එක් වරම කල්පනාවෙන් මිදුනු ඇය කිව්වේ මගේ කතන්දරයක් අහගෙන ඉඳලා අවසානයේදී..
'ඇයි?'
උත්තරේ දැන දැනම මම ඇහුවේ ඇගේ අමුතු බස් හැසිරවීම ප්‍රිය නිසාමයි.
' ඇයි අනේ... ඔයා චුට්ටක් අවුරුද්දක් හමාරක් පිරෙද්දි ඉන්න තැන් මාරු කරනවා. මම රස්සා මාරු කරනවා... දෙන්නා තරඟෙට මාරු කරනවා... හහ් හා හා'
ඇය මුකුත්ම ගානක් නැතිවා වාගේ ඔහේ කියාගෙන ගියා...
හිතට තව එක අදහසක් ඊතලයක් වගේ ආවාට ඒ අදහස එතෙන්දිම මරලා දාලා මම හිනා වුනා...
'ඇත්ත නේන්නම්' ...
'මේ සඳා බොරු කියන්න එපා. ඔයාට තව දෙයක් හිතුනා නේද ... ඇත්ත කියන්න. '
ඇය මගේ මූණට එබෙමින් අහනවා.
ඈ කොච්චර තියුණුද කියලා දන්න මම , පසුතැවීමට පත් වුනා. එකත් එකටම මට හිතිච්ච දේ එයාට දැනෙන්න ඇති...
'මොකක්ද?' මම නුරුස්නා ගතියක් මවාගත්තා.
' බොරු කියන්න එපා සඳා... ඔයාට මගෙන් අහන්න හිතුනා නේද? රස්සා විතරද , උඹ කොල්ලොත් මාරු කරන්නේ ඒ වගේ නේද?' කියලා...
ඇය තවමත් අර හිනාවම මූණෙ තවරගෙන කෙලිලොල් විදියට අහනවා...
ඇත්ත වසං කරමින් මම කතාව වෙන පැත්තකට ගෙනියන්න හැදුවෙ ඒ නිසා...
'මේ මලී , විහිලු නෙවි. දැන් ඔයාගෙ වයස බලන්න. මොකක්ද මේකෙ තේරුම නගා? දැන් මොකද වෙන්නේ? මම දන්නෙ නැහැ , අහන්නත් බයයි, මොකද හැමදාම අලුත් කතන්දරයක්.. '
මේ තිත්ත මාතෘකාව අපි කතා කරන්න ඇති ඕනෙ තරමක්... දවස් ගණන්.. පැය ගණන්... කොටින්ම මේ ගත වෙච්චි අවුරුදු 8 පුරාම. ඇගේ ඇඬුම් සිනහා දුටුව වාර ගණන මටවත් මතක නැහැ. ඉතින් ඇය එක්ක තරහ වෙන්නත් බැහැ. ඒත් ඈ එක්ක මේ දේ කතා කරලා තේරුමකුත් නැහැ.
'අක්කා... ඇත්ත... ඔයා ඔය කියන දේ හරි. ඒත් මම තාමත් හොයනවා මොකක්ද කොතනද වැරැද්ද? මොකක්ද මේ දේවල් වල තේරුම කියලා? 'මම ඇයට කතා කරන්න දීලා ඇ දිහා බලාගෙන හිටියා...
'ඇත්ත පුංචි කාලෙ මට වැරදුනා. මම වැරදි කෙනෙක්ට ආදරේ කලා. එදා ඉඳන් අද වෙනකල් , ගොඩ දෙනෙක් මගේ ජීවිතේට ඇවිත් ගියා තමා.. ගොඩාක් බර අඩි සටහන්, පුංචි අඩි සටහන් , එක එක විදියේ එක්වීම් වෙන්වීම්..
මම තාමත් හොයනවා අක්කා. මොනවද හොයන්නේ? මම දන්නෙ නැහැ.
ජීවිතේ එක්තරා තැනකට එනකල් මම ප්‍රශ්න කලා. ඇයි මට මෙහෙම වුනේ. ඇයි මෙහෙම වෙන්නේ එකම දේ එක එක විදියට මේ විදියට පහර ගහන්නේ ඇයි කියලා'
'ඒක ඔයාගෙ පැත්තෙ තියන දුර්වලකමක් නිසා වෙනවා වෙන්න බැරිද?'
