Friday, April 26, 2013

[289] හෘද ව්‍යායාමක සටහන්...(Notes on a Heart Exercise)


නොසිතූ විරූ වේගයෙන් දැඩි උණුසුම් ගෙන්දගම් මිශ්‍රිත මද්දහන දැඩි ශීතයකට පරිවර්තනය වෙයි. එහෙත් ශීතලෙන් හදවත ගල් නොවෙයි. ඒ වෙනුවට රස්නයෙන් ප්‍රසාරණයව තිබූ හදවත යලිත් සංකෝචනය වී සිය පියවි නිරෝගී හැඩය ගනී. හාට් එක්සසයිස් කිරීමේ මේ එක්තරා ආකාරයකි. අමිහිරි නීරස ජීවිතයකට එතැනින් මිදී පැය කිහිපයකට ගෙවන සුන්දරතාවය සිතනවාටත් වඩා වේදනාවක් වනු ඇත. මන්ද සුන්දරත්වය විඳි හදවතට, එය මතක හදවතට, අමිහිරද දැඩි සේ වද දෙනු ඇති බැවිනි. වෙන්කරගත් නිවාඩුවක , වාහනයක් සොයාගෙන , කාලයද වෙන්කොට , හිත සැනසිල්ල සොයා යාම එක්තරා මනංකල්පිත ආශාවකි. මන්ද එය කිසිදාක උදා නොවෙයි. ජීවිතය එක මත එක වගකීම් යුතුකම් සහ බැඳීම් පවරා සිටියි. 

හාට් එකට එක්සසයිස් දීමට අයාලේ යා යුතු නොවේ. ජීවිතයට නිදහසේ පියා සලන්නට ඉඩ හැරිය යුතු වෙයි. එක්තරා පොතක පොඩි කාලයේදීම ලියා ගත් කුහක සමීකරණයේ විචල්‍යයන්ගෙන් මිදී වසා ඇති හෘද දොරපියන් විවර කොට නිදහස් සුලඟ ආශ්වාස කිරීමට ඉඩ තැබිය යුතු වෙයි. අනෙකාගේ  අහිංසක විඳීම තුල කොරහේ කිඹුලන් දැකීම උන්ට නොව තමාටම වේදනාවක් වෙයි. හදවතක් තුල ආදරයත් සෞම්‍ය බවත් ගහකොළ සහ මහ පොළව සමග සැබෑ බැඳියාවත් මුල් ඇද තිබේ නම් අමුතුවෙන් හාට් එක්සසයිස් අවැසි නොවෙයි. 




මාර්ගය බොහෝ රුදුරු විය. ගමනාන්තය , දුර , යා හැකි නොහැකි බව ගැන හාංකවිසියක හැඟීමක් නොමැතිව රිය සක බැරි අමාරුවෙන් කැඩී බිඳී ගිය මග සමග ඔට්‍ටු වෙයි. කඳු මුදුනෙන් අහස් වලල්ලට පැටලෙන්නාක් මෙන් ද , නිහඬ ගුප්ත හොල්මන් හරිත සීතලක් වෙලා ගන්නාක් මෙන්ද සිතුවිලි පහළ වෙයි. මයිල ගණනාවක ගැස්සීම් , පෙරලීම් වේදනාවන් ඔබ්බෙහි ගමනාන්තය දිස් වෙයි. 

ආශ්චර්යයකි. කඳු ගැට්ට මුදුනතෙන් එහා තැන්නෙක , මෙතෙක් වේලා සඟවා තබා ගත් චිත්තාකර්ශනීය සොබා ත්‍යාගය දිස් වෙයි. රූස්ස ප්‍රතාපවත් පයින් ගස් දහස් ගණනකින් වටවුනු සිඟිති නිශ්චල වැවත් , සීතල සුලඟට කෝල ගමනින් බැස යන දිය දහරෙන් පෝෂණය වන වනන්තරයත් තුල හදවත විස්මයෙන් ගල් ගැහෙයි. 

හරිත කඳු ගැට්ටෙහි නිසංසලේ තැන්පත්ව හිඳින වැව් දියකඳ රකින වියපත් සදාහරිත මුර දේවතාවුන් වැනි පයින් තුරු, ගණ කොළ පැහැයෙන් පරිසයට ගුප්ත අඳුරක් මුසු කරයි. දහවලෙත් නොනැවතී ඇහෙන ‍රැසි නාදය , ගෙම්බන්ගේ කුරුල්ලන්ගේ කචබචය , මේ සොඳුරු බිම්කඩෙහි උන්ගේ තනි අයිතිය පිලිබඳ අනතුරු ඇඟවීම් වැනිය. හෘදය ආනන්දයෙන් පිපිරී යන්නට ආසන්නය. 


