Monday, March 28, 2011

[169] කුසල් හෙවත් දෙවියන්ගේ තෑග්ග... (ඉස්කෝලෙ ඇත්ත කතාවක්)

කුසල්..... කුසල් කියන නමටම ගැලපෙන ඉතාමත් දක්ෂ හුරුබුහුටි ශාන්ත ගති ගුණ තියන දරුවෙක්.. පොඩිත් නැහැ.. 11 වසරේ... අපේ සංකර ඉස්කෝලෙ සංකර කම් වලින් කොහෙත්ම නොකෙලෙසුන දේව දූතයෙක් වගෙ දරුවෙක්...


කවම කවදාවත් 'Good Morning Miss' නොකියා පතිය ඇතුලට නො එන...   කිසිම දාක ගෙදර වැඩක් අතපසු නොකරන... කිසිම විටෙක උගන්නද්දි පංතියේ කතා නොකරන... එකටෙක නොකියන... මුරණ්ඩු නොවෙන... අහිංසක.... ඉගෙනිමෙහි අති දක්ෂ... ආඩම්බර නැති.... නිහතමානී... යාලුවො හැමෝ එක්කම ප්‍රිය මනාප... මිත්‍රශීලී...


මේ හැම නිර්වචනෙකටම අති ඉහලින් සුදුසු... හැදිච්ච විනීත දරුවෙක්...   මෙහෙවු දරුවන් ලොව සිටිනවානම් මා දැක ඇත්තේ නම් අතලොස්සයි... කුසල් සිහිවෙන හැම වෙලාවකම මට මතක් වුනේ කුසල්ගෙ අම්මා... මෙතෙක් දෙමාපිය හමු 4කට ඈ සහ කුසල් ආවා මා ඉදිරියට...




කොන්ඩය කොටට කපපු.. කොට ගවුමක් ඇඳපු.... ලස්සනට මේකප් කරපු අම්ම කෙනෙක්....   මට එක මොහොතක් පුදුම හිතුනා... අම්ම නම් ටිකක් සංකරයි වගේ.... මට මුලින්ම හිතුනෙ එහෙමයි...  ඒත් ඒ තිබ්බ සිතුවිල්ල වාෂ්ප වෙන්න ගත්තෙ ඈ එක්ක කතා කරනකොට.. කුසල්ගෙ තියන නිවුනු ශාන්ත ගතිය එහෙමම අම්මගෙන් උරුම වුනු දෙයක් කියන එක මට පෙනුනා...


පසුගිය දෙමාපිය හමුවෙ වෙනකල් හැමවතාවකම මම කුසල් සහ කුසල්ගෙ අම්මව ආව සැනෙන් හරවල යැව්වා... මට කියන්න තිබ්බෙ එකම දෙයයි මේ දේව දූතයා ගැන...


'අනේ මේ දරුවගෙ මොන අඩුපාඩුවක් මම කියන්නද ? ඈත්තටම කියන්න කිසිම දෙයක් නෑ.. හැමදේම හොඳයි... එක දෙයයි ඉල්ලන්නේ.. තමුන්ගේ මේ වටිනා මනුස්සකම මැරෙනකල්ම එහෙමම තියාගන්න පුතා... කිසිම දවසක වෙනස් වෙන්න එපා...අනේ මෙතන කල්මරන්න එපා... ගෙදර යන්න... "


මම හිනාමුසු මුහුණින් හැමදාම කියනවා...අම්ම හැමදාම හිනා වෙලා ආපහු යනවා... එහෙමයි දෙමාපිය හමු 3ක්ම ගෙවුනේ...


ඒත් මෙදා ඒ අම්මගෙ ඈස් රතු කරවන්න මට සිද්ද වුනා.. මම අදටත් දුක්වෙනවා ඒ ගැන... සසල වෙනවා...ඒත්...




පහුගිය මාසෙ දවසක 11 වසරෙ දරුවන්ගෙ අම්මල ආවා...ඔන්න පුරුදු පරිදි කුසල් ආවා.. අම්මත් එක්ක...