'ඔව් වෙන්න පුලුවනි. සමහර විට මමම කලබල වෙන නිසා. සමහර විට මට තරහ යන නිසා. සමහර විට මම ගොඩාක් හීන බලාපොරොත්තු තියන් ජීවත් වෙන නිසා. සමහර විට මගෙ ලෝකෙ ගොඩක් ලොකු නිසා. ඒක අතාත්වික නිසා. ඔය වගේ ගොඩාක් දේවල් මට කියාගෙන යන්න පුලුවන් අක්කේ. ඒත් අක්කේ මට කියන්න , මම ඇරුනාම අවශේෂ කිසිම මිනිහෙක්ට ගෑනියෙක්ට ඔය ගතිගුණ නැතිද?
මම දන්නවා ටිපිකල් මිනිස්සු මට රටේ නැති කතා කියනවා ඇති. මම ලස්සනට ඇන්දත් පැලැන්දත් මා දිහා ගණිකාවක් තරම් පහත් විදියට බලනවත් ඇති. එක දවසකට එක වාහනේක. තව දවසකට තව වාහනේක. ඒත් මම ගියේ ගෙදර ඇරලන පෙම්වතා එක්ක කියන එක රටේ කීදෙනෙක් හිතයිද? මම ගියේ හෝටලේක පැයක් දෙකක් ඉඳලා යන්න කියලා නොහිතන කීදෙනෙක් ඉඳියිද? මට එපා වෙලා අක්කේ මේ රටේ මිනිස්සුන්ගෙ හිතන විදිය. ගෙයි ඇතුලෙ සන්‍තෝසෙන් ජීවිතයක් තියෙන්නෙ කීයෙන් කීදෙනාටද? ඒත් ගෙයින් එලියේ අනික් මිනිස්සු කරන කියන දේවල් අන්තිම තුච්ඡ විදියට විවේචය කරන්නෙත් ඒ මිනිස්සුම නේද? ඒ වගේ මිනිස්සුන්ට මාව , පිටතින් පූස් පැටියෙක් වගෙ ඉන්න , 'බඩුවක්' වගේ පේන එක මම වලක්වන්නෙ කොහොමද? අක්කම මට කියන්න.
ඇගේ කතාව එන්න එන්නම ආවේගශීලී වෙනවා වගේ මට හිතුනා.
'ඇත්ත නංගී.. මිනිස්සු දකින්නෙ එක පැත්තක් විතරයි'
අක්කේ මම හොයන්නේ ජීවිතයක්. ඒක දවස ගානෙ මිනිස්සුත් එක්ක අසහනේ ඇරගන්න නිදාගන්න අවශ්‍යතාවයක් නෙවෙයි. මට ඕනෙ හෙවණක් . ආදරයක්. දරුමල්ලො හදාගෙන ලස්සනට නිස්කලංකව ගෙවන්න ජීවිතයක්. ඒ ජීවිතේ මට දෙයි කියලා බලාගෙන මම වංචාකාරයින්ට රැවටුනා. ඒක මගෙ කරුමෙ වෙන්න ඇති. ඒත් ඒ දිහා බලන් ඉන්න මිනිස්සු මාව බ්ලැක්ලිස්ට් කරලා දක්කන්න හදන්නෙ මහපාරට වෙන්න ඇති. ඒත් ඒකට මම ඉඩ තියන්නෙ නැහැ.
මගේ ජීවිතේ සියුමැලිම තැන තමයි ආදරේ. ඒක තමා මගෙ දුර්වලකමත්. ඒ දුර්වලකම හරියට අඳුනගන්න මිනිස්සු මගෙන් ප්‍රයෝජන ගන්න හදනවා කියන එක හැම වෙලේම මට තේරෙන්නෙ පරක්කු වෙලා. ආදරේ කියලා කැදර මිනිස්සුන්ට මම රැවටෙනවා. ඒත් ඒ ආදර සිහිවටන එකකටවත් මම වෛර කරන්නෙත් නැහැ. මම ජීවිතේ දීල ගිය ඒ සිහිවටන නිසා මම වෙනස් මනුස්සයෙක් වෙලා ඉන්නේ. ඒ වෙනස් ගෑනිට එතෙන්ට එන්න පුලුවන් උනේ දුක හෝ සතුට පිරිච්ච ඒ අත්දැකීම් නිසයි.
මම ඇගේ මේ අරුම පුදුම තර්ක දිහා කටත් ඇරගෙන කල්පනා කරන්නට වුනා.
'ඒ කියන්නෙ ඔයා හිතන්නෙ මෙ වෙච්චි හැම දෙයක්ම හොඳයි කියලද?'
අක්කේ හොඳ හෝ නරක හෝ මම දැන් ඒ ගෙවුන අතීතේට සාප කරලා මට මොනවද ලැබෙන්නේ කියන්නකෝ....
ඇගේ ප්‍රශ්නයෙන් මම නිරුත්තර වුනා. ඈ තව දුරටත් කතා කරන්නට වුනා...
