Sunday, January 31, 2010

මිලින කොඳ මලට..

විල් තල ‍රැයක පිපි කොඳ මල් පරදු කල
ඔබ වත මැවෙයි සුරතල් සිනහව ලකල
අද නිහඬවම ඔබ සමුගෙන නිදන  කල
ඔබ කොයි? අඳුරු ‍රැය බැබලුව කුමුදු මල


නෙත් යුග දෙමින් හස කිංකිණි  මල් මුකුලූ
අවිහිංසක මුවින් මුදු රස බස් තෙපලූ
ඔබ අද නිදයි දිගු සිහිනෙක වී තුරුලූ
නංගෝ කිමද නිදි? පෙර හද කල එකලූ


උදයේ පිපෙන මල් මුතු පිණි සුලඟ ගැන
ගහ කොල කුරුල්ලන් නිම් නැති අහස ගැන
පොඩි ලදැරියක ලෙස ලංවී, ලොවම ගැන
නිතරම ඔබ අහුව සුරතල් බොලඳ පැන..


මතුරා බොලඳ බස් නිරතුරු දඟ පෑව
සපුරා සොඳුරු හස මල් සිත ඔප ලෑව
උතුරා යන කඳුලු අද නෙත ගෙන ආව
අතුරා යන්! සුවඳවත් මගෙ හිත ගාව


හිමිදිරි අරුණ ගන නිල් කොට ගගන රිදී
සිහිලැල් පවන් යයි වා තල සමග ඇදී
මෙලොවට ඔබගෙ සිනහාවෙන් අරුත නොදී
පොඩි නෙතු පියා ඔබ අද ඇයි තවම නිදී?


මහමායා මවුගෙ ඇකයෙන් පිය මැන්න
පරවුන කුමුදු මල් සුවඳම සිහි වෙන්න
ඔබෙ මුදු බොලඳ වත සිනහව දැක ගන්න
නංගෝ එක් වරක් යලි මට හිනැහෙන්න


2001/2/22 දා හදවත් ආබාධයකින් මරු තුරුල්ලෙ සැඟව ගිය, පුංචි කුමුදු නංගී....ඔබ සිනහව තවමත් මතක තියේ....

නිදා ගන්න දෙනවද ? නැද්ද?


කිරිල්ලි බොහොම වෙහෙස මාන්සි වෙලා කෑම හොයාන ඉගිල්ලිල එන්නෙ කුඩු වෙන්න.. හිස් වෙච්චි රන් කූඩුව දිහා බලන්නත් දුකෙන් උනත් කිරිල්ලිට සිද්ද වෙනව කූඩු වෙන්නම... නැත්නම් දැන් අසරණ කිරිල්ලි කොහේ කියල යන්නද?


රූප පෙට්ටියට වහ නොවැටෙන කිරිල්ලි දහ අතේ කල්පනා කරනවා... වෙලා කට්ට බලනව... මොනවද කිරිල්ලි හොයන්නෙ? වෙන මුකුත් නෙමෙයි.. දවස ඉවර වෙන්නෙ කීයටද කියල....


ඕන්න දවස ගියා කියමුකෝ.... දැන් ඉතින් කිරිල්ලි ඉස්මනට ගොහින් ඇඳට  වැටෙන්නෙ හෙට දවසත් ඒ වගේ දිග උනත් අවදියෙන් ඉන්නවට වඩා නිදි වැදෙන එකෙන් ලැබෙන සහනය , කල්පනා නොකර ඉඳීමේ සැනසීම ලබන්න...


ට්‍රීං ට්‍රීං....


ශික් ! මේ රෑ කෝල් එකක්... (කිව්වට පාන්දරද කොහෙද...)


" මට තමුසෙව එපා...  මට කතා කරන්නත් එපා..."


කිරිල්ලි: "ඉතින් ඔයාට ඕන දෙයක් කරන්න... මම මොනව කරන්නද? මම පුලුවන් තරම් කල් ආදරෙ කලා.. ඔයට මාව ඔහොම එපා නම්... කරන්න දෙයක් නැහැනෙ"


කිරිල්ලි හුස්ම අල්ලමින් කියනව.. තතනනව.... ඇස් දෙකේ කොන් වලින් වක්කඩ කැඩුව වගේ පිටාර යන කඳුලු දකින්නෙ කිරිල්ලියි, කිරිල්ලිගෙ කම්මුලයි විතරයි... තනිකම.. වේදනාව .. ඇයි මේ දුක ආයෙ ආයෙ පුපුරු ගහන්නේ? අනේ...කිරිල්ලි හූල්ලනව....