මෙදාපාර මට කියන්න වෙනස්ම දෙයක් හිතේ ගුලි ගැහිල තිබුනා.... ඒත් ඒක කියාගන්නෙ පිටකරන්නෙ කොහොමද කියන එක මටම ප්‍රශ්නෙයක් වුනා... ඒත් මම හිත හදා ගත්තා.. කඩා වැටෙන්ට තතනන හිත දහිරිය කරගෙන , බලාපොරොත්තු ගැන දෑස දල්වගෙන ඉන්න අම්මා සහ කුසල් ඉදිරියේ මම හඬ අවදි කලා...


'කුසල් ..පුතා... ඔයා දන්නවද ඔයාගෙ නමේ තේරුම... ? '


දරුවා හීනියට හිනා වෙමින් ඔලුව වැනුවා.....


'කුසල් කියන්නෙ පින් ඇති කියන එක.. ඔයා දන්නවද ඔයා කොච්චර පින්වන්ත දරුවෙක්ද කියන එක.. ඔයා දන්නවද ඔයා කොච්චර වාසනාවන්ත දරුවෙක්ද කියන එක ? ඔයාගෙ අම්මට ඔයාව ආඩම්බරයක්... ඔයා දන්නවද.. මම පුතෙක් ලබනවනම් පතන්නේ ඔයා වගෙ වටිනාකම් පිරිච්ච පුතෙක් ලබන්න.. ඔයා දන්නවද ඔයාගෙ අම්මට ඒ වගෙ දෙයක් අහන්න ලැබෙන එක කොයි තරම් ආඩම්බරයක්ද කියන එක...


මට ඔයාගෙ වටිනාකම තියෙන්නෙ ඔයා දක්ශ දරුවෙක් නිසා නෙමෙයි. ඔයාගෙ මනුස්සකම් සහ ලස්සන ගතිගුණ නිසා... මම ඔයාගෙ නම කොච්චර පොඩි අය ඉස්සරහ පාවිච්චි කරනවද 'කුසල් වගෙ හැදෙන්න' කියලා. ඒකෙ සම්පූර්ණ ගෞරවය ලැබෙන්න ඕනෙ ඔයාගෙ අම්මටයි තාත්තටයි... එයාල කොයි තරම් වාසනාවන්තද ඔයා ගැන හැම ගුරුවරයෙක්ගෙන්ම මේවගෙ හොඳ අහන්න...


ඔයා ඒ වැඩිටියන්ගෙ හිතේ ඔයා ගැන ඈති කරන සතුට තමයි පුතේ ඔයාට ආශිර්වාදයක් වෙලා තියෙන්නෙ... වෙන කිසි දෙයක් නෙමෙයි... ඔයා ලකුණු බින්දුවක් අරගෙන අද අම්ම එක්ක ආවත්.. මම මේ ටිකම ඔයාගෙ අම්මට කියනවා...


කිසිම දවසක වයසෙන් වැඩෙද්දි , ලෝකෙ එහා කොනට ගියත් මේ වටිනාකම් අමතක කරන්න නම් එපා.. මට සහතිකයි ඔයා කිසිම දවසක වෙනස් වෙන එකක් නෑ.. මම හැමදාම හිතුවෙ ඇයි කුසල්ගෙ අම්මට මම මේ දෙන සතුට මට ගොඩක් අම්මල තාත්තලට දෙන්න බැරි කියන එක..


පුතේ හොඳට මතක තියා ගන්න.. අදක්ෂ ලමෙක්ගෙ මොළයක් දක්ෂයෙක් වෙන්නට පුහුණු කරවන්න පුලුවනි... ඒත් නොහික්මුණු හදවතකට වටිනාකම් දීල වටිනා හදවතක් ගොඩනගන්න බෑ.. ඒකට පුහුණු කරවන්න බෑ...'


