Friday, December 06, 2013

[299] අවසන මම 'ඈ' ගැන සිතීම අත් හළෙමි..

 
ඊයේ - බ්‍රහස්පතින්දා දහවල  
-------------------------------
බොහෝ දිනකට පසුව මහනුවරට සැපත් වීමි. මේ මගේ කෙටි නිවාඩු දිනයය. දවල් ඉර පෙනෙද්දී කඩ සාප්පු වල ගාටන්නට ලැබෙන ස්වර්ණමය අවස්ථාව මම මග නොහැරීමි. කඩින් කඩ වැටෙන මඳ වැසි මේ මහනුවරද  නුවරඑලියද? කියා සිතෙන් අසයි. ඇසි පිය හෙලන වේගයෙන් ගණ මීදුම කඳු හිස් වැලඳ ගෙන ඊලඟ මොහොතේ අතුරුදන් වෙයි.බස් රථයක ගමන් ගනිද්දී වටපිටාවේ බොහෝ දෑ පෙනෙන අරුම! ලියමනකට කරුණු එකතු වෙන අරුම !

පාසැල් ඇරෙන වෙලාවය. මා හිඳ සිටින බස් රථය රිය තදබදයෙහි එක තැන නතරව තිබෙයි.ජනේලය පාමුල පදික වේදිකාවේ මව්වරුන් දෙදෙනෙක් මගේ නෙත ගැටෙයි. නලල මැදට වන්නට සුදු කෙස් මතුවූ , ඒ කෙස් ගස් හරි හැටි නොපීරන ලද නිසා අවුල් වූ කොණ්ඩයකිනුත් යුත් තරුණ මව සිය කුඩා පුතු අතින් අල්ලාගෙන පදික වේදිකාව මැදම යෙහෙළියක් සමග කතා බහකය!  මම ඇගේ හිසේ සිට පාදාන්තය තෙක් බලමි. වේගයෙන් පලා ගිය යෞවනයේ පැහැපත් සම , ආරන ලද උදරය , වයසට වඩා මුහුකුරා පෙනුම, හරි හැටි පිලිවෙලකට නාඳින ලද කොට සාරිය ( එහෙන් මෙහෙන් පැටලූ යයි කීම නිවැරදිය) , පයෙහි ලූ නොසේදූ පාවහන් යුගල , ඉන් වැසී ගත් පැලුනු යටිපතුල්  මගේ තියුණු දෑසෙහි තැවරෙයි. මට සුසුමක් පිටවෙයි. බොහෝ ප්‍රශ්න හිසට පැන නගියි. 

'ඇයි දෙයියනේ මේ මිනිස්සු තමන්ට ආදරයක් නැත්තෙ?'

ඉක්ම යන යෞවනයට වඩා ඈට සිතන්නට බොහෝ දේ ඇතුවා විය හැකිය..  දරු සිඟිත්තන්ගේ අනාගතය !  රැකියාව ! රෑට බත සරි කරන මාලු පිණි ! හෙට උදයේ වැඩ කටයුතු ! දරුවන්ගේ ගෙදර වැඩ ! පාඩම් පොත් රාජකාරි ! ඇඳුම් මැදීම ! මේ සියලු පහින පත් වෙනුවෙන් වෙහෙසෙන ඈට සිතන්නට කොහෙද වෙලාවක් ඈ ගැන ? මා ඇගෙන් ඇසුවහොත් ඈ මෙයින් එක දෙකක් හෝ නිදහසට කරුණු ලෙස කියනු ඇත.

 මම ඇගෙන් මුදා ගත් සිත ඇගේ යෙහෙලි මවට යොමු කරමි. තත්වයෙහි වැඩි වෙනසක් නැත. මම කම්පාවෙන් යුතුව හාත්පස බලමි. දුටු දසුනින් එහා ගිය අමුතු පිලිවෙලක් හෝ පිරිසිදු බවක් ඇස් මානයේ කිසිදු වැඩිහිටියෙකුගෙන් දිස් නොවෙයි. දරුවන්ගේ උවමනා එපාකම් වලටම දිය වෙච්චි ජීවිත ! මට මගේ දෙමව්පියන්ද මතක් වෙයි. ඔවුන්ගේද වැඩි වෙනසක් එකල්හි නොතිබූ බවම සිහිවෙයි. අපි නිසාම වයසට ගිය ආත්මයන් දෙකක් ! මට දැඩි දුකක් දැනෙයි.

