Sunday, July 28, 2019

[357] "Gilrs Like You" නටන නංගිලාගේ වත ගොත



හඳ දිහා බැලුවම ඇඟිල්ලේ ඇද හොයන එක කරදර පුරුද්දක්. ඒත් හඳ පෙන්නුවම එකේ හැඩයෙන් සැනසීමට පත් නොවී හඳ ඇතුලේ තියන ආවාට , ගල් මුල් , වන වදුලු හෙවුවම, පිටින් බැලුවට වඩා අමුතු අමුතු ලස්සනක් හොයා ගන්න පුළුවනි. හා නැද්ද ? හැබැයි මේ මමම තමයි දශකයකට ඉස්සෙල්ල සමනලයෙක් පෙන්නුවම එයාගේ තට්ටේ වයිරන් හොයන්න ගිහිල්ලා සමනලයා කියන්නේ බූල් පිරිච්ච කැත අවලස්සන සතෙක්ය කියලා හිතෙන්න ඉඩ තියනවය කියලත් ලොකු ලොකු කතා ලිව්වේ. ඒ කතාව නම් ජාත්යාන්තරේට ගියා . ( නෑ මම කිව්වේ දිනමිණේ ගියා ) ඒ වුනාට අද මම ,මං කිව්වා දේම බොරු කරනවා. අද හදන්නේ හඳේ ගල්මුල් හොයන්න.


කැරකෙන වීඩියෝ පසුතලයක අනංග තරුණ සංගීත බඹරෙක් එක්ක හරිම රූබර  නාඹර ලස්සන සුකුමාර ගැහැණු ළමයි ටිකක් නටනවා. ටිකක් බලද්දී කැරකිල්ලකුත් හැදෙනවා . එහෙන් මෙහෙන් ජෙනිෆර් (Jeniffer Lopez)  අක්කවත් දැක්ක නිසා , මට කුතුහලයක්  එනවා මොකක්ද මේ ගැහැණු ළමයි නටන කතන්දරේ කියලා. 

පස්සේ හොයල බැලුවම ලෙහෙසි නැහැ වැඩේ , ඉන්න crew එක දැක්කම ! ඉතින් මම අන්තර්ජාලය පීරලා හොයන්න ගත්තා පලවෙනි නංගිගේ ඉඳන් විස්තරේ ..මම මේ කියන්න යන්නේ අපි හැමෝම අසාවෙන් බලපු Girls Like You වීඩියෝවේ වත ගොත 



ඔන්න බලන්නකෝ ඉන්න කට්ටිය

Camila Cabello - කියුබන් - ඇමෙරිකානු ගායිකාවක් සහ ගීත රචිකාවියක්. Fifth harmony සංගීත කණ්ඩායමේ සාමාජිකාවක්. Hotel Transyvania චිත්‍රපටයේ “Im in love with a Monster” කියන මගේ ප්‍රියතම සින්දුව කියන්නෙත් මේ කියන 5th Harmony සංගීත කණ්ඩායම තමයි J



Phoebe Robinson – ඇමෙරිකානු හාස්‍ය රංග ශිල්පිනියක් , පොත් කතුවරියක්



Aly Raisman - ඇමෙරිකානු ජිම්නාස්ටික් ක්‍රීඩිකාවක්, නිරූපණ ශිල්පිනියක් , ඔලිම්පික් ක්‍රීඩා නියෝජනය කල ඇමෙරිකානු ජිම්නාස්ටික් කණ්ඩායම් නායිකාවක් , ඇය ඇඳන් ඉන්න ටි ෂට් එකේ පින්තාරු කල "Always Speak Your Truth". වදන ඔබ දුටුවද ?



Sarah Silverman - හාස්‍ය රංග ශිල්පිනියක් - නිකම්ම රංග ශිල්පිනියක් නොවෙයි , වර්ගවාදය , ලිංග භේදය , ලිංගිකත්වය සිය රංග මාතෘකාවන් වශයෙන් නිරුපනය කරන ශිල්පිනියක්. ඒ විතරක් නොවෙයි ඇය පොත් රචිකාවක්



Gal Gadot - මේ නම නම් අහල ඇති නේද - ඇය ඉශ්‍රයල ජාතික නිරුපිකාවක් වගේම නිලියක් . 2004 Miss Israyel වුනෙත් ඇය තමයි



Lilly Singh - ඉන්දියානු සම්භවයක් ඇති , කැනඩා ජාතික යුටිබ් ශිල්පිනියක්, හාස්‍ය චරිත නිරූපණ ශිල්පිනියක් , රුපවාහිනී නිවේදිකාවක් . Superwoman නමින් හැඳින්වෙන්නෙත් ඇය ම තමයි . ඒ විතරක් නෙමෙයි 2017 නිව්යෝක් අදායම් වාර්තා තැබූ How to be a Bawse: A Guide to Conquering Life නම් පොත ලියුවෙත් ඇය ම තමයි ලෙහෙසි නැහැ නේද .මේ ඔක්කොම කරනේ තවමත් 31 වියැති ඇයයි .



Amani Al-Khatahtbeh - ඇය තාක්ෂණ ක්ෂේත්‍රයේ ව්‍යවසයිකාවක් වගේම , පොත් රචිකාවියක්. ඉස්ලාම් ජාතික කාන්තාවන් වෙනුවෙන් හඬ නගන ඇය Forbes 30 Under 30 අතරටද තේරී ඉන්න කාන්තාවක්.



Trace Lysette- ඇය ඇමෙරිකානු ජාතික නිලියක්. ඇගේ විශේෂත්වය තමයි , ඇය ලිංග විපර්යාසයකට ලක්වූ කාන්තාවක් වීම සහ ඇය ලිංග විපර්යාස වලට භාජනය වූ කාන්තාවන් අතරින් ප්‍රථම වරට ටෙලිවිශනයේ එසේ නොවන චරිතයක් රඟ පෑම



Tiffany Haddish- The Last Black Unicorn නමින් පොතකුත් ලියා ඇති ඇය නිරුපිකාවක් , නිලියක් වගේම ගායිකාවක්.



Angy Rivera  - ඇය කොලොම්බියාවේ ඉපදුනු , ඇමෙරිකාවට පැමිණි නීති විරෝධී සන්ක්‍රමනිකයෙක්. ඇය Ask Angy නමින් කොලමක් පවත්වා ගෙන යන්නේ මෙවන් නීති විරෝධී සංක්‍රමණික පිරිස් වෙනුවෙන් හඬක් නැගීමටයි. ඇයගේ ජිවිත කතාව අලලා “Don’t Tell Anyone” නමින් චිත්‍රපටයක්ද නිපදවා තිබෙනවා. මෙම වීඩියෝවේ ඇය ඇගේ ක්‍රියාකාරී එකමුතුවේ, “ Undocumented Unafraid Unapologetic” යනුවෙන් පින්තාරු කල , නිල ටි ෂටය හැඳ  සිටිනවා ඔබ දකින්න ඇති. ඒ විතරක් නෙවෙයි , ගායක Levine ද ඇය සමග එවන් ටි ශටයක් හැඳ ඉන්නවා



Franchesca Ramsey - රංග ශුල්පීයක් , යුටියුබ් තරුවක් , ක්‍රියාකාරිනියක් , ජාතිවාදය පිටුදැකීම වෙනුවෙන් නොබියව කතා කරන ක්‍රියාකාරිනියක්



Millie Bobby Brown, - ටයිම් මැගසිනය මගින් නම් කල ලාබාලතම ලෝකයේ influencers වාර්තාව හිමි ඇය ඉංගිරිසි නිලියක්.Unicef  තානාපතිවරියක් හැටියටත් ඇය කටයුතු කරනවා



Ellen DeGeneres - ඇය ඇමෙරිකානු ටෙලිවිශනයේ නිලියක් , නිවේදිකාවක්, නිෂ්පාදකවරියක් 



Jennifer Lopez - ජෙනිෆර් අක්කා ගැන නම් නොදන්නේ කවුද ? ඒ නිසා සරලවම මෙහෙම කියා නවතින්නම් - ලතින් ඇමෙරිකානු නිලියන් අතරින් ලොව වැඩිම මිලක් අය කරන නිළිය ඇයයි



Chloe Kim - ඇමෙරිකානු හිම මත ලිස්සා යන ක්‍රීඩිකාවක් . 2018 වන විතත් 18 වියැති ඇය , එම වසරේ සිසිර ඔලිම්පික් උළෙලේ , එම ඉසව්වේ රන් පදක්කම් ලභිනියයි. ලාබාලතම රන් පදක්කම් ලභිනියගේ ලෝක වාර්තාවටද හිමි කම් කියන්නේ ඇයයි



Alex Morgan - ඇමෙරිකානු ජාතික කණ්ඩායම නියෝජනය කරන සොකර් ක්‍රීඩිකාවක්.



