Tuesday, July 23, 2013

[293] සාප්පු වන්දනාවේ ආදීනව


සාප්පු යාම වචනයේ හැටියට ගෑනුන්ට නම් නොකර බැරිම වන්දනාවකි. ඒ කුලකයේ මාත් සිටින නිසා , ඒ ගැන ලියන්නට අමුතු දේවල් නැති වේවිද?

කවුරුනුත් වාගේ මාත්  සාප්පු යන්නට පටන් ගත්තේ කුඩා කාලයේම සිටය. එහෙයින් මගේ සාප්පු ක්‍රීඩාවේ වේදනාව මුලදී දෙමව්පියන්ටත් . ලොකු මහත් වූ විට අක්කාටත් උරුම වූයේය. එහෙත් කල් යාමේදි මට උවමනා සාප්පු යාමේ කාරියට ගැලපෙන්නේ තනිව යාම බව මට පසක් වූයේය.

සාප්පු යාම සහ බඩු ගැනීම යනු මගේ ජීවිතයේ සහමුලින්ම වෙනස් කාරියන් දෙකකි. බඩු ගැනීමට ලිස්ට් එකක් සහ යන එන තැන් පිලිබඳ මනෝ සටහනක් තිබෙයි. ඊට පැය භාගයකට වඩා කිසිසේත්ම ගත නොවෙයි. බඩු ටික රියක පටවා ගෙන නිවසට හනික ඒම මිස බඩු අතෙන් කරෙන් එල්ලාගෙන සාප්පු යාම කිසිසේත්ම සිදු නොවෙයි. සාප්පු යාම එක්තරා වතාවතක් හෝ කලකට පසු එලඹෙන නිත්‍ය වන්දනාවක් වැනිය. අතෙහි  ගමන් මල්ල මිස බර බඩු කිසිවක්ම නැතිව කිසිවෙකුගේ ආණ්ඩු මට්‍ටුවකින් තොරව පැය ගණන් ඉබාගාතේ ඇවිදීමේ රසය දන්නේ ඊට ආශා කරන්නෙකුම පමණකි.


මා සාප්පු යන්නේ තනිවමය. ඒ මගේ සාප්පු ගමන් බිමන් වල කිසිදු චාරයක් හෝ විනයක් නැති නිසාය. ඇතැම් විට එකම සාප්පුවකට වරක් දෙවරක් හෝ තෙවරක් මම ගොඩවන්නෙමි. සාප්පුවෙහි සේවක සේවිකාවන්ගේද ඇසට ලක් වන තරම් වේලා එහි ගත කරන්නෙමි. මා හොර ගල් අහුලන්න්නේ යම් කිසිවක් සොරා ගැනීමට දැයි සැකයට හසු වන තරම් වේලාවක් ඇතැම් දිනවල එකම තැනක  එහි ගත වී තිබෙයි. ඇතැම් විට රාක්ක ගණනාවක් අවුල් කොට කිසිත් සිදු නොවූ අයුරෙන් මම කිසිවක්මත් නොගෙන පිටවී එමි. ඒ මගේ සාප්පු යාමේ ආස්වාදයෙහි තවත් කොටසකි.

මා සාප්පු ගමනක් යනවා නම් නොවරදින ආයතන තුනකි. පොත් හලත් , මට සුපුරුදු ඇඳුම් සාප්පු කිහිපයකුත් , සුපිරි වෙලඳ සැලකුත්ය. මේ හැම එකකම දකින බඩු භාණ්ඩ එකක් එකක් වශයෙන් අතගා බලමින් මිල ගණන් සසඳමින් ගත කරන හෝරා කිහිපයෙහි අවසන කොහේ හෝ අස්ස්සක මුල්ලක සැඟවුනු අපූරු අරුමෝසම් අයිටමයක් බොහෝ වෙලාවන්හිදී හමුවෙයි. හදිසියේ බඩු ගන්නා අයට එවන් දේ බොහෝ විට හමු නොවෙයි. ඇඳුම් වර්ග ඇඟලා බලමින් මා කොතරම් මහත් හෝ කෙට්‍ටු වී ඇත්දැයි සොයා බැලීමද තවත් සාප්පු ක්‍රීඩාවකි.

