඉන් ඔබ්බටද ගොස් , ක්‍රීඩා සහ ගිමන් නිවීමේ පහසුකම් උපරිමයෙන් වෘත්තිකයින්ට සලසා දෙන්නේ , වැඩට මුල් තැන දෙන්නටත් , නිර්මාණශීලි චින්තනයට අවශ්‍ය නිදහස දෙන්නටත්ය. එයින් වෘත්තියේ කාර්යක්ෂමතාව ඉහළ දැමිය හැකිය.


කරුණු එසේ තිබියදී , රැකියාවක් කරන්නටවත් තවම සිතා  නැති මේ නව යොවුන් තරුණ තරුණියන්ට අපි "ඔපිස් ඇඳුමෙන් පන්ති වරෙල්ලා" යයි ගොන් තහංචි දමමු.

පන්තියක් යනු ඔපිස් එකක් නොවේ. නමුත් පන්තියක් යනු කෝලම් මඩුවක්ද නොවේ. පන්තියක් යනු බීච් එකක්ද නොවේ.පන්තියක් යනු නිදහස් ඉගෙනුම් පරිසරයකි. පන්සලක් යනු පුද බිමකි. පාටියක් යනු විනෝදාස්වාදය සපයන තැනකි. කාර්යාලයක් යනු එක අරමුණක් කරා පිරිසක් වෙහෙසෙන මෙහෙයවෙන තැනකි. 


මේ එක එක අවස්ථාවන්ට සුදුසු ඇඳුම් තිබේ. අප අද්යාපන ආයතන වශයෙන් කියා දිය යුත්තේ

- ගෞරවය යනු ඇඳුමෙන් පමණක් මවා පෑ ගත දෙයක් නොවන බවත්ය
- නමුත් ඇඳුම යනු නොකෙලෙසා ගත යුතු first impression එකක් බවත්ය
- තැනට සුදුසු ඇඳුම තෝරාගැනීමත් සිය නිර්මාණශීලිත්වයෙන් කොටසක් බවය
- තමන්ගේ අනන්‍ය ඇඳුම් විලාසිතාවන් සොයා ගැනීමද, සිය බුද්ධිය මෙහෙයවා කල යුතු එක්තරා සුවිශේෂි හැකියාවක් බවය
- තැනට නුසුදුසු ඇඳුම් ඇන්ද විට තමන් කොතරම් විහිළුවක් වනවාද යන බවය

පන්සලටද , ගෙදරටද , පාසලටද , පන්තියටද , විශ්ව විද්‍යාලයටද , රැකියාවටද , පාටියටද , එකම යුනිෆෝමය අඳින්නට බ්‍රොයිලර් කිරීමෙන් අප කෙලෙසා දමන්නේ , නිදහස් මනසින් සිතන කොලු කෙල්ලන්ගේ නිදහස් නිවහල් චින්තනයයි. අනාගතයයි. ඔවුන්ගේ ස්වයං තීරණ ගැනීමේ අයිතියි, හැකියාවයි.මොට කරන්නේ ඔවුන්ගේ නිසි තීරණ ගැනීමේ හැකියාවයි. 


අනෙක සිතා බලන්න , කාර්යාල ඇඳුමක් ඇඳගෙන, බර පාසල් බෑගයක් දමාගෙන ( ලැප්ටොප්, පොත් පත් , දේශන සටහන් අරගෙන ) පාරේ යන එකත් ඇත්තටම විහිළුවක් නොවෙයිද? 

ඕනෑවට වඩා නීති තහංචි ඇනුම් බැනුම් , රැවුම් ගෙරවුම් දමා ඔවුන්ව සර්කස් රවුමක වටේට යන බියගුළු සිංහයින් කිරීමද අධ්‍යාපනය කියන්නේ ? නීති අවැසිය. පද්ධති අවැසිය. නමුත් ඒවා සමබර විය යුතුය.

