ඒ එක්දාස් නවසිය අනූ අට අවුරුද්දය . අපේ ගෙවල් ඉස්මත්තේ එක්තරා අයාලේ යමින් සිටි බලු මවකට පැටවු රොත්තක් හම්බුනේ ඒ කාලේය. පැටවු සමග බලු මාතාව සුරතල් කරන්නට බොහෝ සෙනග සැදී පැහැදී සිටියද උන් අයාලේ ලොකු මහත් වූ පසු නිරායාසයෙන්ම වද කරදරයකැයි ඒ සෙනග උන්ව පන්නා ගත්තෝය . ඒ නිසාවෙන්ම පෙරකී බලු පැටවුන්ගෙන් දිවි ගලවාගෙන ඉතිරි වූ එකම පැටවා , දිනෙක වාහනයෙහි දමාගෙන වෙනත් පෙදෙසකින් තබා එන්නට වුනේය.
පින් පව් කෙසේ වෙතත් ඉන්නා තැනක දිවි බේරාගෙන ජීවිකාවක් කර ගනිතැයි සිතනවාට වඩා අන් යමක් කළ හැකි නොවූයේය. මේ සිද්දියේ නිරීක්ෂකයකු පමණක් වූ මට මේ සිද්දිය හිතට වැදුනාද නොවැදුනාද කියා මතක නැත. ඒත් අහුවෙන හැම පණ්ඩිතමානී අදහසම කතාවක් හෝ කවියක් කොට ලිවිය යුතු යැයි ශපථ කොට සිටියාක් මෙන් මම පඬි වදන් ලියන්නට කැස කවාගෙන සිටි යුගයකි ඒ.
එහෙයින් 'අනුකම්පාව වෛරය හා ශෝකය' යනුවෙන් මම කුඩා කෙටි කතාවක් ලිව්වෙමි. එහි කතා නායිකාව වන මමද මූලිකව මේ බලුපැටවුන්ට අනුකම්පාවෙන් අහර දෙන්නේ මුලින්ය. එහෙත් වරෙක මේ බලු පැටවුන් ගැන උපදින්නේ තරහකි. ඒ මගේ හොඳම ගවුමක් ඉරාදමනලද නිසාය. අවසනදී උන්ගේ වදයෙන් බේරෙන්නට බැරිව මහමග දමා යද්දී ඒ සියල්ල අමතකව යලිත් ආත්ම ලැජ්ජාව සහ ශෝකය ඉස්මතු වෙයි. සැබෑ කතාවේ නොමැති ලුණු ඇඹුල් දමා මා කතාව අවසන් කරන්නේ මහමග දමා හැරී එද්දී ලොරියකින් පැගෙන තද තිරිංග නාදයක් සමගිනි. ඒවා සිද්ද වූ දේවල් නොවේ.
කතාන්දරයක් ලිවීමේදී සත්‍ය සිද්ධියම වාර්ථා කරනවා වෙනුවට සිදුවීම විචිත්‍රවත් කොට කතාවක් ගොඩ නැගිය යුතු යැයි , කතුවරයකු කියා තිබූ පඬි වදන මා එකල අසා නොතිබුනි. එහෙත් වැඩිමනත් ආටෝප සාටෝප වලින් මනස ඔද්දල් වී නොතිබූ කුඩා මල් වයසේ , කියවන ඇසෙන දකින හැම දේම පිවිතුරු සුදු රෙදිකඩකට පෑදි දිය උරා ගන්නා සේ ලිවීමට සුදුසු දෑ නිරවුල්ව ගලා ආ යුගයකි ඒ.
ඒ ලියූ කෙටි කතාව දින කිහිපයකට පසුව අපේ ගෙදරට අසු වී , අපේ ගෙදර උදවිය , මගේ ලපටි සිත මෙතරම් තැලුනු බවක් නොහැඟුනේයැයි විස්සෝප වූවාද මතකය. එහෙත් මා එතරම්ම (කතාවේ ලියු තරම්ම ) මානසික වූවාදැයි මට එච්චර නිනව්වක් නැත්තේය. (මට හිතක් පපුවක් නැතිද?)