සාප්පු යාමෙන් පොකැට්‍ටුව හිස් වීම ඇත්තකි. එහෙත් මන්දගාමී වූ සිත එක්තරා ආස්වාදයකින් පිරී යාම නිසා සාප්පු යාම මට මහත් වූ ඵල ඇති ක්‍රියාවකි. ඇතැම් විටක සමීපතමයකු සමග රණ්ඩුවක් වූවිට මගේ ස්ට්‍රෙස් රිලීස් වන්නේ සාප්පු යාමෙනි. කිසිසේත් නොසිතූ විරූ තරම් මුදලක් එකවර වියදම් කිරීමෙනි. කිසිදා සැලූන් ගොස් තවෙකෙකුට මූන අතගාන්නට දීගෙන නිදි කිරා වැටෙන එක පෙන්නන්නට බැරි මම එදාට සැලුන් එකටත් යමි.

මේ සාප්පු යාමේ බොහෝ අතුරු ප්‍රතිපල තිබේ. පොත් වලට තියෙන නිසග ආශාවට පින් සිදු වන්නට පොත් හලකට ගිය මොහොතේ සිට මට ඒ කඩයම මිලදී ගන්නට සිතෙයි. ඉතා අපහසුවෙන් කපා කොටා බලා ඇතැම් විට පරිච්ඡේදයක් කියවා ‍තෝරා ගන්නා පොත් සෑහෙන ගණනකට පොකැට්‍ටුව හිස් කල හැකි වෙයි. ඒ පොත් ටිකත් අරගෙන මුල්ලක ඇති තේ පැන් හලට ගොඩවී තේ බොමින් තව වරුවක් මිලට ගත් පොත් බැලීමත් ඒ තරම්ම ආස්වාදජනකය. ගෙදර ගෙන ගොස් කාමරයේදී ඇර බලද්දී පොතේ උණුසුම දියව ගොසිනි.


මෙසේ මෙලෝ සිහියක් නැතිව සාප්පු යන මට අයිස්ක්‍රීම් පිලිකන්න අමතක කළ නොහැක්කේ ඊට ආසන්නයෙන් අයිස්ක්‍රීම් තිබෙන නිසාය ! මේ නුදුරු වැහි දිනෙක හදිසි බැංකු කටයුත්තක් වෙනුවෙන් කේසිසී පරිශ්‍රයට ගොඩ වැදුනු මම පඩිපෙල ඉස්මත්තෙහි වයලින් වයන සුරුබුහුටි කොලුවෙක් දු‍ටුවෙමි. සංගීතයෙහි කෙළ පැමිණෙන්නට නොහැකි වුවත් වයලිනයක් බටනලාවක් ඇහෙද්දී දැනෙන සුපුරුදු හෘද අනුනාදයෙන් මට ආ කාරිය අමතක වූයේය ! මගේ හිතවතාට ඒකෙහි වගක් නැත. බැංකුවට ආවා නම් බැංකුව ! සුලඟේ ගසාගෙන යන පරඬැල් කෑල්ලක් මෙන් මම තරහින් පුපුරමින් , ඔහු පසුපස්සේ ගාටමින් අකැමැත්තෙන් එතැනින් ඉවත් වීමි. ඒ බැංකු කටයුත්ත ඉ‍ටු කිරීම උදෙසාය. 

ඒ කාරිය නිමා වූ විගස පැමිණිලි කිරීමේ , ආඩපාලි කීමේ , පුප්පනු ලැබීමේ කාලය එලැඹින ! අහෝ ඒ උත්තමයාට සිදුවූයේ මා ‍රැගෙන යලිත් වයලින් වැයෙන තැනෙන මා ‍රැගෙන යන්නටය. මට ඇති වන තෙක් වයලින් අහන්නට දෙන්නටය !

මේ මාගේ සාප්පු චාරිකාවන්ගේ ආදීනව එක දෙකක් පමණකි.

