දෙසවනින් අසන්නට : https://youtu.be/tZ2mjxQZQdM
දුරුතු සිතල හෙමින් මැකී යන හිමිදිරියේ, පේරාදෙණිය දුම්රියපල එකම හිස් ගෙඩි ගොඩක් වේගෙන එනවා. දහයයි පනස් පහේ
කොළඹ කෝච්චිය
එනතුරු ගෙල දික් කරගෙන ඇඟිලි ගනින සෙනග දකිද්දී, මං හිටගෙන යන්න හිත හදා ගත්තා.
දුම්රිය එනවත් එක්කම හිස්ගෙඩි ඔක්කොම ලහි ලහියේ ,
වදෙන් පොරෙන් මැදිරි වලට ගොඩ වෙද්දී,මාවත් ඉබේම මැදිරියකට තල්ලු වුනා. හිටගෙන යන මගියෙක්ට තියන
අන්තිම බලාපොරොත්තුව තමයි , අඩුම ගණනේ ආසනයක ඉහපතකට හේත්තු වෙන්න ලැබෙන එක. ඉතින් මමත් ආසන ඉහපත්තකට
හේත්තු වුනා.
“අක්කේ , ඔයා මෙතතින් ඉඳ ගන්න” හේතුවක් නැතිවම , එතන හිටි දැරිවියක් මට ආසනය පානවා.
පුදුමයත් ලජ්ජාවත් එකවර හිතට ඇතුළු වුනා. මහතට ආරන බඩ නිසා බබෙක් හම්බ වෙන්න කියල හිතුවද
මන්දා.හිත යුද්ද කරද්දී , ඒ නංගී , මාව උරහිසින් අසුනට ඔබලා ඉවරයි. මිතුරියන් රංචුව
එක්ක හිටගෙන යන එකත් ඇයට අපුරු සතුටක් ගෙනෙන්නැති. මම ඒ ලස්සන සුරන්ගනාවිට මුවිනුත්
හිතිනුත් පින් දුන්නා.
මට පවුලෝ කොයියෝ ගේ “ඇල්කෙමිස්ට්” හෙවත් “සන්තියාගෝ නම් සැරිසරන්නා”
පොතේ වැකියක් මතක් වුනා. “ඔබට දැඩිව යමක් අවශ්‍ය නම්, එය ඔබට ලබා දීම සඳහා ලෝකය කුමන්ත්‍රණය
කරනවා”. උදේ පාන්දර සිටම දාන කටයුත්තකට ලොකු පරිප්පු හැලි දෙකක් උයලා , ඇස් කඩා වැටෙන නිදිමතේ හිටිය මං වෙනුවෙන් ලෝකය කුමන්ත්‍රණ කරන්න ඇති. අදත් එහෙම දවසක් වෙන්න ඇති..
මගේ දෙපා අසල පුංචි සෙලවීමක්.. නිදා වැටෙන ඇස්පියන්
ආයිත් ඇහැරුනා. මලානික තාරුකා නිල් ඇස් යුගල තුනක් හිටගෙනම නිදා වැටෙනවා.නංගියි අයියල
දෙන්නයි. අම්මාගේ අබායාවේ එල්ලිලා තුරුල් වෙලා මයිල හැත්තෑවක් හිටගෙන යන්න හිතහදාගත්තම එන කඳුළු දිලිසෙනවා
... තුන්දෙනාගෙම ඇස් වල..
ආදරය කියන්නේ බෝ වෙන දෙයක්. අර හිටගෙන යන සුරන්ගනාවියගෙන්
බෝ වුන ආදරය , හිතට බර වැඩියි. මට එහා පැත්තේ හිටිය තිලක තියූ කතත් එහා මෙහා වුනේ මගේ
හිත තේරුම් ගත්තා වගේ. පුංචි නංගියා අපි දෙන්න මැද්දේ තුරුල් වෙලා ඇස් පියා ගත්ත.
තිලක තියූ අර සුන්දරිය ආදරෙන් අනෙක් මල්ලිව ඔඩොක්කුවේ නිදි කර ගත්තා. මන් හිතන්නේ තිලක
තියූ ඇගෙන් ආදර හුස්මක් ඉදිරි අසුනටත් පාවෙන්නැති . අප ඉදිරියෙන් අසුන් අරන් හිටි විදෙස්
ජාතික තරුණයෙක් , ඉතුරු වෙලා හිටිය ලොකු අයියාට අසුන පාමින් නැගී හිටියේ දෙහිතක් නොහිතාම.
ඔව් ආදරය කියන්නේ බෝ වෙන දෙයක්.
අයිය නගෝ තුන් කට්ටුවම උරහිස් වල , ඔඩොක්කු වල බෑග්
වල හිස තියන් සැප නින්දක.ඒත් ආදරය සුළඟක් වගේ ඇහැරගෙන ඒ මේ අත යනවා. ඇස් වලින් පෙරෙන
නිදිමතට ඉඩ නොදී මං බලන් හිටියේ , උකුලේ නිදියන පුංචි දැරියගේ සුව නින්දේ කිරි සිනහවේ
ලස්සන !
පුංචි අයගේ
කුකුල් නින්ද ඉවරයි. පුංචි අන්නාසි කැබලි , මුරුක්කු , වතුර , බඩ ඉරිඟු ආදරය එක්ක හරි හරියට හුවමාරු වෙනවා. මොහොතකට
පෙර පොරකාගෙන මැදිරියට ගොඩ වූ හිස් ගෙඩි, ආදරයේ නෑසෙන බසකින් එක පාරටම දොඩමලු වෙද්දී, අනේ ආදරේත් සුව කළ නොහැකි බෝවෙන රෝගයක් වුනා නම් කොච්චර හොඳද කියලා මට හිතුනා.
“අම්මේ ඔයත්
මෙතනින් ඉඳගන්න, මට කකුල් රිදෙන්නේ නැහැ දැන්”
අර අවුරු හය හතක විතර වයස ඇති නිදිමත ලොකු අයියා , අම්මගේ අබායාවෙන් අල්ලා ඉන්දවමින් ඇගේ දෙපා අසලින් බිම ඉඳගෙන ඇයට තුරුළු
වුනා.
ජිවිත කිහිපයක්ම වෙනස් කළ තරමට ආදරේ බෝ කරලා , දැන්
මොකුත් නොදන්නවා වගේ කිචි බිචි ගගා අර හිටගෙන
යන සුරන්ගනාවිට මම ආයිමත් හිතෙන් පින් පැමිණුවා.
එන්න අප තව තවත් ආදරය බෝ කරමු. එතකොට අනාදරය පෑල දොරෙන්
පලා යාවි.
ආදරය බෝ වෙන හැටි ඔබත් පාරේ තොටේ දුටුවොත් අපට ලියල
එවන්න. තරඟයෙන් තෘෂ්ණාවෙන් පුරන් වෙච්චි හිත් වල අපි මනුස්සකම් ආයිත් පැල කරමු.
වැලන්ටයින් කියන්නේ පෙම්වතුනේ තනි අයිතියක්ද?