Wednesday, April 10, 2019

[354] අසන්ධිමිත්තා - මගේ කියවා ගැනීම

Image may contain: 1 person

ඈ රාත්තල් තුන්සියයක් බර වීම මට මෙහි උධෘතයක් නොවේ . ඇය මිනී තුනක් මැරීම කතාවට ත්‍රාසය ජනනය කලාද නොවේ.. එහෙත් අසන්ධිමිත්තා නියෝජනය කරන කාන්තාව යනු , ජීවිතය සමග පොර බදන , ජීවිතයේ සිහින තවමත් දකින ,ඒවා ඉටුකරගන්නට ගොස් , යලිත් වරක් පිරිමියෙකුට නතු වන, වරදෙහි බැඳෙන, ඉන් මනත සමාජය නමැති අධිකරණය විසින් පෝරකයට යවනු ලබන, චූදිත , සමස්ත ගැහැනු පරපුරමය.

ඇය පතන පිරිමියෙකු සිටී. ගෙවල් මිදුල් ඇමද , බත උයා සිත පුරවන, සුවච කීකරැ ගෘහ සේවකයෙකුද , තමන්ට ඔච්චම් කරන ⁣නොසන්ඩාලයකුගේ කණින් අල්ලාගෙන තම දෙපා මුල තල්ලු කරන හැඩිදැඩියෙකුද, ආගමට දහමට ලැදි ,සිය දරැවන් යහමග යවන තාත්තා ප්‍රතිරෑපයද ඇගේ පැතුමෙහි සිටී. රැකියාවක් කොට ගැහැණියට කන්න අඳින්නට දෙන ස්වාමියෙකු , සුරා සූදුවෙන් තොර පිරිමියෙකු ඇගේ එම පැතුමෙහිම සිටී. එහෙත් .. ප්‍රකෘතිය ඉතා අමිහිරිය. අමිහිරි ප්‍රකෘතිය විසින් ඇයව තනිකඩ කොට තිබේ.


Image may contain: 2 people, people sitting

පුනරාවර්තී ආදර චක්‍රයක පරිධියෙහි තබන මුල් පියවර වල පැණි රසය , ඉතිරි දිගු ගමනෙහි නැත. සිහින වල ආයුෂ බලා හිඳිද්දී
අඩුවේගෙන යයි.

පරිධියෙහි අවසන් අර්ධය , අපේක්ෂා භංගත්වය , ඊර්ෂ්‍යාව , වෛරය එකී මෙකී නොකී සිතුවිලි වලින් ආඪ්‍ය වෙයි. වංචාකාර පිරිමියා තම ඊලඟ ගොදුර සොයා පීරද්දී , චූදිත ගැහැනිය ,රස කතා සොයන කලාකරැවන්ට ප්‍රස්තුතයක් පමණි. ඇගේ කතාව මොහොතක වින්දනයක් උත්කර්ෂයක් සොයන තවත් ගැහැණියකට විහිලුවක් පමණි. ඇගේ කතාවම කියවන තවත් ගැහැණියකට විකී වැනි පිරිමින් ප්‍රතික්ෂේප කරන්නට තරම් අසන්ධිමිත්තාගේ කතාපුවතට බලපෑමක් කල හැකිද? අසන්ධිමිත්තාව බැරි අමාරැවෙන් පෝරකයට තල්ලු කරන ගැහැණු පිරිමි අත් වලට ඉහලින් , පෝරකය අබියස සිට අසන්ධිමිත්තා මේ සිනහසෙන්නේ , මේ අපටවත්ද ?

Image may contain: 1 person, smiling

අසන්ධිමිත්තා - නැරඹීමෙන් විඳි ප්‍රහර්ෂයෙන් ලියමි
2019-04-03
දිල්ශාරා වීරසිංහ

ප.ලි.

සංගීතය - මහ ඉහලය
රඟපෑම් - මහ ඉහලය
පිටපත - හොඳය
කැමරාව - මට ඉතා ප්‍රබල නැත.

පුද්ගලික ලිවීමකි. ප්‍රංශ , ස්පාංඤ වැනි සිනමා නිර්මාණ වල නිතර දක්නට ලැබෙන , කතාන්තරයකින් තොර , සිදුවීම් ඇමිණීමෙන් විශාල සංකල්පයක විවිධ පැති පෙන්වන සුලු සිනමා නිර්මාණ වලට පුද්ගලික කැමැත්තක් ඇත්නම් , අසංන්ධිගේ සුන්දරත්වය ගැඹුරින් විඳ ගත හැකිය.

No comments:

Post a Comment

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->