මම අත්තටු මඳක් විදහා ලොකු හුස්මක් ගනිමින් සිටියෙමි. වෛවර්ණ අත්තටු මත පතිත වන හිරු කදම්බයකින්,විවිධ වර්ණ මතුව එයි.. .
සිත කුරුලු පිහාටුවක් මෙන් පාව යයි. තෙවසරක්! ජීවිතයේ බොහෝ ඇරඹුම් ඇමිණුම් හැඬුම් සිනහවන් අතරෙහි තෙවසරක්! එය දිගු කලක් !
ඉගිල්ලෙන්නට දන්නා සැළලිණියක වනු වෙනුවට , බිම පමණක් තරබාරු ගමනින් ඇවිදින තාර නෑම්බියක වූවා නම් අගනේ යැයි සිතට දැනුනු වාර අපමණය. අහසෙහි ඉන්නා තාක් පෙනෙන වපසරියෙන් බින්දු කාලක් පමණවත් තාරාවියගේ කුඩා ලෝකයට හසු නොවෙයි. ඈ දන්නේ හැමදාම යනෙන විලත්, ඇගේ කුඩා රාජ්‍යයෙහි කිරුළ හිමි තාර නාම්බාත් , පැටවුනුත් , ගහ කොලත් අයිති ඒ කුඩා බිම් කඩ ගැන පමණකි. දිනා ගන්නට අහසක් ඈට නැත. පරාජය කරන්නට සුළං කපොලු ඈට නැත. ඇය වාසනාවන්තද?
තාරාවියගේ පිහාටු අහසේ වලාකුළු ඊට වඩා මුදු පහසකින් යුතු යයි නොදනියි.. තමා පසුපසින් ඇදෙන තාර නම්බා ඇයගේ සම්පතය. උන්ගේ පැටවුන්ට පිහිනන්නට කියා දෙන්නට පමණක් ඇගේ මොළ ගෙඩිය සෑහුනොත් ඇතිය. පිහිනන කුඩා තාර පැටවුන් ඇගේ සතුටය. ඈ කෙදිනක හෝ ඒ සතුටත් තුරුළු කොටගෙන කෑදර මිනිහෙකුගේ රස මසවුළු පිඟානක අවසන් හුස්ම හෙලනු ඇත....
සැළලිහිණිය එසේ නොවෙයි. ඈ සිය ලාලිත්‍යයෙන් , මිහිරි හඬින් , පියාසැරියෙන් සැළලිහිණි නාම්බන් පමණක් නොව මුලු ලෝකයෙහිම ඇස් ඈ වෙත හරවා ගන්නීය. මහ පොළව ඈට කුඩා උයනක් පමණකි. විදුලි වේගයෙන් සුළං කපා අහසට නගින ඈ දකින්නේ මුලු මහත් විශ්වයේම අසිරියයි. ඈ නැලවෙන්නේ වලා යහනෙහි සිනිඳු කෙඳිති අතරෙහිය..
තාරාවියක මෙන්ම සැළලිහිණියකද , දුර අහසෙහි නිල හඳුනන්නීය... එහෙත් සැළලිහිණියක පමණක් ලඟ අහසෙහි සිනිඳු විඳීම් අතරෙහි ලෝකය අතැඹුලක් කොට දකින්නීය. ලෝකය විඳිනු වස් එක් වලා පියල්ලකින් තවෙකකට , එතැනින් තවෙකකට ඇගේ ගමන නොනවත්වනීය. හැම දසුනක්ම විචිත්‍රය. හැම අහසකම ඊට අනන්‍ය වූ කතාන්තරයක් ලියා තිබෙයි. බොඳව විසිරෙන වළා කැටිති මත දඟ කරන ඇයට අහසෙහි බොහෝ ඉඩ තිබේ. පොළොවෙහි ගුලි වන්නට තරම් ඇගේ උද්දච්ච පියෑඹීමේ උද්දාමය ඉඩ නොතබයි.