ඩොග්...ඩොග්.... ( දොරට ගසන හඬ)


 "මේ නැගිටින්නෙ නැද්ද?, ඔයාට මොකද වෙලා තියෙන්නේ දොරට ඔච්චර ගැහුවත් ඇහැරෙන්නෙ නැත්තෙ? ආ...?" සහෝදර කිරිල්ලි නැගිටලා.. උදෙත් වෙලා.. දෙයියනේ... "මේ මුලු ‍රැයෙම  ඔහු මට කෑ ගැහුවෙ  මගෙ හීනෙ අස්සෙද?"


විඩාබර හිසින් කිරිල්ලි නැගිටින්නෙ මතකය අලුත් වෙච්චි දුකෙන්...  දවස පටන් ගන්නෙ දුකෙන් යැයි හිතෙද්දි කිරිල්ලිට හිතෙන්නෙ නැගිටින්නෙ නැතුව සදහටම නිදියන්න... එතකොට හීනෙත් නිදියාවි... ඒත් කවුරු එපා කිව්වත් , කිරිල්ලිට එපා නොවෙච්චි ආදර මතකෙ නම් ඊලඟ ආත්මෙත් පහන් කරාවි...


අනේ බුදු හිමියනි.. කිරිල්ලිට නිදන්න දෙන්න... එක ‍රැයක්.. නපුරු හීන නැතුව...

Saturday, January 30, 2010

පිලිණ කඩ කල පහන...

සියක් එලි ‍රැස් දිදී
මග කියා අඳුර හැර
මට අරුත ජීවිතයෙ
එලි මගින් පසක් කල...

පහන් වැට අද්දරින්
නිනව් නැති වී මෑත
ඉතින් කාගෙද වරද
පුලුස්සා ගත් වුවන...?

නිවී ගත් තරු ඇසින්
රිදුම් යටපත් මුවින්
කඳුලු පැස උරෙහි ලා
අඳුරෙහිම මග බැසිමි...


පිලිණ කඩ කල පහන
නිවී ගිය තැවිල්ලෙන්
මුලාවෙන් මුවහ වූ
මනැස් කඩ තිර මුදමි....


මනැස් සම සිදුරු වී
මසැස් කඩ තිර ඉරී
හිඩැස්සෙන් අහස දැක
"සැබෑවට" අඬ ගසමි..

තාපයෙන් දුරස් වී
දැවුම් පහවූ පිලස්
වෛරයෙ යොත නොලා
මෙත් ‍රැහැන් මුදා ලමි...

සිහි නොකල පාපයෙන්
අත පොවන මානයෙන්
ගැවසුනත් සැබැවි එය
සිලකි සැදි ගිනි කඳින්....



ලියුවෙ 2004-01-18

"කුරුල්ලා ඒවි" ඇගෙ විතරක් හිත කියනව !


මහ හුලං හමමින් , ඇරිල තියන කවුලු පියන්

විසාල හරඹයක යෙදෙනව.

දොර පියන බිත්තිය එක්ක
තරහෙන් වගේ දබර කර ගන්නව

කිරිල්ලි පියාපතින් මූණ වහගෙන
කූඩුව ඇතුලෙ වැතිරිල කඳුලු හෙලනව...

රන් කූඩුව පාලු වෙලා....

වෙනද ඇහෙන
කවට හිනා , බොලඳ කතා කෝ?

දොර පියන ඇරල මුත්
කිරිල්ලි ඒ දිහා හැරිලවත් බලන්නෙ නැහැ..

ඈ ඒ නිදහස් ලෝකෙට බයෙන්
වැලපෙනව...

මොකද ඒ ලෝකය ඈට
නිදහස් එකක් නම් නෙමෙයි

කෝ කුරුල්ලා ඉතින්..?

ඈ දන්නෙ නැහැ...


අපි දන්නෙත් නැහැ..
කවද හරි හැමෝම දැන ගනීවි...


ඈ ඒ රන් කුලගෙයි
මේ උන්න වගෙම වැතිරිල
නිදහස සොයා නොපියඹා


අසරණව අදත් වැතිරිල ඉන්නව...


හැම දාමත් ඉඳීවි...