ඇති වන තෙක් සාප්පු යාමත් පාරෙහි ඇවිදීමත් හැකි තාක් දුර පයින් තනිවම යාමත් හරිම ආස්වාදජනක කටයුත්තකි. මිලට ගන්නා බඩු භාණ්ඩ වලට වඩා සිතට ඇති වන පිරිපුන් ස්වභාවය තව දින ගණනාවක්ම මහත් වූ ජවයකින් ගෙවා ගනු වස්  මේ අරුමෝසම් සාප්පු චාරිකාව මහත් ඵල උදා කරයි. 

නිවසින් කාර්යාලයත් කාර්යාලයෙන් නිවසටත් තෙරෝද රියකින් ගමන් ගැනීමේ අනි‍ටු විපාක මට දැන් පෙනෙයි. ලෝකයෙන් හරි අඩක් නොව සියයට අනූ නවයක්ම දෑස් මානයෙන් වසං වී යාමෙන් ලිවීමට බ්ලොග් පෝස්ට් සහ සිතුවිලි කෙසේ නම් ඇති වේවිද? 

මා රහස සොයා ගතිමි. වරද ඇත්තේ කම්මැලි වූ මාගේ ගතෙහි මිස සිතට හෝ ලිවීමේ මතකයට හෝ හැකියාවට හෝ සිදුවී ඇති ආපදාවක් නොමැත... 


15 comments:

  1. මගේ කෙල්ලන් දෙදෙනා සමග මා සාප්පු නොයන්නේ ඔය නිසාය. උන් දෙන්නා අම්මා සමග ඇති තරම් සාප්පු යයි.
    කතාව හිතට වැදුණා.

    ReplyDelete
  2. ම‍ටත් පේන්න බැරි දෙයක් තමයි ඔය සාප්පු වන්දනාව :D

    ReplyDelete
  3. //ලෝකයෙන් හරි අඩක් නොව සියයට අනූ නවයක්ම දෑස් මානයෙන් වසං වී යාමෙන් ලිවීමට බ්ලොග් පෝස්ට් සහ සිතුවිලි කෙසේ නම් ඇති වේවිද? //

    මේක නං අවුරුදු 3ක් තිස්සේ ඇති වෙන්න අත්දකිනවා.... හැබැයි දැන් නං වැරදිලා වත් සාප්පු යන්න හිතෙන්නේ නෑ.. දවල්ට අව්වෙ ඇවිදින්න බෑ.... ගෙදර එනකොට ඔලුව පුපුරන ගානට ඔලුව කැක්කුම... කොහොමත් සාප්පු යෑම මගේ විනෝදංශයක් නෙවෙයි... හැබැයි පොත් සාප්පු නං ඕකට අදාල නෑ.. එතකොට ප්‍රින්ටිං පේපර්ස් ජාති එහෙම තියෙන සාප්පු... හි හි... අනිත් ඒවා නං ගියා ගත්තා ආවා තියරිය... තාමත් කම්මැලි නැතුව ඇවිදින්න හිතෙන්නේ පොත් ප්‍රදර්ශනේට ගියාම විතරයි... ඒකටත් හිතේ හැටියට වියදම් කරන්න සල්ලි නැත්තම් නොයා ඉන්නවා.. නැත්තං දුකයි....

    ReplyDelete
  4. මට එක කඩයකට විතරක් ගිහින් බඩුවක් ගන්න හිතෙන්නේ නෑ. දෙක තුනකටම ගිහින් හෝ වෙබ් එකෙන් හෝ සොයා බලන්න ඕනෑමයි!

    හැබැයි මේ ලඟදී උපන් දින තෑග්ගක් නම් ගියා ගත්තා. මොකද විනාඩි කීපයකකි තිබුණේ, නැතිනම් වැඩේ ගස්!

    ReplyDelete
  5. මගේ කාලය ගත වෙන්නේ පොත් සහ DVD කඩ වල තමයි. හැබැ‍යි ගන්නකොට වැඩි හරියක් ගන්නේ වෙබ් එකෙන්.