සැළලිහිණියකට පරම්පරාව පිහිටුවන්නටත් එම කුටුම්භයෙහි ලැගුම් ගන්නටත් අහස් ජීවිතයේ හොඳම හරිය වැය කිරීම නාස්තියක් ලෙස සිතෙනු ඇත. තාරාවියකට , ඉගිලෙන්නට ගන්නා මහ වෙහෙස , අතෝර , කම්කටොලු ඒ ඔක්කොම හිලවු කළ කල්හි අහස ඇල්ලීමේ උද්දාමය මහ කජ්ජක් නොවනු ඇත. ඈ මහ පොළව මත , සීමිත බිම් කඩක සිය සිත පිහිටුවා ගනිමින් , සිය පැටවුන් ලොකු මහත් වෙන'යුරු දකිමින් තෘප්ත වනු ඇතිද?ඈටත් වඩා වියපත් වූ නමුදු තවමත් සෙල්ලක්කාර කරණම් ගසමින් බොහෝ දුර අහසෙහි
පෙනෙන සැළලිහිණිය නැට්ටුක්කාර නිර්ලජ්ජී කිරිල්ලක සේ පෙනෙන්නේද?
මට මෙසේ සිතෙයි... සිය පැටවුන් පිහිනවනු වස් විල් තෙර වෙත දක්කාගෙන යමින් , කිසි දා ස්පර්ෂ නොකළ අහස දෙස හොරැහින් බලා හූල්ලන තාරාවියක් සිටිය හැකිද? ?
මට මෙසේද සිතෙයි...
අහසේ කරණම් ගසන සැළලිහිණිය පොළොව කරා යලි නො එන්නේ , ඇයටත් ඈට හිමි බිම් කඩ අමතක නිසාද? ඈ එතැනින් බොහෝ දුරක වලා ඇත‍්ඉරිල්ලෙහි ගසා ගෙන ගොස් ඇති නිසාද? පහළ කුටුම්භස්ථානයන්හි දිස්වන ඒ අරුම පවුල් සංස්ථාවෙන් නැගෙන සුන්දරත්වය ඈ කරා තවමත් නොපැමිණි සොවින්ද? නො එසේ නම් ඇගේ ඒ සුකුමාර යෞවනය තුල විඳි අත්‍යන්ත ආස්වාදයන් අහිමි කොට ගනු නොහෙන , ගෙවෙන මේ මොහොත විනා අනාගතයක් කෙරෙහි නූපදින ලෝභයෙන්ද?
පිහාටු නැති තාරාවියක සේ පෙනුනාට , ලංව බැලූ කළ ඈ තටු කපා දැමූ හංසියකදැයි විටෙක සිතෙයි.
සිය මෝහනීය සුගායනයෙන්ද දිස්න දෙන කඩවසම් පියාපතින්ද සුසැදි මුත් , තවමත් අහසෙහි කරණම් ගසන සැළලිහිණියකට ලංව බැලූ විටෙක... මතුපිටින් දිලෙන පිහාටුද , ඇතුලතින් අව් රශ්මියෙන් අව පැහැ වී වැහැරුනු අත්තටු කැබලිද විමසුම් දෑසකට හසු වනු ඇත...
ඇයව මා දකින්නේ මීට වසර ගණනාවකට ඉහතය. අතිශය සුන්දර මුව කමලත් , එහි රැඳුනු අවිහිංසක සිනහවත් , උපතින් ගෙන ආ නොතිත් බුද්ධිමය හැකියාවත් , මගේ ඇස් ඉදිරියේ මවා තිබුනේ අනාගත සුවච කීකරු බිරිඳකි. මුහුණ විනා මොළය විනා ඒ අරුම පුදුම පෞරුෂය මා එදා දකින්නට උත්සුක නොවීමි.
කාලයත් සමග ගුරු සිසු සබඳතාද වැසී යයි. එතැන්දී යලිත් මට ඈ හමුවන්නේ වසර ගණනාවක ඇවෑමෙනි.
ඈ වියපත්ව හුන්නාය. සොඳුරු රූ සපුවට දයාභරිත සෙනෙහෙබර මවකගේ දෑසෙහි තෙත් බවද ගැල්වී තිබුණු හෙයින්ම ඈ වඩා සුන්දර වූවාය.
