Sunday, August 09, 2015

[320] අනුරපුර වැඳ ආමි ..

ඔන්න ඉතින් අපි අනුරාධපුරේ ගියා. මේ චාරිකා සටහන කියවන ඔයාලගෙන් ගොඩ දෙනෙක් දැනටමත් අනුරාධපුරය දහ දොළොස් වතාවක් වැඳලා ඇති. ඒත් කාලයත් එක්ක ගම නගර වෙනස් වෙනවා. සමහර අකරතැබ්බ නොවෙනස්ව හැමදාම සිදු වෙනවා. මේ සටහන ලියන්නේ මේ දවස් වල අනුරාධපුරේ යන ඔයාලට. 

පොදු ප්‍රවාහනයේ යනවා නම් ඔන්න පැය බාගෙන් බාගෙට අනුරාධපුර බස් තියනවා නුවරින්. විදෙශිකයො වෝකර්ස් බස් වල ගිනි ගණන් දීල ගියෙ ඉස්සර. අපි ගිය මුලු බස් එකෙම හිටියෙ පිටරට උදවිය. එයාල සිතියම් පොත් වලට ඇස්  මානාගෙන හරි අපුරුවට සාමාන්‍ය බස් පහසුකම් වල වගක් නැතුව ගමන් යනවා. හැබැයි කොන්දොස්තරලත් දැන් හරි සාදාරණයි. එයාලගෙනුත් ගත්තෙ සාමාන්‍ය  බස් ගාස්තුවම තමයි. 

පැය තුනහමාරක ගමනකින් පස්සෙ අපි අනුරාධපුර ටවුමට ආව. නවතින තැන අපි කලින් සුදානම් කරගෙනයි ගියේ.මොකද අනුරාධපුර කියන්නේ හවස් අතේ ගිහින්,  ඒ වෙලාවට නවතින තැන් හොයන්න සුදුසු දිහාවක් නම් නොවෙයි. තැරැව් කාරයො පිරිලා. ඒ නිසා මම agoda.com එකෙන් මම රත්නමාලි එකෙ කාමරයක් වෙන් කලා. මොකද ඒක තමයි ජය සිරි මහ බොධියට ලඟම තියන නවාතැන. නවාතැන ගැන මගේ කතන්දරේ ලිපියේ අගට ලියන්නම්. නැතිනම් අනුරාධපුරේ ගිහින් පව් රැස් කරගෙන ආව වෙනවා.


සවසට ස්වර්ණමාලි චෛත්‍යය පෙනෙන අයුරු 

හරි , ආපහු කතාවට යමුකො. ඉතින් පැය කීපයක් ගිමන් නිවාගෙන හවස් අතේ අපි රුවන්වැලි සැයටයි ජය ශ්‍රී  මහ බෝධියටයි යන්න පිටත් වුනා. ඔබ එහෙ ගොඩ වෙලාවක් ගත කරනව නම් , ඉන්න තැනකින් වතුර , කෑම බිම අරන් යන්න. ඒ හරියෙ මල් කඩ ඇරුනාම කෑම බිම ගන්න තැන් නැහැ.

රාත්‍රියට පෙනෙන රන් වැලි සැය 
ඔන්න ඉතින් අපි ජය ශ්‍රී මහ බෝධියට හවස් අතේ ඇවිත් වැඳ පුදා ගත්තා. ඊලඟට ගොම්මන් අඳුර එද්දි අපි රුවන්වැලි සෑ මළුවට සැපත් වුනා.  රාත්‍රිය උදා වේගෙන එද්දී ස්වර්ණමාලි චෛත්‍ය වහන්සේ කියන්න බැරි තරම් සුන්දර දසුනක්.රාත්‍රිය හාත්පස වෙලා ගනිද්දි ඉතින් අකමැත්තෙන් නමුත් අපි එතනින් නැගිටලා ආවෙ ආරක්ෂාව ගැන හිතලා.