Mary J. Blige-  ඇය ඇමෙරිකානු ගායිකාවක් , ගීත රචිකාවක් , නිලියක් වගේම , සුභ සාධන ක්‍රියාකාරිනියක්



Beanie Feldstein- ඇමෙරිකානු නිලියක් . ඇය වඩාත් ජනප්‍රිය වුනේ Neighbours- 2 ටෙලිවිෂන් කතා මාලාව නිසයි.




Jackie Fielder- ඇය ඇමෙරිකානු ජාතික ක්‍රියාකාරිනියක් . උතුරු ඩැකෝටා වේ තෙල් පිරිපහදුවෙන් සිදුවන ජල හානිය පිලිබඳ විරෝදය පෑම් වෙනුවෙන් ඉතා ක්‍රියාකාරී දායකත්වයක් දුන් කාන්තාවක් . "Divest, Water is Life" නම පින්තාරු කල ටිෂටයෙන් කියවෙන්නේ ඇගේ එම දායකත්වයයි.



Danica Patrick-  ඇය වෘත්තීය කර රේසින් වරියක් , ඇය ඇමෙරිකානු ඉතිහාසයේ එම අංශයෙන් දක්ෂතම වෘත්තියවේදියෙක් වශයෙන් නම රැඳු කෙනෙක් . කාන්තාවක් විසින් ජය ගත් එකම ඉන්ඩිකා Indica  රේසින් තරඟය සටහන් වන්නේත් ඇය ඉදිරියෙන් .



Ilhan Omar - ඇය 36 වියැති , සෝමාලි - ඇමෙරිකානු තරුණියක්. දේශපාලන නායිකාවක්. මිනේසොටා ප්‍රාන්තයේ පස් වෙනි දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්‍රථම සුදු ජාතික නොවන කාන්තාවයි .
Elizabeth Banks - ඇමෙරිකානු ගත කතුවරියක් , රංග ශිල්පිනියක් , අද්යක්ෂවරියක් සහ  චිත්‍රපට නිෂ්පාදිකාවක්



Ashley Graham - ඇය ඇමෙරිකානු නිරුපිකාවක් , සිහින් සිරුරක් නැති නමුත් ජනප්‍රිය සාර්ථක නිරුපිකාවක් වශයෙන් ප්‍රකට චරිතයක්. ඇය ලෝකයේ ඉහලම තලයේ සන්නාම වෙනුවෙන් මෙන්ම ඉහලම තලයේ සඟරා වෙන්වෙන් පෙනීසිටි සාර්ථක කාන්තාවක්



Rita Ora - බ්‍රිතාන්‍ය ජාතික ගීත ගායිකාවක් , රචිකාවක් සහ රංග ශිල්පිනියක්



Levine's wife Behati Prinsloo and their daughter Dusty Rose.-  ඇය තමයි අපේ සුපිරි ගායකයාගේ ප්රියම්භිකාව - ඒත් ඇයත් ලේසි පහසු කෙනෙක් නෙවි - ඇමෙරිකානු සුපිරි නිරූපණ ශිල්පිනියක් - නමිබියානු සම්භවය ඇති ඇය වික්ටෝරිය සික්රට් fashion  show එක  නව (9)  වරක් නියෝජනය කල කෙනෙක්




ගීතයට රැප්  එකක් සපයන Cardi ගැනත් කතා නොකලොත් එක අඩුවක් . 1992  උපන් ඇය නිලියක් , ගායිකාවක් වගේම බොහෝ සම්මානයන්ට පාත්‍ර  වූ ටෙලිවිෂන් තරුවක්.



ඉතින් ....
කියන්න වෙන්නේ Not just a Pretty Face කියල නේද J ගීයට  වැඩ ගිය දැනුමක් වින්දනයක් මට ලැබුනේ මේ ගියේ වීඩියෝවේ  තොරතුරු සොයා ගැනීමෙන් කිව්වොත් නිවැරදියි.

තව දෙයක්. 2019 ජුලි මාසය වෙද්දී යුටියුබයේ වැඩියෙන්ම නැරඹු වීඩියෝව වශයෙන් සටහන් වන මෙම , සරල රුප පෙළ සහිත සුන්දර ගීතය , බිලියන 2.3 ක් තරම් ප්‍රේක්ෂක ආකර්ශනයක් දින ගන්නෙත් එය පසුපස ඇති ගැඹුරු පණිවිඩ කන්දරාව  නිසා බවයි මට සිතෙන්නේ.

මෙම බහුරුපෙක්ෂක ගැහැණු පරම්පරාව දකින විට මට තවදුරටත් සිතෙන්නේ , ගැහැණුන්ගේ හැකියාවන් විවිධ සහ විෂම බවත් , හැම  ගැහැණියකගේ ඇතුලතම සමනලයකු මෙන් විචිත්‍රවත් චරිත කන්දරාවක් , දස්කම් කන්දරාවක් වෙසෙන බවත් , තටු විහිදන්නට බිය මිසක කිසිවත් තමන්ව නොනවතන බවයි.

දවස අවසානයේ , ගියේ ගායක Levaine පෙන්වන අයුරෙන්, පිරිමියෙක් වටේ කොතරම් සමනලුන් නැටුවත් , එහි විචිත්‍රත්වය අගයන්නට හැකි පිරිමියෙකු තුල වුව , අවංක කම පිලිබඳ සුන්දරත්වය ශේෂ වන්නේ , සිය පවුලට , බිරිඳට දරුවනට දක්වන අවංක අව්‍යාජ ප්‍රේමයේ බවත් නොවේද ?

වීඩියෝව අවසානයේ ඔහු ඒ වැළඳ ගන්නේ සැබෑ ජිවිතයේ ඔහුගේ සුන්දර බිරිඳ සහ කුඩා දුවනියයි . <3



Saturday, June 22, 2019

[356] Love Actually (2003) සහ ආදරය !

ආදරයේ විවිධ නිර්වචන සොයා ආදරය පිලිබඳ හිතන ඔබ අපි හැමෝම ගවේෂණයක යෙදෙනවා. සොඳුරැ සරල නිවහනක ආදරයේ විවිධ පැතිකඩ පිලිබඳ කතිකාවන් කියවීම නිබඳ ආස්වාදයක්. අනෙකෙකුගේ සතුට ඔවුනට අනන්‍ය වූවාට , එහි අනුමොදනාව හෙවත් ආස්වාදනය, කුහක නැති නම් , අපට ⁣ පොදු වස්තුවක් ලෙස සැලකිය හැකි. චිත්‍රපට නැරඹීමත් එවැන්නක්. ඉතින් ආදරය පිලිබඳ තැනුනු අග්‍රගන්‍ය මේ සිනමා නිර්මාණය ඔබ බොහෝදෙනෙක් බලා ඇතිවාට සැක නැහැ. මේ ලියමන චිත්‍රපටය බැලු නොබැලු ඔබ වෙනුවෙන්. ආදරය නිදහස්ව දකින්නට...



චිත්‍රපට සහ අපි ගැන කතා කරනව නම් , එක අතකට, ජීවිතය ඉගෙන ගන්න තරමට, භාවනාවක් තරමට, ඉතාම උසස් මනසකින් යුතු මිනිසුන් බවට පත්වන්නට, අපට අතදෙන කලා නිර්මාණ කිව්වොත් මට අනුව නම් නිවැරදියි.

හෝව් හෝව් , ලංකාවෙ නිර්මාණ වලින් නම් ඉතාම අතලොස්සක් ඇරැනාම ඉතිරිවා ගැන නම් කතා කරල වැඩක් නැහැ.

ඒත් , බටහිර, ආසියාවේ හෝ යුරෝපයේ බිහිවෙන නිර්මාණ වලින් මිනිසුන් විඳින මානසික නිදහස , සිතීමේ වපසරිය කොයිතරම් පුලුල්ද කියලා දැනෙනවා.



