Friday, November 29, 2013

[298] මලවුන්ගේ නොවැම්බරයේ යලිත් ලියමි..


2013 වසර සීග්‍රයෙන් අවසාන වේගෙන එයි... ජීවිතයේ සිව් වන දශකය ඇරඹීමට දින කිහිපයක් ඉතිරිව තිබෙයි... ඒ කිසිවක් මතක් නොවෙන්නා සේ මේ දිනවල මඳ විවේකයක් අතරින් පතර සොයා ගනිමින්, පොත් ගණනාවක් කියවමින් සිටින්නෙමි.... 

අතීතය යනු යලි යලිත් රීවයින්ඩ් වී වාදනය වන එක වගේ ටේප් පටියක් වැනි යයි විටෙක සිතෙයි.... එක් එක් වසරෙහි නොවැම්බරය වෙන වෙනම මතක් කරද්දී හිතට මහා අමුතු හැඟීම් පහළ වෙයි....  අතීතයේ ඇතැම් කරුණු කාරණා පවරා දිය යුත්තේ අත් වැරදීම් ගණයටද ? කර්මයටද? අහඹු සිදුවීම් ගණයටද ? අනුන්ගේ වැරදි ගණයටද? හිත පඹ ගාලක පැටලී ඉන් නිදහස් නොවී එතුලම ගිලී යයි... 

මේ කොයි යම් අයුරෙන් සිදු වූවත් ඒ දෙස බලා කොතරම් විශ්ලේෂණය කලද ඇතැම් දේ බොහෝ ගැඹුරු බවත් ඇතැම් දෑ කිමිදීමට තරම් සොයා බැලීමට ගොස් අවතැන් නොවිය යුතු බවත් ගැහැණු ඉව පවසා සිටියි...  

ආතතියකට වඩා තාවකාලික වෙහෙසක් දැනෙයි. ඒ වෙහෙසට එක් ප්‍රතිකර්මයක් වශයෙන් අතරින් පතර ලැබූ විවේකය සිතට සහනයක් එක් කළේය. දැන් මගේ සිතට එක් නිදහසට කරුණක් කිව නොහැක්කේය. 'විවේකය නැහැ' ! යන්න යලිත් නොපැවසිය හැකිය. විවේකයෙහි තිබෙන සුවය දැන් මට තිබේ. 

ලෝකයට දෙස් දෙවොල් තැබීමෙන් බොහෝ දේ පිලිබඳ පිලිතුරු හමු නොවෙයි. යථාර්තයටම මුහුණ දිය යුතුම වෙයි. යථාර්තය නිරන්තර මා අසලම ගැවසෙයි. ඒ යථාර්තය තුල අවලාද නොනගා වර්තමානය වැලඳ ගැනීමෙන් එක්තරා සහනයක් තිබෙයි...  

බලාපොරොත්තු අරමුණු සියල්ල එහෙමම තිබෙයි. එහෙත් දැන් මනසින් මා වඩාත් සවිමත්ව ඉදිරියෙන් සිටිමින් ජීවිතයට මුහුණ දෙන බවක් දැනෙයි. පොත් පත් මනස අවුල් කරනු වෙනුවට මනසෙහි ඇති නොහැඳිනූ සියුම් තැන් හදවතට සන් කරයි. එයින් ඇති වන තිගැස්ම මිනිස් සංහතියේම ජීවන ගැස්මෙහි ඇති පොදු බව සහ විඳීමේ හුරු බව සැනසිල්ලක්ම වෙයි.. මේ කතා කාරයින්ට මෙසේ ඒ හැඟුම් ලියා ගන්නට කොතරම් නිරවුල් මනසක් සහ නිරීක්ෂණ බුද්ධියක් තිබිය යුතුදැයි මම විස්මයෙන් ගල් ගැසෙමි. 