අභයගිරි වෙහෙර 

පසුවදා උදෙන්ම අපි පිටත් වුනේ ඉපැරණි නටබුන් නගරයට. මුලින්ම අපි ගියෙ සමාධි පිලිමය ගාවට. ලංකාවේ දැනට පිහිටා තිබෙන විශිෂ්ටම බුද්ධ ප්‍රතිමාව යයි සැලකෙන්න සමාධි පිළිම වහන්සේයි. 

ඊලගට අපි නටබුන් අතරින් හෙමිහිට ඇවිද ගියෙ අභයගිරියටයි. ලඟදි ප්‍රතිසංස්කටණය කල නිසා මෙතැන දැන් හරිම ලස්සනයි. අටමස්ථානය වටාම දැන් නවීන කාපට් පාරක් තිබෙන නිසා ගමනාගමනය දැන් පහසු වෙලයි තියෙන්නෙ. කවුරු කලත් මේවා හොඳ වැඩ නේද ?


ලංකාරාමය 
අභයගිරිය වැඳගෙන ලංකාරාමය කරා එන අතරමග හමුවන අභයගිරි කෞතුකාගාරයට හිස පොවන්නත් අමතක කරන්න එපා.

ගමන අවසන් නොකළ යුතුමුත් කාලය හරස් වුන නිසා අපි ලංකාරාමය , ඇත් පොකුණ , මුරගල් සහ ථුපාරාමය නරඹලා එතැනින් ආයිමත් නවාතැනට ආවා. මම චාරිකා සටහනේ මේ ස්ථාන ගැන වැඩිපුර නොලියුවෙ හේතු දෙකක් නිසා.

එක- ඒවා ගැන ඕනෙ තරම් තොරතුරු අන්තර්ජාලයෙ දැනටමත් පිරිලා තියනවා .
දෙක - අනුරාධපුරය කියන්නේ අටමස්තානයට සිමා වූ නගරයක් නොවෙයි. අනුරාධපුරය කියන්නේ සතර දෙසින් දහස් ගණන් නටබුන් ශේෂ මතුවුණ සුවිසල් ඉපැරණි පුරවරයක්. එහි ශ්‍රී විභුතියෙහි නටබුන් තැන් අටකට සිමා වෙන්නේ නැහැ. ඔබට ඇවිද යන්න , සැරිසරන්න දහස් ගණන් ගල් කණු , මුරගල් , මන්දිර , පාදම් තිබෙනවා. මම ඇරයුම් කරනවා ඔබට පොඩ්ඩක් ඒ නටබුන් අතරේ වනගත වෙන්න කියලා. ඒවාට නම් ගසා ලේබල් අලවා නැහැ. ඒත් එහි ඉපැරණි ශ්‍රී විභූතිය මොනවට දිස් වෙනවා වගේම ඔබට ඒවා අතින් අල්ලා බලා අපේ හෙළ ප්‍රෞඩත්වය පසක් කල හැකියි.



ඉපැරණි නටබුන් 
ඉතින් මම ඔබට අරයුම් කරනවා ඔබත් අනුරාධපුරයට ගිහින් ඔය අප්‍රකට නටබුන් අතරේ නිදහසේ ඇවිද යන අත්දැකීම විඳ බලන්න කියා. ඔබ ඉතිහාසයට ආදරය කරනවා නම් ඔබට මා කියන දේ වැටහේවි.


අභයගිරිය පියගැට පෙළ 
ඔබ තව තවත් ඒ පුරාන දේට ඇලුන ගැලුන කෙනෙක් නම්, සියවස් ගණනක් එපිට අතීතයෙ ආත්මයන් පවා ඔබ අවට සැරිසරන්නේ යැයි දැනේවි. මා පෙර ඉපිද සිටියේ අනුරාපුරයේ යැයි මා තදින්ම විස්වාස කරන නිසා මට නම් එම හැඟීම තදින්ම දැනෙනවා. වසර විස්සකට පමණ පසු අනුරාපුරයට ආ විට මට නම් සිතුනේ සැබෑ නටබුන් නරඹන්න නම් දවසකුත් මදි බවයි.


