දැන් මම වැඩ කරන තැන ඉන්නෙ ගොඩාක් පොශ් නැති , ඒ වගේම ලොකු දරිද්‍රතාවයකුත් නැති , මධ්‍යම පන්තික
ලමා ලපටි.ඉතින් මේ කියන්න යන්නෙ ලඟදි සිද්ද වෙච්චි , පුංචි ඇත්ත කතාවක්. පොඩ්ඩක් විතර සංකර , ඒත් හිත ලස්සන සුරංගනාවියක් ගැන.
හැබැයි මේක සුරංගනා කතාවක් නම් නෙවෙයි .
එදා මමයි මගෙ
යහලුවයි ගියා අසල කඩයට තේ එකක් බොන්න. ඒ පොඩි තේ පැන් සල කරගෙන යන්නෙ මැදි විය පසුකරමින් ඉන්න යුවලක්. තැන පොඩි උනත් අපි එතන අත් නොහරින්නේ, ඒ දෙදෙනාගේ ප්‍රසන්න
හැසිරීමත් , එතැන පිරිසිදු කමත්, ප්‍රණීත කෑමත්
නිසා. ඒ විතරක් නොවෙයි , ඒ කරුණාවන්ත
මාපිය යුවල වේදිකා නාට්‍ය නරඹන්න දක්වන්නෙ බොහොම කැමත්තක්. ඒ වගේම ජාතික රූපවාහිනියෙ 'සිහිනයකි රෑ' , ITN එකේ 'දොරමඬලාව' හෙම නරඹන, අපූරු කලා රසිකයන් වූ ඒ දෙදෙනා එක්ක තේ බොනවාට වඩා, මම විඳින්නේ සාහිත්‍ය රසය කිව්වොත් නිවැරදියි . සංගීතය, ටෙලි නාට්‍ය, සිනමාව , වේදිකාව යනාදිය පිලිබඳව ඇතිවෙන
රසවත් සහ උණුසුම් කතා බහෙන් පෙනී යන්නෙ ඔවුන් දෙදෙනා සිතෙන් නම් අප
බොහෝ දෙනාට වඩා තරුණ බවයි.
ඔන්න මේ කියන
දවසේ උදේ, අපි තේ බොන්න යනකොට , අපේ ආයතනයෙම ඉගෙන ගන්න ගැහැණු දැරිවියන් පිරිසකුත් තේ බොන්න ඇවිත්. ඔවුන්ටත් සිනහවකින් සංග්‍රහ කල අපි ආහාර ඇණවුම් කර , කට
ගන්නටත් පෙර වයසක අම්මා කෙනෙකුගේ කටහඬක් පිටුපසින් ඇහෙන්නට උනා.
"අනේ දුවේ ,
මට කහට එකක් අරන්
දෙන්න . මම මේ ඉස්පිරිතාලෙ ඉඳලා එන්නේ, සීනි නැතුව හරි කමක් නෑ"
සුදු ඇඳගත් ,
කෙසඟ වයසක අත්තම්මා කෙනෙක් බීමට යමක් ඉල්ලනවා. ඇගේ දුක්බර ආයාචනාවට අපේ හිතත්
උණු වුනා. ඒත් අපේ අත් පසුම්බි වෙත ඇදෙන්නට පළමුව, එහා මේසයේ ඉඳගෙන හිටි අපේ ආයතනයෙ ඉගෙන ගන්න ලස්සන සුරංගනාවියක්
ඉස්සර වුනා. ඈ වැඩි කලබලයක් නැතුව , අවන්හල් හිමියා වෙත හැරී ,
“මේ ඇන්ටිට
කේක් කැල්ලකුයි කිරි තේ එකකුයි දෙන්න"
කියා බොහොම සන්සුන්ව පවසනු අපි බලා හිටියේ මහත් වූ පහන් හැඟීමෙන්.
අර වයසක අම්මා
වෙත ගිය අපේ සුරංගනාවිය, ඇය මේසයක් අසල හිඳුවා කවුන්ටරය වෙත ගියා. අවන්හල්
හිමියාටවත් වේටරකම් කරන්නට නොදී, අපේ සුරංගනාවියම, ඇය ඇනවුම් කල කේක් කෑල්ල සහ තේ කෝප්පය දෙවරකට
දෝතින් ගත්ත. ඇගේ අත් දෙකෙන්ම තේ කෝප්පය සහ කේක් කෑල්ල ගත් මේ දැරිවිය,වන්දනාමානයක් කරන තරම් භක්තියකින් ආත්තම්මාට එය පිරිනැමුවා. ඒ දුටු අපේ ඇසුත් තෙත් වුනා. දැන් කාලයේ හැදෙන පරපුර, අසරණයෙකු වෙනුවෙන් හිත ලෙහෙසියෙන් උණු නොවෙන මොරෝම ගති ඇතියවුන්ය කියන අය වෙත පෙන්වන්නට, මේ සංකර කුඩා කෙල්ල පෙන්වූ දයාව මට
කැමරාවකට හසු කරගන්නට හැකි වුවා නම්.... අසරණයකුට
උදව් කිරීමෙන් හෝ අනුකම්පා කිරීමෙන් ඔබ්බට ගොස්,තේ කෝප්පය සහ කේක් කැබැල්ල අර වයසක අම්මාට පිරිනැමීමේදී ඇය දැක්වූ භක්තිය මෙන්ම ගරුත්වය අදටත් මගේ සිතේ නොමැකෙන ලෙසින් සටහන්ව තිබෙනවා.