    ReplyDelete
  6. සාප්පු යාමයි බඩු ගැනීමයි කිසිම සම්බන්ධයක් නැති දෙකක් කියලා ඕන්න අද තමයි දැනගත්තේ. මරු පෝස්ට් එක.

    ReplyDelete
  7. සාප්පු සවාරිය කොහොම උනත්, සිත්ගන්නා වයලින් වාදනයට ඔබේ හිත ඇදි ගිය මොහොත හරිම කෙටියෙන් සංවේදි ලෙස විවර කරලා..ඇත්තෙටම මේ පොස්ට්ටුවේ මගෙ හිත ඇදුනෙ එතැන!
    මේ නුදුරු වැහි දිනෙක හදිසි බැංකු කටයුත්තක් වෙනුවෙන් කේසිසී පරිශ්‍රයට ගොඩ වැදුනු මම පඩිපෙල ඉස්මත්තෙහි වයලින් වයන සුරුබුහුටි කොලුවෙක් දු‍ටුවෙමි. සංගීතයෙහි කෙළ පැමිණෙන්නට නොහැකි වුවත් වයලිනයක් බටනලාවක් ඇහෙද්දී දැනෙන සුපුරුදු හෘද අනුනාදයෙන් මට ආ කාරිය අමතක වූයේය!

    ReplyDelete
  8. අයි ශොපින් නැතහොත් වින්ඩෝ ශොපින් අපේ කාලයේ ජනප්‍රි විලාසිතාවකි..
    මානසික ආතතිය සම්බන්ධ නැතත් මමත් මෙවන් සාප්පු සවාරි ගොස් හූල්ලන්නෙක්මි..
    ඒ වෙන මොනවාවටවත් නොව ලස්සන ඇඳුම් කැඩුම් වල ලොකු සයිස් නැති බැවිනි..

    ReplyDelete
  9. මම කරන්නෙ අපෙ උන්නැහැ අර මොකක්ද බං අර සයිනිං ක්ලබ් ද මොකක්ද කියල තියෙන්නෙ කොටුගොඩැල්ල වීදියෙ ..ආන්න එකට අතඇරල එතනිම්ම පාර පනිනව විජිත යාපා එකට...

    සමහරවෙලාවට උන්දැ අතිං කටිං එක්කගෙන ඇවිල්ල වීදුරුවෙං එබිල බලනකනුත් මම දණ නවාගෙන පොතක් බලනව. විජිත යාපා එකේ නෑනෙ බං ඉඳගන්ට තැනක් වත්. බොහොම සුට්ටි කඩේ නෙව.

    හැබැයි උඹ වගෙ පොත් සාප්පුයි රෙදි සාප්පුයි දෙකටම එක වගෙ පේම කරන පරාණයක් හම්බ උනානං මම ඉවරයි..හෙහ්, හෙහ්..

    පලි- කවුද බොල අර හිතවතා? පුප්පන්ට තරම් හිතවතෙක්ද?..හෙහ්...හෙහ්,

    ReplyDelete
  10. පලමුවෙන්ම ඔබේ ලිවීමේ රටාවට මම ඉතාමත් ප්‍රිය බව කිව යුතුයි.

    ඔබ වගේම මමත් සාප්පු යන්න ආස අතේ කිසි දෙයක් නැතිව බර අඩු කරගෙන. මොකද ආපහු එද්දි එල්ලන් එන්න ගොඩක් තියෙන නිසා.. මමත් සාප්පු යන්නෙ තනියම. ගිය සාප්පුවලට නැවත නැවත යනවා. සමහර වෙලාවට salesman ලට සැක හිතෙන තරමේ වෙලාවක් එක තැන ඉන්නවා මොකුත් ‍තෝරන්නෙ නැතුව. හරිම නිදහස් හැඟීමක් මටත් සාප්පු යන එක. ඔබට වගේ සල්ලිත් ගොඩක් වියදම් වෙනවා කාඩ් එකෙන් ගන්න නිසා. මට නම් වෙලාවකට ගෙවන්න යද්දි ඇඬෙන්න එනවා.ඔබට පොත් ගෙදර ගෙනාවම ආසව නැතිව යනව වගේ බොහෝ වෙලාවට මට ඇඳුම් ගෙනාව ම අර මුලින් තිබූ ආසාව නැතුව යනවා.