අදද මා ඈ දකින්නෙමි. එහෙත් ඈ අද එදා හුන් අහිංසක සාවිය නොවේ. ඈ
තුල ඉන්ද්‍රජාලික විපර්යාසයක් සිදුව තිබෙයි. ඈ නිදහස් කිරිල්ලියක වී දැලෙන් මිදී සිටින්නීය. නොහොත්... ඈ සිය අසීමිත බුද්ධි මහිමය සමග උපතින් ආ අසීමිත ජවය ශක්තිය ලොව වෙත මුදා ලන ව්‍යවසායක කාන්තා පිලිරුවක් වී සිටින්නීය. .
මෙලොව විසූ බොහෝ ශක්තිමත් ගැහැණු තවත් ගැහැණුන්ගේම දොසටත් , සෙසු පිරිමින්ගේ ඉරිසියාවටත් ලෙහෙසියෙන්ම බඳුන් වූවෝය . එහෙත් ඈ ශක්තිමත් පියවරක් තබා අවසන්ය. ඉතා ලඳ බොලඳ වූද පෙර යොවුන් වියේදී දුටු නිසංසල ස්ත්‍රීත්වය කැටිවූද, ඈ තුල, අද ආරෝහ පරිණාහ දේහදාරී , බොහෝ සිනහසෙන, බොහෝ හඬන, බොහෝ හැඟුම්බර , බොහෝ සෘජු ගැහැණු පෞරුෂයක් පණ ගසමින් සුළං පහර කපා තරඟකාරී සමාජයෙහි ඉදිරියට ඇදෙන්නීය.
ඇගේ සිනහව බොහෝ උස්ය. ප්‍රමෝදයෙන් පිරීගත් ඇස් තුල සන්තුෂ්ඨිය, කෙලිලොල් බව පිරී තිබෙයි. ඈ කුඩා නොදරුවෙකු මෙන් සිනහසෙන්නීය. දුව පනින්නීය. කෙලි ලොල් වන්නීය. කවට කම් කරන්නීය. ඇගේ අසීමිත ජවය සහ පෞරුෂය කැපී පෙනෙන සුලුය . සිත එදාට වඩා බොහෝ නිදහස් වග පෙනේ. එසේ නොවන කල්හි ගැහැණියකට එතරම් පහසුවෙන් ජීවිතය විඳිය නොහැක්කේය. දෑස් ඉදිරියෙන් අමිහිරි මකුළු දැල් බැඳෙන විට , අඳුර ඉරා එලිය දැකීමේ නොතිත් ආශාවත්, මකුළු දැල් පීරා එලිය දකින විට සිත ප්‍රමෝදයෙන් විඳගන්නා අසීමිත ප්‍රහර්ශයත් , නිරන්තර ආලෝකයෙහි ඉපිද මිය යන අවශේෂ මිනිසෙකුට නොදැනෙයි.
සීමා බන්ධන කිසිවක් ඇගේ චිත්ත පරම්පරාවෙහි නැත. නිදහසේ උණන ඕනෑම සිතිවිල්ලක් සිය සෘජු වදන් තුල ඔතා ඈ ඉලක්කයට එල්ල කරන්නීය. එහි දැඩි බවක්ද ගෑවී නැතුවාම නොවේ. එහෙත් ඈ බොහෝ සුන්දරය. ගැහැණියක් නම් මේ යයි කිය හැකි තරම් ඇගේ සිත විවෘතය. පොහොසත්ය. නිදහස්ය.
ඒ නිදහස ඈ සොයාගත්තේ කොහෙන්දැයි මට විමතියක් දැනේ. ඒ නිදහස රස බලන සුන්දර ගැහැණුනට උරුම අතෝරයන් ගැන මනා හැඟුමක් ඇති හෙයින්ම මම ඈ පිලිබඳව බිය වෙමි.