Love Actually කියන්නෙ ඒ වගෙ අනභිභවනීය නිර්මාණයක්. ලොකයේ අග්‍රගන්‍ය නලු නිලි කැලකගේ සහභාගිත්වයෙන් (බලන්නකො පහතින් , ඉන්න නලු නිලි කැල) , ආදරයේ විවිධාකාර වූ නිදහස් පැති , පරිස්සමෙන් අල්ලාගෙන , එකට ගෙතූ ඉතාමත්ම ලස්සන වියමනක් හැටියට මේ නිර්මාණය නිර්වචනය කරන්න පුලුවන්.

Alert : කුඩා දරැවන් සමග නැරඹීමට සුදුසු නැති ලිංගික දර්ශන අඩංගුයි. නමුත් දරැවෙකු වැඩිහිටි වියට පත්වද්දී ආදරයේ නිදහස සුන්දරත්වය දෙස ඉතාම මෛත්‍රි සහගතව සුභවාදී ඇස් වලින් බලන්නට උගන්වන පෙල පොතක් වන් මේ චිත්‍රපටය මතක් කරන්න ඔවුනට නැරඹිය යුතුම බව.


වයසට යන තුරැම දේශපාලනය කල අගමැතිවරයකුගේ සිත රජ ගෙදර නවයොවුන් පාලිකාවක හා බැඳෙන අපුරැව .. වියපත් ගායකයකුගේ ජීවිතයේ සියලු යස අයස දරාගෙන දිගු ගමනක් එන පුද්ගලික කලමනාකරැගේ නිර්ව්‍යාජ කැපවීම, අතනොහැර පසුපස එන බැඳීම, නොපිරිහුන ආදරයක අපූරැව... පාසැල් වියේ සිතගත් සොඳුරැ ලදැරිවිය වෙනුවෙන් මාස ගණනක් ඩ්‍රම් වාදනය ඉගෙන ගෙන , ඇගේ හාදුව වෙනුවෙන් ගුවන්තොටුපලේ දොරටු බිඳගෙන දුවන පුංචි පාසල් ගැටයෙකුගේ ආදරයක අපූරැව.. , සති කිහිපයක හඳුනාගැනීමක ඇවෑමෙන් පෘතුගිසි මෙහෙකාර ලඳක වෙනුවෙන් එරට බස ඉගෙන ගන්නා ජිමිගේ , ඉංග්‍රිසි මිනිසෙකු වෙනුවෙන් ඉංග්‍රිසි ඉගෙන ගන්නා ඔරෙලියාගේ ආදරය , නිරැවත් සිරැරකින් කාන්දු විය නොහැකි , එහෙත් හදවත් බෙදාගැනීමකින් බැඳීයන ජෙරීගේ සහ ජුඩිගේ ආදරය , සිය හොඳම මිතුරාගේ පෙම්වතියට නිහඬවම සිතෙන් බැදෙන ඔහුගේ ආදරය , සිය ගේ දොර විකුණා අමෙරිකාවේ රෑමතියන් සොයා ගොස් ආදරය හමුව සිය රට එන ලින්කන් ගේ ආදරය , එකි මෙකි නොකී බොහෝ අහුමුලු නිසි ලෙස එකට පුරැද්දා , ආදරය නම් වදනට මෙතෙක් නොසිතු විරැ මහා අරැතක් දිය හැකි, මේ අනභිභවනීය නිර්මාණය මාත් ප්‍රසන්නත් නරඹා ඇති වාර ගණන විස්සකට වඩා වැඩියි. 



කොතරම් බැලුවද එපා නොවන මේ සොඳුරැ වියමන , ආදරය හඳුනන, ආදරය කුමක්දැයි සොයන ආදරය ප්‍රතික්ෂෙප කරන , ආදරය සමග නොමනාපව සිටින යනාදි එකි මෙකී නොකී සියලු දෙනට එකසේ නැරඹා මවිත විය හැකි , සලිත විය හැකි , සිනහ සිය හැකි කඳුලු සැලිය හැකි , ඉතාම සුන්දර නිර්මාණයක් ! විවිධ සම්මානයන්ට පාත්‍රවූ මේ නිර්මාණයේ පහතින් දක්වා ඇති සුවිසල් නළුනිලි දැවැන්තයන්ගේ ගොන්න සහ ලබා ඇති පැසසුම් ගොන්න සාක්ෂි දරාවි එහි වටිනාකම ගැන !

Love Actually ❤ 
ඔබත් තවමත් නරඹා නැතිනම් අදම බලන්න :)

Love is Actually All Around !

Thursday, May 16, 2019

[355] කාට කාටත් තේරැම් ගැනීමට...



මේ අප අද ඊයේ දැකපු බොහොම සංවේදී පින්තුරයක්. බොහෝ දෙනෙක් මේ පින්තුරය අනුකම්පීය මුහුණුවරක් දෙමින් බෙදා හදා ගෙන තිබ්බා. ඒ වගේම සමහරු කවි පවා ලියලා තිබබා. ඒ තමා මනුස්සකම. සංවේදී බව . හැබැයි මේ පින්තුරේ දකිද්දී , එහි සුමට පැත්ත විතරක් දකින ඔබේ මනස තවත් ඉසවුවක් කරා මට අවදි කරන්න හිතුනා. අන්න ඒ නිසයි ඊයේ මම මේ මුහුණු පොත් සටහන තැබුවේ. තව තැනක අලවලා තිබ්බාට පාඩු නැහැනේ. මෙන්න ඒ සටහන.

"පුංචි දරැවො බෝම්බ අරන් එන්නෙ නැතුව ඇති. ඒත් පුංචි වුන්ට බස් වල සීටි දෙකක් මැද්දෙ ඉඳ ගත්තම නින්ද යනවා. බෑග් එකෙ බරට ඒකට තව මොනව එබුවත් සිහියක් නෑ. පුංචි වුන් බෑග් පාරවල් අයිනෙ තියලා ගස් වල එල්ලලා .,ස්කූල් වෑන් එනකල් , සෙල්ලමට දුවනව⁣. අනික මේ නොදරැවෝ කොහොමද සැක සහිත දේවල් අඳුන ගන්නේ , අපිවත් ඒ ගැන හරියට දැනුවත් නැති කොට! අපිවත් අඩු ගානෙ දන්නවද කුඩුපැකට් එක්කයි හුණු පැකට් එක්කයි වෙනස??? ඒ නිසා හැඟීම් වලට වහල් වෙන්න එපා. කවි සිතිවිලි පොටෝ අගෙයි. ඒත් රටක ජාතික අවශ්‍යතාවය අපි හැමෝම හැම විදියකම මුහුණු වැසුම් වලට ටිකකට සමු දෙනවා වගෙම , ⁣කොතැන කවුරැ හෝ තමන්ව හෝ බෑග පරික්ෂා කරන එකට පූර්ණ සහය දෙමු. පුංචි දරැවාට කියලා දෙන්න ඕනි බෑග් එක පරිස්සම් කරගන්න වගෙම පරික්ෂාවෙ වැදගත් කම.

සරලව කියන්නම්. ගිය සතියෙ බ්‍රහස්පතින්දා එක ආයතනයකට ගියා. එතැන කාර්යාල කටයුතු කරන තැනැත්තා සහ තැනැත්තී බෑගය චෙක් කරන අලුත් වගකීම භාර අරගෙන. මගෙන් ගිය ගමන්ම ඇහුවෙ , මිස් අනේ ඔක්කොම බෑග් චෙක් කරන්න වෙනවා. ඒක එයාල කිව්යෙ හරියට අපට කරන අගෞරවයක් වගේ. ඒ ඔවුන්ගෙ ආචාරශීලිකම. ඒ වගෙ දෙයකට නොදෙන සහය කුමටද?

ඒ වගෙමයි ඒ තරැණ මහතා කාරැණිකවම ඇහුවෙ , මිස් කොලඹ ඉඳල ආව නිසයි අහන්නෙ , බස් එකෙ නින්ද ගියාද , බෑග් එක කොහෙද තිබ්බෙ කියලා ! ඇත්තමයි , මිනිසුන්ගෙ අවධානය තියුණුයි. ඒක අගය කල යුතුයි.

