Thursday, November 29, 2012

[275] සත් වසක රැකියා අතීතාවර්ජනය

 


සංසාරේ අපි මාසයක් වහලා දැම්ම ගානයි. බ්ලොග් ලිවිල්ල කෙසේ වෙතත් ලිවිල්ල නම් එපා වෙන්නෙ නැහැ. ඒත් දන්නවද, ජීවිතේ මල්ට ටිකක් දුරට රයිටර්ස් බ්ලොක් වගෙ එකකුයි ටෙක්නිකල් ගෑජට් එපා විල්ලකුයි එක පාර සිද්ද උනා වගෙ මාසයක් හිත හිත දුක් වින්දා. 

ජීවිතේ මල්ට තියන ලොකුම ලෙඩේ තමා ජීවිතේ වෙනස් වීගෙන යද්දි ඒකට හේතු භූත වෙච්චි කරුණු කාරනා හොයන්නෙම තම ඇතුල් හිතෙන්.  ගම්පෙරලියෙ නම් කිව්වෙ මාතර හාමිනේ කියන්නෙත් ඒ වගෙ කෙනෙක් කියලයි. ඒත් ජීවිතේ විවිධ අභියෝග සංසිද්ධි එක්ක වැඩෙද්දි ඇතුල් හදට එල්ල වෙන ඇහැ පිට ලෝකයට පරාවර්තනය වෙන එක වලක්වන්නත් බැහැ. 

ගෙදර ආවම හැමදාම පුරුද්දට වගේ , ඉක්මනට ඇඟ පත හෝදලා , අලි පත තේ එකත් එක්ක කොම්පියුටරේ ගාව වාඩි වෙන එක ඉස්සර හිටන්ම අවිඥාණකවම සිද්ද වෙච්ච දෙයක්. කොම්පියුටරෙන් කරන්න විශෙෂ වැඩක් ඇතත් නැතත් ඒක නිකම්ම සිද්ද උනා.  

අපරාදෙ කියන්න බැහැ , ජීවිතේ මල්ට තියන අරපිරිමැසුම් ජිවිතේට පුලුවන් උනා මීට අවුරුදු තුනකට ඉහතදි , දුකසේ ඉතුරු කරපු කොලඹ බෝඩින් ජීවිතේ අතරතුරම , යම්තම් ලැප්ටොප් එකකුත් ගන්න. ඒකට එකම රහස තමා ජීවිතේ මල් පඩි ලැබුනාම ඉතුරුව කරලා ඉවර වෙලයි පඩි පතෙන් වියදම් කරන්න පටන් ගන්නෙ. ඉතින් එදා ඉඳන්ම කොම්පියුටරේ කෑලි ගැලවිලා පැත්තකට උනා. යන එක හැම තැන ලැප්ටොප් එකට උස්සගෙන යන්න උනා. 

අවුරුදු දෙකක් යද්දි ඉතින් පොඩි පහේ පස් තාච්චි උපාදියකුත් කරගෙන , ආයිමත් පොඩි හුස්මක් ගත්තෙ කන්ද උඩරට පුරුදු හීතල ජීවිතේ ආසාවෙන් තුරුලු කරගනිමින්මයි. ඔන්න බොලේ ඒකත් ඉවරයි. හුරේ ...!  අප්පා එතනින් එහාටයි ජීවිතේ පටන් ගත්තේ. 

අලුත් අලුත් දේවල් කරන්න , වගකීමක් දෙකක් දරන්න නිදහසත් , අවස්ථාවත් , අනුබලයත් ලැබෙන රස්සාවකුයි නිස්කලංක ජීවිතේකුයි එක්ක ජීවිතේ මල් නුවර පැලපදියම් උනේ එහෙමයි ආයිමත්.  

ජීවිතේ අධිවේගයෙන් ගලාගෙන යන්නට වුනා. හැමදවසක්ම අභියෝගයක්. හැම දවසකම අලුත් දෙයක්. ඉහේ හිට දෙපතුලට ගිලෙන්න අලුත් අලුත් වැඩ ගොඩක්,.. හැබැයි එක දෙයක් විස්වාසයි. මෙතෙක් වැඩකල අවුරුදු 6ත් හරි, පහුගිය අවුරුද්දත් හරි. ඒ තරම්ම අලුත් අත්දැකීම් ගොන්නක්. අභියෝග , ප්‍රශ්න , ගැටලු, අලුත් අදහස්, ඔක්කොම උල්පතක් වගේ දෝරෙ ගලන්නට උනේ ව‍්රය්ත්තිය ජීවිතේ අලුත්ම පිටුවක් පෙරලමින්. 

අලුත් කාර්යක්ෂම අදහස් වලට නිකම්ම හිත නැමෙන මගෙ නව ඇරඹුම් හැම එකක්ම් තෘප්තිමත්ව නිම කරන්නට ලැබෙන ලැබීමත් හරිම සතුටු හිතෙන දෙයක්.  ඉතින් මාස පහ හයකට මත්තෙන් හිත අවුරුද්දක් විතර තිස්සෙ සිහින මැවුව අයි පෑඩ් එකක් හිමි කරගන්නත් , මගෙ අරපිරිමැසුම් ජීවිතේට වාසනාව ලැබුනා. 