ඈ සිය වේගය නොනවත්වා ත්වරණය කරන්නීය. නිසංසල සාම්ප්‍රදායිකත්වය ප්‍රිය බහුතරය අස්සෙන් ඈ ඉස්මතුව පෙනෙන්නේ අසංවර අසම්මත , ටිකක් 'ගානට වැඩි' , පණ්ඩිත මානී ගැහැණියක සේ විය හැකිය. ඒ දුලබ චරිතය සෙසු හුදී සිතක ඉරිසියාවට බඳුන් වීම ස්වභාවිකය.
ඈ දැලින් මිදුනේ කෙසේදැයි මට අසන්නටම සිතෙයි. සිය ආගමික , සමාජයීය , සංස්කෘතික බොහෝ පිරිවැසුම් ඉරා විසි නොකරන මේ ගැහැණිය , වැස්මෙන් වසා බොඳ කොට තිබූ ලෝකයෙහි අරුමය කවදා කොතැනක්දී හෝ අහම්බයෙන් විඳ ඊට ඇබ්බැහි වී ඇතුවාට සැක නැත. ලද අවසරයෙන් ඇගේ විභවය චාලක ශක්තියක්ව එක සැරේම කඩා වැටෙන්නට වූයේය. මම , හිස වසා ගත් වනම වුව , හිත නිදහසේ විවර කොට ලෝකය බැලූ දැවැන්ත කාන්තා ප්‍රතිරූපයන් ඇගේ රුව හා සසඳා බලන්නෙමි. දකින සමානකම් , ආඩම්බරයක්ද , සතුටක්ද , බියක්ද එකවර මෝදු කරවයි.
නිදහසේ ලොව දකින ගැහැණුන් පමණක් නොව මිනිසුන්ද බොහෝ හිඟය . ඇතමුන් තම හද තුල මෙතරම් බොහෝ නිදහස් ස්වාධීන සහ අසීමිත විචිත්‍ර පෞරුෂයක් සැඟව ඇතැයි හඳුනා ගන්නේද ජීවිතයේ බොහෝ මං සලකුණු වේලපහින් ඉක්මවූ පසුවය. හඳුනා ගන්නා හැකියාවන් ඔස්සේ මනස මෙහෙයවා උඩුගම් බලා පිහිනන්නට කියා දෙන ඉස්කෝලයක් මේ මිහිමත නොවෙයි. ජීවිතය නම් තම එකම තක්සලාවය. ජීවිතයෙන් වෙහෙසක් දැනෙද්දී ඔද්දල් වූ හිත තමන්ටම පාඩම් කියා දෙයි. බොහෝ ප්‍රීතිමත් ගැහැණුන් ඒ ප්‍රීතිය දිනා ගන්නේ සම්ප්‍රදාය ඉක්මවා යාමෙනි. සාම්ප්‍රදාය යනු ඉක්මවා යායුතුම කඩතුරාවකැයි මා අදහමි. එතුල ගිලි එල්ලි හරි බරි ගැහී සිටින්නට අප ඉපදිය යුතු නැත.
ඇගේ ජීවිතයද අද ඒ අදෘශමාන දැලෙන් මිදී තිබෙයි. සිය බුද්ධි මහිමයෙහි රශ්මියෙන් ඈ නිර්භයව නව මගක තනිවම ගමන් ගන්නීය. ජීවිතය යනු දිනා ගත යුතු තෑග්ගක් මිස , අහම්බයකින් පෑදෙන ලොතරැයියක් නොවේ යැයි සිතන ඈ ගැන සිත පහන් වෙයි. දැලෙන් මිදී පියාඹන ඇගේ වේගවත් ගමන පිලිබඳ පහන් සිතින් මේ සටහන (කෙදිනක හෝ ඈට පෙන්වන අටියෙන්) ලියා තබමි.
~
අඳ ඇස්
සඳ මත ඇඟිලි තුඩකින් රූ අඳිනු බැරී
සිඳ ලූ තුරෙක උස නැත හිණිමගක සරී
අඳ දෑසකට උණුසුම විඳ නිදන හැරී
ඇඳ දිය හැකිද , සොඳ අහසින් පෙරෙන ඉරී ?
.
2013-01-07