ගීයක් සර්ව සම්පූර්ණ වීම උදෙසා පද, තාල , හඬ යන තුන් අතින්ම සරුසාර වීම අත්‍යාවශ්‍ය බව සත්‍යයකි. මීට දශකයක මෙහා කාලයේදී නම් ඊට සොයනු හැකිවූ උදාහරණ අල්පමය. අද ඇසෙන බොහෝ ගීත වලට හිමි දෑ අතර ලොකුම දෑවැද්ද නම් බහුවිධ තාලයන්ය. ඉලෙක්ට්‍රොනික සද්ද අච්චාරුවක් එක මත එක පාත් වෙන වත්මන් ගී අතර මනසට සුව දෙන , සිත නිවන සුගායනීය හඬක් මතුවන්නේ දැන් එහෙමත් එකකය .
මගේ සංගීත දැනුම අල්පය. ඒත් මට රහ වැටෙන හැටියට , කසුන් කල්හාරට තිබෙන්නේ විසාල පරාසයක විහිදවිය හැකි නියම හඬකි. මේ මගෙ රසයය. උපේඛා නිර්මාණිගේ හඬ මට ඇසුනු අතිශය ශක්තිමත් ගැහැණු හඬකි. අමිල පෙරේරාද සිය ගැඹුරු හඬ සමගම කාලයේ සැඟව ගොස්ය. නදීක ජයවර්ධනගේද බොහෝ ගීත අතර ඉතාම පොහොසත් හඬ හා තාල මැනවින් ගැබ්ව තිබේ.
එහෙත් ... මේ හැම ගයන්නාගේම ගීත වල මට දැනුනු ලොකුම අඩුව නම් පොහොසත් පද වැල්ය. එකිනෙකින් වෙනස් , මොනවා හෝ වචන ටිකක් විනා ඒ වචන අස්සේ හොයන්නට නිධානයක් නැත.
'සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා - වලා රොදක සැඟවිලා' ගීය අඳුරු රාත්‍රියක අසා බලන්න. ඔබ පද වැලක හිත හිරිවට්ටන හැඟීම් අත්විඳිනු ඇත. මෙවන් අතිශය ප්‍රබල චිත්ත රූප මවන සුලු පද වැල් ගෙතුනේ ඉස්සරය. අද සැබවින්ම මේ පද රචකයින්ට වෙලා තියෙන්නේ මොනවාද?
ගීතයක ඔය කකුල් තුනම රන් රස වගේ ගැලපී යන එකත් මම හිතන්නේ ගීතයේ ලක් එකය. ලකී නැති ගීත වල ඔය කකුල් තුනේ කනප්පුවෙන් එක කකුලක් හෝ අබ්බගාත වී තිබේ.
මේ තරම් සියුමැලිද කලුගල් - ගීතය බොහෝ දෙනාගේ නොමඳ පැසසුමට ලක් වේ. මගේ වින්දනීය සීමාවේ එහි ඇති පොහොසත් පද වලට ලොකු ලකුනක් වැටුනත්, එහි තාල කන රිදවන සුලු යයි සිතේ. (සංවාදයට විවෘතය) පද වැලෙහි වුව , සුමට ලෙස දැනවිය හැකි බොහෝ ස්ථාන රලු අකුරෙන් හැප්පෙන ගතියක් මට නම් දැනේ.
මගේ සරල රසවින්දනය තුල තාල අතින් පොහොසත් ගීත අතරින් රොශාන් ප්‍රනන්දු ගයන පහත ගීය ඉහල ස්ථානයක සිටී. එහෙත් මෙබඳු ලයාන්විත තාලයක් හා හඬක් ඇසුරෙහි මේ ගීතයට පද ලියූ රචකයා කවුරු වුවත් ඔහුට හෝ ඇයට , සරල වචන කිහිපයකින් නොනැවතී මේ ගීතය ආශ්චර්යයක්ම කළ හැකිව තිබිණ.
මේ ගීතය තුල මා විඳින්නේ තාලයයි. ගායකයාගේ මෘදු ගායනයයි. එහෙත් ටිකක් ලංවී බලන විටදී වචන වලත් යම් අපූරුවක් දැනෙයි.
දඟකාර එමෙන්ම කවියක් මෙන් ගීතවත් ඇය , ගුප්ත නිහඬ බවකින් ඔහු බිය ගන්වන ඇය, ඔහුගේ ජීවිතය සැණකෙළියක් කරන ඇය- සුලඟයි. . ඔහුගේ හදවත තුල අකුණු සුලිසුලං මවන්නේ ඇයයි. එමෙන්ම නිහඬ ශාන්ත නින්දට මඳ පවනක්ව ඔහුට පවන් සලන්නේද ඒ සුලඟමයි-ඇයයි.