ඒ නිසා මේ වගෙ පින්තුරැ වලට හූල්ලනවාට වඩා කල යුත්තෙ මේ දිහා නුවණින් බලන එකයි ! මේ ශීෂ්‍ය නායක දරැවනුත් දරැවො. එයාල ගන්නෙ සුලුපටු වගකීමක් නොවෙයි. මෙතැන අපේ අනුකම්පාව වගෙම ගොරවය හිමි විය යුතුයි තාම කටේ කිරි සුවඳවත් නෑරැනාට , ඉස්කෝල ආරක්ෂාවට පෙරට ආපු මේ වැඩිහිටි දරැවන්. එයාලට නිසි පුහුණුව ලැබිය යුතුයි සැක කටයුතු දේ හඳුනගන්න . හදිසි අවස්ථාවක නිසි පියවර ගන්න. සමහර විට දැනටමත් ඒව වෙලා ඇති.

මේක රටට පැටවුනු අලුත් වගකීමක් . ඔවුනුත් තාම කුඩා නිසා මේ මතකයන් 2008න් එපිට ලඟ වකවානුවල ඉපදුනු එයාලට නැතුව ඇති.

බෑග් චෙක් කරන්නේ මේ කිරි දරැවා අපරාධකාරයෙක්ය හිතල නෙමෙයි බව වැටහිය යුතුයි. හැමෝටම ! මොලයක් තියනව නම්. තව චුට්ටක් හරි ඉදිරියට හිතනව නම් වගකීමක් තියනව දෙමාපියන්ට ගුරැවරැන්ට , කිරි දරැවාට පවා තමාගෙ භාණ්ඩ අතන මෙතන නොදා ලඟ තියා ගන්නය කියන අවවාදය දෙන්න ! විනිවිද පෙනෙන බෑග වලට මේ හදිසියේ අල්ල පනල්ලේ අම්මලා තාත්තලාට කොච්චර වියදම් යන්න ඇද්ද. එහෙම කල මේ දරැවාගෙ දෙමාපියන්ද අගය කල යුතුයි" .


ඔබට සිතන්නට යමක්....

Wednesday, April 10, 2019

[354] අසන්ධිමිත්තා - මගේ කියවා ගැනීම

Image may contain: 1 person

ඈ රාත්තල් තුන්සියයක් බර වීම මට මෙහි උධෘතයක් නොවේ . ඇය මිනී තුනක් මැරීම කතාවට ත්‍රාසය ජනනය කලාද නොවේ.. එහෙත් අසන්ධිමිත්තා නියෝජනය කරන කාන්තාව යනු , ජීවිතය සමග පොර බදන , ජීවිතයේ සිහින තවමත් දකින ,ඒවා ඉටුකරගන්නට ගොස් , යලිත් වරක් පිරිමියෙකුට නතු වන, වරදෙහි බැඳෙන, ඉන් මනත සමාජය නමැති අධිකරණය විසින් පෝරකයට යවනු ලබන, චූදිත , සමස්ත ගැහැනු පරපුරමය.

ඇය පතන පිරිමියෙකු සිටී. ගෙවල් මිදුල් ඇමද , බත උයා සිත පුරවන, සුවච කීකරැ ගෘහ සේවකයෙකුද , තමන්ට ඔච්චම් කරන ⁣නොසන්ඩාලයකුගේ කණින් අල්ලාගෙන තම දෙපා මුල තල්ලු කරන හැඩිදැඩියෙකුද, ආගමට දහමට ලැදි ,සිය දරැවන් යහමග යවන තාත්තා ප්‍රතිරෑපයද ඇගේ පැතුමෙහි සිටී. රැකියාවක් කොට ගැහැණියට කන්න අඳින්නට දෙන ස්වාමියෙකු , සුරා සූදුවෙන් තොර පිරිමියෙකු ඇගේ එම පැතුමෙහිම සිටී. එහෙත් .. ප්‍රකෘතිය ඉතා අමිහිරිය. අමිහිරි ප්‍රකෘතිය විසින් ඇයව තනිකඩ කොට තිබේ.


Image may contain: 2 people, people sitting

පුනරාවර්තී ආදර චක්‍රයක පරිධියෙහි තබන මුල් පියවර වල පැණි රසය , ඉතිරි දිගු ගමනෙහි නැත. සිහින වල ආයුෂ බලා හිඳිද්දී
අඩුවේගෙන යයි.

පරිධියෙහි අවසන් අර්ධය , අපේක්ෂා භංගත්වය , ඊර්ෂ්‍යාව , වෛරය එකී මෙකී නොකී සිතුවිලි වලින් ආඪ්‍ය වෙයි. වංචාකාර පිරිමියා තම ඊලඟ ගොදුර සොයා පීරද්දී , චූදිත ගැහැනිය ,රස කතා සොයන කලාකරැවන්ට ප්‍රස්තුතයක් පමණි. ඇගේ කතාව මොහොතක වින්දනයක් උත්කර්ෂයක් සොයන තවත් ගැහැණියකට විහිලුවක් පමණි. ඇගේ කතාවම කියවන තවත් ගැහැණියකට විකී වැනි පිරිමින් ප්‍රතික්ෂේප කරන්නට තරම් අසන්ධිමිත්තාගේ කතාපුවතට බලපෑමක් කල හැකිද? අසන්ධිමිත්තාව බැරි අමාරැවෙන් පෝරකයට තල්ලු කරන ගැහැණු පිරිමි අත් වලට ඉහලින් , පෝරකය අබියස සිට අසන්ධිමිත්තා මේ සිනහසෙන්නේ , මේ අපටවත්ද ?

Image may contain: 1 person, smiling

අසන්ධිමිත්තා - නැරඹීමෙන් විඳි ප්‍රහර්ෂයෙන් ලියමි
2019-04-03
දිල්ශාරා වීරසිංහ

ප.ලි.

සංගීතය - මහ ඉහලය
රඟපෑම් - මහ ඉහලය
පිටපත - හොඳය
කැමරාව - මට ඉතා ප්‍රබල නැත.

පුද්ගලික ලිවීමකි. ප්‍රංශ , ස්පාංඤ වැනි සිනමා නිර්මාණ වල නිතර දක්නට ලැබෙන , කතාන්තරයකින් තොර , සිදුවීම් ඇමිණීමෙන් විශාල සංකල්පයක විවිධ පැති පෙන්වන සුලු සිනමා නිර්මාණ වලට පුද්ගලික කැමැත්තක් ඇත්නම් , අසංන්ධිගේ සුන්දරත්වය ගැඹුරින් විඳ ගත හැකිය.

Sunday, April 07, 2019

[353] චීස් නොමැති මී කතාවක් තිබිය හැකිද ? - Ben

Image result for ben movie

ඔව් . චීස් නොමැති මී කතාවක් තිබිය හැකි......

ඒ විතරක් නොවේ මීයාට ඔස්කාර් ගත වන්නට වුවද හැකිය. මාත් ප්‍රසන්නත් එකට වාහනයෙ ගමන් ගන්නා වෙලාවලදී එක්නෝ ඔහුට මාගේ නිමක් නැති රට පැටලෙන කෙස් පැලෙන කතන්දර අහන් ඉන්නට සිදුවේ. එසේ නොවන , නොහොත් ඉතිරි වෙලාවල මම එක්කෝ රේඩියෝවේ යන සින්දුවක් ගැන ඔහුගෙන් අනවශ්‍ය ප්‍රස්න අසමි. අහවල් සින්දුව කවුද කියන්නේ , ඒකෙ තේරැම මොකක්ද , ඒක කොයි කාලෙ සින්දුවත් , යනාදී මගේ ප්‍රස්න පත්තරයට, රිය පදවන ගමන් උත්තර සොයන එකෙන් වෙහෙස වූ ඔහු මට shazam හඳුන්වා දුන්නේය. මම මගේ දුර බනුව අල්ලා ගීතය සොයා ඉතුරු පර්යේෂණ මමම කරගන්නට හුරු වුනේ එසේය.

මට Ben හමුවන්නේ එවන් පර්යේෂණයක ප්‍රතිපලයක් ලෙසිනි. ගීය ඇසු සැනින් මට මතු වූ  ප්‍රස්නය මේ සුරතල් කටහඬ කාගෙදැයි කියාය. මගේ මහත් ප්‍රහර්ෂයට හේතු වෙමින් මේ සිඟිති මයිකල් ජැක්සන් බව මම සොයාගනිමි. යලිත් අර පරණ ප්‍රස්නේ මට මතක් වෙයි. දැන් කවුද මේ බෙන් ? බෙන් ටෙන්ද ? අර සිංහල ගීතය - සකල බුජන් වගේ එක්කෙනෙක්ද ? 