එකල්හි ලියූ බොහෝ දෑ තුල මට හුරුබුහුටි විචිත්‍රත්වයක් පෙනෙයි. ඒ කොතරම්ද කියතොත් ඒ මල් යෞවනය කෙරෙහි මහත් වූ ආලයක් හට ගනී. සුදු ගවුම් , පොත් පත් , කවි , මල් වයසේ විරුද්ධ ලිංගික ආකර්ෂණයේ කුඩා අතුරු පල කොතරම් සොඳුරුදැයි සිතෙයි. ( බස් පොලේ දැක් හිත් මලෙහි මියගිය මගේ ප්‍රථම ප්‍රේමය යන ලිපිය මා මුල්ම කාලයේ ලියූ එබඳු මතකයකි)
මේ හැම වල් පලයක්ම අද මේ දිග අරිමින් මා කියන්නට තෙපර බාන්නේ මොනවාදැයි ඔබ අසනු ඇති.
දවස් පහකට මත්තෙහි අපේ පාලු විසාල ගෙදරට අලුත් සද්දයක් එකතු වුනේය. වහලය උඩ සීලිමෙන් සිඟිති පූස් කෙඳිරිලි ගොඩක් එක උදේක එකපාරම මතු වුනේය. අහෝ පාලු කලුවර සීලිම , පූස් තිඹිරිගෙයක් වී ඇති අරුම ! ඉතින් කුමක් කරන්නද ?
පූස් කෙඳිරිල්ල මෝරා පොඩ්ඩක් වැඩිමහල් ඤාව්වක් බවට පත්වෙන්නට ගියේ දවස් කීපයකි. ඉතින් අපිට මේ දවස් ටිකේ නින්දක් නොතිබූ බව කියන්නත් දෙයක්ද ? දවස් දෙකතුනක් ගිය තැනේදී පූස් ඤාව් කිහිපයකින් එකක් පමණක් සිවිලිම උඩ ඉතිරිව තිබෙයි. අහෝ එක් සහෝදරයෙක් / හෝ සහෝදරියක් අතරමං කර අනික් ඈයින් සිවිලිමෙන් මහපොළවට බැස ගිහින්ය ! අම්මා කොයි ? අම්මා සොයා අප වට පිට පීරුව මුත් පලක් වූයේ නැත . ටික දිනක් ගිය තැනදී අපට ආරංචි වෙන්නේ පූස් අම්මා අපේ නිවස අවට වසන කමකට නැති බලු රොත්තට අසු වී මිය ගොස් සිටි බවකි. ඇතැම් විට ඈ මිය යන්නට ඇත්තේ සිය අවසන් පැටවා සිවිලිමෙන් බස්වාගෙන එන්නට යන අතර මග විය හැකිය .
දැන් පූස් පැටියා තනිවී සිවිලිම උඩය ! පිරිමි නැති අපේ ගෙදර සිවිලිමට නගින්නට කිසිවෙක් නැතිය. පූස් අඳෝනාව අසා සිටින්නට අමාරු තරම් දුකය . දිනක් දෙකක් තුනක් කල හැකි දෙයක් නොමැතිව තැවිල්ලේ ගෙවී යයි. නොදුටු පූස් පැටවා සිවිලිම දෙවනත් කරමින් කුඩා සිදුරු වෙත මුහුණ තියමින් ඤාව් කියන එකෙත් ඉවරයක් නැත . දැන් මෙයට කරන්නේ කුමක්ද ? කිසිවෙකු නග්ගා පූස් පැටවා බිමට බස්වා ගනු හැරුනු කොට පිලියමක් නැත. එසේ නොකලහොත් එක්කෝ කන්නට නැතිව ඌ මියෙනු ඇත.