 මෙරටෙහි ගැහැණු මිනිසුන් තුල යෞවනය අල්ලා හිටින්නේ පෙම් කරනා තෙක්ම පමණක්ද? . විවාහයෙන් පටන් ගන්නා 'නව ජීවිතය' යනු වගකීම් , යුතුකම් , අනාගත හීන , මුදල් , ගෙවල් යානවාහන සහ දරුවන් හදා වැඩීම පමණක්ද?විවාහයෙන් මිනිසාටත් ගැහැණියටත් 'තමා' අහිමි වන්නේද? 

මම කල්පනා කරන්නෙමි.අප සිහින මවන්නේ කුමක්ද? විවාහය - අලුත් ජීවිතයක් , ගෙදර ඉද්දී නොතිබුනු නිදහසක් , කුරුලු යෞවනයක් මෙන්ම නොමියෙන ආදරයකි. 'ජීවිතය' සහ 'තමා' අමතක කරවන 'විවාහය' නමැති ප්‍රරවාහයේ ගසාගෙන යන අතරතුරම අප 'අවංක ආදරය','පතිවෘතාව' සහ 'අන්‍යෝනය බැඳියාව' එකී මෙකී නොකී දෑ කප් සුවහස් කල් එක සේ පැවතිය යුතු වේ යැයි උදක්ම ශපථ කර සිටිමු. 

දරුවන් සම්පතකි.දරුවන් වෙනුවෙන් අන් සියල්ල දෙවෙනි තැන ලෑම මේ පෙරදිග පවුල් බැඳිමෙහි සුන්දරත්වයද වේ. ඇත්තය.එහි අරුතක් තිබෙයි. එහෙත් දරුවන් බිහිවන පවුල තුල යුවලක් තවදුරටත් ගැහැණිය සහ මිනිසා නොවන්නේද? දෙමාපියන් වූ අඹු සැමියන් යනු තවදුරටත් එකිනෙකාගේ ඇඳුම් පැලඳුම් පිරිසිදු ඇවතුම් පැවතුම් සහ ප්‍රිය මනාප හැඩ හුරුකම් අනවශ්‍ය ජීවීන් දෙදෙනෙකුද? 

සිය දරුවාගේ ඇඟ රත් වීමටත් විශේෂඥයන් චැනල් කරන අපේ අම්මලා , බරපතල සැත්කමත් කල් දමන්නේ අපට ඇති ආදරය නිසා බව සැබෑවකි. එහෙත් නොසැලකිල්ල නිසාම මැදිවිය අරඹන්නටත් පෙරම දියවැඩියාව , අධි රුධිර පීඩනය යනාදි එකී මෙකී නොකී රෝ පීඩා දහසකුත් එකක් තරුණ අම්මලා තාත්තලා වැලඳ නොගන්නේද? දරුවන් වෙනුවෙන් දියවී යන, වේගයෙන් මහලුව යන දෙමාපියන් අමතකව යන්නේද මේ දරුවන්ටම නොවේද ? 


මම මේ සියලු සිතුවිලිත් සමග නොපහන් වූ සිතින් මහනුවර ජනාකීර්ණ හෝරා ස්තම්භය පසු කොට මාලිගාව දෙසට ඇදෙමි. ලංකාවේ අසිරිය නරඹන්නට පැමිණි සංචාරක යුවලක් මගේ ඇස ගැටෙයි. දෙදෙනාටම වයස හැට ඉක්මවිය යුතුය. සිරුරෙහි මහලු වියේ රේඛා හොඳින් දර්ශනය වන මුත් දෙදෙනාගේම ගමන් වේගය මට වඩා වැඩිය. කොට කලිසමකින් සැරසී සිටින මහලු සුදු ජාතිකයාත් ඔහුගේ ගෙලේ පැලඳි රිදී මාල ගොන්නත් පෙනෙයි. ඔහුගේ ඇඹේණිය විය යුතු මහලු කාන්තාවත් දිගු හැඩකාර ඇඳුමකින් සැරසී සිටියාය ! ජීවිතය විඳින බවක් මිස විඳවන වගක් දෙදෙනාගේ සැහැල්ලු ඇවතුම් පැවතුම් වලින් නොපෙනෙයි. 