"කුරුල්ලා ඒවි"
ඇගෙ හිත නම් කියනව..


ඒත් ...?

එහෙම කියන්නෙ,
හිතන්නේ ඈ විතරදැයි
මගෙ හිත නම් කියනව....

Friday, January 29, 2010

දවස ගෙවුන ඉක්මන අම්මපා ....!

අද දවසම කලේ මගේ අලුත් බ්ලොග් එක ගොඩ දාන එක.... පැය 8 කටත් වඩා දෙයියනේ මම එකතැන ඉඳගෙන ඉඳලනෙ.... අම්මපා....
ටෙම්ප්ලේට් හෙවුව.. ගැජට් හෙවුව.... දැම්ම.. ඩිලීට් කලා.. එඩිට් කලා... හප්පා....
දැන් ඉතින් තෘප්තිමත්... හී හී... හුරේ...
කාලය ගෙවුව අපූරුවට... බ්ලොග් වලට පින් සිද්ද වේවා....

මැරුනේ හීනය විතරක් නෙමේ..මැරුනේ මමයි…



පුංචිම පුංචි කාලයෙ මගෙ හිත හීන වල, අනාගතයෙ වෙන්නෙ කවුද කියන අපේක්ෂා වල කිසි සේත්ම ජීවත් උනේ නැහැ. ඒ නිසාම ‘මම ලොකු වුනහම දොස්තර කෙනෙක් වෙනවා’ වගේ පැතුම් තිබ්බෙ නැහැ. කොහොම කොහොම හරි අවුරුදු 10 -12 වෙනකොට මම නිකම්ම ( අපෝ නිකම්ම නෙමේ… හරි නරක වංචාකාර ආරම්භයක් තියන … ‘මගේ වංචකාර කවි ඉතිහාසය’ ලිපිය බලන්න) කවි ලියන්න, ගද්‍ය කරන්න යොමු වෙලා හිටිය නිසාද කොහෙද , මගේ හිතේ ඉබේම මැවිල උන්නා ජන මාධ්‍යවේදියෙක්ගෙ රුව… මට අපූරු ආසාවක් තිබුන සන්නිවේදනය ඉගෙන ගෙන කලාකාරයෙක් වෙන්න..



අම්මප කීයෙන් කීයක් පොඩි උන්ද කලාකාරයෙක් වෙන්න ඔනේ කියල හීන මවන්නේ.. එත් මට ඒ හීනේ නම් ඉස්සර ඉඳන්ම තිබුන.. කාලය ගෙවුන… මොන කරුමෙකට හෝ කලාවත් එක්කම මගෙ ඉගෙනීම කියන විෂයත් ඉතාම ඉහල මට්ටමක උන්න.. කවියෙන් විතරක් නෙමේ, ඉගෙනුම් අවියෙනුත් මම අපූරුවට සන්නද්ධ වෙලා උන්නා.. ඉතින් මවුපියන්ගෙ අහස උසට දුවන ඉන්ජිනේරු දොස්තර හීන උනත් මගේ දෙමාපිය හිත් වල මෝදු උන එක අහන්නත් දෙයක්යැ…


“මෙච්චර හොඳට ඉගෙන ගනිද්දි කලාව කරල රස්සා නැතුව අතරමං වෙන්නෙ අහවල් එකකටද?” ඔන්න මගේ හෙනහුරා ලැබුවා. කල හොඳ පස්සෙන් පන්නනවා කියන්නේ මේකට තමා…


ඒ ලෙවල් සිංහල විෂය කරන්න පොත් පවා අරන් උන්නු මම දවසක් මාපිය පාලනාධිකරණයට කැඳවුනා… මට අද වගේ මතකයි මගේ අහිංසක තාත්තා වෙන කාගෙදෝ වචන වලින් මට කීව ටික…


“උඹට ඕනේ පාරවල් ගානෙ රස්සා ඉල්ල ඉල්ල පෙලපාලි යන්නද?, කැමරාවක් එල්ලගෙන කුරු‍ටු ගගා තැන තැන යන පත්තරකාරයෙක් වෙන්නද? උඹට ඕන ඕන දේවල මේ ගෙදර ඉඳන් කරන්න බැහැ.. හෙට ඉඳන් ලැස්ති වෙයන් ගණන් ක්ලාස් එකකට යන්න.. සත පහකට වැඩක් නැති කලා උපාදියක් ගන්න උඹට ඉඩ දෙන්න බැහැ… “