කවදා හෝ පොතක් ලියමැයි සිතෙහි ඇති වන සිතිවිලි බීජය යලිත් කල් දමන්නට සිතෙයි. මට මෙතරම් සියුම් හඳුනා ගැනීමේ ඥාණයක් , ඊටත් වඩා එය සුරුවම් වදන් කිරීමේ බුහුටි බවක් තවමත් නිසි තැනට මුහුකුරා තිබේදැයි සිතට සැක මතු වෙයි. එය රස පොත් ලියන්නන් කෙරෙහි ඇති වන ඉරිසියාවක් නොව මා කොතෙක් දුර තව යා යුතුදැයි ගැම්ම ගැනීමට රුකුලක් බවම කිව මනාය. 


Monday, November 25, 2013

[297] සැප්තැම්බරයේ ආ වසන්තය!

මෙවර පොත් ප්රදර්ශනයෙන් මිලදී ගත් පොත් ගොන්න කුමන හෝ හේතුවක් නිසා ශෝක ජනක අයුරෙන් ඉක්මනට ඉවර වීගෙන යයි.

කලක් තිස්සේ ආශාවෙන් සොයමින් සිටි 'පින් ලමයා' , ' දිරි දැරියෝ', 'මල් සමනලියෝ' පොත් තුන විසිදුනු පොත් හලේ දුටු විගස ඉවක් බවක් නැතිව කඩාගෙන ගොස් ඩැහැ ගත්තා මතකය... ගෙදර ගෙනා විගස ඒ වේගයෙන්ම අවුරුදු ගානක් තිස්සේ ඒ පොත් තුන කියවීමට තිබූ නොතිත් ආශාව නිසාම එක හුස්මට කියවා ඉවර කලෙමි.

'කටු කොහිල කොටුව' මා කියවා තිබුනද නැවත වතාවක් මා එය මිලට ගත්තේ, ජයසේන ජයකොඩි නම් විද්හ්වතාණන්ගේ සියලු පොත් වල එකතුවක් මා හෙමි හෙමින් තනාගෙන යන බැවිනි. ජයසේන ජයකොඩි ගේ පොතක ඇසුර කිසිදා වරක් කියැවීමෙන් අහවර නොවේ...පිච්චමල සිට තෙර තරණය දක්වා සියලු පොත් මා යලි යලිත් කියැවූ වාර ගණන මටද මතක නැත.

සතුට නම් ජයසේන ජයකොඩිගේ පොත් වලින් එක දෙකක් හැරුනු විට අන් සියලු පොත් මා සතුව පැවතීමයි.

වරක් දුකා ලියා තිබූ බ්ලොග් ලිපියක් නිසාවෙන් මොස්කව් ප්රගති ප්රකාශනයන්හි දුටු 'අඳ වාදකයා' මිලට ගතිමි. පොතෙන් භාගයක් කියවද්දී යම් හේතුවක් නිසා පොත මහත්සේ පිය වූයේ නැත.එනිසා එය අඩක් කියැවූ විලසින්ම ඉතිරිව තිබෙයි.

මීලඟට මා අතට ගත්තේ 'කන්දේ වීදිය' පොතයි. වචනයේ පරිසමාප්තාර්තයෙන්ම කියැවීමෙන් පූර්ණ තෘප්තියක් ලද හෙයින්ම දිනක් ගතවන්නටත් ප්රතම මේ රසවත් පොත කියැවීමී. මහත්සේ වින්දෙමි.

කන්දේ වීදියෙන් පසුව සැබෑ ලෙසම පිබිද ආ කියැවීමේ ආශාව මුදුන් පමුණුවන්නට 'ලොවීනා'ට හැකි වූයේය. පොතෙහි සරු බසද, කතාවේ සොඳුරු චිත්ත රූප මවන සුලු ගලා යාමද සරල කියැවීමේ රසයට ආශා කරන මට එකසේ පෑහුනේය.

'බූරු පොරය' නම් රසවත් යොවුන් නවකතාව මා මුල් වරට කියවන්නේ ඉතා කුඩා කාලයේය. කවුරුන් විසින් හෝ ගෙන ගොස් යලිත් නොදීම නිසාවෙන් ඒ පොත මට අහිමි වූයේද ඒ කාලයේමය. වාසනාවට බූරු පොරය පොර කන සෙනග අස්සෙන් පීරා ගොස් මිලට ගන්නට මට හැකි වූයේය. එයද මුලින්මකියැවූ පොත් ගොන්නට අසු වෙයි.

