Friday, December 13, 2019

[366] ඔහිය පන්සලේ ගල් ගැසුනු රැයක් !


බිම වැතිරීගෙන අතේ බිඳුවක්වත් ගා ගන්නැතුව නිදිමතේ චීස් සහ චිප්ස් කන අසරණයො දැකල තියනවද? (ආ , පල්ලෙහායින් තියන විඩියෝවත් බලාගෙනම එන්නකො)

කතාවට.. මතකනෙ කඩා වැටිච්ච පස් කන්දේ ආස්වාදයෙන් අපි තිස්වෙනිද හවස ඔහිය පන්සලට ගොඩ වුනා ..

අනේ සිනිමෝදර හාමුදුරැවෝ , අපරාදේ කියන්න බැහැ , අපට පන්සලේ ඇතුලේ තියන කොට්ට පැදුරැ බ්ලැන්කට් හෙම ලං කරලා දුන්නා . වහලය තැනින් තැන තෙමෙනවා. ඒ පුංචි පන්සලට බොහොම ලොකුවට අඩුපාඩු තියන වග අපෙ හිතේ සටහන් වුනා. (ඒ විස්තර පසුවට) 

හාමුදුරැ⁣වන් විතරයි පන්සලේ වැඩ ඉන්නෙ. වැස්සෙත් තෙමිලා වෙවුලමින් හිටිය අපට කාරැණික වෙලා උණුවතුරත් උණු කරලා දුන්නා උන්වහන්සේ , තේ ටිකකට.. අපෙ ගාව තිබුන නෙස්කැෆේ සැෂේ පැකට්ටු ( පුරැද්දක් හැටියට අපි අරන් යනවා ගමනක් යද්දි) වලින් හාමුදුරැවන්ටත් කෝපි එකක් පිලිගන්වලා අපි උන් වහන්සෙ එක්ක සාමිචි කතාවක් දාගෙන ඉන්නවා). 

දැන් වෙලාව හතට විතර ඇති. පන්සල ගැන නිතර හොයල බලන වයසක සීය කෙනෙකුත් පන්සලට ගොඩ වුනෙ , හදිසියෙම තෙමීගෙන පන්සලට ආපු අසරණ අපෙ දුක සැප බලන්න. 

"මහත්තුරැ බය වෙන්න එපා . අපි මහත්තුරැ බඩගින්නෙ තියන්නැහැ. මෙහෙ පරිස්සම්. අද යන්න එපා මහත්තතයාලා. දැන් රෑ කැම මොනවද ? කොහොමද ?" 

ඒ කාරැණික මහත්මයාගෙ වචන වලින්ම අපේ සීතලෙන් බාගයක් අතුරැදහන් වුනා.
"අපි ගාව පොඩි පොඩි කෑම බීම ටිකක් තියනවා . ඒ ඇති " 

නිතර අප එක්කම ගමන් යන පික්නික් බාස්කට් එක ගමනට පිහිට වුනෙ එහෙමයි.
මාෂ්මෙලෝ පැකට් එකක්, බිස්කට් පැකට් ටිකක් , ඉතුරැ වෙච්ච චීස් කෑලි ටිකක් , කිරි පැකට් ටිකක්, කෝන් ෆ්ලෙක්ස් බෝතලයක් බාස්කට් එකෙ තිබුනා. 

ඉතින් බිම කාපට් එක උඩින් පැදුරැ , ඇද රෙදි එලාගෙන , අංශක පහළොවට ගල් ගැහෙන සීතලේ, එදා නන්නාදුනන ගමක , පන්සලක විශ්‍රාම ශාලාවේ , සීත ඇදුම් මොකුත් නැතුව, අපි රැය පහන් කලේ එහෙමයි. බලන්නකො එදා අපෙ සිරියහන පහළ පළමු පින්තුරයෙ  


රෑ දෙක විතර වෙද්දි, අතපය නිල්වෙන්න සීතල වැඩ් වුනා. ප්‍රසන්නට සීතල දරන්න පුලුවන් වුනාට මට ඒක දරන්න අමාරැයි . අන්න අපට පිහිටට ආවා , අහම්බෙන් කීල්ස් එකෙ දැකලා ඩැහැගත්තු මේ අනර්ඝ වස්තුව (පින්තුරය 2) ! නිතර අඩල් ගමන් යන ඔබ අපි වගෙ උදවියට කියාපු භාණ්ඩයක්! තැන තැන ඇවිදින අපෙ පුංචි පහසු ගිනිමැලය  


මේකට කියන්නෙ fuel Gel කියලා . හෝටල් වල බුෆේ ක්‍රමයට ආහාර අසුරන ට්‍රේ වල , යටින් දැල්වෙන්නෙත් මේ වගෙ එකක් තමා. රැපියල් එකසිය පණහයි. පැය දෙක හමාරක් පත්තු වෙනවා මේ ලිපක් වගෙ ටින් එකේ ජෙලි එක. අනවශ්‍ය වෙලාවට පියන වහලා ආයිත් අරන් යන්න පුලුවන්. නැවත නැවත පාවිච්චි කරන්න පුලුවන් ජෙලි එක ඉවර වෙනතුරැ. 