සුසිල්වත් සුදු ඇඳුමෙන් සැරසී දඟ නොකොට ඔහු හා හෙමි හෙමින් මල් පහන් ගෙන බුදු පුදට යන්නේත් ඇයයි. සංකර කොට ගවුමකින් සැරසී සාප්පු ගානේ ඇවිදිමින් ඔහුගේ දවස කා දමමින් රණ්ඩු අල්ලන්නේත් ඇයයි. එක එක දෑ ඉල්ලමින් ඔහුට ඇණයක් වන්නේත් ඇයමයි.
සුලඟට සීමා මායිම් නැති. කාටවත් හිතෙන්නේ නැති ඇසිල්ලේ සිරෝකෝ කුණාටුවකින් ඔහුටත් ලොවටත් සංග්‍රහ කරන්නට සුලඟ ප්‍රබලය. තවත් වෙලාවක ලොවම නිහඬතාවයෙහි ගිල්වමින් වාතලය උණුසුම් කරමින් සිය සලු පොරවා නිහඬ නින්දට පත් වන්නේත් මේ මඳ සුලඟමයි.
පතිනියකව කුල ගෙට යන දිනෙක කෝල සිනහවෙන් බැලුම් හෙලන්නේත් , මාපියන්ගෙන් සමුගනිද්දී වැලහින්නක් මෙන් හඬා වැටන්නෙත් ඇයයි. මතු දිනෙක බිම වැටී හඬන තම කිරි දරුවන් සනසමින්, මවු ගුණ විහිදමින් සැනසිලි බස් දොඩන්නේත් දිනෙක මේ කෝල දැරිවියමයි.
ඔබට කවදාවත් හිතුනාද ? සුලඟේ අරුමය? නැහැ, වැරදුනා ගැහැණියකගේ අරුමය?
සුලඟ වගේ දඟ කරන - එති එතී ලඟ රැඳෙන
ඔයා වගේ හිත නිවන - භාවනාවක් කොහිද?
විටෙක ඇවිත් සිත සිඹින - ආයෙමත් දුර දුවන
හෙමින් හෙමින් කිති කවන - ඔයා මගේ පෙම් කවිය ..
වෙලා ඇවිත් සුලි සුලඟ - පාරවයි සිත සුවඳ
තරහා නෑ මං තවම - හෙටත් ඔයා මගෙ මැණික
ඔයා වගේ හිත නිවන - භාවනාවක් කොහිද?
විටෙක ඇවිත් සිත සිඹින - ආයෙමත් දුර දුවන
හෙමින් හෙමින් කිති කවන - ඔයා මගේ පෙම් කවිය ..
වෙලා ඇවිත් සුලි සුලඟ - පාරවයි සිත සුවඳ
තරහා නෑ මං තවම - හෙටත් ඔයා මගෙ මැණික
සුලඟට මෙන්ම ඇයටද එක තැනක සිටිය නොහැකිය. එහෙත් ඇගේ අරුමයමත් එයයි. ඔහුගේ හිස කෙසින් අදින , ඔහු හා කිසිම කමකට නැති දේටත් රණ්ඩු වෙන ඒ ගැහැණු කමට උරුම අවගුණයටද ජීවිතය උපැද්දවිය හැකිය. ඔහුගේ හිස සිඹ සනසන , ඔහු සිත සිඹින නිවන සනසන උවැසියත් ඇයයි.
කාසියක දෙපස මෙන් , ජලය සහ ගින්දර මෙන් , සිනහවත් කඳුලත් එකම උල්පතකින් උපදින අරුම. රොස මලටත් , පිච්ච මලටත් , බාඳුරා මලටත් විවිධ වූ හැඩ සහ වැඩ මැවිය හැකිය. එහෙත් පොදුවේ ගත් කල උන් හැමට එක ජීව ගුණයක් හිමිය. එය මලක ගුණයයි. නටුවෙන් රැඳී , හිරුගෙන් ජීවිතය ලබමින් , බඹරුන්ගේ ඇල්ම විඳිමින් මල් පිපෙයි , දිලෙයි, පරව යයි.
ආදරවන්ත උවැසියන් , ආදර ගිණි කිකිලියන් , සෙල්ලක්කාරියන් , අසරණියන් , විහාරමහා දේවියන් , යශෝධරාවන් , කිසා ගෝතමියන් අතර පොදු එක් ගුණයක් මම හඟිමි. විෂම සමාජයේත් , ඉවරයක් නැති සංසාරයේත් ඔබ ඉදිරියට හමුවන්නේ ගැහැණියක් නම් - ඈ සුලඟකි. ඈට හෙවත් මඳ සුලඟට හා සුලි සුලඟට හිමි එකම ගුණයකි. එයට මම 'ගැහැණියකගේ ජීව ගුණය' යයි නම් දෙමි. ගැහැණියක් වූ මම , එහෙයින්ම මට අසීමිතව ආදරය කරමි.
ගීය අහනව නම් මෙන්න ...