හැම තරුණයෙක්ගේම , තරුණියක්ගේම සිරුරෙහි, කතාවෙහි, ගමනෙහි , චින්තනයෙහි ,  තමන්ට අනන්‍ය රිද්මයක් තිබේ. ඔවුන්කගේ සිතෙහි ප්‍රිය colour කෝඩ් එකක් තිබේ. ඇඳුම් විලාසිතාවන් තිබේ. ඒ විචිධත්වය නම් , ඔවුන්ගේ අනාගතයයි. ඒ විවිධත්වය ඔවුන්ගේ නිර්මාණශිලිත්වයයි. ඒ විවිධත්වය නම් ඔවුන්ගේ අයිතියි!!! එය වල්බුරු නිදහසක් නොකර ගත යුත්තේ කෙලෙසද යන්න කියාදීම අපේ වගකීමයි. 

හැට පැන්න අධ්‍යාපනඥයින් හට මේවා නොතේරේ. දශක තුන හතරකට එපිට තිබු ලෝකය අද වෙනස් වී තිබේ. මේවා ඔවුන්ට වටහා ගත නොහේ.

ඕනෑම පුද්ගලික විශ්ව විද්‍යාලයකට සාමාන්‍ය නීති රීති මාලාවක් යටතේ , එහි එන ළමුන්ගේ ඇඳුම් පැළඳුම් කරෙහි යම් බලපෑමක් ඇති කිරීම වරදක් නොවේ. මුහුදු වෙරළට යන්නාක් මෙන් flip flop දැමීම , පාටියකට යන්නාක් මෙන් දිලිසි දිලිසි පැමිණීම , ඉගෙන ගන්නවුන්ද, උගන්න අයගේද අවධානය කැඩී බිඳී යන ලෙස ඉතාමත් ඇසට අපහසු  වර්ණ, මෝස්‌තර යනාදිය මෙහිදී අනුමත කිරීමක් කිසි සේත්ම නොකෙරේ. එවන් හර පද්ධතීන් අවශ්‍යය (පහල පින්තුර බලන්න) . මා දකින , මා යනෙන බහුතරයක් ආයතන වල මේ සමබර නීති මාලාවන් දැනටමත් තිබේ. ඒ පන්ති බලන්නට ලස්සනය. එකම ගහක හැදෙන පලතුරු ගෙඩි දහයක් පහළොවක් ගතහොත් , එකම පලතුරු වර්ගයේද ගෙඩියෙන් ගෙඩියෙහි අනන්‍ය හැඩයක් තිබේ.එයයි සුන්දරත්වය! එයයි විවිධත්වය. අප මේ ළමුන්ට ඉගැන්විය යුත්තේ එකම වගේ රැලකින් එකෙක් වීමටද , තමන්ගේ අනන්‍යතාවය සොයාගැනීමටද ? 


 සාමාන්ය මනසින් සරසවි සිසුන් කෙරෙහි සලකන බහුතරයක් ආයතන වල , සරසවි සිසුන්ගේ ඇඳුමෙහි ඉගෙනුමට ඇති උපයෝග්‍යතාවය හුරු කෙරෙයි. ගම්‍ය වෙයි. නමුත් එවැනි මොලේ ඇති ආයතන කිසි විටක , ළමුන්ට කාර්යාලයට අඳින අත  දිග කමිසයෙන් කලිසමෙන් සැරසී , කාර්යාල සපත්තු දමා,  පන්ති ආ යුතු යයි නියෝග නොකරයි. 


බැරි වෙලාවත්ය කවුරු හෝ , යම් පමණකට අසංවර ඇඳුමක් ඇන්දද , එයට ප්‍රතිචාර දක්වන්නේ බොහොම මානුෂික ලෙසිනි . සිසුවාගේ ආත්ම විස්වාසය නොබිඳෙන අයුරෙනි. පුද්ගලික මට්ටමෙන් අවවාද දීමෙනි. 