ආදරය විඳින්නට , පුදන්නට හෝ ලබන්නට අප පළමුවෙන්ම මේ මහපොළවට , එහි කඨෝර රළු බවට , එමෙන්ම භාවාතිශය සුකුමාර බවටද පෙම් බඳින්නට උගත යුතු වෙමු. අනෙකුත් කුණුගොඩවලින්  හිස් පුම්බා ගත් පුස් හදවත් හා කුහක බවින්  පිරීගත් ලෝකයක්ද මේ පොළව උඩම පවතියි. එක්තරා දුකකුත් පහළ වෙයි. මේ සුකොමළ වැව් බඳ ලාලනියකට වඩා ලාලිත පිරී තිබෙයි. ඊට ඇසදී දෑසින් මත් වීමම හාට් එක්සසයිස් වෙයි.. එදෙස බලා සිටින අප නිසා විලියෙන් මෙන් , සීත ශ්වේත සළු පොරවා තුහින වැස්සක් අහසින් බිමට පහත් වෙයි. වැව් තලයෙහි ඇතිල්ලෙමින් පෙම් කෙලින මහ පොළවට සෙනෙහසින් උස් තුරු මුදුන්ද හිස් බිමට හරවා ගනිති. වැහි සැණකෙලියෙහි කොටස්කරුවන් වී මහ පොළොවෙහි තෙත්බර චිරි චිරිය මත්තෙහි අපි ඇවිද යන්නෙමු. 




මේ ඇගේ හැටිය. සොබා දහමට වෙලාවක් කලාවක් නැත. ඊට ප්‍රේක්ෂකයන්ද නැත. ඊට ඇත්තේ නිදහසේ ආදරය කරන්නට අවකාශය පමණකි. උණුසුම් දැතකින් වටව සීතල පියැස්සක විඳිය හැක්කේ ප්‍රේමය පමණකැයි බාල සිතකට සිතිය හැකිය.  එහෙත් එවන් මනෝහර ගුප්ත පරිසරයක ප්‍රේමය යන වදනෙහි වපසරිය , මහපොළවට ඇති ආලයෙහි අසීමිත බවින් අර හුදෙක් සරාගී සමීකරණය පුළුල් කොට සිටියි. එබඳු ආනන්දයකට දිය හැකි නමක් වේද? එය ජීවිතාහ්ලාදය යැයි කියන්නෙමි.  

ටොරින්ටන් පදික වේදිකාවේ විකිණෙන කොන්ඩ ක‍ටුවම ඔඩෙල් රාක්කයකදී මහා මිලකට මහා ගම්භීර බවකින් විකිනෙයි. ඔඩෙල් ක‍ටුව පලඳින්නාට එහි ඇති ගම්භීර බවද ප්‍රේරණය වෙයි. සොබාදහමද එබඳුමැයි. අච්චර අසිරිමත් හරිත පියසකදී ප්‍රේරණය වන්නේ බාල හැඟුම්ම යැයි අනාවැකි දකින්නා කෙරෙහි අනුකම්පාව විනා අන්දෙයක් නොසිතෙයි. හිරු සීතලෙන් මිරිකී වෙහෙස පත් අයුරෙන් ලහිකොට අස්තංගත වීමට සැරසෙයි. පිණිබර වැව් තලයෙන් දැරිය නොහැකි සීතලක් ගොඩ ගසයි. පරිසරය මෙන්ම ඊට ආල කරන්නවුන්ද රිදවන කණ්ඨ කඨොර ඩොලැක්කි නාදයෙනුත් , බීමතින් පිස්සු වැ‍ටුනු බජව් කචබචයෙනුත් අහිංසක සොබාදහමට කිසිසේත් සුසර නොවෙයි. සීතල දිය ක‍ඳෙහි පහසින් මත් වන්නවුන්ගේ බෑගිරි හඬින් නිශ්ශබ්ද වාතලය දෙදරයි. 

