.
ජීවිතේ ..
පාට විසිරුනු සිතුවමක්
දැවෙන අහසත්
තෙමෙන පොළොවත්
එකට යාවුන සිතියමක් ....
ආදරේ
ඒ සිතියමේ එක් නිම්නයක් ..
අහඹු හමුවක
මතක සළකුණු
ඉපිද මිය යන සිහිනයක්...
නුඹ මගේ
තාල ගිලිහුණු කවි පෙලක් ..
පැරණි නගරෙක
ශිලා ලිපියෙක
ලියා කටුගෑ පද වැලක්...
.
Monday, February 17, 2014
[303] ආදර සිතියම..
මේ ගැනයි මේ ලිපිය..
ආදරය හෙවත් මගේ හුස්ම,
කවි..හෙවත් මගේ ආත්මය
Friday, February 14, 2014
[302] ජීවිත කංකාරිය
කලකට පසු තනිවම නුවර මගට බැස්සෙමි . එකක් දලඳා මාලිගාවට සිරිපා ගමන වෙනුවෙන් කළ බාරය ඔප්පු කිරීමටය. අනෙක රස්තියාදුවක් යාමටය .
දලඳා මාලිගාවට ඇතුලු වන තැන පෙර නොවූ විරූ කලබලයකි. කොලු කෙල්ලන් පිරිසක් 'ජෝන්ගේ සත්තු වත්ත' වේදිකා නාට්‍යයේ ටිකට් විකුනති. රුපියල් තුන්සියයක් දීමට අතේ මිටේ මුදල් හිඟය . ඒ නිසා බොරුවක් කීවෙමි. 'මම ඕක බලල තියනව මල්ලි' . මට උවමනා වූයේ නොමනා තරම් ලඟට පැමිණ ටිකට් විකුණන්නට උත්සහ කරන ලාබල තරුණයාගෙන් ගැලවෙන්නටය. දලඳා හාමුදුරුවන් වෙත අසරණව බලමින් මුසාවාදය වෙනුවෙන් මම පව් සමා කර ගනිමි.
මට සුදු නෙලුම් මල් වට්ටියක් උවමනාය. මල් විකුණන ඇත්තන් ජෝන්ගේ සත්තු වත්ත වගේම බේරෙන්නට අමාරුය . එතන භයානක යුද්දයකි. මල් ගන්නා වඩාගෙන කඩය තුලට ගෙන නොගියොත් පුදුමය. එතැනිම මගේ ශ්‍රද්ධාව හීන වන්නට පටන් ගනී. හිතුවක්කාර කමින් මම කොනේම ඇති කඩය තෙක්ම ගමන් ගනිමි. වඩාත්ම අහිංසක මුහුණක් ඇති , මට මල් ගන්නැයි බල නොකල කඩයට ඇතුලු වී මල් ඉල්ලමි. හිතවන්ත සහ ඉවසිලිවන්ත මහත්මයා එහි ඇති වට්ටියකටම මල් වට්ටිය හදා දී , 'එනකොට පුලුවනි නම් වට්ටිය ගෙනත් දෙන්න මිස්' කියා කරුණාවෙන් කී හෙයින්ම හීන වී ගිය ශ්‍රද්ධාව යලිත් ටිකක් වැඩී ආවේය.
සෙරෙප්පු වගේ දේවල් අමතක වීමේ ලෙඩය තදින්ම ඇති හෙයින් මම සෙරෙප්පු දෙක ඉටි කොළයක ලාගෙන බෑගයෙහිම රුවා ගන්නේ තාර පාරේ සිටය. ඒ මගේ පහසුවටය. දෑතට ගත් මල් වට්ටියට දෑන් පිට රැඳි බෑගය නිසා පහසුය. මම මාලිගාවේ දොරටුව පෙනි පෙනී දිගු කොරිඩෝරයේ යලිත් දුරක් ගමන් ගන්නේ දෙවන මුර කුටිය මුණ ගැසෙන තුරුය. දෙවන මුර කුටියෙන් අණක් නැගෙයි. සෙරෙප්පු කවුන්ටරයෙන් තියල යන්න. එතැනත් බල කිරීමකි. මම යලිත් ආ මහ දුර ගෙවාගෙන කවුන්ටරයට විත් සෙරෙප්පු තබා ආපසු යමි.
