Sunday, January 03, 2016

[327] තෙපිටයි ඒ පාපේ - පවුකාරයිනි

සිරස සුපර් ස්ටාර් බැලුවෙමි. අහම්බෙන් කණ වැකුනු මේ වටිනා ගීතය , මට බ්ලොග් එකක් ඇති බවද , එයට මොකුත් ලඟකදී නොලියූ බවද සිහිපත් කරන ලදී.. 





සොයා දියවු 
සොයා දියවු මට සරණක් 
මා අත ගන්නට පෙරුම් පිරූ යෞවනයන් 
 දකුණේදී උතුරේදී ,
මරදැමූයේ 
තෙපි නොවේද පවු කාරයිනී

නීල වරල මතු වන නර කෙස් ගනිමි 
බාල සුවඳ ආලේපන ගෙන උලමී
දෙතන එරෙන කිරි දොවා ඉවතලමි 
තෙපිටයි ඒ ශාපේ - පවුකාරයිනි 

මැලවෙයි නෙතු මහනෙල් නා දලු දෙතොලේ 
ගිලිහෙයි පෙති සියපත වන් වත මඬලේ 
හදෙහි නැගෙන ගිනි , කඳුලින් ඉවසමි 
තෙපිටයි ඒ පාපේ - පවුකාරයිනි 

මේ නම් එසේ මෙසේ වචන ටිකක් නොවේ. සාමාන්‍ය සිතීමේ මානයෙන් එහා ගිය සිතුවිල්ලකි. සුනිල් ආරියරත්නයන්ට හැර වෙනෙකෙකුට නම් , මෙබඳු වචන  වෙඩි උණ්ඩ බිහි කරන්ට නොහැක්කේය . මීට දශකයකට එහා, ඉන්දියන් සාගරයේ මුතු ඇටය පලුදු කල දරුණුතම ව්‍යසනයෙහි ලෙහෙසියෙන් නොසිතෙන පැතිකඩක් නොවේද මේ ? 

උතුරේත් දකුනේත් වෛරය වපුරමින් , පවුල් ගණනාවකගේ ජීවිත පුරන් කරමින් ඔඩු දිවූ බිහිසුණු යුද්ධයෙන් අනාථ වූයේ ඔවුනොවුන්ගේ නෑ සිය මිතුරන් පමණක් නොවේ . මිය ගියේ තරුණ ජීවිත නොවේ , රටේ නිර්මාණශීලි තාරුණ්‍යයයි . අබ්බගාත වූයේ දහසක් කු‍ටුම්භ අභිමුඛයෙහි දුර්මුඛ වූ අහිංසක ගැහැණුන්ගේ අනාගතයයි.  ආදරයෙන් පරාජය වූ , ආදරයෙහි පිරිමි මුහුණත අතුරුදහන් කරන ලද , ආදරයට හද විවර කොටගෙන සිට දුර්මුඛ වූ දහසක් ගැහැණුන්ගේ ශෝකාලාපය , කෝපාවේගය ලිවීමට මෙයට වඩා වදන් නොමැත්තේය . 

රටක ජීවනාලිය ළමා පරපුර යයි අපි උදම් අනමු. එම රටෙහි අනාගත ශක්තිය බිහි වන්නේ ඒ ළමා පරපුර උස්මහත් වූ කල්හිය. උස්මහත් වූ තරුණ තරුණියන් රට රකින්නට ගොස් වෙඩි කැවාහුය. අබ්බගාත වුවාහුය . අනාත හා අවතැන් වුවාහුය . ඉතිරි අවූවන්ගෙන් අඩක් සුනාමියට බිලි වූවාහුය.  තරුණන්ගෙන් හිස්වූ ජනතා අධිකරණය  මහත් හරසරින් වඩාගෙන සුරතල් කරන්නේ ,  ඔතාගෙන සහ අනාගෙන කන්නේ කල් ඉකුත්වූ මහල්ලන් වීම අරුමයක් නොවේ. 

මේ සියලු අ‍තෝරයන් දෙස බලා සිටිමින් වියපත් වන තාරුණ්‍යය සිහි කරමින් නොයිඳුල් තරුණියෝ දින දසුනට සාප කරති. දරු මුණුබුරන් සමග තනිවූ ගැහැණු පිරිමි ‍රැකවරණයෙන් සිස් වූ නිවස්නෙහි සිය කනවැන්දුම් සුසුම් පා කර හරිති.  උතුරේත් දකුණේත් තරුණන් මරා දැමූ පවුකාරයින් කවරහුද ? 

ඒ 'තෙපි' නොවේද පවුකාරයිනි ???? 




ගීය  ගයන්නේ : ප්‍රදීපා ධර්මදාස 
ගිය ලිව්වේ : මහාචාර්ය සුනිල් ආරියරත්න 
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ 

ගිය අහන්න 

9 comments:

  1. ලස්සන ගීතයක් අමුතු කරලා ගායනා කරනවා අහලා අායෙම අර ක්ලැසික් සින්දුව අහලා විදින්න සැලැස්සුවා....... අගෙයි

    ReplyDelete
  2. තැන්ක්ස් ෆෝදි ඉන්ෆෝ..

    ReplyDelete
  3. //තරුණන්ගෙන් හිස්වූ ජනතා අධිකරණය මහත් හරසරින් වඩාගෙන සුරතල් කරන්නේ , ඔතාගෙන සහ අනාගෙන කන්නේ කල් ඉකුත්වූ මහල්ලන් වීම අරුමයක් නොවේ. // අපිට කියන්න දෙයක් ඉතුරු කරලා නැහැ. ලෙසටම කියල තියෙනවා.