සරල රසවින්දනය උදෙසා චේතන් භගත්ගේපොත් වලට මා කොතරම් ඇබ්බැහි වීද යත් මෙවරද චේතන්ගේ පොත පිටවන තුරු මා බලා සිටි බව දිලිප ජයකොඩිද දන්නේය. රෑ දෙකක් නිදි වරාගෙන රස වෑහෙන 'දෙන්නා දෙපැත්තේ ආරති මැද්දේ ' කියැවීමට කිසිම අපහසුවක් නොවූයේය. මන්ද එය එතරම්ම රසවත් බැවිනි.

'සෙංකොට්ටං' අතට එන්නේ ඊලඟටය. ලොවීනා තරම්ම ආශාවෙන් මහත් රුචියෙන් යුතුව කියැවූ තවත් පොතක් වේ නම් ඒ සෙංකොට්ටං ය.

'ප්රේමකීර්තිනී' මිලට ගත්තේම ප්රේමකීර්තිද අල්විස් නම් විද්වතානන්ගේ ඇඹේණියගේ ලිවීමද එතරම්ම උසස් යැයි මතයකිනි.එහෙන් මෙහෙන් ඇහිලුන කතා කිහිපයක කොහෙත්ම ගලා යාමක් නොමැති හෙයින් එයද මැදදී කියැවීම නීරස වූයේය.

'කමෝන් පැඩිවැක්' සොරා ගැනීමට ගොස් වියර්ත වූ පොතය.සැබවින්ම අත් වැරදීමකින් මුදල් නොගෙවා පිටට ගේන්නට ගොස් මල හත්තිලව්වක් කලබගෑනියක් වෙන්නට පෙර නැවත කඩය තුලට දිව ගොස් ලැජ්ජාවට මිලට ගන්නට වූ පොතය. මතකය සොඳුරුය. ඇත්තම කියනවා නම් ඉස්සෙල්ලාම කියවන්නට තුරුලු කොට ගත් පොත එයයි. ජැක් ලන්ඩන්ගේ 'වන පෙත අඬ ගසයි' නම් වෙසෙස් කෘතියේ අසාර්ථක කොපි කැට් කතාවක් බව දැක කිපී පොත අහක දැම්මෙමි. ඒත් ඒ පොත ඇසුරෙහි මතකය සොඳුරුය, මතක සැබෑ වන තුරු කපක් කලක් බලා සිටිය හැකිය. එතෙක් ඉවසා හිඳින්නට අවැසි සංයමය සපයා දෙන්නටදෝ 'දඟකාර මහල්ලා' , 'නොපෙනෙන ලන්දූ' ,'සාගර ජලය මදි හැඬුවා' , 'සාංකාව' , 'හිම කබාය' සහ මාටින් වික්රමසිංහගේ කෙටි කතා එකතුවද සැදී පැහැදී සිටී.

පොත් වසන්තය එතෙකින් ඉවර නොවෙයි. උස්සාගෙන ඒමේ මහත් අපහසුව නිසාවෙන් 'තාරා මගේ දෙව්දුව'ද,'මරණයේ සෙවණැල්ල යට නිදා සිටි පූස් පැටියා'ද , 'මාංචු'ද තවත් පොත් පහක්ද අක්කාගේ නිවසේ මෙතෙක් දිනක් එකෙල මෙකෙල වෙවී වැඩම කොට සිට පාර්සල් තැපෑල ඔස්සේ ඊයේ දවසේ මහනුවර තැපැල් හලට සැපත්ව, මා එන තුරු මග බලා සිටින බව පියුම් මාමාගෙන් දැන ගන්නට ලැබිණි.

ඔබ වසන්තය... පොත් සහ ජීවිතය බැඳී ඇති තරම ! .








මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->