දැන් ඉතින් ප්‍රශ්න කෝටියයි ... අන්තිමේට ඔන්න අද මම හොයා ගත්තනේ මේ බෙන් කවුද කියලා. දන්නවද ? බෙන් කියන්නේ පුංචි මී පැටියෙක්.

Ben, the two of us need look no more
We both found what we were looking for
With a friend to call my own
I'll never be alone, and you, my friend, will see
You've got a friend in me
Ben, you're always running here and there
You feel you're not wanted anywhere
If you ever look behind and don't like what you find
There's something you should know, you've got a place to go
I used to say I and me, now it's us, now it's we
I used to say I and me, now it's us, now it's we
Ben most people would turn you away
I don't listen to a word they say
They don't see you as I do
I wish they would try to'
I'm sure they'd think again if they had a friend like Ben
A friend like Ben
(Like Ben)
Like Ben

Don Black සහ Walter Scharf  නමැති රාහකයින් දෙදෙනා , 1972 දී මේ ගීතය ලියන්නේ 'බෙන්' නමින් තැනෙන සිනමා පටයටයි. විලාර්ඩ් නමැති පුහුණුකරු යටතේ පුහුණු වන බෙන් නමැති මී පැටවා අලලා තැනෙන 'විලාර්ඩ්' නමැති චිත්‍රපටය බෙන් චිත්‍රපටයට පාදක වූ පෙර සිනමා පටයයි. එහිදී බෙන් නමැති මී පැටවා ඇතුළු අනෙකුත් මීයන් අවසානයේදී විලාර්ඩ් ට එරෙහිව කල්ලි ගැසෙනවා. කෙසේ වෙතත් එයට පසු තැනෙන බෙන් සිනමා පටය  තුල පෙරකී බෙන් නම් මී පැටවා කුඩා පිරිමි ළමයකු හා මිතුරු වනවා. 
Image result for ben movie

මෙම ගීතයට සබැඳෙන මේ බෙන් චිත්‍රපටයෙහි  , බෙන් සමග මිතුරු වන කුඩා කොලුවා කොතරම් අවින්හින්සක වුවත් , බෙන් සිය මී සපිරිවර සමග සංවිධානය  වන්නේ මුළු මහත් මානව සංහතිය සමගම සටන් කිරීමටයි. ගීතය පාදක වන්නේ මි පැටවෙකු වුවත් , මේ බෙන් නමැති සුමිහිරි ගීතය , මිතුරු දම පිලිබඳ ලියවුනු අපුරු ගීතයක් ලෙස කළා ඉතිහාසයට එක්  වන්නේ බෙන් ගීතය වෙත ඔස්කාර් සම්මාන නිර්දේශයක්  පවා හිමිකර දෙමිනුයි. මෙම ගීතයෙහි සම රචක ඩොන් බ්ලැක් ගේ  සුවිශේෂි ඉල්ලීමක් මතයි මෙම ගිතය මයිකල් ජැක්සන් හට ගැයීමට හිමිවන්නේ. ඩොන් වරෙක මෙම ගීතය ගැන මෙහෙම කියනවා. "පුංචි ක්රුන්තකයෙකු ගැන ගීතයක් ලිවිමම මට අභියෝගයක් වුනා. හැබැයි මම අන්තිමට තීරණය කළා , මී පැටවා ගැන කිසිම සඳහනක් නොකර , ඇයි මට බැරි ඔවුන් දෙදෙනාගේ ලස්සන මිතුදම ගැන ගීතය ලියන්න කියලා ?" 

Image result for michael jackson in 14
Michael J - 14 Years

මෙම ගීතය මයිකල් ජැක්සන්ටත් ඉතාම සුවිශේෂී වුවක්. ඔහුගේ ගායන දිවියෙහි , මෙතරම් ජනප්‍රිය වූ ඔහුගේ ප්‍රථම එක පුද්ගල නිර්මාණයද මෙයයි. මයිකල් මේ ගීතය ගයන්නේ අවුරුදු 14 දියි. ඇමෙරිකාවේ ගීත දර්ශක වල ඉහලින්ම වැජඹුණු ලාබාලතම ගායකයාගේ වාර්තාව එවකට ඔහුට හිමිවන්නේ බෙන් ගීතය නිසයි.

කෙසේ වෙතත් මෙම බෙන් ගීතය ළමා වැඩිහිටි මහලු ඕනෙම අයකුට එක සේ රස විඳිය හැකි ඉතා සුමිහිරි ගීතයක් හෙයින් , කුඩා කාලයක් හෝ වැය කොට මෙය ලියා තැබිය යුතු යයි මට සිතුනේ , බාගදා ඇතැම් විට පුංචි කෘන්තකයෙකු  පිළිබඳව බටහිර ඉතිහාසයේ ලියවුනු ජනප්‍රියම ගීතය , මටද ඇතැම් හද බැඳී මිතුරුදම් පිලිබඳ මතක මතක් කර දෙන නිසාවෙන් විය හැකියි.

~ බෙන් ~
.
මිතුරකු , මගේම කියා මිතුරෙකු , 
ලැබුණු පසුවත් අප දෙදෙනාට , 
සොයන්නට දෙයක් තවත් ඉතිරිද මෙලොව 
බෙන් , එය මට කියනු මැනව 

තනිය නැත මට නැවතත්, 
ඔබටත් එය පිළින දෙමි මම නැවතත් ...
වෙන් නොවන්නට කිසිම දිනකත්...

කාගේදැයි නොදනිමි මම ඔබ 
එහෙ මෙහෙ දුවන ඔබ කොහේ යා දැයි 
නොදැනෙයි මට .,. 
ජිවිතය ඔබට යා යුතු මගක් නොකියන හැම විට 
බෙන් , මෙහි එන්න , 
ඔබට මෙහි ඇත සැනසුම... 

මම ය , මටය , මාගේය 
පෙර මා සිතුවේ එහෙමය... 
නමුදු දැන් අපට අප, අපගේ ලොවක් ඇත... 
අපගේය කියන්නට මේ සොඳුරු මිතුදම ඇත... 

නොම ඇසෙයි මට, ඔවුන් අප ගැන කියන කිසිවක් 
මා දකින්නේ, ඔබ මෙමා හට ලබැඳි මිතුරෙක් ... 
මිනිසුන් බොහෝ දෙන, ඔබට පිටුපා යනු ඇති.. 
දුටුවා නම්, ඔබේ සොඳුරු සිත , ඔවුනුත් 
බෙන් ඔබ අද , එමිනිසුන්ටත් ලබැඳි මිතුරෙක්... 


Image result for unusual friendship quotes

[352] කොහොමද ? UberEats එනකල් හිටිය නම්? තාම බඩගින්නේ






අද ඉරිදා. විවේකී නිවාඩු දවස ! උදේ ඉඳලා පුරැසෝත්තමයාව ගෙදර දොරේ වැඩට අල්ල ගන්න දවස. දවල් වෙද්දි දෙන්නටම හති.පුටු ඇදලා. අතු ගාලා. මල් පැල වලට වතුර දාලා.. බ්ලා බ්ලා..

දවල් තුනහමාරයි. බඩගිනියි. දවල් කෑම උයන්න වෙලා ගිහින් වැඩියි. ඌබර් ඊට්ස්! නෑ අපි පොෂ් නෑ. හැබැයි කාලෙක ඉඳල අත් හදා බලන්න හිටි දෙයක් ! වෙනදට අරන් නෑ. අද හා පුරා කියලා ඇණවුම් කරන්නයි කල්පනා කලේ. දෙන්නගෙම ප්‍රියතම එලයිට් එකෙන් හා පුරා කියලා දැම්මා නේද ඕඩරය! විනාඩියයි ගියේ,ඕඩර් කලා. කොච්චර ලේසිද? හැබැයි පැයක් බලන් ඉන්න වෙනවා. ඒත් කමක් නෑ,අලුත් වැඩක් නේ කියලා පැයක් බඩගින්නෙ ඉන්න අපි හිත හදාගත්තා. දුක තමයි, එලයිට් එක විසින් order එක කැන්සල් කරන්න විනාඩියක්වත් ගියෙ නෑ. අපි දුකට පත් වුනා. ආයිත් වෙන ඇනවුමක් දැම්මා . එයාලගෙ බඩු ඉවරද දන්නෑනේ.. ජය වේවා අපේ මහත් ප්‍රහර්ෂයට හේතු වෙමින් ඒ ඇණවුමත් එලයිට් එක විසින් කැන්සල් කරනු ලැබුවා ! දැන් ඉතින් අපි දෙන්නට සතූටේ බෑ. එක අතකින් බඩගින්න.එක අතකින් හා පුරා කියල දැම්ම ඌබර් ඊට්ස් එක . පාර පුරා රයිඩර්ලා යන තාලෙට මෙහෙම එකක් බලාපොරොත්තු වුනෙත් නෑ.


