Monday, December 31, 2012

[281] තෘප්තිමත් වූ 2013ක් උදෙසා. ...


 පසුගිය ජනවාරි 1 දා මා කියූ සේම , මම ජීවිත තෑග්ග ඔබා නොබලා ලිහා බෑලුවෙමි. එහි බොහෝ හුරුබුහුටි තෑගි බෝග එකිනෙක හැංගී ඇති බව මම පසක් කළෙමි. මෙතෙක් හිත නොනැමුණු නව අදහස් උණා ආවේ අලුත් පාරකට මග ලකුණු පෙන්වමිනි. 

පෙර සේම , හෝ ඊටත් වඩා මම ප්‍රමිතියෙන් තොර කෙල්ලක වීමි. ජීවිතය මුහුකුරා යද්දී මට පෙනෙන පාට වෙනස් වූයේය. මට දෑනෙන ගඳ සුවඳ වෙනස් වූයේය. ඒ සමගම මා දකින මගද , මට මග පෙන්වීමේ අවස්ථාවද එලි පෙහෙලි වූයේය. එහි ප්‍රතිපලය වූයේ ලිහා බෑලූ පොදියෙහි තිබූ හරබර සොඳුරු අත්දැකීම්ය.  

සිරිපාදේ කඳු මුඳුනෙහි යටිපතුල විජයග්‍රාහී තුන් වෙනි වරටද පින් සිතින් ස්පර්ශ කළෙමි. ඒ සොඳුරු මිනිසුන් ඇසුරෙහි මීවිතක් ඉහිරෙන පරිද්දෙන් නිරායාසයෙන් නිදෑල්ලේ සන්තෝසයෙන් ජීවිතය ගලා ගියේය. 

අවුරුද්දේ මුල් භාගය ගෙවී ගියේ ප්‍රමිතියකින් තොර මා හදවත තුල බොහෝ සැණකෙලි මවා විචිත්‍ර සිතුවමක් වියා දමමිනි. 

වැඩ වැඩ වැඩ අස්සේ මට දවස් තුන්ස්ය හැටපහක් වේගයෙන් ගලා යන'යුරු  දැනුනි. එහෙත් ලැබෙන හැම අවසරයකම මගේ විවේකය වූයේ කන්දක් බඩගාමින් හෝ ජීවිතය විඳීමය.  මම කිසිසේත් ජීවිතයෙන් බැහැර වී නිස්කලංකේ සිටීමට නොසිතූ හෙයින්ම ජීවිතය සමනල පියාපතක් මෙන් වෛවර්ණ වූයේය. එහි අත්දැකීම් පිරීතිරී තුබුනේය. 

එහෙත් සමනලයකුට වුව දලඹු කෝෂයක පොඩි පහේ පරිවාස ගුහාවක දඬුවම් විඳීමට සිදුවේ.  අග භාගයෙහි මටද එයම වූයේය.

ඉතා කෙටි කලකට ජීවිතයක් නොවූ ජීවිතයක් මට තිබිණි. එහි තිබූ ව්‍යාජය නිරන්තර මගේ සිත රිදවී... ස්ව කැමැත්තෙන් කූඩු වන්නට රිසි නොවූ මුදු, එක් ව්‍යාජ හස්තයක් විසින් මා නොදැනීම , විඳීම් ඉන්ද්‍රජාලිකයයි බැහැර කරන කූඩු පොඩිත්තකට ඇතුලු කොට තිබුනේය. කිසිදු ප්‍රමිතියකින් තොර වූ නිදහස් පිහාටුවක් වූ මා හිස් ගෙඩිය මතට එක වරම සාන්ද්‍ර ජල බින්දුවක් වැටී බරවී ගියාක් වැනි වීය... එහි බරෙන් මම මුවින් නොබැණ ඇඹරුනෙමි. මුහුණ ඇඹුල් කළෙමි. ඒත් මගේ කූඩුවේ දොර ඇරී තුබුනා මිස කූඩුවත් සමග ජීවිතය මා ඉගිල ගිය ඉසවු කරා ස්ව කැමැත්තෙන් ඉගිළ නොගියේය. ඉගිලීමට මෙන්ම තව ජීවිතයක් ඉගිලීමේ පෙරහුරුවට ලක් කිරීමේ වෙහෙසින් අවසන මම පරාජය හෙවත් මගේ නිදහසේ රස බලන්නට තීරණය කළෙමි. 

ජීවත් වීම සිරගෙයක් නොවේ. ජීවිතය කියන්නේ කරුමයක් වන්නේ කරුම විපාක ගෙවීමෙහි හිත දක්වන කැමැත්ත තුලය. 

ගෙවුනු වසර 2012 , සිත පිරුනේය. සිත හිස්වූ තැන සිත නිදහස සොයා යලිත් සන්සුන් වූයේය. පැතූ අරමුණු ලඟා වූයේය. බොහෝ තිත්ත සිදුවීම් තිබූ මුත් ඒ වෙනුවෙන් හැඬිය නොහැක්කේ , ඒ කිසිවක් මගේ පාලනයෙන් තොර වූ හෙයිනි.  

මම තෘප්තියෙන් හැරී බලමි.  අහිමි වූවා යයි හඬන්නට කිසිවක් ඉතිරි නොකොට තුන්සිය හැටපස් දිනෙක ආවර්ජනයෙහි , සිත කය වෙහෙසී නිරන්තරයෙන් වැඩ කළ සතුට උඩ පනියි. එක තත්පරයක් හෝ , නිවාඩුවක් හෝ ගණන් මිනුම් බැලීමෙන් තොරව චිත්ත තෘප්තිය උදෙසා අත්හදාබැලීම් වලින් පිරුනු වසරක් ගත කළෙමි. එයින් මා වසරකින් වියපත් වීමි.

ගෙවෙන්නට උදා වෙන 2013 යනු එතරම්ම ජීවිතයේ ප්‍රමිතියෙන් තොර ආස්වාදය තුල ගිලී සැනහෙන , කාර්යක්ෂම වසරක් වේවා !!!!! එක් මිනිත්තුවකුදු අපතේ නොයන , ජීවිතාභිලාශය පණ ගසන වසරක් වේවා !!!!!

Today isn't e New Beginning ! It is the continuation of what I began ! :-) 


Wednesday, December 26, 2012

[280] නොහික්මුණු කමට

සිතුවිලි ඔන්චිල්ලාවක
පැද්දෙනවා නොහික්මුණු හිත..

ඇවිත් ආයිත් පොළොවට ...
බලා යනවා ඉඳහිට දුක සැප ..