    මාත් බඩු අරගෙන තනියම කඩේකට ගිහිල්ල ටිකක් වෙලා රිලැක්ස් එකේ ඉන්නවා.
    හැබැයි මම පොත් ගන්න යන්නෙ වෙනම දවසක. මාත් පොත් ගුල්ලෙක්. පොත් ගන්න ගියොත් වෙන වැඩකට කාලයක් ඉතුරු වෙන්නෙ නෑ. දැන් නම් වැඩිය පොත් ගැනෙන්නෙ නෑ book fair එකෙන් ඇරෙන්න.
    මට ආස හිතුනා මං වගේම ඔබත් එහෙම හැසිරෙනව කියල කියෙව්වම. මොකද කලින් මම ටිකක් පසුතැවිලි වුනා මම ගොඩක් සල්ලි නාස්ති කරන කියල. මගෙ නංගිල මට එහෙම කියනව. හැබැයි දෙන්නම මම ගන්න ලස්සන සාරි ඉල්ලන් ගිහින් අඳිනව, සමහර විට මං අඳින්නත් කලින්!

    ReplyDelete
  11. මම සමහර වෙලාවට ආසයි තනියම ෂොපින් යන්න. එහෙම ගියාම හිතේ හැටියට බඩු තෝරාගෙන එනවා. බඩු කිව්වේ ඉතින් ගොඩක් වෙලාවට ඇදුම් පැළඳුම් තමා. සමහර වෙලාවට තනියම ෂොපින් ගියාම හිතෙනවා අනේ යාලුවෙක් වත් එක්කගෙන ආවනම් හොඳයි කියලා... යාලුවෙක් එක්කගෙන ෂොපින් ගියාම හිතෙනවා එයාගේ වෙලාව නාස්ති වෙන නිසා ඉක්මනට ගන්න දේවල් තෝරාගන්න ඕනේ කියලා...


    අනේ මන්දා ඒක හරිම අමුතුයි. බලාගෙන ගියාම ෂොපින් කරන වෙලාවේ අපේ හිතේ ඇති වන සිතුවිලි වලින් ඒ කාලයේ අපේ මානසික තත්වය මනින්නත් පුළුවන්.

    සමහර වෙලාවට කාත් එක්ක හරි තරෙහෙන් ෂොපින් ගියාම ඒ කඩවල් වල ඉන්න හොඳට කතා බැහැ කරන සේවකයෙක්, සේවිකාවක් හමු වුනොත් හිතට දැනෙන්නේ පුදුම සැනසිල්ලක්.

    ReplyDelete
  12. බටනලා කාරයෙක් හිටියා බොරැල්ල සබ් වේ එකේ පඩිපෙලේ.. නෝට් වරද්දල ගැහුවෙ..
    මායි රනයි පසයි ඔතනින් ගියා පහුගිය දොහක..
    ඉතිං නාලාකාරයට රනා නම් රුපියල් දහයක් දුන්නා.. මම සල්ලි දුන්නෙ නැහැ පොරගේ පොටෝ එකක් නම් ගහගත්තා..

    පොන් එකෙන් ගහපු පොටෝ එකක්.. ඒ පොටෝ එක දකින වතාවක් ගානෙ මට පස්ට දුකක් එනවා.. ගිලිවෙලා බාගෙට හිනාවෙලා බටනලාව කටේ තියං පොටෝ ්එකට ඉන්නවා..

    ReplyDelete
  13. අම්මෝ කාලෙකින් බැස්ස

    ReplyDelete
  14. සාප්පු යාමත් එක්තරා විදියක අත්දැකීම් ලබාගත හැකි ක්‍රියාවක්!

    ReplyDelete
  15. පොත් ගැන නම් කියලා වැඩක් නෑ මිස්.. මම ගත්තු සමහර පොත් තවම කියවන්න අතින්වත් අල්ලලා නෑ. ඒ මදිවට සමහර පොත් දැන් මගේ ළඟත් නෑ..

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->