Monday, May 04, 2015

[318] රෝද තුනේ දේව කතන්දර


කොළඹ හෝ වේවා නුවර හෝ වේවා , ගමනාගමනය කියන්නේ ලංකාවේ අංක බින්දුවටම බැහැපු අකාර්යක්ෂම සේවයක්. ඉතින් ඇති නැති හැම දෙනාටම තමන්ගේ කෙටි ගමන් බිමන් වලට ටැක්සි පිහිට පතන්නම වෙනවා . දශක දෙකහමාරක විතර ඉදල අපේ ගමන් බිමන් වලට ලගම හිටිය සගය තමා ත්‍රි රෝද රථය.

ත්‍රි විල් - එහෙම නැතිනම් , රෝද තුනක් මතක් වෙද්දිම සමහරුන්ගෙ මුහුණු ඇඹුල් වෙනව. ත්‍රි විල් නිසා දොර හැරිලා තියන උවදුරු බොහොමයි. ඇති වෙලා තියන උප සංස්කෘති බොහොමයි. ඒත් මාස 8 ක කොලඹ කෙටි නැවතුම්පොලෙදි තනිව සරන මට ගොඩක් වෙලාවට මහ මග යන්න එන්න  පිහිටට හිටියෙ තෙරෝද රථ තමයි. ඒ නිසාම , කඳු මුදුනට නැග බලන්න ජීවිතයෙ උස කියලා , පොඩි U හැරවුමකුත් එක්ක ආයිමත් ගහකොළ පිරිච්චි, ෆෑන් නැතුව ඕනෙ තැනක හිටගෙන ඉඳගෙන ලිවිය හැකි සුන්දර මහනුවර , නිශ්ශබ්ද ගෙදර ඇතුලෙ ඉඳලා බ්ලොග් පි‍ටුව දිග හරිද්දි , ඉස් ඉස්සෙල්ලම මට ඔවුන්ව මතක් වෙනවා. ඔවුන් කිව්වට ඇත්තටම මතක් වෙන්නේ ඔවුන් අතරේ හිඳ සිටිය මිහිමත දෙවිවරුන්ව . මේ කුඩා සටහන ඔවුන් වෙනුවෙන්. 

*** 

මාසයකට විතර ඉස්සර මාර්තු මාසේ දවසක.. එදා මම රත්මලාන දුම්රියෙන් බහිනකොට ‍රැ 8.30යි . ඒ කියන්නේ රැ අටේ කෝච්චියේ . 

තිත්ත කරුවල අස්සෙන්  , බීමත් මිනිස්සුන්ගෙ රතු පාට ඇස් , වහින්න එන්නා වගෙ සැරින් සැරේ බක් මහ අකුණු ඉරි අඳින ගුප්ත අහස යටින්   මම රත්මලානෙ දුම්රිය නැවතුමේ රේල් පාර පනිනවා . අසීරුවෙන් වටපිට බැලුවේ එතනින් එහා ටික යන්න තුන් රෝද රියක් හොයන්න. බොහොම වයසක කෙසඟ කාරුණික මහත්මයෙක් තෙරෝද රිය ගෙනවිත් මා ඉස්සරහින් නැවැත්තුවා.

මිස් රෑ වුනා නේද ? නගින්න . කොහෙටද යන්නෙ ?
ඕනෙවට වඩා ඇඟෑලුම් කමින් කතා කරපු එකට එච්චර කැමැත්තක් නොතිබුනත් , වෙන විකල්පයකුත් නැති නිසා මම ඊට ගොඩ වුනා.

ඉතින් ඔන්න මේ මනුස්සයා තොර‍තෝන්චියක් නැතුව මගෙන් ප්‍රශ්න අහනවා.

මිස් කොහෙද ඉන්නෙ. ගම කොහෙද ? මොකද කරන්නෙ ?
ප්‍රශ්න ලෝකයයි. මම ඉතින් ඒවාට බාගෙට හරි , බාගෙට වැරදි උත්තර දෙනවා. හැබැයි මනුස්සයගෙ තියෙන්නෙ කපටි කමක් නොවෙන බවත් කටහඩින් දැනෙනව.

ඔයින් මෙයින් බහින තැනත් ලඟා උනා. මම වෙනදට දෙන්නෙ 120යි. කතාවෙන් කතාවෙන් ඔන්න ගාන කතා නොකරගෙන තමයි රථයට ගොඩ වුනේ කියල තෙරුනෙ දැන් තමයි.