නිතර බිමට නාවට ..
කිසිත් අමනාප නම් නැත...

සන් කරන තෙක් වෑහි බීරුම ,
නැග ඉඳින් වළාවක් පිට ..

අහස කළු වී එන කොට,
සමුදී බැස වලා යහනින ......

කල්තියා ආවොත් පොළොවට ,
එදා හුන් බිල සොයනු හැකි වෙත...

ඉඳහිට වැහි පොදට
ත්
තෙමෙන
දිරාගිය
විල්ලුද ඇතිරිලි රැඳුන .....

කාලය මහලු කළ උස් තුරු දෙකක ...
අතොරින් අනාතුර සුව ඇත තවම .....
.
.
.

2012 - 12 -26 ..
මහලු උස් තුරු දෙකට සෙනෙහසින් ....

Tuesday, December 25, 2012

[279] නිදි නැති රාත්‍රීන්







නින්ද නොයාම මල වදයකි. විටෙක හිතෙන්නේ එය ලෙඩක් යයි කියාය. එසේ සිතීමේ අතුරු ඵලය නම් , සිත විසින් බෙහෙත් ඉල්ලීමයි. බෙහෙත් බිව්වොත් එය තවත් ලෙඩකි. එතනින් එහාට බෙහෙතින් මිස නින්ද එන්නේ නැත. ඒ නිස්කාරනේ තිබූ නින්ද නැති කරගන්නා මගකි.

සිත නොසන්සුන් වූ විට දෙකට දෙවාරනේ නොහිතූ විටෙක නින්ද ලඟා වීමත්, සිත සන්සුන් වූවිට නින්ද පලායාමත් එක්තරා අයුරකින් විද්‍යාවට පටහැණිය. මාසම්බන්ධයෙන් ගත් කල ප්‍රායෝගිකය.

නින්ද නේන රාත්‍රීන්හි , නින්ද ගෙන්වා ගැනීමට ඇඳ ඉහත්තාවේ තිබෙන පොත් ගොන්න උදක්ම හේතු වෙයි. කියවා පුරුදු සහ හිතගත් පොතක රසවත් හෝ ඇල්ම කල පි‍ටුවක් යලි කියෙව්වහොත් දෑස් වෙහෙසීමෙන්දෝ නින්ද එයි.

පසුගිය වසරෙහි නින්ද අහිමි වන්නට තවත් කාරණාවක් සොයාගතිමි. සැබවින්ම , අප නිදන්නේ එක්තරා බලාපොරොත්තුවකිනි. ඒ නම් පසුදින අවදි වීමය. මාස 6ක ‍රැකියා විරාමයේදී අන්තිම කාලයේදී නින්ද ලඟා වූයේ පාන්දර 5.30ට පමණය. ඊට හේතුව පසුව සූයා ගතිමි. නැගිටින්නට හේතුවක් නැති වීමය. සිත හෙට ගැන ප්‍රාර්ථනාවක් රඳවා ගන්නේ නම් , එයම නින්ද ලං වීමට ප්‍රමාණවත් වෙයි.හෙට අවදි වන්නට හේතුවක් නැතිනම් , නින්ද පමා වෙයි. පමා වූ නින්ද පසු දිනයෙන් දිගු පැය ගණනාවකුත් ඊට හිලව් කරගනියි.

නින්ද නේන රාත්‍රීන් යනු නිශ්ශබ්දතාවයෙන් උල්පන්දම් දෙනු ලදුව , අතීතය උලුප්පා අනාගතය පෙර දැක වර්තමානය එනයින් කපා කොටා බැලීමේ එක්තරා මීටිමකි. එහෙත් කාලාවර්තී සිදුවීම් , අතීතය යලි යලිත් නැවත සිදුවන බව සන් කරද්දී , සිත සන් කරන්නේ අනාගතය ගැන සිතීම පලක් නැති වැඩක් කියාය. එකම ආව්ර්ත තුල අප ජීවිතයේ සිදුවීම් දැනටමත් යම් කර්ම පොතක ග්‍රන්ථාරූඪව තිබේ නම් , සැලසුම් කිරීමේ පලය කිම?

එහෙත් සිතෙහි තවත් කොටසක් සන් කරන්නේ... අනාගතය කෙරෙහි නිසි දැඩි සිතුවිල්ලක් සිතෙහි බල නොපවත්වන කල්හි , අනාගතය කර්ම පොතෙහි ලියා කියා ඇති අයුරෙන්ම සිදු වීමට පරිසරය විසින්ම බල කරන බවකි.

එහෙත් මේ අන්ත දෙකෙන් බොහෝ දුරට දෙවන තේරීමට පෙර වසර වලදී සිත නැමී ගියේය. 2013 යමු එම සිදුවිල්ල කෙරෙහි වෙනසක් කල යුතු කාලය බව , එක් නින්ද නේන රාත්‍රියකදී සිත තීරණය කලේ මේ ඊයේ පෙරේදාය. මෙවර දින 365ක අනාගතය මා විසින් දැඩි තීන්දුවකට යටත් කොට ඇත. තවත් දින 365කින් එහි ගුණ නුගුණ කීමට මෙම ලිපියෙහි දිගුවෙන් 2013 දෙසැම්බර් 25 දා හමුවන්නෙමි.

සැමට , අරමුණු ලැබෙන සහ අරමුණු ලඟා කරගන්නා ඉදිරි වසරක් වේවා... !




Wednesday, December 19, 2012

[278] සර්පයෙකුගේ දියණිය ඔස්සේ.....

සර්පයකු කෑවාක් සේම තිගැස්මක් ඇති කරන්නට ඉතා කුඩා වැකියක් ඊයේ සමත් වූයේය. ජීවිතය තිගැස්විය හැකි නිර්මාණයකදී මට එහි පැටිකිරියෙන් පලක් නැත. ඇත්තටම කියනවා නම් මේ පොත තවම මා නොකියවූ එකකි. එහෙත් මෙවර මාසාවසාන පඩි පැක්ට්ටුවේ පොත් කෝටාව ඇරෙන තුරු මෙය නොලියා සිටීමට සිත නොදෙයි...

"වැස්සකට ගෙදරට ගොඩ වෙනවා වගේ සැරෙන් සැරේ ජීවිතේට ගොඩ වෙන අයට ගොඩක් ආදරේ කරන්න එපා පුතේ.. පායපුවම එයාල යනවා "

(සර්පයාගේ දියනිය - උපේස්ක්ෂා නුවනශ්‍රීනි)...

