Thursday, January 10, 2013

[283] දැලින් මිදුනු ඈ !


       ඇයව මා දකින්නේ මීට වසර ගණනාවකට ඉහතය. අතිශය සුන්දර මුව කමලත් , එහි රැඳුනු අවිහිංසක සිනහවත් , උපතින් ගෙන ආ නොතිත් බුද්ධිමය හැකියාවත් , මගේ ඇස් ඉදිරියේ මවා තිබුනේ අනාගත සුවච කීකරු බිරිඳකි. මුහුණ විනා මොළය විනා ඒ අරුම පුදුම පෞරුෂය මා එදා දකින්නට උත්සුක නොවීමි.

කාලයත් සමග ගුරු සිසු සබඳතාද වැසී යයි. එතැන්දී යලිත් මට ඈ හමුවන්නේ වසර ගණනාවක ඇවෑමෙනි.  

ඈ වියපත්ව හුන්නාය. සොඳුරු රූ සපුවට දයාභරිත සෙනෙහෙබර මවකගේ දෑසෙහි තෙත් බවද ගැල්වී තිබුණු හෙයින්ම ඈ වඩා සුන්දර වූවාය. 

අදද මා ඈ දකින්නෙමි. එහෙත් ඈ අද එදා හුන් අහිංසක සාවිය නොවේ. තුල ඉන්ද්‍රජාලික විපර්යාසයක් සිදුව තිබෙයි. ඈ නිදහස් කිරිල්ලියක වී දැලෙන් මිදී සිටින්නීය. නොහොත්... ඈ සිය අසීමිත බුද්ධි මහිමය සමග උපතින් ආ අසීමිත ජවය ශක්තිය ලොව වෙත මුදා ලන ව්‍යවසායක කාන්තා පිලිරුවක් වී සිටින්නීය. . 

මෙලොව විසූ බොහෝ ශක්තිමත් ගැහැණු තවත් ගැහැණුන්ගේම දොසටත් , සෙසු පිරිමින්ගේ ඉරිසියාවටත් ලෙහෙසියෙන්ම බඳුන් වූවෝය . එහෙත් ඈ ශක්තිමත් පියවරක් තබා අවසන්ය.  ඉතා ලඳ බොලඳ වූද පෙර යොවුන් වියේදී දුටු නිසංසල ස්ත්‍රීත්වය කැටිවූද, ඈ තුල,  අද ආරෝහ පරිණාහ දේහදාරී , බොහෝ සිනහසෙන, බොහෝ හඬන, බොහෝ හැඟුම්බර , බොහෝ සෘජු ගැහැණු පෞරුෂයක් පණ ගසමින් සුළං පහර කපා තරඟකාරී සමාජයෙහි ඉදිරියට ඇදෙන්නීය. 

ඇගේ සිනහව බොහෝ උස්ය. ප්‍රමෝදයෙන් පිරීගත් ඇස් තුල සන්තුෂ්ඨිය, කෙලිලොල් බව පිරී තිබෙයි. ඈ කුඩා නොදරුවෙකු මෙන් සිනහසෙන්නීය. දුව පනින්නීය. කෙලි ලොල් වන්නීය. කවට කම් කරන්නීය.   ඇගේ අසීමිත ජවය සහ පෞරුෂය කැපී පෙනෙන සුලුය . සිත එදාට වඩා බොහෝ නිදහස් වග පෙනේ. එසේ නොවන කල්හි ගැහැණියකට එතරම් පහසුවෙන් ජීවිතය විඳිය නොහැක්කේය. දෑස් ඉදිරියෙන් අමිහිරි මකුළු දැල් බැඳෙන විට , අඳුර ඉරා එලිය දැකීමේ නොතිත් ආශාවත්, මකුළු දැල් පීරා එලිය දකින විට සිත ප්‍රමෝදයෙන් විඳගන්නා අසීමිත ප්‍රහර්ශයත් , නිරන්තර ආලෝකයෙහි ඉපිද මිය යන අවශේෂ මිනිසෙකුට නොදැනෙයි.

සීමා බන්ධන කිසිවක් ඇගේ චිත්ත පරම්පරාවෙහි නැත. නිදහසේ උණන ඕනෑම සිතිවිල්ලක් සිය සෘජු වදන් තුල ඔතා ඈ ඉලක්කයට එල්ල කරන්නීය. එහි දැඩි බවක්ද ගෑවී නැතුවාම නොවේ. එහෙත් ඈ බොහෝ සුන්දරය. ගැහැණියක් නම් මේ යයි කිය හැකි තරම් ඇගේ සිත විවෘතය. පොහොසත්ය. නිදහස්ය. 

ඒ නිදහස ඈ සොයාගත්තේ කොහෙන්දැයි මට විමතියක් දැනේ. ඒ නිදහස රස බලන සුන්දර ගැහැණුනට උරුම අතෝරයන් ගැන මනා හැඟුමක් ඇති හෙයින්ම මම ඈ පිලිබඳව බිය වෙමි. 