මම නොදන්න ගානට , මෙතෙන්ට කීයද ගන්නෙ ? කියලා ඇහුව .

80ක් දෙන්න මිස්.
මම අන්දුන් කුන්දුන් වෙනවා. ඒ වෙනකොටත් 120ක් මගෙ අතේ. මට 80 දීල සද්ද නැතුව යන්න මොකක්දො වගෙ.මම ඔහුට මගේ ප්‍රශ්නේ වෙන විදියකට ඉදිරිපත් කළා . 

80 ඇතිද ? මෙතෙන්ට වෙන අය ඊට වැඩියෙ ගන්නවනෙ.

අනෙ එපා මිස්. 80 ඇති.
මේ මනුස්සයා දුන්නු 120න් 20 කොල දෙකක් මට ආයිත් දෙනවා.

මට හිතාගන්නත් බැහැ.මෙහෙම මිනිස්සුන්ට එකසිය විස්සක් නෙමෙයි එක්දාස් දෙසීයක් දුන්නත් දුක නැහැ. මම ගන්න කියලා ඉතුරු 20 කොළ දෙක ආයිත් දුන්නා. 

එපා මිස්. මෙතෙන්ට හරි ගාන 80යි. ඊට වැඩියෙ සතයක් හරි අරන් මම මගෙ පවුලටයි ලමයින්ටයි එවයින් කන්න දුන්නොත් උන්ටත් හරියන්නෙ නැහැ මිස්. එක හොරකමක් වෙනවනේ . 

කහට බැඳුනු දත් දෙපෙල අතරින් ආව ඒ මිණි මුතු වගෙ හැඟීම් බර වදන් කිහිපය , ඇත්තටම මාව මොහොතක් අමනුස්ස මනුස්සයින් ඉන්න ගෙන්දගම් ලෝකෙන් සුරංගනා  ලෝකෙකට ගෙන ගියා කිව්වොත් නිවැරදියි.

මිනිහෙකුට විපතක් වෙන්න යනකොට , බේර ගන්න එක පැත්තකින් තියලා තමන්ගේ ෆෝන් එකේ තියන වීඩියෝ කැමරාව මාන ගන්න අසත් පුරුෂයින් ඉන්න ලෝකයේ , දෙවියන් වෙස් ගත් මිනිසුන් , එහෙම නැත්නම් මිනිසුන් වෙස් ගත් දෙවියන් සිටින බව අත්දකින්නට ලැබීමත් එක්තරා භාග්‍යයක් කියා එදා මට සිතුනා.

****
 දෙවන කතාව ....


ගිය අවුරුද්දෙ සැප්තැම්බර් මාසයෙ. පහුගිය මාස  8 වැඩ කල කොල්ලුපිටියෙ ‍රැකියා ස්ථානයෙ පලමු සම්මුඛ පරීක්ෂණය . 

ඉන්ටවිව් එක තියෙන්නෙ 2 ට . මම නුවර ඉදන්  ගල්කිස්සට ගිහින් ගොඩ බහිද්දි දවල් 12.15 යි.  සාරියත් ඇඳගෙන ආයිත් කොල්ලුපිටියෙ ඉන්න ඕනෙ 2 වෙද්දි. ඉස්කෝලෙ ට්‍රැ‍ෆික් එකටත් අහු වෙලා. මට හිතා ගන්න බැහැ මම කොහොමද දැන් යන්නෙ කියලා දෙක වෙද්දි . 

කොහොම කොහොම හරි සාරිය පටල ගත්තා 1.15 වෙද්දි. 1.25 වෙද්දි ගාලු පාරට ඇවිත් මම තෙරෝද රියකට ගොඩ වුනා. රියදුරාට මගෙ මූණෙන්ම තේරෙන්න ඇති  , මම ලොකු හදිසියකින් ඉන්න බව. මම ඔහුට ඇත්තම කිව්වා.

මට දෙකට ඉන්ටවිව් එක තියනවා. කොල්ලුපිටියෙ. අනෙ මාව කොහොම හරි දෙක වෙද්දි කොල්ලු පිටියට ගෙනියන්න.

ඔහු වෙලාව බැලුවා. මගෙ මූණත් බැලුවා.

මිස් බය වෙන්න එපා මිස්. මම 1.50 වෙද්දි මිස්ව කොල්ලුපිටියෙ ඔපිස් එක ඉස්සරහට ගෙනියනව.