ඇ ත් පොකුණ 

~~

දැන් එන්නේ චාරිකා සටහනේ ඔබේ ප්‍රයෝජනය තකා ලියන දිගු සටනහට . ලඟදි එහෙ යන්න ඉන්නවා නම් මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න.

රත්නමාලි නවාතැන 
වෙබ් පිටුවේ පෙන්වන සුන්දරත්වය සැබෑ නවාතැන නම් ඇත්තේ නැහැ. ඒ නිසාම මම මෙතැන වෙන කාටවත් නම් රෙකමදාරු කරන්නෙ නැහැ ඔන්න. ගෙවුව ගානට සරිලන සෙවයක් මෙතන නම් නැහැ. කාමරයෙ වායු සමීකරණය ඇරුනාම ගත යුතු දෙයක් නැති නිසාත්, රූම් සර්විස් කියලා ටෙලිපොනයක්වත්, අඩු ගානෙ වතුර පොඩ්ඩක් බොන්න විදුරුවක්වත් කාමරයෙ නැති නිසා සේවය අන්තිමයි කියලා තමයි කියන්න වෙන්නේ.පිරිසිදු ඇඳ රෙදි සහ කොට්ට උර නැති එක නිසා අපි නම් අපහසුතාවයට පත් වුනා. හෝටලයකින් අපි මීට වඩා පහසුකම් බලාපොරොත්තු වෙනවනෙ. අනික මෙතැන අහාර පාන දෙන සේවයක් නැතුවා වගේම තිබෙන කැන්ටිමේ ගන්න දෙයක් නැතිම තරම්. එත් එකෙ පොඩි ඉඳි ආප්ප මුලත් රු.110ක්! 

ඕනෑම හෝටලයක අමුත්තන්ට කාමර භාර දීමේ පටිපාටියක් තිබෙනවා. අපේ පුද්ගලික තොරතුරු සටහන් කරගන්නවා වගේම, අපෙන් යතුරු භාර ගනිද්දී ලදු පතක් නිකුත් කරන්න ඕන නේද? මම දුරකතනයෙන් අපේ වෙන් කිරිමේ ලදුපත පෙන්වූවා විතරයි.

යතුරු ආපසු දෙන මොහොතේ නිකම්ම යතුර ගත්තා මිසක අඩු ගනනේ කාමරය පරික්ෂා කර බැලීමක් පවා සිදු කලේ නැහැ. ඉතින් අප සිටි මුළු කාලයේම මම කිසිදු සේවක මහතෙක් නොදුටුවා වගේම , අප ඉවත්ව යන විටදී අඩුම ගන්නේ සිටි කාමරය පරික්ෂා කර බැලීමක් පවා කලේ නැහැ. එය පහසුවක් හැටියට මම දකින්නේ නැහැ. ඒ වෙනුවට මට හිතෙන්නේ එය තද නොසැලකිලිමත් කමක් බවයි.අප යම් හෙයකින් කාමරයේ යමක් අමතක වී ආවා නම් ඔවුන් කොහොමද දැනුම් දෙන්නේ? අප ආයිත් එහි ගියත් අපේ අනන්‍යතාවය ඔප්පු කරන්නේ කොහොමද. පිට කෙනෙකු හෝටලය තුලට ආවත් හඳුනා ගන්නෙ කොහොමද? මම හිතනවා එම ආයතනයේ කළමනාකරුවන් මිට වඩා සැලකිලිමත් විය යුතුයි කියා.