"මේ ඔන්න ඔහෙ එලයිට්ටක් ඕනි නෑ.. අපි පැරදෙයි එලයිට් එකට. එදා ගත්තු පරාටා පැක් එක තියනව නේද fridge එකේ ? පරාටයි පරිප්පුයි කමු අනේ !"

මම හිතේ තරහටත් එක්ක ප්‍රසන්නට කිව්වා !

"හා , චිකන් wings දෙකක් තිබුන මතකයි , ඉන්න මම හදන්නම් එලයිට් කැලේ යන්න චිකන් කරියක්" ප්‍රසන්න කිව්ව

3.45 - 4.05 හරියම විනාඩි විස්සයි .

පරාටා හය මම පෑන් එකේ එක එක රත් කරල ගන්නත් කලියෙන් ප්‍රසන්නගේ විනාඩි හයේ , චිකන් රෝස්ට් කරි එක හැදිලා . උදේ පරිප්පුවෙන් භාගයත් මොඩිෆයි කලා. කිරි තේ දෙකත් හැදුවා . ෂා! එලයිට් එක විසින් කැන්සල් කල ඕඩර් එකට ස්තුති වේවා ! හරිම රසයි , පහසුයි , වියදම නොගිනිය හැකි තරම් .



කොහොමද ? UberEats එනකල් හිටිය නම්? තාම බඩගින්නේ .. 😁😁😁

Prasanna මේ රස නියම රෙසිපියට දැම්ම නම,

"Braised Chicken 
on 
Arabic Bread 
accompanied with 
Balsamic Roast Gravy 
and
Lentil Puree"

ලෙන්ටිල් පියුරි කිව්වට ඔය පරිප්පු හොඳේ !

Thanks Uber Eats , and Thanks Elite Family Restaurant . We were so awaiting to make our first uber eats order but disappointingly but
Thanks to Elite , who cancelled our food orders - we innovated an absolutely yummy recipe at home. Just Saved a good two thousand plus enjoyed yummy food home made 😚

"Braised Chicken 
on 
Arabic Bread 
accompanied with 
Balsamic Roast Gravy 
and
Lentil Puree" 💙❤


Image result for cooking quotes

Saturday, March 09, 2019

[351] රත්තරන් වටින හිතවත්කම ..

Image may contain: 1 person, food and indoor
මීට මාස තුන හතරකට උඩදි , හදිසි කටයුත්තකට මහනුවර යන මට, සෝයා කිරි හල අසලදි , නම අමතක නාඳුනන හඳුනන්නෙක් මුණ ගැහෙනවා.

"මිස් , මාව මතකද?"
මම නිරැත්තරයි. මූණෙන් පෙන්වන හිතවත් කම බොහොම බරයි. දැකල පුරැදුයි.

"අනේ , සොරි , මතකයක් නැහැනේ"

"ඇයි මිස් , හන්තානෙ , අර තේ කඩේ , මිස්ලා මියුසියම් ආවම එන්නේ තේ බොන්න , ඒ කඩේ මගෙ තමයි "

" ආ හාා.."

හන්තාන ටී මියුසියම් එක. රටේ තිබෙන විශාලම හා ලස්සනම තේ කෞතුකාගාරය ! පෙම්වතුන්ව සිටි අප දෙදෙනාගේ සුන්දරම ආදරනීයම මතක.. පැය ගණන් වනපෙත් පීරෑ අති රමණීය ඇවිද යාම්.. දහස් ගණන් වූ පින්තූර .. හදිසියේ සැලසුම් කල පික්නික් .. එකතු කල මල් පැල (අද තරමක ගස් දක්වා ගල්කිස්සේ පෝච්චි වල වැඩෙන ) .. ඒ දිගු සොබාදහම් චාරිකා අවසන ගිමන් නිවන වංගුවේ තේ කඩය.. අපට උණු උණුවේ තේ දෙන පැටිස් හදා දෙන අපේ හිතවතා ... විකුම් සර් සමග කැලෑ මංමාවත් වල ඇවිද යන අපි ඒ ගතකල නොස්ටැල්ජියානු සංචාර කොතරම් සුන්දරද ..?

කෙලෙස අමතක වෙන්නද ? මතක ගොඩක් අධි ධාවනය වූ හදවත සමගින් මා මුහුණේ උණුසුම් සිනාවක් මතුවෙනවා..

"කොහොමද සර් එහෙම.. ලඟදි ආවෙ නැද්ද නුවර ? සර්ව මතක් කරා කියන්න .. "

"අනේ හරිම සතුටුයි අපිව මතක තිබ්බ එකට.. අපි අනිවාර්යෙන්ම එන්නම් ඊලඟට නුවර ආවම .. "

"එන්න එන්න මිස්.. කඩෙත් අලුතෙන් හැදුවා.. බලන්න එන්න සර් එක්ක "
ඇත්තමයි. සමහර හදවත් හරිම හිතවත්...

ඒ හිතවත් කම මම ගෙදර ඇවිත් ප්‍රසන්නට කීවම , ඔහුටත් සතුටුයි.
"ඊලඟ වතාවෙ නුවර ගියාම අනිවාර්යෙන් යමු හන්තානේ.. අපිව මතක තිබ්බ ඒ මනුස්සයාගෙ කඩේ බලල එන්න හරි යමු" ඔහුත් ඒ හිතවත්කමට හැඟුම්බර වුනා.

ඉතින් ගිය සතියෙ , අපි දෙන්නා ගියා අපේ හිතවතා බලන්න. සමහර පුංචි සැමරැම් ගෙනෙන සතුට අනන්තයි අප්‍රමාණයි. අවුරැදු දෙකකට ඉහත එදා ඒ ගතකල කාලය කොතරම් සුන්දරද... එදා සහ අද වෙනසකට අැත්තේ ⁣කාලය විසින් වියපත් කල ජීවිතය පමණයි. කිසිදා සොබාදහමෙන් , සොඳුරැ මිනිසුන්ගෙන් වෙහෙස පත් නොවන , නිරන්තර තිරිහන් වෙන හදවත අදටත් එහෙමමයි. එදා හන්තානේ තේ යායවල් පීරන අප රැගෙන ආ බිගෝනියා , චෙරි පැල අද ගැටවර වියට පැමිණ අපේ ගල්කිස්ස නිවසේ සඳලුතලය සරසනවා වගේම , ඒ සොඳුරැ නිහතමානී සොහොයුරාගේ නිරහංකාර සිනහව නැවත නැවතත් හන්තානේ ⁣වංගුවේ කුඩා තේ කඩය සිහි ගන්වනවා.

මහනුවරට කිලෝමිටර හතර පහක නුදුරින් ඇති මේ අති සුන්දර තේ කෞතුකාගාරය නරඹා ඇත්තේ කීයෙන් කී දෙනාද ..

එහි යන ගමන් , ඊට ඉහල වංගුවේ ඇති පුංචි තේ කඩය ඔබට , අපූරැ ගිමන් නිවන නවාතැනක් වේවි ! හිතවත්කමට ස්තුතියි. අපි ආයිමත්.එනවා නුවර ආවම !

Some friendships are strange but boldly very solid and beautiful. The day I accidentally met this person near soya center in kandy a few months ago , I was surprised to see how he remembered me and prasanna , having spent a few hours in 2017. It was the time we were lovers and used to wander around beautiful hanthana mountain range and visit tea museum often. those jungle trails Prasanna and I accompanied with vikum sir ( who is a jungle runner until we are lost among nowhere) , never ending chats about movies , songs , etc etc... This little tea joint was unforgettable because of the friendliness this little mudalali malli offered. This time in Kandy , the only trip we made was to see this nice person and his newly built little hotel after a disastrous accident occurred a months ago when a tree branch fallen off and damaged the roof. If you visit the tea museum , please dont forget to drop in to this sweet little place passing the next two bends from the museum . For sure he's always got 'just cooked' hot hot patties and ginger plain tea. Plus a whole big heart of truly sri lankan hospitality and genuine friendliness !
Until we visit again ❤ chao

Image may contain: one or more people

Monday, January 14, 2019

[350] කුණු නොතැකූ කලමණාකාර නෝනාට. .

