Sunday, October 02, 2016

[333] අනුකම්පා කලා නෙවෙයි ,මට ඇත්තටම දුක හිතුනා කරූ සර්...


ගොඩක් වෙලාවට සත්පුරුෂයින් ගැන හොඳ දෙයක් ලියද්දි කතාව බොහෝ විකෘති කරන්නට උවමනා වෙන්නෙ නැහැ. මේ ඊයෙ පෙරේදා ලිව්ව අර පොඩි සුරංගනාවිගෙ කතාව මතකනෙ. ඇය ඒ ලිපිය කියෙව්වද නැද්ද කියන්න මම දන්නේ නැහැ. ඒ කෙසේ වෙතත්, ඇයටවත් , ඒ අවන්හල් හිමියටවත් , අපටවත් ලිවීමෙන් කිසිම හානියක් වෙන්නෙ නැහැනෙ. ඒත් මම දැන් සති දෙක තුනක් තිස්සෙ , මේ අද මම ලියන්නට යන කතාව ලියනවාද නැද්ද කියා හිත වෙහෙසමින් කල්පනා කලා. මේ කතාව මට පැවසුව  මගේ හිතවත් මිත්‍රයාට , මට හෝ මේ කතානායක ගුරුතුමාට හානියක් නොවී එය ලියන්නේ කෙසේදැයි මම පැය ගණනක් කල්පනා කළා. අන්තිමේට කල්පනාවට තිත තියලා, ඔන්න මම අද ඒ කතාව ලියනවා, මගේ යාලුවා කියුව වචන වලින්ම ...


කරුණාත්න සර්...

මම කරු සර්ව මුලින්ම දැක්කෙ මීට අවුරුදු 18 කට විතර ඉස්සර. ඒ මම  ඕලෙවල් කරලා ගෙදර ඉන්න කාලෙ, නිකම් ඉන්න බැරි කමට මම එකවුන්ට්ස් කෝස් එකක් කලා. සර් තමයි එතන ලොක්කා- මැනේජර්. හරිම උස මහත ගරු ගාම්භීර පෙනුමක් එයාට තිබුනෙ. වැඩියේ හිනා වෙන්නේ නැති, ඒත් නපුරු පෙනුමකුත් නැති. අපි ඇකඩමියේ කතා කලේ උගන්වන පන්තියෙ ටීචර්ට විතරයි. කරු සර් හිටියෙ එයාටම වෙන් වෙච්චි ලොකු කාමරේක. එයා ආවෙ ගියෙ ඒ සමාගමෙන් ලබා දුන්නු ඩෙලිකා වෑන් එකක. අපේ ඇකඩමිය තමයි ඒ පලාතෙ අංක එකේ වාණිජ ඇකඩමිය. ඒ නිසා කරූ සර්ට පලාතෙම ලොකු පිලිගැනීමක්, ගරුත්වයක් ගොඩ නැගිලා තිබුනා. අපි එහෙම සර්ගෙ කාමරේ ඉස්සරහින් ගියෙත් පැයට කිලෝමීටර් සීයේ වේගයෙන්. සර්ගෙ වැඩි කතා බහක් නැහැ. අපි ඉතින් පොඩි ඇච්චො බැච්චොනෙ. සර් අපිට කිසිම දවසක සැර වැර කරල නැති උනත් අපි හැමෝම සර්ගෙ ‍රැස් වලල්ලට බයයි. සර්ගේ දුවට ඒ කාලෙ අවුරුදු තුනක් විතර ඇති.

කාලය ඉගිලිලා ගියා . අපි එතැන අවුරුදු කීපයක් ඉගෙනගෙන උපාධි අරගෙන අපේ ලෝක වලට ඉගිලිලා ගියා. අපි වෙනස් වෙන වේගෙන්ම ලෝකයත් වෙනස් වුනා. සීමිත ඉගෙනුම් අවස්ථා වලට පමණක් දොර ඇරිලා තිබුන අපේ නගරයට, එක එක මාදිලියේ ඉගෙනුම් ආයතන ආවා. සමහර ආයතන ඇරුන වේගෙන්ම වැහිල ගියා. සමහර ආයතන ලොකු රූස්ස ගස් වගේ අපේ පොලොවට මුල් ඇදුනා. අපේ මතක ගොඩක් දරාගෙන විරාජ මාන උන  පතාක යෝධයෙක් වගේ හිටි මේ වාණිජ උසස් අධ්‍යාපන ආයතනයට කණ කොකා හඬලා කියලා අපි දැන ගත්තෙ ගොඩාක් කල් ගියාට පස්සෙ.