ආහාර  පාන 
කිවුල් වතුර බොන්න හුරු නැති ඔබ නගරයෙන් ඈත නවාතැනකට යනවා නම් වතුර බෝතල් අරන් යන එකයි හොඳ . ඔන්න තවත් අවවාදයක්. අපි හිටිය තැන වගෙ කෑම නොදෙන තැන් වල ඉන්න අයට හරි, කෑම වේල් මග ඇරුන අයට හරි , කියන්න තියෙන්නෙ එක දෙයයි. කොලඹ නුවර වගෙ යන යන තැන පේස්ට්‍රි ශොප් එහෙ නැහැ. අහම්බෙන් හමුවන හැම කඩයෙන්ම කන්න නම් අමාරුයි, සමහර තැන් පොඩ්ඩක්වත් පිරිසිදු නැහැ. අනික මිරිස් ඉතා අධිකයි. කට දැවිල්ලයි. අපට හමු වුන කෑම හල් වලින් පිරිසිදුම එක තමයි ෆැමිලි බේකර්ස් එක. තියෙන්නෙ ටවුම මැදමයි. එකෙ උඩ තට්ටුවෙ ( cassarole ) බොහොම පිරිසිදුවට කෑම වේලක් කන්න පුලුවනි. පහල තට්ටුවෙ ගෙනියන්න පුලුවන් පාර්සලුත් තියනව. ඔබ අහාර නොදෙන නවාතැනක ඉන්න බලාගෙන යනව නම් , මෙ වගෙ තැනකින් කෑම අරගෙන යන එක නුවනට හුරුයි.

ප්‍රවාහනය 
ඔබ ඔබේම වාහනයක ආවේ නැතිනම් , සාමාන්‍ය විදිය තමයි ත්‍රි රෝද රථ . හැබැයි මෙහෙ අවම තෙරෝද රථ ගාස්තුව රු.100 යි. කොළඹවත් නැති ගණන්. ! නිස්කාරනේ  තෙරොද රථ වලට වියදම් කරන වෙලාවෙ, ඔබ දන්නවද අනුරපුර පුරාණ නගරය ඇතුලෙ දුවන විශේෂ  බස් රථ සෙවා දෙකක් තියන බව? ඒවා මුලු අටමස්ථානයෙම වටා ගමන් කරනවා. බැතිමතුන්ට , නිදැල්ලේ ඇවිදින්න ආස අපි වගෙ අයට කියාපු ක්‍රමයක්. මේ බස් නිතර නිතර අටමස්ථානයේ චාරිකා කරනවා. 

ලඟදි ඉඳලා සේවයට ආපු තව අලුත් සුඛෝපභෝගී බසයක් තියෙනවා. සේවය ඉහල පන්තියේ උනාට ගැන නම් හරිම පොඩියි. පැය තුනක් තිස්සෙ මුලු අටමස්ථානය වටයම එක්ක යන්න ගන්නෙ රුපියල් සියයයි. බසයට ගොඩ වුනු හැම දෙනාම ආපසු එනතුරු එය බලා ඉන්නවා විතරක් නොවෙයි , මේ බසයේ වායු සමීකරණ , ශීතකරණ , රුපවාහිනී හැම දෙකින්ම සමන්විතයි .  

බසයේ රියදුරු මහතා කිව්ව විදියට , දවසට වට තුනක් මේ බසය යනවා. උදේ 7.30, දවල් 11.30 සහ දවල් 2. අනුරපුර ටවුමෙන් පටන් ගන්න පළමු රවුම හරියට එකොළහට ඉවර වෙනවා. කාලයත් ඉතුරුයි. හරිම පහසුයි. ඔබට තෙරොද රියක දූවිලි කාගෙන දවස් බාගයක් කරක් ගසන්න අඩු ගානෙ රු. 2000ක්  වත් ගනිවි.ඔන්න බස් රථයෙ මහතා එයාගෙ ටෙලිපොන් නොම්මරෙත් ( 0716054100 ) දුන්නා , යන එන අයට ලබා දෙන්නය කියලා. ඔබත් අනුරාධපුරෙ යනව නම් , අටමස්ථානය වැඳ ගන්න මෙක හරිම පහසු ක්‍රමයක් ඔන්න.