අවසානයේදී මට පිහිටට එන්නේ මගේ කාර්යාල මිතුරන් දෙන්නෙකි. ඔවුන් දෙන්නාත් පටවා ගෙන අද දහවලෙහි මම ගෙදර ආවෙමි. පූස් පැටවාගේ හැඬිල්ල ඉවරයක් නැත. ඉණිමග සොයාගෙන , දූවිලි වලින් බේරෙන්නට ටීශර්ට් දෙකක්ද අන්දවා මම ඔවුන් දෙදෙනා සිවිලිමට නගිනු බලා සිටියෙමි. පැයකට ආසන්න කාලයක් තිස්සේ දස වද විඳිමින් , උලුකැටද ගලවමින් , අඩව් ඇල්ලීමෙන් අනතුරුව මේ ත්‍රස්තවාදී හිතුවක්කාර අසරණයාව බිමට බස්සාගන්නට මගේ මිතුරන් දෙන්නා සමත් වූහ.
කලුම කලු පුලුන් බෝලයක් අස්සේ කොල පාට බෝංචි ඇට දෙකක් ගැසූ අයුරෙන් දිලිසෙන ඇස් දෙකත් , මැක්කන්ගෙන් පිරුනු බියපත් කෙසඟ සිරුරත් දකිද්දී, තව දිනක් දෙකක් ඇතුලත පූස් පැටවාගේ ඉරණම තීරණය වන්නට තිබූ බව පෙනී ගියේය. සාගින්නේ සිටියද කිරි බිඳක්වත් තොල ගාන්නට තවම හුරු නැති හෙයින් , අම්මා නැති අසරණයා අපේ කකුල් සූරමින් තවත් පැයක් දෙකක් සිය හෝන්දු මාන්දුවෙන් මිදෙමින් සිටියේය.
සැබෑ ප්‍රශ්නය උද්ගත වන්නේ දැන්ය. මෙයාට දැන් මොකද කරන්නේ ? ඔන්න ප්‍රශ්නය. ගෙදර තබා ගැනීම කිසි සේත් කළ නොහැක්කේ පූසෙකු ඇති කිරීම කිසිදා අප නිවසේ සිදු නොවන බව දන්නා හෙයිනි.අනෙක් අතට පූස් අම්මාට වූ ඉරණමම පූස් පැටවාට අත්වීමද එයින් නොවැලැක්විය හැක්කේය. දැන් ගැලවුම් කාර මිතුරන් දෙදෙනාත් ගැටලුවකට මැදි වී ඇති සේය. මාද එම ගැටලුවම පෙරදැරිව තැවෙමින් සිටියෙමි.
පිලිතුරක් නැති තැන , කරන්නට තිබූ එකම දෙය කරනවා මිස අපට වෙන විසඳුමක් නොතිබුනේය. එහෙත් එහි ධණ සෘණ , යහපත අයහපත එක එක අතට පෙරලා විශ්ලේෂණය කර බලන්නේ නම් , නානාප්‍රකාර ප්‍රතිචාර ලබා දිය හැකි වුවද , අපද අසරණ වූ ඒ අවස්ථාවෙහි කුඩා මිතුරාව , ආරක්ෂාකාරී තණපඳුරු ගොන්නක් තුල සඟවා එනු මිස අන් කළ හැක්කක් නොවූයේය.
අනාථයෙක් වූ කල , සුරක්ෂිතතාවයද අනාර්ක්ෂිත වන අතර , බියකරු අවදානම් කලාපයක තනිවීමද සුරක්ෂාවක් සේ තාවකාලිකව දැනෙනු ඇත. ජීවිතය යනු රැකගනු උදෙසා අරගල කල යුතුව තිබෙන්නේ තිරිසන් සිඟිත්තෙකුට පමණක් නොවේ. මනුසත් මහල්ලෙකුගේද ඉරණම එයමය.
දැන් ඔබේ අදහස් දැක්වීමේ කාලයයි.
අමනාප නොවන්න . කළ හැකි උපරිමය වූයේ නුඹ සාගින්නෙන් හා තනිකමෙන් මුදා ගෙන මහ පොළවට ඇරලීම පමණකි. |