ඉතා කුඩා වූ එ'වැකිය මෙපමණකි. එය මා කොතරම් සංවේදී කලේද යත් , අද කාර්යාලෙහි මිතුරු මිතුරියන් අතරේ එය පවසද්දී පවා මගේ උගුර හිරවී දෑස් තෙමෙන්නට පටන් ගත්තේ කිමදැයි මට සිතා ගත නොහැකි විනි.  

එක් කුඩා වැකියක් තුල දිගු වසර ගණනාවක වේදනාකාරී හැඟුම් පිටාර ගලන්නට තතනන්නාක් සේ මට හැඟුනි... ජීවිතය යනු වැහි කුණාටු ඔස්සේ පදවාගෙන යන නෞකාවක්නම් එහි බොහෝ අඩි සටහන් , විටෙක හෘද මුද්‍රාවක් ලෙසින්ද ,විටෙක වැල්ලේ මැකී ගිය සටහන් ලෙසින්ද , විටෙක මනෝ බිතෙහි පමණක් සටහන් වූ මතක ලෙසින්ද සටහන් වූයේය. 


 හෘද නෞකාව බොහෝ නිසංසලේ යාත්‍රා කරන අනේක වාරයන්හි , වැහි කෝඩයන්ගෙන් රිදුම් ලත් සන්තානයන්ට සහන් එලියක් සහ සෙවනක් වීම සැබැවින්ම සමාජ සත්කාරයකි.   එහෙත් සත්කාර්යයක් පමණක්ව මිස පූර්ණ කාලීන ජීවන වෘත්තියක් වශයෙන් බැඳුනහොත් , එක්තරා අවස්ථාවකදී අවදානම බොහෝ ඉහළ යයි . 

වැහි කෝඩය  වැටෙන තාක් සහන් එලියට බොහෝ පැසසුම් හිමි වෙයි. එහෙත් හිරු එලියෙන් උදම් වන අහස දකින සන්තානයට තව දුරටත් සමාජ සත්කාරයෙහි චමත්කාරය අරුමයක් නොවේ.. සිතින් බැඳීමේ විපාකය , සමාජ සත්කාරයෙන් උදම්ව මොහොතක් තිබූ හදවත යලි ගිඩ ගත නොහී ගිලා බැසීමමය. 

ජීවිතය ආදර බැඳීමෙහි අතරමං වන කල්හි සිත බැඳුමෙහිම මංමුලා වී යයි. අවට ලෝකය , අවට දුක් සුසුම් අතෝරයන් , නොපෙනී යයි. රටේ ලෝකයෙහි සිදුවන දෙයෙහි හොඳ නොහොඳද අවධානයද බිඳී යයි. බිඳෙන එක මොහොතක් පාසා හදවතම සාපයක් බවට පත් වෙයි. අවිවේකය , අසහනය , කම්පිත බව මෙන්ම නිසි පිලිතුරක් නොමැතිවම ජීවිතය කෙරෙහි කලකිරීම , අසංවිධිත සමාජ සත්කාරයක් බැඳුමක් දක්වා දුර ගොස් විඳවීමක ලකුණුය. 


 රන් රස සේ එකට බැඳෙන දෙහදක , ආදරය යනු එබඳු මූඪ තාවකාලික ගනුදෙනුවක් නොවේ...  දෙහද එකිනෙකා හැර නොයන්නේ... ,  දයානුකම්පාවේ සහ සමාජ සත්කාරයෙක අතුරු පල වශයෙන් නොවේ... යම් හෙයකින් ආදරයේ හැටි එහෙම නම් , එයට බොහෝ ආයුෂ නැත. එය දෙහදටම වේදනාවක් පමණක් ඉතිරි කොට හැර යයි. 

සුජීව ප්‍රසන්න ආරච්චි ගැන අමුතු ඇල්මක් හෝ අපුලක් නැතත් , එක්තරා ඔහුගේ පොතක තිබූ මේ වැකිය මගේ සිත ඉහත වැකිය තරමටම කලකට පෙර බැඳ ගති..

'එකට පියාඹන්නෙ එක ජාතියෙ කුරුල්ලො'  

ඇත්තේ වචන පහක් වුවත් , එහි කියවෙන අරුත නම් ඊයම් බරු මෙන් මගෙ හෘදය අභ්‍යන්තරයට ගිලා බසියි. සැබවින්ම සුජීව මහත්මයාට බනින්නට නොසිතෙන්නේ මේ වැකිය නිසාමය. විය නොහැකි තරම් බොලඳ ආදර ප්‍රවෘත්තීන් අතරේ පරමාදශී ආදර ප්‍රමේයයන් හම ගැසුවත්, ඔහුගේ පොත් අස්සේ මෙබඳු සරල හද බෑඳගන්නා වැකි බහුලව තිබේ....

එකට පියාබන්නට නොව වරුසාවට සෙවනකට පමණක් ගොඩවූ හදවතක් කෙරෙහි දැඩිව බැඳී මතක ගොඩ ගැසීම තුල ජීවිතයට පාඩමක් මෙන්ම අනාගතයට අඳුරු අතීතයක්ද දායාද වනු ඇත. 



එක් රිද්මයෙන් නිසි නින්දේ පියා සලන සියොතුන් , එක් මහ සුලඟකින් විටෙක වෙන් කරනු ලැබුවද , අනුනාද වන එකම සියොත් සර ඔස්සේ යලිත් මොහොතකින් එම රෑනම එකට ඇදෙනු දිස් වෙයි. එකට පියාබන එක ජාතියේ කුරුල්ලන්ගේ හැටි එහෙමය. වෙනස් ජාතියෙහි කුරුල්ලන් එකට පියඹන්නේ එහෙමත් කලාතුරකිනැයි මට සිතෙයි. එලෙස පියෑඹුවත්, එක්කෝ එය වැස්ස නිමා වන තුරුම පමණකි. එක්කෝ නිහඬ අහස පරයා වැස්ස අඬා වැටෙන තුරුම පමණකි. එතැන් පටන් ඇත්තේ උන් උන්ටම අනන්‍ය වූ ගමනකි.

Friday, December 14, 2012

[277[ සන්සුන් වීමේ ආදීනව


දිගු කලකට පසු චිත්ත සන්තානය යම් කිසි සන්සුන් බවක් පල කරන්නේ බ්ලොග් පිටුව වෙත පෙර තිබූ ආලය පෙම සහ බැඳුම යලිත් යාවත්කාලීන කරමිනි...

