සුදු ඇඳගෙන සඳ ඇවිදින් දුර කඳු මුදුනට
රිදවුනු සිත ගෙන යයි කඳුලැලි ගං ඉවුරට
ඔබ ආ හැටි සමුගන්නට අවසන් සැන්දෑවට
ඒ ගං ඉවුරට ...
බාධක බිඳ නුඹ ජය ගන්නට බැරි වුනි මට
ඇයි දැයි දොස් පවරන සඳ සිත
නුඹෙ වරදද මගෙ වරදද ?
එය මා දන්නේ නැත
නුඹ මා ලොව කලුවර කොට පැන ගිය පලියට
කෙලෙසක දොස් පවරමි නුඹ හට
කිසි කෙනෙකු නොදුන් ආදරයක්
නුඹ මට දුන් කොට ..
සඳට විරාජමාන වන්නට තවත් දවසක් දෙකක් ඉතිරිව තිබෙයි. එතෙක් ඉවසා සිටීම අපහසු හෙයින්දෝ වළාකුලු එක දෙකක් සුලඟට ඈත් මෑත් වන ඇසිල්ලෙන් සඳ සිය කිරි සිනහා එළි එක දෙකක් මහ පොළව වෙත එවයි. බිම බලාගෙන ඉසිකෝ මන් හද දරාගෙන චමත්කාරී රැය ඉවසා වදාරන කාලකණ්නි පොළොවටත් සුලඟටත් ඒ සඳ පෙනෙයි. ඒ හීල්ලීම් සඳට වගක් නැත. සඳට පෙනෙන්නේ නුදුරෙහි එන රාත්‍රී පොහෝ සැණකෙලියට ලෝකයම සැදී පැහැදී සිටින වග පමණකි.
හෙට උදාවන සුපුරුදු අරුණාලෝකය මිස අහස ගුගුරා එන අනපේක්ෂිත මහ වැහි කෝඩයක ලකුණු , ප්‍රේමාන්ධ වූ සඳට නොපෙනෙයි. දිගු කාලයක් එකට හිටි එකාකාරී පුරා වස් ගණනාවක අවසන , පොළව සඳ සමග ගනුදෙනු අත් හරින්නේය. එහෙත් ඒ පෙනෙන හැටි පමණකි. අහසත් සඳත් කිසි ලෙසකින් උනුන් හැරයන්නෝ නොවෙති. ගතවන දිවා විරාමයෙන් ඉක්බිති ඔවුනොවුන්ට රාත්‍රිය කියා උන්ගේම මොහොතක් මග බලා සිටී.
එහෙත් , එක් දිනෙක,
සඳ නලලත සිපගෙන , උදෑසන අඳුරුතම පැය සටහන් කරමින්, අහස වේදිකාවෙන් බැස යන සුපුරුදු අන්ධකාර හෝරාවය . වෙන කවරදාටත් වැඩියෙන් උණුසුමෙන් , සෙනෙහසින් , ආලයෙන් මෙන්ම හද කම්පා කරවන තරම් මෘදු හඬින් ' ආදරෙයි ' කියා අහස මුමුණයි. සඳට එය වටහාගත නොහැකි වෙයි. අහසටද වටහා දෙන්නට තරම් කිසිවක දැනුවත් බවක් නැත්තේය. විස්තර කළ නොහැකි මූසල වෙන්වීමේ ඉඟියකින් , නොහොත් ඉවකින් , අහසත් සඳත් යටි සිතෙන් බීත වී සිටිති. . අහසත් සඳත් නො එන රැයක් තිබේද ? උනුන් සිප වැලඳ නොගන්නා දිනයක් ඒද? නැත . උන් යටි හිතට ක්යා හිත හදා ගන්නේ එහෙමය .