දලඳා වීදියෙහි තරමක් ජනාකීර්ණ කෙටි කෑම හලකට ගොඩ වැදී මම වීදුරුවෙන් එලිය බලා සිටිමි. බැල්කනියෙහි මගේ මේසයට පහළින් පදික වේදිකාවේ දර්ශනය වන වැඩිහියන් නරඹමි. වේගයෙන් පෑදෙන තට්ටය සහ ආරන බඩ ඇතිව කාර්යාල බෑග කිහිලි ගන්නාගත් සුවහසක් පියවරු හැල්මේ බස් නැවතුම වෙත දිව යති. ඔවුන් අතෙහි පාන් ගෙඩියක් වරදින්නේ කලාතුරකිනි. සාරියක් එහෙන් මෙහෙන් පටලාගත් අම්මලා සාරි වාටිය සිප ගන්නා මඩ නොතකා ජන ගඟට එකතු වී සිටිති. නිකමට හෝ ඒ අතරෙහි තවමත් නොමැකී ගිය තොල් සායම් ඇතිව අවුල් නොවූ හිසකින්,  මැනවින් හැඳ පැලඳි වතකින් යුතුව ඉදිරියට ඇදෙන ගැහැණියක පිරිමියෙකු නැතුවා නොවේ. ඔවුන්ගේ එක්කෝ වෙදැගිල්ල හිස්ය ! එක්කෝ කරෙහි පාසැල් බෑගයකි. ! මගේ හිස තවත් වික්ෂිප්ත වෙයි. 


රෑ බ්ලොග් සටහන ලියද්දී - බ්‍රහස්පතින්දා රාත්‍රිය
--------------------------
මට කුසල්ගේ මව සිහිවෙයි. කුසල් හෙවත් දෙවියන්ගේ තෑග්ග නමින් , ඉතා සුන්දර පාසැල් දරුවෙකු ගැන මා ලිව්වා ඔබට මතකද? මට තවමත් කුසල්ගේ අම්මා මතකය ! කොටට කැපූ කොණ්ඩය. කොට ගවුම , තොල් හා නිය ආලේපන , කුසල්ගේ චාම් විනීත ඇවතුම් පැවතුම් සමග මගේ සාම්ප්‍රදායික මනසෙහි මිනිත්තුවකට නොපෑහුනේය !  එහෙත් ඒ මිනිත්තුවකටම පමණි. 

සිය පෙනුම , හැඩහුරුකම මෙන්ම ඇඳුම් පැලඳුම් ගැන සැලකිලිමත් වන උදවිය යනු, 'අම්මලා තාත්තලා කියන්නට නොගැලපෙන' ,  සංකර , කිසි විනීතකමක් හැදියාවක් නැති , ඩීසන්ට් නැති මිනිසුන් ලෙස දකින්නට සමාජය විසින් දෑස් හුරුකරගෙන තිබෙනවාවත්ද? ??

ගණිත සමීකරණයක මෙන් , සංඛ්‍යාන සමීකරණයක මෙන් , විචල්‍ය හෝ ශ්‍රිත ජීවිතයට නැත්තේය. විටෙක ස්වායත්ත වන විචල්‍යය , විටෙක පරිපූර්ණව පරායත්ත වී ඇති සැටි පෙනෙයි . මන්ද 'ජීවිතය' අකිනෙකාගෙන් අනන්‍යය.  එය කිසිදා විචල්‍ය හෝ නිර්ණායක කිහිපයකට ලඝු කොට ගත නොහේ.

දිනකට පසු - සිකුරාදා දහවල
------------
ඊයේ රෑ එහෙන් මෙහෙන් ලියූ ඉහත බ්ලොග් සටහන එහෙමම තිබියදී අද මම සරසවි පොත් හලට ගොඩ වැදුනෙමි. ඇති නැති වෙනසක් නොමැතිවම , පොශ් කියා ගන්නා ජනතාව ප්‍රදර්ශනාත්මක ශොපින් කරන්නට එන එකම තිප්පොල කේසීසී හෙවත් කැන්ඩි සිටි සෙන්ටර් එකය. 