අනාගතයට මෙන්ම අතීතයටද එබී සිටීම දීර්ඝ කාලීන බෙල්ලේ කැක්කුම් වලට හේතුවකැයි අලුත් අවුරුදුදා මම ලියා තැබුවෙමි. කොතෙක් ප්‍රබන්ධයන්හි යෙදූ මුත් , ලියවෙන දාර්ශනික වැකි ප්‍රායෝගිකව 'මේන්න මම කළා' යැයි කීමට ලැබෙන්නේ එහෙමත් වතාවකය.

විශාල මාවතක් වැනි ජීවිතය කුඩා අතුරු මාවත් ඔස්සේ අලුත් ඉසවු අත පත ගාමින් ඇදෙයි. උප විඥ්ඥාණය සන් කරන්නේ මහ මගින් මා නුදුරේම මුත් , අවතීර්ණව ඈත්තේ වෙනස්ම මාවතකට බවයි. එහෙත් කාලය එක නිසි නින්දක මනසක විවේක ගන්නට ඉඩ නොදෙයි. දීර්ඝ රාජකාරී මුරයන් , නිවාඩු දින ගණනාවක් කැපකොට ලද ප්‍රීතිමත් අවසන් ඵලයන් , ජීවිතයට තෘප්තිය ලඟා කලද සිරුර සහ සිත ඉල්ලන හිපි විවේකය ලබා නොදෙන්නේය.

හිපි විවේකය
මගේ හදවත ඒක නින්නාද වන්නේ සොබා දහමටය. ගහකොළ , වතුර , අහස මෙන්ම ස්වභාවිකත්වය හෙවත් සෑබෑ ලෝකයේ ඕනෑම තෑනකදී මගේ හදවත ගැහෙන්නේ එක්තරා සන්සුන් නින්නාදයකිනි. එහෙත් දිලිසෙන කොටු තිරයකට එබීගෙන , අත පත ගෑ නොහැකි ලෝකයක, එකවර කෙරෙන දාහකුත් එකක් රාජකාරීන් අස්සේ තෘප්තිමත් කළ හැකි සිතක් මට නැත.
එහෙයින් ඒ කල්පිත විවේකය හිත අයදින්නේ බොහෝ කාලයක සිටය. එය නොලැබීමමද හිතට වේදනාවකි. ඒ වේදනාව දත හපා ගෙන ඉවසා පශ්චාත් ප්‍රදේශය ගිනි තබාගත් කඩියෙකු සේ වැඩ කරනු දකින කෙනෙකුට මා කාර්යක්ෂම සහ වැඩ කිරීමෙන් තෘප්තිමත් ව්‍යවසායකයකු ලෙස පෙනීම වරදක් නොවේ... 

බොහෝ කවීන්ගේ පන්හිඳ පණ ගසා එන්නේ සඳ මෝරන රාත්‍රියේ වුවත් , මගේ කවි හිත නම් , එකාකාරී ගෝෂාවන් මධ්‍යයේත් , මග මගදීත් , නගර කඩ වීදියේත් , උගන්වමින් සිට ඉසුඹුවක් ගන්නා මඳ ඇසිල්ලේත් ලියන්නට බොහෝ දෑ අනායාසයෙන්ම සොයා දෙයි.. .

එහෙත් ඇතැම් විට එම අනගි සංකල්පනාවන්ගේ වැඩිම ආයුෂ වශයෙන් පැයක් දෙකක් පමණක් සටහන් වී මනස් බිත්තියෙන් ඒවා මැකී යන්නේ උදෑසන මිහිදුමක් මෙනි.  ඇසිල්ලකට පෙර ලිවිය හැකි තරම් අනගි කල්පනාවක් තිබූ බව මිසක කලපනාවේ තිබිය යුතු කාරණාව බොහෝ විට ගිලිහී ගොසිනි . නොසන්සුන් ජීවිතයකට ඒවා උරුමය. ලියන්නෙකුට නොසන්සුන්කම උරුම වීම අවාසනාවකි.

ඇතැම් සංකල්පනා පහළ වන්නේ නින්දේය. සිහිනෙන් ලියූ කවි කතන්දර අපමණය. අවදි වූ විගස කොලයක ලියා තබමැ‍යි ශපථ කරන්නේත් සිහිනෙන්මය. අවදී වූ විගසද මතකයේ ඇතත් ඇඳෙන් පය ගසා නැගිටීමත් සමග සිතුවිල්ල යටිපතුලට යයි.

ඉපැදී නින්දෙන්ම මිය ගිය එක් එබඳු සිතුවිල්ලක් වරක සංසාරේ පිය සටහන් කතාංගයක මම දුටුවෙමි.
මා අනාගත නාට්‍ය කොටස සිහිනෙන් දුටුවාද?
තවෙකෙකු මා දුටු සිහිනයම දුටුවාද?
නො එ සේනම් සිතුවිලි සොරෙකු මගේ අනගි සිතුවිල්ල සිත කියවා සොරා ගත්තාද?

දන්නා කිසිවෙකුත් නැත...

බලා සිටිනවා නම් අනගිම දර්ශනය අපේ සිතය. ඇසිල්ලක වෙනස් වන ස්පන්දනයෙන් ස්පන්දනය සිතුවිලි පරම්පරා ඉපිද මියෙන මේ සිත යනු දැන් ප්‍රචාරය වන නාට්‍යයකට වඩා රසවත් මෙගා පෙළ නළුවකි...

එහෙත් විටෙක බොහෝ ලොබින් ආසක්තව ඇබ්බැහි වෙමින් කලාවත් සමග පෙම් බඳින සිත , අනෙකුත් ජීවිත අරමුණු කරා අවධානය යොමු කරද්දී ලිවීම ඈලියාවට යාම නොවැලැක්විය හැකිය. ලිවීමට ඇති පෙම එකකි. ලිවීමේ හසල බව තවෙකකි. ලිවීම ඇණහිටි කල්හි ඈලියාවට ගොස් ලියා ගන්නට වදන් සොයා ගනු අපොහොසත් වී ලියන්නට බැරියයි ප්‍රකම්පනයට පත් වීම ඛේදවාචකයකි. ලියන්නෙකුට සිතෙන්නේ එහෙමය.

ගීතයක් අසද්දී, නාට්‍යයක් නරඹද්දී, කතාවක් කියවද්දී , පෙර පුරුදු සසර මතකයක් මෙන් , හෘදය යලිත් පෙර රිද්මයකට නින්නාද වෙයි.  බේබද්දෙකු කලක් නොබි සිටියහොත් , එක වයින් උගුරෙනුදු ඉක්මනින් වෙරි වෙයි. දිනපතා බොන්නාට බෝතල් භාගයකින්වත් එම උද්දාමය ලඟා කරගත නොහැක. කලක් ඇසුරෙන් ඈත්කොට සිටි බ්ලොග් පිටුවත් , පිලිවෙලට අසුරා පුස් කන පොත් රාක්කයත් , මාස ගණනාවකින් දෙසවන් ඇසුරක් නොලද දහස් ගණනක ගීත ගොන්නත් සමග පෙර ඇසුර යාවත් කාලීන වීම, කලක් බීමට සල්ලි අගහිඟ වූ බේබද්දෙකුට බාර් එකක දොර ඇර දුන්නා හා සමාන වූයේ එහෙයිනි.