මම කුසල්ගෙ අම්ම දිහාවට හැරුනා...
'ඔයා හරිම වාසනාවන්තයි... මේ වගෙ දෙයක් පුතා ගැන ගුරුවරයෙක්ගෙ කටින් අහගන්න.. කුසල් කියන්නෙ එයාගෙ නමටම ගැලපෙන දරුවෙක්.. මට හරිම සතුටුයි ඔයා එයා හදල තියන විදිය ගැන...කිසිම සැකයක් නෑ.. ඔයාලට හැම අතින්ම ආඩම්බරයක් වෙන්න පුලුවන් දරුවෙක්..


මේ මගෙන් කුසල් ඉගෙන ගන්න අන්තිම වාරය... මට කුසල්ගෙ අම්මව මුණ ගැහෙන අන්තිම දෙමාපිය හමුව.එයාට හැමදාම මේ වගේම හැදෙන්න කියන්න... '


ආඩම්බරෙන් හිනා වෙමින් උන්නු අම්මගෙ මුහුන සතුට දරාගන්න බැරුව ඇස් වල කඳුලු පිරෙන්න ගත්තා... මොහොතක් මා දිහා බලාගෙන උන්නු ඈ බෑගයෙන් ලේන්සුව සොයමින් ඉකිගසමින් හඬන්න ගත්තා...  මගෙත් ඇස් වල පටලයක් බැඳිලා වගේ ... කුසල්ගෙ ඇස් වලටත් ආදරනීය අම්මගෙ ඇඬුම නිසා කඳුලු පිරෙන්න වුනා.. ඒත් ඒ කඳුලු කොයිතරම් සුන්දරදැයි අදටත් මම සිහිපත් කරනවා...


ගුරුවරුන්ට නෙත අඳුනක්ම වන... ගුරුවරයෙකුගේ ජීවිතයට පවා ආශිර්වාදයක්ම වන, ගෙවූ පුංචි ජීවිතයේ එක දවසක්වත් පසුතැවෙන්නට සිදුවෙන දෙයක් නොකල රත්තරන් දරුවෙක් හැදූ ඒ අම්මාට තාත්තාට මේ ලිපිය උපහාරයක්ම වේවා ! එවන් දරුවන් තනමින් ලෝකයම සුවපත් කරන දේව දූතයන් බිහි කල හැම දෙමාපියෙකුටම මේ ලිපිය උපහාරයක් වේවා...






මේ පුංචි දේව දූතයාට මේ ලිව්ව අකුරක් ගානේ ආශිර්වාදයක්ම වේවා !

Sunday, March 27, 2011

[168] අමුතු පෝස්ට් එක සහ ශෝට් ෆිල්ම්



මේ තමයි මම වෑඩි වශයෙන්ම සසල වුනු කෙටි චිත්‍රපටයක් ....  නැරඹීමෙන් අනතුරුව මම විනාඩි කිහිපයක් එක දිගට වුනේ මොකක්දැයි හිතා ගන්නට බැරිව බලා හිටියා. කොටින්ම ගල් ගැසුනා....
විනාඩි කිහිපයකදී සිත මෙතරම් සසල වුනේ කෙසේදෑයි මටම හිතා ගන්නට බැරිව මගෙ හිත ලත වෙනවා... 


මේ හුස්ම වැටෙන සජීවී මිනිසුන් නොවෙන බව... ඈසිපිය ගෑහෙද්දි ඒ සිරුරු ඔස්සේ රිහිරු නොදුවන බව මට මොහොතකට නොව සදහටම අමතක වුනා...
 ^^^^
ශෝට් ෆිල්ම් වලට මගෙ හිතේ ආසාවක් ඈති කලේ අනුරාධ මල්ලියා... 
පහුගිය දවසක එයා හෑදුව ශෝට් ෆිල්ම් එක බෑලුවම මට හිතුන දේවල් කිහිපයක් තිබුනා..