සදුදා දවල්. අද එච්චර කාර්යබහුල දවසක් නෙවි. ඒ නිසා සෙනඟ අඩු දහවලේ මම ගියා කාගිල්ස් එකට බඩු ගන්න.

ඉතින් හදිසි ෂොපින් පාරක් . සේවක සේවිකාවන් නම් අඩුයි . ඔක්කොම බඩු අරගෙන අන්තිමට මස් මාලු අලෙවි කරන කවුන්ටරයට මම යද්දි , එතැන සේවිකාව නැහැ.

නැහැ නැහැ. ඇත්තටම කිව්වොත් එතැන හිටගෙන ෆෝන් එක බල බල හිටියෙ එතැන මැනේජර් තුමිය. ඇගෙන් මස් ඉල්ලන්න බැහැනේ. ඉතින් මම සේවිකාව එනකල් පැත්තක එකෙල මෙකෙල වෙවී හිටියා. ඒ එක්කම මට හිතුනේ එතැන බෙල් එකක් තිබ්බ නම් කොච්චර හොඳද කියලයි.

මොහොතක් යද්දි , ඇය ඔලුව උස්සල බැලුවා .

"මොනවද ගන්න ඕනෙ මිස් ?"

"මේ මම මේ චිකන් ටිකක් ගන්න" ..

මම ටිකක් ඇදල පැදල වටපිට බැලුවා සේවිකාව එනකල් .

හරි පුදුමයි . ඇය ඇගේ ෆෝන් එක පසෙක තියල සිලි සිලි මල්ලක් අතට දා ගත්තා. මට තවත් පුදුමයි .

"කොයිකද ඕනෙ ? "

ඇය හුරැපුරැදු කාරියක් වගේ හරිම වේගෙන් මට අවශ්‍ය මස් කිරල මලු වලට දාල ලේබල් අලවලා දුන්නා විතරක් නෙමෙයි . මට පසුව එතැනට ආව ගනුදෙනු කරැවන්ටත් හනි හනික මස් මාලු ලබා දුන්නේ ඇය ඇඳ සිටි වටිනා සාරියවත් මේකප් වත් නොතකා. .. ඇය කිසි සෝබනයක් අපුලක් නොපෙන්වා එම කාරිය සැනෙකින් ඉටු කර දුන්නා නිහඬවම..

මේ ලංකාවද? මට මොහොතකට පුදුමයි . ඒ එක්කම දුකකුත් ආවා. මගේ පුදුමයේ අර්ථය නම් , එය අප බලාපොරොත්තු වන ලංකාවේ කලමණාකාරිණියකගේ හැසිරීමෙන් වෙනස් හැසිරීමක් (exception) වීමයි. එනම් , යථාර්තය ඊට හාත් පසින්ම වෙනස් වීමයි.

කෙසේ වෙතත් මට මේ රට ගැන ඇත්තටම දැනුනා සතුටක් අද. මොකක්දෝ වෙනසක් වෙන බවක් දැනෙනවා.ඉතා උගත් මුත් හණමිටි අදහස් , කුහක කම් , වෛරය , ද්වේශය වපුරන ගැහැණු මිනිසුන් ෆේස්බුක් එකේ වීරත්වය පෙන්නන පොස්ට් ලියද්දි , පුංචි හොඳක් කරල එක දෙක කරල සෙල්ෆි ගහද්දි , ඇතැම් නිහඬ චරිත පුංචි වෙනසකින් ලෝකයටම අාලෝකය සපයනවා. ඒ මෙවන් නිහතමානී මිනිසුන් !

හිතට ආව වරදකාරී හැඟිම නිසාම ( ඇය ලව්වා මස් කිරා ගත් එක ගැන) , මම ඇගෙන් ඇහුවා

" අද මෙතන කවුරැත් නැද්ද මිස් ?"

"ඉන්නවා , ඒ ගොල්ලො දවල් කෑම ගන්නවා"

මේ අතිශයින්ම රෑමත් ( ඇත්තටම ඈ ඉතාමත්ම ලස්සන කාන්තාවක්) කලමණාකාරවරිය , ⁣සියතින්ම එලවලු අසුරනු , කාඩ්බෝඩ් පෙට්ටි ඔසවාගෙන එනු මා අනන්තවත් දැක තියනවා. පාරිභෝගිකයන් වැඩි වෙලාවලට අමතර කැෂියර් කවුන්ටරයට ඈ නොපැකිල පිවිස පෝලිම් අවම කරනවා පමණක් නෙවෙයි , කැෂියර් තරැණියට සහයට සේවකයකු නැති තැන මලුවලට බඩු අසුරන්නේත් ඇයමයි. සාරියකුත් පටලා ගෙන ඇය ගර්භනී අවධියේත් එලෙසම වැඩ කල වගත් මට මතකයි .

ඇත්ත වශයෙන්ම මෙවන් කතුන් කාගිල්ස් ෆුඩ් සිටියට පමණක් නොවෙයි රටටත් සම්පතක්. සැප පුටුවක වාඩිවී සේවකයන් ලව්වා මරව මරවා වැඩ ගන්න , මානයෙන් ඔලුව උදුමවා ගෙන සේවක සේවිකාවන්ට පාරිභෝගිකයන් ඉදිරියේත් බැණ අඬ ගසන හාම්පුතුන් බහුතරයක් ඉන්නා රටක කාගිල්ස් ෆුඩ් සිටි රත්මලානේ ඉන්නා මේ කලමකණාකාරවරිය (ඇගේ නම නොදනිමි) ගේ මේ ආකල්ප හා හැසිරීම ගැන ඇතිවූ පහන් සිත ලිවිය යුතුම යයි මට සිතුනා.

මා අද ⁣මේ කුඩා සිදුවීමට ලොකු විශේෂත්වයක් දෙන්නේ , එය අප නිතර දකින හැසිරීමෙන් වෙනස් නිසා නේද ? එය අප නිතර නොදකින අසාමාන්‍ය හැසිරීමක් නිසා නේද ? . අන්න එය තමයි අපේ අවාසනාව!

ලෝකෙන් උතුම්ම රට ලංකාවද නැද්ද කියන්න මම දන්නෙ නෑ. නමුත් මා සුභවාදීව බලා සිටිනවා, මට මෙවන් පෝස්ට් ලියන්නට තරම් එය විශේෂ සිදුවීමක් නොවන දිනයක් මේ රටට එලඹෙන තුරැ... එදාට මම කියන්නම් , ලංකාවෙ මිනිස්සුත්, සදාචාරයක් විනයක් හැදියාවක් සංවරයක් තියෙන මිනිසුන් සිටින රටක් බව !

ප්‍රොමෝෂන් එක දෙක වදින කොට , තමන් ආ තැන් , අලගිය මුලගිය තැන් අමතක වෙන මිනිසුන් බහුතරයක් ඉන්න රටක , රත්මලාන මවුන්ට් සිටි ගොඩනැගිල්ලේ , කාගිල්ස් ෆුඩ් සිටියේ සිටින සොඳුරැ කලමණාකාරිණියට , ස්තුතියි, නිරහංකාරකම , කැපවීම පෙන්වුවාට ..

ස්තුතියි 'ගෙදර යන ගමන්' අසුරා ඔතා දුන් පහන් සිතට ! <3

Image result for supermarket manager

Sunday, September 09, 2018

[349] තාරකා රාත්‍රිය සහ වින්සන්ට් වැන් ගෝ ගේ ආත්මය ....


තරු පිරුනු අන්ධකාර රාත්‍රිය…
විසුරුවන්න ඔබේ තෙලිතුඩ ..
වසත් පැහැදිලි අහස මත
තවරන්න ඒ මුඪ නිල් සහ අළු පැහැය
මගෙ ආත්මයම වෙලාගෙන සිටින අන්ධකාරය ඔබ දන්නවා නොවෙද....