බලාගෙන ඉන්දැද්දි අපේ දෙවෙනි ඉස්කෝලෙට එන ලමයින් ගණන අඩුවෙන්න උනා. අලුතෙන් වැඩට ගත් ලාබාල ගුරුවර ගුරුවරියො ගැන එක එක කයි කතන්දර හැදෙන්නට ගත්තා. නගරයෙ දෙමව්පියන්ගෙ නොමඳ විස්වාසයක් දිනාගෙන සිටි මේ පාසලට එන්න එන්නම ළමයින් එන එක අඩු වෙන්නට පටන් ගත්තා. සමහරු කිවුවා ඒකට හේතුව කරුණාරත්න සර්ගෙ අසාර්ථක කලමණාකාරිත්වය කියලා. සමහරු කිවුවා ඒකට කරුණාරත්න සර්ට කරන්න දෙයක් නැහැ , තරඟකාරී වෙනත් ආයතන තමයි වග කියන්න ඕනි කියලා.  තව සමහරු කිව්වෙ අපේ ආයතනය නඩුවකට පැටලිලා කියලා. තව සමහරු කිව්වේ ඉහල කළමණාකාරිත්වය දෙකට බෙදිලා ආයතනය දෙකඩ වෙන්න යන නිසා අපේ පන්තියට කණ කොකා හැඬුවා කියලා. අද අපි මේ ගෙවන සැපවත් අනාගතයට මූලික අඩිතාලම දැමුව අපේ දෙවෙනි පාසලට මේ වේගෙන යන වින්නැහිය දිහා බලන් ඉන්නට කල් වෙලා නොතිබූ අප ආපහු ඒ ගැන හොයා බලන කාලේ වෙද්දී , වෙන්න තියන දේ වෙලා ඉවරයි.

කාලය ඉගිලිලා අවුරුදු පහළොවක් විස්සක් ගියාම ලෝකය වෙනස් වෙන එක අහන්නත් දෙයක්ද නේද? අපි දැන් ළමා ලපටි ඉන්න පවුල් පන්සල් කාරයෝ.මම බිරිඳයි දුවයි එක්ක පිටරට ඉඳල ලංකාවට ආවෙ මාස තුනක නිවාඩුවක් ගත කරන්න. අපි දුක් මාන්සියෙන් හරි හම්බ කළ දේවල් වලින් අපේ දුප්පත් පවුලුත් යම් මට්ටමකට ඔලුව ඉස්සුවා.ආයිමත් ලංකාවෙ පොළවෙ පය ගහලා,  පුරුදු ගම් දනව්වෙ ඇවිදිනකොට දැනුන සනීපෙ නම් කියල වැඩක් නෑ. දවසක් මම පයින්ම එලියට බැස්සේ හිතේ හැටියට පරණ මතක අවදි කරගන්න. රට තොට වෙනස් වී තියන හැටි බලන්න. සොච්චම් කාසි ටිකක් අතට අරගෙන එදා අපි පන්ති විවේකයේ දුවන් ගිය පේස්ට්‍රි ශොප් එක තියන තැන දැන් මහ බරපතල සුපර් මාකට් එකක්. එතැන තිබ්බ රූස්ස ගහේ අතු කෑල්ලක්වත් පේන්න නැති නිසා බස් එකෙන් බහින තැන හොයා ගත්තෙත් අමාරුවෙන්. අපේ ඉපැරණි පෙම් මතක තැවරුනු දෙවෙනි ඉස්කෝලෙ කෝ ? සලකුණක්වත් පේන්න නැහැ. අද එතැන තියෙන්නෙ ලොකු නිමි ඇඳුම් සාප්පුවක්. 
අපේක්ෂා භංගව ගිය  මම බස් නැවතුමට පිය මැන්නෙ හිස් වූ හදවතින්. සතියක් දෙකක් ගෙවිලා ගියා. ආයිමත් දවසක නගරයට ගිය මම නගරයෙ එක්තරා ප්‍රසිද්ද බස් නැවතුමක බසයක් එනතුරු බලාගෙන හිටියා. එදා මම ටිකක ඇඳ පැලඳන් හිටියෙ බටහිර පන්නෙට සැහැල්ලු ඇදුමක්. වට පිට බලද්දි මම ඈත තියා හෙමි හෙමි අඩි තියාගෙන එන සුපුරුදු උස මහත රූපකායක් දැක්කේ අහම්බෙන්. ටිකක් පරණ වූ කන්තෝරු  බැගයක් එල්ලාගෙන , පාරෙ මා ඉන්නා පැත්තෙන්ම මා ඉන්නා දිහාවට ඇවිදගෙන එන්නෙ 'අපේ කරුණාරත්න සර්!!' . මට දැනුනේ දුකක්ද සතුටක්ද කියලා හිතාගන්න බැහැ. 