' මම ඒ අතීතෙ මිනිස්සුන්ට සාප කලොත් මගෙ හිත කුණු ගඳ ගහන්න ගනියි. මගෙ ඇස් වලින් එලියට පිට වෙන්නෙ වෛරය එහෙම නම්. ඒත් මම ඒ අතීතෙට සහ ඒ මෝඩ කම් කල මට සමාව දුන්නොත් , මම මේ ඉන්න ගෑනිට ,ඒ කියන්නෙ මට ආදරේ කරනවා. ඒ වගේම මගේ හිතේ වෛරයක් නැහැ. මම සැහැල්ලුවෙන් ජීවත් වෙනවා...
'ඒත් නංගි, දැන් මේවායේ කෙලවරක් තියෙන්න ඕනි නේද? හරි ඔයා අහිංසකයි. ඒක මම දන්නව.ඒත් මේ ගමන අරමුණක් තියෙන්න ඕනි නේද?
අක්කා මගෙ එකම අරමුණ හොඳ කසාදයක් බඳින එක නෙවි. මගේ මේ හිතන විදියට පෑහෙන සහකරුවෙක් හොයා ගන්න එක . එහෙමයි කියාලා හිතලා ලං වෙන මිනිස්සු මට නොගැලපෙද්දීත් මේ ලෝකෙ ජීවත් වෙන බහුතරයක් මිනිස්සු වගේ රටේ ලෝකෙ අපවාදෙන් ගැලවෙන්න , ප්‍රථම ප්‍රේමය අවසන් ප්‍රේමය වෙලා විවාහයෙන් කෙළවර වෙන්න ඕනෙ නිසා , කසාද බැඳලා ඉතුරු ජීවිතේම දුක් විඳින්න මම ඕනෙද? නොගැලපෙනවා නම් වෙන් වුනා. ඒකෙන් දෙන්නාටම වෙන්නෙ යහපතක්'
මට වෙලාවකට ඇගේ තර්ක බිඳින්න බැහැ. ඒත් ඒවා නිවැරදි නැහැ කියලාත් හිතෙනවා. ඒත් මගේ සිද්ධාන්ත ප්‍රායෝගික නැහැත් හිතෙනවා. ඇයි මේ කෙල්ලටම එහෙම වෙන්නේ? ඒත් අපි නොදන්න පිටට පේන සුන්දර පවුල් ජීවිත ඇතුලේ ගින්දර ගොඩවල් තියෙනවා වෙන්න බැරිද? ප්‍රශ්න ගොඩක් මගේ හිසට ඇවිත් හිසරදයක් වගේ දැනෙන්නට වුනා. ඇයට මගෙ ව්‍යාකූල බව දැනෙන්නට ඇති.
'අක්කේ ඔයා කණගාටු වෙන්න එපා. ඇයි දන්නවද? මම කණගාටු නොවෙන නිසා. මට ජීවිතේ කියන්නේ ආශිර්වාදයක්. ඒ ජීවිතේ ඇතුලේ වැරදිච්චි තැන් හුඟාක් තියනවා. ලෝකෙ සමාව දුන්නත් නැතත් මම මට සමාව දීලා ඉන්නේ. මගෙ හිත මේ ගෑනිට ආදරෙයි. ජීවිතේ ඇවිත් ගිය මිනිස්සු , ඒ අය ඉතුරු කරලා ගිය කැළැල් , වේදනා තුවාල ඒවාපාර පාර මම දුක් විඳින්නෙ නැහැ. මම ඒ මිනිස්සුන් මට දීපු පුංචි ආදරේට හරි මම ස්තූති වන්ත වෙනවා.
අනික ලෝකෙ මිනිස්සුන්ට පේන්නේ මම සැහැල්ලුවෙන් හිනා වෙලා ඉන්නවා. ඒ වගේම කැඩී බිඳෙන ආයෙ අලුතෙන් එන ප්‍රේම කතන්දර එකක්වත් මායිම් නොකර ඉන්නවා. හෙවත් ඒ මිනිස්සුන්ට පේන්නේ මම එහෙවු දේවල් වෙලාත් හිනා වෙලා ඉන්න නිසා මම සෙල්ලක්කාර සල්ලාල නැට්ටිච්චියක් කියලා වෙන්න ඕනෙ. එහෙම හිතන මිනිස්සුන්ට මම අනුකම්පා කරනවා. වෛර කරන්නෙ නැහැ. ඒ එයාලගෙ අවබෝධය . මම ආව දුර එයාල දැනගන්න ඕනිත් නැහැ. මම කොතැන්දිවත් කාටවත් පාපෝච්චාරණය කරන්නෙත් නැහැ. දුක කියවන්නෙත් නැහැ. හැබැයි වැදගත්ම දේ, මිනිස්සු දකින්නප්‍රර්ථනා කරන 'යන එන මං නැති පාරට වැටිච්චි සල්ලාල ගෑනියෙක් බවට මම කවදාවත් පත් වෙන්නෙත් නැහැ.