ඉතින් මාපිය හීනය… රස්සා නැති, උද්ඝෝෂණ වල බෙරිහන් දෙන කලා උපාධියක්ද?(මේ එයාලගෙ වචන) එහෙම නැත්නම් ‘මොකක් හරි’ ජොබ් එකකට පැන ගන්න ඕනෙ නම් , ෆේල් වෙන්න හරි කල යුතු ගණිත විද්‍යා සාමාර්ථයක්ද කියන එක මට මැදිහත් වෙන්න නොදී එයාලම ඒකපාර්ශ්විකව විසඳුවා…


මම දහස් වර හඬා වැ‍ටුනා… මගෙ හීන… අනාගතය… ජනමාධ්‍යය… ගරහන ලද මාතෘකා උනා…


ඉතින් ඔන්න ඔහොම මම තාක්ෂණය එක්ක අප්පිරියාවෙන් හරඹ කරන්න පටන් ගත්ත..


මා පෙම් කල කලාව අහිමි වීමෙන් හටගත් “සාංකාව” ගැන මම ලියූ කවි බොහොමයි… මේ එකක්.. මේක ලිවුවෙ ලමා ගීතයක් හැටියට…


අම්මේ තාත්තේ…පුංචි උන්ගෙ හීන වලට ග්‍රෙනේඩ් දාලා පුපුරවන්න එපා… උන්ගෙ හීන වල ලොකූ තේරුමක් තියනවා… කැඩිල බිඳිල පුපුරපු පාදමක ඔයාල ගොඩ නංවන සුරූපී මාලිගාව උන්ට හිතට බරක්… ඔයාල ගොඩ නංවන අනාගතය උන්ගෙ තෘප්තිය නෙමෙයි.. අසහනය… කලකිරීමයි…. …


ඉතින්.. ජීවිතේටම රිවස් කරන්න බැරි මිස්ටේක් මේවා … එක්ස්පෙරිමන්ට් කරන්න එපා පුංචි හිත් එක්ක…සියලු දෙමාපියෝ තේරුම් ගනිත්වා……!


රෝස කැලෑවක රෝස මලක් වී
පිපෙන්න ආසා නෑ පොඩි මං
ඈත පේන දොල පාර ගාව පිපි
පුංචි සමන් කැකුලක් වෙන්නම්


පාට උලා ගෙයි බිත්ති පුරාවට
රූප අඳින්නට ආසයි මං
‘එපා’ කියන්නට එපා ඉතින් මට
පුංචි සිත්තරෙක් වෙන්නද මං?


ලන්ද පුරා ගී කියන බටිත්තන්
එක්ක නටන්නට ආසයි මං
‘එපා’ කියන්නට එපා ඉතින් මට
පුංචි නැට්‍ටුවෙක් වෙන්නද මං?


                                                            ලියුවේ : 2003-01-07

කිරුළ හිමි රජ….. (2002-10-21 ලියූ කවියක්)




අනත් කඳුලැලි අපේ නෙතගින්
බාල කාලයේ ගලා ගිය සඳ
හොවා උකුලත හිසත් පිරිමැද
සැනසු ඔබමැයි කිරුල හිමි රජ…


චණ්ඩ ඉර මල අප දවද්දී
අපගෙ පසුපස මහමෙරක් ලෙස
වහං කර අප දරා ගිනි ‍රැස
සිටිය ඔබ මැයි කිරුල හිමි රජ….

අකීකරු වී කිවුව නෑහුව

අපට සැර වුන හෑම මොහොතක
දහස් වර නුඹෙ හිතේ ගින්දර
කඳුලු වුන වග දනියි අපෙ හිත …


ඔබගෙ හිත් බැමි පලා ගෙන ආ
නොහිම් පිය ගුණ සුවඳ පිඩු කොට
අමා වන් කරුණා ගුණෙන් අප
සනසවා අප තැනු පියාණෙනි


මාස සති දින පියාපත් ලැබ
නොහිතු අසනිය බිමට වටමුත්
දෙගොඩ තලමින් ඉවුරු බිඳ එය
ගලා අප හැම පෙලන ලද මුත්


නේක අවගුණ පිරුන දුර්දන
ඔබව හැර ගොස් ඔබව පෙලු මුත්
මෝහයෙන් පිරි අසත් මිනිසත්
මුලා දන ඔබ අතැර ගිය මුත්….