එකක් තමයි අපි තිබෙන සම්පත් ගැන දොස් නගන්නට ගත කරන කාලය , අපට නෑති නව තාක්ෂණය ගෑන අවලාද නගන්නට ගත කරන කාලයෙන් හතරෙන් එකක් සිය නිර්මාණශීලිත්වය උදෙසා කැප කලානම්... බිහිවෙන නිර්මාණය අපේ රටේ අනාගතය ගැන සුබ බලාපොරොත්තුවක් එක් කරනු ඇති බව... 


අනෙක තමයි, කිසිදු ස්ථායී සිනමැටෝග්‍රැෆි පදනමක බරසාර ලෙස නොපිහිටමින් අනුරාධ මෙතරම් හපන් කමක් කලානම්, ඔහු පෝෂණය ලදොත් ඔහුගෙන් කෙතරම් හොඳ නිර්මාණකරුවෙක් බිහිවිය හැකිද යන වග ...
video


මේ පෝස්ට් එක වෙන් වෙන්නේ... pixar ශෝට් ෆිම් එක වෙනුවෙන් නොවෙයි. මේ පෝස්ට් එක වෙන් වෙන්නෙ අනුරාධ මල්ලි වෙනුවෙනුත් නොවෙයි... මේ පෝස්ට් එක වෙන් වෙන්නෙ තිබෙන සම්පත් වලින් ලෝකය වෙනස් කල හැකි සරල එහෙත් දුලබ අපූරු මිනිසුන් වෙනුවෙන්... 
^^^^
ලෝකය වෙනස් කරන අපූරු මිනිසෙකුට....
ලෝකය එක දවසක හිට , හැමදාමත් සුන්දර වුනේ 'නුඹ' නිසා... ලෝකයට නුඹ ආ අරමුණු දෙකක් ගැන මට කිව්වා.... ඉන් දෙවෙනි එක... ලෝකය වඩා යහපත් තැනක් කිරීම... ඒ මගේත් දෙවෙනි පැතුම... පෑතුම් ගොඩක ජීවිතේ සිර වූයේ නැහැ. ජීවිතය කිරිල්ලක වගේ මුදා හැරුනා මිසක... එහි තිබෙන්නේ පැතුම් දෙකයි... නුඹට වගේම... ඉන් දෙවැන්න... ලෝකය වඩා යහපත් තැනක් කිරීම...
ඒ වෙනුවෙන් අත් වැල් බැඳ ගන්න හැකිවීම මා ලද විශාලම ජයග්‍රහණය... ... ඒ වෙනුවෙන් මම මේ පෝස්ට් එකේ අයිතිය දෙනවා... 'නුඹ' ට....

Saturday, March 12, 2011

[167] ඇත්ත කොච්චර පැණි රසද ? (බුද්ධිමත් මාපියන්ට මේ ලිපිය උපහාරයක් වේවා!)

මේ කතාව ලියුවෙ පසුගිය පොස්ට් එක ගෑන මතුවුන සංවාදයක් නිසා... ඒ කතාවේ පසු සටහනක් හෑටියට හිතුනා මේ කතාව වේ වචන වලින්ම ලියන්න. මම දන්නෙ නෑ ,මේක පබ්ලිශ් කරන්න ඉඩ දේවිද කියලා . ඒත් මම උත්සහයක් ගන්නම්.. සංසාරේ අපි'ට ආදරේ ඔබ වෙනුවෙන්...  ( අහ් අවසර ලැබුනා)


මන් ඒ වචන වලටම ඉඩ දෙන්නම්...


" පුංචි කාලේ මට තිබුනේ පොඩි ඕගන් එකක්..ඒත් ඒකෙන් මම ගොඩාක් සංගීතය ඉගෙන ගත්තා.. සංගීතයට සින්දු වලට මගේ තිබ්බේ නොතිත් ආසාවක්.. මම තුන හතර වසරට එනකොට ප්ලේ කලේ අත් දෙකින්ම කෝඩ්ස්(chords) තනියම දාලා..... අපෙ අම්මා ඈප්ලිකේශන් එකක් දාලා අයි ටී එන් එකේ 'ලහිරු මඬල' වෑඩසටහනට. ඉතින් මගෙ පොඩි ඕගන් එක වෙනුවට ලොකු ඕගන් එකක් තියන ලොකු අම්මගෙ දුවගෙන් නාහෙන් අඬල කණිපින්දම් කියල ඒක ඉල්ලගෙන එදා 'තෝරා ගෑනීමේ' පරීක්ෂණයට ගියේ ගොඩාක් ආසාවෙන්... එතරම්ම ආත්ම විස්වාසයෙන්...

