දිගු කලකට පසු චිත්ත සන්තානය යම් කිසි සන්සුන් බවක් පල කරන්නේ බ්ලොග් පිටුව වෙත පෙර තිබූ ආලය පෙම සහ බැඳුම යලිත් යාවත්කාලීන කරමිනි...
අනාගතයට මෙන්ම අතීතයටද එබී සිටීම දීර්ඝ කාලීන බෙල්ලේ කැක්කුම් වලට හේතුවකැයි අලුත් අවුරුදුදා මම ලියා තැබුවෙමි. කොතෙක් ප්‍රබන්ධයන්හි යෙදූ මුත් , ලියවෙන දාර්ශනික වැකි ප්‍රායෝගිකව 'මේන්න මම කළා' යැයි කීමට ලැබෙන්නේ එහෙමත් වතාවකය.
විශාල මාවතක් වැනි ජීවිතය කුඩා අතුරු මාවත් ඔස්සේ අලුත් ඉසවු අත පත ගාමින් ඇදෙයි. උප විඥ්ඥාණය සන් කරන්නේ මහ මගින් මා නුදුරේම මුත් , අවතීර්ණව ඈත්තේ වෙනස්ම මාවතකට බවයි. එහෙත් කාලය එක නිසි නින්දක මනසක විවේක ගන්නට ඉඩ නොදෙයි. දීර්ඝ රාජකාරී මුරයන් , නිවාඩු දින ගණනාවක් කැපකොට ලද ප්‍රීතිමත් අවසන් ඵලයන් , ජීවිතයට තෘප්තිය ලඟා කලද සිරුර සහ සිත ඉල්ලන හිපි විවේකය ලබා නොදෙන්නේය.
හිපි විවේකය
මගේ හදවත ඒක නින්නාද වන්නේ සොබා දහමටය. ගහකොළ , වතුර , අහස මෙන්ම ස්වභාවිකත්වය හෙවත් සෑබෑ ලෝකයේ ඕනෑම තෑනකදී මගේ හදවත ගැහෙන්නේ එක්තරා සන්සුන් නින්නාදයකිනි. එහෙත් දිලිසෙන කොටු තිරයකට එබීගෙන , අත පත ගෑ නොහැකි ලෝකයක, එකවර කෙරෙන දාහකුත් එකක් රාජකාරීන් අස්සේ තෘප්තිමත් කළ හැකි සිතක් මට නැත.
එහෙයින් ඒ කල්පිත විවේකය හිත අයදින්නේ බොහෝ කාලයක සිටය. එය නොලැබීමමද හිතට වේදනාවකි. ඒ වේදනාව දත හපා ගෙන ඉවසා පශ්චාත් ප්‍රදේශය ගිනි තබාගත් කඩියෙකු සේ වැඩ කරනු දකින කෙනෙකුට මා කාර්යක්ෂම සහ වැඩ කිරීමෙන් තෘප්තිමත් ව්‍යවසායකයකු ලෙස පෙනීම වරදක් නොවේ...
බොහෝ කවීන්ගේ පන්හිඳ පණ ගසා එන්නේ සඳ මෝරන රාත්‍රියේ වුවත් , මගේ කවි හිත නම් , එකාකාරී ගෝෂාවන් මධ්‍යයේත් , මග මගදීත් , නගර කඩ වීදියේත් , උගන්වමින් සිට ඉසුඹුවක් ගන්නා මඳ ඇසිල්ලේත් ලියන්නට බොහෝ දෑ අනායාසයෙන්ම සොයා දෙයි.. .
එහෙත් ඇතැම් විට එම අනගි සංකල්පනාවන්ගේ වැඩිම ආයුෂ වශයෙන් පැයක් දෙකක් පමණක් සටහන් වී මනස් බිත්තියෙන් ඒවා මැකී යන්නේ උදෑසන මිහිදුමක් මෙනි. ඇසිල්ලකට පෙර ලිවිය හැකි තරම් අනගි කල්පනාවක් තිබූ බව මිසක කලපනාවේ තිබිය යුතු කාරණාව බොහෝ විට ගිලිහී ගොසිනි . නොසන්සුන් ජීවිතයකට ඒවා උරුමය. ලියන්නෙකුට නොසන්සුන්කම උරුම වීම අවාසනාවකි.