මම තෝරාගත් පොත් තුනක් අතැතිව මුදල් ගෙවන කවුන්ටරය අසල වාරය එනතුරු බලා සිටියෙමි. මට ඉදිරියෙන් ඉතා තරුණ මවක් කුඩා දරුවෙකුට සරිලන ඇතැම් දේ මිලට ගෙන මුදල් ගෙවමින් සිටියාය. මගේ බ්ලොග් සටහන වෙනුවෙන් ඇය දෙසත් හොඳින් බලන්නට මම අමතක නොකලෙමි. මැනවින් පීරූ කොණ්ඩය, පිරිසිදු හා ඉතා පිලිවෙල සාරිය , චාම් අබරණ මගේ සිතට පහන් හැඟුමක් එක් කරයි.  මෙන්න ඇගේ වෙදැගිල්ලෙහි මුදුවකුත් !

 'හැමෝටම ඇයි මේ වගෙ පිලිවෙලට ඉන්න බැරි?' . මගේ සිත අසා සිටියි. ඈ ගැනද බ්ලොග් සටහනෙහි ලිවිය යුතු යැයි සිතෙහි සනිටුහන් කොට ගතිමි.මිලඟට මගේ වාරය හෙයින් පොත් කිහිපය අයකැමි තරුණියට දිගුකරමි. 

පෙර සඳහන් කළ බ්ලොග් සටහනෙහි කුසල්ගේ අම්මාගේම හැඩහුරුකම් ඇති මවක් හා දරුවෙක් මට පසෙකින් හිටගෙන සිටිති . පෝලිමක් නොමැතිවම හදිසියේ ප්‍රාදූභූර්ත වූ ඔවුන් දෙදෙනා මට ඉස්සර වෙති. නොපහන් සිතින් මම ඈ දෙස හොඳින් බලමි. ඈ අහක බලාගෙන පර්ස් එක අදිමිනි.මැනවින් පීරූ , නවීන විලාසිතාවකට කැපූ කොණ්ඩය ,ජීන්ස් කලිසම සහ ටීශර්ට් එක , සොඳුරු තොල් හා නිය ආලේපන මගේ දෑස් මත තැවරී මැකී යයි. මහනුවර ඉහල පෙලේ ජාත්‍යන්තර පාසලක නිල ඇඳුමෙන් සැරසුනු සිඟිත්තා කවුන්ටරයට ගෙල දිගු කොටගෙන හිඳී. මිලට ගත් පොත සිලි සිලි බෑගයකට ඔබන්නටත් මත්තෙන් ඩැහැ ගත් කොලු පැටියා , මම , ඔහුගේ මව මෙන්ම අයකැමි කතද විස්මයට පත් කරමින් අලුත් කතන්දර පොතෙහි පිටකවරය එක් අතකිනුත් , පිටු ගොන්න අනෙක් අතිනුත් අල්ලා 'බරාස්!' හඬින් එය දෙකඩ කර දැමුවේය ! තරුණ මවගේ කන් රතු වෙයි. ඉන් උපන් ලැජ්ජාවෙන් කුඩා දරුවාට තරවටු කරමින් පොතෙහි කැබලි දෙක උදුරාගෙන ඈ සිය නවීන අත් බෑගයෙහි රුවා ගති. මම තව දුරටත් 'ඈ' දෙස බැලීම අත් හැර දැම්මෙමි. 

යලිත් සිහි කරමි. 

ගණිත සමීකරණයක මෙන් , සංඛ්‍යාන සමීකරණයක මෙන් , විචල්‍ය හෝ ශ්‍රිත ජීවිතයට නැත්තේය. විටෙක ස්වායත්ත වන විචල්‍යය , විටෙක පරිපූර්ණව පරායත්ත වී ඇති සැටි පෙනෙයි . මන්ද 'ජීවිතය' අකිනෙකාගෙන් අනන්‍යය.  එය කිසිදා විචල්‍ය හෝ නිර්ණායක කිහිපයකට ලඝු කොට ගත නොහේ.

එහෙත් අපේ අලුත හැදෙන අම්මලා හෝ තාත්තලාවත් අඩු ගානේ හුචක්කු නොවී පිරිසිදුව සිටීමටවත් මතක තියාගන්නවානම් හොඳ යැයි සිතෙයි..