ඔන්න මගෙ වාරෙ ආවා.. අම්මයි තාත්තයි බලාගෙන ඉන්නවා... අනිත් ලමයිනුයි විනිශ්චය මඩුල්ලයි ඉන්නවා... 



මම හිතේ හොඳ හයියෙන් විස්වාසෙන් අත් දෙකින්ම පටන් ගත්තා....  

"දුම්බර මිටියාවත පැත්තේ.... සුන්දර ගම්මානෙක මැද්දේ.... "

"හෝව් හෝව් හෝව්...   නවත්තන්න පුතා... ඔය වගෙ සින්දු නෙමෙයි... පොඩි සින්දුවක් ප්ලේ කරන්න... "

හ්ම්ම්ම්... මම ආයෙත් මොලේ වෙහෙස කලා... ප්‍රෑක්ටිස් කල එකක්... පොඩි ? මොන වගෙ පොඩිද? හ්ම්ම්...

"හාද වෙලා යමන් පනේ සිරි සැප දෙන්ටයි...... උඹට රේන්ද රෙදියි පට කම්බා අඳින්ට දෙ... ...."


"නවත්තන්න නවත්තන්න පුතා... පොඩි අයගෙ සින්දුවක් ප්ලේ කරන්න,,,, ඔයා පොඩි ලමෙක්නේ.... " 

හ්ම්ම්ම්... මම ආයෙත් කල්පනා කලා...  


"Dashing Through the Snow...  Jingle Bells... Jingle... bells..."


"එපා ... එපා.. ! ලමයෝ ඕක ක්‍රිස්තියානි සින්දුවක්... බෞද්ධ එකක් වයන්න.... "



මේ වෙනකොට මාව හෙම්බත් වෙලා... ඒත් ලාවට කඩන් වෑටීගෙන එන හිත තද කරගෙන මම අම්මල දිහාව බෑලුවා... අම්මටයි තාත්තටයි ඈඬෙන්න ඔන්න මෙන්න.... හ්ම්ම්... මම හිත හදා ගත්තා... ලොකු ඕගන් එක... හිතෙ පටවන් ආව බලාපොරොත්තු.. ඔක්කොම හෙමීට ආපහු අසුර ගත්තා... 


එතනින් පිටවෙලා ගෙදර එන තුරුම ... අම්මයි තාත්තයි මට වචනයක්වත් කිව්වෙ නෑ... 

කාලය ඉගිලිලා ගියා.. සංගීතයේ මා යායුතු ඉසවුව මට තීරණය කරන්න එය සොයා යන්න ආයෙමත් මට ලමා බෞද්ධ ගීත පුරුදු වෙන්න උවමනා වුනෙ නෑ.. මම මගේ මග ගියා...  

ඒත් මම අද සිහි කරනවා....   එදා අම්මයි තාත්තයි එක්ක ගෙදර එද්දි එයාල නිකමටවත් කිව්ව නම්... 'ඇයි පුතා පොඩි ලමයින්ගෙ එකක් සෙල්ලම් නොකලෙ ...' කියලා... 

මම අද ... මෙතන නොවෙන්න පුලුවනි...... 



පසු සටහන :


දෛවය හාස්කම් කරනවා කියන්නෙ නිකමට නම් නෙමෙයි...  බොහෝ මෑතකදි.. ඔය වැඩසටහන් අධ්‍යක්ෂක වරයාම... මට ආරාධනා කලා.. ඔය වැඩසටහනටම... එහිදී මා කල වැයුමට සහ ගැයුමට... බොහෝ දෙනා සමවැදුනා.. ඉහලින් අත්පොලසන් වැදුනා.... 