ඇතැම් සංකල්පනා පහළ වන්නේ නින්දේය. සිහිනෙන් ලියූ කවි කතන්දර අපමණය. අවදි වූ විගස කොලයක ලියා තබමැයි ශපථ කරන්නේත් සිහිනෙන්මය. අවදී වූ විගසද මතකයේ ඇතත් ඇඳෙන් පය ගසා නැගිටීමත් සමග සිතුවිල්ල යටිපතුලට යයි.
ඉපැදී නින්දෙන්ම මිය ගිය එක් එබඳු සිතුවිල්ලක් වරක සංසාරේ පිය සටහන් කතාංගයක මම දුටුවෙමි.
මා අනාගත නාට්‍ය කොටස සිහිනෙන් දුටුවාද?
තවෙකෙකු මා දුටු සිහිනයම දුටුවාද?
නො එ සේනම් සිතුවිලි සොරෙකු මගේ අනගි සිතුවිල්ල සිත කියවා සොරා ගත්තාද?
දන්නා කිසිවෙකුත් නැත...
බලා සිටිනවා නම් අනගිම දර්ශනය අපේ සිතය. ඇසිල්ලක වෙනස් වන ස්පන්දනයෙන් ස්පන්දනය සිතුවිලි පරම්පරා ඉපිද මියෙන මේ සිත යනු දැන් ප්‍රචාරය වන නාට්‍යයකට වඩා රසවත් මෙගා පෙළ නළුවකි...
එහෙත් විටෙක බොහෝ ලොබින් ආසක්තව ඇබ්බැහි වෙමින් කලාවත් සමග පෙම් බඳින සිත , අනෙකුත් ජීවිත අරමුණු කරා අවධානය යොමු කරද්දී ලිවීම ඈලියාවට යාම නොවැලැක්විය හැකිය. ලිවීමට ඇති පෙම එකකි. ලිවීමේ හසල බව තවෙකකි. ලිවීම ඇණහිටි කල්හි ඈලියාවට ගොස් ලියා ගන්නට වදන් සොයා ගනු අපොහොසත් වී ලියන්නට බැරියයි ප්‍රකම්පනයට පත් වීම ඛේදවාචකයකි. ලියන්නෙකුට සිතෙන්නේ එහෙමය.
ගීතයක් අසද්දී, නාට්‍යයක් නරඹද්දී, කතාවක් කියවද්දී , පෙර පුරුදු සසර මතකයක් මෙන් , හෘදය යලිත් පෙර රිද්මයකට නින්නාද වෙයි. බේබද්දෙකු කලක් නොබි සිටියහොත් , එක වයින් උගුරෙනුදු ඉක්මනින් වෙරි වෙයි. දිනපතා බොන්නාට බෝතල් භාගයකින්වත් එම උද්දාමය ලඟා කරගත නොහැක. කලක් ඇසුරෙන් ඈත්කොට සිටි බ්ලොග් පිටුවත් , පිලිවෙලට අසුරා පුස් කන පොත් රාක්කයත් , මාස ගණනාවකින් දෙසවන් ඇසුරක් නොලද දහස් ගණනක ගීත ගොන්නත් සමග පෙර ඇසුර යාවත් කාලීන වීම, කලක් බීමට සල්ලි අගහිඟ වූ බේබද්දෙකුට බාර් එකක දොර ඇර දුන්නා හා සමාන වූයේ එහෙයිනි.
තාක්ෂණයෙන් මිදී ගස් ගල් ගහකොළ පොත් පත් සමග ඇසුරට වැටීමට රස්තියාදු ගැසීමට පුරුදු ආශාවන් යලිත් පණ ගසා ඒමට සිත එකඟ හෙයින්ම වැඩ නිමවී තුන් රෝද රියෙන් එන ගමන වලකා මම පයින් එන්නට තීරණය කළෙමි. මාස ගණනක් නොවෙහෙසී සිටි අතපය මත දහඩිය වැටෙන්නාත් සමග සිතෙහි අක්‍රියව තිබූ සිතුවිලිත් , ඒ හා බැඳුනු ආස්වාදයත් ආඝ්‍රාණය කරමින් , ගත වෙහෙසෙන්නාත් සමග අක්‍රියව අසහනයෙන් එක තැන පල්වෙමින් සිටි සිත නින්දෙන් පිබිද සහනකාරී සන්සුන් චින්තාවලීන් දිග හරින අයුරු මම ප්‍රීතියෙන් බලා සිටින්නෙමි.