තාක්ෂණයෙන් මිදී ගස් ගල් ගහකොළ පොත් පත් සමග ඇසුරට වැටීමට රස්තියාදු ගැසීමට පුරුදු ආශාවන් යලිත් පණ ගසා ඒමට සිත එකඟ හෙයින්ම වැඩ නිමවී තුන් රෝද රියෙන් එන ගමන වලකා මම පයින් එන්නට තීරණය කළෙමි. මාස ගණනක් නොවෙහෙසී සිටි අතපය මත දහඩිය වැටෙන්නාත් සමග සිතෙහි අක්‍රියව තිබූ සිතුවිලිත් , ඒ හා බැඳුනු ආස්වාදයත් ආඝ්‍රාණය කරමින් , ගත වෙහෙසෙන්නාත් සමග අක්‍රියව අසහනයෙන් එක තැන පල්වෙමින් සිටි සිත නින්දෙන් පිබිද සහනකාරී සන්සුන් චින්තාවලීන් දිග හරින අයුරු මම ප්‍රීතියෙන් බලා සිටින්නෙමි. 
 
 

Thursday, December 13, 2012

[276] අස්තිර




දෙනෙතක මෙලෙක දැක පමණක එක සැණෙක
පැතුමක බියක දුක සැක දෙහදක සු‍රැක....
සිහිනෙක මිසෙක, සසරක මතකෙක නොදැක
වදනක හසක සහනෙක දැකියැක ? නොහැක

2012-12-13

Thursday, November 29, 2012

[275] සත් වසක රැකියා අතීතාවර්ජනය

 


සංසාරේ අපි මාසයක් වහලා දැම්ම ගානයි. බ්ලොග් ලිවිල්ල කෙසේ වෙතත් ලිවිල්ල නම් එපා වෙන්නෙ නැහැ. ඒත් දන්නවද, ජීවිතේ මල්ට ටිකක් දුරට රයිටර්ස් බ්ලොක් වගෙ එකකුයි ටෙක්නිකල් ගෑජට් එපා විල්ලකුයි එක පාර සිද්ද උනා වගෙ මාසයක් හිත හිත දුක් වින්දා. 

ජීවිතේ මල්ට තියන ලොකුම ලෙඩේ තමා ජීවිතේ වෙනස් වීගෙන යද්දි ඒකට හේතු භූත වෙච්චි කරුණු කාරනා හොයන්නෙම තම ඇතුල් හිතෙන්.  ගම්පෙරලියෙ නම් කිව්වෙ මාතර හාමිනේ කියන්නෙත් ඒ වගෙ කෙනෙක් කියලයි. ඒත් ජීවිතේ විවිධ අභියෝග සංසිද්ධි එක්ක වැඩෙද්දි ඇතුල් හදට එල්ල වෙන ඇහැ පිට ලෝකයට පරාවර්තනය වෙන එක වලක්වන්නත් බැහැ. 

ගෙදර ආවම හැමදාම පුරුද්දට වගේ , ඉක්මනට ඇඟ පත හෝදලා , අලි පත තේ එකත් එක්ක කොම්පියුටරේ ගාව වාඩි වෙන එක ඉස්සර හිටන්ම අවිඥාණකවම සිද්ද වෙච්ච දෙයක්. කොම්පියුටරෙන් කරන්න විශෙෂ වැඩක් ඇතත් නැතත් ඒක නිකම්ම සිද්ද උනා.  

අපරාදෙ කියන්න බැහැ , ජීවිතේ මල්ට තියන අරපිරිමැසුම් ජිවිතේට පුලුවන් උනා මීට අවුරුදු තුනකට ඉහතදි , දුකසේ ඉතුරු කරපු කොලඹ බෝඩින් ජීවිතේ අතරතුරම , යම්තම් ලැප්ටොප් එකකුත් ගන්න. ඒකට එකම රහස තමා ජීවිතේ මල් පඩි ලැබුනාම ඉතුරුව කරලා ඉවර වෙලයි පඩි පතෙන් වියදම් කරන්න පටන් ගන්නෙ. ඉතින් එදා ඉඳන්ම කොම්පියුටරේ කෑලි ගැලවිලා පැත්තකට උනා. යන එක හැම තැන ලැප්ටොප් එකට උස්සගෙන යන්න උනා. 

අවුරුදු දෙකක් යද්දි ඉතින් පොඩි පහේ පස් තාච්චි උපාදියකුත් කරගෙන , ආයිමත් පොඩි හුස්මක් ගත්තෙ කන්ද උඩරට පුරුදු හීතල ජීවිතේ ආසාවෙන් තුරුලු කරගනිමින්මයි. ඔන්න බොලේ ඒකත් ඉවරයි. හුරේ ...!  අප්පා එතනින් එහාටයි ජීවිතේ පටන් ගත්තේ. 

අලුත් අලුත් දේවල් කරන්න , වගකීමක් දෙකක් දරන්න නිදහසත් , අවස්ථාවත් , අනුබලයත් ලැබෙන රස්සාවකුයි නිස්කලංක ජීවිතේකුයි එක්ක ජීවිතේ මල් නුවර පැලපදියම් උනේ එහෙමයි ආයිමත්.  

ජීවිතේ අධිවේගයෙන් ගලාගෙන යන්නට වුනා. හැමදවසක්ම අභියෝගයක්. හැම දවසකම අලුත් දෙයක්. ඉහේ හිට දෙපතුලට ගිලෙන්න අලුත් අලුත් වැඩ ගොඩක්,.. හැබැයි එක දෙයක් විස්වාසයි. මෙතෙක් වැඩකල අවුරුදු 6ත් හරි, පහුගිය අවුරුද්දත් හරි. ඒ තරම්ම අලුත් අත්දැකීම් ගොන්නක්. අභියෝග , ප්‍රශ්න , ගැටලු, අලුත් අදහස්, ඔක්කොම උල්පතක් වගේ දෝරෙ ගලන්නට උනේ ව‍්රය්ත්තිය ජීවිතේ අලුත්ම පිටුවක් පෙරලමින්. 