    ඒ වගේම දැන් තරුණයෝ කියල ඉතුරු වෙලා එව්වොත් බොහොමයක් තරුණයෝ නෙවෙයි. වරදට වැරදියි කියල කියන්න පණ නැති නම් අඩුම ගානේ නිහඬව ඉන්නේ නැතුව කිසිම වරදානයකුත් නැතුව වරදම හොදයි කියන මොලයක් නැති ඇගේ හයිය පමණක් ඇති සිංහයෝ වෙන්න හදන කල් පැනපු සිතිවිලි වල හිරවුණ කොන්ද කැඩුණු මෝඩ කැනහිල්ලු.

    ReplyDelete
  4. //තරුණන්ගෙන් හිස්වූ ජනතා අධිකරණය මහත් හරසරින් වඩාගෙන සුරතල් කරන්නේ , ඔතාගෙන සහ අනාගෙන කන්නේ කල් ඉකුත්වූ මහල්ලන් වීම අරුමයක් නොවේ. // අපිට කියන්න දෙයක් ඉතුරු කරලා නැහැ. ලෙසටම කියල තියෙනවා.

    ඒ වගේම දැන් තරුණයෝ කියල ඉතුරු වෙලා එව්වොත් බොහොමයක් තරුණයෝ නෙවෙයි. වරදට වැරදියි කියල කියන්න පණ නැති නම් අඩුම ගානේ නිහඬව ඉන්නේ නැතුව කිසිම වරදානයකුත් නැතුව වරදම හොදයි කියන මොලයක් නැති ඇගේ හයිය පමණක් ඇති සිංහයෝ වෙන්න හදන කල් පැනපු සිතිවිලි වල හිරවුණ කොන්ද කැඩුණු මෝඩ කැනහිල්ලු.

    ReplyDelete
  5. ලෝකයේ ඕනෑම රටක ඕනෑම කාලයක සංග්‍රාමයක් ඇතිවූ පසු මෙලෙස අසරණ බවට පත්වන ස්ත්‍රීන් සෑහෙන සංඛ්‍යාවක් ඉතිරිවෙනවා. නමුත් ඔවුන්ගේ දුක සමාජය වෙත සහ පාලකයන් වෙත උලුප්පා දැක්වීම ඉතා පහළ මට්ටමකින් සිදුවන්නේ. ජය සැමරීමෙන් පසු සහනය සැලසීම ගැනත් හිතන්න ඕනේ.

    ReplyDelete
  6. මාත් මේ පැත්තට ආවේ පලවෙනි වතාවට.
    නියමයි.)

    ReplyDelete
  7. මමත් අහම්බෙන් මේ ගීතය රස වින්දා. ඇත්තටම ඔබ කියන දේ සත්‍යයක්. උතුරේත් දකුණේත් සිටින අන්තවාදීන් සක්‍රීය වෙලා. මට ඒක හොඳට දැනුණේ වැඩි වශ්ස්යෙන් දෙමළ පිරිස් සහභාගී වූ නයිජීරියානු තානාපති විසින් කල දේශනයකට සවන් දෙන්නට ගිය අවස්ථාවේ. මේ දමිළ අය ඉතා ආවේගයෙන් රජයට දොස් පැවරුවා. නයිජීරියාවේ එක්දහස් නවසිය හැට ගණන් වල සිදු වෙච්ච සිවිල් යුද්ධයක්න් පස්සේ ඒ රට, ඒකට පසුබිම් වුණු එකදු පාර්ශවයක් දෙසවත් විශේෂයෙන් නොබලා, ජනතාවද ඉතා සමගියෙන් ඉදිරියට ගිය ආකාරය ඉන් විස්තර කෙරුණා. ඒකෙ හඬ පටය මට ලැබෙයි. මම ඉන් පස්සේ බ්ලොග් පොස්ට් එකක් දාන්නම්.

    ReplyDelete
  8. රටේ ඕනේ තරම් කොල්ලන් සිටිති, නානා විද ආරෝහ පරිණාහධාරීහු, නානා විද බුද්ධිමතුන්, නානා විද රූපකායන් යුක්තවූවන්, හා නානා විද පරිවාර සම්පත්තිධාරීන් ඒ අතර වෙති. එනමුත් උතුරේත් දකුණේත් විප්ලවීය වෙනසක් ඇතිකරන්නට වීර්යය තිබූ දක්ෂයින්, නායකයින්, ජාතික විරුවන් පවුකාරයින් විසින් මරා දමා ඇත. මෙතරම් හඬ පෞර්ශයකින් යුක්ත කාන්තාවක් බලාපොරොත්තු වන්නේ එවන් ස්වාමි විරුවෙක් ලැබීමට මිස බියගුළුව සැගවී බේරී සිටි පුරුෂ වෙස් ගත් නපුන්සකයෙක් ලැබීමට නොවන බව මගේ මතයයි. එසේ නම් සැබැවින්ම කො ඇයට පිළිසරණක්?

    ඇත්තෙන්ම මෙවන් මතයක් දරණ ඇයද ජාතික වීරවරියකි. ඇය විරු ස්වාමියෙකු සොයන්නේ හුදෙක් කාමඡ්ඡන්දයන් අරමුණු කරගෙන නොවනු ඇත. බාල සුවඳ ආලේපන ඉලුවත් වසාගත නොහැකි පරිද්දෙන් නර කෙස් මතුවී හෙට ඇගේ පරපුර එතකින් නිමාවනු ඇත. එනමුත් වචනෙයේ ව්‍යංගාර්ථයෙන් ඇය පවසන්නේ මේ රට වෙනුවෙන් තවත් විරු පරපුරක් බිහිකළ යුතු බව නොවේද?

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->