හිමිදිරි සීතල තුරල් වෙන පාන්දර , සඳ සෙමෙන් මුහුණ අඳුරු කරගනී. එලැඹෙන නුදුරෙහි අහසත් සඳත් එකම රාත්‍රියක නිසි නිවිසැනසිල්ලේ නොබියව විරාජමාන වන පොහෝ සැණකෙලිය සිහිපත් කරමින් සඳ තැවුල් මුහුණ සිනා වතින් පිසදා ලන්නීය. අහස සිය රළු පරළු, හැඟීම් විරහිත යයි පෙනෙන , එහෙත් බොහෝ දුක් හා රිදුම් තැවුල් දරා ඉවසන දැඩි මුහුණින් උදා දොරකඩ වෙත පියමනී. පසු පස්සේ වැටෙන සඳ , අහස් ගැටියෙහි ඇතිල්ලෙමින් සමු ගැන්මේ සිහිවටනය නොකියා ඉල්ලමින් එකෙල මෙකෙල වෙයි. වෙනදා මෙන් එය පමා නොවෙයි. ඇසි පිය හෙලන ඇසිල්ලෙන් , සිය විසල් අහස් තලයෙන් එක් බිඳිත්තක් වන් කුඩා සඳට ඉවැසීමෙන් යුත් එක් නළල් හාදුවක් උණුසුමින් තෑගි දෙන අහස , කම්මුල් හරවමින් , ප්‍රති සිහිවටන ඉල්ලා සිටියි. එය සැබෑ සමුගැන්මක් තරම්ම සංවේදී වූයේ , හැඟුම් හා ඉව , සදෘශ්‍ය විචල්‍යයනට වඩා ප්‍රබල නිසාද?
'Love you' ඉතාමත්ම චමත්කාරජනක සන්ධ්‍යා හමුවීම් එක දෙකක අතිශය රොමෑන්තික ආදර කඳු මුදුන් දැක පහන් වෙද්දි පමණක්ම , හඬ බිඳී මෘදු සරින් විසිරුනු එම වදන් , එදා අඳුරු පැහැගත් කාල මීදුම් එතෙන මූසල හිමිදිරියේද , ඒ මුදු සරින්ම ගිලිහුනේ, අවසන් වතාවට යැයි සඳටවත් අහසටත් නොසිතෙන්නටම ඇත.
'පරිස්සමෙන් යන්න. මේ දවස් ටික පරිස්සමෙන් ඉන්න'
සඳ , වෙන කවදාටත් වඩා මෝරා ගිය වැඩිහිටිකමකින් , තමන්ට වඩා බොහෝ දැනුම් තේරුම් ඇති අහසට දැනමුතුකම් දෙයි. ආදර බැල්මකින් , කුඩා සඳට ප්‍රතිචාර දක්වමින් සමුගෙන යන අහස , හිමිදිරිය පෙනි පෙනී ආයිත් හැරී එයි. යා යුතු යැයි හද නොපිලිගන්නේද?
' වහින්න වගේ නේද ? ඇයි ඒ ?' පිලිතුරු නැති පැනයකට උරිස් හැකිලෙන සඳ වෙත යලිත් එන අහස , යලිත් හාදුවක් තබා හිමිදිරිය වෙත හැරී යන්නේය .
මෙදින පවසමි ,
සහසැස් මිසක , එ'සුදු සොමි රැස් හෝ , එ'සඳ වැලඳ ගත් අහස හෝ එදිනෙන් පසු යලිත් නොවැලැඳැගත්තෝය. ඉනික්බිති එලැඹි රාත්‍රීන්හි වට මහ වැසිද , ඉන් තෙත්බරිව විසුණුව ගිය වේදිකාවද නිමිති කොට සඳ සහ අහස නාඳුනන්නන්ගේ මානයට ගෙන ගියෝය.
නාඳුනන අතෝරයන්ගේ බල පරාක්‍රමයන්ට පින් සිදු වන්නට , සුදු ඇඳගත් සඳ , වැස්සේ තෙත්බරියන් වෙමින් , තෙමී ලෙඩ හදා ගන්නේ යැයි තරවටු අසමින් , වස්සානය අවසන් වෙතැයි සිතන්නීය, පෙරුම් පුරන්නීය . අහසෙන්ද ගැරහුම් ලබන්නට තරම් සඳට අමාවකම හිමි වන්නීය. මහ වැස්සෙන් පසු අහසද එම අහසමමැයි පතන්නිය.