ඔපිස් යන්නට පුරුදු කරන්නට නොවේ තරුණ තරුණියන් විශ්ව විද්‍යාලයකට එන්නේ. ඔවුන්ට කාර්යාල ඇඳුම හුරු කල හැකි අවස්ථාද සරසවි තුල නැතිව නොවේ. ඇතැම්විට අපද , presentation, viva වැනි අවස්ථා වල , ඔවුන් ගුරුවරයාට පරිභාහිරව තවත් panel එකක් මුණ ගැසෙන නිසාත් , අප කාර්යාල වෘත්තිමය ඇඳුමකින් සැරසී presentation කරන්නැයි පවසමු. interview simulations (රැකියා සම්මුඛ පරීක්ෂණයක රඟ පෑ යුතු ) අවස්ථාවල අප සම්මුඛ පරීක්ෂණයකට යා යුතු ඇඳුමකින් සැරසෙන්නට උපදෙස් දෙමු. නමුත් හැම පන්තියකටම එලෙස ආ යුතු යයි , ඉන් පසුව ඔවුන් කාර්යාලයක මෙන් පන්ති කාමරයෙහි professional විය යුතු යයි මට උගැන්විය හැකිද ? මට ඊට වැඩ මගේ සිසුන්ට නිදහස දෙන්නට අවැසිය . ඔවුන් ඊට වඩා ක්‍රියාකාරී විය යුතුය . 

ඔපිසි වල වැඩ කිරීමෙන් එහා ගිය ව්‍යවසායකත්වයක් ඔවුන්ට කෙලෙස නම් ලබන්නද මේ අට පහ ඔපිස් ඇඳුමට බ්‍රොයිලර් කිරීමෙන්?

විශ්ව විද්‍යාලයක් යනු නිදහස් ඉගෙනුම් කලාපයකි. ළමුන් උදේ සිට හවස් වනතුරු දේශන දෙක තුනකට ඔට්ටු වන , ලැප් ටොප් උස්සා ගෙන එහෙ මෙහෙ යන , විශ්ව විද්‍යාල සිසුන්ට තමන්ට පහසු සංවර ඇඳුමක් ඇදීමට අයිතිය ලැබිය යුතුය. නමුත් එය වල්බුරු නිදහසද නොවිය යුතුය. setting an example හොඳම ක්‍රමයය ! මේ ගල් යුගය නොවේ. විසි එක වැනි සියවසය !


ළමෙකුට තමන්ගේ dignity එක up වන්නේ දාර දිලිසෙන සපත්තු සහ කලිසම් කමිසයෙන් පන්තියට එන විට නම් , මේ රටේ බෝම්බ පිපිරිය නොහැකියි. මේ රටේ අවිනීත ලෙස සඟ සසුනට ගරහන , වියත් පැසුණු දෙසපාලකයින්ට  , වියතුන්ට ගරහන , යුටියුබ් වීරයින් බිහිවිය නොහැකියි.

තමන්ට සුදුසු ඇඳුම, පාට , දිග පල , උස කොට , හැඩය තෝරාගන්න එකත් මිනිසෙකුගේ රසඥතාවය මැනිය හැකි මිනුමක්. මම නම් එය තදින්ම විස්වාස කරමි. 

බාච්චු වගේ කලිසමකුත් බාච්චු වගේ කමිසයකුත් නොගැලපෙන බවත් ( ගලපා ගත හැකි විදිද නැතුව නොවේ) , ලංකාවේ දුඹුරු හමට ගැලපෙන්නේ earthy හෙවත්  පොලොවට සහ ගහ කොළට ආසන්න ස්වභාවික පාට බවත් දැන ගන්න එකත් බුද්ධියේ කොටසක් බවත් මම සිතමි. . 