කේක්
කැබැල්ලත් කා තේ කෝප්පයත් බිවු අර වයසක අම්මා නැගිට්ටේ ඇයගේ කුස නිවූ අර ටිකක් සංකර සුරන්ගනාවියට පින් පෙත් දෙමින්. ඇගේ පුණ්‍යානුමෝදනාව
අසන්නට එතන අපේ සුරංගනාවිය නැවතී සිටියේ නැහැ. ඒ වෙන විටත් ඇය නිහඬවම බිල ගෙවා
විවේකයෙන් පසුව පටන් ගන්නා පන්තිය වෙත නික්ම ගිහින්..
මේ ජවනිකාව නිහඬව
නරඹන ගමන් තේ බොමින්, මමත් මගේ මිතුරියත් අර කුඩා සිදුවීම ගැන සිතමින් සිටි සිතිවිලි දාමය බිඳී ගියේ, අපේ අවන්හල් හිමියාගේ කටහඬින්.
“මිස් , ඔහොම
හිටියට ඔය ගෑනු මනුස්සය හරිම නපුරුයි, නරකයි. පාර තොට කියලා බලන්නේ නැහැ, වටපිට
ඉන්නේ කවුද, පොඩි ළමයි යන එනවද බලන්නේ නැහැ, කුණුහරුප තමයි කිව්වොත් කියන්නේ. අහන් ඉන්න බැහැ මිස් එයා කියන එවුවා. මම හිතන්නේ ටිකක් මොලය අවුල් වෙලා ඇති. පව් ඉතින් මොකක් හරි ප්‍රශ්නයක් ඇතිනේ. ඒ
මොකුත් නොදැන , අර ගෑණු ළමයා හොඳ හිතින් දීපු දේනේ.. ඒ නිසා මම මොකුත් කිව්වේ
නැහැ. මොකද එහෙම මොකුත් කිව්වා නම්, ඒ ළමය
ආයිත් කවදාවත් එහෙම හොඳ දෙයක් කරන්න හිතන්නේ නැති වෙයිනෙ. ඒකයි මම සද්ද නැතුව
හිටියේ . නැතිනම් මම ඔය මනුස්සයව කඩේ ඇතුලටවත් ගන්නෙ නැහැ , කුණුහරුප කියන නිසා.”
අර සුරංගනාවිය
පෙන්වූ මානව දයාවෙන් හද උණුවී සිටි අප දෙදෙනාගේ හදවත් මොහොතකට ඝනීභවනය වූ බවක් දැනුනා...
තමා දුක් මහන්සියෙන් හරි හම්බ කල ධනය, හද ඔකඳ වූ ශ්‍රධාවෙන් පරිත්‍යාග කරන අපේ කාලයේ අනේ පිඬු
සිටුවරු මේ රටේ නැතුව නොවෙයි. මේ සුරංගනාවියගේ පුංචි
රුපියල් පනහේ සිට පොහොසත් දානපතියන්ගේ
බිලියන ගණන් කහවණු පරිත්‍යාග පිලිබඳ මහත් වූ කම්පාවක් නම් හිතට නැගුන බව නොකියා
සිටිය නොහැකියි. .....
නොමේරු ලපටි හදවතක ඉපිදෙන මානව දයාව පිලිබඳව, මේරු අපේ මනස ධන හා සෘණ පැතිකඩ ගැඹුරෙන් විශ්ලේෂණය කරද්දී, අර
සුරංගනාවිය නම් තමා කළ කුඩා පරිත්‍යාගය පිලිබඳ සතුටු සිතින්, පන්ති කාමරයට වී දේශනයට සවන් දෙමින් ඇතැයි කියා මට සිහියට නැගුනා. කෙසේ වුවත්, ජිවිතයේ යථාර්තය වටහා දෙන්නට ගොස් , ඒ සුරංගනාවියගේ පින් සිත තලන්නට තරම් අනුවණ
නොවීම පිලිබඳ මා අවන්හල් හිමියාට පින් අනුමොදනා කළා.
“Not All of Us Can Do Great Things , But We Can Do Small Things With Great Love ”
Mother Teresa
Mother Teresa