Friday, March 08, 2013
[287] එ'පුර ඉවුරේ හිඳ ... !
එක්තරා කාලයක මම සිහිනයක් දකිමින් සිටියෙමි. එය සිහිනලන්තයක් හෝ සිනහාලන්තයක් යයි කීම වරදක් නැති...
එක්තරා සවසක... බොහෝ නිහඬ හවසක.... කිසිදු සද්දයක් නැතිව ලතාවට පැද්දෙන දිය රැළි .... නගර ආලෝකයෙන් ඒකාලෝක වුනු දිය මතුපිටෙහි ඇඳෙන උස් ගොඩනැගිලි ප්‍රතිබිම්බ... බොහෝ නුවරුන් සිය දිවා දාහයෙන් සහ කලබලයෙන් පීඩා විඳි සිතත් ගතත් සනහා ගනු වස් රොක් වන නගර මධ්‍යයේ තැනුනු උයනක්.. නිහඬ... නිසංසල... සුන්දර... .
මම තව තවත් ඒ සිහිනයෙහි ගිලෙමින් සිටියෙමි... පෙම් උයනක් ... හෝ ළමා උයනක් යනාදී වශයෙන් ලේබල් නොගැසූ , වයස් භේදයකින් තොරව ,සියලු දෙනාගේම නෙතට එකම අඳුනක් වන පොදු නගර උයනක්... නගරයක දහවලට අහිමි නිස්කාන්සුව උපයා ගනුවස් එක් සතයකුදු ගසා කැමෙන් තොරව ටිකට්‍ටුවකුදු මිලට ගැනුමෙන් තොරව ඕනෑම කෙනෙකුට නිදහසේ කල් ගෙවිය හැකි විවෘත එලිමහනක්... රෑ මැදියමෙහි සිට උදෑසන වනතුරු පවා උදෑසන සිට දින ගෙවෙන තුරු පවා සියොතුන් සමනලුන් මෙන්ම නිදැල්ලේ පරිසරයෙහි අරුමයෙහි ඇලී ගැලී සිටිය හැකි සොඳුරු බිම් කඩක්..
ගස් අස්සේ අඳුරු මුලු ගානේ සිප වැලඳ ගන්නා , එතෙකින්ද එහා ගොස් , රති කෙලියෙහි යෙදෙන පෙම්වතුන් නැති. එබඳු පෙම්වතුන් ඇත්දැයි මුහුණෙන් මුහුණට පඳුරෙන් පඳුරට ටෝච් ගසා විමසන කාකි මහතුන්ද නැති. . ඒ වෙනුවට, රැකියාවෙන් නිදහස් වී රැකියා ඇඳුමින්ම එහි හිඳ ආදරයෙන් වෙලෙන , සවස ගත කරන , සිනහ වන පෙම්වතුන් ඇති. සිදාදියෙහි තාපය කෙ ඳුදැයි කියන්නාක් මෙන් ඔවුන්ගේ මුහුණු දහඩියෙන් පීඩිතව එහෙන් සතුටෙන් දිලිසෙයි.
එහි එන ළමා ලපටින් , මාපියන් අතේ එල්ලී නිසංසලේ ඇවිදයනු විනා , සතුටෙන් සිනහ වනු විනා,යටිගිරියෙන් බෑගිරි නොතලති. කුඩා වුන් සරුවපිත්තල තොරොම්බල් වලින් හෝ නලා නදින් අවුස්සමින් , දෙමාපියන්ගේ පසුපසින් විත් කන්න්කෙඳිරි ගාන වෙලෙන්දන් එහි නැති...ඒ තරම් ගහකොලක් නිලක් නැතත් , තිබෙන සිසිලසට කුඩා වුන් පවා ප්‍රියය.
එහි අඳුරු සෙවණැලි මත්තෙහි හොරෙන් බෝතලයක් ඔතාගෙනවුත් ගිල දැමීමට ඉඩක් සොයන අයවලුන් නැති. කටගැස්මකුත් සමග මත් වතුර එක උගුරට කටට හලා ගෙන වැනි වැනී යන ටිපිකල් බෙබේලා නොගැවසෙති.