අපේ රජ බිම කිරුල හිමි ඔබ
අපේ දිවි නුබ සරා සඳ ඔබ
අපට හිමි ලොව තැනු පියාණෙනි
අපට නම් ඔබ රජෙකි තවමත්…….

ජීවිතයේ භයංකරතම අත්දැකීම්, දුදනන් ගේ ආසාධාරණකම් වලට ලක් වෙමින් දුකින් කඩා වැටෙන මුත් ශාන්තුවරයකුමෙන් උපශාන්තව කල් ගෙවන, මගේ අහිංසක පියාණෙනි, ඔබ අපට ජීවිතය සහ ඉවසීම මේ යයි කියා දුන් පරමාදර්ශයම විය….. ඔබ අපෙන් වෙන්වී අඳුරු කුටියක උන් එදා, මේ කවිය ඔබට උපන්දිනයට ලියා එවුවා මතකද???

නාඳුනන්නාට…( 2002 ලියූ කවියක්..)



කුඹල් ගෙයි
උපන් සැණෙකින්
පලුදු උන
‘සෙනෙහස් බඳුන’


වසා දෑතින් ඉඳිමි
‘එපා’ කියා
දෙන දෙන හැම දෙයම


දැත රඳවාන තනිවම
ඉතින් තවත්
නොයදිමි
සෙනෙහස් සිඟමන…


එදා …
නොයිඳුල් අලුත් සුවඳැතිව
යැද්ද තැන
පැන් බිඳක් මම


නෙතකින් එදෙස
නොබැලූ නුඹ
නිසා උපන් කොවට


හඬා හැපී
ගසා හිස බිම
ඇත්තයි.. …
පලුද්දට වගකියමි
මමම…


නොදී එය කිසිවෙකුට
පලුදු මුත්
පෙමින් ‍රැක ගෙන
යම් මතු දවසක
දැත පාවිද
යලිත් නුඹටම??


එදිනට
එදා සේ නොවී
මා සෙනෙහස් බඳුන
නොයිඳුල්ම
පිණි බිඳකින් පිරුනත්


අමතක කල නොහැක මට
එහි
පලුදු මැවුනේ
නුඹ නිසා වග……

මම කලින් පෝස්ට් එකක ලියුව මගේ ප්‍රථම ප්‍රෙම කතාව හිතේ රජ කරන දවස් වල විභාග ක‍ටු වැඩ කොලයක ලියුව කවිය තමයි මේ….

මම ලියූ පලමු ස්වතන්ත්‍ර කවිය… ( 1992 ලිව්වේ.. )


දනිමි මමත් ලස්සන බව හැම දෙයක්ම අම්මේ
ඒත් අම්මෙ ඔබ කී දේ මට නො ඇසේ අම්මේ
ඒ මන්දැයි අසා ගන්න මම ආවා අම්මේ
ඒ ඇයිදැයි කියා දෙන්න මගෙ හොඳ සුදු අම්මේ

එක් දවසක් සෙල්ලම් කෙරුමට හිතිලා අම්මේ
හනික දුව ගියා පිටියට ආසාවෙන් අම්මේ
එහි සෙල්ලම් කරමින් සිටි ලමයි හැමම අම්මේ
නපුරු බැලුම් හෙලලා එලවා ගත්තා අම්මේ

අයියා අක්කා හැම දෙන මා කොන්කර අම්මේ
කතා කරති ‍රැඟුම් පාති හරි සතුටින් අම්මේ
එ’ දකින මම පසෙකට වී කඳුලු සලමි අම්මේ
දු‍ටුවත් මා නොදැක්ක සේ ඉන්නේ ඇයි අම්මේ

මගේ වයසේ හැම දෙනාම කොක් පෙල සේ අම්මේ
පාට පාට රූප ඇඳපු මලු අරගෙන අම්මේ
පාසල් යති අත් වැල් බැඳ හරි සතුටෙන් අම්මේ
මට විතරක් තනිකම ලැබ දෙන්නේ ඇයි අම්මේ

කතා කෙරුම ඇසීම යනු කුමක්ද මගෙ අම්මේ
කිසිවෙකු කියනා කිසිවක් මට නො ඇසේ අම්මේ
එය මට විසඳන්නට බැරි මහ පැනයකි අම්මේ
කියා දෙන්න මාගේ හොඳ ආදර සුදු අම්මේ