නිල් කදු හිස් මත
තවරනු අඳුරු සෙවනැලි, තුරු මුදුන් හා විසිතුරු මල් පියළි ...
ඔබට දැනෙන ඒ හිමිදිරි සුළඟද ,
ශිශිරයක කටු අනින සීතලද තවරන්න තව තවද …
වින්සන්ට් අද ඔබ කොහිද , මේ සිතුවමට පණ පොවන්නට ?


දැනෙනවා මට.....
ලොවට හඬ නගන්නට ඔබ තැනු දෙය ....
ශුද්ධ වූ ඔබේ ආත්මයෙහි පිවිතුරු බව වෙනුවෙන්
ඔබ කළ මහත් අරගලය ...
එවැනි ආත්මයක තිබූ සිරගත වේදනාව
ඔබේ ආත්මය පැතූ නිර්වාණය ....


ඔවුනට නෑසුනු ඔබේ හඩ
ඔවුන් නොදුටු ඔබේ පැහැය
ඔවුනට නොහැගුනු ඔබේ ආත්මයෙහි වර්ණ
ඇතැමුනට අද එය ඇසෙනු ඇත


ආලයෙන් බිදී ගිය
පිවිතුරු සිත්තරෙකු සිය නිල් දෑසින් දුටුව
තරු පිරුනු ඒ රාත්‍රියක ... දම් පාට මලානික හැන්දෑවක ...
සියොතුන් විසිරුනු කහ පාට ගොයම් කෙතක ...
අපරිමිත වින්දනීය බව...
සහස් වර විඳ සැනහුණු
මිනිස් මුහුණු පෙළ ගැසී ඇත ඔහු දෙන අබියස ..
සොවින් බරය ඒ මුහුණු ... විපිලිසරය අද  ...


ඔබට නොදී ළඟ තබාගත් ආලය...
ඔබ වන් සොඳුරු හදවතකට
කෙලෙස පැහේවිද මේ කුරිරු විසකුරු ලෝකය ?
ඔබේ ආලය නොම හැඳිනු
ජීවිතයෙන් වෙහෙස වූ මේ මිනිසුනට
කෙලෙස හැකි විද ඔබ සෙවූ ආලයට පණ පොවන්නට ... ?


එයින් වෙහෙස පත්වූ ඔබ
සියල් පැතුම් ප්‍රාණයත් සමගම නිරුද්ධ කොට
ඒ තරු පිරුණු රාත්‍රියෙහි
ඔබේ පණ නළද සඟවා අපගෙන්ද සැඟවී ගියෙහිය ...


හිස්වලින් හිස්වුනු හිස් බිතක
එල්වා තිබුනු සිතුවමක්ද ඔබ ?
රාමුවක් විරහිතව ඇලවුනු
නම ගමක් නැති පිලිරුවද ඔබ ?
ලෝකය දෙස සාන්තුවර දෑසින් බලා සිටි
ඒ නම් නොකළ පිලිරුවක නිහඬතාවය ද ඔබ ?


නාදුනන්නන්ගෙන් පිරී ගිය කුරිරු ලොවකට
කුමට ඔබේ සුසිනිදු තෙලිතුඩු පැහැය ?
වරහැලිව කෘෂව ගිය “ඔවුන්ගේ” ආත්මයට
ඔබේ සොඳුරු වර්ණ බර වැඩිය ....
ඒ සීතල ආතමයන්ගේ සිසිර හිම යට
කලු ගසී තැලී පොඩිවී පරව ගිය
කටු පොකුරකිය ,
ඒ කටු පොකුර අග ලේ රතු රෝස මලකිය ,
වින්සන්ට් ඒ ඔබය ....


ඔවුනට කිසි දිනෙක දැනෙනු නැත ...
ඔවුනට කිසිදිනෙක ඇසෙනු නැත ...
ඔබට නොදී සිටි ආලයෙහි ලේ රතු පැහැය ...
ඔබේ ආත්මයෙහි සිරගතව සිටි මිනිස්කම !

වින්සන්ට් ... කවරකු දනීද ? ඇතැම් විට
ඔවුනට එය කිසිදා ඇසෙනු නැත....


පසු සටහන
බටහිර කලා සාහිත්‍ය ඉතිහාසයෙහි ඉහලින්ම කියවෙන “වින්සන්ට් වැන්ගෝ “ නම් අද්‍යතන හැකියාවන්ගෙන් පිරිපුන් එහෙත් ඉතාම ඛේධජනක ජිවිතයකට උරුමකම් කී කලාකරුවානන් පිළිබඳව ලියවුනු මේ සුපතල ගීතය මුල සිට අග දක්වාම පවසන්නේ වින්සන්ට්ගේ ජිවිතයේ තිබු පාළුව , දුක , නොසැනසිම පිලිබඳවය ... සිය හැකියාවන්ගෙන් කිසිවිටක සහිමට පත් නොවූ ලෝකය පිළිබඳව නිරන්තර තැවිල්ලෙන් පසුවූ වින්සන්ට් වැන්ගෝ චිත්‍ර ශිල්පියා අවසානයේ මනෝ ව්‍යාධීන්ට ගොදුරුව මානසික ආරෝග්‍යශාලාවක ප්‍රතිකාර ලබන සමයෙහි සිය වාට්ටු කවුළුවෙන් එපිට පෙනුණු බොහෝ දේ සිතුවමට නැගු බවද සඳහන්. “තරු පිරුණු රාත්‍රිය” ද එවන් සිතුවමකි. සිය ජිවිතයෙන් දශකයක් වන කුඩා කාලයකදී කලා  කෘති 2100 පමණද එයින් 860ක් පමණ වූ තෙල් සායම්ද පණ පෙවූ මේ අසහාය කලාකරුවානන්, සිය විරූප පෙනුමද අසන්තුෂ්ටිමත් ජීවිතයද කෙළවර කරගන්නේ සිය පපුවට වෙඩි තබාගනිමින් , දින දෙකක් විඳවා මිය පරලොව යෑමෙන් ...

Starry Night (Don Mc.Lean)
Starry, starry night.
Paint your palette blue and grey,
Look out on a summer's day,
With eyes that know the darkness in my soul.

Shadows on the hills,
Sketch the trees and the daffodils,
Catch the breeze and the winter chills,
In colors on the snowy linen land.

Now I understand
What you tried to say to me
How you suffered for your sanity
How you tried to set them free.
They would not listen
They did not know how
Perhaps they'll listen now.

Starry, starry night.
Flaming flowers that brightly blaze,
Swirling clouds in violet haze,
Reflect in Vincent's eyes of china blue.
Colors changing hue, morning field of amber grain,
Field of Amber Grain - Wheat Field with Crows
Weathered faces lined in pain,
Are soothed beneath the artist's loving hand.

For they could not love you,
But still your love was true.
And when no hope was left in sight
On that starry, starry night,
You took your life, as lovers often do.
But I could have told you, Vincent,
This world was never meant for one
As beautiful as you.

Starry, starry night.
Portraits hung in empty halls,
Frameless head on nameless walls,
With eyes that watch the world and can't forget.
Like the strangers that you've met,
The ragged men in the ragged clothes,
The silver thorn of bloody rose,
Lie crushed and broken on the virgin snow.

Now I think I know what you tried to say to me,
How you suffered for your sanity,
How you tried to set them free.
They would not listen, they're not listening still.
Perhaps they never will...
පහතින් දැක්වෙන්නේ වින්සන්ට් වැන්ගෝ ගේ සිතුවම් කිහිපයක්….
800px-Van_Gogh_-_Starry_Night_-_Google_Art_ProjectVincent van Gogh. (Dutch, 1853-1890). The Olive Trees. Saint Rémy, June-July 1889. Oil on canvas, 28 5/8 x 36" (72.6 x 91.4 cm). Mrs. John Hay Whitney Bequest800px-Vincent_van_Gogh_-_Starry_Night_-_Google_Art_Project800px-Vincent_van_Gogh_-_Sunflowers_-_VGM_F458800px-Vincent_Willem_van_Gogh_1061280px-Vincent_van_Gogh_-_Wheatfield_with_crows_-_Google_Art_ProjectToulouse-Lautrec_de_Henri_Vincent_van_Gogh_SunVincent_van_Gogh_(1853-1890)_-_The_Old_Mill_(1888)


ගීතය අසන්න : https://www.youtube.com/watch?v=oxHnRfhDmrk

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->