 'සල්ලි තියනවා නම් ඔය ඔක්කොම බැරියැ!' හිත අස්සේ ඉන්න තව කෙනෙකු කියන්නා වාගේ ඇසෙයි. කලාපීය දුප්පත්කමත් එක්ක හිතන විට ඒකත් ඇත්ත වගේම ඇත්තෙහි කොටසක් විතරකි ! 

18 comments:

  1. අපූරු සුන්දර රිදමයක් සහිත ලිපියක් , “කතාවක්“ කියවාගෙන යත්දි හිතන්නට හුඟක් දේ එක් කළා නොදැනෙන්නම ..
    ස්තුතියි ඔබට

    ReplyDelete
  2. මිස් මේ බ්ලොග් පෝස්ට් එකේ කියපු බොහෝ දේ ගැන කියන්න තියෙන්නෙ " දෙමාපියන්ගේ ලොකුම වස්තුව තමන්ගේ දරුවන්. ඒ වෙනුවෙන් තමන්ගේ හැම දෙයක් ම කැප කරන්න දෙමාපියන් සූදානම්. තමන් කෑවත් නොකෑවත් දරුවන්ට කෑම කවන්න, තමන් අලුත් ඇඳුම් නොගෙන දරුවන්ට අලුත් ඇඳුම් අරන් දෙන්න ඔවුන් සූදානම්. "
    ඊයෙ බැංකුවට ආපු තාත්තා කෙනෙක් කීවා තමන්ගෙ දරුවගේ පාසැලට වෙනත් බැංකුවකින් ඇවිත් තෑගි දෙනවා ඇයි එයාට හම්බ නොවෙන්නෙ කියලා දරුවා අහනවා කියලා. මම කීවා තෑගි දෙන්න පුලුවනි. ඒත් අපි ඉස්කෝලෙට ගිහින් තෑගි දෙන්නෙ රැස්වීම් වලදි විතරයි දැනට නම් කියලා. මම සඳුදා තෑග්ගක් අරන් තියන්නම් කීවම කීවා තෑග්ගක් වෙන් කරගන්න නොලැබුනොත් කියන්නලු එයා ඇරන් දෙන්නම්ලු. බැංකුවෙන් දෙනවා වගේ දරුවට දෙන්නලු. මෙතැනදි කියන්න තියෙන්නෙ තමන්ගේ දරුවගේ සතුට වෙනුවෙන් ඕනම වියදමක්,කරන්න සූදානම් බව නොවෙයිද?

    ReplyDelete
  3. //විවාහයෙන් පටන් ගන්නා 'නව ජීවිතය' යනු වගකීම් , යුතුකම් , අනාගත හීන , මුදල් , ගෙවල් යානවාහන සහ දරුවන් හදා වැඩීම පමණක්ද?විවාහයෙන් මිනිසාටත් ගැහැණියටත් 'තමා' අහිමි වන්නේද?// අනේ මන්දා. මොනව වුණත් අපි ජීවිතය කියලා කියන්නෙ හැම තිස්සෙ ම හෙටක් වෙනුවෙන් හීන දකින එක, මහන්සි වෙන එක ද කියලත් හිතෙනවා වෙලාවකට.

    ReplyDelete
  4. අම්මලා ගැන කියනවනම් එයාලට තමන් ගැන වද වෙන්න වෙලාවක් නැති තරම්.. ඒ එයාල එයාලගේ ජීවිතේ හැම තත්පරයක්ම දරුවන්, පවුල වෙනුවෙන් වෙන් කරලා තියන නිසා...
    සමහරවිට උදේ පරක්කු වුණ නිසා එහෙම නැත්තම් කලබලේ නිසා එහෙම වුණ වෙලාවක් වෙන්න පුළුවන්.. අපිට වුණත් එහෙම වෙන වෙලාවල් තියනවනේ...

    ReplyDelete
  5. //////ගණිත සමීකරණයක මෙන් , සංඛ්‍යාන සමීකරණයක මෙන් , විචල්‍ය හෝ ශ්‍රිත ජීවිතයට නැත්තේය. විටෙක ස්වායත්ත වන විචල්‍යය , විටෙක පරිපූර්ණව පරායත්ත වී ඇති සැටි පෙනෙයි . මන්ද 'ජීවිතය' අකිනෙකාගෙන් අනන්‍යය. එය කිසිදා විචල්‍ය හෝ නිර්ණායක කිහිපයකට ලඝු කොට ගත නොහේ. ///////

    මේ කෙසේ වෙතත් පිලිවෙලකට සමාජශීලී වීම සහ අපේ ගති පැවතුම් දෙස නම් සියල්ලෝම නැවත නැවතත් සිතා බැලිය යුතුය.