රොලර් කෝස්ටරයක ලොමු දැහැගන්නා බව සොබා දහමට නැත. සුන්දරත්වයෙහි විභවයෙන් සිරුර සලිත වෙද්දී එය ආනන්දයක් සේ හදවතෙහි පිරෙයි. මහ පොලවට මහා ආදරයක් උපදියි. ඇතැම් විට මේ සොබා සුන්දරත්වය පිලිබඳ හිපි කල්පනාවන්ගේ සීමාව ඉක්මවා යාමක් ලෙස ඔබට පෙනෙනු ඇත. 





නිහඬ හොල්මන් අන්ධකාරය පයින් තුරු මුදුනෙන් වැව් බඳට ඇදී එද්දී කසුන් කල්හාරගේ හඬ පරදන සුගායනීය හඬක් 'රෑ අහසින් වැටෙන පිනි බිඳු' පිලිබඳ ආලයෙන් ගයයි. බජව් වේදනාවෙන් උමතුව ඒ මේ අත ඇඹරුනු තුරුපතර සන්සුන් වෙමින් , වැව් බ‍ඳෙහි කුඩා පියස්සෙන් මිදෙන ගී හඬට නතුව නතර වෙයි. සුසර වූ වැව් දිය ‍රැලි තාල අල්ලමින් ගිටාර තත් මතින් ඇවිද යන සුලඟ සමග රහස් කියයි. මහපොළවෙන් නැගී එක ගුප්ත හඬක් මෙන් ගී බිංදු එක දෙක සෙම්බුවත්ත වැවෙහි නිදන් වෙයි. ‍බජව් කාරයන් නික්මෙන තුරු එලියට නොබසින රැහැයියන් , ගෙම්බන් මෙන්ම  වන සතුන්ද ,  අන්ධකාර පයින් කඳන් පි‍ටුපස්සෙහි  සැඟවී මේ ආනන්දනීය සුයාමයට රහසේ කන් දෙමින්  සිටින්නාක් මෙන් හැ‍ඟෙයි. වසර සිය ගණනකට පෙරාතුව මේ වැව් පිටියෙහි කුර ගෙවෙන තුරු  දිව ගිය පෝලෝ අසුන් පයින් කඳක ගැට ගසා , ආදී සුදු මහත්වරුන්ගේ ආත්මයන්ද  'රෑ අහසින් වැටෙනා '  හිපි හඬට වශීකෘතව , පයිප්ප උරමින් සෙම්බුවත්ත උද්‍යාන පියැස්සෙහි වැටට බරවී හෝ පයින් ගසකට පිට දී හෝ අප දෙස බලා සිටින්නාක් මෙනැයි මොහොතකට මට හැඟී ගියේ මන්දැයි නොදන්නෙමි..

හෘද ව්‍යායාමය උදෙසා පෙම් බැඳිය යුත්තේ හිස් වූ හිස් දහයකට නොව , ගහකොළටත් , මහ පොළවටත් , මතුපිට පොළවෙන් වැසී මිහිදන්ව ගිය අතීත දහඩිය කඳුලු වලටත්ය. සෞම්‍ය හදවත් ඇති මිනිසුන් වාසයෙහි ගෙවූ හෝරා කිහිපයෙහි ලැබූ තෘප්තිය ප්‍රේමයම වෙයි. එයට මුඛ්‍යාර්ථ ප්‍රේමය යයි නම දෙන්නේත් අමනෝඥයෙකි.   . 


මහපොළව පෙම්වතෙකි. මහපොළවට පෙම් බඳින හිපියෙකු මනුෂ්‍යත්වයෙන් එහා ගිය බොහෝ නිදහස් ගමනක් සන්සුනේ උරුවම් බාමින් ඇවිද යන ආදරවන්ත මිනිසෙකි. 

එබඳු මිනිසුන් වෙත මහත් වූ සෙනෙහසින් ඇල්කඩුවේ සෙම්බුවත්තේ සිට  මේ සිතුවිල්ල පහළ කර ගතිමි. 



(ඊයේ ඡායාරූප තවමත් නොලැබුනු හෙයින් , ඉන්ද්‍රනාමගේ බ්ලොග් අඩවියෙහි පලව තිබූ සෙම්බුවත්ත ඡායාරූ උපුටා ගතිමි. )



Friday, April 05, 2013

[288] කපුටෙක් හෝ වවුලෙක් නොවූ මම ....




ජීවිතය වරින් වර එක් එක් දිශාවන්ට ආනත වන්නේ නොසිතූ අයුරෙනි. රතු අහසේ රටා වියන ගොම්මන් හැන්දෑකරෙහි අහස පෙනෙන බැල්කනියට වී මම ගීත වලට සවන් දෙමින් සිටිමි. 