අලුත් කාර්යක්ෂම අදහස් වලට නිකම්ම හිත නැමෙන මගෙ නව ඇරඹුම් හැම එකක්ම් තෘප්තිමත්ව නිම කරන්නට ලැබෙන ලැබීමත් හරිම සතුටු හිතෙන දෙයක්.  ඉතින් මාස පහ හයකට මත්තෙන් හිත අවුරුද්දක් විතර තිස්සෙ සිහින මැවුව අයි පෑඩ් එකක් හිමි කරගන්නත් , මගෙ අරපිරිමැසුම් ජීවිතේට වාසනාව ලැබුනා. 

දැන් ඔයාලට හිතෙයි ජීවිතේ මල්ගෙ ජීවිතේ නම් 'මල් හතයි' කියලා.  මට තියන ලොකුම සතුට තමයි , ඒක එහෙම නොවී තියන එක දන්නෙ මගෙ හිත විතරක්ම වීම.ජීවිතේ කියන්නෙ මොන තරම් අසාදාරණ , කටුක , නින්දිත , තුච්ඡ එකක්දැයි ඔබ මගෙන් ඇහුවත් මට කොයිතරම් හොඳ පිලිතුරකට අත්දැකීම් තිබුනත් , මම ඔබට හිනහ වෙලා කියාවි , ජීවිතේ සුන්දරයි කියලා. ඒකට හේතුව තමයි , ඒ තරම් කටුක රළු මං පෙතේ අද මට මෙන්න මේ වගෙ සටහනක් ලියන්නට තරම් දේවල් මට තියෙන්නේ, මගෙ හිතේ තියන නොසැලෙන ආත්ම විස්වාසය නිසයි. 

නොමග යන්නෙපා. ජීවිතේ මල්ගෙ හැබෑ ජීවිතේ ඔබට අදහන්නවත් බැරි තරම් ගින්දර ගොඩක්. ඒත් අන්න ඒ නිසාමයි මම ආඩම්බරයෙන් කියන්නේ..... , රැඩිකල් නොවී නැචුරල් ගැහැණියක් වන්නේ..... ,  මම පොතපතින් නොව සැබෑ අත්දැකීමෙන්ම ජීවිතය උගෙන ගත් නිසා.  

අද මේ මොහොතේ , මගේ කතන්දරයේ අඳුරු ආවාට කිහිපය කිසිසේත්ම මම සේල් දමන්නට අදහසක් නම් නැහැ. ඒ නිසාවෙන් මම ඉපැයූ පශ්චාත් උපාධියත් , අභියෝග පිරුනු රැකියාවත්, මගෙ ලැප්ටොප් , අයිපෑඩ් සහ ගැජමැටික් පිරිච්චි ලෝකයත් නිකම්ම නිකම් කෙල්ලෙකුගේ සින්තටික් ඇචීව්මන්ට්ස් ටිකක් හැටියකට ඔබට පෙනෙන එක සාධාරණයි. ඒත් මම දන්නවා බොහොමත්ම මෑත අනාගතයේදී ඔබේ කුකුසට ඉතා හොඳ සාධාරණයක් කරන්නට මට හැකි වේවි. 

මගේ ලෝකය කියන්නේ මා අද මැරුනත් තෘප්තිමත් එකක්. අවුරුදු 29ට මා ලද දේ මෙන්ම , මගේ ශක්ති ප්‍රමාණයෙන් ලෝකයට දුන් දේ , මට තෘප්තිමත් වීමට ඉහටත් උඩින් ප්‍රමාණවත්.  
මා ලද දේ නම් මගේ ඉගෙනුමත්, වෙහෙසී කල රැකියාවෙහි පඩියත්. එසේ වෙහෙසී ඉපැයූ දෙයින් සැබෑ කොටගත් සිහිනයනුත් පමණයි. 

එහෙත් මා ලෝකයට දුන් දෑ සිතුවොත් මට ඊට වඩා දහස් වතාවක් තෘප්තිමත් විය හැකියි.  දහසක් ජීවිත වල ඇස් පෑදූ තෘප්තියත්, ලෝකයට මේ මේ දෑ දිය යුතු යැයි, මේ මේ සේවයන් කළ යුතු යැයි සිතෙහි ඇඳී තිබූ යම් තාක් සිහින වේද , නිසි කල්හි ඒ හැම සිහිනයක්ම සැබෑ කරමින් ජීවත් වූ මහපොලවටත්, මාපියන්ටත් මා මෙතෙක් දුන් තෘප්තීන් පිලිබඳ සිතෙහි තිබෙන්නේ ඉමහත් සතුටක්. 

මේ ආත්ම වර්නනාවක් නොවේ. එහෙත් මා ඉල්ලන්නේ එකම දෙයයි. ඔබේ පඩිපත, ඔබේ ලස්සන, ඔබේ උගත්කම් , ඔබේ රැකියා , ඔබේ ගැජමැටික් , ඔබ ඉපැයූ ඒවායි. ඔබ ලොවින් උකහා ගත් ඒවායි. මඳකටසිතන්න , කිසිදු ප්‍රතිලාභයක් නොසොයා ඔබ මෙතෙක් ලෝකයට දුන් දෑ මොනවාද? ජීවිතාශාව උදෙසා ඔබ රැස් කළ යුත්තේ ඒවායි. ලෝකයම ඔබ දෙස සමච්චලයෙන් වපරැසින් බලද්දී ඔබට ඔබව වීරයකු ලෙස පෙනේවී. එය මතු වන්නේ ආත්මාභිමානය තුලින්.  ආත්මාභිමානය උණන්නේ , ඔබේ පෞරුෂය ලන්නගා කොටගත් දිනුම් කණු ඇසුරෙන්. පරාජිතයකු තුලින් අභිමානවත් මිනිසෙකු කෙලෙසින් බිහි වේවිද? 

 මගේ හිතවතුන් මා පිලිබඳ නොරුස්නා ප්‍රධානම දෙයන් නම් මගේ මරණාවර්ජනයයි. එහෙත් , ඔබට සිතෙන්නේ නැද්ද මරණය පිලිබඳ මා අකම්පාල විය යුතු නැති බව? ඒ යතාවබෝධය නිසානොවෙයි. ඊට හේතුව නම් , අද මේ හුස්ම ටික ගියත්, මා මියෙන්නේ , 29 වසරක ජීවිතය පිලිබඳව අතිශයින් තෘප්තිමත්ව නිසයි. 