අහ අමතක උනා. මදුරුවන් කියන්නේ මේ නගරෙට අමුතු උවදුරක් නොවෙයි. ඔබ කොයිකටත් මතක ඇතුව මදුරු කොයිල් එක දෙකකුත් අරන් යන්න.

මම හිතනවා මේ විස්තර , යන එන ඔබට අත්වැලක් සපයයි කියලා. මම අර කිව්වා වගෙ නටබුන් අතරේ ඇවිදින්න නිදහස් දවස් බාගයක් වෙන් කරගෙනත් බලන්නකෝ. 

එහෙනම් අනුරාධපුර වදින්න යන ඔබට සුබ ගමන් සහ තෙරුවන් සරණයි ! 

20 comments:

  1. හැබයි එතනම තියෙන ceybank නිවාඩු නිකේතනය නම් ඉතා හොඳයි. ගාන ටිකක් සැර උනත් එතන පිරිසිදු කෑම ටිකක් දෙනවා. කාමරයේ පිරිසිදු කම ඉතා ඉහලයි. අනුරපුරේ යන්න ඉතාම ඉක්මන් සහ පහසු මාර්ගය යාපනය නගරාන්තර දුම්රිය . උදේ 5.50 කොටුවෙන් පිටඋනම 9.30 වෙනකොට ඇවිත්. පළමු නැවතුම කෙලින්ම අනුරපුරය. එතන ඉඳන් නවාතැනට ඇවිද යා හැකිය

    ReplyDelete
    Replies
    1. ඔන්න හොඳ ඔත්තුවක්. ස්තුතියි. යාපනේ යන්නත් හිතන් ඉන්නවා.

      Delete
  2. නවාතැන් පිලිබඳව හා ගමනාගමනය පිළිබඳව සඳහන් කරුණු වැදගත්. ස්තුතියි ඔයාට.

    ReplyDelete
    Replies
    1. කියවා ගියාත් ඔබටත් ස්තුතියි :)

      Delete
    2. "සුජී.... ඔය ස්තූතිය ලමයෙකුට දීපන්"

      ;-) ;-) ;-)

      Delete
  3. මම මේ පි‍ටුව ඔන්න බුක්මාක් කරගත්තා. බොහොම ස්තුතියි ජීවිතේ මල්. ගියපාර සොසී කියලා නාගත්තා.

    ReplyDelete
    Replies
    1. හේ හේ. ඔන්න ඒ පාර නම් පැටලුනේ නැහැ :)
      ඉස්සරහත් දාන්නම්කො යන එන තැන් ගැන විස්තර :)

      Delete
  4. ආපහු කාලෙකින් දිග චාරිකාවක් ගිහින් වගෙයි

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්. කාලෙකින් ගියා දුර ගමනක් ඉතින් :)

      Delete
  5. මීට අවුරුදු විස්සකට වගේ උඩදි නම් අනුරාධපුරේ හොඳ කෑම කඩය 'ආලංකුලම' හෝටලේ... කෑම, පිරිසිදුකම වගේම එතන වැඩ කරපු දැරිවියොත් හොඳයි. අවේලාවේ මිහින්තලා ගල නැගීමත් හොඳ අත්දැකීමක්...

    ReplyDelete
    Replies
    1. අහා අවේලාවේ මිහින්තලා යන්නත් මතක තියා ගන්නම්කො ඊළඟ සැරේ :)

      Delete
  6. yanna inna gamanak t hama ya ganna bari una

    ReplyDelete
  7. ෂෙහ්, උඹලා ඉතින් කොහෙද අභයගිරියට ගිහිල්ලත් හොඳම කලාත්මක නිර්මාණ බලල නෑනෙව. දැනට ලංකාවෙ හොයාගෙන තියන ඉතාම විචිත්‍ර මුරගල සහ සඳකඩ පහණ තියෙන්නෙ අභයගිරි විහාර සංකීර්ණයෙ.මුරගල රත්න ප්‍රාසාදයෙ සහ සඳකඩ පහණ බිසෝ මාළිගයෙ. ඊලඟ පාරවත් මතක ඇතුව බලාපන්.