එක්තරා කාර්ය බහුල කාල සීමාවක් අවසනදී යම් නිදහසක් ලැබී ඇති බව සැබෑවකි. එහෙත් හිස්බවක්ද සිත වෙලා ගනියි. නිවසේ කුඩා රූපවාහිනිය තුලින් අභීත දියණිය ඇසෙන්නේ මේ වෙලාවටය. ජීවිතයේ සැඳෑ සමය ගෙවන මාපියන්ට රූප පෙට්ටිය රේඩියෝව නරඹා සරල රසයක් විඳිනු වස් තිබෙන අවකාශයට ඔච්චම් කිරීමට සිත ඉඩ නොදෙයි.ආගම දහමත් , මින් ජුන් හෝ වැනි චරිතත් පොත පතත් හැරුනු විට ඔවුන්ගේ ලෝකය තුල බරක් වී ඉතුරුව තිබෙන්නේ මා වැනි සාධක එක දෙකක්  පමණකි. 

ඇතැම් විටෙක ජීවිතයේ නිහඬ බව උසුලා ගනු නොහැකි තනිකමක් බවට පෙරලෙයි. කන් දෙකෙහි පුරුදු ගීත වාදන පණ ගන්වා මම ඈත තුරු හිස් මුදුන් අස්සෙන් වවුලුන් , සලබයින් මෙරුන් පියඹා එන අයුරු නරඹමින් සිටින්නෙමි. 



හවස් යාමය බොහෝ නිහඬය.. ඇසෙන ගීත එක් එක් යුග මතක මතක් කරවයි.. 

2003 , මැගී මතකය බැ‍ඳෙන්නේ සරසවි කාලයටයි. මහනුවරම නගර සීමාවෙහිම නිවෙස් පිහිටිමුත් , සරසවි ජීවිතයේ රස තොලගා බලනු වස් හිතේ තිබූ ආශාව නිසාම , හොස්ටල් එකේ අන්තිම අවුරුද්ද හෝ නවතින්නෙමැයි අදිටන් කරගත් මාත් මිතුරියත් අපහසුවෙන් විජේවර්ධන කාමරයක් අත්පත් කරගතිමු. ලියුම් ගණනාවක් ලියා කණිපින්දම් කියා රූම් එකක් ඉල්ලා ගත්තේ අධයාපන කටයුතුවල පහසුව සිතා නොවේ. එකල්හි අතට එතරම් මුදලක් කිසිසේත් ගෙදරින් නොලැබෙයි. ඉල්ලීමටද නොසිතෙයි. විශ්ව විද්‍යාලේ යනගමන් ප්‍රයිවට් ඩිග්‍රියකුත් කලේ ගෙදර තිබූ අම්මාගේ රන් අබරණ කිහිපය වරින් වර බැංකුවේ තැන්පත් කරමිනි . වාසනාවට විජේර්ධන කැන්ටිමේ බත් එකක් වැඩිම වුවොත් රුපියල් විසි එකකි. හොඳ ෆ්‍රයිඩ් රයිස් එකක් 40කි. (මේ වසර 8 කට පෙරාතුවය) .රුපියල් හතලිහේ ෆ්‍රයිඩ් රයිස් කෑමට අපිට වත්කමක් නැතිය. හොඳම සගයා මැගීය. රුපියල් විස්සකින් දෙදෙනෙකුගේ බඩගින්න පිරිමහින්නට මැගීට හැකිය. ඒක සරි කරගන්නටත් , මාත් මගේ බැචියත්දෙදෙනාම රුපියල් තුන් හාරසියයක මාසික ගතමනාවක් වෙනුවෙන් ලමුන් කීප දෙනෙකුට ටියුෂන් කළෙමු. ජීවිතය අග හිඟ වලින් පිරුනේ වී නමුත්  ගෙදරට ලොකු බරක් නොවී කොහොම කොහොමෙන් හෝ අමාරුවෙන් ගෙවා ගත් ඒ යුගය ගැන අද වන විට  සිතෙන්නේ අප්‍රමාණ සතුටකි.