ආ සැප සහ පරිභෝගයෙන් සංතෘප්ත නැහැ. එහෙත් තෘප්තිය උදෙසා මට ඒවා ලැබිය යුතුත් නැහැ. තෘප්තිය උදෙසා මගේ හිතෙන් , හිසෙන් සහ ගතින් වෙහෙසව ලොවට දුන් දෑ සිතීමම ප්‍රමාණවත්. 

Sunday, October 28, 2012

[274] මළවුන් ඇවිදින .. මිනිසුන් නිදන .. නොවැම්බරයට ...

 එය නම් අරුමයක්මැයි...
හිස ගසා ගත් කලක බිත්තියක
සීරුනු තැනින් ගලයි
කුකවි පද එක දෙක...

බිත්තියද සසලව
හඬයි වැලපෙයි
රතු පාට සීරුමක් වෙවුලයි
දෙදරුමට අවනතව ....

හිත හොඳින් ඇති විටක
ගැයු මනා කවි පද
පොළවත් අහසත් සුලඟත්
කොතෙකුත් ලියා වැනුවද .....

බිත මත ‍රැඳුනු කෙස් පොද
හිස මත ඇඳුනු රතු හුණු
හැඬුමට අනුනාද වන තරමට
මහ පොළව සිත් පිත් නැත.... 
.
.
සිත ප්‍රීතියෙන් පසුවන කල්හි , බොහෝ අය ප්‍රීතිය බෙදා ගැනීමට වෙති... එහෙත් සිත අසරණ වන විට , සුන්දර බොහෝ දේ සිතක් නැතිවාක් මෙන් නිසල වෙයි, අප වැනූ බොහෝ දේ අපට සංවේදී නොවෙයි. 
එහෙත් වේදනාවෙන් භරිතව හිස ගසා ගන්නට අවැසි තරම් අසරණ වන කල්හි, තම සැප නොසලකා, හිස ගසා බෙරිහන් දෙන්නටත් හිස හොවා හඬන්නටත් තම පපුව දී , අපත් සමග රැඳෙන්නේ එහෙමත් කෙනෙකි. 

Thursday, October 25, 2012

[273] සිනහවෙන් හෝ කතාවෙන් ....


සිනහව සහ කඳුලු අතර ඇත්තේ කෙස් ගස් භාගයක වෙනසකි .. මන්ද... සිනහ සෙන ගැහැණියකගේ හෝ මිනිසෙකුගේ සිනහව පිටුපස්සේ , බොහෝ හැඬුම් වැසී ගිය වෙස් මුහුණක් තිබේ. එහෙත් තවදුරටත් සිනහව හෘදයාංගම මෙන්ම අව්‍යාජද ලෙසින් දිස්වෙයි. ඒ කාරණාව පසු පස ඇත්තේ ජීවිතය අයැද සිටින නොමැරී සිටින අවශ්‍යතාවයි. එය ජීවිත ලෝභය හෝ ආශාව නොවේ. එහි ඇත්තේ , ජීවිතය හැරදා යා නොහැකි අසරණකමයි. ආත්මාර්ථකාමි හදවතක ඉපැදිය හැකි මරණිය චේතනාව යටපත් වෙන්නේ , අන් දෑස් වල කඳුලු ස්මරණය කිරීමෙනි. 

බොහෝ මිනිසුන් සිනහවන්නේ හඬන්නට බැරි කමටය . හැඬීම ප්‍රශ්න වලට පිලිතුරක් නොව, ප්‍රශ්න හමුවේ සිත දුර්වල කරන නිසාය. බොහෝ මිනිසුන් ජීවත් වන්නේද මියෙන්නට බැරි කමටය. මියෑදීම දකිනු වස් ජීවත් වන්නන්ට එතෙකින් එහා ජීවිතාශාව අහිමි වන බැවිනි. 

අසරණ හදවතින් සිනහසෙන්නවුන්ගේ සිනහව පිටුපස රැවටීමක් නැතත් හැංගීමක් දිස්වෙයි. ලෝකයට සහ ජීවිතයට , සත්‍යයට වහන් වීමේ අභිලාශය , තීව්‍ර හා සූක්ෂම දෑස් හඳුනාගනී... සිනහව අස්වාභාවික බව වැටහෙයි.  

බොහෝ සිනාසෙන්නවුන් , නිතර සිනාසෙන්නවුන් මෙන්ම දුකින් සිටින අනුන් සිනහ ගස්වන්නවුන්ගේ හදවතෙහි කොහේ හෝ පෑරුනු තුවාලයක් තිබෙයි. ඒ තුවාලයට සුව දෙන එකම බෙහෙත නම් , තමා නිසාවෙන් සිනහ නගා සතුටු වන අන් දෑසක කාන්තියයි. 

'සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා' යනුවෙන් ගැයෙන වදන් වල අරුත බොහෝ ගැඹුරු යයි සිතෙයි. මිනිසාගේ සිනහව හෝ ප්‍රිය කතාව අන් අයට රසඳුනකි. ඒ රසඳුන පිස පිලිගැන්වීම උදෙසා බොහෝ දහඩිය ලේ කඳුලු වැය කොට තැනූ තුනපහ අවැසි වෙයි. සිනහවත් රසැති ව්‍යංජනයක් මෙනි. බුදින්නාට එය දිව බොජුනකි. එහි එක් එක් සංඝටක සෑදෙනුයේ ඈස් කට දැවිල්ල දෙන, තිත්ත සහ ඈඹුල් රස වලින් අනූන අඩුවැඩියෙනි...  ජීවිතයෙන් බොහෝ දෑ දුක් කම්කටොලු උදුරාගන්නා සේ සිතිය හැකිය. මිනිසෙකුට උදුරාගත් සන්තුෂ්ටිය වෙනුවට ජීවිතාවබෝධය හුවමාරු වීම සහනයකි ...

Saturday, October 20, 2012

[272] අකර්මන්‍ය වූ 'කර්ම' ගැන


කෙටියෙන්ම කිවහොත් ... 'කර්ම' නැරඹුවෙමි... හිතූ දෙයම යලි යලිත් පසක් කොට කර්ම පිලිබඳව 'සංඛාරා' කෙරෙහි අකර්මන්‍ය වූ මනසින්ම අද මම ලියන්නෙමි. ප්‍රසන්න ජයකොඩි විෂයෙහි ජයසේන ජයකොඩිගේ සෙවනැලි සෙවීමද එක් වරදක් විය යුතුය. එහෙත් අද හවස රීගල් සිනමා හලට මා ගොඩ වැදුනේ ප්‍රසන්නගේ පැටිකිරියත් සිංහල චිත්‍රපට පෙන්වන දුර්වලකම් කෙරෙහි අපුලත් විදෙස් චිත්‍රපට මවා තිබූ විස්මයානුකූල ආහ්ලාදයත් යන මේ තුනම හදවත තුල අගුලු ලා සිර කොට තබමිනි. මන්ද මේ චිත්‍රපටය විෂයෙහි ,අන්තර්ජාලය අන් කවරදාටත් වඩා සක්‍රිය ප්‍රචාරණයක් ලබාදී තිබුනු හෙයිනි.

