Wednesday, December 18, 2019

[367] සත්කාරයේ චමත්කාරය අනුමෝදන් වනු පිණිස ..

Image result for ohiya temple

එදා හෝටන් තැන්නෙන් එද්දී , පස් කන්දට යට නොවෙන්න අපව බලා කියා ගත්තු , ඔහියේ ඔංසල ඔබට තාම මතක ඇති. එහෙන් පිට වෙද්දී අපි දෙන්නගේ හිතේ කෙටුනේ, අපිට පුළුවන් පමණින් මොකක් හරි උපකාරයක් පන්සලට කරමු කියන ඒකයි.  

ඒත් ... ඒත් ... ගෙදර ආවම අපේ හිතේ තිබ්බ සිතුවිල්ල යාවත් කාලින වුනා .. “නෑ, අපි අපිට පුළුවන් උපරිමයෙන් දෙයක් කරමු. ආයිත් එහෙ යමු , ගිහින් එහෙ නවතිමු “ අපේ හිතේ මහන්සිය වියැකෙන්න වියැකෙන්න , අලුත් බලාපොරොත්තු දැල්වුනා. 

තව දවසක් විතර යද්දී , මහන්සිය කොහෙන් ගියාද නෑ, ඒ වෙනුවට, ලෙහෙසියෙන් කෙනෙක්ට අහම්බයකින් ලබාගන්න බැරි මොන තරම් අත්දැකීමක්ද අපි වින්දේ කියලා විතරක් හිතේ රැව් දෙන්න පටන් ගත්තා. හීනි නිහතමානි ආඩම්බරයක් එක්කම. ඒ එක්කම අපේ අර සිතුවිල්ල අමතක වුනේ නෑ. අලුත් වුනා මිසක.
 “ තනියම පින් කරන්නේ මොටද , අපි අපේ හිතවත්තු දෙතුන් දෙනෙකුට කියමු . කැමති නම් එයාලත් උදව් වෙයි අපිට හොඳ යමක් කරන්න” 

ඉතින් , දැන් අනේ , සමාවෙන්න ඕනි ඔයාලා හැම දෙනෙක්ටම මේ පණිවිඩේ නොකිව්වට.. පටන් ගැන්මක් හැටියට ගොඩක් පුංචියට තමයි මේක කලේ. වට්ස් ඇප් එකේ ලඟම චැට් හිස්ට්‍රිය බලලා එකේ , හිටිය හිතවතුන් දෙතුන් දෙනෙක්ට , පුංචි පණිවිඩයක් අපි ලිව්වා මිට සතියකට දෙකකට උඩදී. 

හෝටන් තැන්නේ කතන්දර ලියන්නට පෙර ....
මෙවර අපි හෝටන් තැන්න ගිහින් එද්දි , ඔහියෙන් පාරට පස් කඩන් වැටීම නිසා , දෙවියන් වගේ අපට පිහිට වුනේ ඔහිය කියන ඉතාම දුෂ්කර ගම්මානයේ , හෘදයාංගම ගම්වැසියන් සහ ඔහිය ආශ්‍රමයේ ස්වාමින් වහන්සේයි. 

ඔහිය ආශ්‍රමය කියන්නේ පුංචි පන්සලක්. හරියටම ඔහිය ස්ටේෂන් එකට ඉහලින් මේ පන්සල තියෙන්නේ පුංචි කඳු ගැටයක . 

අපි වෙනුවෙන් වතුර උණු කර දීලා , කොට්ට පැදුරැ බ්ලැන්කට් සපයලා ,කෑම බීම ගැන හොයා බැලුව, පන්සලේ නැවතී ඉන්න එකම එක මනුෂ්‍ය ප්‍රාණියා වන ස්වාමින් වහන්සේගේත් , ඒ අවට ඉන්න ඉතාම සිමිත ගම් වැසි පිරිසගේත් හොද හිත ගැන කියන්න වචන නැහැ. කෑවාද බිව්වාද කියා හොයල බලමින් ,උවමනා හැම දේම ලංකර දෙමින් අප වෙනුවෙන් වෙහෙසුන මේ ගම්වැසියන් සහ ස්වාමින් වහන්සෙ වෙනුවෙන් කෘතගුණ සලකන්න කියලා අපට කරන්න පුලුවන් වුන එකම දේ , ඒ වන විට අපෙ පර්ස් දෙකේ ඉතුරැව තිබු දෙදහස් ගණනක් සල්ලි වලින් හින්චිත්තන් ආධාරයක් කරන්න විතරමයි. උදේ කෑමට විතරක් මුදල් තියාගෙන , පන්සලට ඉතිරිය පූජා කල බව ඇහුව , ඔහිය ස්ටේසම ගාව කඩේ ගාමිණි අයියා , උදේ කෑමට අපෙන් සතයක් වත් ගත්තෙ නැහැ.
"දැන් මහත්තුරැ ATM එකක් හොයා ගන්නතුරැ අතේ කීයක් හරි තියෙන්න එපැයි" එහෙමයි ඔහු කිව්වෙ.. ඒ තමයි ඒ අහිංසක ගම්වැසියන්ගෙ මනුස්සකම්. 