හරිම ආරක්ෂිතයි. ගිනිමැල ගහන්න ඕන නැහැ තේ එකක් හදාගන්න. බිත්තරයක් බැද ගන්න. මාෂ්මෙලෝ කැල්ලක් ගින්දරට අල්ලලා hot marshmellow කන්න. (කාල බලන්නකෝ රස! ) එලිමහනෙ පුංචි පික්නික් එකක් යන්න. එදා අපිව සීතලෙන් ගල් වුන දා වගෙ වෙලාවක අත පය රත් කරගන්න. ! කදිමයි මේ පුංචි ලිප් පොඩ්ඩ !  

ඉතින් අපි පන්සල් ශාලාවෙ නිදන පැදුරට එහායින් මේ ටින් එක පත්තු කරලා ඒකට ටිකක් කකුල් දික් කරගෙන උන්නාම සීතලෙන් ටිකක් මිදෙන්න පුලුවන් වුනා.
ඔන්න ඔහොමයි ඔහියෙ රැය පහන් වුනේ. 

පලි
අත්දැකීම් අපිව පොහොසත් කරනවා පිරැණු මිනිස්සු කරනවා කියන්නෙ නිකම්ද? හැබැයි මට දැනෙන විදියට ගමන් යන එකත් කලාවක්. අනේ අපි තාම ඒකෙ බහුශ්‍රැතලා නම් නෙවි. 

දුර ගමනක් යද්දි , හැල්මේ දුවන්නෙ නැතුව , දුවන ජීවිතේ පොඩ්ඩක් වේගය බාල කරගන්න එකේ ලොකු ලල් එකක් තියනවා. මෙතෙක් නොවිඳි අත්දැකීමි විඳ ගන්න ආස නිසා , මොන තරම් කටුක අත්දැකීමක් වුනත් , බොහොම ආසාවෙන් විඳ ගන්න අපි සැදී පැහැදී ඉන්නවා. සමහර වෙලාවට ඔක්කොම ප්ලෑන් අවුල් කරගෙන, ෂෙඩියුල් එකක් නැතුව , ඉබාගාතේ යන එකෙත් ලොකු 'ලල්' එකක් තියනවා.

"ෂා මේකත් මාර අත්දැකීමක් තමයි" - කියන්න පුලුවන් විදියේ මොකක් හරි අපත අඩල් දෙයක්, අපිට, හැම ට්‍රිප් එකේම සිද්ද වෙන්නේ , සොබාදහම වුනත් කැමති ඇති අපේ ජීවිතේ වෛර්ණ කරන්න . අපි අපේ අඩමාන චාරිකා වලින් උපරිම විනෝදයක් ලබන්නේ ඒ නිසයි. 

හැබැයි ඉතින් නිර්මාණශීලි වෙන්නත් ඕනි ඒ වගෙ , ප්ලෑන් එකකට යන ගමන 'ටිකක් ඩල්' වේගෙන ඉද්දි , ඒක ඔක්කොම අනා⁣⁣ගෙන නාගෙන , ඒක අලුත් අත්දැකීමකට පෙරලා ගන්නත් !  

හැබැයි පින්වතුනි , මේ කතාව තේරෙන්නෙ නම් ඒක ඇත්තටම කරල තියන අයම විතරයි. 

Planning කෙසේ වෙතත් preparation නම් වැඩියක්ම ඕන වෙන්නෙ , අඩල් ගමන් යන්නම තමයි. !!!!

ඇයි ඕනිම දෙයක් වෙන්න පුලුවනිනේ ! . පස් කන්දක් පෙරලෙන එකේ ඉඳලා , අතපය තුවාල කර ගන්න එකේ ඉඳලා ,බඩගින්නේ ඉන්න වෙන එක දක්වා... ඕනම දෙයක්... ඔව් ඕනම දෙයක් වෙන්න පුලුවනි ... ඉතින් ඒ හැම දේකටම වුවමනා බඩු භාණ්ඩ අමතක කරලා ගිහින් නම් අඩල් ගමනක්, අලුත් අත්දැකීමක් විඳ ගන්න අමාරැයි තමයි

එහෙනම් , ඔබටත් අඩල් චාරිකා යන්න ඇරයුම් කරමින් , තව කොටසකින් මුණගැහෙන්නම් ... 

ඔය පහල විඩියෝවෙ තියෙන්නෙ , එක්තරා පින්වතෙක් එදා නිදිමරගාතේ බඩගින්නේ අසරණව වැතිරී චීස් සහ චිප්ස් කන පොෂ් ආකාරය පින්වතුනි... එයා එහෙමයි. කොයි මූකලානේ ගියත් පූසා හරි ස්ටෑන්ඩඩ් ලු නේ




No comments:

Post a Comment

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->