මෙදා මා කියුවේ .... ලමා ගීයක්වත්...වැඩිහිටි ගීයක්වත් ..නොවෙයි... මගේ අම්මගෙයි තාත්තගෙයි නිශ්ශබ්දතාවයට පින් සිද්ද වෙන්න .. මම අද මෙතෙක් ආපු දුර පිලිබඳව මගේ ස්පැනිෂ් ගිටාරය මවන සත්සර රටාවන් සංවාදයක යෙදුනා ලෝකයම සමගම.. මට නොදැනෙන්නම...



ජීවිතේ මල්ගේ පසු සටහන
මේ... සුන්දර ඇත්ත කතාවක්...මේ ලිපිය ලියුවේ...  ඒ බුද්ධිමත් දෙමාපියන්ට හදවතින්ම කරන උපහාරයක් වශයෙන්....
ස්තූතියි....

Wednesday, March 09, 2011

[166] කණට ඇහිච්චි ඇත්ත සිද්ධියක්....

අද නම් ලියන්න යන්නෙ ටිකක් ලේ කෝප වෙන කතාවක්. ලේ කෝප වෙනව කියන්නෙ තරහ යනවම නෙමෙයිනෙ. කලකිරීම වුනත් වෙන්න පුලුවනිනෙ.


මේ පහුගිය දවසක අපිට සමීප ගෙදරකින් අහන්න ලැබුන දෙබසක් මම හිතුවා පූර්විකාවක් කර ගන්න අද ලියන්න යන දේට. ...


පුංචි කොලු පැටියා ගේ නිවාඩු සෙනසුරාදාව. මල්ලි පැටියත් එක්ක ගහ මරාගන්න, දඟ කරන්න, වැලි නාන්න, රණ්ඩු කරන්න,  දුවන්න, පනින්න පොඩ්ඩෝ දෙන්න මේ දවස එනකල් බලන් ඉන්නෙ හරීම ආසාවෙන්. එදාටම තමයි දෙන්න ලඟදි අරන් දීපු ඕගන් එකෙන් මියුසික් හිතේ හැටියට ප්‍රැක්ටිස් කරන්නෙ.






නා නා ප්‍රකාර වාදන රිද්ම , අත් හදා බැලීම් , වැරදීම් මැද්දෙ ලොකු අයිය ඕගන් ඒක වාදනය කරනවා. මල්ලි පැංචා නම් එකත් එකටම අයියව කොනිත්ත කොනිත්ත, වද දිදී, රණ්ඩු අල්ලන බව සද්ද බද්ද වලින් තේරුම් යනවා. ඒ වාදනයන් වෙලාවක කොහෝ නාදයකට වඩා සුන්දරයි කියා හිතෙනවා. පුන්චි උන්ගෙ අහිංසක ලමා ලෝකෙ... එයාලගෙ හිතේ මැවෙන සත්සර රටා හිතේ හැටියට එහාට මෙහාට පෙරලනවා. වෙලාවකට මැටි තලනවා වගේ... කිසීම ඇහිල්ලක් බැලිල්ලක් නැතිව යතුරු දිගේ චුට්ටි ඇඟිලි දුවගෙන දුවගෙන යන හැටි මට මැවිල පේනව වගේ.... එහෙම හිතෙනකොට තාලෙ ලස්සන කැත අමතක වෙනවා...


නිල් අහස් තලේ අගේ .....


වරෙක පියානෝ හඬින්.... වරෙක වයලින් හඬින්.. වරෙක හාප් හඬින්.... වරෙක කන් බීරි වෙන එකෝඩියන් හඬින්... පොඩ්ඩට මේක සෙල්ලමක්... එක එක නාදයෙන් එකම යතුරු වලින් විවිධ ගීත මැවෙන හැටි... එ ක ම.. ව ච න .. ව ල ට !!!!!!