අපේ ජීවිත මේ තරම් ඉහළට නැග්ගූ පතාක යෝධයා ව යලිත් දකින්න ලැබීම මොන තරම් සතුටක්ද? අනේ සර් , සර්ල නිසයි අපි මෙහෙම ඉන්නේ කියන්න ලැබෙන උතුම් මොහොත ! ඒත් සර්ගේ දර්ශනය ලං වෙන්න ලංවෙන්න මගේ ප්‍රීති උන්මාදය මහා කම්පනයකට පෙරලීගෙන එන බවක් මට දැනෙන්නට වුනා. පපුව හෝස් ගා ඇවිලෙන්නට වුනා. මුහුණ දුන් කම්කටොලු නිසාවෙන්දෝ සැබෑ වයසට වඩා වේගෙන් මහලුව ගොස් සිටි ඔහු , බිමට බා ගත් හිසින් , දහඩිය වගුරමින් පයින්ම බස් නැවතුමට ඇවිද එමින් සිටියේ වයසක කන්තෝරු මහතෙකු  වගේ. කාර්යාල සහයකයා වාහනයෙන් බාගත් කන්තෝරු බැගයද ගෙන  පිටුපසින් ඇදෙද්දී , ගම්භිර පෙනුමෙන් තෙජස්වත් අඩි තබා අපේ දෙවෙනි ඉස්කොලයට ආ කරුණාරත්න සර් කෙනෙක් මිස , මෙවන් කරුණාරත්න  සර් කෙනෙක් මගේ මනෝ දර්ශනයේ කිසිදාක ඇඳී තිබුනේ නැහැ.

ලෝකය කොයි තරම් කුරිරුද? හොඳ හිත් ඇති සත්පුරුෂයින්  දඩමීමා කොටගත් නොමිනිසුන් , කරුණාර්ත්න සර්ලා කී දෙනෙකුගේ අහිංසක ජීවිත දඟ ගෙයි ලන්නට ඇද්ද? මහ පාරට ඇද දමන්නට ඇද්ද? සිය සුඛෝපභෝගී ජීවිත දුක්ඛිත දුගී බවට පත් කරන්නට ඇද්ද? අහිංසක දුවා දරුවන්ගේ ජීවිත වියවුලෙන් වියවුලට පත් කරන්නට ඇද්ද ! සංසාර චක්‍රය කොයිතරම් අද්භූත අයුරෙන් කැරකෙන්නේද? මට හිතාගන්නට බැහැ. අපි කිසිදාක නොදු‍ටු තරම් බිමට බා ගත් හිසින් යුතුව දහඩිය ගංගාවක් වගුරමින් , අපේ කරූ සර් මා සිටින නැවතුම වෙත ඇවිද එන අයුරු දකින්නට මා පව් කොට තිබු තරම !  මා හඳුනාගත් නිසාවෙන්දෝ , බස් නැවතුම කරා නෑවිත් , ඔහු මට අඩි විස්සක් තිහක් එපිට තියා පාර මාරු වූ අයුරු මා බලා සිටියේ මහත් වූ වේදනාවෙන්.