ඔහු කිව්ව විදියට මගෙ හිතෙ බර සැහැල්ලු උනා. ඒත් එක ප්‍රයෝගිකද ? උත්තරය 'නැහැ' බවත් හිත හොදටම දන්නවා. 

පාසැල් ඇරෙන වෙලාවෙ මාර්ග තදබදය අස්සෙන් , පාර හදන තැන් වල ප‍ටු තීරු වලින් රිංගමින්  ඔහු රිය පැදෙව්වා නොවෙයි ඉගිලෙව්වා කිව්වොත් නිවැරදියි . 

මේ ලැබෙන්න යන ‍රැකියාව මට ඉතාමත්  වැදගත් නිසා,  මගෙ හදවතත් වේගයෙන් 2ට ලන්වෙන ඔරලෝසු ක‍ටු වගෙ වේගයෙන් ස්පන්දනය වෙන්න ගත්තා . ඇත්තටම හිත නොසන්සුන්. නොසන්සුන් මනසින් කොහොමද ඉන්ටවිව් එකකට මුහුණ දෙන්නේ ? 

රියදුරාට මගේ ආතතිය තේරෙන්න ඇති. යන අතරමග එක දිගට,  ඔහු පසු පස හැරී බලමින් , 
මිස් බය වෙන්න එපා මිස් , මම කොහොම හරි මිස්ව වෙලාවට ගෙනියනවා. බයෙන් තැති ගත්තු මගෙ හිත හදන එකත් තමන්ගෙ රියදුරු රාජකාරියෙම ඔහු කොටසක් කරගත්තා. 

ඇත්තමයි හාස්කමකින් වගෙ , කොල්ලුපිටියේ ඩුප්ලිකේෂන් පාරේ , අලුත් රැකියා ස්ථානයේ දොරටුව ගාව , මෙන්න මම හරියටම 1.50 ට !

සල්ලි නැත්නම් පස්සේ ගන්නම් මිස් මම ගල්කිස්සෙන් යන ගමන්, දැන් ඉක්මනට ඉන්ටවිව් එකට යන්න මිස්. 

කලබලේ දගලන මව සන්සුන් කරන්න ඔහු පියෙක් වගෙ උත්සහ කළා. මේ වයසක මහතෙක් නොවෙයි. අවුරුදු 20ක විතර පොඩි කොලු ගැටයෙක්.කලබලෙන් මම සල්ලි ටික දිගු කරමින් බහින්න ලං වෙද්දී ඔහු කිව්ව වාක්‍යය මට අද වගෙ මතකයි. 

මිස් , බලන්න මම කිව්ව වෙලාවටම මෙතෙන්ට එන්න පුලුවන් උනා. කොහොම ආවද මමවත් දන්නේ නැහැ. මිස්ට වාසනාව තියනවා. දැන් බය වෙන්න දෙයක් නැහැනේ. මිස් මම කිව්වට විස්වාස කරන්න , මිස්ට මේ රස්සාව ලැබෙනවාමයි. බය නැතුව යන්න . මිස්ට හරියනවා. බුදු සරණයි.

නන්නාඳුනන නගරෙක , දුප්පත් තෙරෝද රියක , ඉදිරි රියැදුරු අසුනෙහි ප්‍රකෝටි පතියෙකු වාඩි වී සිටිනු මා දු‍ටුවා. ඔහු අද රෑටත්  පොල් සම්බෝලයි බතුයි ‍රැට දරු මල්ලන් සමග බුදිනවා වෙන්නට පුළුවන්. ඔහුගේ කාසි පසුම්බියට ඉන් එහා සැප සම්පතක් සිය දරුමල්ලන්ට දෙන්නට බැරි වන්නට පුළුවන්.

එහෙත් ඔහුගේ හදවත නම් , මා වැනි තවත් මිනිසුන්ගෙන් ගිලිහුණු  දහසකුත් එකක් ආශිර්වාද  වලින් පිරී ඇති කියා සිතෙනවා.

පුදුමයට කාරණය නම් , දෙවියන් වෙස් ගත් මිනිසුන්, නො එසේනම් , මිනිසුන් වෙස් ගත් දෙවියන් වැඩ සිටිනු දැක තිබෙන්නේම , මේ මිහිපිට මහපොළවෙන් ඉහල අහසට නොනැගුණු සමාජයේම වීමයි.




මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->