"දැන් කිව්ව නේද ඕක කියල දුන්නු විදියට ගහන්න කියල... ඔය මොනවද ගහන්නේ.... හරියට ප්ලේ කරනවා..බැරිනම් වහල දාල නිකම් ඉන්නවා! "

පුංචි ඇඟිලි එතනම නතර වුනා. මල්ලියගේ කැගැහිල්ලත් නතර වුනා.. පොඩි නිශ්ශබ්දතාවයක් ....


ආ...හ්... ටික වෙලාවයි... ඒ පාර ඕගන් එකේ සින්දුව පරයන ගෝසාවක්.... එක එක තාලෙට 'නිල් අහස් තලේ' රඟ දෙනවා... නිල් කෙසේ වෙතත් ගැටබෙර පියානෝ බටනලා එකෝඩියන් ඕව මේව ඔක්කොම එක සුමේට කැගහනවා.... ඒ ඇඟිලි තාලෙට රඟ දෙනකොට තාරුකා ඇස් උද්දාමයෙන්  හිතුවක්කාරකමෙන් උඩ පනිනවත් මට මැවි මැවී පෙනෙනවා වගේ...


"පුතා... ! මම කිව්ව නේද ... හරියට ප්ලේ කරනවා... සර් කියල දුන්නු විදියට .... ඔය මොනවද ගහන්නේ... දෙයක් කියල දුන්නම කියපු විදියට කරනවා... පණ්ඩිතකම් නොකර... ! බැරිනම් වහල දාල පොතක් බලාගන්නවා... "


වැයුම නැවතුනා.. අම්මගෙ කණට වද දුන්නු ගෝසාව ඉවර වුනා. සර් කියපු තාලෙට දුක් මුසු ස්වරයකුත් මුසු වෙමින් නිල් අහස් තලේ රඟ දෙන්න ගත්තා...


පුංචි සංගීත වාදකයා වැයුම නැවැත්වුවා.. සමහර විට සදහටම වෙන්න පුලුවනි... ම්හ්හ්... නෑ... සමහරවිට පුංචි පැටියා වයාවි... සර් කියා දීපු තාල විතරක්ම...








කියන්න තියෙන්නෙ මෙච්චරක්ම විතරයි.. කවද හරි අවුරුදු 10කට පස්සෙ අවුරුදු 18ක ගැටවරයෙක් වෙන මේ කොලු පැටියා , කිසිම දෙයක් අත්හදා නොබලන , කිසි දෙයක් හිතා බලා නොකරන , කිසිම අලුත් දේකට උනන්දුවක් නැති , උගන්නන දේ ගිල ගෙන කැම්පස් ගිහින් රස්සාවක් හොයන ගිරා පෝතකයෙක් වුනොත්.. මේ අම්මටම එදාට මේ ගැටවරයට බනින්න අයිතියක් තියේවිද ?


බහුතරයක් ලමයින්ගෙ ඉරණම මේ විදියට තීරණය කරන්නෙ දෙමාපියන්.. (මේ දෙමාපියන් කෙරේ ද්වේශයෙන් ලියූවක් නොවන බව සලකන්න) ... ටියුෂන් පන්ති දක්කමින්  පුංචි උන්ගෙ ජීවිතයට ,සෞන්දර්යය එබ්බුවාටම මදි.. ජීවිතේ විඳින්න නිදහස නැති , වරද්ද වරද්ද හරි දේ , අලුත් දේ , නැවුම් දේ හොයා ගන්න අවස්ථා නැති තැනක පොඩි එකෙකු දකින සෞන්දර්යය මොකක්ද?


අපි උපන්ගෙයි මරා දාන්නේ අනාගත සංගීතඥයෙක්... නර්තන ශිල්පියෙක්... විද්‍යාඥයෙක්... එහෙමත් නැතිනම් ගණිතඥයෙක්..  ආ ඒකට මක් වෙනවද ? විභාග ටික පන්නගෙන කැම්පස් ගියොත් හත් මුතු පරම්පරාවම ගොඩ!








කණට ඇහිච්චි ඇත්ත සිද්ධියක්....

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->