තැනට සුදුසු දේ සෙන්ස් කරන්න ගුරුවරුන් වන අපි කියා දිය යුතුයි. නමුත් , ඔවුන්ගේ විචිධත්වයට , අනන්‍යතාවයට , ඇඳුම සංවර නම් , පන්ති කාමරයකට සුදුසු නම් , අප ගරු කල යුතුයි. ගැහැණු ළමුන් ඇතැම් විට sneakers / sports shoes අඳිති. එහි ඇති වරද කුමක්ද? ඇතැම් ළමුන් පයෙහි කුණු දුවිලි වැකෙන sandals වලට හුරු නැත.  හොඳ වර්ගයේ boots හෝ sports සපත්තු කොතරම් පහසුද , ඇවිදීමට කොයි තරම් මනාද යන්න අඳින ඇය දනිති. පන්ති කාමරයකට එහි ඇති වරද කුමක්ද? 

සුදු කළු යනු ලෝකයේ ඇති එකම පාට යයි ළමුන්ගේ මනස කොටු කරන ගොන් හරක් බවට උගන්වන අපි සහ උගන්වන ආයතන පත් විය යුතුද ? 

මම ඉල්ලීමක් කරමි.  මගේ මිතුරු ගොන්නෙහි , මෙරට / පිටරට ඉතා ඉහල තනතුරු හොබවන , ඉතා උගත් මිතුරු මිතුරියන් සිටිති. පිටරට විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්න මෙන්ම උගන්වන අයද ඇත. හැකිනම් ලෝකයේ විශ්ව විද්‍යාල වල සරසවි සිසුන්ගේ ඇඳුම් පැළඳුම් රටාවන්ගේ පින්තුරු මෙම ලිපියට එක කරන්න. එය ඔබට මට අපට හැමටම හොඳ ඉගෙනීමක් වේවි. ස්තුතියි. 



Thursday, November 07, 2019

[360)] පලමු ඇස, දෙවෙනි ඇස සහ තෙවෙනි ඇස !


මේක හරිම අපූරැ සිද්දියක් . අද . මේ මොහොත ,  සමහර විට ආයිත් කවදාවත්ම හසුකරගන්න බැරි වෙන , රෑපාවලියක එකතුවක්. 

තැන : දුම්රිය නැරඹුම් මැදිරිය 
දවස : නොලිය ඉන්නම්. පුද්ගලිකත්වය රැකිය යුතු නිසා.... 


අංක එක පින්තුරය -
එක්තරා මහත්මයෙක් තම ජංගම දුරකතන කැමරාවට, දැසට පෙනෙන කොලපාට සහ දුම්රිය ගමන හසු කරගන්නවා 


අංක දෙක පින්තුරය -
ඒ හරියෙම තව මහත්මයෙක් තම ජංගම දුරකතනයෙන් සෙල්ෆියක් ගන්නවා 

ජවනිකාවේ , මේ මම , පසුපස අසුනක ඉඳගෙන මේ හැම දෙයක්ම දෑසින් විඳගන්නවා විතරක් නොවෙයි , එය මගේ ජංගම දුරකතනයට හසු කරගන්නවා.  ඇත්තටම කිව්වොත් මගේ පින්තුරය පින්තුර ගොඩක්. ඇස් ගොඩක් ! 

නැහැ කතාව ඉවරනැහැ . 

මට එහා අසුනේ , ලස්සන තරැණ කාන්තාවක් , ඇගේ සම්පුර්ණ කොණ්ඩයම සුදු කරලා (grey hair කියන විලාසිතාව)  . ඇයට යාබද අසුනේ ඉන්න තරැණ කාන්තාව ඇගේ  කොණ්ඩයේ අතරින් පතර මතුවෙන සුද වහගන්න කොණ්ඩය තද කළු පාටින් පාට කල බව , කන් පෙති වල , නලල් තලයේ ඉතුරැව ඇති ඩයි වලින් අපට පෙන්නුම් කරනවා. 