කර්ම නැරඹුවෙමි. එහි හොඳ නොහොඳ සමෝසමේ දු‍ටුවෙමි. ප්‍රබල කතා තේමාවකට පණ දී නැගි‍ටුවා ලන්නට තරම් රංගනය තුලින් ජගත් හෝ මිශෙල් කළ දෙයක් මට පැහැදිලිව දැකිය නොහැකි විය. එහෙත් එබඳු අඩු ලුහුඬුවක් මැද්දේ , මෑත බිහිවූ බොහෝ චිත්‍රපට පරයන ලද අසම සම පසුතල (පුද්ගලිකව මා ප්‍රිය කරන පසුතල විය හැකිය) , සහ ඉතා මනරම් ආලෝකකරණයක් නම් චිත්‍රපටය මුළුල්ලේ ඇස ගැසුනි. 


සංකේත බොහෝ ගහණ වූ චිත්‍රපටය පුරාවටම මාදු‍ටු දුබලතාවය නම් එම එකදු සංකේතයකට හෝ මිනිස් සිතෙහි වැඩී පැලවන්නට දිය යුතු සාධාරණ කාල වේලාව ප්‍රසන්න නොදී හැරිය බවය. සංකේතය ගෝචර වී එය සංවේදනයක් වශයෙන් ප්‍රේක්ශක මනස තිගස්වන්නට පලමුවෙන් , කපා හෙලූ කෙහෙල් කඳක් උඩින් ඩොග් ගා හිටවන තව කෙහෙල් කඳක් මෙන් අලුත් රූප රාමුව එක වර පහළ වෙයි. සැබවින්ම මා පුද්ගලිකව එය අප්‍රිය කරමි. බොහෝ සොඳුරු විදෙස් චිත්‍රපට තුල මට පැහැදිලි කළ නොහෙන ගලා යාම තුල එක් එක් රූප රාමු චේදනය වන කලාත්මක ආකෘතියට මා ඇබ්බැහි වී සිටිමි. එහෙත් සාධාරණව ගතහොත් , සන්නිවේදනය සැබවින්ම ගලා යා යුතුය. මේ මට හිතෙන හැටිය.

මීලඟ විසාලම අඩුව මා දකින්නේ ශබ්ද සහ සංගීතය තුල ඇති එකිනෙක මුසු නොවෙන අමු ගතියය. සාර්ථක චිත්‍රපට තුල , රූප රාමුවකින් ප්‍රේක්ශක මනස ආස්වාදය කරා ගෙන යන්නේ රූපය හා අපූරුවට කැලැත්තෙන ශබ්ද සහ සංගීතයෙනි. මට ලෙහෙසියෙන් ලාංකීය චිත්‍රපට වල එය දකිනු නොහැකි වූ බවට සංඛාරා මෙන්ම කර්ම ද උදාහරණ සපයයි. ඊට සාපේක්ශව මම ප්‍රසන්න විතානගේ මෙන්ම බෙනට් රත්නායකගේ රස සංවේදනය බොහෝ සෙයින් අගේ කරමි. කර්ම පුරාවට ගලා ගිය හුස්ම අදින හඬ , සහ වරින් වර අමුවේ පාත් වෙන නදීක ගුරුගේගේ හඬ සංගීතය සහ ශබ්දයන් වෙන්කොට අමුවෙන් දක්වයි. හඬ සහ සංගීතය , අවස්ථානුකූලව රූප සංවේදනය කුලු ගැන්විය යුතු බව මගේ හැඟීමයි. එහෙත් එය කර්ම තුලින් මා නොවින්දෙමි.

පෝස්ටරයේ  පවා සඳහන් අයුරෙන් , බොහෝ ගරු සම්මානයට පාත්‍ර වූ උසස් සිනමා නිර්මාණයක් වන මෙය පිලිබඳව මට මෙසේ  සිතෙන්නේ මගේ රසඥතාවයේ අඩුවක් නිසා විය හැකි බවද අමතක නොකල යුතුය. එහෙත් මේ මට හිතෙන හැටිය.


කරුමය සහ පුදුමය වන්නේ, ඔය වාගේම බොහෝ ගරු සම්මාන දිනා ගත් , Big Fish , Forrest Gump, One Flew Over the Cuckoo's Nest, sixth sense , catch me if you can , city of angels , Blind Side , 3 Idiots , Finding Neverland , Memoirs of a Geisha, Reader  වැනි නිර්මාණ , සම්මාන දෙන්නවුන් තරමටම , හුදී අවශේෂ ප්‍රේක්ශක මාද , නිර්මාණකරණය තුලින් තිගස්වන්නට , මනසෙහි පෙර නොදැල්වුනු ආලෝකයක් දල්වා ආනන්දයෙන් ප්‍රඥාව දල්වා , වැටහුනු සත්‍යයෙන් මනස  අන්ද මන්ද කරවන්නට සමත් වූ රහස කුමක්ද යන්නයි. 

නිර්මාණයක් තුල මහා සිනමා කාව්‍යයක් වීමේ රහස සැඟවී ඇත්තේ නිර්මාණ කරුවාගේ අසහාය ප්‍රකාශන ශක්තියෙහි යයි , පෙරකී නිර්මාණ දෙස් දෙයි. එකී නිර්මාණ තුල හාස්කම් මවන්නේ , නිර්මාණශීලී තීව්‍ර රංගනය , සංගීතය මෙන්ම ආලෝකය , පසුතල , කැමරාකෝණ යනාදියය.  ශ්‍රී ලංකාව වැනි තුන්වෙනි ලෝකයේ දුප්පත් රටක වෙසෙන නිර්මාණ කරුවා දුප්පත් වී සිටින්නේ තාක්ෂණයෙන් නොව හදවතින් බව මම ලාංකික නිර්මාණ බලන බොහෝ වාරයන්හි පසක් කරමි.

කර්ම තුල තීව්‍ර වියැ හැකිව තිබූ දාර්ශනික තේමාවක් , නොසැලකිලිමත් ප්‍රකාශනය තුලින් දියව ගොස්
ඇතැයි සංවේගයෙන් මම සිතමි. 



මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->