සර් මට මුහුණ නොදී මග හැර ගිය හෙයින් මගේ වේදනාව තවත් වැඩි වුනා. 'සර් සර්ට කොහොමදැයි' මා ඇසුවොත් ඔහුට අකම්පිතව සිනහසී දෙන්නට පිලිතුරක් නොමැති නිසා වන්නට ඇති ඔහු මට මුහුණ නොදෙන්නට ඇත්තේ.. . එහෙත් හේතුවක් රහිතවම , මට දැනුනේ මහ  වරදකාරී හැඟීමක්. කම්පාවක්.
ලංකාවේ ගතවූ සති කිහිපයේදී, අපේ කරූ සර්ට පසුගිය කාලයේ සිදුවූ  බොහෝ දෑ මිතුරු මිතුරියන් හරහා මට දැනගන්නට ලැබුනා. ආයතනය රැක ගන්නට උරදී ,ඔහු කරදරයේ වැ‍ටුනු විටදී වත්, ඉන් පසු බලවත් සේ ගිලන්වූ විටදීවත් , එතෙක් ඔහු විඳි සුඛෝපභෝගී ජීවිතය ඔහුගේ සතුරන් විසින් අහිමි කල යුගයෙදීවත් , කරු සර්ගේ හිත හැදෙන්නට එක වදනක් හෝ පවසන්නට මා පින් කොට තිබුනේ නැහැ. සර්ගේ පුද්ගලික හිතවතෙක් නොවුනත් , ඔහුගේ සෙවණේ උගත් දේ නිසා , මා අද දෙපයින් සිටගෙන ජීවත් වන බව මට අමතක වී තිබුනේ නැහැ. සිය පදවි තානාන්තර යාන වාහන අහිමිව ගියත් , ඔහු නිරෝගී සුව ලැබූ පසුව , එතරම් ඉහල නැතත් , හොඳ රැකියාවක් කරගෙන නිහඬ සාමකාමී ජිවිතයක් අද ගත කරන බව ඇසු මගේ හිතට දැනුනේ මහා සැනසිල්ලක්.


කාලය තවත් සතියක් දෙකක් ගෙවී ගියා. මව්බිම අතහැර ආපහු යන දිනයත් ලං ලංව ආවා. මම බිරින්දෑව වාහනයේ නංවාගෙන සාප්පු සංචාරයක් අවසන් කරමින්, පෙර දා කරු සර් හමුවූ බස් නැවතුම පසු කර යමින් සිටියා. පෙරකී සිදුවීමෙන් පසු , ඒ බස් නැවතුම පසු වූ හැම දිනෙකම මට කරූ සර්ව මතක් වුනා. ඒ හැම විටකම ලෝකය පිලිබඳ කලකිරීමක් වැනි හැඟීමක් හිතට ඇතුල් වුනා. අදත් එතැන පසු කර යද්දී මට එදෙස බැලුනේ ඉබේටම. 

කරූ සර්! 

අර සුපුරුදු කන්තෝරු බෑගය අතකින් ගෙන, අනෙක් අතින් සිය තරුණ දියණිය අල්වාගත් කරූ සර් බසයක් එනතුරු බලා සිටියා. ඔහුත් දියණියත් පසු කර යන රථයේ හුන් අප හඳුනා ගත් කරු සර් , විස්තර කරන්නට නොහැකි මහා හිස්  හැඟීමකින් බලා සිටිනු මා ඉදිරි කන්ණාඩියෙන් දු‍ටුවා. 

"අක්කා, සමහර වෙලාවල් වලදී අපි විඳින සම්පත් අපිට ආභරණයක්, පහසුවක් වෙනවා තමයි. ආඩම්බරයකුත් වෙනවා තමයි. ඒත් එදා කරුණාරත්න සර් බස් ස්ටෑන්ඩ් එකේ දුවත් එක්ක  හිටගෙන මං දිහා බලා හිටි වෙලාවේ , අනේ ඇත්තමයි මට මහ පාර මැද්දේ වාහනේ නතර කරලා බැහැල යන්න හිතුන අක්කේ." 