ඈ සිය වේගය නොනවත්වා ත්වරණය කරන්නීය. නිසංසල සාම්ප්‍රදායිකත්වය ප්‍රිය බහුතරය අස්සෙන් ඈ ඉස්මතුව පෙනෙන්නේ අසංවර අසම්මත , ටිකක් 'ගානට වැඩි' , පණ්ඩිත මානී ගැහැණියක සේ විය හැකිය. ඒ දුලබ චරිතය සෙසු හුදී සිතක ඉරිසියාවට බඳුන් වීම ස්වභාවිකය. 

ඈ දැලින් මිදුනේ කෙසේදැයි මට අසන්නටම සිතෙයි. සිය ආගමික , සමාජයීය , සංස්කෘතික බොහෝ පිරිවැසුම් ඉරා විසි නොකරන මේ ගැහැණිය , වැස්මෙන් වසා බොඳ කොට තිබූ ලෝකයෙහි අරුමය කවදා කොතැනක්දී හෝ අහම්බයෙන් විඳ ඊට ඇබ්බැහි වී ඇතුවාට සැක නැත. ලද අවසරයෙන් ඇගේ විභවය චාලක ශක්තියක්ව එක සැරේම කඩා වැටෙන්නට වූයේය.  ම , හිස වසා ගත් වනම වුව , හිත නිදහසේ විවර කොට ලෝකය බැලූ දැවැන්ත කාන්තා ප්‍රතිරූපයන් ඇගේ රුව හා සසඳා බලන්නෙමි. දකින සමානකම් , ආඩම්බරයක්ද , සතුටක්ද , බියක්ද  එකවර මෝදු කරවයි. 

නිදහසේ ලොව දකින ගැහැණුන් පමණක් නොව මිනිසුන්ද බොහෝ හිඟය . ඇතමුන් තම හද තුල මෙතරම් බොහෝ නිදහස් ස්වාධීන සහ අසීමිත විචිත්‍ර පෞරුෂයක් සැඟව ඇතැයි හඳුනා ගන්නේද ජීවිතයේ බොහෝ මං සලකුණු වේලපහින් ඉක්මවූ පසුවය.  හඳුනා ගන්නා හැකියාවන් ඔස්සේ මනස මෙහෙයවා උඩුගම් බලා පිහිනන්නට කියා දෙන ඉස්කෝලයක් මේ මිහිමත නොවෙයි. ජීවිතය නම් තම එකම තක්සලාවය. ජීවිතයෙන් වෙහෙසක් දැනෙද්දී ඔද්දල් වූ හිත තමන්ටම පාඩම් කියා දෙයි. බොහෝ ප්‍රීතිමත් ගැහැණුන් ඒ ප්‍රීතිය දිනා ගන්නේ සම්ප්‍රදාය ඉක්මවා යාමෙනි. සාම්ප්‍රදාය යනු ඉක්මවා යායුතුම කඩතුරාවකැයි මා අදහමි. එතුල ගිලි එල්ලි හරි බරි ගැහී සිටින්නට ප ඉපදිය යුතු නැත. 

ඇගේ ජීවිතයද අද ඒ අදෘශමාන දැලෙන් මිදී තිබෙයි. සිය බුද්ධි මහිමයෙහි රශ්මියෙන් ඈ නිර්භයව නව මගක තනිවම ගමන් ගන්නීය. ජීවිතය යනු දිනා ගත යුතු තෑග්ගක් මිස , අහම්බයකින් පෑදෙන ලොතරැයියක් නොවේ යැයි සිතන ඈ ගැන සිත පහන් වෙයි. දැලෙන් මිදී පියාඹන ඇගේ වේගවත් ගමන පිලිබඳ පහන් සිතින් මේ සටහන (කෙදිනක හෝ ඈට පෙන්වන අටියෙන්) ලියා තබමි.  


4 comments:

  1. පිරිමි කියලා වෙනසක් නෑ.. අපිත් දැල් වල පැටලිලා තමයි... සමහර විට අපිම හදා ගත්ත දැල් වෙන්න ඇති...

    ReplyDelete
  2. මෙහම දැලෙන් මිදෙන්නට ඈට ශක්තියක් ලැබුන එකට මටත් සතුටුයි ඈ කවරෙකු උනත්. හැමදාම මෙහෙම දැල් වල පැටලිලා ඉන්න ඇහැකිය දිල්.

    ReplyDelete
  3. මේ පොස්ටුව කියවද්දී මට කාන්තාරයේ කුසුම නවකතාව මතක් වුණා.

    ReplyDelete
  4. ඔබගේ වදන්වරණය මෙන්ම ඉතාම උචිතව ළය මඬලටම විදාරණය වන්නා වූ පරිදි අර්ථාන්විතව වැකි පෙළගැස්ම ඔබටම අනන්‍යය. ඒ අරභයා පූර්වයෙහි මවිසින් සහස් වර පවසා ඇති බැවින් යලි ඒ පිළිබඳව නොපවසමි.

    මේ ඔබ පවසන චරිතය පිලිබඳව කියවීමෙහිදී බොහෝ සේ හුරුපුරුදු බවක් මසිතට හැඟීයයි. ඊට හේතු කාරණා තවමත් සොයමින් පසුවෙමි :) :)

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->