    ReplyDelete
  6. පවුල් බර, ජිවන බර, දු දරුවන්ගෙ සිතුම් පැතුම් කරේ තියාගෙන ජිවිතයක් එක්ක සටන් කරන කාන්තාවක් හෝ පිරිමියෙක් තමන්ගෙ පුද්ගල විශේෂතාවය ගැන නොසලකා හැරිම ලංකාව වගේ දුක්පත් රටකදි සාමන්‍ය දෙයකි. නමුත් තමන්ගේ ස්වයං පිරිසුදුකම පිළිවෙළ සම්බන්ධව උනන්දුවෙන් ඉන්න ඕනෑම පුද්ගලයෙකුට ඉහත සඳහන් කරපු කරුණු බලපාන්නෙ නෑ, මොකද, එකට මුදල් අදාල වෙන්නෙ නැති නිසා. අපි කවුරුත් සැලකිය යුතු අරුථවත් සටහනක්, ජිවිතෙ මල්.

    ReplyDelete
  7. හොඳ අදහසක්. හිතන්න ගොඩක් දේවල් ඒ තුල තියෙනවා.

    ReplyDelete
  8. හොඳ අදහසක්. හිතන්න ගොඩක් දේවල් ඒ තුල තියෙනවා.

    ReplyDelete
  9. මේ මාවතේ ජිල් ළමයො, නිවාඩු දවසෙ වෙන වැඩක් නැත්තං අම්මට උදව් වෙයං උයන්ට, නැත්තං අර කාමරේ යක්කු නටපු පිට්ටනිය වගෙ..ඒක ටිකක් අස් පස් කරල දාපං..

    අම්මප විලි ලැජ්ජාවෙය කියල එකක් ගෑවිලවත් නැද්ද මංදා අනික් මිනිසු අඳින පලඳින හැටි, එවුංගෙ ඇද කුද හොය හොය ටවුම පුරා ඇවිදින්නෙ?

    උඹ වගෙ ළමිස්සියන්ට අපෙ අත්තම්ම කිව්වෙ මොකද්ද දන්නවද විසුරුමාන තේඋඩිච්චියො කියල.අම්මාපල්ල උන්දැ ජීවතුන් අතර හිටියනං මම උඹව එක්කාන ගිහිල්ල පෙන්නනව " මෙන්න අපෙ අත්තම්මෙ අර උඹ හැමදාම කියන විසුරුමානයක් හම්බ උනාය " කියල.සික් උඹේ නරක වෙලාවට උන්දැ මියෑදුන නෙව අවුරුදු ගානකට ඉස්සරවෙලා.

    පලි - උඹයි අම්මයි හරියට අක්කයි නංගියි වගෙ..මේස් දෙක පල්ල......හෙහ්,හෙහ්

    ReplyDelete
  10. ඔබ බොහෝවිට දන්නා නමුත් මෙහි නොලියවී ඇති දෙ‍යක් මෙන්න.

    කාන්තාවෝ සාරි සෝදන්නේ නැති තරම්‍ය. හරියට මගේ ඩෙනිම වගේය.

    මගේ බිරිඳ නම් සාරි අඳින්නේ වසරකට දින දෙකක් හෝ තුනක් පමනක් නිසා වැඩි අවුලක් නැත.

    ReplyDelete
  11. //?විවාහයෙන් මිනිසාටත් ගැහැණියටත් 'තමා' අහිමි වන්නේද// තමාට තමා අහිමිවන තැන තමා විවාහය. එකඟය. ඒත් ඒ අහිමිවීම තුළ ජීවත් වීම තමා ජීවිතය.