නෙස්කැෆේ මතක් වන කල්හි ගේට්වේහි කල පළමු ‍රැකියාවත් , රාජගිරියත් එහි වසර දෙකක් ගතකල ආදරනීය බෝඩින් නිවසත් සිහිවෙයි.ලොකු පඩියක් නොලැබුනත් අතට ලැබුනු කුඩා පඩියෙන් නෙස්කැෆේ බෝතලයක් ගත් හැටිත් , නෙස්කැෆේ සහ සීනි මත කුඩා වතුර බින්දුවක් දමා දහදිය දමාගෙන කැපුචිනෝ හදාගත් හැටිත් මතකයට එයි. රාත්‍රි අහර වෙනුවට මිලි ලීටර පන්සියයේ අයිස්ක්‍රීම් ටබ් එකක් කමින් රෑ එලිවනතුරු ප්‍රිසන් බ්‍රේක් බැලූ කාලය ආයෙත් එන්නේ නැතිය. ඇබ්බැහි වන තරමට නෙස්කැෆේ බිවූ ඒ කාලය , අයිස්ක්‍රීම් කැ ඒ කාලය  , මුදල් හම්බ කිරීමේ පළමු අත්දැකීම් වල බොලඳ ආශාවන් මතක් කරයි. නුවර නගරයක් වුවත් එහි ඇති චාම් සරල බව හැරදා කොලඹ පය තැබූ එකල්හි , රිසි රිසි දේ කන්නට බොන්නට , ඇවිදින්නට , ඉබාගාතේ ශොපින් යන්නට ලැබූ වරම එක්කලේ අමුතුම අත්දැකීමකි. බීඑම් අයිචීඑච්හි එක්සිබිශන් බැලීම , මැක්ඩොනල්ඩ් බැරිස්ටා යාම, කොල්ලුපිටියේ සුපිරි කඩ සාප්පු එම් සී ආශ්‍රය කිරීම ඒ කාලේ පෙනුනේ හරි ලොකු දේවල් හැටියටය. ඉතුරුවක් කරනවා විනා මාසය අවසන් වෙද්දී ගෙදර යාමට බස් ගාස්තු තබා ගන්නේත් හරි අමාරුවෙනි. එහෙත් ඒ මතක එතරම්ම සොඳුරුය. අතේ සතේ නැතත් පොශ් වාගේ පෙන්නන්නට තිබූ ආශාව දැන් සිහිවෙන විට අනුකම්පාවක් දැනෙයි. 

කඳු පාමුලම තවමත් කැරකුනත් එදා සිටි ආගාධයෙහි අද මා නැතිබව සිතෙද්දී හීනි සතුටක් දැනෙයි. එදා තිබූ අරුමෝසම් ආශාවන් වෙනුවට සරල චාම් එහෙත් දුලබ ජීවිතයක් සිත ඉල්ලා සිටියි. වැඩ ඇරී එන හවස් යාමයේ යලිත් කොම්පියුටරය ඉදිරියේ ගාල් වී  වැඩෙහි යෙදුනු සමය ගිලිහී තිබේ. ඒ වෙනුවට තේ කෝප්පයක් පැය ගානක් තොල ගාමින් පොත පතක් කියවමින් , ‍රැ දෙගොඩ හරිය වන තුරු අහස පෙනෙන බැල්කනියෙහි පු‍ටුවක ‍රැ‍ඳෙමි. වවුලෙකුටත් නැති කපුටෙකුටත් නැති කලබලකාරී ජීවිතය යම් තාක් දුරකට සමනය වී තිබෙයි. ඉතා කුඩා වියෙහි නැරඹූ 'පින්ගු' , 'යූ ජස්ට් වෙයිට්', 'ටොම් ඇන්ඩ් ජෙරී' නරඹමින් හෝ ගීතයක් අහමින් , කවියක් කතාවක් කුරු‍ටු ගාමින් මධ්‍යම රාත්‍රිය වන තුරුම අවකාශය සමග දොඩමලු වෙමි. 

උදේ පටන් හවස් වන තුරුම හිස ගිනි ගත්තාක් මෙන් වැඩෙහි යෙදෙමින් , හිස බරින් පිටමං වන මම , තුන් රෝද රියට සමුදී නිවසට ඇති කිලෝමීටර හතර පයින් එන්නට වෙමි. එහි ප්‍රතිපල වශයෙන් දිගු කාලීන කොන්දේ අමාරුවක් උරුමව තිබෙයි. එහෙත් ගහකොල සතා සීපාවුන් දකිමින්, මිනිසුන් නරඹමින්, පයින් ගමනෙහි යෙදීමෙන් සිතෙහි පිරී ඇති වගකීම් විභවය වැවකින් දිය ඇල්ලකට පරිවර්තනය වෙයි. සිතෙහි පීඩනය අවම වනු උදෙසා ඇවිදීම තරම් ස්වභාවික ඔසුවක් තවත් නැති බව නම් මම පසක් කළෙමි. එහි ප්‍රතිපල වශයෙන් අලුත් අදහස් සිතට එයි. අලුත් නිමැවුම් කරන්නට සිතෙයි. ජීවිතය යුද්ධයක්ව තිබූ අවදිය කොතරම් බරදැයි දැන් වැටහෙයි. 