පෙම්වතුන් ගොඩක් ඉඳලා නැති වෙලා ගිය එකට මගෙ වැරදි ඇති. ඒ මිනිස්සුන්ගෙත් වැරදි ඇති . දෛවයේ බලපෑමකුත් ඇති. පෙර අකුසලුත් ඇති. නොගැලපීම් තියෙන්නත් ඇති. නොදැනුවත්කම් තියෙන්නත් ඇති. ඉතින් තිබුනාවේ. මගේ ජීවිතේ කාගෙවත් ලේබල් වල ස්ටේබල් වෙන්නෙ නැහැ අක්කා. එයාලා මම ගැන කතා කරපුවාවේ. මට ප්‍රශ්නයක් නැහැ. ආදරේ කියන්නේ මම හැමදාමත් කරන දෙයක්. ඒක මිනිහෙක්ට නෙවි, ලෝකෙටම අදාල දෙයක්. ගෙවිච්ච මගේ තරුණ ජීවිතේ ගැන මට එක අබමල් රේණුවකවත් දුකක් නැහැ. මොකද මම විඳවන්නෙ නැති නිසා.
ඇගේ දිගු කතාව අවසානයේ මාද මොහොතකට ජීවිත ලැහැබෙහි අතරමං වූවා යැයි දැනුනා. ඇය තුල සාධාරණ මෙන්ම අන්තිම තාර්කික ජීවියෙකුද වැඩ වෙසෙන බව හැඟුනත් කොහේදෝ කුමක්දෝ කාටහෝ වැරදී ඇතැයි සිතෙන ඒ හැඟීම ඈ සමග කතා බහ කොට සති කිහිපයක් ගතවී ඇතත් තවමත් මට දැනෙන්නට වූවා.ඈ කියූ අවසන් වදන් කිහිපය තවත් බොහෝ කාලයක් මගෙ හිතේ රැවු දේවි.
'කාලයක් මම දුක් වුනා. පසුතැවුනා , මගේ දිවය හෙමෙ කලේ ඇයි කියලා... මම කාලයක් ප්‍රශ්න කලා - ඇයි මට මෙහෙම වෙන්නේ කියලා. තව කාලයක් මම උත්තර හෙවුවා අක්කා - ආගමෙන්, බෙහෙත් වලින් , යාලුවන්ගෙ උපදෙස් වලින්.. ඒ වගේ එක එක යුග ගණනාවක් මම පහු කලා. අක්කා ඔයා දන්නවද අද මම ඉන්න යුගය මොකක්ද කියලා...
මම වර්තමානයේ ජීවත් වෙනවා. හොඳ නරක මිස මිනිස්සුන්ගේ මතවාද එක්ක මම ජීවත් වෙන්නෙ නැහැ. ජීවිතේ ගෙවුන හැම තත්පරේකටම මම ස්තූතිවන්ත වෙනවා. ගෙවෙන මේ මොහොතට ආදරේ කරනවා. ගෙවෙන්න තියන තත්පර කෝටි ගානක ඉතුරු ජීවිතේ වෙනුවෙන් බලාපොරොත්තු අත් හරින්නේ නැහැ.. ගතවෙන හැම මොහොතෙදිම මම ඉපදෙද්දි ලෝකෙන් උදුරුගත්තු හැම දේකටම හිලවු වෙන්න, ලෝකෙට දෙන්න පුලුවන් හැම දෙයක්ම දෙනවා... මම හිතන්නේ අක්කේ , මට අනුව නම්, ඒක තමයි මගේ නිර්වාණය කියන්නේ.'
ඇය තුල, සාම්ප්‍රදායික දෑසකට කටු අනින අවිනීත සැහැල්ලුවකුත් , එබඳු දෑස් අන්ධ වන සුළු , තේරුම් ගත නොහැකි ආකර්ශනීය ප්‍රභාවකුත් රැඳී තිබෙන බවක් මට දැනුනා.
සැබවින්ම ඇයට දිය යුතු නම මම නොදන්නෙමි. බැඳීම් කෙරෙහි ආසක්ත නොවෙන , ජීවිතේ එක් නවාතැන්පොලකැයි සිතන , ජීවිත පොතේ හැම පරිච්ඡදයකම තිබෙන අස්ථිර බව හඳුනන ,
ඔව්, ඇය අහිකුණ්ඨිකයෙක් බව නම් සැබවි !