මාලිගාවට ආයේ වැරදි වෙලාවකය. සෙනග හෝ ගාලාය. කුමක් කරම්ද. ඉඳහිට ලැබෙන නිවාඩුව නෙව! මම සෙනග පීරමින් පරණ මාලිගාවේ සඳලුතලයට ඇදෙමි. එහි දෙගුණයක් සෙනගය. ඒ මදිවාට මහ විසාල රූපවාහිනි දෙකක් මල් ආසනයදෙපසින් එල්ලෙයි. එහි ඉරිදා පොළ තරම්ම කලබලයකි. සෙනගක් එහි නතර වී ටීවී එකෙන් පෙරහැර බලති. ඉතිරි සෙනග , නතර වී සිටින සෙනගත් තල්ලු කරගෙන ඇඹුල් වූ මුහුණින් මල් අසුන වෙත ලඟා වන්නට පොර කති. මමද ඒ ගොඩෙහි ගසාගෙන යමින් සිටියෙමි. අවසානයේ මල් ආසනය වෙත ලඟා වී මල් එක එක පුදා කොනකින් අපහසුවෙන් වාඩි ගතිමි.
දෙනෙත් පියාගෙන තෙරුවන් සිහි කළෙමි. මගේ සිතුවිල්ල මටවත් නෑසෙන තරමට කචබචය වැඩිවී තිබේ. මට අපහසුවක් දැනෙයි. හැකි ඉක්මනින් මා එතැනින් එලියට යමි. සෙරෙප්පු කවුන්ටරයට ලං වන විට එතන අවනඩුවකි. විදේශික කතුන් කිහිප දෙනෙකු මුහුණ අඳුරු කරගෙනය. 'අපි තණකොල ගොඩේ තියල ගිය සෙරෙප්පු නැතිවෙලා . ඒවා මෙහෙ තියෙයි කිව්වා.. '
ඔවුන්ගේ කතාව අසන්නට සිටියා නම් දලඳා හාමුදුරුවන් වැඩ වසන , කලකට ඉහත ඉතා මනරම් සිත නිවන තවන ස්ථානයක් වූ මේ පූජනීය භූමිය මට එපාම එපා වන්නට ඉඩ තිබුනි. ඒ නිසා මම හැකි ඉක්මනින් එතැනින් ඉවත් වීමි. මාලිගාව මේ තරම් මුදලට යට වූ , වාණිජමය තිප්පලක් බවට පත් කිරීම බුදුන් වහන්සේට කරන කිනම් වර්ගයේ අපහාසයක්දැයි මට නොතේරෙයි. සමහර විට මට පේන හැටි වැරදි වෙන්නට පුලුවන.
දෙවසරකට පෙර මම හිඳ සිට බ්ලොග් පෝස්ට් එකක් ලියූ අයිස්කිරිම් පිලිකන්නේ එතැනම හිඳගෙන අදත් කෝනෙටෝවක් ලෑටි ගාමින් සිටිමි. එදාත් මෙදාත් අතර මහ වෙනසක් නැතැයි කියන්නාක් මෙන් මා ඉඳගෙන මොහොතක් ගත වෙත්ම ඉතා තරුණ යුවලක් මා අසලින්ම වාඩි වෙති. අද තරුණිය ඇපල් සෝඩා එකක් බොන අතරතුර කොල්ලා උඩ එල්ලා ඇති මහ රූපවාහිනිය දෙස කට ඇරගෙන බලා සිටියි. ඒ නම් පෙර වසරට වඩා වෙනසකි. පෙර මෙන් නිහඬ තැනක් නොවූ එය දැන් විසාල ප්‍රචාරණ රූපවාහිනි දෙකකට වාසභවනය වී තිබේ. එහි කේ සී සී අධිපතිතුමන්ගේ සිරිපා පිලිසකර වැඩසටහනේ විශේෂ අවස්ථා නොනැවතී ධාවනය වෙයි.