කෙනෙකුට ඔලොක්කු සිනහවක් නැගෙන්නට තරම් ඉතා සුලු කෙටි සිදුවීමක් ලෙස ඇතැම් විට සිතෙතත් , මගේ මිතුරා  එය පැවසූ හඩෙහි  තිබු සංවේදී බව , ගැඹුර සහ සියුම් වේදනාව එකට ගත් කල එය ලිවීමට නොයිවසිල්ලක් මා සිතේ හට ගැනුනා. එය මිනිස්කම , සංසාර ගමන සහ කෘතවේදීත්වය පිලිබඳ අතිශය සංවේදී සටහනකැයි හැඟුණ නිසා, ඔබටද කියවා පහන් සංවේගය උපදවා ගනු පිණිස මා මෙහි එය ලියා තැබුවා. 

මා දැක නැති කරු සර්ට , 

නේක අවගුණ පිරුන දුර්දන
ඔබව හැර ගොස් ඔබව පෙලු මුත්
අපේ ලොව තැනු  ගුරු පියාණෙනි
අපට නම් ඔබ රජෙකි තවමත්..


10 comments:

  1. බොහොම සංවේදී කතාවක්. ඒ වගේම හිතට දැනෙන විදියට අකුරු කරල තියනවා.

    ReplyDelete
  2. බොහොම සංවේදියි මේ කතාව.

    ඔහොම සර් කෙනෙක් අපිටත් ඉන්නවා.

    අපිත් ඒ ලෙවල් කරලා ඉන්නකොට ගියා මීගමුවේ කම්පියුටර් ක්ලාස් එහෙකට.
    එකේ අපි කරපු කෝස් එකේ මිල ඒ කෝස් එකම වෙන තැන් වල කලොත් ඒ වගේ හතර ගුණයක්.

    එත් ඒ සර්, කිසම අඩු පාඩුවක් නොකර ඒ කෝස් එක ඒ කොලිටි එකෙන්ම හොඳටම කළා.
    අද අයි ටී පැත්තේ ජොබ් එකක් නොකලත්, අයි ටී සම්බන්ධ ඕනෑම දෙයක්, ඒ කියන්නේ ඕනෑම දෙයක් කාගෙවත් උදව්වක් නැතුව කරගන්න මට පුලුවන් වෙලා තියෙන්නේ අන්න ඒ උතුම් මනුස්සයා නිසයි.

    මේ ආයතනය ගොඩ නගන්න , දියුණු කරන්න ඒ සර් තමුන්ගේ වාහන ඉඩම් වගේම පදිංචි ගේ පවා වික්කා.
    බයික් එහෙක් ආපු මනුස්සයා අන්තිමේදී දකිනකොට බස් එකේ තමයි වැඩට ගියේ.

    මේ කතාවේ වගේම මගේ කතාවෙත් ඒ ආයතනය බොහොම දුෂ්කර දේවල් වලට මුහුණ දුන්නා.
    එක වතාවක් ගිනි අරගෙන සම්පූර්ණයෙන්ම විනාශ වුනා.
    එත් දැනුත් බොහොම පොඩියට ඒ ආයතනය පටන් අර කියලා ආරංචියි.

    ඒ සර් අදත් එදා වගේම සල්ලි බලන්නේ නැතුව කොල්ලෝ කෙල්ලන්ගේ ඇස පාදනවා.

    ReplyDelete
    Replies
    1. මේ කතාව වගේමයි ..... හොඳ මිනිස්සු මේ ලෝකේ කොතන හරි ගහට ගහක් වගෙ හමුවෙනවා :)

      Delete
  3. වැදගත් කතා පුවතක්. ගුරුවරු අතර එවැනි කැපවීමෙන් සේවය කරන අය ද බොහොමයි.

    ReplyDelete
  4. ඒ වගේ වෙලාවල් වලදි අපිත් හරි අසරණයි තමයි..ඉහළ තලයක ඉඳලා පහල මට්ටකින් ජීවත් වෙන්න පුලුවන් එකත් ලොකු ජයග්‍රහණයක් මම හිතන්නේ..

    ReplyDelete
  5. Hithata hugak denuna..

    ReplyDelete
  6. Hithata hugak denuna..

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->