හැන්දෑවට ගලන රතු පාට අන්ධකාරය පසුබිමෙහි , දිගු රැවුලක් වවා ගත් කඩවසම් කොලු ගැටයෙකු ගිටාරයකට පණ පොවමින් රෙගේ ගීත සිය බුහුටි කටහඬින් අවදි කරයි... ඊට කැමති මිනිසුන් අතලොස්සක් ආශාවෙන් ඔහු වටා රොක්ව දැහැනකට සමවැදී හිටගත්වනම ! ඔහු ඉදිරියෙහි තොප්පියක් වෙයි. තොප්පියකට මුදලක් දමා මුදකින් මිනිය නොහැකි ඔහුගේ සොඳුරු කටහඬට වශීවී කිහිප දෙනෙකු ඒ සොඳුරු වෑයම අගයති...
එහෙවු නගර උයනක් මම සිහිනෙන් දකිමින් සිටියෙමි. එහෙත් දෑස් යලිත් පිසදා බලන කල්හි එය සැබැවක් බව වැටහුනි... මගේ සිහිනලන්තය ඉදිවී තිබෙයි. නාගරික සීමිත ඉඩෙක , අසීමිතව සොඳුරු වූද , නොකිලිටි මෙන්ම විවෘත වූද බිම් කඩෙක කෘතිම උද්‍යානයක් තැනී තිබෙයි.. , වයස් භේදයකින් තොරව, බොහෝ මිනිසුන් විඩා නිවනු වස්, ආදරය නිවි සැනසිල්ල බෙදාහදා ගනුවස් තම තමන්ගේ ජීවිතයෙහි ඇසිල්ලක් වෙන්කොට ඇති අයුරූ ප්‍රීතියෙන් ස්පර්ෂ කළෙමි.
සොබාදහම යනු නිල් පැහැ කඳු පෙලින් සුසැදී , මලින් බර වීගත් තුරු ගොමුවෙන් පිරි හරිත උයනක්මයැයි කිව නොහේ. සොබදහම නම් , ගස් ගල් මල් මෙන්ම , ගෙන්දගම් පොලවත් ය. කෘත්‍රිම ගඩොල්ද , ඇස්බැස්ටස් වහලයද සොබදහමමත්ය. එහිම හිඳ හරිත කඳුවැටියක් සිහිනෙන් දකිනවාට වඩා , නිරුත්සාහී අවට ලෝකයෙහි තැනී ඇති දැයට පෙම්බැඳීම ප්‍රායෝගික යැයි මට සිතෙයි.
අප යන හරිත චාරිකාවක් නැතිය. ජීවිතය හැප්පෙන්නේ ගෙන්දගම් පොලවෙහි තාපයෙන් දැවීගත් දවසක තරඟයෙහිය. ඒ තරගයෙන් මිදී , තිබෙන නාගරික සුන්දරත්වය තුලින් හෝ කෙටි මොහොතකට නිස්කාන්සුවක් ලැබීමට සිතෙන්නේ කීයෙන් කී දෙනාටද? ජීවිතය අත්විඳින්නට ආදරවන්තයෙකු සිටිය යුතුම නොවේ. ආදරය අත්විඳින්නට පොතෙහි එන සොබාදහමම තිබිය යුතු නොවේ.
2013-3-6 : දියවන්නාවේ සොඳුරු නාගරික උයනෙහි මඳක් නතරව ලිවීමි..
.
.
පසුව ලියමි......
මට දුකක් ඇති වෙයි.. පෙර මෙනුවර විසූ , දුප්පත් කිලිටි මිනිසුන් , කිඹුලන්ද නොතකා, කලු ගැහුණු වතුරද නොතකා ලාවට හෝ නා-කියා ගත්තේ මේ දියවන්නා ඉවුරේය. නාගරික දැවෙන හදවත් නිස්කලන්කේ ජොගින් යද්දී , අනේ,,, උන්ට නාන්න තිබ්බ තැනත් නැති වූ හැටි...
'අපෝ නැහැ. අර තියෙන්නෙ ලස්සනට පඩි පේලිය හදලා. ඒ අහිංසක මිනිස්සුන් නාපු තැන නැති නොකරපු එක නම් ලොකු දෙයක්... ..'
මා තරම්ම ලෝකයටම ආදරේ කරන, දුප්පතුන් පවා සෙනෙහසින් වැලඳ ගන්නා හඬක් මට ඇසෙයි...
මේ ගැනයි මේ ලිපිය..
ජීවිතේ ගැන කියපු කතා,
සංචාරේ
Subscribe to:
Posts (Atom)
ලේසියෙන් පිටු පනින්න
<--http://www.bloggertricksandtoolz.com/ -->