ඇතුලතිනුත් පිටතිනුත් චරිත දෙකක් හෝ කිහිපයක් පවත්වා නොගැනීමේ ප්‍රීතියෙන් මම තවමත් මමම වී සිටින්නෙමි. කඳු පාමුල හෝ මැද හෝ කොහේ හෝ සිට මට අදත් එදා මෙන්ම අනෙක් කඳු නිම්නය සිසාරා ජීවත් වීමේ සන්‍තෝෂයෙන් කෑගැසිය හැකිය. ඇනුම් පද , කුහක කම්, ද්වේශය , නොහැකියාවන් පිරීගත් මිනිසුන්ගේ ඇති අනේකවිධ වෙස්මුහුණු අතරෙහි අදත් එදාත් කවදත් මම මාම වී සිටීම පිලිබඳ මට හීනි ආඩම්බරයක් මෝදු වෙයි. ජීවත්ව සිටින තාක් කල් අලියා බලවත්ය. කුහුඹුවකු සපා කැමෙන් අලියාට දැනන දෙයක් නැතිය. අලියාව අනුභව කරනු වස්, ඌ මියෙන තුරු බලා සිටීම කුහුඹුවාගේ නොහැකියාවය. හරි හමන් කුහුඹුවෙකු නම්,තමුන්ද බොඩි බිල්ඩින් කොට අඩු ගානේ තමුන්ට අලි පැටියෙකුට හෝ සම විය හැකිදැයි උත්සහ කොට බැලීම වටී. කුහුඹුවන් අලි මලකුණු අනුභව කලද , අලියා වැරදීමකින් හෝ කුහුඹුවන් නොකන්නේ , කුහුඹුවා පොඩි වැඩි මෙන්ම , අලියා වෙජිටේරියන් නිසාමය. අලියාට තම ප්‍රතිපත්ති පාවා දී මලකුණු කන්නෙකු හෝ මස් වැද්දෙකු වීමට කිසි සේත් අනවැසිය. මගේ සැබෑ මිනිස් ජීවිතය තුල මා මස් වැද්දෙකු නොවූ නිසාම , මළකුණු කන්නෙකු නොවූ නිසාම , මම මගේ ජීවිතය නිසි සන්සුන් මගෙහිම යන්නෙමි. වෙස් මුහුණු මත්තෙහි ජීවිතය තැනී නැති නිසාවෙන්ම ජීවිතය බොහෝ සැහැල්ලුවක් දැනෙයි... 

ආදරය යනු සැනකෙලියක් හෝ සුසානයක් නොවන වග ජීවිතය ඔස්සේ මම හඳුනාගෙන සිටින්නෙමි. ආදරය සහ එකට ජීවත් වන ජීවිතය යනු සුලඟක් මෙන් ස්වභාවික ජීවිතයට බද්ධව දස වදයක් නොවී ගලා යන ජීවන චාරිත්‍රයකැයිමට සිතෙයි. එහි ඇති නිහඬ සුන්දර සහ අතිශයෝක්තියෙන් තොර බව තුල ආදරය ජීවිතයටම බද්ධ වී ආශිර්වාදයක් වෙයි. 

ජීවිතයේ උදා ව ඇති සැහැල්ලුවට පින් සිදු වන්නට , හැන්දෑ අහසෙහි රතු පාට මැකී යද්දී පදවැලක් දෙකක් නිරායාසයෙන් ඇමිණෙයි... 

ජීවිතේ.... පාට විසිරුණු සිතුවමක්..
නුඹ මගේ ... පාර පෙන්වන සිතියමක්.. 

ජීවිතේ ....මතක කැලඹෙන  අහඹුවක්..
ඇත්තමයි... අපෙ ආදරෙත් පෙර මතකයක්.. 

ජීවිතේ නම් අහඹුවක්- හීන සටහන් පාර කියනා සිතියමක්.. 

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->