ඉස්සර මෙන් අයිස්කිරිමක් ලෑටි ගාමින් නිදහසේ ඉන්නට එතන අවකාශයක් නැත්තේය. ජීවිතය මොන තරම් කාර්ය බහුලද කියා මට සිතෙයි. රාජකාරිය දේවකාරිය පමණක් නොව ශරීරයේ රෝම කූපයක් දක්වාම දිව යන කංකාරියක්ද වී තිබේ. ජීවත්ව සිටින්නේ රස්සාව කිරීමටදැයි සිතෙයි. පවුල යන්න නාමික කාරණාවක් වී තිබේ. ජීවිතයේ බොහෝ වැදගත් තීරණ මග හරිමින් ජීවත් වීම යනු වෘත්තිය සාර්ථකත්වය ලඟා කර ගැනීම යයි සිතන යාන්ත්‍රික ගැහැනියක වීමට මට කිසිදු ආශාවක් නැත්තේය. එහෙත් සිදුව ඇත්තේ එය නොවේද?
මම වික්ෂිප්තව සිටිමි. කාලයට පින් සිදු වන්නට ජීවිතයේ සොඳුරු බොහෝ දේ අහිමිව තිබේ. මිතුරන්ට මගේ කාර්යබහුලත්වයටත් වඩා මගේ කොයි වෙලේත් අසහනයෙන් පසුවන ගතිගුණය වදයක් වීම අරුමයක් නොවේ. සතුටෙන් සිටීමට නොදන්නා , අනුන් අගැයීමට නොදන්න මිනිසුන් අතරෙහි වාණිජ අරමුණු පමණක් හිස දිවෙන නිසාවෙන් ආතුරව මෙසේ ලියමි. අරුමයක් නොවේ ... ලෝකයම වාණිජ අලෙවි පොලක් මිස අනෙකක් නොවේ.
මේ ගැනයි මේ ලිපිය..
ජීවිතේ ගැන කියපු කතා
Tuesday, February 11, 2014
[301] රාත්‍රිය
.
ලොවම නිදන අමාවක අඳුරෙහි
නුඹටත් හොරෙන්
නුඹ වෙලාගෙන,
මොහොතක්ම පමණක් වැලඳ ගන්නට
රාත්‍රියක් වී මම එමි..
සොඳුර ,
පිලිගන්න ..
අවසන් වැලඳ ගැන්ම ...
නිදා සිටි කොඳ මල ඇහැරී ඇති
ඔබ නිදිදැයි හොරෙන් විමසා බලනු ඇති
මගේ සීතල හඳුනා ගෙන ඇහැරෙන්න..
නොදුටුවා සේ දෑස් පියා පසු වන්න...
ඉච්චාකාර සඳ තුරු මුදුනෙන් එබී
තුරු සෙවණ අපෙන් හිස් යැයි සැනසෙනු ඇති
තුරු හිස නොපිපි මල් ඇතිදැයි බලා එන්න
අවසන් සිනහවෙන් රාත්‍රියට එය පවසන්න ...
නුඹටත් හොරෙන්
නුඹ වෙලාගෙන,
මොහොතක්ම පමණක් වැලඳ ගන්නට
රාත්‍රියක් වී මම එමි..
සොඳුර ,
පිලිගන්න ..
අවසන් වැලඳ ගැන්ම ...
නිදා සිටි කොඳ මල ඇහැරී ඇති
ඔබ නිදිදැයි හොරෙන් විමසා බලනු ඇති
මගේ සීතල හඳුනා ගෙන ඇහැරෙන්න..
නොදුටුවා සේ දෑස් පියා පසු වන්න...
ඉච්චාකාර සඳ තුරු මුදුනෙන් එබී
තුරු සෙවණ අපෙන් හිස් යැයි සැනසෙනු ඇති
තුරු හිස නොපිපි මල් ඇතිදැයි බලා එන්න
අවසන් සිනහවෙන් රාත්‍රියට එය පවසන්න ...
මේ ගැනයි මේ ලිපිය..