ඔබත් කිසිම ආදරයක් නෑ මා හට අම්මේ
මා හා සුරතල් බස් නොකියන්නේ ඇයි අම්මේ
මට තේරේ මම බිහිරියි දුක් නොවන්න අම්මේ
ඔබ හැමදා සැපෙන් ඉන්න මම තනිවෙමි අම්මේ

වදන:


එවකට අවුරුදු 9ක් වූ බොලඳ සුරතල් වියේ උන් මා, කේයස් ලියූ අන්ධ දරුවෙකුගේ කවි පෙලට වසඟ වීමි. එහෙයින් මෙම අහිංසක පලමු සඳස් පෙල “කේයස්ගෙ කවිය වගේ” ලියන්නට ඒ බොලඳ නිහඬ සිඟිත්තිය උත්සහ දරා තිබීම ගැන , ඇයට සමාව දෙනු මැනවි…


(1992 ලියන ලද කවියේ ( වෙනස් කල හැකි තැන් දු‍ටුවද ) කිසිදු වෙනසක් කර නැත…)

වංචාවෙන් පටන් ගත් මගේ කවි ඉතිහාසය…


පුංචි කාලයේ මගෙ අම්මපා තුන් හිතකින් එක හිතක කොනකවත් තිබුනෙ නැහැ මට මොකෙක් හරි වෙන්න ආසාවක්. තවමත් මම අහස පොලව ගැටලලා කල්පනා කොරනවා අමාරුවෙන් හරි එහෙම පැතුමක් තිබ්බවද්ද කියල මතක් කර ගන්න! නැහැ නොවැ ! මම හිතන්නේ මට ඕනැ උනේ පණ්ඩිතයෙක් වෙන්න.. අම්මපා මොන විෂයෙන් උනත් මම පඬි ටෝක්ස් දෙන්න නම් උපන් හපනී… හිහ්….

මම අද ලියන්න හිතුවෙ එක්තරා කාලයක අපේ අම්මට මා ලවුව කවි ලියවන්න තිබුන උමතු ආසාව ගැන.. මම ඒ ගැන උපහාසයෙන්ම ලියනව නෙමෙයි… මොකෝ එයාගේ ඒ ආසාවට පින් සිදු වෙන්නට 1993 ඉඳලා අද වෙනකන් ( අද කිව්වට ඇත්තටම කවි ලියන එක 2004 විතර නතර වෙලා බවයි අද මට පොත බැලුවම තේරුනෙ) ලියපු කවි 200ක විතර තඩි පොතක් මා සතුව තියෙන්නෙත් ඇයට පින් සිදු වෙන්න…. හැබැයි ජීවිතෙ කවි ලියන්න ඕනෙ කියල පරමාර්ථයක් නම් මට නොතිබුන බව මම අවංකවම කියන්න වෙනව!

මගේ කවි ඉතිහාසය හිනායන ඒ වගේම වංචාකාර ආරම්භයක් කිවුවොත් වැරදි නැහැ… ජීවිතේ පුංචි පුංචි සිදුවීම් තවමත් මතකයෙ එහෙමමයි…

මම තුන වසරෙ ඉන්නකොට අපේ අම්මට හරි පිස්සුවක් තිබුන එයාගෙ ලෝකයෙ ඉන්න යාලුවන්ගෙ දුවල පුත්තු කරන හැම දෙයක්ම මා ලවාත් අත් හදා බලවන්න! ඉතින් දවසක් අම්ම මට බල කලා ඉස්කෝලයෙන් ඉල්ලල තියන කවි තරඟයකට ‘අම්මා’ ගැන කවියක් ලියන්න… මම ඉතින් හිර ගෙයට දාන්න යනව වගේ අකමැත්තෙන් නහකුණු ගාන්න පටන් ගත්ත බෑ කියලා.. එළුවෙක් වගේ “බෑ” කිය කිය කනිපින්දම් කිවුවත් වැඩක් උනේ නැහැ. අපේ අම්මි කිව්වොත් ඉතින් කිව්වම තමා… අපෝයි………….