    ReplyDelete
  12. //විවාහයෙන් මිනිසාටත් ගැහැණියටත් 'තමා' අහිමි වන්නේද// මේ මාත් ගොඩක් වෙලාවට හිතන දෙයක්.
    //සිය දරුවාගේ ඇඟ රත් වීමටත් විශේෂඥයන් චැනල් කරන අපේ අම්මලා , බරපතල සැත්කමත් කල් දමන්නේ අපට ඇති ආදරය නිසා බව සැබෑවකි.//
    මගේ අම්මට මම හැම වෙලාවෙම කියන්නෙ මට ආදරෙයි නම් තමන් ගැන බලාගන්න, පරිස්සමින් ඉන්න, පුංචි හරි අසනීපයක් තියෙනවනම් කියන්න...මොකද අම්මට මාව ඕන තරමටම මටත් අම්මව ඕන කියලා. ඒ උනත් හැමදාමත් තමන්ව දෙවෙනි තැනට දාලා පවුල තමන්ගෙ ජීවිතේ අංක එක කියල හිතන අම්මා අපි ගැන හිතනව මිසක් තමන් ගැන හිතන්නෙ නෑ.

    ReplyDelete
  13. I have worked in Sri Jayawardena pura Hospital. The young workers who joined the service looked perfect. They were always very concerned about the out look and having happy faces.Later they started looking worse than i could ever imagine . By the time they had got married and become parents.
    If your mind is calm your focus on every aspect would be balanced.
    Despite all the difficulties of life you would be able to manage every thing as well as your look. When the mind is calm the inner capacity is higher than we are aware of.
    Pl. forgive me for Writing in english language

    ReplyDelete
  14. ([299] අවසන මම 'ඈ' ගැන සිතීම අත් හළෙමි).. සම්බන්ධව.ඔබ බ්ලොග් එකේ ලියා තියෙන්නෙ සමාජෙ අපි බහුලවම අත්දකින දෙයක්. මමත් ඔබ සමග එකගයි. විවාහ වී දරුවන් ලැබුනම හුචක්කු විය යුතු නෑ. දරු ප්‍රසුතියෙන් පසු බොහෝ කාන්තවන් තම සිරුරේ හැඩය ,පිරිසිදුකම, පිලිවෙල අමතක කරනවා. දරුවන්ට ආදරය කිරීම , රැකබලාගැනීම , පෝෂනය කිරීම, හොද අධයාපනයක් ලබා දීම දෙමව්පිය වගකීමක්. නමුත් මව්පිය පදවිය කටු ඔටුන්නක් වගේ වටින නමුත් මහා බරක් කරගතයුතු නෑ. බොහෝ අයට ඔවුන්ගේ දෙමාපියන්ගේ උදව් ලබාගත හැකියි. දරුවන් කුඩා කාලයේදි නම් ඔවුන් පැය දෙක තුනක් නින්දට යනවා. ඒ කාලයෙන් මිනිත්තු 30ක් තමා වෙනුවෙන් වැය කරන්න පුලුවන්.

    ප්‍රධන වශයෙන් කම්මැලිකම , උදාසීනත්වය, දැන් අපි වයසයි මොන ලස්සනකද? සිතීම තම තමටම කරගන්න විශල වරදක්. E වගෙමඉ පිරිසිඩුවට පිලිවෙලට ඉන්නට මුදල් අත්යවශ්ය සදකයක් නොවේ.

    ReplyDelete
  15. හැම වසරකම වගේ ලෝක විවාහක රූ රැජින අවසාන වටය සඳහාලංකාවෙ කෙනෙක් සුදුසුකම් ලබනවා. මේකත් ඔය හුචක්කු අතරට වැටිය යුතු ලොකු ෆැක්ට් එකක් :)

    ReplyDelete
  16. ෆෙස්බුකියේ ලිංකුවක් ඔස්සේ ගොඩවී පලමු වර කියවීය.මේ ලිපියේ ලිවීම ලස්සනයි කියා මා ඔබට නොකියමි.ගුරුතුමියනි ඇත්තෙන්නම හද සිතුවිලි සුන්දරය.
    දහස් ගනනක් සිංහල බ්ලොග් අවකාශයේ අවංක රචකයන්ගේ දකින්නා වූ එ අවංක හද ගැස්ම සිතුවිල්ලක් මේ ලිපියේ අර්ථයේ අගය ගෙන දෙයි.

    මේ බ්ලොග් එක ගැන පොඩි සටහනක්-http://www.maheshslife-multiaxial.blogspot.com/2014/01/blog-post_26.html

    ReplyDelete
  17. හුගක් අර්ථවත් ලිපියක් ස්තුති ඔබට

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->