මම අර ඡායාරෑප ගන්නා අයවලුන් ඡායාරෑපයට නගන්න උත්සුක වෙමින් ඉන්න අතරතුර,  අර තරැණ සුදු කොණ්ඩ කත, දෑත් බැඳගෙන දෑස් පියාගෙන නිසලව ... භාවනාවක ! 

කවුද දන්නේ , සිවුවැනි ඇසක් , මගේ පසුපස අසුනක සිට මේ සම්පුර්ණ නාටකයම නරඹනවද රෑගත කරනවද කියලා. 
බාගදා අසුනක සිට නොව , කවුද දන්නෙ වහලය මත හිදගෙන වෙන්නත් පුලුවනි ! 

ලෝකයක් ඇතුලේ ලෝකයක්. ඒක ඇතුලේ තව ලෝකයක් ... වෙවී ... අපි පුංච් කුහුඹුවන් යයි සිතන්නට පොලඹවන "Horton Hears a Who" චිත්‍රපටය  මට මතක් වෙනවා..  හැම ඇහැකින්ම දකින විශ්වය අනෙකාගේ ඇසින් දකින විශ්වයට වඩා වෙනස් අනන්‍ය හරස්කඩක් නොවේද ? එසේ බැලුවහොත් අර හරිතතුරැ පත් දකින දැසට පෙනෙන විශ්වයත් , ඒ කැමරා කාචයට පෙනුන විශ්වයත් ,   මට පෙනුන විශ්වයත් කොතරම් වෙනස්ද...ඇත්තටම කිවහොත් අර දෑස පියාගෙන සිටින කාන්තාව දකින්නේත් විශ්වයක් නොවේද ?

ලෝකය තනි යායක්ය  කියා සිතෙන හැම වෙලාවකම මට ඒ එක්කම හිතෙන දෙයක් තියනවා .. ලෝකය හරියට කැලිඩෝස්කෝප් (kaleidoscope) එකක් වගේ , අනන්ත වූ රෑ රටාවන් එක් එක් දෑසට මවා පෙන්වන ... බහුරෑපේක්ෂක තල අනන්ත ගානක එකතුවක් ... 

එවන් ලෝකයට මහත් වූ සෙනෙහසින් ....

දිල්ශාරා වීරසිංහ... 
2019-11-07

#උණවිකාරේලියනපද

Monday, September 16, 2019

[359] ආද⁣රේ දැනෙන්නෙ නැත්තන් උන්ට උගන්නන්න යන්න එපා

හිතේ ආදරේ නැතුව කෑමක් ඉව්වොත් ඒක රස නෑ. එහෙමම තමයි හිතේ ආදරයක් නැතුව ලමයින්ට ඉගැන්නුවත් ..

අපි උගන්වන කොල්ලො කෙල්ලො හරි බුද්ධිමත් . උන් සමහර වෙලාවට පොත පත, අන්තර්ජාලය, පතුරැ යන්න කියවලා නරඹලා අපිටත් වඩා රට ලෝකෙ ගැන තොරතුරැ දන්නවා . ඒක ගැන අවංකවම සතුටු වෙන්නයි ඕන.

උන්ට බොරැව දැනෙනවා. පෙලක් වෙලාවට, උන්ගෙ ඇස් අපට යොමු වෙලා , කන් පාඩමට සුසර වෙන අතරම ඇඟිලි තුඩු වල ගූගල් සෙවුම් යන්ත්‍රය කිතිකැවෙනවා. කරන්න දෙයක් නෑ. ඒකෙ වරදක් මට පෙනෙන්නෙ නැහැ. ඒවට අකමැති නම් හොඳම දේ , යුග ගානක් අතීතෙට ටෙලිපෝට් වෙලා උගන්නන රස්සාවට යනඑක. එක්කො හොඳට ලැහැස්ති වෙලා පන්තියට යන එක. නොදන්න දෙයක් ඉඳහිට ලමෙක් ඇහුව කියලා offend වෙනවට වඩා ඒක handle කරන්න ක්‍රම සහ විධි තියනවා. ව්‍යාජ තරහක් පෙන්නනවට වඩා genuine වෙනවට ලමයි කැමතියි.