දැන් ඔයාලට හිතෙයි ජීවිතේ මල්ගෙ ජීවිතේ නම් 'මල් හතයි' කියලා.  මට තියන ලොකුම සතුට තමයි , ඒක එහෙම නොවී තියන එක දන්නෙ මගෙ හිත විතරක්ම වීම.ජීවිතේ කියන්නෙ මොන තරම් අසාදාරණ , කටුක , නින්දිත , තුච්ඡ එකක්දැයි ඔබ මගෙන් ඇහුවත් මට කොයිතරම් හොඳ පිලිතුරකට අත්දැකීම් තිබුනත් , මම ඔබට හිනහ වෙලා කියාවි , ජීවිතේ සුන්දරයි කියලා. ඒකට හේතුව තමයි , ඒ තරම් කටුක රළු මං පෙතේ අද මට මෙන්න මේ වගෙ සටහනක් ලියන්නට තරම් දේවල් මට තියෙන්නේ, මගෙ හිතේ තියන නොසැලෙන ආත්ම විස්වාසය නිසයි. 

නොමග යන්නෙපා. ජීවිතේ මල්ගෙ හැබෑ ජීවිතේ ඔබට අදහන්නවත් බැරි තරම් ගින්දර ගොඩක්. ඒත් අන්න ඒ නිසාමයි මම ආඩම්බරයෙන් කියන්නේ..... , රැඩිකල් නොවී නැචුරල් ගැහැණියක් වන්නේ..... ,  මම පොතපතින් නොව සැබෑ අත්දැකීමෙන්ම ජීවිතය උගෙන ගත් නිසා.  

අද මේ මොහොතේ , මගේ කතන්දරයේ අඳුරු ආවාට කිහිපය කිසිසේත්ම මම සේල් දමන්නට අදහසක් නම් නැහැ. ඒ නිසාවෙන් මම ඉපැයූ පශ්චාත් උපාධියත් , අභියෝග පිරුනු රැකියාවත්, මගෙ ලැප්ටොප් , අයිපෑඩ් සහ ගැජමැටික් පිරිච්චි ලෝකයත් නිකම්ම නිකම් කෙල්ලෙකුගේ සින්තටික් ඇචීව්මන්ට්ස් ටිකක් හැටියකට ඔබට පෙනෙන එක සාධාරණයි. ඒත් මම දන්නවා බොහොමත්ම මෑත අනාගතයේදී ඔබේ කුකුසට ඉතා හොඳ සාධාරණයක් කරන්නට මට හැකි වේවි. 

මගේ ලෝකය කියන්නේ මා අද මැරුනත් තෘප්තිමත් එකක්. අවුරුදු 29ට මා ලද දේ මෙන්ම , මගේ ශක්ති ප්‍රමාණයෙන් ලෝකයට දුන් දේ , මට තෘප්තිමත් වීමට ඉහටත් උඩින් ප්‍රමාණවත්.  
මා ලද දේ නම් මගේ ඉගෙනුමත්, වෙහෙසී කල රැකියාවෙහි පඩියත්. එසේ වෙහෙසී ඉපැයූ දෙයින් සැබෑ කොටගත් සිහිනයනුත් පමණයි. 

එහෙත් මා ලෝකයට දුන් දෑ සිතුවොත් මට ඊට වඩා දහස් වතාවක් තෘප්තිමත් විය හැකියි.  දහසක් ජීවිත වල ඇස් පෑදූ තෘප්තියත්, ලෝකයට මේ මේ දෑ දිය යුතු යැයි, මේ මේ සේවයන් කළ යුතු යැයි සිතෙහි ඇඳී තිබූ යම් තාක් සිහින වේද , නිසි කල්හි ඒ හැම සිහිනයක්ම සැබෑ කරමින් ජීවත් වූ මහපොලවටත්, මාපියන්ටත් මා මෙතෙක් දුන් තෘප්තීන් පිලිබඳ සිතෙහි තිබෙන්නේ ඉමහත් සතුටක්. 

මේ ආත්ම වර්නනාවක් නොවේ. එහෙත් මා ඉල්ලන්නේ එකම දෙයයි. ඔබේ පඩිපත, ඔබේ ලස්සන, ඔබේ උගත්කම් , ඔබේ රැකියා , ඔබේ ගැජමැටික් , ඔබ ඉපැයූ ඒවායි. ඔබ ලොවින් උකහා ගත් ඒවායි. මඳකටසිතන්න , කිසිදු ප්‍රතිලාභයක් නොසොයා ඔබ මෙතෙක් ලෝකයට දුන් දෑ මොනවාද? ජීවිතාශාව උදෙසා ඔබ රැස් කළ යුත්තේ ඒවායි. ලෝකයම ඔබ දෙස සමච්චලයෙන් වපරැසින් බලද්දී ඔබට ඔබව වීරයකු ලෙස පෙනේවී. එය මතු වන්නේ ආත්මාභිමානය තුලින්.  ආත්මාභිමානය උණන්නේ , ඔබේ පෞරුෂය ලන්නගා කොටගත් දිනුම් කණු ඇසුරෙන්. පරාජිතයකු තුලින් අභිමානවත් මිනිසෙකු කෙලෙසින් බිහි වේවිද? 

 මගේ හිතවතුන් මා පිලිබඳ නොරුස්නා ප්‍රධානම දෙයන් නම් මගේ මරණාවර්ජනයයි. එහෙත් , ඔබට සිතෙන්නේ නැද්ද මරණය පිලිබඳ මා අකම්පාල විය යුතු නැති බව? ඒ යතාවබෝධය නිසානොවෙයි. ඊට හේතුව නම් , අද මේ හුස්ම ටික ගියත්, මා මියෙන්නේ , 29 වසරක ජීවිතය පිලිබඳව අතිශයින් තෘප්තිමත්ව නිසයි. 

ආ සැප සහ පරිභෝගයෙන් සංතෘප්ත නැහැ. එහෙත් තෘප්තිය උදෙසා මට ඒවා ලැබිය යුතුත් නැහැ. තෘප්තිය උදෙසා මගේ හිතෙන් , හිසෙන් සහ ගතින් වෙහෙසව ලොවට දුන් දෑ සිතීමම ප්‍රමාණවත්. 

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->