තවමත් රාත්‍රීන්හි සඳ එබෙන්නීය. කලා පුරන සඳ වෙනදාටත් වඩා දිලෙන්නේ යැයි පවසන්නේ කෙබඳු සිතකින්ද? ලෝකයක් එලිය කළ යුතු යැයි සඳ බිහි කළ හිරු , පිලිණ ගති. වැසි දියෙන් ආතුර සිතින් , සඳ , රාත්‍රියෙහි අන්ධකාරය , අහසක් නැති කැඩී බිඳි සුන් බුන් වූ වේදිකාවෙහි තවමත් දිදුලවන්නේ එහෙයිනැයි අහසට සිතා ගත නොහැකි වීම විස්මයක් නොවේ.
සිතුම් සුලඟක ඇමිණී
හැඟුම් කෙම්බිම් සරමී
සුසුම් පැහැ තවරමිනී
කවක් සඳ මුව මිමිණී ...
රැස් දෙන ඉරට ලං විනි
ලත් හිරු රැසින් මත් විනි
මල් සර විතෙන් විස ඉනි
නෙත් අඳ සඳක් ඇවිලිනි ...
සුපෙම් අහසක් අහිමි
සොවින් සඳ මියැදෙමිනි
සසර හුරු ඇස් හැඟුනි
යලි අහසෙ සඳ උපනි..
මැකී යලි සඳ පිපුනී
පිපී සඳ බොඳ නොවිනී
මසින් මස මෝරමිනි
සඳින් අහසද උපනි....
සහසැස් සිඹින අහිමි
අහිමිව නොහෙනු හඬමි
හැඬු නෙත් සිඹින ම'හිමි
හිමි නුඹ අහිමි නොහෙමි....
වරෙක සුනිල් එදිරිසිංහයන් , ඉතාමත්ම වේදනාබර ආයාචනාවක් , ලිහිණි කුරුල්ලන් වෙත ගෙන හැර පාන්නේ , සිත ගත් ප්‍රියයාණන් සොයා පියඹා ගොස් , මා මිය යන බවක් හෝ පවසා, ප්‍රේමණීයයා තමන් බලන්නට ගෙන්වා ගන්නැයි කියාය . එය මරණ තර්ජනයක් පෙන්වා සිතුම් ඉටු කරගැනීමකැයි අර්ථ දක්වන්නේ කවුරුන්ද?
අහිමි කමේ ආලාපයන් මත්තේ සඳට පායා නොසිටිය නොහැක්කේය. අන්ධකාර රාත්‍රියට කුඩා සඳ පහන එලි දෙන්නට පිලිණ දී ඇත්තේය . අහසෙන් මුවා වී සඳ කෙසේ පායන්නද ? වළාකුලක හැංගීගත් සඳෙහි , තවත් ගැඹුරට හෑරී ගිය සදාතනික ආවාට වල එක්තැන්ව පැලැහෙන ලුණු රසැති රතු කඳුලු නිරතෘවම , සුදු රැස් දහරින් සෞම්‍යව පවතිතැයි , දූත ලිහිණියෙකුගේද නිගමනය වනු ඇත.
බොහෝ කවීන්ගේ රස නහර පුබුදුවා ලූ , හැඟුම් ප්‍රස්තුත සැපැයූ මුත් , සඳ එයින් ලැබූ පහන් හැඟුමක් නැත්තේය. පැහයක් හැඩයක් හෝ දිග පළලක් නොමැත්තේ මුත් , සඳට වැතිර සිනාසෙන්නට තරම් විසල් හද කුහරයකට හිමි කම් කී අහස වෙත සඳ හැංගූ කවියක් නැත !
අතීතය ප්‍රත්‍යාවර්තී ලෙස යලි උදා වෙයි. එහෙත් ජීවිතය උදා වන්නේ එකම එක් වරකි. ප්‍රත්‍යාවර්තී අතීතය කෙසේ ඇවිත් ගියද , යලිදු ජීවිතය යන නම ඊට දිය නොහැක්කේය.
ප.ලි
සුදු ඇඳගෙන ගීය : මගේ රචනාවක් නොවේ. එය කරුණාරත්න දිවුල්ගනේ ගයන්නකි. මෙන්න ගීතයේ සබැඳිය.