කවි..හෙවත් මගේ ආත්මය
Monday, February 03, 2014
[300] වන මැදින් සිරිපා පිණිපා කොට..
බස් එකේ විනීතව නුවර පැමිණෙන සෙනග |
වැව රවුමේ .. රෑ සංචාරේ |
ඇතමුන්ගේ විනීත චායාරූප |
හැටන් දුම් රිය ස්ථානය |
හැටන් දුම් රිය සිථානයේ බසයේ සිට |
බසයේ කල් මැරීම |
මම දන්නෙ නැහැ. එන විදියකට එනවලා . ගෙදර නැවතියෑකි. සෝරෝට මගෙන් දැනගන්ට ලැබෙන්නේ එච්චරකි.
බස් එක පිටත් වෙන්නේ 10.30 ලු ???? |
වැඩ ඇරී සඳුදා ගෙදර එන මට සිරිපා ගමනට අත්‍යවශ්‍ය ටෙනී සපත්තුව ඇත්තේ ගෙදර නොව ඔපිසියේ බව සිහි වුනාය. තිරෝද රියක නැගී ඔපිසියට රෑ 9ට සැපත්ව මුරකරු අන්දමන්ද කරවන මා , ඔපිසිය ඇරවා , සපත්තුව ගනිමි. එයත් ගෙන 9ට සැපත්ව සිටින නඩය පිලිගන්ට නුවර යමි.
පොංගල් බත් ලැබුනි |
සිරිපා වනජීවී කාර්යාලෙන් වන ගමන ඇරඹෙයි |
නඩේ ගුරාගේ අණ පිලිපදිමින්, ... |
රාජමලෙයි කෝවිල සහ ගම්මානය |
මුස්ලිම් හෝටලයෙන් කා බී , වීදි බට අප , ෆුඩ් සිටියට ගොඩ වැදී අයිස්ක්‍රිම් කීපයකින් බඩේ අඩු තැන් පුරවා ගනිමු. වැවරවුමේ තැබිලි එලි පිටවෙන ලාම්පුවට මත් වන ඉනෝශා ට urban chik නම තබන්නේ සිහිනයාය .
යහමින් ගම්මුන් අපට සංග්‍රහ කලෝය |
ගම් වැසියන්ගේ සොඳුරු සිනහව සමග |
යටිකූරියා මල් - පනුවාගේ සහ රැන්ඩිගේ සොයා ගැනීමකි |
සමනල තැන්නේ ගිමන් හරිමින් |
මරේ වතුයාය ඔස්සේ සොඳුරු දසුන් |
සමනල තැන්නේදී පෙනෙන සිරිපා කඳු මුදුන |
සමනල තැන්න |
වන මං ඔස්සේ |
කූඩැල්ලන් ඇසුරේ |
ඉඳිකටු පාන |
රෑ එකොළහ පමණ වෙනතුරු සීතලේ ගැහෙමින් ගුලුවී නිදියන අපට ඉර සේවය හෙට බලාපොරොත්තු විය නොහැකි බව ශබ්ද විකාශනයෙන් ඇසෙයි. අදහිරියට පත් වන අප යලිත් පහළට කරුණා කිරීමට තීරණය කලෙමු.
උඩ මලුව - මහ සෙනග |
ගුලිවී නිදන නඩය |
සීතල උල්පත් වතුර |
යන යන තැන නිදාගත් පනූ |
අපිත් නිදා ගත්තෙ නැතුවා නොවෙයි |
ශූටින් වලට පෙර උපදෙස් - සමනල තැන්න |
සොඳුරු දසුන් |
මරේ කවද්ද තේ වත්තක් ගත්තේ ??? :) |
සොඳුරු දසුන් |
මෙවර රූගත කිරීමේ විඩියෝව එන අවුරුද්දේ බලාපොරොත්තු වන්න. :)
මේ ගැනයි මේ ලිපිය..
ජීවිතේ ගැන කියපු කතා,
සංචාරේ
Subscribe to:
Posts (Atom)
ලේසියෙන් පිටු පනින්න
<--http://www.bloggertricksandtoolz.com/ -->