ඉතින් ... හිතට දැනෙන්නේ ලොකු අඩුවක් ...

අපිට මීට වඩා යමක් ඒ ගම්වැසියන්ට , පන්සලට කල යුතු බව එද්දීම අප සපථ කර ගත්තා. 

ඉතින් අපි තීරණය කලා ඒ අඩු පහසුකම් සහිත පුංචි පන්සලට අපේ ශක්ති ප්‍රමාණයට යම් උදව්වක් කරන්න. මොකද ගම්වැසියන් කියන හැටියට මේ පුංචි පන්සල කාලයක් තිස්සෙ වහල දාලා තිබිලා , මාතර ප්‍රදේශයෙන් මේ දැනට වැඩ ඉන්න ස්වාමින් වහන්සේ වඩමවලා නැවත යතා තත්වයට අරන් තියෙන්නේ ගම්වැසියන්ගේ බොහෝම වෙහෙස මහන්සියෙන්. ඔවුන් ශක්ති ප්‍රමාණයට ස්වාමින් වහන්සේ සහ පන්සල ගැන සොයා බැලුවත් , පන්සලට බොහොම හිඟ පාඩු තිබෙන බව අපි ඇස් දෙකෙන්ම දැක්කා. වහලය දිරලා තැනින් තැන වතුර වැටෙනවා. පාර මඩ වෙලා. අපි වගෙ අනාත අසරණ වෙන බොහෝ පිරිස් මේ පන්සලෙ නවතිනවා. ස්වාමින් වහන්සෙ ඔවුනට නොමසුරැව උපකාර කරනවා. 

ඉතින් අපි බලාපොරොත්තු වෙනවා එන සතිය මුල වෙද්දි දුම්රියට බඩු පෙට්ටියක් දමන්න. සහ ස්වාමින් වහන්සෙගේ බැංකු ගිණුමට පුංචි මුදලක් බැර කරන්න. 

යවන බඩු භාණ්ඩ වශයෙන් , පන්සලේ පරිහරණයට ගත හැකි දේවල්, ගමේ දරැවන්ට නගරයෙන් මිලට ගන්න අපහසු දේවල්...ලිස්ට් එක මේ හදන ගමන්.. 

ඉතින් ඔබත් කැමති නම් පුංචියට හරි දායක වෙන්න , අපි කැමතියි ඔබවත් ඒ පිනට හවුල් කර ගන්න . කැමති නම් අපිට කියන්න.මං විස්තර දෙන්නම්. 

දායක වුනෙ නැහැ කියලා කිසිම අමනාපයක් නෑ. 😊 හෝටන් තැන්නට ඔහිය පාරෙන් යනවා නම් , ඒ පන්සලට ගොඩ වෙලා හරි එන්න. ඒ පිනත් ඇති ... ස්තුතියි. 🙏

දිල්ශාරා සහ ප්‍රසන්න”

ඔන්න ඔහොම මැසේජියක් යැවුවා පමණයි... දවසක් දෙකක් යද්දී මෙරට , නොරට යහළු යෙහෙළියෝ  , මේ පන්සල අදටවත් දෑහින් නොදැක , අපි එක්ක එකතු වුනා මේ සත්කාරය කරන්න.

ඉතින් මේ ආදරය , මේ ගෞරවය , මේ කෘතවේදී බව ඔබටයි. රුපියල් පනස් දහසකටත් වඩා මුදලින් සහ භාණ්ඩ වලින් යුතු ලොකු ආධාරයක් අපිට ඒ පුංචි පන්සල වෙනුවෙන් යවන්න ඊයේ හැකි වුනා. කිලෝ 27ක භාණ්ඩ පෙට්ටියක පන්සලකට අවැසි බොහෝ භාණ්ඩ , බෙහෙත් , ආහාර ද්‍රව්‍ය ගොඩක් දේ අපට යවන්න හැකි වුනා විතරක් නොවෙයි , පන්සලේ වහල අලුත් වැඩියා කරන්න සැලකිය යුතු තැන්පත් මුදලක් යවන්නත් අපිට හැකි වුනා. 

මේ වෙනුවෙන්ම සාප්පු ගානේ රස්තියාදු වුන , භාණ්ඩ මිලට අරන් ඒවා උස්සගෙන අතින් කටින් එල්ලගෙන ආපු, තමන් මහන්සියෙන් හරි හම්බ කල මුදල් කිසිම දෙහිතකින් තොරව , මහත් විස්වාසයකින් යුතුව මගේ පෞද්ගලික ගිණුමට එවපු , එක රුපියලක ඒ වගේම පරිත්‍යාග කල පුංචි පොතක, කඩදාසියක , කොට්ට උරයක , සිද්ධාලේප බෝතලයක .... අක්කර ගානක් විසාල හදවතක් , පිරුණු ආදරයක් , උත්තම මිනිස් කමක් තිබෙනවා. ඒ මිනිස් කමට ස්තුතියි. 