උන්ට බොරැ ආලෙත් අවංක වෛරයත් දෙකම දැනෙනවා. ද්වේශ සහගත හිනාවත් , ආදරේ පිරිච්ච ගෙරවුමත් උන්ගේ හද පතුලටම හරියටම වදිනවා. අවංක ආදරේ නොදැනෙද්දි, ඇස් දෙකෙන් බල බල කන් දෙකෙන් පාඩම අහන් ඉද්දි , උන්ගෙ හදවත් , පොත පත අකුලගෙන අපට අතවනලා ඉබාගාතේ යනවා.

මේ හැදෙන පරම්පරාවෙ කොල්ලො කෙල්ලො පාට උලාගෙන , ෆ්‍රෙන්ඩ්ෂිප් බෑන්ඩ් දාගෙන , කොන්ඩ පාට කරන් හිටියාට උන්ගෙ ඇතුලාන්තෙ ඉන්නෙ කිරට ඇඬුවාට වඩා ටිකක් විතර මෝරපු , ඒත් වැඩිහිටියන්ගෙ ආදරය කරැණාව හොයන හුරතල්ලු. ඒ හුඟ දෙනක්ට කන්න බොන්න හැම් බේකන් හම්බුනාට , ඊබේ යන්න අම්මගෙ තාත්තගෙ ක්‍රෙඩිට් කාඩ් එක හම්බුනාට , ක්‍රෙඩ්ට් එකටවත් අම්ම තාත්තා එක්ක ලඟ කාලෙක හුරතල් වෙන්න ඇපොයින්ට්මන්ට් එකක් ලැබිල නැති බව සමහර විට දැනෙනව.

සමහර වෙලාවට උන් රෑප පෙට්ටිවලට, පරිගණකයට, ජංගම දුරකතනයට ඇබ්බැහි වෙලා ඉන්නෙ , කරන්න වෙන දෙයක් දන්නැති නිසා. ජීවත් වෙන විදිය කියල දෙනවට වඩා වැඩිහිටියො හැමෝම උන්ට ලබා දිය යුතු උත්කෘෂ්ට ලෝකෙ වෙනුවෙන් අනවරත තරඟයක නිරත වෙන නිසා තරැණ වයසෙ කොල්ලොකෙල්ලන්ට ජීවත් වෙන කලාව ඉගන වෙන්නෙ ගුගල් දෙවියන්ගෙ පහනෙන් තමයි.

දෙමාපියො ඔය තරඟෙට වැට්ල ඉන්නෙ , වත්කම් , වාහන , ඉතුරැම් තැන්පතු , මේව හම්බ කරන්නෙ, තමන්ට ගොඩ හදා ගන්නවට වඩා, ඒ කොල්ලො කෙල්ලන්ටම ජීවත්වෙන්න ඉඩ තියන්න. ඉතින් වරදක්.කියන්නෙ කොහොමද..

ගුරැවරැන්ට නම් , පාස් රේට්ස් , ප්‍රතිපල , කොල පිරවිලි , සිලිබස් කවර් කෙරිලි මේවයින් ගැලවිලා නිදහසේ උගන්නන්ට දෛවය ඉඩ හදල නැති නිසා ඒවටත් වෙලාව ඕන. ලැබෙන වෙලාවෙ අනම් මනම් වලට වෙලාව බොහොම හිඟයි.

ඒත් . ඒත්.. මේ හැම සටනකම අවසානයක් පරාජයක්ම වේවි, මේ ගම්මිරිස් ඇට වගෙ වැඩ පුලුවන් කොල්ලො කෙල්ලො , අන්තිමේට ජීවත් වෙන්න ඉගන ගෙන නැතිනම්...