    ReplyDelete
    Replies
    1. මුරගල දැක්කෝ .. සඳකඩ පහනට යන්න බැරි වුනො .... :)

      Delete
  8. අහෝ ඛේදයකී...
    මට මේ සුන්දරත්වය විදගෙන
    වැඳ පුදගෙන එන්න නොලැබීම ගැන දුකයී

    අපි යමු දවසක හොද ප්ලැන් එකකට :D

    ReplyDelete
    Replies
    1. හා හා. ඉක්මනටම අපි යමු දවසක :)

      Delete
  9. මිහින්තලෙ ගිහින් බලන්න.අනුරාදපුරෙ ඉඳල පැය බාගෙක විතර දුවක්.බස් හියෙනව විනාඩි 15 වතාවක් වාගෙ.මිහින්තලෙ ටවුමක් ඛියල දෙයක් නම් නැ.හන්දියෙන් බැහැල මිහින්තලා ගල නගින්න,පන්සලට යනවනම් ටික දුරක් ඇවිදගේ යන්න වෙනවා.පන්සල අවටත් බලන්න තැන් ගොඩක් තියෙනවා

    ReplyDelete
  10. කෑම ගන්නවා නම් ෆැමිලි බේකර්ස් වගේම ජයන්ති මාවතේ තියෙන සීදේවි රෙස්ටුරන්ට එකත් මරු. කෑම පිරිසිදුයි, හැබැයි පොඩි අවුලකට තියෙන්නේ එතෙන්ට එන ජනකාය වැඩි නිසා ටික වෙලාවක් ඉන්න වෙනවා කෑම ගන්න. ඊට අමතර ජීවිතේ මල් කිව්වා වගේ රත්නමාලි එකේ තියෙන සාමාන්‍ය කාමර ඇරුනහම තියෙන වායුසමීකරණ කාමරයක් දවසකට රුපියක් 3000කට වගේ ගන්න පුළුවන්.
    අටමස්තානේ වන්දනා කරන්න තියෙන බස් එක ගැන මම දැනගෙන හිටියේ නැහැ, ගොඩක් ස්තුතියි මේ පොස්ට් එකට ගොඩක් ප්‍රයෝජනවත් උනා.
    පලි : නරකද trip advisor එකේ පේජ් එකක් ඇරියා නම්. ඔයා වගේ නිතර ගමනේ යෙදෙන කෙනෙක් ඒ වගේ තැනක සටහනක් තියලා, තමන්ගේ අත්දැකීම බෙදාගන්න එක හරිම වටීවි.

    ReplyDelete
  11. අදයි මේක දැක්කෙ. ආරක්ෂාව සම්බන්ධයෙන් පොඩි දෙයක් එකතු කරන්න හිතුවා.

    තමන්ගෙ වාහනයක යනව නම් කවදාවත් මල් කඩයක් ලඟ වාහනය නතර කරන්න එපා. එහෙම් වුණොත් ඒ කඩයෙන් මල් ගන්නම වෙනවා. නැත්නම් වාහනයට හානි කරන බවට තර්ජනය කරනවා.
    ඒක නිසා තමන් ආපු වාහනය මොකක්ද කියල දැන නොගන්න විදිහට ටිකක් ඈතින් නතර කරන එකයි හොඳ. ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලඟ මල් කඩ පේළියේ වම් පැත්තෙ කෙළවරේ කඩ දෙක ඔය වගේ තර්ජනය කිරීම් වලට විශේෂයි.

    ටික දෙනෙක් ඇරුණම මල් කඩ හැම එකකම වගෙ ඉන්නෙ මදාවියෝ. ඒක නිසා පරිස්සමින් කටයුතු කරන්න ඕන.

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->