ඉතාමත් දුෂ්කරතා මැද්දේ , දකුණු පුරවරයෙන් ඇවිත් , ඔහිය ගම වාසින් වෙනුවෙන් නතරව වැඩ ඉන්න , සිනිමෝදර සුමනතිස්ස ස්වාමින් වහන්සේ වෙනුවෙන් මෙම පින්කම කිරීමට, මේ තරම් හොඳ හිත පතුරවන සත් පුරුෂයන් පිරිවරාගෙන ජීවත් වන්නට , අප කොතරම් භාග්‍යවන්තද කියා සිතන්නට අවසරයි...
ඉතින් .,. සතියක දෙකක කෙටි කලක් තුල , මෙතරම් විසල් පින්කමක් කිරීමට සහය වුනු ඔබ සියලු දෙනාට අපගේ නමස්කාර පුර්වක ගෞරවය අප පුද කරන්නම්. ඉදිරියටත් මෙවැනි දේ දැනුවත් කරන්නම්. ස්තුතියි. ස්තුතියි.. ස්තුතියි.. 

.....
ප.ලි.
සමහර විට ඔබට මේ ගැන නොකිව්වට ඔබ අමනාප ඇති. එහෙම වෙන්න එපා. අපි ආයිත් මෙහෙම දෙයක් කරමු. පොඩි හුවක් මැසේජ් එකක තියල තියන්න. මිළඟ වාරයේදී මම ඔබටත් කියන්නම්. 

පොඩි ඉල්ලිමක්... ඔන්න අලුත් අදහසක්... 

හෝටන් තැන්නේ හරි , හපුතලේ හරි , බණ්ඩාරවෙල හරි ට්‍රිප් යනවා නම් , ඔහිය දුම්රිය පලට උඩහින් තියන මේ පුංචි පන්සලටත් ගොඩ වෙන්න. මුදල් දෙන්න නෙවි. නිකමට හාමුදුරුවන්ගේ සුවදුක් හරි විමසලා එන්න. හාමුදුරුවන්ටත් කොපි එකක් හදලා දීල , කොපි එකක් බීල එන්න. හද්ද කැලේ අස්සේ තියන පුංචි පන්සලක තනියම වැඩ ඉන්න ස්වාමින් වහන්සේ නමකට කොයි තරම් වටිවිද ඔබේ හොඳ හිත ... 

අපි වගේ අලුත් අත්දැකීමකට කැමතිනම් ඔබත් , මෙන්න තව යෝජනාවක්. පන්සලේ තිබෙන පුංචි විශ්‍රාම සාලාවේ නැවතිලා , පහුවෙනිදා උදේ ඔබට පුළුවන් හෝටන් තැන්නේ ඇවිදින්න යන්න. පහල කඩේ ගාමිණී අයියා ඔබට උදව් කරාවි. ( අවැසි නම් කියන්න , අපි සම්බන්ද කර දෙන්නම්) පන්සලේ කුස්සියේ බතක් මාළුවක් හෙම උයල , පුළුවනි නම් පහුවදා හාමුදුරුවන්ට දනය පිලිගන්වන්නත් ඔබට පුලුවනිනේ. .. පොඩ්ඩක් නිර්මාණශීලි වුනහම , අපි ගිය ට්‍රිප් එකම අලුත් විදියකට ඔබට යන්න පුළුවනි නේද?  වාහනයකම යන්න ඕනිත් නැහැනේ. උදේ බදුලු කෝච්චියෙන් ඔබට පිටත් වුනාම , ඔහියෙන් බහින්න පුළුවනි. ඔහිය පන්සලේ රැයක් ඉඳලා පහුවෙනිදා පුලුවනිනේ හෝටන් තැන්නේ යන්න. සුළුවට හරි ඔයාල උදේ කෑම / දවල් කෑම පිළියෙළ කරද්දී , සුළු දෙයක්නේ හාමුදුරුවන්ටත් ( ඉන්නේ එක නමයි) දානය දෙන එක. ඉතින් ඊළඟ බදුලු කෝච්චියෙන් ඔබට පුළුවන් කොළඹටම එන්න. 

ඒ අලුත් අදහසත් එක්කම , එහෙනම් , දැන් ඉතින් අවසරයි නවතින්න.
යලිත් වරක් .. ස්තුතියි... ස්තුතියි.. ස්තුතියි... 

හොඳ දේ කරන්න ඔබව , අපිව හුරු කරපු අපේ ගුරු දෙගුරුන්ට ස්තුතියි. පින් කරන්න ලැබෙන එකත් ලැබීමක්. කොච්චර මිල මුදල් , පදවි තානාන්තර තිබ්බත් , හිතේ කහටක් නැතුව සුපිරිසිදු යයි කියන මාදිලියේ පිනක් කරන්න නම් එකට වාසනාවකුත් තියෙන්නම ඕනි. ඉතින් යලිත් වරක් පින් ! 

ඔහිය වැනිම තවත් ගමනකින් හමුවෙමු ! 

මේ පහළ පින්තුරයේ තියෙන්නේ අපි යවපු බඩු තොගය . දානයට සම්බන්ධ වූ පින්වත් ඔබට වෙන වෙනම ගිණුම් විස්තර හා අනෙක් විස්තර එවා ඇති ..


1 comment:

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->