ඔන්න ඔහේ විනාඩියක් දෙකක් , උන්ට ජීවත් වෙන කලාවත් කියල දෙන්න පුලුවන්ද බලන්න. ලමයි කියන්නෙ මෝඩයො කියල හෙම හිතෙනවා නම් , අනෙ අම්මේ , උගන්නනන රස්සාව නම් කරන්න එපා. මොකද අපි ඒ රස්සාවට යන්නෙ ඔවුන්ව සංවර්ධනය කරන වගකීම වෙනුවෙන් තමයි.

උන් එක්ක හිත කොනක හරි තරහක් තියනවනම් , ඒ මුස්පේන්තුව එක්ක උගන්නන්න යන්න එපා. උන්ට ඒක දැනෙනවා. සමහර විට අපිටත් වඩා ඒක එයාලට දැනෙනවා.

මේ ලිව්වෙ පරමාදර්ශි පෝස්ට් එකක් නෙවෙයි. අපි අතිනුත් ඔය අඩුපාඩු වෙලා තියනවා. විශේෂයෙන්ම නොගැලපෙන රාජකාරි කරට අර ගත්තාම .. මොලේ පෑදුනාම , පෙරට වඩා නිදහස්ව දේවල් පේනවා දැනෙනවා. ඒ වගෙම මේ ලිව්වෙ කාටවත් අරමුණු කරලා නෙවෙයි. පැය තුනක් නිදහසේ ඉඳගෙන යන විවේකයට යටි හිත බොහො සිතුවිලි අවදි කරනවා. ඒ අවදි මනස අලුත් වුනා මේ විඩියෝව දැක්කාම !


Friday, August 23, 2019

[358] The Magic behind "Small Things"





Once I was too small ... I had big hopes about life . Then the loosing era came - I started loosing big things , life was seamlessly difficult to let go the big things .. But I had no option otherthan looking for happiness from little things . Its when I started my blog, my passion for travel , collecting books and helping others without expecting anything in return. Life had less hopes on big things , but happiness was always around 🌿

As JK Rowling said once , I too was in an abusive commitment ten years ago. It was both mental , physical as well as verbal. True that a version of Harry Potter isnt written yet , but then I have learned the lesson of appreciating little things and how big the true happiness they brought to my life .

I had an abusive youth and a childhood, I never wanted to 'keep sake' anything which reminds me those times of tears. So till today , I have a finger countable memories of my past , and uncountable lot of boooks. They were my friends , my mentors and the tiny creatures who made me teleport to an imaginary world of heros, heroines and fairy tales .




🔑 One fine day, a few years ago , an angel appeared , with a backpack full of mementos 'To remember the first day' , and a bunch of red roses 🌹 🌹 . The moment I stood at him , he held my hand , and walked to the nearest bench that he could sit with me . Without even taking a momet to breathe , the backpack got opened and he started giving the gifts one by one.for a moment it reminded me of a magician pulling rabbits from a hat, applause 👏 from audience ... and I was getting more and more surprised. Swiss knives , pendants , card holders , pens , books , chocolates . Revealing each gift looked like a dream comet true to him.. There was an order of his presents. From the least surprised to the most . his magic never seemed to end neither my surprise! . then he reminded me to keep all entrance tickets , chocolate covers , etc etc to make a scrap book of our memories. All seemed new to me , from collecting memories and and treating the little things as keep sakes ! Something was going to happen! Well.. the story would go on and on and on.let me not.. this is how my journey of small things began ❤ I started collecting little things , little corners of mementos , scraps books to collect memories and I knew the life was going to be the life I dreamed of .

So from the day my adorable magician gifted me small things , me and my cat loving magician started building our own little empire , full of mysteries only known to us , making memories only shared among us ... our little nest is now full of "little things" and we cherish them all the time. Im sure magician gives no permission to post a snap of our secret scrapbook, but he was so generous to help me get the pictures of the tiny little items in our fairy garden !


මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->