ඒ වෙනකොට මගේ සහෝදරී නම් කවි ලියන්නියක්… ඉතින් අම්මිගෙ බල කිරීමට එයා එකඟ උනා මම වෙනුවෙන් කවි ලියන්න… ඉතින් ඔන්න එය කවි කියනවා ගමයා වගේ.. මම ලියනවා…. හිහ් හිහී….. කවි 9ක් ලියුව සොයුරියට පින් සිද්ද වෙන්න… ඉතින් එයාගෙ ඩියුටි ඕෆ්! ‍රැ 8.30 ට පුරුදු ටෙලි නාට්‍යය මම බලන්නෙ පු‍ටු සෙට් එකට තියන ටීපෝවෙ යට බඩ ගා ගෙන.. ඉතින් එහෙම ඉන්න ගමන් මට හදිස්සියෙම හිතුනා කවි 9ක් තියන එක හරි නැහ, ඒ නිසා 10ක් වෙන්න තව එකක් ලියන්න ඕනා කියල. ඉතින් බොහොම අමාරුවෙන් මම 10 වෙනි කවිය ලියුව. ඒක දැකපු අපෙ අම්ම පුදුම උනා විතරක් නෙමෙයි පස්වනක් ප්‍රීතියටත් පත් වුනා මගෙ කවි හැකියාව ගැන.. ඉතින් එදායින් පස්සෙ මටත් චුට්ටක් ආසා හිතුන කවි ලියන්න…

මට හිතෙනවා මම කවි ලියන එක විතරක් නෙමෙයි ඒ කාලෙ ජීවිතේ ගොඩක් දේවල් කලේ අනිත් මිනිසුන්ගේ සතුට දකින්න, ඒ අයගෙ ප්‍රශංසාව ලබන්න ආසාවෙන් කියලා…මම හරී ආසයි තව කෙනෙක් මාව අගය කරනවට ඒ කාලෙ… ඒ ප්‍රශංසාව මාව ජීවත් කරනව… ඉතින් ඔන්න ඔහොමයි මම කිවිඳියක් වෙන්න අත්පොත් තිබ්බේ… ඊට පස්සෙ මගෙ රස උල්පත මා විසින්ම තියුණු කරන ලදුව , බොහෝ කවි තරඟ වලට මම කවි ලියුවා…නිදහස් කවිත් ලියුවා ගොඩාක්…සමහර එවා සමස්ත ලංකා ජයග්‍රහණ වලට පවා පාත්‍ර උනා.. ඔන්න ඔහොම අවුරුද්දක් විතර යනකොට අර මම කුලුඳුලේ අක්කිගෙ අදහස් සොරා ගත් කවි 9යි මගෙ කවියයි සමග ලීව ‘අම්මා’ කවියට ඒ තරඟයෙ තුන් වෙනි තැන ලැබුනා… එත් ඒ වෙනකොට මමම බිහි කරගත් කවි සිතුවිලි අතින් මනසින් මම බොහෝ දුර ගිහින් උන්නා….

එත් ජීවිතෙ අද වෙනකන්ම , මම මගෙන් තවම ප්‍රශ්න කරනව… ‘ඇත්තටම මට කවි ලියන්න ඇහැකිද?’ , ‘ මගේ එහෙම ප්‍රතිභාවක් තියනවද?’ , සමස්ත ලංකා නෙමෙයි මොන ජාතික මට්ටමට ගියත් අදටත් මම අතරමං මේ ප්‍රශ්නයෙදි.. මොකද අද වෙනතුරුවත් මමත් ලෝකයත් දෙකම උපරිමයෙන් එකවර සැහීමට පත් වෙන එක කවියක් ලියන්න මට අද වෙනකනුත් බැරි උනා.

ඒ කෙසේ වෙතත් මගේ අහිංසක කවි 200 එකතුව හෙමි හෙමිහිට බ්ලොග් ගත කරන්න මට හිතුනා… සමහර එවුවා මම ලියනකොට මට අවුරුදු 7යි.. ඉතින් මගේ අත්දැකීම් නැති නොමේරූ කවි හිත එදා හිටියෙ (ඒ වගෙම අදටත් ඉන්නේ) බොහොම ප්‍රාථමික මට්ටමක.. ඉතින් මේක කෙලින්ම දත්ත ගබඩාවක් වගෙයි… අඩු ලුහුඬුකම් බොහොම මේ අහිංසක කවි ලියනකොට මගෙ වයසත් එක්කම පල කරන්න මම හිතුවෙ ඒ උපහාසය චුට්ටක් හරි සමනය වෙන්නයි….

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->